සිංහලය ලොව පවත්නා ඕනෑම සමාජ අභියෝගයක් ජය ගත හැකි සුඛනම්‍ය භාෂාවකි. අප මවු බසටම ආවේණික වූ නිෂ්පන්න වදන්වලින් ද පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි වැනි අවසෙස් භාෂාවලින් එක්වූ තත්සම, තත්භව වදන්වලින් ද සිංහල බස සමලකෘත විය. වත්මනෙහි ලොව ව්‍යවහාර වන තුන් දහසක් පමණ වූ භාෂා ඒවාහි ප්‍රභවය හා ඓතිහාසික සම්බන්ධතා අනුව තවදුරටත් එකිනෙකට තුලනය කළ නොහැකි භාෂා පවුල් 35 කට වර්ගීකරණය කොට ඇත. මින් සිංහලය ඉන්දු - යුරෝපීය භාෂා පවුලට අයත් වේ. සිංහල ඇතුළු දීර්ඝ සාහිත්යික සම්ප්‍රදායක් සහිත භාෂාවල වැදගත් ව්‍යවහාරමය ප්‍රභේදයක් දක්නා ලැබේ. එනම් සාම්ප්‍රදායික ඡේක ප්‍රයෝගානුකූල භාෂා ව්‍යවහාරය හා සමකාලීන සාමාන්‍ය ජන ප්‍රයෝගානුකූල භාෂා ව්‍යවහාරයයි.
මින් පළමුවැන්න සාහිත්‍ය කෘති නිර්මාණය හා ලේඛනය සඳහාත් දෙවැන්න දෛනික කතා බහ සඳහාත් යොදා ගනු ලබන හෙයින් පළමුවැන්නට ලිඛිත ව්‍යවහාරය යැයිද දෙවැන්නට කථිත ව්‍යවහාරය යැයිද කියනු ලැබේ. මෙලෙස සිංහලයෙහි මෙන්ම තවත් භාෂා සමහරක ද ප්‍රකට ලෙස දක්නා ලැබෙන ද්වි ප්‍රකාර වූ වෙනස “භාෂා ද්විරූපතාව” (Diglossia) ලෙස සමාජ වාග් විද්‍යාඥයෝ හඳුන්වති.
1962 දී පළ වූ බ්රිටැනිකා විශ්වකෝෂයට අනුව භාෂාව නිර්වචනය කොට ඇත්තේ මෙලෙසිනි. “භාෂාවක් නම් මිනිසුන්, සමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘතියක කොටස්කරුවන් ද වශයෙන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරිතා හා සන්නිවේදනය සඳහා භාවිත කෙරෙන සම්මුතික එනම් අර්පිතාර්ථක වාග් සංකේත පද්ධතියකි. භාෂා යන සිංහල වචනයෙහි අරුත කිම? මෙය “ව්‍යක්ත වචන” යන අර්ථයෙහි යෙදෙන භාෂ් ධාතුවෙන් (ක්‍රියා මූලයෙන්) නිපන් කෘදන්ත නාමයකි. මෙහි “ව්‍යක්ත” යන්නෙන් “ස්වර - ව්‍යංජන වශයෙන් සුපැහැදිලි ශබ්ද සහිත වූ” යන අරුත නැංවේ. එනම් භාෂා යනු ව්‍යක්ත ලෙස කථා කිරීමය.
භාෂාවන්හී වචනවල අර්ථ කලින් කල වෙනස්කම්වලට ලක්වේ. සිංහල බසට ද මෙය පොදු ධර්මතාවකි. අනෙක් අතට තත්කාලීනව පැන නැඟෙන අභියෝගවලට මුහුණ දිය හැකි ලෙස සුඛනම්‍ය වීම සිංහලය වැනි ජීව භාෂාවකට අවැසිය. එදා සිදත් සඟරාවෙහි දක්නට ලැබුණු “වහරනු සෙරෙන් සපයා” යන කියුම මෙහිදී වැදගත් වේ. එනම් සිංහල බස කාලානුරූපව වෙනස් විය යුත්තේ එදිනෙදා පොදු ජන ව්‍යවහාරයෙන් උකහා ගෙන, සරු නිසරු තැන් කිරා මැන බලා එය සකස් කරන්නාවූ ෙඡ්ක ප්‍රයෝගවලට අනුකූලවය. මෙහිදී ඒ සඳහා මෙරට සියලු භාෂා පඬිවරු පෙරමුණ ගත යුත්තාහ.
