මහ මැතිවරණයේදී රාජපක්ෂ රෙජීමය වළලා දමනවා

Published in පුවත්
Monday, 29 June 2015 15:34

ඊයේ(28) මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදී තමන් මහින්දව පරාජය පත්කළ ආකාරයටම මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් වුණොත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය වළලා දැමීමට ක්‍රියා කරන බවයි.

එසේම අගමැති අපේක්‍ෂකකම කෙසේ හෝ ලබා ගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂට හැකි නම් තමන්ව  පරාජයට පත් කර පෙන්වන ලෙසට අභියෝග කරන බව අගමැතිවරයා මෙහිදී පැවසුවේය.

සම්පුර්ණ කතාව පහතින්

මේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසය ඉතා වැදගත් කොට්ඨාශයක් වන අතර දඹුල්ල ජයග්‍රහණය නොකර මාතලේ දිස්ත්‍රික්කය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. එම නිසා මහ මැතිවරණයේ දී දඹුල්ල දිනා ගෙන මාතලේ දිස්ත්‍රික්කය විජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි සති කිහිපයේ දී අප සියලූ දෙනාම ඇපකැප වී වැඩ කළ යුතුයි.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතාගේ අභාවයෙන් පසුව මේ ප්‍රදේශයට සංවිධායකවරයෙකු සිටියේ නැහැ. දඹුල්ලට සංවිධායකවරයෙකු පත් කිරීමට අප පියවර ගනිමින් සිටිය දී ජනතාව අපෙන් ඉල්ලා සිටියේ දඹුල්ලේම පුද්ගලයෙකු ආසන සංවිධායකවරයා ලෙස පත් කරන ලෙසයි. ඒ අනුව මේ ගමේම උපන් දඹුල්ල මැතිවරණ කොට්ඨාශයේම සේවය කළ එක්සත් ජාතික පක්‍ෂ දඹුල්ල කොට්ඨාස කළමනාකරු පි්‍රයාන් විජේරත්න මහතා දඹුල්ල ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කිරීමට අප කටයුතු කළා. මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකවරයා ලෙස කාලයක් කටයුතු කළ එතුමා මේ දිස්ත්‍රික්කය ගැනත්, දඹුල්ල ආසනය ගැනත්, ඒ ජනතාව ගැනත් හොදින් දන්නවා. එසේ නම් අපේ රංජිත් අලූවිහාරේ සහ වසන්ත අලූවිහාරේ යන මහත්වරුන් ඇතුලූ කණ්ඩායම සමග එකට එක්ව එතුමා දඹුල්ල ආසනයත්, මාතලේ දිස්ත්‍රික්කයත් විජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතුයි.

2015 දී ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, ඒ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට පත් කර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් රටේ ගොඩනැගිය හැකි බවත් 2014 දී කියා සිටි මම ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය ගම් මට්ටමින් සහ බිම් මට්ටමින් සංවිධානය කිරීමේ වැඩ කටයුතු වේගවත් කරන්නැයි සියලූ දෙනාටම පැහැදිලිව දැනුම් දුන්නා.

මේ කතාව මම කියද්දී බොහෝ අය ඒ අවස්ථාවේ දී සිතුවේ මම බොරු කියන බව වන අතර ඇතැම් අය මට පිස්සු යැයි චෝදනා කළා වගේම සමහරුන් කියා සිටියේ මට දේශපාලනය අමතක වී ඇති බවයි.

බස්නාහිර, දකුණ සහ උතුරු පළාත් සභා මැතිවරණ පැවැති අවස්ථාවේ දී බස්නාහිර සහ දකුණ ජය ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට නොහැකි වුණත් ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව ජයග්‍රහණය කළා.

ඒ පළාත් සභා මැතිවරණවලින් පසුව අමෙරිකාවේ එම්.අයි.ටී. විශ්ව විද්‍යාලයේ දේශන කිහිපයක් කිරීම සඳහා මට ආරාධනා ලැබුණු අතර ඒ ආරාධනය අනුව අමෙරිකාවට ගිය මම එම විශ්ව විද්‍යාලයේ මාසයකට අධික කාලයක් රැඳී සිටියා.

