තමන්ගේ අනාගතය පිස්සන් කොටුවකට බාර දෙනවාද - රනිල්

Published in පුවත්
Friday, 17 July 2015 09:23

මහින්ද රාජපක්ෂ මහතා අගමැති බව කොටසක් කියද්දී පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි අවුල් සහගත මිනිසුන් පිරිසකට රට භාර දෙන්නට තරම් මේ රටේ ජනතාව මෝඩ නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවැති ජනරැලිවලදී පැවැසීය.

ශ්‍රීලනිප දැන් කෑලිවලට කැඩී අවුලකට පත්ව ඇති බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා මෙවැනි පිරිසකට රට භාර දුන්නොත් සිදුවන්නේ රාජපක්ෂ රෙජිමය පැවැති කාලයටත් වඩා අන්ත ආරවුලකට රාජ්‍ය පාලනය ඇද වැටීම බව ද කීය.


එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහතා තව දුරටත් මෙසේ ද පැවසීය.

යහපාලනය රැක ගැනීම සඳහා අප සමඟ එකතු වූ එස්.බී. නාවින්න මහතා ඉතා ආදරයෙන් පිළිගත යුතුයි. අපේ මුතුන්මිත්තන් ආවේ වන්නි හත්පත්තුවෙන් සහ දෙව්මඩු හත්පත්තුවෙන්. ඒ ප්‍රදේශය නියෝජනය කරන්න අපට නැවත ඇමැතිවරයකු ලැබී තිබෙනවා. මෙරට යහපාලනය ස්ථාපිත කරන ලෙස ජනවාරි 8වැනි දා අප ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මෙරට යහපාලනය ස්ථාපිත කළා. එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් ඒකරාශී වූයේ ඒකාධිපති, දූෂිත පවුල් පාලනය අවසන් කිරීමටයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය කප්පාදු කළ පාලනය අවසන් කිරීමටයි. හිල්ටන් හෝටලයෙන් තෝර මාලු සැන්විච් කෑ පාලකයන් ගෙදර යැවීමටයි.

අපේ ගම්වල අහිංසක මවුවරුන් දරුවන්ට කිරි කඳුලක් පොවා ගන්න නොහැකි වී සිටින අවස්ථාවක කර්තකොලොම්බ අඹ වේලා ස්විට්සර්ලන්තයෙන් ගෙනා චොක්ලට් සෝස්වල ගිල්ලා ආහාරයට ගත් පාලකයන් ගෙදර යැවීමේ දැඩි අවශ්‍යතාවක් ජනතාවට තිබුණා. ජනතාව යහපාලනය ස්ථාපිත කිරීමට වරමක් ලබා දුන්නා.

ඒ යහපාලනයට පින් සිදුවන්නට අද දූෂණවලින් තොර සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. මා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වුණත් මගේ කටවුට් එකක්වත් සවි කරන්නට එපා යැයි නියෝග පනවා තිබෙනවා. එවැනි ක්‍රියා ඡන්ද නීතියට විරුද්ධ බව කිව යුතුයි. මෙවර නාම යෝජනා ලබා දුන් පසුව තැන් තැන්වල ජනතාවට අවහිරවන ලෙස පෙළපාළි පැවැත්වූයේ නැහැ. අසාධාරණ අයුරින් රූපවාහිනී නාලිකා බදු ගත්තේ නැහැ. ශීලාචාර ආණ්ඩුවක් වශයෙන් අප ශීලාචාර මැතිවරණයක් පවත්වනවා.

ඉතා අමාරුවෙන් ගොඩනඟාගත් යහපාලනය මෙම මැතිවරණයේ දීත් ස්ථාවර කරන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අප පුළුල් පෙරමුණක් ගොඩනඟාගෙන තිබෙනවා. එය එක්සත් ජාතික පෙරමුණයි. එම දේශපාලන පක්‍ෂය ලියාපදිංචි කිරීමට කාල වේලාවක් තිබුණේ නැහැ. එම නිසා මෙවර අපි අලියා ලකුණ යටතේ තරග කරනවා. එය තාවකාලික යාන්ත්‍රණයක් පමණයි. ඡන්ද කාලයේ අලුත් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයායි. ඔහු යහපාලන ප්‍රතිපත්තිය අතහැරියේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේ දින 100 වැඩසටහන පිළිගෙන යහපාලන සංකල්පය පිළිගත්තා. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා ලෙස පත් කිරීමෙන් ද ඔවුන් යහපාලන සංකල්පය පිළිගත්තා. එලෙස යහපාලන සංකල්පය පිළිගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙවර මැතිවරණයේ දී යහපාලනයට සම්පූර්ණයෙන් විරුද්ධ වූ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්න පටන් ගත්තා. හොරු, එතනෝල් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ මැතිවරණයට ඉදිරිපත් කළා. ජනතාව ප්‍රතික්‍ෂේප කළ මහින්ද රාජපක්‍ෂ වැනි අයට නාම යෝජනා දුන්නා. එවැනි තත්ත්වයක් යටතේ එස්.බී. නාවින්න වැනි නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර අප සමඟ එකතු වුණා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිසි විටෙකත් යහපාලන සංකල්පය අතහැරියේ නැහැ. පසුගිය දා ජාතිය ඇමැතූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියා සිටියේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ අගමැති කළ යුතු නැහැ. ඔහු මැතිවරණයෙන් පරාජය වෙනවා. ඔහු පරාජය කළ යුතුයි යනුවෙනුයි.

