ප්‍රවීණ සාහිත්‍යයකරුවකු, ප්‍රවීණ දේශකයකු, ප්‍රවීණ විචාරකයකු මෙන් ම සිංහල ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ අභිනව සාහිත්‍යය කෘතිය ''අම්මා’’ නවකතාව 24 දින සවස මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ දි ජනගත කෙරුනි.


මෙම අවස්ථාවට සභාගි වු දිලීප අබේසේකර, ලාල් කාන්ත සහ සමන් වික්‍රමාරච්චි කෙටි දෙසුම් පැවැත්වු අතර ඔවුන්ගේ දෙසුම් සඳහා පාදක වුයේ අම්මා කෘතිය යි. එහෙත් කෘතියේ කතුවරයා වූ සන්නස්ගල සිය කතාව හරහා මතුකළේ මේ මොහොත වන විට අප රට සහ රටේ ජනතාව මුහුණ පා ඇති සමාජ, ආර්ථික, දේශපාලන සහ ආගමික තත්තවයේ යථාර්ථය යි. එහෙයින් ඔහුගේ කතාව ඉන්ඩිපෙන්ඩන් පාඨකයන්ගේ අවධානය යොමු කරවිය යුතු යැයි සිතන බැවින් මෙසේ සටහන් කරමු.


සභාවෙන් අවසරයි!

මා මෙතැනට පැමිණියේ වචන ස්වල්පයක් කතා කරන්නටයි. මේ සභා ගර්භ පරිශ්‍රයට පැමිණි සහ නො පැමිණි සියලූ ලාංකේය පුරවැසියන්ගෙන් අවසරයි! අති දක්ෂ පූරකයින් කිහිපදෙනෙක් අද මේ මොහොත ගැන විවිධ මානයන්ගෙන් හැඳින්වීම් කළ නිසා මා අමුතුවෙන් යමක් හඳුන්වාදෙන්නට යන්නේ නැහැ. අති දක්ෂ දේශකයින් තිදෙනෙක් විවිධ මානයන්ගෙන් මේ මොහොත හා ඒ සමග බැඳුණු තේමාව විවරණය කළා. මට කෘතිය සම්බන්ධව අමුතු විවරණයක් කරන්නට ඉතිරි වී ඇත්තේ නැහැ.

නමුත් මිත්‍රවරියනි, මිත්‍රවරුනි, මට මොකක්දෝ යමක් ඔබ සමග බෙදාගන්නට උවමනායි. මොකක්දෝ වේදනාවක් ඔබ සමග අත්විඳින්නට උවමනායි. මොකක්දෝ නො තේරෙන යමක් ඔබ සමග තේරුම් ගන්නට අවශ්‍යයි. මා මේ උත්සාහ කරන්නට සැරසෙන්නේ අන්න ඒ මනුෂ්‍යය - මානව සම්බන්ධතාව බෙදාහදා ගන්නටයි.

මා කියන්නට යන දේ එක පැත්තකින් පාපොච්චාරණයක්. තව පැත්තකින් මගේ හදවතේ කම්පනය කොන්දේසි විරහිතව මුදා හැරීමක්. වෙනත් පැත්තකින් ආවේග ප්‍රකාශනයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එය දේශපාලන ස්වයං විවේචනයක් කියා හඳුන්වන්නට මා කැමතියි.

රුහිර පථය ක්ෂීර පථයක් කළ ඒ මහා ප්‍රේමණීයත්වය අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද? මනුෂ්‍යත්වය සම්බන්ධ සියලූ අර්ථ කථනයන්ට ඉහළින් ඇති ඒ අසමසම උදාරත්වය, මාතාත්මය අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද? මරණය වෙනුවට ජීවිතය යෝජනා කරන ඒ විශ්වීය ආදරය අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද ? ගී සින්දු කෝටියක් ගයාවත් ගුණ වයා නිමකරන්නට බැරි ඇයව අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද?

එය අප විසින් විසඳාගත යුතු අනාගතයට විවෘත අභියෝගාත්මක ප්‍රශ්නයක්. එය එසේ තිබිය දී, ඇය මග හැරගෙන අප ආ ගමන කොහොම එකක්දැයි කියා ඔබත් සමග ටිකක් කතාකරන්නට මම කැමතියි.

මේ දවස්වල 'ෆේස්බුක්’ සමාජ ජාලය ඉතා ජනප්‍රිය යි. මාක් සකබර්ග් කියන මනුස්සයාගෙන් එළියට ආව මේ සංකල්පයේ ප්‍රතිඵලයක් හැටියට අද බිලියන ගණන් ජනයා පැය විසිහතර පුරා ම එක ම ඉලෙක්ට්‍රොනික රේඛාවක රඳවා තිබෙනවා. අන්තර්ජාලය එහෙම පිටින් ම අල්තාරයක් වෙලා; පූජාසනයක් වෙලා. බහුතරයක් ලෝකවාසීන් ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගසාගෙන තමන්ට හිමි ආදම් හෝ ඒව සොයමින් සයිබර් අවකාශය පුරා පිස්සු බල්ලන් රොත්තක් වගේ එහෙ මෙහෙ දුවන මොහොතක් මේක.

