ඉන් පළමුවැන්න නම් දහසක් සිසුවියන්ගේ මතු නොව ආයතනික ගත නොවූ හදාරන්නන්ගේ සිත් සතන් පුබුදු කළ ඒ මහැදුරුතුමා බොහෝ දෙනකු විසින් අමතක කොට දැමීම ය. මන්ද එකල මහැදුරුතුමාගේ දේශන අසන්නට පැමිණි පිරිස කොපමණ ද? එහෙත් එතුමාගේ ජන්ම සංවස්තරය වෙනුවෙන් පැමිණි පිරිස කොපමණ ද? වෙසෙසින් ම නූතන පරපුරට එතුමා හැදෑරීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එහි පැමිණි පිරිස දෙස අවධානය යොමුකළ විට දකින්ට ලැබිණ. එහි පැමිණ සිටියේ අසුව දශකයේ අගභාගයේ සිට අනූව දශකය දක්වා එතුමා ඇසුරු කළ, එතුමාගේ දේශනවලට සහභාගී වූ සහ එතුමාගේ කෘති පරිශීලනය කල පිරිස පමණි.
දෙවන කරුණ වන්නේ එම උත්සවයට සහභාගි වු පිරිසක් විසින් මූලාසනාරූඪව සිටි ටී. අන්ද්‍රාදි මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පා පහර එල්ල කිරීම ය. ඒ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය උල්ලංඝණය කළ පිරිස ගම්ලත් සැමරුමෙන් බලාපොරොත්තු වූයේ එතුමාගේ ගුණ වැයුම පමණක් ය යන්න එකී ක්‍රියාවලිය හරහා ගම්‍ය විය. අන්ද්‍රාදි මහතා ප්‍රවිෂ්ට වීමට යත්න දැරුවේ ගම්ලත් මහතා වැනි වියතකු: විශේෂයෙන් ම ධනේෂ්වර පාලකයන්ගේ අවශ්‍යතාව මත සිය පෑන මෙහෙයවීම ප්‍රතික්ෂේප කළ, ඔවුන්ගෙන් ලැබෙන වරදාන වරප්‍රසාද අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත ලූ මේ මහා විද්වතා අද ජිවත්ව සිටියේ නම් වර්තමාන දේශපාලන සමාජයට කෙසේ ප්‍රවිශ්ට වේද යන්න ය.
එහෙත් ක්ෂණික වින්දනයෙන් තෘප්තිමත්වීමට පුරුදු පුහුණු වී සිටි එම පිරිස අන්ද්‍රාදි මහතාගේ කතාවේ හරය හඳුනා නොගනිමින් ඔහුට බාධා කළහ. සභාවේ අඩුව පිරවීමට ඒ පිරිස් සම්බන්ධ වූයේ නම් එම අඩුපාඩුව මගහැරෙනු ඇත. එහෙත් එසේ අන්ද්‍රාදි මහතාට බාධා කළ පිරිස් ද පසුව මුනිවත රැක්කා මිස උත්සවය පවත්වාගෙන යාමට කිසිඳු සහයෝගයක් නොදැක්වූහ. එය සභාවක නොකළ යුතු ක්‍රියාවකි. මෙම ක්‍රියාව මා දකින්නේ පොංගු තමිල් උළෙලේ දී ගම්ලත් මහතා කළ දේශනයට එදින එහි පැමිණ සිටි සිහල උරුමයේ පිරිස් කළ බාධාව හා සම වන ලෙස ය.
උත්සව සංවිධානය ද අසංවිධිත ය. මන්ද උත්සවයට ආරාධනා කරන ලද ආරාධනා පත්‍රයේ සඳහන් පරිදි ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ දේශනයෙන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබුණේ ‘‘පැදි මිණි ආර’’ වැඩසටහන යි. එහෙත් ඒ පිළිබඳ අංශු මාත්‍රයක් හෝ සාකච්ඡා නොවුණි. අවම වශයෙන් උත්සව සභාව මෙහෙය වූ පුද්ගලයා ද ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපවසන්නට වගබලා ගත්තේ ය. ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශයකින් ගම්‍ය වූයේ ඔහුට එම උත්සවය පිළිබඳ දැනුම් දී ඇත්තේ ඊට දින දෙකකට පෙර බව යි. දේශනයට අදාළ පුද්ගලයා දචැනුවත් කොට, ඔහුට එයට සහභාගි වීමට හැකිද නැද්ද යන්න විමසා බලා ආරාධනා පත්‍රයට නම ඇතුළත් කිරීමට හෝ සංවිධායකයෝ උත්සාහ ගෙන නොමැත.