සිංහල භාෂාවෙහි අර්ථ විචාරයෙන් (semantics) කලින් කල භාෂාවෙහි සිදු වූ වෙනස්කම් අවබෝධ කොට ගත හැකි වේ. වචනවල පෙර පැවැති වෙසෙස් අරුත් පසුකාලයේ පුළුල් වන අවස්ථා මෙහිදී හඳුනා ගත හැකිය. “මහතා” යන වචනය අද ඕනෑම පිරිමියකුට ව්‍යවහාර කිරීමට කිසිදු බාධාවක් නොමැත. එහෙත් “මහතා” යන වාගුක්තිය පළමුවෙන්ම ව්‍යවහාර කෙරුණේ බුදුන් වහන්සේ උදෙසාය. “මුනි මහතා” යන වචනය බුදුරදුන්ට ව්‍යවහාර කළ බව වෑත්තෑවේ හිමියන්ගේ “ගුත්තිලය” කාව්‍යයෙන් සනාථ වේ.
මහතා යනු මහා ආත්මයක් ඇත්තාය. මොහාන්දාස් ගාන්ධිගේ නමට “මහාත්මා” යන වචනය එකතු වූයේ ද මහා ආත්මයක් ඇත්තා යන අර්ථයෙනි. එහෙත් ඒ යෙදුම හින්දි භාෂාවට එක්වූයේ හින්දු ආගමේ ආත්ම වාදයෙන් යැයි මම සිතමි. එදා විශේෂ යුග පුරුෂයන්ට භාවිත කළ “මහතා” යන වචනය වත්මනෙහි පොදුවේ පිරිමින් උදෙසා භාවිත කෙරේ. ඒ අනුව යමින් විවාහක කාන්තාවන් “මහත්මිය” බවට පත් වේ. “මහතා” සඳහා භාවිත කෙරෙන ඉංගිරිසි යෙදුම “Gentleman” ය. Gentle යන්නෙන් විනීත බව, සංවර බව හැඟවේ.
“ගවේෂණය” යන සකුවෙන් සිංහලයට පිවිසි (ගව + ඒෂණ) වචනයහි එදා අරුත ගවයන් සෙවීමය. (search for cattle) අතීතයේ ආර්යයන්ගේ උතුම්ම සම්පතක් ලෙස ගවයන් සැලකිණ. ඒ ගවයන් කුමන හේතුවක් නිසා හෝ නැති වූ විට සෙවීමට භාවිත වූ ගවේෂණය යන වචනය අද ඕනෑම දෙයක් සෙවීම උදෙසා ව්‍යවහාර කෙරේ. අතීතයේ “දියත් කරනවා” යන්නෙහි මුල් අරුත වූයේ ඕනෑම දෙයක් ජලයට දැමීමය. එදා එක් දෙයකට පැවැති ඒ සීමිත අරුත අද ප්‍රබල වී ඇත. වත්මනෙහි ඉන් හැඟවෙනුයේ අනේකවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමය.
“Dove” යන ඉංග්‍රීසි යෙදුම එදා ව්‍යවහාර වූයේ කුඩා පරෙවියන්ටය. අද ලොකු කුඩා සියලු පරෙවියන් හඳුන්වනු පිණිස එය ව්‍යවහාර කෙරේ. “pigeon” යන වචනය ද එහිලා බහුලව භාවිත වේ.
විශාල අර්ථයක් දෙන යෙදුමක අරුත කලකදී හීනවන්නට පිළිවන. “මෘගේන්ද්‍ර” යන යෙදුම මීට දෘෂ්ටාන්ත වේ. මෘග + ඉන්ද්‍ර යනු සතුන්ගේ රජ්ජුරුවෝ යන අරුත නංවමින් එදා සිංහයාට ව්‍යවහාර කෙරිණ. පසුව මෙය සත්ව ලෝකයේ අහිංසක සත්වයකු වූ මුවා උදෙසා “මෘග” යන පදය භාවිත විය. මේ සකු වදන පාලියෙහි “මිග” බවට පත්වූ අතර බුදුන්වහන්සේ මංගල ධර්මය දේශනා කළ බරණැස ඉසිපතනය මිගදායක් වූයේ මුවන්ගෙන් එය ගහණය වූ බැවිනි.