මම විද්‍යා විරෝධියෙක් නෙවෙයි. නමුත් ඒක තමයි ඇත්ත. 'ගූගල් එපා’ කියලා රාජගිරියේ තාප්පවල ලිව්වට ඇමරිකාව සිංහල දන්නේ නෑ කියන එකත් මතක් කරන්න ඕන. ඉතින්, දැන් සයිබර් අවකාශය විද්‍යාවේ උත්තුංග ජයග්‍රහණයක්; නවීන තාක්ෂණයේ අසිරිමත් පිම්මක්. අපි නිතර අහල තියෙන වචනයෙන් ආයෙමත් කියනව නම්, විශ්ව ගම්මානයක්. අපි ඔක්කොම ඒ ගමේ වැසියෝ විතරක් නෙවෙයි අපි ඔක්කොම ඒ ගමේ රජවරු. දැන් මුළු ලෝකෙම නෑදෑයෝ. මුළු ලෝකෙම යාළුවෝ. 'රික්වෙස්ට්’ එක 'ඇක්සෙප්ට්’ කරන්න විතරයි අපට තියෙන්නෙ. එසැණින් අපි ලෝක නෑදෑ සංහතියට එකතු වෙනවා. ජය දද බන්දන්න, ජය නද නංවන්න, රුපුසෙන් ඔද තෙද බිඳින්න මේ ඕන දෙයක් මෙතැන කරන්න පුළුවන්, කාගෙන්වත් බාධාවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සීයට එකසිය එකයි. 'ෆෙස්බුක්’ එකෙන් සියලූ මහද්වීප එක්සේසත් කර අවසන්. ඉතින් කොච්චර හොඳ ද? කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න දේශපාලනයට කළින් විද්‍යාව කොමියුනිස්ට්වාදයට ගිහින් කියල. ඇත්තට ම එහෙම ද වෙලා තියෙන්නෙ ?

මම ඉන්දියන් සාගරේ 'ඩස්ට්බින්’ එකෙන් විතරක් උදාහරණ කීපයක් ගන්න කැමතියි.

ඔබ අන්තර්ජාලයේ මුහුණු පොතේ ලංකාවේ වපසරිය තුළ පොඞ්ඩක් කරක් ගැහුවොත් ඔබට පෙනේවි මෙන්න මේ වගේ පිටු. අපි දකුණේ, වයඹ කොල්ලෝ, අපි නුවර, අපි පිළියන්දල, කුරුණෑගල කොල්ලෝ, කඩුවෙල බුලට්ස්, හලාවත ගින්දර. දැන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ? විශ්ව ගම්මානයේ තැන් තැන්වල පොඩි පොඩි ගෝත්‍රික පැළෑටි පැළ වෙලා තියෙන අවලස්සන ඔබට පෙනේවි, වයඹ කියල කොටුවක් හදාගෙන අයෙමත් ඒක ඇතුළෙ කුරුණෑගල කියලත් කොටුවක් හදාගෙන. තව හදයි, යන්තම්පලාවේ කොල්ලෝ, මල්කඩුවාවේ අපි, වගේ ඒව. පිළියන්දල කොල්ලො කියන කොටුව තවත් පුංචි වෙයි, මිරිස්වත්ත හංදියේ අපි වගේ ඒවත් හැදෙයි, ඊට පස්සේ 'ගෙදර කට්ටිය’ කියලත් හැදෙයි. දැනටමත් ලංකාවේ පාසල් කොටු කොටුවලට බෙදිලා. අරයන්ස්ල මේයන්ස්ල අරනියන්ස්ල මේනියන්ස්ල තෝමියන්ස් කියලා ඉස්කෝලවාදයකුත් දැන් ඇවිත්. අපි කොහාටද මේ යන්නේ ?

මම මේ උදාහරණවලට නාම ග්‍රාම කියන්නෙග සමස්තයක් හැටියට මුළු දූපතම ඔන්න ඔහොමයි කියලා කියන්න. විශ්වීයත්වය හොයාගෙන ගිය අපි ඒක ඇතුළේ කැරකිලා. අපි ගෝත්‍රවාදයට ඇවිල්ලා. මේ සයිබර් අවකාශයේ හිටපු ගමන් පොඩි පොඩි මැජික් සිද්ධ වෙනවා.


