අලි පැටවු ජාවාරමටත් යහපාලනයෙන් අවසරද? නැත්නම් බයද?

Sunday, 25 January 2015 09:25

බිඳී ගිය පෞරුෂයක්‌ සහිත දුගී මිනිස්‌සු උපතින් ගෙනා අඩුපාඩු මකා ගන්නට දුක්‌ සහිත වෑයමෙහි යෙදෙති. ඒ දුබල මිනිසුන්ගේ සමහර ව්‍යායාමයන් දුක්‌ උපදවන සුළුය. තවත් සමහර ඒවා බිහිසුණුය. තවත් ප්‍රවේශයන් බලා ඉන්නටත් හිරිකිතය. මේ කියන්නට යන්නේ ප්‍රතිකාර ලැබිය යුතු මට්‌ටමේ මානසික රෝගීන් පිරිසක්‌ විසින් රටේ නීතිය අයාලේ යවා ලෝකය ඉදිරියේ රට ම්ලේච්ඡ ගෝත්‍රික පුරයක්‌ බවට පත් කරනු ලැබූ හිරිකිත ආකාරය පිළිබද වූ ජුගුප්සාජනක කතාවය.

අපේ රටේ වනජීවී සම්පතේ වටිනාම දායාදය වූයේ වනඅලින්ය. ලෝකය අප පිළිබඳව වූ පැහැබර මතකයන් සිත්තම් කළේ වනඅලින් දකිමින් ජීවිතය විඳි මිනිසුන්ගේ මතකයන් ද සමගිනි. අසංවර සංවර්ධන ව්‍යසනය නිසා මෑත කාලයේදී කළමනාකරණය කරගත නුහුණු බරපතළ අර්බුදයක්‌ව ජන ජීවිතය පෙළුවද සිංහලයේ මහා සංස්‌කෘතියේ වටිනාම අංග සැරසුනේ අලි ඇතුන්ගෙනි. අතීතයේ වනඅලි සම්පත රටේ රජතුමා සතු වැදගත්ම ධනයක්‌ විය. සංග්‍රාම ප්‍රයාමයන් සඳහාත්, මිනිසුන්ට නොපොහොවනා බරසාර වැඩ කටයුතු සඳහාත් ප්‍රශස්‌ථ ලෙස යෙදවිය හැකි ලංකාවේ අලි ඇතුන්ට ජාත්‍යන්තරව වෙළෝදපළක්‌ තිබිණි.

අතීත රජවරුන්ගේ මංගල සම්මත වාහනය ඇත් වාහනය වූයේය. සිංහලයේ උත්තම පාරිශුද්ධ වස්‌තුව වන දන්ත ධාතූන්වහන්සේ මංගල හස්‌ථිරාජයෙක්‌ මතින් වැඩමකරවීමේ චාරිත්‍රයට ඉතිහාසයක්‌ තිබිණි. පෙරහර මංගල්‍ය හස්‌ථීන්ගෙන් අලංකාර කිරීම සංස්‌කෘතියෙන් අපේක්‌ෂා කළේය. එබැවින් අලි ඇතුන් හීලෑ කර ඇති කිරීම අපේ සංස්‌කෘතියේ වැදගත් අංගයක්‌ වූයේය. වන අලින් හීලෑ කර නඩත්තු කර පවත්වාගත් ප්‍රභූ පරම්පරාවක්‌ සෑම වකවානුවකම ලංකාවේ උන්හ. අලියෙක්‌ සහිත ප්‍රභූවරයෙක්‌ ඉන් තමන්ගේ මහේශාඛ්‍යකමේ ප්‍රමාණය රටට කීවේය. පසුකාලීනව අලියෙක්‌ නඩත්තු කිරීම ස්‌වකීය ප්‍රභූ බව කියෑවෙන ප්‍රකාශනයක්‌ පමණක්‌ම විණි.

තිරිසන් අපරාධය

අලියෙක්‌ හිමි තැනැත්තෙකුට ප්‍රභූත්වයේ අභිමානය හිමි වූයේ සංස්‌කෘතියේ අපේක්‌ෂාවක්‌ ලෙසිනි. ඒ අභිමානය හෝ ගෞරවය ඇතින්නක්‌ මරා කිරිබොන අලි පැටවෙක්‌ හොරකම් කළ අවජන්මීය මනෝවිකෘතිකයකුට ලැබෙන්නේ නැත. මේ සංස්‌කෘතික ක්‍රියාවලියේ හරය නොවිමසා අලි අල්ලාගත් පමණින් අත්පත් කරගත නුහුණු සමාජ වටිනාකම් හිමිවෙතැයි විශ්වාස කිරීමේ මනෝ ව්‍යාධිය බිහිසුණු විය. කිසිම ශිෂ්ඨ සමාජයකින් නොඇසෙන තරම් තිරශ්චීන ආකාරයෙන් මවගෙන් කිරි උරාබොන වන අලි පැටවුන් සොරකම් කර තිබිණි. මේ අලි පැටවුන් සොරකම් කර තිබූ ආකාරයේ මුග්ධකම ඇසු ඇසූවන් කම්පා කළේය.

