මෙම නාට්‍ය නිර්මාණයට යම් විශේෂ හේතුවක් බලපැවද? එහෙම ‘නැත්නම් නාට්‍යයක් කළ යුතුයි’ යන අදහසින් කළා ද?
නැහැ. නාට්‍යක් කරන්න ම ඕන කියන බලාපොරොත්තුව කොහොමටත් අදාළ නැහැ. කාලයක් ලබපු අත්දැකීම් එක්ක මට දැනුණ දෙයක් තමයි අපේ ජීවිත හරිම ව්‍යාකූල බව. අපේ ජීවිත ඔහේ පාවෙන බව. මේ තත්ත්වයත් එක්ක මහා මානසික පීඩනයක් සහ පසුතැවීමක් දැනෙන්න ගත්තා. ඒ නිසයි මෙබඳු කෘතියක් තෝරාගත්තේ.
මෙම නිර්මාණයේ අන්තර්ගතය සහ සන්දර්භය කොහොම ද?
මෙම නාට්‍ය මීට පෙර එනම්, 2001 වසරෙදි ‘නිශ්ශබ්ද වෙනු’ යන නමින් සුනිල් චන්ද්‍රසිරි නිෂ්පාදනය කළා. නමුත් මගේ මතකයේ විදියට දර්ශන වාර තුන හතරකට වඩා වේදිකා ගතවුණේ නැහැ. ඒ නිර්මාණයේ වේදිකා පරිපාලනයට මම සම්බන්ධ වුණා. ඒ එක්ක ම මම ඒ නාට්‍යට බොහෝ සේ ඇලුම් කළා. නාට්‍යට මගේ තිබුණ කැදරකම දැනගත්ත සුනිල් චන්ද්‍රසිරි මට එම නාට්‍යයේ පිටපත දුන්නා පුළුවන් දවසක කරන්න කියලා. ඇත්තට ම ඒක හරියට ‘ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙයි’ කිව්ව වගේ. ඉතිං මම මහත් ආශාවෙන් ඒ පිටපත බාරගත්තා.
ඒ අවුරුදු කීයකට විතර ඉස්සර ද?
මීට වසර පහ හයකට ඉහත.
නාට්‍ය පිටපතකුත් ලැබිල තියෙද්දි ඒ නාට්‍ය වේදිකා ගතකරන්න මෙච්චර කාලයක් ගත්තෙ...?
ඒ සඳහා විවිධ කරුණු බලපෑවා. ප්‍රධාන ම ගැටලුව මුදල්, ඊළඟට රංගන ශිල්පීන්. රංගන ශිල්පීන් කොපමණ හිටියත් මගේ හිතේ ඇඳුණ කිහිප දෙනාටත් විවිධ වැඩකටයුතු තිබුණා. ඒකත් නාට්‍යයේ වැඩ ආරම්භ කරන්න ප්‍රමාද වෙන්න හේතුවක් වුණා. ප්‍රමාද වෙලා හරි මේ වැඩේ කරන්න ම ඕන කියන අදහස මගේ හිතේ තදින් ම තිබුණා. මොකද මේ කතාව තුළ අන්තර්ගත වෙන්නෙත් අපේ ජීවිත කතාව ම තමයි.
ඒ කාරණය තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව්. කෙටියෙන් ම කියනවා නම් මේ පවතින සමාජ, දේශපාලන, ආගමික සහ ආර්ථික පසුබිමත් සමග අපි හැමෝම පවතින්නෙ අතරමං වුණ තත්ත්වයක. අපි යන්නෙ කොහේද, කරන්නෙ මොනවද, කියන්නෙ මොනවද, ඉදිරියට කළ යුත්තේ මොනවද යන කාරණා ගැන සවිඥානික නැහැ. ඔහේ කරන්නන් වාලේ කරනවා, යනවා, එනවා, කනවා, බොනවා, නමුත් ඒ හැම එකක් ඇතුළෙම තියෙන්නෙ කලකිරීමක්. මෙන්න මේ වටපිටාවත් එක්ක, අපි මේ සිටින අතරමං වීමේ සහ කලකිරීමේ පසුබිම සහ එහි යථාර්ථය සමාජගත කිරීම සඳහා මේ නාට්‍ය කරළියට ගේන එක වැදගත් කියල මට හිතුණා.
මේ නාට්‍යයේ ව්‍යුහය සහ එය ස්වතන්ත්‍ර නිර්මාණයක් ද, පරිවර්තනයක් ද සහ අනුවර්තනයක් ද යන කාරණා ටික පැහැදිලි කළොත්?