අපි බලපිටියේ, අපි බම්බලපිටියේ, අපි ඇඹිලිපිටියේ කියල පුංචි පුංචි කොටු හදාගන්න අය එක තැනක දී හිටි ගමන් කලබල වෙනවා. මෙන්න කලබල වෙන තැන. බැරිවෙලාවත් 'අපි යාපනේ’, 'අපි කිලිනොච්චි’, 'අපි මුලතිව් කොල්ලෝ’ කියලා කිව්වොත් එහෙම අර මේරියන්ස් සංගීත කණ්ඩායමේ සින්දුවක කියනවා වගේ ගුවන් තොටිල්ල ගැස්සෙනවා; ඇඟ රිදෙනවා] මළ පනිනවා; ලේ රත් වෙනවා; එන පොට හරියන්නේ නෑ කියල හිතෙනවා. අන්න එතකොට අර ඔක්කොම ප්‍රාදේශීය ආතල් කුඩු වෙලා එක පාරට ම හීනෙන් බය වෙලා වගේ අපි ශ්‍රී ලාංකිකයෝ වෙනවා. එතන ඉඳන් ජාතික සමගිය බලෙන් පොවන්න හදනවා. බෙලිඅත්තට තංගල්ලට කැලණියට කොළොන්නාවට ඌවට ස්වයං නිර්ණය අයිතිය තියෙනව. ඒ වුණාට ‘උතුරට බෑ මල්ලි’ කියලා කියනවා. දකුණේ අයියලාට විතරයි පුළුවන් කියලා කියනවා. 'මල්ලිලාට බෑ තම්බි’ කියලා කිරිබත් කනවා.

මගේ මේ කෘතියේ 151, 152 පිටුවල තියෙන උද්ධෘතයක් විතරක් කියන්නට ඉඩ දෙන්න.

‘හිටිගමන් ම ඉවසන්නට බැරි කුණු ගෝවා හෝ රාබු ගඳක් සහිත වාතයක් අවකාශයට කිසිවෙකු විසින් මුදාහරිනු ලබන්නේ ය. මේ ආචාරධර්ම නිහීන ක්‍රියාව කරන්නේ කවුරුන් ද යන්න සොයා නො බලා ම දුර්වලයෝ චණ්ඩි කොල්ලන්ගෙන් අපහාස විඳිති.

‘පල මෙතනින් නැගිටලා යන්න. තෝ තමයි ආපු වෙලාවෙ ඉඳලා පඩ අරින්නේ.’

චන්දරේගේ අයියා කිරියා හෝ ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු පාසැල් භූමියෙන් පිටුවහල් කරන්නේ ය.

හීතලේ, කරුවලේ ඔවුන් පිට ව යන්නේ ලැජ්ජාව ද පීඩාව ද එක සේ විඳගෙන ය.

‘මම ඇරියෙත් නෑ. ගැටහැවෙල කිත්සිරියා ඇරියේ. මං බොරුවට ගුටි කෑවෙ.’

කිරියා අඬමින් ගතු කියකියා ගෙදර යන්නේ ය. ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු නම් මුලින් දෙමළෙන් කියා, පස්සෙ ඈතට ගොස් සිංහලෙන් බැණ බැණ යන්නේ ය.

‘නාන් පිලෙයි ඔන්නුන් සෙයිය ඉල්ලෙයි. ආනාල් නාන් තා ඒච්චු වාගිරෙන්.’ සිංහල එකා පඩ ඇරියා ම මං මොකට බැණුම් ආනවා. මං නෙමෙයි මට ගාපු එකා තමා සක්කිලියා.’

මේ 'වාත’ ප්‍රශ්නයට වෙනත් ගමක හෝ තංගමලේ වත්තේ කොල්ලෙකු පටලවාගන්නේ නැත. එහෙම වුණොත් තංගමලේට දලූ ගෙනිච්ච දවසක ගමේ උන්ට දෙමළුන් වට කොට පහර දෙනු ඇත. වෙනත් ගමක් හරහා ගිය දිනෙක අම්බානක ගුටි කෑමට සිදු වනු ඇත. දොයිතුවක වටිනාකමක් නැති පඩේකට වුව ද ගුටි කන්නේ, පීඩා විඳින්නේ අසරණයා ය. මට කිරියා සහ ඇල්ලවත්තේ දෙමළ කොල්ලා ගැන දුක සිතේ. දෙදෙනාගේ ම පීඩාවත් ප්‍රශ්නයත් සමාන ය.’

ඔන්න ඔය පදනමේ ඉඳන් හැදෙනවා තව ෆෙස් බුක් පිටු තොගයක්. සිංහ පැටවු, සිංහ කොල්ලො, අපේ පියා සිංහ පියා වගේ නම් තමයි ඒවට තියෙන්නෙ. ඒ ගොල්ලෝ මොනවද කියන්නෙ ?

මේක අපේ රට. අපි හොඳ හින්ද තමයි උඹල ඉන්නේ. අපේ අනුකම්පාව යටට වෙලා කටවල් වහන් හිටපියවු. වැඩිය දඟලන්න එපා. කන්ඩද හදන්නෙ කියල අහනවා. අරුන්ට වෙච්ච දේ මතකයිනෙ. ඒක ම කරගන්න ඕන නම් ඕනවට වැඩිය උඩ පැනපල්ලා කියල කියනව.