මේක අමුතුම මැතිවරණයක්. මහින්ද රාජපක්‍ෂ ඊළඟ අගමැති යැයි අනුර යාපා පවසනවා. අනුර යාපාගේ නායකයා ඔහුට ටොක්කක් ඇන ඔබ කතා කරන්න එපා යැයි පවසනවා. මේ ආකාරයට ඔවුන් ආණ්ඩුවක් පිහිටුවන්නේ කෙසේද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා බවත්, ඔහු අකමැති නම් කිසිඳු හමුවක් කැඳවන්නේ නැති බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් අනුර යාපා පැවසුවා. මේ ආකාරයට ඔවුන් ආණ්ඩුවක් පිහිටුවන්නේ කෙසේද?

තමන්ගේ පක්‍ෂයවත් බේරා ගන්න බැරි මොවුන් මහින්ද රාජපක්‍ෂ ගෙනත් රට බේරා ගන්නවා යැයි කීම සැබෑම විහිළුවක්. එවැනි කණ්ඩායමකට රටක් බාර දෙන්නේ කෙසේද? ඔවුන්ට අගමැති අපේක්‍ෂකයෙක්වත් ඉන්නවාද? විවිධ අය විවිධ කතා කියනවා. මහින්ද රාජපක්‍ෂ අගමැති බව කොටසක් කියනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය ප්‍රතික්‍ෂේප කරනවා. මෙවැනි අවුල්සහගත මිනිසුන් පිරිසකට රට බාර දෙන්නට තරම් ජනතාව මෝඩ නොවන බව අප අවධාරණය කරනවා. මෙවැනි පිරිසකට රට බාර දුන්නොත් සිදුවන්නේ රාජපක්‍ෂ රෙජීමය පැවැති කාලයටත් වඩා අන්ත අවුලකට රාජ්‍ය පාලනය ඇද වැටීමයි. තමන්ගේ අනාගතය පිස්සන් කොටුවකට බාර දෙනවාද කියා මා ජනතාවගෙන් අහනවා.

අගෝස්තු 17වැනි දා තීරණය වන්නේ ජනතාවගේ අනාගතය බව කිව යුතුයි. අප මැතිවරණයට ඉදිරිපත් වන්නේ අපේ අනාගතය ගැන සිතා නොව ජනතාවගේ අනාගතය ගැන කල්පනා කිරීමෙනුයි. ජනතාවගේ ජීවිත යහපත් කිරීම සඳහා වන කරුණු 5 ක් අප හඳුනාගෙන තිබෙනවා. ආර්ථිකය, යටිතල පහසුකම්, දූෂණය නැති කිරීම, නිදහස ස්ථාපනය කිරීම සහ අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳව අපේ මූලික අවධානය යොමු වී තිබෙනවා. මෙම අංශ දියුණු කළහොත් මූලික වශයෙන් රටදියුණු කළ හැකියි. රැකියා නැති තරුණ තරුණියන් දහස් ගණනක් සිටිනවා. ජීවත් වන්නට ක්‍රමයක් නොමැතිව අහිංසක මවුවරුන් දරු පවුල් අතහැර විදේශගත වෙනවා. මෙම තත්ත්වය අවසන් කිරීමට ඉදිරි වසර පහ ඇතුළත රැකියා දස ලක්‍ෂයක් බිහි කිරීමේ වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා.

ආර්ථික සංවර්ධන ප්‍රදේශ 45ක් ස්ථාපිතකර එම කලාප දියුණුවෙන් දියුණුවට ගෙන යාම අපේ අරමුණයි. එම ප්‍රදේශවල කර්මාන්ත, කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය දියුණු කරනවා. එම ආර්ථික සංවර්ධන කලාප බිහි කිරීමේ දී මෙම සත් කෝරලය අප අමතක කර නොමැති බව කිව යුතුයි. කුලියාපිටියේ සිට දිවුලපිටිය දක්වා එක් සංවර්ධන ප්‍රදේශයක් තිබෙනවා. එම කර්මාන්ත පුරය අරඹන්නේ කුලියාපිටියේ වොක්ස්වැගන් කම්හල ඇරැඹීමෙනුයි. රාජපක්‍ෂ ආණ්ඩුවෙන් මේ ප්‍රදේශයට එතනෝල් සහ කුඩු ගෙනාවා. සෑම තැනකම බාර් ඇති කළා. නමුත් අපේ ආණ්ඩුවක් යටතේ මේ ප්‍රදේශයට ගෙනෙන්නේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලා බව මා පවසනවා. එමෙන්ම වොක්ස්වැගන් මෝටර් රථ නිපදවීම පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ද ඇති කිරීම අපේ අරමුණයි.

