රටේ ප්‍රශ්නය මහින්ද මිස රනිල් නොවේ Featured

Published in පුවත්
Saturday, 27 June 2015 11:40

එළඹෙන මහා මැතිවරණයේ සටන් පාඨය රනිල් ද මහින්ද ද යන්න බව ඩලස් අලහප්පෙරුම ප්‍රකාශයට පත් කර හමාරය. මහින්ද රාජපක්ෂ ගැන අධි තක්සේරුවක් ලබාදෙන මහින්ද කල්ලියේ පතාකයන් වන දිනේෂ්, වීරවංශ හා ගම්මන්පිල ඝෝෂක ත්‍රිත්වය මේ දවස්වල නිහඬය. ජනවාරි ඇද වැටීමෙන් පසුව, මේ ඝෝෂකයන් මහින්ද උස්සා තැබීමට ගත් වෙහෙස අප්‍රමාණය. ඒ සියලු උත්සාහයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ඇඟිලි තුඩින් නිෂේධ කර හැරියේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මැදමුලන දේශපාලනය නන්නත්තාර කිරීමේදී එකම තෝල්කයකු හෝ ඝෝෂකයකු පාවිච්චි කළේ නැත. පසුගිය බදාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ නිරෝගා නම් ලොතරැයිය සමාජගත කළේය. එහිදී එතුමා කළ කතාව හරහා රාජපක්ෂ පාලනය සිහි කරමින් ඔහුට ශ්‍රීලනිපයේ අගුපිලවත් අහිමි බවට ඉඟි කළේය.

විනය පරීක්ෂණ

මහින්ද නාමයෙන් ගැලරිය චූන් කිරීම් අතරට, ඩලස් ඉහතින් කළ ප්‍රකාශය ද එක්වනු ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රට වටා යමින් ශ්‍රීලනිපයට යම් උත්තේජනයක් සපයමින් සිටියි. ඒ උත්තේජනයෙන් බිඳක් හෝ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කාන්දු වන බවක් නොපෙනේ. ඒ තත්ත්වය ඩලස් අලහප්පෙරුම නිවැරැදිව තේරුම් ගෙන ඇත. දිගට හරහට මහින්ද නම් බෝලයට මෛත්‍රිපාල මහතා ගැසූ ඩෑෂ් ප්‍රහාර බෙහෙවින් වේගවත් විය. මහින්දට තමාගෙන් කිසිදු චාන්ස් එකක් නැති බවට මෛත්‍රිපාල මහතා කළ ප්‍රකාශය රාජිත එළි දැක්වීය.

ඊට උදහස්ව ඩලස් කළ කී දේ ගැන මෛත්‍රි හෝ රාජිත කලබල වුණේ නැත. රාජිතට එරෙහිව විනය පරීක්ෂණ ද පැවැත්වුණේ නැත. ඒ සති අන්ත පත්‍ර වාර්තා කළ ආකාරයට මෛත්‍රිපාල නාමල් රාජපක්ෂ කැඳවා ඔහු අතේ මැදමුලනට යැවූ පණිවුඩය සුවිශේෂී එකකි. එයින් පසුව ඩලස් අලහප්පෙරුම මෛත්‍රිපාල මහතා ගැන කතා නොකර සිටීමට ප්‍රවේශම් විය. ඔහු මෛත්‍රි බේරමින් රනිල් දෙසට හැරී මැතිවරණ සටන් පාඨයක් සමාජ ගත කරන අතර, මෙසේ කීය.

“අපට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන ප්‍රශ්නයක් නැත. එතුමා 2020 තෙක් මේ රටේ ජනාධීපති බව අප පිළි ගන්නවා.” දැන් ඩලස්ලා මහින්ද නැවත ජනාධිපති කිරීමේ වෑයම අත්හැර ඇත. බලයෙන් විසිවුණ මහින්ද ලංකාවේ අගමැති පුටුවේ ඉන්දවීමේ උත්සාහයක යෙදෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒ ගැන කිසිදු ප්‍රතික්‍රියාවක් නො දක්වනු නියතය. හේතුව තමා විසින් දේශපාලනයෙන් ඈතට වීසි කළ මහින්ද නැවත ජනාධිපතිකමට කෙළ නොහලන බවට ඩලස් විසින් සහතික කර ඇති හෙයිනි. ඒ තත්ත්වය මහින්ද රාජපක්ෂ ලද බරපතළ පරාජයකි. ඔහුට දැන් සිද්ධ වී ඇත්තේ වෙනස් වන දේශපාලනය අනුව තම හැඩය වෙනස් කර ගැනීම පමණය. අනුර කුමාර දිසානායක කී පරිදි සමහර විට මහින්දට ප්‍රාදේශීය සභාවකින් පටන් ගන්ට සිදු වුණොත් පුදුම විය යුතු නැත.