'අඩෝ මේක බුදුන්ගේ දේශය ඩෝ, තෙරුවන් සරණයි ඩෝ’ වගේ බුදුන් හීනෙකින්වත් නො හිතපු භාෂණයක් එහා මෙහා වෙනවා. ඉතින් තව තවත් ගෝත්‍රවාදී පිටු හැදෙනවා; එකිනෙකාගේ විශ්වාසයන්වලට අපහාස කරගන්න පටන් ගන්නවා. අල්ලාට අපහාස කරනවා. බුදුන්ට අපහාස කරනවා. යෙසුස්ට අපහාස කරනවා. අපහාස කිරීමේ තරගයක් වගේ. කොම්පියුටරේ මවුස් එකෙන් කී බෝඞ් එකෙන් ගෝත්‍රවාදී ජාතිවාදී ඕජස් ගලන්න පටන්ගන්නවා. ඔන්න විශ්ව ගම්මානෙ ඇතුළේ වැඩවසම් දූපතකට සිද්ධ වෙන අලකලංචිය. මනුෂ්‍ය භාෂාවක් අහිමි තැනක විද්‍යාව හරි තාක්ෂණය හරි කියන්නේ පුන්නක්කු බාල්දියකට වඩා වැඩි දෙයක් නෙවෙයි.

ෆ්‍රෙඞී සිල්වාගේ සින්දුවක තියෙනවා වසර තිහ හතළිහකට විතර කලින් අනෙකාගේ දියුණුවට පෙත්සම් ගහපු මිනිස්සු ගැන.

‘සත පනහයි පෙත්සම්

ගහපල්ලා බං පෙත්සම්

කෙනෙක් දියුණු වී ඉහළට යනවා

බලා ඉඳින්නට බැරි නම්

කරවටටම දාපියව් තොප්පියක්

ඒකයි ලෝකේ චාරේ දැන්’

කියලා.


දැන් ඔබ කිය යි ඒ නො දියුණු මිනිස්සු දැන් නැහැ කියලා. සන්ග්ලාස් දෙකක් නළලේ දාගෙන, ඩෙනිමක් ඇඳගෙනල ලස්සන වර්ණ පින්තූර දාලා සයිබර් අවකාශයේ ෆේස්බුක්වල ඉන්නෙත් ඒ අය ම තමයි. සිතත් ගතත් ඒකමයි. හැබැයි වර්තමානෙ ඇඳුම වෙනස්. 


ඔය තමයි අපි ආව ගමන සම්බන්ධ අන්තර්ජාල දිවුරුම් ප්‍රකාශය. මේ ගමන ඇතුළේ මහ පොළවේ අපේ ජීවිතවලට මොකද වුණේ ? ඒ ප්‍රශ්නෙ ම මෙහෙමත් අහන්න පුළුවන්. මේ ගමන ඇතුළේ අපේ ජීවිතවලට මොනවද නො වුණේ ?


අපිට අපේ බලපොරොත්තු අහිමි වුණා. අපිට අපේ සිහින අහිමි වුණා. අපිට අපේ අපේක්ෂාවන් අහිමි වුණා. අපි මිනිස්සු කියල අපිට ම අමතක වුණා. අපේ ම එවුන් චප්ප චිරිප්පන් වෙලා යද්දී අපි හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑවා. අපි ඒ ලිග්ගල් තුන මැද්දෙ තියල ගිනි මෙලෙව්වේ අපේ ම හෘදය සාක්ෂියට. හෘදය සාක්ෂිය අහිමි වුණාට පස්සෙ වෙන මොනවා අහිමි වෙන්න ද? අපිට අපි ව අහිමි වුණා. මුරුගසන් වරුසාව වැටෙන්න ළඟයි. එකෙකුට එකෙක් පේන්නේ නැහැ. තාත්තට දුව ව පේන්නෙ නැහැ. මල්ලිට අක්කව පේන්නෙ නැහැ. සීයට මිනිපිරීව පේන්නෙ නැහැ. අන්තිමට කහවත්තෙදි ආච්චිවත් පේන්නේ නැතුව ගියා. නිල් කැට මතුවෙච්ච කහවත්ත ලේ කැටි ගැහිච්ච එළිමහන් වධකාගාරයක් වුණා. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ගමේගොඩේ සංඛ්‍යාලේඛන නිර්ලජ්ජිත විදිහට පැටව් ගැහුවා.

කල්ලඩි පාළම යට සින්දු කිව්ව මාළුන්ට වෙඩි වැදිලා කලපුවේ ලේ රතුපාටට හැරෙද්දි, 'රන් මලක් ලෙස දෙව් බඹුන්’ එක්ක අපි බජව් දැම්ම. ඊට පස්සෙ අපේ ළිංවල වතුරෙ වහ මතුවෙද්දි අපි හන්දියට ගිහින් වතුර ඉල්ලූව. ලේ දන්දීල පණ පොවපු මූනිස්සම් වියරු වැටිලා අපි ව ලූහුබැන්දෙ වෙන ම රාජ්‍යයක් ඉල්ලපු හින්ද නෙවෙයි. රතුපස්වල දී පිරිසිදු වතුර ඉල්ලපු හින්දා. මතක තියාගන්න, ඉල්ලූවේ වතුර. අපිට පණිවිඩයක් ආවා 'වෙඩිකන්න එපා. කඩෙන් අරන් බොන්න. පොඩි ම බෝතලේ රුපියල් හතළිහයි’ කියල.