එහිදී රටේ මැතිවරණ සහ දේශපාලන තත්ත්වය පිළිබඳව වඩා හොදින් විශ්ලේෂණය කිරීමට මට අවස්ථාව උදා වු අතර මැතිවරණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබෙන අමෙරිකානුවන් ගණනාවක් සමග ද මම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. එදා සිට මේ දක්වා පැවැති මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කළ ඒ විශේඥයින් කියා සිටියේ නිවැරදි දේශපාලන උපක්‍රමයක් තිබෙනවා නම් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවට යළි පැමිණ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනා සමග මම සාකච්ඡා කළත් ඒ බොහෝ අය මේ මතය පිළිගත්තේ නැහැ. කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂයට උපදෙස්දෙමින් අපේ පක්‍ෂය සමග ක්‍රියා කරන ශ්‍රී ලාංකික විශේෂඥයින් සමග ද මම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

ලෝකයේ රටවල් ගණනාවක මැතිවරණ සඳහා උපදෙස් දී තිබුණු මැතිවරණ පිළිබඳ විශේෂඥයකු වන ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් මැගාඩ් මහතා මගේ මිත්‍රයෙකු වනවා. ඔහුගේ උපදෙස් අනුව ක්‍රියා කළ එංගලන්තය සහ මාලදිවයින ඇතුලූ රටවල ඇතැම් දේශපාලන පක්‍ෂ මැතිවරණ ජයගෙන තිබුණා. පසුකාලීනව එතුමා ක්‍රියාකාරී දේශපාලනයට ඇතුලූ වී ඕස්ට්‍රේලියාවේ සෙනට් සභාවේ සභිකයෙකු ලෙස පත් වුණා. ඒ අනුව මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි දවසක් මම එතුමාට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි එතුමා මා සමග එක්ව 2000 සිට ඒ දක්වා පැවැති සියලූම මැතිවරණ ප්‍රතිඵල ගැඹුරින් විශ්ලේෂණය කළා. ඒ සියලූ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කළ එතුමා ඌව පළාත් සභා මැතිවරණයට නිවැරදිව මුහුණ දුන්නොත් ජනාධිපතිවරණයේ දී සියලූ දෙනාටම එකට එක්වී මහින්ද රාජපක්‍ෂව පරාජය කළ හැකි බව කියා සිටියා.

ඒ අනුව සියල්ල සැලසුම් කළ අප ගම් මට්ටමට සහ බිම් මට්ටමට ගොස් ශාඛා, යොවුන් සහ ලක් වනිතා සමිති ගොඩනගා ජනතාව අතර සිටිමින් ජනතාව සංවිධානය කරන්නැයි සියලූම

පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ටත්, සංවිධායකවරුන්ටත් උපදෙස් දුන්නා.

ඌව පළාත් සභා මැතිවරණය කැඳවූ අවස්ථාවේ දී සියලූ දෙනාම අප ඊට යොමු කරවූ අතර අපේ සභාපති කබීර් හෂීම් මහතා ජනජය වැඩ සටහන ආරම්භ කළා. ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අප සියලූ දෙනාම ඇපකැප වූ අතර සියලූ පාර්ශ්වයන් එකට එක්වුණොත් ජනාධිපතිවරණය ජය ගැනීමට ආණ්ඩුවට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රධාන උඣීව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වුණා.

ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය අනුව ප්‍රමාද වී ජනාධිපතිවරණයට ගියොත් පරාජයට පත් වනු ඇතැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද බිය වුණා. මේ අතර ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වුවොත් ඔබතුමා උඩින්ම දිනන්නේ යැයි සුමනදාස අබේගුණවර්ධන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා. ඒ අනුව 2015 ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තීරණය කළා.

ජනාධිපතිවරණයට සියලූ පාර්ශ්වයන් එකට එක්වී මුහුණදිය යුතු යැයි මහා සංඝ රත්නය ප්‍රධාන සර්ව ආගමික නායකයින්, සිවිල් සමාජය, එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ද්‍රවිඩ සන්ධානය සහ නීතිවේදීන් ඇතුලූ අප සියලූ දෙනා ඒ වන විටත් තීරණය කර තිබුණා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්‍ෂය පැහැදිලිව සිටින නිසා සියලූ දෙනා සියලූ පාර්ශ්වයන් සමග එකට එක්වී ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට සූදානම් බව අප කියා සිටි අතර හිටපු ජනාධිපතිනී චන්ඬිකා කුමාරතුංග මහත්මිය ද ඒ ස්ථාවරය සමගින් අප සමග එකට එක්වුණා.