පළමුව සතියට දවස් හතක් තිබෙන බව පොදු සම්මතය විය. පසුව සතියේ දිනවලින් සෙනසුරාදා, ඉරිදා ඉවත් වී ඒවා සති අන්තය ලෙස සැලැකීමට හුරු විය. ඒ අනුව සතියට දින 5 කි. ඉංග්‍රීසියෙන් “Working days” ලෙස මෙය හැඳින්විණ. අපි සෑමදෙනාම කවර හෝ ආගමක අනුගාමිකයන් වන්නෙමු. බෞද්ධාගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම යනාදී වශයෙන් පොදුවේ සියල්ලම “ආගම” යන යෙදුමෙන් නියෝජනය වේ. “ආගම” යන වචනය සෑදෙන්නේ ‘ආ’ යන උපසර්ගය පූර්වයෙන් යෙදි “ගම්” යන ධාතුවෙනි. ‘ආ’ යන්නෙන් “වෙතට’ ද “ගම්” යන්නෙන් “ගමන් කිරීම්” හැඟවේ. ඒ අනුව ආගම යනු වෙතට ගමන් කිරීමය. එනම් පිටතට නොව තම අභ්‍යන්තරයට ගමන් කිරීම මින් හැඟවේ. “ආගම” යන වදන සෑම ආගමකටම පොදු වුවත් ව්‍යවහාරය අනුව අසවලා “ආගමේ” යැයි කී විට එහි අරුත පොදු බවෙන් මිදී සුවිශේෂ වේ. එනම් ඉන් හැඟවෙන්නේ ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමිකයා ය.
ඉංග්‍රීසියෙහි Man යන යෙදුම අර්ථ ද්වයකින් භාවිත වන බැව් පෙනේ. “Study of Man” යැයි කී විට “Man” යන වචනය ව්‍යවහාර කරනුයේ පුරුෂයා හා ස්ත්‍රිය යන දෙදෙනාම හඳුන්වන පොදු වදනක් ලෙසිනි. එහෙත් බොහෝවිට “Man” යන්නෙන් හඳුන්වනුයේ පුරුෂයා පමණකි. මෙහිදී සිදුවනුයේ අර්ථය පටුවීමකි. විශේෂ වචන වරෙක පොදු ස්වරූපයෙනුත් පොදු වචන වරෙක විශේෂ ස්වරූපයෙනුත් භාවිත වන අයුරු දැක්ක හැකිය. ඇතැම්විට වචනයක අරුත බසකින් බසකට වෙනස් වේ. “යෝධ” යන පාලි වදනෙහි අරුත සෙබළා, සොල්දාදුවා යන්නය.
වැදගත් සෙබළුන් දහදෙනෙකු ගැන මහාවංශයෙහි දක්නා ලැබේ. ඔවුන්ගේ වැඩ දිහා බැලූ විට ඒවා යෝධ වැඩ වූ හෙයින් “දස මහා යෝධයන්” ලෙස පසුව ව්‍යවහාර කෙරිණ. විශාල ජනකායක් පිරී ඉතිරී තිබෙන රැස්වීමකට “යෝධ රැස්වීම” යැයි කියනු ලැබේ. “යෝදයා”, “යෝදි” ඈ වදන් අපට කථා ව්‍යවහාරයේදී හමුවේ. “ගෑස්” මිල අඩුකිරීම මහජනතාවට සහනයකි. එහෙත් කාගේ හෝ “ගෑස්” බැලීමට සිදුවුවහොත්? එය අරුත් වෙනස්වීමකි. “අයිස්” කැට දමා වතුර වීදුරුවක් බිව්වාක් මෙන් නොව සේවකයන් “අයිස්” ගැහීම ආයතනයකට සුබ නැත.