මේක මහ පුදුම දයලෙක්තිකයක්. එක පැත්තකින් සුනාමි වගේ සමාජයීය උදම් රළක් ඇවිත් අපේ ජීවිත උස්ස උස්ස පොළවෙ ගහද්දිල අපි උදම් අන අන කුණාටු සාගරයට ම පෙම් බැන්ද. කාන්තාරය අපිව දශමයෙන් දශමය පුච්චලා දාද්දි, අපි ආදරයේ සලකුණ බවට පතොක් මල පත්කරගන්න තරම් නින්දා සහගත නිර්භීතකමක් හොයාගත්ත. ඒක හරියට අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක් පාගල මැරුවට පහුවෙනිදා අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවල සත්තුවත්තට යනව වගේ වැඩක්. ඔව්... අපි එතරම් ම විපරීතයින් බවට පත්වුණා. මම මේ කියන්න උත්සාහ කරන්නෙ අපි මොනතරම් අඳබාල විදිහට අපි ම මුහුණ දෙන ඛේදවාචකය ආශිර්වාදයක් විදිහට බාර ගන්න ජාතියක් ද? කියන කාරණාව.

දේවල් මෙහෙම වෙද්දි අපේ ජීවිත මිනිස් ජීවිත කියල අපිට මතක නැති වුණා. අපි ගවයන් වෙනුවෙන් ගිනි තියාගෙන මැරෙන්න කැමති මිනිස්සු බවට පත්වුණා. සියලූ යහපත් සිතුවිලි ධර්ම පුස්තක ඇතුළට දාල ලාකඩ වක්කරල මුද්‍රා තියල අරන් තිබ්බ. මෛත්‍රිය මොකටද අපට..., ඒක ධම්ම පදයෙ තිබිච්චාවේ. ප්‍රේමය මොකටද අපට...? ඒක බයිබලයෙ තිබිච්චාවේ. කරුණාව මොකටද අපට...? ඒක කුරාණයේ තිබිච්චාවේ. දයාව මොකටද අපට...? ඒක භගවත් ගීතාවේ තිබිච්චාවේ. ඒක නිසා අපි ආයෙත් පාරට බැස්ස. හන්දියක් හන්දියක් ගානෙ බුදුහාමුදුරුවො ගොළුවෙලා බලන් ඉද්දි, ජේසු ස්වාමි දරුවො කරකියාගන්න දෙයක් නැති ව මුනිවත රකිද් දී ඒ පිළිම සුරුවම් පහුකරගෙන අපි යනවා සතුරෙක් හොයාගෙන.

පැරණි සතුරන් වළපල්ලට යවපු අපට නිකම් ඉන්න බැහැ. අපට පාළුයි. ලේ දැක්ක පිහි ආපහු මුවහත් කරන්න ඕන. ආගමේ කිව්වට අපිට වෙජිටේරියන් වෙන්න බෑ. මස් මාළු නැත්නම් පුච්චපු කරවල කෑල්ලක්වත් ඕන. නැත්නම් රතුහාල් බත රහ නෑ. ඒ නිසා අපි ප්‍රමාද නො වී, පුළුවන් තරම් ඉක්මණින් අලූත් සතුරෙක් හොයාගන්නවා. අපට මුවහමක් නැතුව බැහැ. ඉතින් අපි තලනවා; හිතේ හැටියට තලනවා. ඔන්න ඔහොමයි වැදුම් ගෙයි ආදරය අත ඇරලා අපි ආව ගමනේ විස්තර.

මිත්‍රවරුනි, මගේ කතාව ඉවර නැහැ. එක පැත්තකින් මුවහමට තලන ගමන් අනෙක් පැත්තෙන් උඩ බලන් ඉන්නවා. මොකටද? දියසේන එනකම්. මහා රාවණා එනකම්, දුටුගැමුණු එනකම්, කාවන්තිස්ස එනකම්. අපි ව ගලවගන්න කවුරුහරි එන්නම ඕන. නැත්නම් ගැලවෙන්න අපි කැමති නැහැ. දඬු මොණරෙන් එන්න ඕන. අහසින්මයි එන්න ඕන. ඇයි ඒ ? අපට මහපොළව විශ්වාස නැහැ. පස්ගොඩවල් බෙදාගන්න යුද්ධ කෙරුවට අපේ ෆැන්ටසිය, අපේ ආශාව අහස. ඒ නිසා අපි උඩ බලන් ඉන්නවා; උඩ බලාගෙන ඔහේ ඉන්නවා. ඒ ඉන්න ගමන් නිකම් විනෝදෙට වගේ මහින්ද රාජපක්ෂ ව විවේචනය කරනවා. රනිල් වික්‍රමසිංහටත් බණිනවා. අනුර කුමාරටත් දොස් කියනවා. යමක් කමක් තේරෙනවනම් දීප්තිටත් බැණල කුමාර්වත් විවේචනය කරනවා. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපි ව පේන්නෙ නැහැ. ඔක්කෝට ම කණ්ණාඩි අල්ලන් ගියාට අපේ කණ්ණාඩිය මග හැරෙනවා. අපි අපි ව කවදාවත් දැකල නැහැ. අපි ඇතුළේ ඉන්න පසුගාමියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්න ජාතිවාදියා, ගෝත්‍රවාදියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්න උපයෝගිතාවාදියා අපිට පෙනිලා නැහැ. අපි ඇතුළෙ ඉන්න ගේම් කාරයා අපට තවමත් අහුවෙලා නැහැ. 

