ආණ්ඩුවට පක්ෂව තීන්දු දෙන්නම් යැයි මොහාන් පීරිස් කිව්වා - අගමැති

Published in පුවත්
Saturday, 31 January 2015 07:47

අරලියගහ මන්දිරයට පසුගිය ජනවාරි 19 වැනිදා සාකච්ඡාවකට පැමිණි මොහාන් පීරිස් මහතා අප්‍රේල් මාසය වනතුරු තමාට සේවය කිරීමට අවස්ථාව ලබා දුන්නොත් ආණ්ඩුවට එරෙහිව කිසිදු තීන්දුවක් ලබා නොදෙන බවට ප්‍රකාශ කෙළේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කිසිදු දැනුම් දීමකින් තොරව ජනාධිපති තුමා මුණ ගැසීමට සිය බිරිය සමඟ පැමිණි පීරිස් මහතා ප්‍රකාශ කැර ඇති දේවල් තමන් මේ සභාවට අනාවරණය නොකරන බව කී අගමැතිවරයා මේ සිද්ධිය පිළිබඳ ආණ්ඩුව විවාදයකට සූදානම් බව තරයේ කීය. අප විවාදයකට සූදානම්, මේ ප්‍රකාශය මොහාන් පීරිස් මහතාට පෙන්වා ඔහු කියන්නේ මොනවාදැයි අසා දැන ගන්නා ලෙස අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී විපක්ෂයට අභියෝගයක් ද කෙළේය.

අපට මේ පිළිබඳ විවාදයකට ඕනෑතරම් කරුණු ඇතැයි ද කී අගමැතිවරයා මේ සිද්ධිය සමස්ත නෛතික පද්ධතියම අර්බුදයට ඇද දැමීමට හේතු වූ බවත් මොහාන් පිරීස් මහතාගේ නීති හා ව්‍යවස්ථා විරෝධි පත්වීම නිසා ආරම්භයේ සිටම එය වලංගු නොවූවා පමණක් නොව අගවිනිසුරු නාමය ද ඔහුගේ ක්‍රියා කලාපයෙන් කෙලෙසුණු බවද කීය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හා කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් පෙරේදා (29) ස්ථාවර නියෝග 23-(2) යටතේ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මෙම තොරතුරු අනාවරණය කෙළේය.

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා: තවදුරටත් මෙසේද කීය.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට කැර ඇති තර්ජනයක් පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලිකැර ඇත. එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කළ කුරුදුවත්ත පොලිසිය විමර්ශනය පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කැර ඇත. මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනය සිදුකරන අතර පැමිණිල්ල ලබන 9දා අඬගැසීමට නියමිතය.

දැන් මම 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී ඇති වූ සිද්ධීන් මතු කරන්නම්. ජනවාරි 9 වැනිදා උදේ පාන්දර හරියටම කීවොත් උදේ පාන්දර 4.00ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය වී ඇති බව දැනගන්නට ලැබුණා. සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයට ගිය විට පුද්ගලයින් ගණනාවක් ජනාධිපතිතුමා අසල සිටිනු මා දුටුවා. ඉන් එක් අයෙක් වූයේ මොහාන් පීරිස් මහතායි.

එතැන කුමක් කරන්නේ දැයි මා ඔහුගෙන් විමසූ විට තමා යම්කිසි උපදේශයක් දීමට පැමිණි බව කියා ඔහු කාමරයෙන් ඉවත්ව ගියා. එනමුත් මට ගරු නීතිපතිතුමාගෙන් දැනගන්නට ලැබුනේ ජනාධිපතිතුමාගෙන් පණිවුඩයක් ලැබ පාන්දර 2.30ට පමණ ඔහු අරලියගහ මන්දිරයට පැමිණෙද්දීත්, ජනාධිපතිවරයා සහ අනෙක් අයත් සමඟ මොහාන් පීරිස් ද එහි සිටි බවයි. මොහාන් පීරිස් මහතා පසුව මට දුරකථනයෙන් කතා කොට පැවසුයේ සමහර කොටස් ඔහුව ධුරයෙන් ඉවත් කරලීමට උත්සාහ කරන බවයි.

