'ශ්‍රී ලංකා ප්‍රමිතිය' ගැන සිද්ධිකා කිව්ව කතාව හරියටම හරිද ? Featured

Sunday, 04 April 2021 20:18

පසුගියදා ආනයනික පොල් තෙල්වල පිලිකාකාරක රසායනයක් අඩංගු බවට හෙළිවීමත් සමඟ ජනතාවට වස කැවීමට පාලකයෝ කටයුතු කරන බවට විපක්ෂ කොටස් ජනමතයක් ගොඩනැංවීමට කටයුතු කරමින් තිබේ. ජනතාවගේ ආහාරය පිණිස වන කවර ද්‍රව්‍යයක වුවත් මිනිස් ශරීරයට හිතකර දේ තිබේ නම් ඒවා සම්බන්ධයෙන් මැදිහත් වී ජනතාවගේ නිරෝගීභාවය වෙනුවෙන් පෙනී සිටීම රජයේ වගකීමය. එය යම් රජයක් පැහැර හරින්නේ නම් ජනතාව එකතුවී ඔවුන් පන්නා දැමීම විය යුතුය. ඒ ගැන කතා කරන්න තවත් දේවල් නැත.

ඒ කොහොම වුනත් දැන් එම පිලිකාකාරක පොල්තෙල් ප්‍රශ්නයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළ පරීක්ෂණවලින් ඒ බව කිහිප වරකදීම ඔප්පුවීම නිසා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානින්ගේ අදහස් උදහස් මාධ්‍ය මඟින් පළ වී තිබේ. ඒ සම්බන්ධයන් විවිධ ප්‍රතිචාර ද දැක්වෙමින් තිබේ.

විශේෂයෙන්ම ප්‍රමිති ආයතනයේ ප්‍රධානියා නැතිනම් සභාපතිවරයා ලෙස නුෂාඩ් පෙරේරා කටයුතු කරන අතර එම පත්වීම සිදුකරන ලද්දේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ය. එම ආයතනය විෂයක් ලෙස පැවැරී ඇත්තේ ද ජනධිපතිවරයා යටතටය. මේ නිසා ප්‍රමිති ආයතනය පැටලෙන ප්‍රශ්නවලදි එල්ල වන චෝදනාවන් ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන සිදුවෙන පටු දේශපාලනික ප්‍රහාර බවට පත්වීමත් වැලැක්විය නොහැකිව තිබේ. මෙහිදි නුෂාඩ් පෙරේරා සම්බන්ධයෙන් පෙර වැරදි චෝදනා තිබෙන නිසා එලල්වන ප්‍රහාරයන්ගේ තත්වය දරුණු වී තිබේ. මේ අතර ප්‍රමිති ආයතනයේ සියලු බර කරට ගෙන ක්‍රියාත්මක කරන අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය විසින් පසුගියදා මාධ්‍ය හමුවේ හෙළිදරව් කළ තොරතුරු ඇසුරෙන් මේ වන විට දේශපාලන භේදක් නොමැතිව ඇයව බරපතල විවේචනයකට ලක්කර තිබෙනු දකින්නට ලැබේ. ඒ ඒ දේශපාලන පාර්ශ්වලට දේශපාලන වාසියක අත්පත් කරගැනීම පදනම් කරගෙන මේ විවේචනවල අඩංගුව, ස්වරූපය, සැර, බර වෙනස් වූවද පිලිකාකාරක පොල්තෙල් පමණක් නොව එවැනි වස විස අඩංගු ආහාර වර්ග වෙළඳපොළෙහි පැවැතීම ගැන සෑම සියලු දෙනා තඩි බාමින් සිටින්නේ ඇයටය. එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දෙන SLS ප්‍රමිති සහතිකය ගැනත් සැකමුසු බව ප්‍රවර්ධනය කිරීමටද විපක්ෂ කණ්ඩායම් විසින් සිදු කරමින් තිබේ.

එහෙත් එල්ල වන විවේචන සියල්ලම පාහේ පදනම් වී ඇත්තේ දේශපාලනික වුවමනාවන් මතය. අඩුම තරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යනු කුමක්ද එහි කාර්යභාරය කුමක්ද යන්න ගැන හෝ කිසිදු සොයා බැලීමකින් තොරව මෙම විවේචන සාතිශය බහුතරයක් එල්ල වී ඇත.