ගම්ලත් මහතා ජිවත්ව සිටිය දි අපමණ දුක්ගැහැටවලට මුහුණ දුන් පුද්ගලයෙකි. ඔහු සිය තනතුර හෝ උගත්කම භාවිත කොට කිසිම පුද්ගලයකුගෙන් කිසිඳු වරප්‍රසාදයක් ඉල්ලා නොසිටි අතර සිය ජීවිතය පුරා සරි කළ දැනුම සමාජ ගතකිරීම සඳහා දැඩි වෙහෙසක් දැරි ය. එකල ඔහු ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතට ලිපි සැපවූයේ ය. එවිට ඊනියා වාමවාදීන් එතුමා විවේචනය කළේ ය. එහෙත් ඒ කිසිඳු වාමවාදියෙක් හෝ ප්‍රගතිශිලියෙක් අවම වශයෙන් එතුමාට ජිවත්වීම සඳහා කිසිඳු උපකාරයක් නොකළේ ය. අනතුරුව ඉරුදින පුවත්පතට ලිපි සපයද්දි ද විවිධ අවලාද නැගී ය. ඔවුන් ද අවම වශයෙන් ගම්ලත් මහතාට හාල් කිලෝවක්, පොල් ගෙඩියක්, සීනි කිලෝවක් හෝ ලබා නොදුන්නේ ය. එතුමා ජිවිකාව ගැටගසාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අබැටක් තරම් හෝ අවධානය යොමු නොකළේ ය. එහෙත් එතුමගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා කළ අරගලය ගැරහීමට ලක් කළේ ය.
එතුමා කුමන පුවත්පතකට ලිපි සැපවුව ද ඒ කිසිවක් හරහා ධනේශ්වර පාලනය පිළිබඳ සාධනීය කරුණු ඉදිරිපත් නොකළේ ය. එතුමා සාහිත්‍යය විචාරයක් හරහා හෝ කළේ පවතින ජරාජීර්ණ වූ සමාජ ක්‍රමය තදබල ලෙස විවේචනය කිරීම ය. එහෙත් එතුමා විවේචනය කළ වුන් දුටුවේ එතුමා ධනපතියන්ගේ පත්තර කඩමාලුවලට ලිපි සැපයීම පමණි. මෙලෙස චෝදනා කරනවුන් ඒ එක් ලිපියක් හෝ කියවා ඇද්ද යන්න සැක සහිත ය. මන්ද එම ලිපි කියවූයේ නම් ඔවුන් එසේ දෙස් දෙවොල් නොතබනු ඇත. ලන්ඩනයේ බි බි සි ආයතනය වෙත ගී මිණි ආර සපයද් දී ද ඇතැමුන් පැවසුවේ ධනවාදය පට්ට ගසමින් අන්ත ධනවාදි රාජ්‍යයක් විසින් මෙහෙයවන වැඩසටහනකට එතුමාගේ දායකත්වය ලබාදෙන බවයි. එහෙත් එතුමා එකෙී වැඩසටහන තුළින් කළේ සිංහල ගීත සාහිත්‍ය විවරණය කිරීම මිස එංගලන්ත ආණ්ඩුවට ආවැඩීම නොවේ. එතුමාගේ ගී රස වින්දනය සුවහසක් දන මන පුබුද වූ බව නොරහසකි.
