එහෙත් යම් කාව්‍ය නිර්මාණ සංග්‍රහයක පළමු නිර්මාණය ම පාඨකයා තැතිගැන්මකට, විස්මයකට, නව සිතිවිල්ලකට යොමු කරන්නේ නම් සැබැවින් ම එය අරුමයකි. පසුගිය දිනක එබඳු කාව්‍යය නිර්මාණයක් රස විඳීමේ භාග්‍ය උදා වූ බව පවසන්නේ හද පිරි සන්තෘෂ්ටියෙනි.
කාව්‍යය නිර්මාණය ‘‘සංක්‍රාන්තියක සැණකෙළි’’ නම් වන අතර එහි රචකාවිය උපෙකලා අතුකෝරළ යි. මෙය ඇගේ දෙවන කාව්‍යය සංග්‍රහය යි. පළමු කාව්‍යය සංග්‍රහය රසවිඳීමට නොහැකි වුව ද ඇගේ දෙවන කාව්‍යය සංග්‍රහයේ මට රසවිඳිය හැකි නිර්මාණ කිහිපයක් තිබීම පිළිබඳව සතුට පළ කරන අතර ම එකී නිර්මාණ සමුච්ඡය වෙත සාධාරණයක් ඉෂ්ට කළ යුතු යැයි ද සිතුවෙමි. මේ එහි ප්‍රතිඵලය යි.
සන්ක්‍රාන්තියක සැණකෙළි නිර්මාණ සංග්‍රහයේ පළමු නිර්මාණය වෙත ප්‍රථමයෙන් ම අවධානය යොමු කරමු.
අදුරු අහසක සැනෙන් මතුවී
රැයෙහි බුහුමන් ලබන සඳමයි
නීල අහසක දහස් එළි මැද
දහවලේ නොතකා හැරෙන්නේ
පිටුව 13
මෙය සෞන්දර්යාත්මක නිර්මාණයක් ලෙස මතුපිටින් දක්නට ලැබුණ ද ඒ රූපකාර්ථය අබිබවා යන සමාජ දේශපාලන අරුතක් මෙහි ගැබ්ව ඇතැයි මට සිතුණි. සැබැවින් ම සඳ ආලෝකමත් ග්‍රහ වස්තුවක් නොවේ. එහි දීප්තිය රැඳෙන්නේ හිරුගෙන් ලැබෙන ආලෝකයෙනි. එමෙන් ම එහි දීප්තිය ඉස්මතුවන්නේ ද හිරු නොමැති විට ය. එසේ නම් සැබැ ආලෝකයට හිමිකරුවා වන්නේ හිරුයි. මෙය වර්තමාන සමාජයේ ඉහලින් වැජඹෙන විවිධ පුද්ගලයන් වෙත ආදේශ කර බලමු.
රටේ ප්‍රධාන පුරවැසියා ගේ සිට සියලු දේශපාලනඥයන් සැබෑ ලෙස ම දීප්තිමත් වන්නේ තමන් ගේ ආලෝකයෙන් නොව රටවැසියා ගේ ආලෝකයෙනි. සරලව ම පවසන්නේ නම් ඡන්ද දායකයා ගේ ආලෝකයෙනි. ඡන්ද දායකයා යනු හිරු යි. එහෙත් ඒ හිරු නමැති ඡන්ද දායකයා සඳ නමැති දේශපාලකයාට පිටුපැ සැණින් සිදුවන්නේ කුමක් ද? කිවිඳිය සංකේත මගින් පිළිබිඹු කරන්නේ මේ යථාර්ථය නොවන්නේ ද? හිරු (ඡන්ද දායකයා) ගේ රැස් කිරණින් ආලෝකමත් වන දේශපාලනඥයා නොතකා හැරෙන්නේ ද මේ හිරු කිරණ ඔහුට පිටුපැ මොහොතේ ය. එබැවින් අන් අයගේ ආලෝකයෙන් බැබළෙන ඕනැම පුද්ගලයකු මෙම යථාර්ථය වටහා ගන්නේ නම් ඔහු/ ඇය සදාකාලිකව ම බබළන්නේ ය. මේ සත්‍යය එදා බැබළුණ, අද බැබැළෙන හෝ හෙට දිනයේ බැබළෙන්නට බලාපොරොත්තු වන ඕනැම පුද්ගලයකුට එකසේ බල නොපාන්නේ ද?