ඉතාම කෙටියෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යනු කුමක් ද කියා හැඳින්වීමක් කළහොත් එය, එම වෙබ් අඩවියෙහිම සඳහන් වන පරිදි මෙසේ වෙයි.
" ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 1964 අංක 38 දරන ලංකා ප්‍රමිති කාර්යාංශ පනත යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමිති පිළිබඳ ජාතික ආයතනය වේ. 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් එම පනත අවලංගු කොට ආදේශ කරන තෙක් ආයතනය ක්‍රියාත්මක වූයේ ලංකා ප්‍රමිති කාර්යාංශය යන නාමය යටතේය. දැනට ආයතනය විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉහත පනත ප්‍රකාරව අමාත්‍යවරයා විසින් පත් කරන ලද උපදේශක සභාවක් මගින් පාලනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වීම හේතුවෙන් ශ්‍රී ලං ප්‍ර ආ, ජිනීවාහි මූලස්ථානය පිහිටි ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයෙහි (ISO) සාමාජිකයෙකු වේ. ජාප්‍රස (ISO) හි සාමාජිකයන් ලෙස, ජාතික ප්‍රමිති ආයතන තම ජාතික ප්‍රමිති වල පිටපත් අන්‍යොන්‍ය පදනමින් හුවමාරු කරගන්නා අතර ප්‍රමිති, තාක්ෂණික රෙගුලාසි සහ ප්‍රමිති හා බැඳුණු ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික මට්ටමින් ප්‍රජාවට තොරතුරු ප්‍රචාරණය කිරීමේ වගකීම උසුලයි."

එහි තව දුරටත් එම ආයතනයේ දැක්ම මෙහෙවර සහ උපක්‍රම ලෙස මෙසේ දක්වා ඇත.

දැක්ම
ආර්ථිකයෙහි සියළුම අංශවල ප්‍රමිතිකරණය හා තත්ත්ව වැඩි දියුණුව මගින් ජන ජීවිතයෙහි ගුණාත්මක බව වර්ධනය කිරීමට නායකත්වය සපයන්නා වූ රටේ ප්‍රමුඛ ජාතික ආයතනය බවට පත් වීම. ආයතනය, ස්වයං අභිප්‍රේරණ සංවිධාන සංස්කෘතියක් සහිතව, එහි සේවයෙහි ප්‍රතිලාභ ලබන්නන්ගේ මෙන්ම එහි සේවකයන්ගේද අභිලාෂයන් ඉටු කරන්නා වූ විශිෂ්ටත්වයේ ආදර්ශයක් වනු ඇත.

මෙහෙවර
ඵලදායිතාව වර්ධනය කිරීම හා සම්පත් උපයෝජනය උපරිම කිරීම
අභ්‍යන්තර හා බාහිර වෙළඳාමට පහසුකම් සැපයීම
සමාජ ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම.
නිෂ්පාදන හා සේවාවන්හි ජාත්‍යන්තර තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම හා
ආයතනයේ සේවකයන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන අතරම පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභ සුරක්ෂිත කිරීම සඳහා ජාතික ආර්ථිකයේ සියළු අංශවල ප්‍රමිතිකරණය, මිනුම්, තත්ව සහතික කිරීම හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ හා ඒ සඳහා පහසුකම් සැලසීමේ වගකීම දැරීම.

උපක්‍රම
ජාතික ආර්ථිකයේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන ජාතික ප්‍රමිතීන් සකස් කිරීම.
ආර්ථිකයේ හා සමාජ ක්‍රියාකාරකම් වල සියළු ක්ෂේත්‍රයන්හි ජාතික ප්‍රමිතීන් භාවිතය හා යෙදවීම ප්‍රවර්ධනය කිරීම.
ආර්ථිකයේ සියළු අංශවල තත්ත්ව සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම
වලංගු මිනුම් පිළිවෙත් ජාතික මට්ටමින් ප්‍රවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම
පාරිභෝගික අධ්‍යාපනය හා පාරිභෝගික ආරක්ෂාව සැපයීම
ප්‍රමිතිකරණයෙහි හා තත්ත්ව කළමනාකරණයෙහි සංකල්ප, පිළිවෙත් හා ශිල්පීය ක්‍රම පිළිබඳව කාර්මික සහ සේවා අංශවල පිරිස් දැනුවත් කිරීම හා පුහුණු කිරීම
පරීක්ෂණ පහසුකම් සැපයීම හා ජාතික පරීක්ෂණ හැකියා වර්ධනය කිරීම
ප්‍රමිති, තාක්ෂණික රෙගුලාසි හා අදාළ ප්‍රකාශන පිළිබඳව ප්‍රලේඛන හා තොරතුරු සේවාවන් සැපයීම
ජාතික වශයෙන් ලාභදායී තත්ත්වයන් සුරක්ෂිත කිරීම පිණිස ජාත්‍යන්තර හා කලාපීය ප්‍රමිතිකරණ ක්‍රියාකාරකම්වලට සහභාගි වීම
ආයතනය හා එහි සම්පත් අඛණ්ඩව සංවර්ධනය කිරීම හා උත්ශ්‍රේණිගත කිරීම

