නිලේන්ද්‍රගේ අලුත්ම තේරීම :ස්වර්ණා

Published in කලා
Friday, 11 July 2014 11:42

මවකගේ දැස්‌ ඉදිරියේදීම සන්නද්ධ පිරිසක්‌ ඇගේ එකම පුතා පැහැරගෙන යනවා නම්... ඇය එය කෙසේ ඉවසා දරා ගන්නද. පසුදා.. ඇයට දකින්නට ලැබෙන්නේ පෙරදා පැහැරගෙන ගිය පුතාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර නම්... මේ මවට එය වාවා ගත හැකිද....


වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මේ ඛේදජනක අත්දැකීමට මුහුණ දුන්නාය. 1990 පෙබරවාරි 18 දා ඇගේ එකම පුතා එවක ක්‍රියාත්මක වූ භීෂණය මධ්‍යයේ පැහැරගැනීමකට ලක්‌වූහ. වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ නිසල සිරුර පසුදා,. මොරටුව වෙරළ තීරයේදී හමුවිය.


ඔහු අපේම වෘත්තිය සගයෙකි. නළුවෙකි. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. හේ අන්කවරෙකු හෝ නොව රිචඩ් ද සොයිසාය.
රිචඩ්ගේ මරණයට වගකිවයුතු බලධාරීන්... ඔහුගේ ඝාතකයන්ට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දුන්නේ... යුක්‌තියක්‌ නීතියක්‌ පිළිබඳ අබමල් රේණුවක තරමින් හෝ තැකීමකින් තොරවය.


පුතුගේ ඝාතනයෙන් දැඩි සංවේගයට පත් මනෝරාණි... කඳුළු මතින් නැගී සිටියාය.
යුක්‌තිය ඉල්ලා සටන් කරන්නට ඇය තීරණය කළාය. පුතු වෙනුවෙන් පමණක්‌ම නොව රිචඩ් මෙන්ම පැහැරගෙන ගොස්‌ අතුරුදන් කළ දහසක්‌ තරුණ තරුණියන් වෙනුවෙන් හඬ අවදිකරන්නට ඇය නැගී සිටියාය. තම දූ පුතුන් නොමැති සොවින් පසුවන මවුවරුන්ට ඈ ශක්‌තිය ධෛර්යය ලබා දුන්නාය.
"පුතු නැතිවීම මවකට දැනෙන්නේ තමන් නැතිවූවාය යන හැඟීමකි. දුක හා බර උසුලන්නී කාන්තාවය. දරා ගැනීමේ ශක්‌තිය ඇත්තේද ඇයටමය".
මේ එදා මනෝරාණි සරවනමුත්තු දහසක්‌ මවුවරුන්ට දුන් උපදෙස්‌ය. ඈ බර දැරුවාය. පුතු නැති වීමේ දුක දරාගැනීමේ ශක්‌තියක්‌ ලබා ගත්තාය. මිය යන තුරුම ඕ යුක්‌තිය හා සාධාරණත්වය උදෙසා හඬ අවදි කළාය.


තම දරුවන් අතුරුදන්වීමේ දුක අද ද මවුවරු විඳිති. මේ අත්දැකීම හෙට දවසේද මවුවරුන්ට අත්විඳින්නට නොලැබෙනු ඇතැයි සහතිකයක්‌ දිය හැකිද... නැත. එය සහතික නැත. එනිසා එදා මනෝරාණි සරවනමුත්තු, රිචඩ් ද සොයිසාගේ මව හෙට දවසේද අපේ මවුවරුන්ට ශක්‌තියක්‌ වනු ඇත.
දොස්‌තර මනෝරාණි සරවනමුත්තුගේ කතාව අනාගතයටද පොදුය. ඒ කතාව සිනමාවට නැගෙන්නේ එවන් මවුවරුන්ට ශක්‌තියක්‌ ලබා දෙනු පිණිස නම්... එය කොතරම් වැදගත් වනු ඇත්ද.


'They Dance Alone' චිත්‍රපටයට තබා ඇති නම එදා සුද්දිලාගේ කතාව, අයෝමා, සිරිමැදුර සිනමාවට ගෙන ආ චිත්‍රපට නිෂ්පාදකයා බන්දුල ගුණවර්න (අද අධ්‍යාපන ඇමැති) මනෝරාණි සරවනමුත්තුගේ කතාව නිෂ්පාදනය කරයි.