බෞද්ධ දර්ශනයේ කර්ම සංකල්පය කුසල් හා අකුසල් දෙකටම පොදු වූවකි. එහෙත් පොදු ජන ව්‍යවහාරය අනුව ජනතාවට විපතක් සිදුවූ විට “මේ අපේ කරුමය” යැයි ඔවුහු කියති. එහෙත් ඔවුන්ට යම් වරප්‍රසාදයක්, වාසියක්, වාසනාවක් උදා වූ කල එසේ නොකියන්නේ මන්ද? සංස්කෘත භාෂාවෙහි කර්මය යන වදනෙන් “කර්මාන්තය” යන අරුත නංවයි. කෘෂි කර්මය මීට නිදසුනකි.
“Dinner” යන ඉංගිරිසි වචනයෙහි අරුත ඉංග්‍රීසි ශබ්දකෝෂවල අර්ථ දක්වා ඇත්තේ දවසේ ප්‍රධාන ආහාර වේල ලෙසිනි. (Main meal of the day) මෙරට පොදු ජන විඥානයේ තැන්පත් ව ඇත්තේ උදේ ආහාරය රජකු සේ ද දිවා ආහාරය කුමාරයකු සේ ද රාත්‍රී ආහාරය යාචකයකු සේ ද ගත යුතු බවය. ඒ කෙසේ වෙතත් “Dinner” යන ඉංගිරිසි යෙදුම අප ව්‍යවහාර කරනුයේ රාත්‍රී ආහාර වේල සඳහා පමණකි. “Line” යන ඉංග්‍රීසි වචනයෙහි අරුත් ගණනාවක් මෙරට පොදු ජන ව්‍යවහාරයේ පවතී. දුරකථන රැහැන (Telephone line) ඉන් එකකි. වතු කම්කරුවෝ “Line” (පේළි) ගෙවල්වල වාසය කරති. කොල්ලා කෙල්ල හට “Line” දාන අවස්ථාද (හාද කර ගැනීමට දරන ප්‍රයත්නය) අප කොතෙකුත් දැක තිබේ. එකම බසක වුවත් අරුත් කලින් කල වෙනස් වේ. නොපිපුණු මල්වලට අපි “කැකුළු” යැයි කියමු. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ “කව්‍යශේඛරය” හි දක්නා ලැබෙන “දත් කැකුළු පාලා” යන්නෙන් හැඟෙනුයේ කුඩා දත්ය.
නව යොවුන් වියේ පසුවන්නන් “කැකුළා”, “කැකුළිය” ලෙස වැදි බසෙහි දැක්වේ. එහෙත් චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යයෙහි “කැකුළු” යන්න “කර්කෂ” “දරුණු” යන අරුත් නංවයි. ගුරුළුගෝමීන්ගේ “අමාවතුර” හී එන “කැකුළු බල්ලන්” මීට දෘෂ්ටාන්ත වේ. අතීතයේ “ගඳ” (ගන්ධය) යන්න ව්‍යවහාර කළේ නාසයට දැනෙන ප්‍රසන්න වින්දනයටය. “වන්දාමි සඟරුවන් මලින් ගඳින් (සුවඳින්) බැතින් සදා” යන ගීතයෙහි (ආචාර්ය අජන්තා රණසිංහ ලීවේ) එය ඇතුළත් වූයේ ඒ අරුතෙනි. “ගඳ කිළිය” යනු බුදුන් වහන්සේ වැඩ වාසය කළ සුගන්ධ කුටිය වේ. නාසයට දැනෙන අප්‍රසන්න වින්දනයට අපි අද “ගඳ” යැයි වහරන්නෙමු. අතීතයේ “සුඟ” කීවේ (ඉඟ සුඟ ගත හැකි මිටින) කුඩා යන අරුත නැංවීමටය. අද හුඟක් යනු ගොඩකි. අවවාද අනුශාසනා යන වචන අද එකම අරුතකින් ව්‍යවහාර කෙරේ. එහෙත් එදා එසේ නොවේ. අවවාද (ඔවා) යනු ධම්පියා අටුවා ගැටපදයට අනුව වරදක් සිදු වූ විට නැවත එය නොකරන්නැයි පැවසීමය. (දුටුවරද වළකනු නොදුටු වරදෙහි හික්මවු) අනුශාසනා යනු යම් වරදක් සිදුවීමට පෙර එය නොකරන ලෙස පූර්වයෙහිම උපදෙස් දීම ය. “සිරිත් විරිත්” අද එකම අරුතකින් ව්‍යවහාර කෙරේ.