නමුත් අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරි සියලු තීරණයන් මගින් රජයට සහය ලබා දෙන බවත් ඔහු පැවසූවා. සාකච්ඡාවකට අවස්ථාවක් ලබා දෙන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියා. තමා ජනාධිපතිතුමන් සමඟ ද සාකච්ඡා කළ බව ඔහු පැවසුවා. එවිට මම පිළිතුරු දෙමින් කියා සිටියේ අප දෙදෙනා සමඟම සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාවක් ඔහුට සංවිධානය කර දීමට මා සූදානම් බවයි. ඒ අනුව 2015 ජනවාරි 12 වන දා රාත්‍රි 8ට විජේරාම පාරේ ජනාධිපතිතුමන්ගේ නිවසේදී එතුමා හා මා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මොහාන් පීරිස් මහතාට දින නියම කෙරුණා.

එම සාකච්ඡාවට සහභාගී වන ලෙස මා තිලක් මාරපන මහාතට ද ආරාධනා කළා. එදින සිය බිරිඳ සහ තවත් දොස්තරවරුන් දෙදෙනෙක් සමඟ එහි පැමිණි පීරිස් මහතා, ඔවුන් අපට හඳුන්වා දුන්නා. හඳුන්වාදීමෙන් පසු ඔවුන් අපට සාකච්ඡා කිරීමට ඉඩකඩ ලබා දී ඉවත් වී යතැයි සිතුවද, ඔවුන් දිගටම රැඳී සිටියා.

මොහාන් පීරිස් පැවසුයේ අධිකරණය විධායකය සමඟ සමගියෙන් කටයුතු කිරීම සහ විධායකයේ සහය අධිකරණයට ලැබීම යහපත් තත්ත්වයක් බවයි. නීති කටයුතු පමා වීම වළකාලන්නට තමා කළ සේවාව ඔහු පහදා දුන්නා. තමා නීති විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීම නිසා යම් යම් බලපෑම් වලට ලක්වූ ඇතැම් නීතිඥයන් තමන්ට එරෙහිව විරෝධතා පිටුපස සිටින බව ඔහු තවදුරටත් පැවසුවා. මේ අවස්ථාවේ මා පැවසුයේ නීතිඥ සංගමයේ විධායක කමිටුව හමුවී තත්ත්වය සමාලෝචනය කර ඔවුන්ගේ අදහස් ඔහු වෙත දන්වන බවයි.

2015 ජනවාරි 17 වන දා මම නීතිඥ සංගමයේ විධායක කමිටුව හමුවුණා. ඔවුන් එක හඬින් කියා සිටියේ අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් කෙරෙහි කිසිඳු විශ්වාසයක් නැති බව හා එම පත්වීම නීති විරෝධි බවයි. අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයට කිසිදු විධිමත් නෛතික පසුබිමක් නොමැති බවද ඔවුන් පැවසුවා.

2015 ජනවාරි 19 වන දා අරලියගහ මන්දිරයේදී මා හමුවන ලෙස මම මොහාන් පීරිස්ට දැන්වූවා. ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ තිලක් මාරපන මහතා මා සමඟ මේ සාකච්ඡාවට එක් වුණා. ඒ අවස්ථාවේ මට දැනගන්නට ලැබුණේ මොහාන් පීරිස් සිය බිරිඳ හා දොස්තරවරු දෙදෙනෙක් සමඟ අරලියගහ මන්දිරයට පැමිණ ඇති බවයි. එවිට අප උපදෙස් දුන්නේ පීරිස් මහතා පමණක් සාකච්ඡාවට කැඳවන ලෙසයි. සාකච්ඡාවේදී ඔහු ඉල්ලා සිටියේ අප්‍රේල් වනතුරු සේවය කරන්නට අවස්ථාව ලබා දෙන ලෙසයි. රජයට එරෙහි කිසිදු තීන්දුවක් ලබානොදෙන බවත් ඔහු පැවසුවා. මම නීතිඥ සංගමයේ විධායක සභා රැස්වීමේ මතය ඔහුට දැනුම් දුන්නා . එවිට ඔහු පැවසුයේ ජිනීවා වැනි රටක තානාපති තනතුරක් ලබා දෙන්නේ නම් ඔහු තනතුර අත්හැර යාමට සූදානම් බවයි.