දැන් මේක කැඩපත අවහ්‍ය මොහොත. බාලගිරිට පරණ සබන් කෑලිත් අරන් යන්න කියමු. හෙට නෙවෙයි අද. අදයි දවස. අද නිර්මාණය කරගන්න ඕන කැඩපත. මේක හෙටට කල් දාල බැහැ. සාහිත්‍යයකාරයන්ට පුළුවන්ද ජීවිතය ගැන නො කියා, නො ලියා ඉන්ඩ ? හොඳ ම පොතට සම්මානත් එක්ක සල්ලි ලැබෙනවා. ඒ ඔක්කොට ම වැඩිය මනුෂ්‍යත්වය වටිනවා. දැන් පොත් කැඩපත් බවට පත් කරන්න ඕන කාලය. ඒ නිසා මම ඉතා විශ්වාසයෙන් කියනවා: මිනිස් ආදරය ගැන, මනුෂ්‍යත්වය ගැන, අපට මගහැරෙන ජීවිතය ගැන හෙටත් ලියනවා. පුළුවන් හැටියට කැඩපත් නිර්මාණය කරනවා. සමහරවිට මේ මගේ අතින් නිර්මාණය වෙන අවසන් කැඩපත වෙන්නත් පුළුවන්. ඊට කලින් එක වෙන්නත් පුළුවන්. මගේ කැඩපතට මම වග කියනවා. 

මාතාත්මයේ පරමාදර්ශය ගැන අපි ඉතා උත්කර්ෂයෙන් ලියනකොට කෙනෙක් අපෙන් අහන්න පුළුවන් එතකොට නිල්වලා ගඟට, කැලණි ගඟට දරුවනුත් අරන් පනින්නෙ කවුද කියල. තේ පඳුරු යට රබර් වතු මැද්දෙ කිරිසප්පයන් ව අත ඇරලා යන්නෙ කවුද කියල. ත්‍රීවිල් එකේ යන ගමන් ළදරු කළල ෂොපින් බෑග් එකේ දාලා පාරේ වීසි කරලා යන්නේ කවුද කියලා. ඔව්... ඒකටත් උත්තරයක් දෙන්න ඕන. හොඳ උත්තරයක් දෙන්න ඕන. මෙහෙමයි... අපි දෑත ම උස්සල තිරිසන්කම අනුමත කරගන්නවා නම්, අපි සර්වජන ඡන්දයෙන් කැමැත්තෙන් ම්ලේච්ජත්වය නිර්දේශ කරගන්නවා නම්, අපි මහා පොදු එකඟතාවකින් කාලකණ්ණිකම භාර ගන්නවා නම්, කාටද පුළුවන් ඒකෙ ගොදුරු බවට පත්වෙන අහිංසකියන්ව එල්ලූම් ගස් යවපල්ලා කියල කියන්න.

දරුවන් වැදූ සියලූ ගැහැනුන් ස්ථිර ලෙස ම නිර්දෝෂයි. සුනාමියට අහුවෙලා පොල් ගස්වල, කොන්ක්‍රීට් බැමිවල වැදි වැදී යන ගැහැනුන්ගෙන් 'සමනල ආරට පීනපල්ලා’ කියල කවුරුන් හෝ ඉල්ලනවා නම් මම ඒ නරුම ඉල්ලීමට සාහිත්‍යකාරයෙක් හැටියට වගේ ම මනුෂ්‍යයෙක් හැටියටත් කොන්දේසි විරහිතව විරුද්ධයි. ඒ වගේ ම එහෙම චෝදනා කරන අය මෙන්න මේ ප්‍රශ්නයටත් උත්තර දෙන්න ඕනේ. වැඩිය නෙමෙයි 1971 ඉඳලා මේ වෙනකම් ඉතිහාසය නිරීක්ෂණය කරල බලලා මට කියන්නල මේක දූ පුතුන් පරිස්සම් කරන රටක් ද කියලා. එහෙම රටක නම් අර විදියට චෝදනා කරන්න පුළුවන්.

කී දාහක් ඇස් තමන්ගේ දූ පුතුන් ගෙදර එනකම් බලා ඉන්නව ද? කී දාහක් ඇස් ඒ දූ පුතුන් කොහේදැයි නො දැන කඳුළු හෙළනව ද? අවුරුදු විස්සෙන් විස්සට මව් හදවත්වලට දුක් දෙන දූපතක මිනිස්සු අපි. එහෙව් අපිට බැහැ හිතුමනාපෙට චෝදනා ගොනු කරන්න. ඒ නිසා මම ආයෙත් කියනවා කොයි මව් හදවතත් සියයට දාහක් නිදොස් කොට නිදහස් කළ යුතුයි. මේ කතාව මීට වඩා දීර්ඝ කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අසා සිටි ඔබ සැමට බොහෝම ස්තුතියි.