එදා සිරිත් (චාරිත්‍ර) යනු යමක් පිළිපැදීමෙන් සිදු කරන ක්‍රියාවකි. විරිත් (වාරිත්‍ර) යනු නොපිළිපැදීමෙන් සිදු කරන්නකි. “යක්ෂ” යනු දුරාතීතයේ මෙරට සිටි ගෝත්‍රයකි. ජනතාවට විවිධ උපද්‍රව ඇති කරන පියවි ඇසට නොපෙනෙන සත්ව කොටසට අපි “යකුන්” යැයි කියමු. එහෙත් එදිනෙදා ව්‍යවහාරයේදී හිතවත්කමටත් නින්දා කිරීමටත් “ඔය යකා” යනුවෙන් වහරනු පෙනේ. දෙවියන් යනු බොහෝ දෙනා අදහන පියවි ඇසට නොපෙනෙන සත්ව කොටසකි. එහෙත් උඩරට ඇතැම්විට බිරිය සැමියාට “දෙවියා” කියනු අසන්නට ලැබේ. “තෙල්” යන්න සකුවේ “තෛල” ලෙස හැඳින්වේ. දෙමළ බසෙහි එය “තෛලම්” ය. එදා තෛල වූයේ තලවලින් ගන්නා දේ පමණි. ඒ අනුව නම් “තල තෙල්” යනුවෙන් කිව යුතු නැත. එහෙත් අද ඕනෑම දෙයකින් ගන්නා දේට “තෙල්” යැයි ව්‍යවහාර කෙරේ. මේ අතර සමහරුන්ගේ “තෙල” වැඩිවෙලාය. ඇතැම්හු “තෙල්” බෙදති. “සුදු” යනු පැහැයකි. එහෙත් පෙම් කරද්දි කළු පැහැති අයට සමහරු “සුදු” කියත්. “අතවර” යන්න එදා අත්උදව්කරනවා යන අරුතෙන් ව්‍යවහාර කෙරිණ.
එහෙත් ඒ අරුතෙන් අද “මා ඔබට අතවර කරන්නදැයි” කොල්ලෙක් කෙල්ලකගෙන් ඇසුවොත් කුමක් වේද? එදා “පවුල” අයිති වූයේ පන්සලටය. පාලියෙහි “පසුල්” (පාංශු කූලය) පසුව “පහුල්” වී ඉක්බිති “පවුල්” විය. බුත්සරණෙහි “රත් පහුල් පෙරවා” යන්නෙහි “පහුල්” යනු සිවුර වේ. (චීවරය) ඒ අනුව පවුල අයිති පන්සලටය. එහෙත් අද අපි අපේ ලේ හා විවාහ ඥාතීන්ට “පවුල” යැයි කියමු. එහෙත් මේ මගේ “පවුල” කියා බිරිය පමණක් හඳුන්වා දෙන අවස්ථා ද ඇත. “ඔහු” යන්න පැරැණි සිංහලයේ බහු වචනයකි. “ඔහු ගොවියෝය” යන වැකි අමාවතුරෙන්, බුත්සරණෙන් හමුවේ. එහෙත් අද ඒක වචනය. පැරැණි සිංහලයේ “කෙනෙක්” යනු සමූහයක් හැඟවූ නිත්‍ය බහුවචනයකි. එහෙත් අද මෙය (නෑ කෙනෙක්) ඒක වචනයක් සේ සැලකේ. “තෝ”, “තට”, “තා” එදා ගෞරවාර්ථයෙහි යෙදිණ. “තාගේ සිසිල” යනුවෙන් රාහුල හිමි තම පියාට කීවේ එහෙයිනි. එහෙත් අද මෙය කථා ව්‍යවහාරයෙහි භාවිත කෙරෙනුයේ එක්කෝ කාට හෝ අවමන් කිරීමටය; නැත්නම් වැඩි යාළුකමටය.