සියලූ පාර්ශ්වයන් එකට එක්වී ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි තීරණය කළ අප ඒ පොදු අපේක්‍ෂකයා බලයට පත්වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ද තීන්දු කළා. ඊට පසුව පාර්ලිමේන්තු මැතිවරණයේ දී බහුතරය දිනා ගන්නා දේශපාලන පක්‍ෂයේ නායකයා අගමැති වී කැබිනට් මණ්ඩලය පත් කර රට පාලනය කළ යුතු යැයි ද අප වැඩිදුරටත් කියා සිටි අතර මේ අනුව ජාතික හෙළ උරුමය ද අපේ මේ ව්‍යාපාරය සමග එකට එක්වුණා.

අනතුරුව ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දීමට සතියකට පෙර හිටපු ජනාධිපතිනී චන්ඬිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමු වූ මම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකකම ලබා දීම ගැන ප්‍රශ්නයක් නොමැති බව දැනුම් දුන්නා. 

එතුමාට පොදු අපේක්‍ෂකකම දී එක්සත් ජාතික පක්‍ෂය ඇතුලූ සියලූ දෙනාම එකට එක්වී වැඩ කරමු යැයි හිටපු ජනාධිපතිනියට මම යෝජනා කළේ 2014 නොවැම්බර් මස 20 වැනි දා සවස වන අතර ඊට පසු දා එනම් සිකුරාදා උදෑසනම මම අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා මේ තීරණය දැනුම් දුන්නා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ තීන්දුව ඒකමතිකව අනුමත කළාට පසුව මම වහාම ගියේ පාර්ලිමේන්තුවටයි. එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැය විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ සිටියා. එතුමා එළියට පැමිණියාට පසුව එතුමාත්, මමත් පාර්ලිමේන්තුවේ ආලින්දයේ හමුවූ අතර අපේ වැඩ කටයුතු සියල්ල අප අවසන් කර තිබෙන බවත්, ඔබතුමාට සටන ආරම්භ කළ හැකි බවත්, මම මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ අවස්ථාවේ දී දැනුම් දුන්නා. ඒ අනුව එදින දහවල් වන විටම ජනමාධ්‍ය හමුවට පැමිණි එතුමා තමා ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ කියා සිටියා. ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල පිරිසක් ඒ පක්‍ෂය අතහැර අපේ පැත්තට එන්න පියවර ගත්තා.

ඒ අනුව 2015 ජනවාරි මස 8 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී අප සියලූ දෙනාම එකට එක්වී ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයත්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාත් පරාජයට පත් කළා. ඊට පසුව අප ගොඩනැගඣ අලූත් ආණ්ඩුවේ දින 100 වැඩ සටහන යටතේ ජනතාවට කෙටි කාලීන සහ ක්‍ෂණික සහන රැසක් ලබා දීමට ද අප කටයුතු කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අපත් එකට එක්වී සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකට ඒකරාශී කර ගත් නිසා නිදහස කියන සුළඟ මේ රටේ යළි හමා යන්න පටන් ගත්තා. ඉතිහාසයේ පළමු වතාවට සුළුතර ආණ්ඩුවක් ලෙස අප 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් බහුතරයකින් යුතු විපක්‍ෂය ඒ අයට අවශ්‍ය සංශෝධන දෙකක් ඉදිරිපත් කළ නිසා එම ව්‍යවස්ථා සංශෝධනය ඇත්තටම විකෘති වුණා.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරගත් අතර එතුමා ඉදිරිපත් කළ යෝජනා පාර්ලිමේන්තුවේ විවාද කළාට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා. 