තවත් ලෙසකින් සරළ ලෙස කිවහොත් ප්‍රමිති ආයතනයේ කාර්යභාරය වන්නේ මේ රටේ නිශ්පාදිත භාණ්ඩ හෝ සේවා සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියක් හඳුන්වා දීමය. එය ආහාර, උපකරණ, කඩදාසි, සිමෙන්ති වැනි නිශ්පාදන, විදුලි උපකරණ ආදී වශෙයෙන් විවිධාකර නිශ්පාදනයන් වෙනුවෙන් මෙරට ප්‍රමිතිය මෙය විය යුතු බවට ප්‍රමිතියක් හඳුන්වා දෙයි. භාණ්ඩ පමණක් නොව ගොඩනැගිලි පින්තාරුවේදී ප්‍රමිතිගත පින්තරුවක් වන්නේ මේ යැයි කියා ප්‍රමිතියක් තිබෙන්නා සේ ඇතැම් සේවාවලට අදාල ප්‍රමිතීන්ද වෙයි. මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතීන් 3238 හඳුන්වා දී ඇතැයි එම වෙබ් අඩවියෙහි සඳහන් වේ.

එහෙත් මෙම ශ්‍රී ලංකා ප්‍රමිතියට නැති භාණ්ඩ වෙළඳ පොළෙහි ඇත. එසේම ශ්‍රී ලංකා ප්‍රමිතියට වඩා උසස් ජාත්‍යන්තර ප්‍රමිතියේ භාණ්ඩද ඇත. ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය සිය එස් එල් එස් සහතිකය දෙන්නෙ තමන්ගේ ප්‍රමිතිය ඇති භාණ්ඩවලට පමණි. එම ප්‍රමිති සහතිකය ලබාගැනීමට අදාල නිශ්පාදන සමාගම් විසින් ඉල්ලුම් කිරීමද විය යුතුය. එය සිය නිශ්පාදනයේ ගුණාත්මක් සහ වෙළඳ අගය වැඩිකර ගැනීමට ඉවහල් වන්නකි. මෙම සහතිකය නැති වුණා කියා භාණ්ඩ විකිණීමෙහි බාධාවක් ලංකාවේ වෙළඳපොළ තුළ නැත. ඒවා වැලක්වීමේ නීතිමය අයිතියක් ප්‍රමිති ආයතනයට ඇත්තේ ද නැත. එය ඔවුන්ගේ රාජකාරියද නොවේ. මුලිකවම ප්‍රමිති ආයතනය තිබෙනන් නිශ්පාදකයා වෙනුවෙනි. තවත් ලෙසකින් කිවහොත් නිශ්පාදකයා ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම ප්‍රමිති කාර්යාංශයේ වැඩකි. ඒ අවස්ථාවෙන් ප්‍රයොජනය ගැනීම නිශ්පාද්කයාගේ කටයුත්තකි.

මේ අනුව පිලිකාකරක පොල්තෙල් පමණක් නොව තවත් වසවිස සහිත ආහාර ද්‍රව්‍ය රැසක් නැතිනම් ප්‍රමිතියට නැති භාණ්ඩ වෙළඳ පොළෙහි ඇති බවට අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසීම අමුතු දෙයක් නොවේ. එය සම්පූර්ණ ඇත්තකි. එය නොදන්න කිසිවකුද මේ රටේ සිටිය නොහැක. මන්ද මෙය දශක ගනනාවක් තිස්සෙ විද්වතුන් වෘත්තිකයන් වෛද්‍යවරුන් ආදී ඒ ගැන දන්නා කියන අය නිරන්තරයෙන් පෙන්වා දෙන්නකි. එහෙත් මේ භාණ්ඩ හෝ නිශ්පාදන සමාගම් මොනවාද යන්න ඇයට නම් කළ නොහැක. එය ඇගේ රාජකාරීය නොවේ. ඇය නිවැරදිව වගකීම් සහගතව පැවැසුවේ එම නිශ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිතියට සකසා ගත යුතු බවය. ඇය රටේ නිශ්පාදන රැකගෙන එම කර්මාන්ත කඩානොවැටි පවත්වාගෙන යන තැනට කටයුතු කළ යුතුය. ඇයට අවශ්‍ය නම් එස් එල් එස් සහතිකය නොමැති භාණ්ඩ සියල්ල පාරිභෝජනයට අනුමත නොකරන බව පැවැසිය හැකිවද තිබිණි. එසේ වූවානම් අද ඇයට මඩ අවලාද ගසන පිරිස කුමක් කියනු ඇතිද?