1956 පෝස්ටරය

එහෙත් ඩලස් අලහප්පේරුමගේ සටන් පාඨය හරහා මහින්දට තක්සේරුවක් දීමට කරන උත්සාහ ප්‍රශ්න කළ යුතුව ඇත. ඔහු කල්පනා කරන්නේ ‘56 දී කොතලාවල පෙන්නා බණ්ඩාරනායක කෙළින් කළා මෙන් රනිල් පෙන්නා මහින්ද කෙළින් කිරීමටය. මුලින්ම කිව යුත්තේ ඩලස්ගේ සටන් පාඨය අමු කොපියක් බවය. 1956 සටන අවුළුවන ලද්දේ බණ්ඩාරනායක ද කොතලාවල ද නම් පෝස්ටරය විසිනි. දණ්ඩගමුවේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල නිර්මාණය කළ ඒ පෝස්ටරය ඔහු සිය නමින්ම මුද්‍රණය කොට ප්‍රසිද්ධ කළේය. ඒ පෝස්ටරයට එදා ඉහළ වටිනාකමක් ලැබිණ. 1956 පෙරළිය සාමාන්‍ය ජනතාව සාරාංශ කළේ බණ්ඩාරනායක ද කොතලාවල ද නම් වූ පෝස්ටරය විසිනි. ඒ හරහා ඇති කළ උත්තේජනය ගැන ආචාර්ය අයි. ඩී. එස්. වීරවර්ධන පවා ගැඹුරු විග්‍රහයක් කර තිබිණ.

පසුගිය දවසක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහින්ද රාජපක්ෂගේ ඇද වැටීම ‘56 පෙරළියට සම කළේය. මාර්ටින් වික්‍රමසිංහ ජන්ම සංවත්සර උත්සවයේදී ආචාර්ය අබේසිංහ මේ ප්‍රකාශය කරන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහි සිටියේය. ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා කළේ ජාතික පින්කමකි. එනම් ‘56 පොදු ජනතාව ශ්‍රීලනිපය ලවා පරාජය කළ බමුණු කුලය නැවත මහින්ද රාජපක්ෂ හරහා කරදඬු උස්සා රට විනාශ කිරීම වැළැක්වීමය.

එජාපයේ ඉතිහාසය

ආසියාවේ දේශපාලනය තුළ පුද්ගල පෞරුෂයන් ඔසවා වාසි ලැබීම අමුතු කතාවක් නොවේ. කාගේ හෝ වාසගමක එල්ලී දේශපාලනය කිරීමේ යාචක වෘතය අදටත් ආසියාවට වලංගුය. එහෙත් එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක ඊට අනුගත වුණේ නැත. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ඇවෑමෙන් ඩඩ්ලි සේනානායක නිර්මාණය වීම උචිතයා ඉස්මතු වීමක් මිස අප්පාගෙන් පුතාට රට මාරු වීමක් නොවේ. ඒ බව එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය කියවන විට තේරුම් ගැනීම පහසුය.

මහාමාන්‍ය එම්ප්‍රදෝරා ආදි ලෙස බංකොළොත් වාමාංශිකයන් හෙළා දුටු එජාප චින්තනය තුළ විජේතුංගට මෙන්ම ප්‍රේමදාසටත් ඉඩකඩ සලසන තරමට ව්‍යාප්තව විවෘතව පැවතිණ. ශ්‍රීලනිපය මෛත්‍රිපාල සමඟ ඒ තත්ත්වයෙන් මිදීමට උත්සාහ කරමින් සිටියි. ඩලස්ලා මේ කරන්නේ ඒ අවස්ථාව රටට අහිමි කිරීමය. ශ්‍රීලනිපයේම ගැලී සිටියා නම් මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසි දිනෙක අගමැතිකමවත් ලැබෙන්නේ නැත.

මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂට එරෙහිව ගොඩ නැඟුවේ රාජපක්ෂ විසින් ගිලගත් ශ්‍රීලනිපයේ දුර්වල කළ පවුල්වාදී ප්‍රතිගාමී ආස්තානය විසිනි. ඒ අවස්ථාවේ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ කළ කැප කිරීම සාමාන්‍ය පන්තියෙන් දේශපාලනයට ඒමට උත්සාහ කරන හැම කෙනෙකුටම කළ දොරටු විවෘත කිරීමකි. ඒ යථාර්ථය ඩලස්ලා දනිති. එහෙත් ඩලස්ලාට මහින්ද හැර එල්ලෙන්ට වෙන වැලක් නැත.