ඒ වන විටත් එක්සත් ජාතික පක්‍ෂය ලෙස අප නව සාමාජික සාමාජිකාවන් බඳවා ගන්නා අතර ශාඛා, යොවුන් සහ ලක් වනිතා සමිති ගොඩනගමින් ජනතාව අතරට ගොස් ජනතාව එකට ඒකරාශී කරමින් අපේ සංවිධාන කටයුතු වේගවත් කර තිබුණා පමණක් නොව, සිරිකොත මූලස්ථානය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ කටයුතු ද ආරම්භ කර තිබුණා. මේ අතර මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධූරයට ද, කබීර් හෂීම් මහතා මහ ලේකම් ධූරයට ද පත් කිරීමට අප කටයුතු කළා. එමෙන්ම මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් තෝරා ගැනීමේ කටයුතු ද ඒ වන විටත් අප අවසන් කර තිබුණා.

ජාතික නාම යෝජනා මණ්ඩලය පත් කිරීමට සහ විශේෂ වාර්ෂික ජාතික මහා සම්මේලනය ගැන තීන්දුවක් ගැනීමට ද අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මට බලය පැවරුවා. ඒ අනුව මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය පවත්වන විශේෂ ජාතික මහා සම්මේලනය ජූලි මස 11 වැනි දා කොළඹකැම්බල් පිටියේ දී අති සාර්ථක ලෙස පවත්වනවා.

මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දුන්නාට පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මංගල ප්‍රචාරක රැළිය සුපුරුදු පරිදි මහනුවර නගරයේ දී ජූලි මස 16 වන දා පවත්වන අතර අවසන් මහා රැළිය කොළඹමරදානේ දී අගෝස්තු මස 14 වැනි දා පැවැත්වීමට සියලූ කටයුතු යොදා තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂ මහ මැතිවරණ ව්‍යාපාරය මෙයහෙය වීම සඳහා තරග නොකරන පුද්ගලයෙකු අවශ්‍ය වූ නිසා ඒ වැඩ කටයුතු සභාපති මලික් සමරවික්‍රම මහතාට පැවරූ අතර ඒ වගේම එතුමා සමග විශාල වගකීමක් ගෙන අපේ කරු ජයසූරිය මහතා ද වැඩ කටයුතු කරන අතර එතුමා මේ සැරේ මහ මැතිවරණයට තරග කරන්නේ නැහැ. අපේ මහ ලේකම් කබීර් හෂීම්, නීති ලේකම් නීතීඥ දයා පැල්පොල සහ ජාතික නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් ද මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ කටයුතුවල යෙදී සිටිනවා.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය මේ වන විට රට පුරා තිබෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සමගම සම්බන්ධතා ගොඩනගා ගෙන තිබෙන අතර දිස්ත්‍රික් කළමනාකරුවන් සහ සංවිධායකවරුන් ද පත් කර තිබෙනවා. ජංගම දුරකථන සහ ඊමේල් මගින් සිරිකොත මූලස්ථානය සමග මේ සියලූ දෙනාටම සම්බන්ධ විය හැකි අතර මීට පෙර එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.

එක්සත් ජාතික පක්‍ෂ මහ මැතිවරණ ප්‍රකාශනය ද අප මේ වන විට සකස් කරමින් සිටින අතර ඒ මැතිවරණ ප්‍රකාශනය ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් ඔබ්බට ගිය, රටේ ආර්ථිකය ගොඩනගා නව රැකියා දස ලක්‍ෂයක් ඇති කරමින් ආදායම් වැඩි කරන අතර දූෂණය පිටුදැක යහපාලනය ශක්තිමත් කරන වැඩ සැලැස්මක් බව කිව යුතුයි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යගොඩනගා ජනතාවට සහන සලසන අතර සාධාරණය ඉටු කරන ආකාරය පිළිබඳව ඒ වැඩ සැලැස්මේ පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. මහ මැතිවරණයේ දී ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ අපේ මේ වැඩ සැලැස්ම ගැන අවධානය යොමු කර ඒ සැලැස්ම පිළිගන්නවා නම් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දෙන්න කියායි.

මහ මැතිවරණය වෙනුවෙන් රටට – ජනතාවට අප ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් ඔබ්බට ගිය මේ වැඩ සැලැස්ම මහින්ද රාජපක්‍ෂගේ මහින්ද චින්තනය වගේ බොරු පොරොන්දුවලින් පිරුණු එකක් නොවන බව කිව යුතුයි.