මේක අනුවර්තනයක්. මෙහි පළමු රචකයා වෙන්නෙ ඉන්දියානු ජාතික මහේෂ් එල්. කුංචුවා. මෙය මරාති නාට්‍යයක්. ඒ වගේම ඉන්දියාවේ විවිධ භාෂාවලට පරිවර්තනය වෙලා වේදිකා ගතකරලත් තිබෙනවා.
ඔබ මෙම නාට්‍ය නම් කළේ කොහොම ද?
මෙය නම් කළේ ‘‘මරණය නොමිලේ’’ යන නමින්.
ඔබ කලින් සඳහන් කළා අපි අතරමං වෙලා, කලකිරිලා යන කාරණා දෙකක්. ඔබ මෙවැනි අදහසක් ඉදිරිපත් කරන්නෙ කලාකරුවෙක් විදියට ද එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදියට ද?
පළමුවෙන් ම කලාකරුවෙක් විදියට. නමුත් මනුෂ්‍යයෙක් විදියටත් ඒක දැඩි ලෙස බලපානවා. දකින දකින හැම තැනක ම මනුෂ්‍යකම අහෝසි වෙලා ගිහින්. හැම තැනම පැළපදියම් වෙලා තියෙන්නෙ: වංචාව, දූෂණය, කපටිකම, රැවටීම සහ තමන් ම රවටා ගැනීම. මේ සියලු කාරණා සමග ජීවත්වෙනව කියන්නෙ ඉතාමත් බරපතල කාරණයක්. අපි ඒ සීමාවෙන් ඈත්වෙලා ඉන්න කොපමණ උත්සාහ කළත් මේ කියන නරුම සමාජ තලයට අපි ඇදල ගන්න ඕනතරම් හේතු කාරණා තිබෙනවා. ඒකෙන් ගැලවෙන්න හරි අපහසුයි. මේක හරියට අර ඩෙකාට්ගෙ කියමනක් තිබෙනවා: ‘මම සිතමි. එබැවින් පවතිමි. මම නොසිතමි එබැවින් නොපවතිමි’ කියල. නමුත් දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නෙ එහි විරුද්ධාර්ථය අනුව කටයුතු කරන්න. ඒ කියන්නෙ: ‘මම සිතමි, එබැවින් නොපවතිමි. මම නොසිතමි, එබැවින් පවතිමි’ යන අර්ථය ඇතුව සිතන්න සහ කටයුතු කරන්න.
මේ පිටපතේ අඩංගු සන්දර්භය කෙටියෙන් පැවසුවොත්?
උප නගරයක ජීවත් වුණ තරුණයෙක් මහ නගරයකට එනවා. නමුත් එයාට ඒ මහ නගරයේ පවතින සමාජ, දේශපාලන, ආර්ථික සහ ආගමිකත්වයත් සමග පවතින්න බැරි වෙනවා. ඊට පස්සෙ එයා තීරණය කරනවා එයාගෙ ජීවිතය නැති කරගන්න. ඔහු සිතන්නෙ ‘එක්කො මම මේ ක්‍රමය වැලඳගෙන ඒකත් එක්ක ජිවත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ සියල්ල අත්හැරල යන්න ඕන’ කියලා. කෙටියෙන් ම කියනවා නම් ඔහු හිතනවා විවාහ වෙලා දරුවො හදනවා කියන්නෙත් තමන්ගෙ දරුවන්ගෙ මිනී වළ තමන් ම කැපීමක් කියල. මටත් මේ සිතුවිලි පහළ වුණ අවස්ථා අනන්තයි; අප්‍රමාණයි. ඒ පසුබිමත් සමග තමයි මට මේ පිටපත ග්‍රහණය වෙන්නෙ.
අද සමාජයේ කලාව සහ දේශපාලනය අතර තිබෙන්නෙ බෙදුම් රේඛාවක්. ඇතැම් නළු නිළියො තමන්ගෙ මතයට නොගැළපෙන දේශපාලනික පසුබිමක් සහිත කලාකටයුතුවලට සහභාගි නොවන තත්ත්වයක් පවතිනවා. ඔබ ඒ ගැටලුවට මුහුණ පෑවෙ නැද්ද?