කිවිඳියගේ බොහෝ නිර්මාණ තුළ බහුල වශයෙන් සංකේත සහ රූපකාර භාවිත කොට ඇත. ‘මල් මතක’ නම් නිර්මාණයේ ද මෙය දක්නට ඇත. මෙම නිර්මාණයේ ඉදිරිපත් කරන්නා කථකයෙක් ද කථකාවියක් ද යන්න පළමු පද්‍ය පන්තියෙන් එක පැහැර පැහැදිලි නොවේ.
මලක් පලඳනු තරම්
නොවටිනා වූ ම’හිත
කඩු කිණිසි අතට දී
සැහැසි කර වු ම’ගත
පිටුව 23
යන සිව්පදයෙන් වඩාත් ගම්‍ය වන්නේ එය ඉදිරිපත් කරන්නා කථකයකුබව යි. මන්ද කාන්තා පාර්ශවය කඩු කිණිසි අත දරන්නේ කලාතුරකිනි. එහෙත් මේ කථකයකු නොව කථකාවියක් බව හැඟෙන්නේ නිර්මාණයේ තෙවන පද්‍ය පන්තිය ඇසුරේ දී ය.
නා ලියක් නොවු මුත්
ලෝ ලියක් වූ පිනෙන
යළිත් දෙපයින් නැගිට
මම සොයමි මම ගාව
පද්‍ය පන්තියට යොදා ඇති අක්ෂර අනුව ‘නා ලිය’ යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ‘ඇතින්න’ යන්න ය. සිව් පදයම එක මිටට කැටි කොට ගත් විට මෙය වඩාත් ගම්‍ය වන්නේ ය. මන් ද ඊළඟ පදයේ කිවිඳය ‘ලෝ ලියක්’ යනුවෙන් යොදා ඇත. ‘ලෝල’ යනු ‘ආශාව’ යි. කැමැත්ත යි. එසේ නම් ‘ලෝ ලියක්’ යනුවෙන් කිවිඳිය අදහස් කරන්නට ඇත්තේ ‘ආශා ඇත්තිය’ විය හැකි ය. එවිට නිර්මාණයට පාදක වන්නේ කථකාවියක් බව විශද කෙරේ. ඇය ඇයව සොයන්නේ ඇය අසල ම ය.
කථකාවිගේ හෘද සන්තාපය ගම්‍ය කරනු වස් කිවිඳිය යොදාගන්නා රූපක ද, ව්‍යංගාර්ථයන් ද මනහරය.
පරව ගිය නැතක් මල්
පුදසුනෙන් විසි කරමි
නෙතග තුටු කඳුළු ගෙන
හද මලට පැන් ඉසිමි
පර වී ගිය මල් විශාල තොගයක් වුව පුදසුනේ තබාගෙන ඇති ඵලය කිම? එහෙයින් ඇය ඒ සියලු මල් විසි කර දමන්නී ය. වේදනාවෙන් දැවෙන හදවත නිවා සනහා ලන්නේ ඇගේ ම නෙතඟින් උනන කදුළු බිඳුවලිනි.
අපුල යැයි කිවු හද
සෙනෙහසින් පොබ කරමි
මල්කමින් පෙම ගොතා
සුවඳ දිවියට කවමි
මින් හැඟෙන්නේ ඇය කලින් ප්‍රතික්ෂේප කළ හදවතකට ළංවන්නට දරන තැතකි. ‘සෙනෙහසින් පොබ කරමි’ යන්නෙන් හැඟෙන්නේ නිද්‍රාශීලිව තිබු සිත යළි අවදි කරවන බව යි. ඇය එකී පෙම යළි අවදිකරවන්නට ප්‍රේමය මල්මාලාවක් ලෙස ගොතා එම මල්වල සුවද ජීවිතයට කාවද්දන්ට තැත් දරන්නී ය.