පොඞ්ඩක් ඉන්න. අර සමහර ලේඛනවල අවසානයට පස්සේ 'පසුව ලියමි’ කියල සඳහන් කරනව වගේ මටත් තව එක දෙයක් කියන්නට අවශ්‍යයි.

කැඩපත හදාගන්නට නම්, ඔක්කොට ම කලින් අපි අපේ කොන්ද කෙළින් කරගත යුතුයි. 'කොන්ද කෙළින් තියන් වැඩ කරපන්’ මට එහෙම කිව්වෙල අම්මා...

ඊටත් වඩා ලස්සන දෙයක් මා මේ කතා කරන මාතෘකාව ගැන ම චූලාභයගේ කෙටි කතාවක තිබුණා. සිංහලයෙකුට පර්ස් එකක් හම්බ වෙනවා. පර්ස් එකේ සල්ලි තියෙනවා. ඒ සල්ලි වියදම් කරල ගෙදරට ෆිජ් එකක් ගේනවා. ඒ පර්ස් එකේ සල්ලිවලට අමතරව ජාතික හැඳුනුම්පතකුයි බෙහෙත් තුණ්ඩු වගයකුයි තියෙනවා. සල්ලි ගන්න සිංහලයා හැඳුනුම්පත වීසි කරනවා. හැඳුනුම්පතේ තිබුණේ දෙමළ නමක්. ඒ කුණු කූඩෙට දාන්නේ අයිතිකාරයගේ අනන්‍යතාව; වීසි කරන්නේ කාගේ හෝ රෝගියෙකුට බෙහෙත් ගන්න තියෙන ඖෂධ ලේඛනය. ගෙදරට ෆිජ් එකක් ගන්නේ අනෙකාගේන් උදුරා ගත්ත ප්‍රාග්ධනයෙන්. දවසක් මේ මිනිහට පාරේ යද්දි මරණ දැන්වීමක් දකින්නට ලැබෙනවා. දැන්වීමේ ඉන්නේ හැඳුනුම්පතේ හිටපු පුරවැසියා. ඒ කියන්නේ මල්රාජ්. දෙමළ නමක්. දැන්වීම දකින මිනිහා මළ ගෙදර යනවා. ගෙදර තියෙන්නේ කුඩා දැරිවියකගේ මරණයක්. ගෙදර අය මෙහෙම කියනව.

‘‘දැන්වීමේ ඉන්න කෙනා මැරිලා ටික දවසක්. මේ දුවට ලියුකේමියා. එයාගේ මාලේ උකස් කරල තමයි බෙහෙත් ගන්න සල්ලි අරන් ගියේ. පොකට් ගහල තිබුණේ බෙහෙත් ගන්න තිබිච්ච සල්ලි. ඒ පර්ස් එකේ මේ දුවගේ බෙහෙත් තුණ්ඩුත් තිබුණා. ඒ වේදනාවට මල්රාජ් සියදිවි නසාගත්තා. බෙහෙත් නැතුව දුව මැරුණා’’

මං අහන්නේ අනෙකාගේ ආගමික අයිතිය විතරක් නෙමෙයි ප්‍රාග්ධනයත් ජීවිතයත් අපි උදුරගෙන නැත් ද? මේ කෙටි කතාවේ ඊළඟට මොකද වෙන්නේ ? ගෙදර තියෙන ෆිජ් එක යුද්ධ ටැංකියක් වෙනවා. නගරේ හැම සාප්පුවක ම තියෙන ෆිජ් යුද ටැංකි බවට පත් වෙනවා. අර හැඳුනුම්පතත්" බෙහෙත් තුණ්ඩුවත්, මුදලූත් මංකොල්ල කාපු මිනිසා හැම තැන ම තියෙන ශීතකරණවලට පහර දෙනවා. අපි යුද්දෙ කියල කිව්වේ ඒකට නෙමෙයි ද? දහසක් මව්වරු දරුවන් ඉල්ලා අඬන රටේ මා ලේ කිරිකර ලියූ නවකථාව අම්මට පුදන්නයි කලින් ඇල්බෙයා කැමු කිව්ව කතාවක් කියන්න ඕන.


දවසක මං මැරෙයි

ඒත් මං මැරෙන්නෙ

ආශ්වාස ප්‍රශ්වාස කරල විතරක්

ජීවත් වෙලා නෙමෙයි

ඇ‍ඬෙන තරමට ජීවත් වුණාට පස්සේ

හැම උත්සාහයක් ම වැය කරලා

හැම වචනයක් ම කතා කරලා

හැම වචනයක් ම ලියලා

හැම සටනක් ම සටන් කරලා

හැම අවදානමක් ම අරගෙන ඉවරවෙලා

මගේ කකුල්දෙක උඩ හිටගෙන

මට හදන්න පුළුවන් හැමදේ ම හදලා

ඔබත් එක්ක

හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා

අඬන්න පුළුවන් උපරිම අඬලා

පුළුවන් උපරිමේට ආදරේ කරලා

දවසක මං මැරෙයි

එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඡායාරූප- නිශාන්ත ප්‍රියදර්ශන

උම්මා දේශපාලනය

Saturday, 09 August 2014 15:20

අපේ ජීවිත වලට ඇති වටිනාකම රාජපක්ෂ විසින් නැති කොට ඇත. ඔහු මෙම කරුමක්කාරී දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ වර්තමාන භූමිකාවය. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස නිරත වී සිටින යුටෝපියානු මෙන්ම ගූඪ ආත්මාර්ථකාමී දේශපාලනය මඟින් රාජපක්ෂ තවත් වසර හයකට තම ධූරකාලය දීර්ඝ කරගන්නේ නැතැයි කිසිවෙකුට කිව නොහැකිය. කළ යුතු ඉටිගෙඩියක් කිරීම සඳහා ඇත්තේ තවත් මාස හයක් වැනි ඉතා සුළුකාලයක් පමණි.