“කෞතුකාගාරය” යන්නෙහි මුල් අරුත අනුව එය මධුසමය ගත කරන ස්ථානය වේ. අද කෞතුකාගාරයෙහි ඊට ඉඩක් නැත. මුල් අරුතෙන් “කුලපති” නීත්‍යනුකූල සැමියා නම් “උපකුලපති” කිසියම් ස්ත්‍රියකගේ සොර සැමියා ය. අද උප කුලපතිවරුන් අතරෙහිත් සොර සැමියන් සිටිය හැකි නමුත් මේ වදන් දෙකම විශ්වවිද්‍යාලවල ඉහළම පරිපාලන ධුර හොබවන ශාස්ත්‍රවන්තයන් උදෙසා භාවිත කෙරේ. “වියත් ගණ නායක”, “උප වියත් ගණ නායක” යන යෙදුම් එදා වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියෝ මේ උදෙසා යෝජනා කළහ. ස්ත්‍රීන් විෂයෙහි අවිනීත ලෙස හැසිරෙන සාහසික ක්‍රියාවල නිරත වන අය “සල්ලාලයන්”, “වනචරයන්” ලෙස අද කවුරුත් හඳුන්වති. එහෙත් මේ යෙදුම්වල මුල් අරුත් මීට හාත්පසින්ම වෙනස්ය. සල්ලාල යනු සෑම අතින්ම යහපත් ලෙස නැළවීමය; සැනසීමය. (සම් උපසර්ගය + ලල් ධාතුව) “මාතා දාරකං ලාලයති” යන සකු වැකියේ සිංහල අරුත “මව දරුවා නලවයි’ යන්නය. “Lull” යන ඉංග්‍රීසි වචනයෙහි අරුත ද නැළවීමය. එය සකුවෙන් ඉංග්‍රීසියට හෝ ඉංග්‍රීසියෙන් සකුවට හෝ එක්වන්නට ඇතැයි මම සිතමි. “වනචර” යනු වනයෙහි හැසිරෙන්නාය. (වනෙ චරතීති වනචරඃ)
“බස උපදින්නේ පොදු ජනයා අතරෙහි ය; එහෙත් එය විධිමත්ව සකස් කරන්නේ උගතුන්, වියරණ ඇදුරන් විසිනි” යනු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කියුමකි. ජීව භාෂාවක් කලින් කල වෙනස් විය යුතුය; එහෙත් එහි සාධනීය, නිෂේධනීය තැන් කිරා මැන බලා ව්‍යාකරණානුකූලවත්, ශිෂ්ට සම්පන්නවත්, විධිමත්වත් එය සැකසීම ඡේක ජනයා සතු වගකීමකි. බ්‍රිතාන්‍යයේ “purist” ගුරුකුලය සේ අන්තවාදී භාෂා ප්‍රතිපත්තියක සිට එහි වැඩීමට නීති රීති පනවන්නන් මෙරට ද අප දැක තිබේ. ජීව බසක කාලානුරූපව වැඩීමට අකුල් හෙළන්නන් මහාචාර්ය ජේ.බී. දිසානායකයන් වරක් උපහාසයෙන් හැඳින්වූයේ තම බිරියගේ කන්‍යාභාවය රකින්නන් ලෙසිනි. බිරියගේ රැකිය යුත්තේ පතිවෘත්තාව මිස කන්‍යාභාවය නොවේ.