මේ මොහොත වන විට ඇය පරාජිත ප්‍රේමය සිතින් ඉවත දා හමාර ය. මේ ඇගේ අනාගත බලාපොරොත්තුව යි.
හද කොනිති ලූ සමය
තුරු මුල්හි පස් කරමි
මල් ඉහෙන වසන්තය
ළඟ නතර කරගනිමි
පසුගිය අතීත සිදුවීම් සියල්ල ඒ අතීතයට ම උරුම වන්නට ඉඩ දී එලඹ ඇති යෞවනය ළඟ නතර වන්නට ඇය අධිෂ්ඨාන කරන්නී ය.
මෙම නිර්මාණයේ බරසාරත්වයක් නොපැවතිය ද පරාජිත ප්‍රේමවන්තියකගේ සිතිවිලි දාමයන් අපුරු උපමා උපමේය ආශ්‍රයෙන් පාඨක මනස තුළට කාවද්දන්නට කිවිඳිය දක්වන සමත්කම අගය කළ යුතු ය. සමස්ත නිර්මාණය පුරාවට ම ඇය කිසිවක් ඍජුව නොපවසන්නී ය. එහෙත් පරාජිත ප්‍රේමවන්තිය ගේ ළසෝ ගීතය මෙම නිර්මාණය කෙරෙන් මැනවින් ප්‍රකට කෙරේ.
අකමැත්තෙන් වුව සිය නාරි දේහය අලෙවි කොට දිවි සැරිකරගන්නා කාන්තාවන් (ගණිකාවන්) පිළිබඳ කොතෙකුත් කව් ගී ලියවී ඇත්ද? එය ඉතා විශාල ප්‍රමාණයක් බව කව් ගි රස විඳින ඔබට රහසක් නොවේ. මේ සියලු නිර්මාණ පරයා යන නිර්මාණයක් උපෙකලා සිය ‘‘සංක්‍රාන්තියක සැණකෙළි’’ කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කොට ඇත.
‘‘විවරණ’’ නම් වු එම නිර්මාණය දෙස අවධානය යොමු කරමු.
ගැහැණියක් මම
හැකි තරම් දුර බලන
ළඟ බලන පිරිමින්ට
මුහුළ අතුරා මඩෙහි
බුදුවන්ට මාවත් තනන
නොසෙල්වී
කඳුළුත් සලන
පිටුව 28
කිවිදියගේ ව්‍යංගාර්ථ යෙදුම් කෙතරම් භාව පූර්ණ ද? ‘ගැහැණියක් මම හැකි තරම් දුර බලන’ කථකාවිය සිය ජිවිතය පවත්වාගෙන යාම සදහා යෙදෙන අරගලය මින් විද්‍යාමාන නොවන්නේ ද? ගණිකාවකගේ පහස ලබන පිරිමියා සැබැවින් ම දුරදිග බලන්නකු නොව ළග ළඟ ම බලන්නෙකි. එවන් පිරිමින්ට මඩෙහි මල් අතුරන්නේ ඇය යි. ඒ කුමක් සඳහා ද? ස්ත්‍රී පහස බුදුබව ලැබුවාටත් වඩා අගනේ යැයි සිතන පිරිමින් සනසාලනු පිණිස ය. එහෙත් ඇගේ වේදනාව කෙතරම් ද යන්න කිවිදිය පවසන්නේ ඉතා සියුම් වදන් වැලකිනි. ‘නොසෙල් වී කදුළුත් සලන’ කිසිඳු හැඟීමකින් තොරව පිරිමියා සතපන ගණිකාව සැබැවින් ම ගතින් නොසැලී මනසින් කෙතරම් කඳුළු වගුරනු ඇත්ද?
කිවිඳිය ගණිකාවකගේ හැඟීම් අනාවරණය කරන්නේ පද සතකිනි. නමුදු එය රමණීය අයුරින් ඉදිරිපත් කරන්නට ඇගේ කවිකාරකම මැනවින් උපස්ථම්භක කොට ගෙන ඇත.
මේ කිවිඳියගේ තවත් අගනා නිර්මාණයකි. මෙය නම් කොට ඇත්තේ ‘රන් තලිය’ යනුවෙනි.