රටට – ජනතාවට ලබා දිය යුතු පණිවුඩය සහ ඒ පණිවුඩය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් සියලූම අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් පුහුණු කිරීම සඳහා ද අප විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මහ මැතිවරණය වෙනුවෙන් සියලූම සංවිධාන කටයුතු මේ වන විටත් සාර්ථක ලෙස සිදු කර තිබෙන එක්සත් ජාතික පක්‍ෂයේ අපි ඒ සටනට ලෑස්තියි. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ සටනට එනවා ද, නැතිනම් සටනින් පැන ගොස් සිටිනවා ද කියා මම දන්නේ නැහැ. අගමැති අපේක්‍ෂකකම කෙසේ හෝ ලබා ගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වී හැකි නම් මාව පරාජයට පත් කර පෙන්වන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට මම අභියෝග කරනවා. ජනාධිපතිවරණයේ දී ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය පරාජයට පත් කළ අප මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් වුණොත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය වළලා දැමීමට ක්‍රියා කරනවා. ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයට සහ ඒ අයගේ හෙංචයියන්ට යළි හිස ඔසවමින් නැගී සිටීමට අප ඉඩ තබන්නේ නැහැ.

මහ මැතිවරණයෙන් අගමැති වී ආණ්ඩුවක් ගොඩනැගුවොත් ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සුදු වෑන් භාරව ක්‍රියා කරන්නේ කවුරුන් ද, එතනෝල්, මත් කුඩු සහ කැසිනෝ භාරව ක්‍රියා කරන්නේ කවුරුන්ද, හොරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන් ද යන්න පිළිබඳව මහින්ද රාජපක්‍ෂ රටට –ජනතාවට ප්‍රසිද්ධියේ කිව යුතුයි.

අවුරුදු 10 ක් මුළුල්ලේ මහින්ද රාජපක්‍ෂලා රටට – ජනතාවට නොකළ සේවය සහ නොදුන් සියල්ල අප ලබා දෙන අතර ඊට අදාළ වැඩ සටහන ඉදිරියේ දී ඉදිරිපත් කරනවා. මේ වැඩ සැලැස්ම අප ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අප වෙනුවෙන් නොව, රටේ ජනතාව වෙනුවෙනුයි. අපේ අරමුණ සහ පරමාර්ථය වන්නේ නව රැකියා දස ලක්‍ෂයක් ඇති කරමින් ආදායම් වැඩි කර තරුණ තරුණියන් ඇතුලූ සමස්ථ ජනතාවට හොඳ අනාගතයක් ලබා දීමයි.

මහ මැතිවරණයේ දී වරම එක්සත් ජාතික පක්‍ෂයට ලබා දෙන්නැයි ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න එක දේශපාලන පක්‍ෂයක් නායකත්වය ගත යුතු නිසයි. මට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් සීමා වූ ආණ්ඩුවක් ඇති කිරීමට නොව, මුළු පාර්ලිමේන්තුවම ජාතික ආණ්ඩුවක් බවට පත් කර රට ගොඩනගා ජනතාවට සහන සැලසීම සඳහා ඒ සියලූ දෙනාටම වගකීමක් සහ කාර්යභාරයක් පැවරීමටයි. 

අපේ පාලනය යටතේ කවුරුන් හෝ මත් කුඩු හෝ එතනෝල් ගෙන ආවොත් අල්ලා හිරේ යවනවා. රටට –ජනතාවට වැඩ කරනවා නම් අපේ පක්‍ෂයේ සිටියත්, අපට විරුද්ධ පක්‍ෂයේ සිටියත් අපට හැකි උපරිමයෙන් අප ආධාර උපකාර කරනවා. මේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යා හැක්කේ ඒ පිළිබඳව හොඳ දැක්මක් සහ ක්‍රියාකාරී හැකියාවක් තිබෙන දේශපාලන පක්‍ෂයකට පමණයි. ඒ දැක්ම සහ ක්‍රියාකාරී හැකියාව තිබෙන එකම දේශපාලන පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. එම නිසා මේ මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන්නැයි ඉල්ලා සිටිනවා.