එහෙත් කාලානුරූපව වෙනස් වූ, කිසියම් ආගමකට අයිති ඇතැම් වචන අප පොදු සම්මතයෙන් බැහැර කළ යුතු යැයි මම සිතමි. “අරහං” යනු නව අරහාදී බුදු ගුණයකි. රහසින්වත් පව් නොකරන බුදු ගුණය ඉන් හැඟවේ. පසුව මීට වෙනස් පහත් අරුතක් පොදු ජන වහරට එක්විය. කිසියම් කෙනකු අපට රුචි නොකරයි නම් “අසවලා මට අරහං” යැයි කීම එක් නිදසුනකි. අපට හොඳ යහළුවන් සිටිය හැකිය. එහෙත් “බුදු ෆිට්” අය සිටින්නට බැරිය. පතිවෘත්තාවට අධිපතිනිය වූ බෞද්ධ, හින්දු ආගමිකයන් එක සේ පුදන පත්තිනි දෙවඟනගේ නාමය පොදු ජන ව්‍යවහාරයේදී පහත් අර්ථයකින් වරෙක භාවිත වේ. වැරදි ක්‍රියා රහසින් කරන ගැහැනියක් සමාජයේ හොඳ තැනැත්තියක ලෙස පෙනී සිටින විට “අපෝ අපි නොදන්නා පත්තිනි අම්මා” යැයි ඇතැම්හු කියති. කිතුනු බැතිමතුන්ට “කොන්තය” යනු කුරුසය සහිත පාරිශුද්ධ නවගුණවැලකි. එය “කොන්ත නෝනගේ කොන්තේ කොන්ත නෝනාට ඕනෑ විදිහටයි” යනුවෙන් ගීතවලින් විකෘති වීමට අපි විරුද්ධ විය යුතු වෙමු.
අද කපටි මිනිසුන් හැඳින්වීමට භාවිත කරන “ජෝනා” යනු කවුරුන්ද? ශුද්ධ බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ අණ පිළිපදිනු ලැබූ තැනැත්තාය. බස වෙනස්වන්නේ යැයි කියා මෙකී උසස් ආගමික අරුත් විකෘති කිරීමට අපි ඉඩ දිය යුතු ද? අද ව්‍යවහාරයේ තිබෙන මෙකී පහත් අරුත් මුළුමනින්ම බැහැර කොට එහි නියම උත්තරීතර ආගමික අර්ථ “අරහං”, “පත්තිනි අම්මා”, “කොන්තය”, “ජෝනා” ආදී වදන්වලට අප යළි ලබාදිය යුතු යැයි මේ ලිපියෙන් මම ඉල්ලා සිටිමි. අප මවු බසෙහි එන “පොත් වහන්සේ” බඳු යෙදුමක් ලොව අන් කිසිම බසක තිබේද? Driver යනු රිය පදවන්නාය. එහෙත් මේ වෘත්තියට ගෞරවනීය වචනය ඇත්තේ සිංහල භාෂාවෙහිය. රිය + ඇදුරා = රියැදුරා එනම් රියට ඇදුරාණන්ය. අනෙක් අතට අනවශ්‍ය නීති රීති බසට නොපැනවීමද අපගේ යුතුකමකි.
එක් නිදසුනක් මේය. තරංගය (wave) හඟවන විට “තරඟ” යන්නද competition යන අරුත නංවන විට “තරගය” යන්නෙන් සඤ්ඤකය ‘ග’ යන්නට නොදා ලිවිය යුතු යැයි මතයක් පළ විය. සෝරත හිමියන්ගේ “ශ්‍රී සුමංගල ශබ්දකෝෂය” හි (පිට 393) ද මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ “ඉංග්‍රිසි - සිංහල මහා ශබ්දකෝෂය” හි (පිට 558) ද ඒ තරඟය ලියා ඇත්තේ සඤ්ඤකය ‘ග’ යන්නට යොදා ගෙනය. එහෙයින් “තරගය” ලෙසින් එය වෙනස් කොට ලිවීම අනවශ්‍ය රීතියකි.
බසක් ඉගෙනීමට වෙරදරන්නා එහි අරුත් නිරුත් දැන තම වාග් කෝෂය පෘථුල කොට ගැනීම අතිශයින් වැදගත් වේ. මෙහිදී මට මෑත භාගයේදී කරුණාරත්න අමරසිංහ සූරීන් පළ කළ උපහාසාත්මක එහෙත් රුවන් වැකියක් සිහිපත් වේ.
“අද මේ රටේ තරුණ පරපුරේ පිරිමි ළමයින්ට වෘෂණ කෝෂ තිබේ. ගැහැනු ළමයින්ට ඩිම්බ කෝෂ තිබේ. එහෙත් මේ දෙපිරිසටම නැත්තේ වාග් කෝෂයයි.”
ආචාර්ය නුවන් නයනජිත් කුමාර
silumina