ලංකාවේ බොහෝ පිරිස් එතුමා හඳුනාගත් ආකාරය පිලිබඳව ද ගැටලු පැන නගී. එනම් බහුතරයක් පිරිස් සාකච්ඡාවට බඳුන් කරන්නේ එතුමා ජනවාර්ගික අරගලය වෙනුවෙන් පෙනී සිටි මානය පමණි. සැබැවින් ම ඔහු ජනවාර්ගික අරගලය වෙනුවෙන්, පීඩිත ජනකොටසකගේ අරගලය වෙනුවෙන් පෙනී සිටි බව යථාර්ථයකි. එහෙත් එතුමා සිංහල සාහිත්‍යය රසාස්වාදය සඳහා කළ අනුපමේය මෙහෙය කිසිවකු ඔසවා තැබුවේ නැත. යුද්ධය මෙන් ම සාමය ද තමන්ගේ බැංකු ගිණුම් තරකරගන්නා ආදායම් මාර්ගයක් බවට පත් කොටගෙන සිටි පිරිස් එතුමාගේ මානුෂිකත්වය මිල කරනු ලැබි ය. එහෙත් ඒ මිලට සරිලන වටිනාකම ලබාගත්තෝ ඔවුන් ම මිස එතුමා නොවේ.
එතුමා කිසිඳු ස්වතන්ත්‍ර නිර්මාණයක් කර නැතැයි ඇතැම් අය චෝදනා කරති. එතුමා ස්වතන්ත්‍ර නිර්මාණ නොකළ බව සැබෑවකි. එහෙත් සාහිත්‍යය රසාස්වාදය පිණිස, සාහිත්‍යය යනු කුමක් ද යන්න අවබෝධ කරගනු පිණිස එතුමාගේ කෘති හරහා මහත් පිටුවහලක් ලැබුණ බව එසේ චෝදනා කරන්නවුන් සාකච්ඡා නොකරති. එතුමාගේ විචාර ක්‍රමවේදය ද ‘‘දෙඥ්ඥං බැටේ විචාරය’’ ලෙස හුවා දැක්වී ය. එතුමා ගේ ඇතැම් විචාර ඉතාමත් කර්කශක බව සහ අන්තගාමි බව සැබැවි. ඒ ඔහුගේ ආස්ථානය යි. නිර්මාණකරුවා කළ යුත්තේ අදාළ විචාරය තුළින් තමන්ගේ ඉදිරි නිර්මාණ සාර්ථක කර ගතහැක්කේ කෙසේ ද යන පාඩම ඉගෙනගන්නවා මිස විචාරය හෝ විචාරකයා අවතක්සේරුවට ලක්කිරීම නොවේ.
පසුගිය දිනක ධර්මසිරි බණ්ඩාරනායක මහතා සහභාගි වු සාකච්ඡාවක දී පවසා සිටියේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඔහුගේ නාට්‍යය යාපනයේ රංග ගතකළ බවත් එම අවස්ථාවන්ට ගම්ලත් මහතා ද සම්බන්ධ කොට ගෙන ඔහුගේ දේශනවලට පවා සවන් දුන් බවයි. ඒ දෙමළ ජනයා ගම්ලත් මහතාට සැලකූ ආකාරය යි. නමුත් කොළඹ පැවති පොංගු තමිල් උත්සවයට යාපනයෙන් පැමිණි පිරිසට සහ ගම්ලත් මහතාට සිංහල බෞද්ධ අන්තවාදින් පහර දුන්නේ ය. ඒ දකුණේ සිංහලයා මේ විද්වතාට, නැණවතාට සැලකූ ආකාරය යි. එයින් ගම්‍ය වන්නේ ගම්ලත් යනු කවරෙක්ද යන්න මේ සිංහල අන්තවාදින් දැන නොසිටි බවයි.
කෙසේ වෙතත් ගම්ලත් මහැදුරුතුමාගේ කාර්යසාධනය මතු පරපුර වෙනුවෙන් සුරැකීම සහ එය ඔවුන්ට ළඟා කරදීම වත්මන් පරපුරේ වගකීම සහ යුතුකමයි. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසිය යුතු ය; නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතු ය. මන් ද එතුමාගේ දර්ශනය මෙන් ම එතුමා සාහිත්‍ය කලා ආදියට දැකු වු ඇල්ම සහ ඒ පිළිබඳ කළ ඇගයීම්, විවේචන සහ විචාර මතුපරපුරට මහත් දායාදයක් වනු නොඅනුමාන ය. ඒ දායාදය මහඟු ඵල භුක්ති විඳීමට හැකි පරිසරයක් වත්මන් පරපුර විසින් සැලසිය යුතු ය. එසේ නොවන්නට එතුමා සිය ජිවිත කාලය පුරා කළ මෙහෙය අකාලයේ මිය යනු නියත ය.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.