වර්ෂ 2007 සිට මේ දක්‌වා මනෝ විකෘතික කොල්ලකරුවන් විසින් වනයෙන් කොල්ලකන ලද අලි පැටවුන් සංඛ්‍යාව හැත්තෑව ඉක්‌මවා ඇති බව පැවසිනි. මේ අලි පැටවුන් අල්ලා ගැනීමේදී මව් ඇතින්න බිය කර පළවාහැර තිබිණි. පළවා හැරීමට නොහැකි අවස්‌ථාවල එම ඇතින්න වෙඩි තබා ඝාතනය කර තිබිණි. අනතුරුව අලි පැටවු ස`දහා ව්‍යාජ ලිපි ලේඛණ සකසනු ලැබුවේය. ව්‍යාජ ලෙස ලිපි ලේඛණ සකසා ගත නුහුණු අලි පැටවුන් සම්බන්ධව පැමිණිය හැකි විමර්ශන වලට බියෙන් උන්ගෙන් සමහරෙක්‌ වස දී මරා දමන්නට කැලෑවලින් අලි හොරකම් කරනා ජාවාරම්කරුවන් කටයුතු කර තිබුණ බව කියෑවිණි.

මේ ආකාරයෙන් 2007 සිට කොල්ලකනලදැයි ගණන් බැලු අලිපැටවු හැත්තෑව ඉක්‌මවූ ප්‍රමාණයෙන් පහළොවකට ආසන්න ගණනක්‌ මිය ගිය බව පරිසරවේදීහු පෙන්වා දුන්හ. සමහර අලි පැටවු වසදී මරා දැමිණි. තවත් සමහරු නිසි ප්‍රතිකාර නොකර මිය යන්නට සැලැස්‌විනි. අල්ලා ගැනීමේදී සිදු වූ දරුණු තුවාලවලින් අප්‍රමාණ වේදනා විඳ සමහර කිරිසප්පයෝ මියගියහ.

කොල්ලකනු ලැබුවේ සාක්‌කුවේ දමාගෙන යා හැකි පූස්‌ පැටවුන් නොවේ. වනඅලි පැටවුන්ය. මේ කාලකණ්‌ණි රටේ කොල්ලකන ලද වන අලි පැටවුන් නීතියේ රැහැණට හසුනොවී ප්‍රවාහණය කිරීමටත්, වරදකරුවන් නොවී එම අලි පැටවුන් ස`ගවා තබාගැනීමටත් හැකි අනීතික පරිසරයක්‌ නිර්මාණය වූයේය. මේ සියල්ල සිදුවන අතරේ ගෘහාශ්‍රිත හීලෑ අලි ඇතුන්ගේ ලිත තොරතුරු සියල්ල සංගෘහිත කළ අලිපොත අතුරුදන් විය.

මේ සියලු අවකකෙළි අතර අලි පැටවු පොළේ දමා විකිණුවේය. කොල්ලකෑ පැටවෙක්‌ ස`දහා රුපියල් මිලියනයක පමණ මිලක්‌ ලැබී තිබිණි. සදාචාර විරෝධීව මිලදී ගත් අලි පැටවු නීති විරෝධීව ර`දවා තැබුවේය. ර`දවා තබා ගන්නා අලි පැටවුන් සඳහා හොර උප්පැන්න නිර්මාණය විනි. එවැනි අලි පැටවු 36 දෙනෙක්‌ පැහැදිලිව හ`දුනාගෙන තිබිණි. හොර අලින් තමන්ගෙ නම් යටතේ ලියාපදිංචි නොකළද මේ ජඩ ව්‍යාපාරයට රටේ ඉහළම පුද්ගලයන් සම්බන්ධ බවට විවේචන විය. නීතිය පසිඳලන මහේස්‌ත්‍රාත්වරයෙක්‌ ඊට සෘජුවම සම්බන්ධව සිටියේය.