ඔබ කියපු දේ හරියට ම හරි. වර්තමානයේ හොඳ නිර්මාණ බිහි නොවීමට ඔය කියපු කාරණයත් බලපානවා. ඇත්තට ම මට එහෙම ගැටලුවක් පැන නැගුණෙ නැහැ. මේ නාට්‍යයේ පිටපත අධ්‍යනය කරන මොහොතේ සිට මේ දක්වා මා සමග වැඩ කරන පිරිසට එය ගැටලුවක් වුණේ නැහැ. ඔවුන් නිතරම කියන්නෙත් ‘මේ නාට්‍යය හරහා සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක කරමු.’ කියල. ඔවුන් මේ නිර්මාණයට සහභාගි වෙන්නෙ වෘත්තීමය කලාකරුවා නමැති ලේබලයෙන් ඉවත් වෙලා. අපේ භාවිත වචනයෙන් කියනවා නම් ‘බොක්කෙන්ම’ වැඩෙත් එක්ක ඉන්නවා.
අද කාලෙ නාට්‍යයක් කරනව කියන්නෙ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ සඳහා ඔබට අවශ්‍ය පිරිවැය දරන්නෙ කවුද?
ඒ සඳහා මට සහයෝගය දෙන්නෙ ඉන්දික සමරවික්‍රම. ඔහු මගේ මිත්‍රයෙක්. ඔහු මට මුණගැහෙන්නෙ ඕමානයේ දි. ඇත්තට ම මුලදි නිෂ්පාදකයෙක් නැතුවයි මේ නාට්‍යයේ වැඩ ආරම්භ කළේ. වැඩ කරගෙන යන අතරතුර තමයි ඉන්දික ලංකාවට එන්නෙ. පසුව ඔහු මේ වැඩේ වැදගත්කම සහ මගේ අපහසුතාවන් සියල්ල වටහා ගන්නවා. අනතුරුව ඔහු තීරණය කරනවා මෙහි නිෂ්පාදනයට දායකත්වය සපයන්න. ඔහු කිසිදු ලාභාපේක්ෂාවක් නෑ. ‘අපි ඉස්සරවෙලා වැඩේ කරමු’ කියන තැන තමයි ඔහු ඉන්නෙ. මා සමග මේ නාට්‍යයට සහභාගි වන අනෙක් පිරිසත් එහෙම තමයි. නමුත් නාට්‍යයක් කරද්දි අනිවාර්යයෙන් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණයක් සහ කණ්ඩායමට ගෙවිය යුතු කොටසක් තිබෙනවා. උදාහරණයක් විදයට ගත්තොත් පුහුණුවීම් කටයුතුවලට සහභාගි වෙද්දි ඔවුන්ගෙ ගමන් ගාස්තු, කැම බීම වියදම්. මේව අනිවාර්යයෙන් ගෙවිය යුතුයි. ඒ කටයුතුවලට අවශ්‍යය මුදල් මගේ මිත්‍රයා විදේශයේ සිට මා වෙත එවනවා.
මෙම නිර්මාණයට සහභාගි වන නළු නිළියො පිළිබඳව සිහිපත් කළොත්?
වසන්ත විට්ටචිචි කියන්නෙ අපිට ඉන්න දක්ෂ නළුවෙක් වගේ ම හොඳ වේශ නිරුපණ ශිල්පියෙක්. මෙම නාට්‍යයේ වේශ නිරුපණයට දායකත්වය සපයන්නෙත් ඔහු ම යි. ඔහු මෙහි රඟපානවා. ඊළඟට කුමුදු කුමාරසිංහ. ඇයත් ඉතාමත් දක්ෂ වේදිකා නාට්‍ය රංග ශිල්පිනියක්. ඔෂධී ගුණසේකර තවත් චරිතයකට පණ පොවනවා. ඇයත් ධර්මසිරි බණ්ඩාරනායක ගේ නාට්‍යවල විවිධ චරිත රගපෑ දක්ෂ නිළියක්. අනෙක් චරිතය කරන්නෙ මම ම යි. සමස්ත නාට්‍යයේ ම තිබෙන්නෙ චරිත හතරයි. සංගීතයෙන් දායක වෙන්නෙ ප්‍රභාත් ඒකනායක. වේදිකා පරිපාලනයෙන් නිමේෂ් උදයන්ත සහභාගි වෙනවා. ආලෝකකරණය නිමල් බුලත්සිංහල. වේදිකා පසුතල නිර්මාණයකත් ඔහු ගේ ම යි.
කවදද මංගල දර්ශනය පවත්වන්න බලාපොරොත්තු වෙන්නෙ?
ජූලි මාසෙ 18, 19 යන දෙදින තුළ බොරැල්ල නාමෙල් මාලනි පුංචි තියටර් රඟහලේ දී. මේ දින දෙකේ දි ම 03.30 සහ 06.30 දර්ශන දෙක බැගින් දෙදින තුළ දර්ශන වාර හතරක් ඉදිරිපත්කරන්න බලාපොරොත්තු වෙනවා.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.