ඔහු වසර දහනවයකට පසු චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරමින් යළි සිනමා කර්මාන්තයට පිවිසීම පුදුමයකි. සතුටකි.
නිලේන්ද්‍ර දේශප්‍රිය චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාය. සිය ප්‍රථම චිත්‍රපටය තන්හා රතී රඟා තිරගත වීමට මත්තෙන් දෙවැනි චිත්‍රපටය ලෙස මෙවන් කතාවක්‌ තෝරා ගැනීම ප්‍රශංසනීයය.
බන්දුල ගුණවර්ධන නිපදවූ සුද්දිලාගේ කතාව, අයෝමා චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ ස්‌වර්ණා මල්ලවආරච්චි වසර ගණනාවකට පසු යළි රංගනයට එක්‌වන්නීය. ඒ මනෝරාණි සරවනමුත්තු චරිතය සමගිනි. ස්‌වර්ණා මීට පෙර සුළු චරිතයක්‌ රඟපෑවාය. ඒ ද නිලේන්ද්‍රගේ තන්හා රතී රඟා චිත්‍රපටයේය.


'They Dance Alone' සංගීතය ගයාත්‍රි කේමදාස සහ අනූපා කේමදාසය. ඔවුන් ප්‍රවීණ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය.
'They Dance Alone' සුබ මුහුර්ථියෙන් පසුගියදා වැඩකටයුතු අරැඹිණි. රූගත කිරීම් සැප්තැම්බරයේදී ඇරැඹේ. සෙසු රංගන ශිල්පීන් මෙතෙක්‌ අවසන් වශයෙන් තෝරාගෙන නැත.


එදා බන්දුල ගුණවර්ධන නිපදවූ සිරිමැදුරේ සහාය අධ්‍යක්‍ෂවරයා වූයේද නිලේන්ද්‍ර දේශප්‍රියයි. නිලේන්ද්‍ර සිය දෙවැනි චිත්‍රපටය පිළිබඳ කතා කළේය.
මම මේ චිත්‍රපටයේ පිටපත ලියුවේ 1997 දී මනෝරාණි සරවනමුත්තු මහත්මිය ජීවත්ව ඉන්නා කාලයේදී මම එදා ලියුවේ ඉංග්‍රීසියෙන්. දැන් මේ පිටපත යළි සිංහලෙන් ලියනවා. එදා ජෝ සෙනෙවිරත්න සමඟ මේ පිටපත ලියූ මා අද නාමල් ජයසිංහ සමඟ පිටපත ලියනවා. රිචඩ් ද සොයිසාට වඩා මනෝරාණි කියන්නේ කවුද යන පණිවුඩය සමාජය වෙත ගෙන යා යුතුයි.


අපේ ජනසමාජය වසාගෙන තිබෙන භීෂණය කිසිම කෙනෙක්‌ නිර්මාණයක්‌ ඔස්‌සේ පුළුල්ව සාකච්ඡා කර නෑ. මතුපිට විතරයි අතපත ගා තිබෙන්නේ. අප මේ අත්දැකීම්වල පාර්ශ්වකරුවන් වූවා හැරෙන්නට ඒ පිළිබඳ කලා නිර්මාණයක්‌ ගැන හිතන්නේ නෑ. ඒ නිසා තමයි මම 1997 දී මෙය කරන්න ලෑස්‌ති වුණේ. චිත්‍රපටයකට අවශ්‍ය ප්‍රබල අනුභූතින් මේ මනෝරාණි සරවනමුත්තු චරිතය තුළ තිබුණා. රිචඩ්ගේ චරිතය පමණක්‌ නොවේ ඔහු නියෝජනය කළ පරපුරේ අතුරුදන් වූ සියලු දෙනාගේ චරිත මේ තුළ තිබේ. ජීවත්වූ පුද්ගලයාට වඩා ජීවිතය අහිමිවූවන් ගැන තමයි මෙහි කතා කරන්නේ. යෑයි නිලේන්ද්‍ර දේශප්‍රිය කීවේය.

 

(divaina)



Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us