ගරු විදේශ ඇමැතිතුමා මගින් එවැනි තනතුරු පුරප්පාඩු ඇතිද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව මම ඔහුට පැවසුවා. එවැනි පුරප්පාඩු පිළිබඳව දැනුම් දීමෙන් පසු තමා ඉල්ලා අස් වන බවට මොහාන් පීරිස් එකඟ වුණා. බ්‍රසීලයේ සහ වියට්නාමයේ තානාපති තනතරු පුරප්පාඩුව පවතින බවත්, ඉතාලි තානාපති ධුරය ළඟදීම පුරප්පාඩු වන බවත් ගරු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මට දැන්වූවා. මම මේ බව මොහාන් පීරිස්ට දන්වා බ්‍රසීලයේ තානාපති ධුරය නිර්දේශ කළා. නමුත් ඔහු සෑහීමකට පත් වූයේ නෑ. රෝමයේ තානාපති ධුරය සති කීපයකින් පුරප්පාඩු වන බව මොහාන් පීරිස්ට දන්වන්නැයි මම ගරු අධිකරණ ඇමතිතුමන්ට පැවසුවා. ඒ බව මොහාන් පීරීස්ට දැන්වූ බවත්, පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මට දැනුම් දුන්නා.

ජනවාරි 21 වන දා ජනාධිපති ලේකම්වරයා මටත්, ජනාධිපතිතුමන්ටත් දැන්වූයේ තමන් තානාපති තනතුරක් සඳහා ඉල්ලීමක් නොකළ බව මොහාන් පීරිස් ප්‍රකාශ කළ බවයි. ඉන් පසු, ජනාධිපතිතුමාත්, අධිකරණ අමාත්‍යතුමාත්, මමත් මොහාන් පීරිස් මහතාගෙන් ඉල්ලා සිටියේ එදිනම කැබිනට් රැස්වීමෙන් පසු අප හමුවන ලෙසයි. කැබිනට් රැස්වීම් පැවැත්වෙමින් පවතිද්දී පස්වරු 5.00ට පමණ මොහාන් පීරිස් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි බවත්, කැබිනට් රැස්වීම අවසන් වෙද්දී ඔහු පිටව ගොස් ඇති බවත් ‍අපට දැනගන්නට ලැබුණා. ඒ නිසා පසුදා උදෑසන 8.30ට ජනාධිපතිතුමා සහ මා හමුවීමට පැමිණෙන මෙන් ජනාධිපති ලේකම්වරයා මොහාන් පීරිස්ට දැනුම් දුන්නා.

‍එදින රාත්‍රියේ කිසිදු දැනුම් දීමකින් තොරව පීරිස් මහතා සහ මහත්මිය ජනාධිපතිතුමන්ගේ නිවෙසට පැමිණියා. එහිදී ජනාධිපතිතුමන් පීරිස් මහතාට දන්වා සිටියේ පසුදා උදෑසන 8.30ට හමුවීම සඳහා වේලාව වෙන්කර ඇති බවයි. ජනාධිපතිතුමාත්, අධිකරණ අමාත්‍යතුමාත්, මමත් උදෑසන 8.30 වෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. නමුත් මොහාන් පීරිස් පැමිණියේ නෑ. උදෑසන 9.15 පමණ වෙද්දී, ඔහු සාකච්ඡාව සඳහා නොපැමිණෙන බව අපට ඒත්තු ගියා.

ජනවාරි 26 වෙනිදා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මට දැනුම් දුන්නේ පත්වීම නිත්‍යානුකූල නොවන නිසා මොහාන් පීරිස් වහාම ඉල්ලා අස්විය යුතු බව සහ මේ පත්වීම ජනාධිපතිතුමා යලි සමාලෝචනය කළ යුතු බවයි. ඔවුන් අවධාරණය කළේ නීත්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව ඉවත් කිරීම නිසා තවමත් සැබෑ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය බව නීතිඥ සංගමයේ මතය බවයි. ඒ නිසා මොහාන් පීරිස් මහතා‍ගේ පත්වීම කිසිදු නෛතික වලංගු භාවයකින් තොර බවද ඔවුන් පෙන්වා දුන්නා.