සුළුතර ආණ්ඩුවක් ලෙස අප දින 100 වැඩ සටහන ද සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කිරීමට උත්සාහ කළා. අවසානයේ දී මේ අය සිය නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් විරුද්ධව ගොස් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට උත්සාහ කළ අතර ඒ උත්සාහය අසාර්ථක වූ නිසා එම ව්‍යවස්ථාව විවිධ සංශෝධන මගින් විකෘති කළා. 

එම නිසා ඒ අය ළඟට ගොස් කතා කර වැද වැටී ජනාධිපතිවරයා ද මාර්ගයෙන් විවිධ පොරොන්දු ලබා දෙමින් මේ වැඩ කටයුතු යළි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ මේ රටේ ජනාධිපතිවරයායි. එතුමා එක්ක මේ ආණ්ඩුව ඇති කරන විට අපට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් ඇති කිරීමට නොවෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ එකට ඒකරාශී කර ගෙන මේ රට දියුණු කිරීම සඳහා හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා.

අපට අවශ්‍ය වන්නේ රටත් – ජනතාවත් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට වන අතර ඒ කාර්යභාරය ඉටු කර ගත්තාට පසුව දේශපාලන පක්‍ෂ ලෙස ඒ ඒ අයට ඒ ඒ මැතිවරණ සඳහ තනිවම තරග කළ හැකියි. මේ ජාතික ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ සකස් කර ගත්තාට පසුව දේශපාලන පක්‍ෂ සහ මුහුණු කාලයෙන් කාලයට මාරු වුණත් ඒ ප්‍රතිපත්ති මාරු වන්නේ නැහැ.

එවිට සමහර ආණ්ඩු බැංකු පොලිය වැඩි කර විශ්‍රාමිකයින්ට උදව් උපකාර කිරීමට ක්‍රියා කිරීමට ඉඩ තිබෙන අතර තවත් ආණ්ඩු බැංකු පොලිය අඩු කර කර්මාන්ත ඇතුලූ ව්‍යාපාර දියුණු කිරීමට කටයුතු කරාවි. ඒ ඒ ස්ථාවරයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමට අපට හැකියාව සහ අවස්ථාව තිබෙනවා. එංගලන්තය සහ ඉන්දියාව ආදී ලෝකයේ රටවල වැඩ කටයුතු කෙරෙන්නේ මේ ආකාරයට ජාතික ප්‍රතිපත්තියක් මතයි. 

ඒ අනුව මේ මහ මැතිවරණයෙන් පසුව අප මුළු පාර්ලිමේන්තුවම එකට ඒකරාශී කර පාර්ලිමේන්තුව ජාතික ආණ්ඩුවක් බවට පත් කරන අතර කේවල ක්‍රමය සහ අනුපාත ක්‍රමය මිශ්‍ර කර මනාප නොමැති නව මැතිවරණ ක්‍රමයක් ද ඉදිරිපත් කරනවා. මහ මැතිවරණයෙන් පසුව අප ගොඩනගන අලූත් ආණ්ඩුවට අවශ්‍ය නීතිරීති අප මේ වන විටත් සකස් කරමින් සිටින අතර බලයට පත්වූ වහාම අපේ වැඩ අප ආරම්භ කරනවා. සතියේ සෑම දිනකම වැඩ කිරීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇති අතර මැති ඇමැතිවරුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් පිටව යන්න සිදුවනු ඇත්තේ සති අන්තයේ පමණයි. නව නීතිරීති සම්මත කර මේ ක්‍රමය නිවැරදිව යළි සකස් කර ගන්නා තුරු සියලූ දෙනාටම පාර්ලිමේන්තුවේ දී ඇපකැප වී ක්‍රියා කිරීමට සිදු වනවා.

ශ්‍රී ලංකාවට විශ්වාසයක් දී ශ්‍රී ලංකාව දියුණු කිරීමට අප ඇපකැප වී සිටින නිසා එක්සත් ජාතික පක්‍ෂයට බහුතරය ලබා දෙන්නැයි ජනතාවගෙන් අප යළිත් ඉල්ලා සිටිනවා. එසේ නම් මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දී ඒ පෙරලිය ඇති කර අනාගතය තහවුරු කර ගන්නැයි සමස්ථ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

Last modified on Monday, 29 June 2015 16:39

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us