කොහොම නමුත් පාරිභෝජනයට නුසුදුසු ආහාර හෝ වෙනත් නිශ්පාදන වෙළදපොළට පැමිණීම වැලක්වීම ප්‍රමිති කාර්යාංශයේ රාජකාරිය නොවේ. පාරිභෝගික සේවා අධිකාරිය, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සේවය වැනි ආයතන තිබෙන්නේ ඒ වෙනුවෙනි. පාරිභෝගික පැමීණිලි මත හෝ ශ්‍රී ලංකා රේගුව, පාරිභෝගික අධිකාරිය වැනි ආයතනවල පැමීණිලි මත හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට මේ සැකසහිත නිශ්පාදන ගැන පරික්ෂාකර තත්ව වාර්තා නිකුත් කළ හැකිය. ඒවා පිළිබඳ අදාල අංශ දැනුවත් කළ හැකිය. පැමිණිළි කළ හැකිය. එතැනින් එහා දෙයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනට කළ නොහැක. ඒ අනුව නුසුදුසු ආහාර හඳුනාගෙන අදාල බලධාරීන් වගකීම් ඉටුකරන තෙක් ජනතාවට වස කන්නට වෙනවා කියා අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ ප්‍රකාශය වැරදි නැත.

අප කන බොන දෙයෙහි වගකීම ඇත්තේ අපටය. හොඳ දේ තෝරා බේරාගැනීමට පාරිභෝගිකයා සමත් විය යුතුය. ඒ ගැන සැක ඇත්නම් දැනුවත් වෙන්නට, පැමිණිලි කරන්නට ආයතන ඕනෑ තරම් තිබේ. එසේම මේ නුසුදුසු දේවල් හෙළිදරව් කර ඒ ගැන නෛතික පියවර ගැනීමටත් ඒවා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජයට බල කිරීමත් කළ හැකිය. අවම වශයෙන් අද ජනතාව සතු ප්‍රබල අවියක් වී ඇති සමාජ මාධ්‍ය ඔස්සේ හෝ මේවා සම්බන්ධයෙන් කතාකළ හැක. මෙහිදී රජයේ යුතුකම වගකීම වන්නේ මේවා ගැන නිරන්තරයෙන් සොයාබලා හොඳම දේ ශ්‍රී ලාංකික ජාතිය වෙත ලබා දී රට ගොඩනැගීමය. අද පිලිකාකාරක පොල් තෙල් ගැන අනාවරණය වූ‍‍යේද එලෙස ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තිබූ නිසාය. එසේම ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රත්පාදන, ආයතන නැතිනම් ඒවා කඩිනමින් ඇති කිරීමත් දූෂිත ක්‍රමවේදයන් දුෂිත නිලධාරීන් ඉවත්කිරීමත් විය යුතුය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙනුත් කාලයක් තිස්සේ විවිධ චෝදනාවන් එල්ල වීම සිදුව තිබේ. ඇතැම් විට මේ ප්‍රමිති සහතික ලබාගැනීමේදී අකටයුතුකම් වන බවට චෝදනාද එල්ල වී ඇත. යම් යම් නිශ්පාදන වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිය විය යුත්තේ කුමක්ද යන්න අදාල නිශ්පාදකයා විසින් තීන්දු කළ අවස්ථා වාර්ථා වී ඇත. එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය අවභාවිතා කිරීම සිදුව තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් යම් විදුලි උපකරණයක යම් කොටසක් වෙනුවෙන් පමණක් ප්‍රමිති සහතිකය නිකුත්කර තිබියදී අදාල නිශ්පාදකයා සම්පුර්ණ භාණ්ඩයටම ප්‍රමිති සහතිකය නිකුත්කර ඇති බවට වෙළඳ ප්‍රචාරණය සිදු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රකටම විදුලි උපකරණ නිශ්පාදන සමාගමක් එලෙස කටයුතු කිරීම නිසා මීට කළකට පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුව තිබිණි. එසේම මෙම ප්‍රමිති සහතිකය නිකුත් කරන නිශ්පාදනය අඛණ්ඩවම එම ප්‍රමිතිය ආරක්ෂා කරනවා ද යන්න ගැන පසු විපරම් කිරීමද මෙම ආයතනයේ වගකීමකි. මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවැරුණු වගකීම කුමක්ද යන්න ගැන නොවිමසා එම අයතනයට හෝ එහි නිළධාරීන්ට ඉවක් බවක් නැතිව මඩ අවළාද ගසමින් විපක්ෂය සිදු කරමින් යන නින්දිත දේශපාලනික අවස්ථාවාදය නම් කිසේත්ම පිළිගත හැකි ශිෂ්ඨසම්පන්න දේශපාලනික හෝ සදාචාරාත්මක ප්‍රමිතියක් නම් නොවන බව අවධාරණය කළ යුතුය. මුග්ධකම හෝ තක්කඩිකම පමණක් මේ තුළ තිබේ.

මේවාට රැවටෙන ජනතාව ගැන වගකියන්න නම් කිසිදු ප්‍රමිති ආයතනයක් නම් රටේ නැති බවත් කිව යුතුය.

- the novemberist

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us