ආසියාවේ ආශ්චර්යය දෝරෙ ගලනවා. ඊයෙත් වයස දාහතරක සිසුවියන් දෙදෙනෙක්  සමූහ දූෂණයට ලක් කිරීමක් ගැන සිද්ධියක් වාර්තා වෙලා තිබුණා. පම්පෝරි ගගහා පුම්බ පුම්බා උඩ දාන දෙදාස් පන්සිය වසරක ඉතිහාසය සභ්‍යත්වය සංස්කෘතිය ඉස්කෝලෙ යන කෙල්ලෙක්ට මහ පාරෙ යන්න බැරි වෙන තැනට ම දුර දිග ඇවිත්. 

පසුගියදා අවසන්වූ ෆිෆා පාපන්දු තරගාවලියේ උණුසුම තවමත් තිබෙන නිසා නොම්මර දහය ගැනද කතා කළ යුතුය. ලොව එතෙක් මතෛක් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් අතරින් බහුතරය තරගවලදී සැරසී සිටියේ හා වර්තමානයේ සිටින්නේ නොම්මර දහය දරන කමිසවලිනි.

හිරු නොබසින අධිරාජ්‍යය යැයි එංගලන්තයට නම් පට බැඳුනේ ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකය පුරා රටවල් ගනනාවක් යටත් විජිත ලෙස අත්පත් කර ගැනීමෙන් දවසේ කවර හෝ වේලාවක එම අධිරාජ්‍යය යටතේ පැවැති රාජ්‍යයක දිවා කාලයක් පැවැතුන බැවිනි. මේ මහා අධිරාජ්‍යය රටවල් සූරාගෙන කෑම හිතේ හැටියට කළ අතර යටත් විජිත යුගය කෙමෙන් පහව ගියද එම අධිරාජ්‍යවාදී බැමි තවදුරටත් පවත්වාගෙන යමින් එම රාජ්‍ය පද්ධතිය පොදුරාජ්‍ය මණ්ඩලය ලෙස මේ වන විට නම් කර ගන තිබේ.

සත්‍යයේ ප්‍රබල සතුරා වූ කලී බලාධිකාරයට දක්වන මෝඩ ගෞරවයයි - ඇල්බර්ට් අයින්ස්ටයින්

රෝමානුවන් අසන මුලික ගැටලුව එනම් යමකින් ප්‍රතිලාභ අත්වන්නේ කාටද යන්න යළිත් ජගත් දේශපාලනය තුළ මතුපිටට පැමිණ තිබේ. ඒ යුක්රේණයට අයත් නමුත් ගැටුම් නිසා මගී යානා වලට පියසාර කිරීම තහනම් කරනු ලැබූ කලාපය තුළ සිදු වූ අතිශිය කණගාටු දායක සිදු වීම නිසාය.

නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥවරියක් වන ආචාර්‍ය වන්දනා ශිවා 2014.06.30 දින කොළඹදී පරිසර විනාශයට එරෙහිව සිදු කරනු ලැබූ දේශයනය පදනම් කොට ගනිමින් මෙම ලිපිය සැකසෙනු ඇත.

බොදුබල සේනාව, රාවණා බලය සහ සිහල රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය ජනතාව අවබෝධකර ගන්නේ ගැඹුරු දේශපාලනික විවරණ හරහා නොවේ. ඉතා සරල දෘශ්‍ය, වාචික සහ අනුභූතික සාක්ෂි ආශ‍්‍රයෙනි. උදාහරණයක් වශයෙන්, බොදු බල සේනාවේ නායකයන් අත්අඩංගුවට නොගැනීම ගැන අසන ප‍්‍රශ්නයට හමුදාපතිවරයා දෙන පිළිතුර ජනතාවගේ ඇස් අරවනසුලූය. ඔහු කියන්නේ, රටේ කලබල ඇතිවිය හැකි නිසා එවැනි අන්තවාදී කොටස් අත්අඩංගුවට නොගන්නා බවයි. මේ උත්තරය මගින්, බොදුබල සේනාවේ සැහැසි ස්වභාවය, පොලීසියේ අකර්මණ්‍යභාවය සහ ඒ සමග ඇති ආණ්ඩුවේ සාංගම ගැන මනා අවබෝධයක් සාමාන්‍ය ජනයාට ලැබේ.

Gossip

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

අනං මනං

Connet With Us

       Google+