දවසක
හමස් පෙට්ටියකට ඔබා
දුමට විසිකළ
‘අකුරු හතර’
මහිත රවටා
රට්ටු සනසන්න
බාල බඩු ඉල්ලා
නොපාමි
‘සේරිවානිජලාට’,
‘කච්චපුට...’
නුඹ තවම පමා නැත
පිටුව 30
සැබැවින් ම කිවිඳිය මෙම නිර්මාණය හරහා සාකච්ඡාවට බඳුන් කරන්නේ සේරිවාණිජ ජාතකය ද? නැත... එසේනම් එදා සිටි කච්ඡපුට නම් වූ බෝධිසත්වයන් පිළිබඳව ද? නැත... ඇය මේ ඉදිරියට රැගෙන එන්නේ ගැහැනිය බාල භාණ්ඩයක් ලෙස නම් කොට ඇයට සමාජයේ අඩු වටිනාකමක් ලබා දී මිල දී ගැනීමට සැරසෙන පිරිමින්ට එරෙහි විවේචනය යි.
කිවිදිය මෙහි දී ‘ආදරය’ නමැති වදන සඟවන්නී ය. ඇය ඒ වෙනුවට ‘අකුරු සතර’ යනුවෙන් යොදන්නී ය. මේ කථකාවිය ද ආදරයෙන් පරාජිත තැනැත්තියකි. එකී පරාජයේ වේදනාව කෙතෙක් ද යත් ඇය ‘ආදරය’ නමැති අකුරු හතර සිය ජීවිතයෙන් ම ඉවත් කොට ඇත. ඇගේ අත පතා එන, දෑවැදි බලාපොරොත්තු වන පිරිමින් කෙරෙහි ඇය දක්වන විරෝධය කෙතරම් ද යන්න මෙහි ව්‍යංගාර්ථයෙන් දක්වා ඇත. එහෙත් ගැහැනියගේ සැබෑ වටිනාකම හඳුනාගත්, ගැහැනියට සැබැ ලෙස ගරු කරන පිරිමියකු ඇගේ අත පතා එන්නේ නම් ඈ එබඳු පිරිමියකු පැමිණෙන තෙක් මග බලා සිටින්නී ය. ‘කච්චපුට... නුඹ තවම පමා නැත’ යනුවෙන් ඇය ඉඟි කරන්නේ එය යි.
කලින් සදහන් කළ පරිදි ම කිවිඳිය බොහෝ නිර්මාණ සදහා මෙබඳු සංකේත, උපමා, උපමේය බහුලව භාවිත කොට ඇත. සැබැවින් ම කවිය යනු ඍජු ප්‍රකාශ නොව මෙබඳු භාවපූර්ණ ව්‍යංගාර්ථවලින් සමන්විත පබැඳුම් බව යළි යළිත් සිහිපත් කළ යුතු ය. කිවිඳියගේ දෙවන නිර්මාණ සංග්‍රහය වුව ද මෙම නිර්මාණ සමුච්ඡය ඉතා ඉදිරිගාමි පියවරක් බව වෙසෙසින් ම සිහිපත් කළ යුතු ය.
මා සිත් ගත්, මගේ වින්දනයේ උපරිමත්වයට පත් නිර්මාණ සියල්ල විවරණය කිරීමට ඉඩ කඩ මඳ බැවින්: ‘‘කිසා’’, ‘‘දුෂ්මන්ත’’, ‘‘පැල්ම’’, ‘‘කටු’’, ‘‘පැරණි’’, ‘‘නම්’’, ‘‘නියඟ’’, ‘‘පාරමී’’, ‘‘අස්ථි’’, ‘‘රෑ රූ’’, ‘‘යාදිනි’’, ‘‘සෙල්’’, ‘‘නුබ’’, ‘‘ධරණි’’, ‘‘නික්මන’’, ‘‘පිපීම’’, ‘‘එළි’’ නමැති නිර්මාණ ද උසස් වින්දනයෙන් යුත් නිර්මාණ බව පසක් කරන්නට කැමැත්තෙමි.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.