මේ සියලු සාධක හරහා ඩලස් අලහප්පෙරුම මහින්ද ද රනිල් ද සටන් පාඨය සමාජගත කරයි. මේ සටන් පාඨය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහෝ කැප කිරීම් කළ සාමාන්‍ය මිනිසාට කරන නින්දාවකි. ලංකා දේශපාලනයේ ජාතික නායකත්වය පොලොන්නරුවේ ජනපද පුත්‍රයකු අතට යාම ආපසු කැඳවන ඩලස්ගේ සටන් පාඨය පරාජය කළ යුත්තේ ශ්‍රී ලංකා කාරයන් විසිනි. අත්තනගල්ල ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ සියනෑ කෝරළේ දරුවන්ගේ උරුමය වේ. එය මැදමුලන පවුලට සින්න කර ගත්තේ මහින්දගේ පවුල් වලිප්පුව විසිනි. දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ගණන 7 කි.

නිදහස් සන්ධානයට ආසන 5 ක් හිමිය. ඒ ආසන 5 න් 3 ක්ම රාජපක්ෂලාට සින්න කරගෙන ඇත. ඌව පළාතටත් රාජපක්ෂලා අත පොවා හමාරය. ප්‍රකට සිවිල් සේවක ලෙනාර්ඩ් වුල්ෆ් කීවේ රාජපක්ෂ පරම්පරාවේ දරුවන් වැඩි වන වරායක් පාසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කොට්ඨාස වැඩි වන බවය. මේ තත්ත්වය බොරු නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළ බණ්ඩාරනායකලා මෙසේ හැසිරුණේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවරක් ජනාධිපති වී නීතිය අනුව පක්ෂය ඊළඟ නායකයාට භාර දී යන්ට ගියාය. ලෙනාඩ් වුල්ෆ් විග්‍රහය අනුව මහින්දලා ව්‍යාප්ත වෙනවා මිස අත් හරින්නේ නම් නැත.

‘මහින්ද’ වෙන්දේසියේ

ඩලස් අලහප්පෙරුම මෙවර ඡන්දයට රනිල් වික්‍රමසිංහට ලන්සු තබා මහින්ද රාජපක්ෂ වෙන්දේසියට ගෙන යමින් සිටියි. මහින්ද රාජපක්ෂ ගෙවුණ ජනවාරියේ පැරදුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට බව ඩලස්ට අමතක වී ඇත. රනිල් වික්‍රමසිංහ කියන්නේ 1993 ත් රටේ අගමැති වරයාය.

තුට්ටු දෙකේ බිස්නස් කර නම කැත කරගත් දේශපාලනඥයෙක් නොවේ. රනිල් 1994 දී ජන මතයට ගරු කර ගෙදර ගියේය. 2004 දීත් එහෙමය. ප්‍රතිපත්ති දේශපාලනය අතින් මහින්ද ලිලි පුට්ටෙකි. 2014 ජනාධිපති මැතිවරණය පුරා ඩලස් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තා හරහා මහින්දට දුන් තක්සේරුවට වැඩි යමක් මේ සටන් පාඨයෙන් කිසිවකු අපේක්ෂා කළ යුතු නැත.

රතුපස්වල ගැටලුව

රාජපක්ෂ යුගය පුරා මහමඟ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සිය ගණනක් ගුටි කෑවේ රනිල් වික්‍රමසිංහ නිසා නොවේ. රාජපක්ෂ රටට බෝකළ තක්කඩි දේශපාලනඥයන් නිසාය. ගමට වැඩ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් තම වාසියට කොන්ත්‍රාත් කාරයන් බවට පත් කළේ රනිල් වික්‍රමසිංහ නොවේ. රතුපස්වල වතුර ඉල්ලා කෑ ගැසූ ජනතාවට වෙඩි තැබුවේ මෛත්‍රිපාල හෝ රනිල් නොවේ.

රගර් ක්‍රීඩක තාජුදීන් ඝාතනය යටපත් කළේ මෛත්‍රිපාල හෝ රනිල් නොවේ. විහාර දේවාලගම් පනත ඉක්මවා යමින් තම ඥාති පුත්‍රයා වෙනුවෙන් නීතිය වෙනස් කළේ මැතිවරණ අත්හිටුවා කතරගම් දේවාලය බුක්තියට පැවරුවේ මෛත්‍රිපාල හෝ රනිල් නොවේ. මැතිවරණ නීති කෙලෙසමින් රජයේ මුදල් වැය කොට සිල් රෙදි බෙදා තම නරුම පාලනය සවිකර ගන්ට ක්‍රියා කළේ මෛත්‍රිපාල හෝ රනිල් නොවේ.

මහින්ද රාජපක්ෂගේ නව අවුරුදු පාලනය පුරා ඩලස්ලා කීවේ මහින්ද හැර වෙන කවුද කියාය. අන්තිමේ රටේ මිනිස්සු මහින්ද නොවේ, මෛත්‍රි කියා තීන්දුවක් දී ඇත.

නීතිඥ
චන්ද්‍රසිරි සෙනෙවිරත්න

silumina

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us