හිරියාල වන්නි හත්පත්තුව එක් සංවර්ධන කලාපයක් බවට පත් කරන බවට පොරොන්දුවක් මා මෙහිදී ලබා දෙනවා. මේ ප්‍රදේශයේ වැව් 4000ක් පමණ තිබෙනවා. එම වැව් හාරා ප්‍රතිසංස්කරණයකර කෘෂිකර්මාන්තය දියුණු කිරීම අපේ අරමුණයි. අවශ්‍ය නම් තවත් වැව් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනවා. ජලය ලබා දී කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් අනතුරුව ශක්තිමත් ආර්ථිකයක් ඇති වෙනවාට අකමැති කවුද? එමෙන්ම අපනයනය කිරීම සඳහා එළවළු සහ පලතුරු වගා කරන්නැයි මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාවගේ කෘෂි නිෂ්පාදන සඳහා පොහොර ලබා දී නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබාදීම අපේ ප්‍රතිපත්තියයි.

කොළඹ සිට මහනුවරටත්, එතැන් සිට දඹුල්ලටත් අධිවේගී මාර්ග ඉදිකළ පසු මේ ප්‍රදේශ දියුණුවට පත් වනවා. කොළඹ සිට ඉදිවෙන මෙම අධිවේගී මාර්ගය පොතුහැරින් දඹුල්ලට සහ නුවරට ඉදි කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ගම්මාන දියුණු කිරීම සඳහා පොකුරු ගම්මාන සංකල්පය හඳුන්වා දෙනවා. එම පොකුරු ගම්මාන දියුණු කිරීම සඳහා මාර්ග, බෝක්කු සංවර්ධනය කිරීම, ගම්වැසියන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම, වෙළෙඳපොළ දියුණු කිරීම, කුඩා කර්මාන්ත දියුණු කිරීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒම අපේ අරමුණයි. සෑම ගම්මානයකටම හොඳ වෙළෙඳපොළක් ලබාදීම අපේ මූලිකම අරමුණක්. ගම්මානවල යටිතල පහසුකම් දියුණු කළහොත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට එය මහඟු රුකුලක් .

ඊට අමතරව අපට තවත් ප්‍රධාන කාර්යයක් තිබෙනවා. ඒ හොරු ඇල්ලීමයි. ඒ සඳහා නව නීති සම්මත කරගත යුතුයි. හොරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව එම නීති සම්මත කර ගැනීමට ඉඩ දුන්නේ නැහැ. අල්ලස් කොමිසමේ ඇබෑර්තු 80 ක් තිබෙනවා. මා බලය ලබා ගත් පසු එම ඇබෑර්තු සියල්ලම පුරවා ඉන්දියාව, අමෙරිකාව ආදී රටවල පුහුණුව ලබා දී හොරුන් සහ දූෂිතයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරනවා. සුදු වෑන් නැති සාමකාමී රටක් අපට ලැබී තිබෙනවා. වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරනවා. බොහෝ අය 8 වසරට පමණක් පාසල් ගොස් ගෙදර නවතින්නේ ආර්ථික අහේනිය නිසායි. අපොස සාමාන්‍ය පෙළ අසමත් වූ පමණින් ගෙදර යා යුතු නැහැ. විවිධ ක්‍ෂේත්‍රවලට දක්‍ෂකම් දක්වන සිසුන් සිටිනවා. ඔවුන්ගේ දක්‍ෂතා හඳුනා ගෙන ඒ අනුව අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා.

එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීමේ වැඩසටහනක් ද අප අරඹා තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ද රුපියල් 2500කින් මාසික වේතනය වැඩි කර තිබෙනවා. එය නීතිගත කිරීමට අප කටයුතු කරනවා. අපේ අරමුණ ජනතාවට සෙත සලසන ආණ්ඩුවක් බිහි කිරීමයි. මේ මැතිවරණය මගේ හෝ අපේ අපේක්‍ෂකයන්ගේ හෝ අනාගතය නොවෙයි. මේ මැතිවරණයෙන් තීරණය වන්නේ රටේ ජනතාවගේ අනාගතයයි. රටේ අනාගතය ගැන සෙල්ලම් කරන්න එපා. අප පිහිටුවන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කර ජනතා සහන ලබා දෙන බවට මා ජනතාව ඉදිරියේයේ සපථ වෙනවා. දින 100ක් ඇතුළත ලබා දුන් කෙටි කාලීන සහන ඉදිරි වසර පහ ඇතුළත ස්ථිර කිරීම අපේ අරමුණයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us