නීතිපති සමුළු රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා මොහාන් පීරිස් වෙත යැවූ ආරාධනය ඉවත් කර ගැනීමට සිදුවුණු බව මම දැන සිටියා. නීතිඥ සංගමය අගවිනිසුරු සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගෙන තිබුණා. 2015 ජනවාරි 09 වන දා හිමිදිරියේ මොහාන් පීරිස් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම පිළිබඳව නීතිඥ සංගමය පූර්ණ සැළකිල්ල යොමුකර තිබුණා. ඔවුන් ඒ ගැන මගෙන්ද විමසා සැකහැර දැනගත්තා. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් සහ නීතිඥ සංගමය පැවසුයේ ඡන්ද ගණන් කරමින් තිබෙන අවස්ථාවක අගවිනිසුරුවරයා ජනාධිපති මන්දිරයේ සිට ඇත. ගරු විදේශ අමාත්‍යතුමා මේ පිළිබඳ කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණ පවත්වනවා.

මොහාන් පීරිස්ගේ නම සමාගම් ගණනාවක් සමඟ ඈඳී තියෙනවා. රක්නා ලංකා පුද්ගලික සමාගම. ලංකා ලොජිස්ටික්ස් සමාගම ආදියෙහි අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කළා පමණක් නොව තවමත් ඒවායේ කොටස් හිමිකරුවෙක්. මේ කරුණු ජාතික විධායක කවුන්සිලය මගින් පත් කළ ඉහළ පෙලේ දූෂණ විරෝධී කමිටුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. මේ තත්ත්වය රජයේ නීතිඥයන්, අනෙකුත් නීතිඥයන් සහ අධිකරණය අතර ගැටුමකට පමණක් නොව සමස්ත නෛතික පද්ධතියම අර්බුදයකට ඇද දැමීමට හේතු වුණා. ඔහුගේ නීති හා ව්‍යවස්ථා විරෝධී පත්වීම් නිසා ආරම්භයේ සිටම එය වලංගු නොවීමට අමතරව, අගවිනිසුරු නාමය ඔහුගේ ක්‍රියා කලාපයන් නිසා කෙළෙසුණා.

නිවැරදි ක්‍රියා පිළිවෙත වන්නේ අගවිනිසුරු ලෙස හිටපු ජනාධිපතිතුමන් විසින් කළ පත්වීම් වලංගු නොවන බව මොහාන් පීරිස්ට දැනුම් දීම බව, ජාතික විධායක සභාව සහ නීතිපතිවරයා විමසීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් තීරණය කලේ මෙන්න මේ පසුබිම් මතයි. ඒ සමඟම සැබෑ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙත ජනාධිපතිතුමන් දැනුම් දුන්නේ නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස යලි රාජකාරි අරඹන ලෙසයි. නීතිඥ සංගමයේ පසුගිය වසර දෙකක කාලය පුරා මේ ස්ථාවරය දැරූ බවත්, මොහාන් පිරීස් නිත්‍යානුකූල අගවිනිසුරු ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවත් මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නට කැමතියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 (2) වගන්තිය පිළිබඳව මේ ගරු සභාවේත් රටේත් අවධානය යොමු කරවන්නට මම කැමතියි.“ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් ධුරයක් හිස්ව තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණයට ක්‍රියා කිරීමට බලය ඇත්තේය. තවද එවැනි යම් ධුරයක් හිස්ව තිබූ පමණින් හෝ විනිශ්චයකාරවරයෙකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් තිබූ පමණින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් ක්‍රියාවක් හෝ නැතහොත් නඩු කටයුත්තක් නිර්බල නොවන්නේය. නිර්බප වන්නාක් මෙන් නොසැලකිය යුත්තේය.”

ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය වසර දෙකක කාලය තුළ ලබා දුන් නඩු තීන්දු සහ නියෝග සම්බන්ධව සැකයක් හෝ බියක් ඇතිකර ගත යුතු නැහැ. යළි සිය රාජකාරි ඇරඹීමෙන් පසුව ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය 2015 ජනවාරි 29 වන දා සිට සේවයෙන් විශ්‍රාම යන බව නිවේදනය කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සාම්ප්‍රදායික නිල උත්සවයේදී රජයේ නීතිඥයන්, අනෙකුත් නීතිඥයන් ඇතුළු නීති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා එතුමිය උණුසුමින් පිළිගත්තා. එතුමියට උණුසුමින් සමු දුන්නා.

 

- dinamina

Last modified on Saturday, 31 January 2015 08:12

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us