නිර්වාණාවබෝධයට පියවරක්‌ මෙපිටින් සිටී යැයි පැවසෙන බලසම්පන්න හාමුදුරුනමක්‌ ඒ අතර වූහ. වනජීවි ඇමතිවරයා මේ අවනීතික ව්‍යාපෘති හා සම්බන්ධ බව පැවසුණේය. ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ඊට සම්බන්ධව සිටියේය. මේ සියල්ලෝ එක්‌ව අලි පැටවු කොල්ලය ස`දහා රටේ නීතිය මුළුමනින්ම අවභාවිත කළෝය.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනත අනුව වනාන්තරයෙන් අල්ලා ගනු ලැබූ අලි පැටවකු 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ පොදු දේපළක්‌ ලෙස සලකනු ලැබේ. ඒ අනුව අලි පැටවකු ළග තබාගෙන සිටින පුද්ගලයකු 1997 අංක 30 දරන ඇප පනතේ හා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රාහ පනතේ විධිවිධාන වලට යටත්ව ඇප ලබාදිය නොහැකි වරදක්‌ සිදු කළ පුද්ගලයකු වේ. නීති විරෝධීව අලි පැටවුන් කොල්ලකෑම, උන් ව්‍යාජ ලෙස ලියාපදිංචිය, ළඟ තබා ගැනීම හා විකිණීම විලි ලඡ්ජා නැති ලෙස සිදුවූයේ මෙවන් නෛතික ප්‍රතිපාදන සහිත පරිසරයක්‌ තුළය.

විගණන මෙහෙයුම

ලැබෙන නිශ්චිත තොරතුරු මත පදනම්ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ අතර විගණන මෙහෙයුමක්‌ සිදුකළේය. පාදක වූයේ වර්ෂ 2009න් පසු ලියාපදිංචි කළ අලි පැටවුන් සම්බන්ධවය. එහිදී හෙළිවන්නේ ඉන් 14 දෙනෙක්‌ නීති විරෝධීව කැලයෙන් අල්ලාගෙන සගවා රැගෙන විත් හීලෑ කරන ලද අලි පැටවුන් බවය. මේ සම්බන්ධ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පළමු වාර්තාව වර්ෂ 2014 ජූලි මස 22 දා නිකුත්විණි.

එහිදී කියැවුණේ නීති විරෝධී ලෙස ව්‍යාජව ලියාපදිංචි කළ අලි පැටවුන් සිව් දෙනෙකු පිළිබදවය. 2014 ඔක්‌තෝබර් 17 වැනිදා තවත් අලි පැටවු 10 ක්‌ පිළිබද එවැනිම වාර්තාවක්‌ ඉදිරිපත් විය. මේ වාර්තා විසින් හෙළිදරව් කළේ සියලුම මානුෂික හැගීම් කාණු පල්ලේ දමා නීතිරීති දුරාචාරයේ යොදවමින් මේ රටේ ජෛව සම්පතක්‌ පොළේ දමා විකිණූ ආකාරයය. විගණාකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ අන්තර්ගතය මෙසේය.

වනාන්තරයෙන් අල්ලාගෙන, නීති විරෝධීව ලක්‌කිරීමෙන් හීලෑ කරන ලදුව සියලු නෛතික අනුමිතීන් නොසලකා ව්‍යාජ ලිපි ලේඛන සකස්‌කර අයිතිය ප්‍රකාශකර තිබූ අලි හිමිකරුවන් අතර කොටුව මහේස්‌ත්‍රාත් තිළිණගමගේ සිටින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ නින්දිත හොරකමට සම්බන්ධ බව විගණකාධිපති වාර්තාවේ කියැවෙන තවත් තැනැත්තෙක්‌ වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකි.

ඔහු නමින් අජිත් ගාල්ලගේය. මේ අලි පැටවු නීති විරෝධීව වනාන්තරයෙන් අල්ලාගෙන තිබුණු බව තහවුරු කර තිබිණි. නීති විරෝධීව ලියාපදිංචි කර ඇතිබව තහවුරු කර තිබිණි. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් අජිත් ගාල්ලගේ නැමැති ජනාධිපති උපදේශකගෙන් ගෙන් ඔහු ළඟ සිටිනා අලි පැටවු ගැන තොරතුරු විමසන විට ඔහු ලබා දී තිබුණු තොරතුරුවලට විගණකාධිපතිවරයාත් කැරකී ගියේය. ඔහු කීවේ තමන් ළ`ග සිටිනා අලි පැටවුන්ගේ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට බවය.

හසන්ති චම්පිකා සමරසේකර, කිත්සිරි කහටපිටිය, භාරත දේශප්‍රිය අමරතුංග, ඩබ්ලියු.එම්.ඩී.පී සඳමාලි විඡේමාන්න, ඩබ්ලියු.පී.එච්.දීප්ති කුමාර, කමල් කිත්සිරි ඉරුගල් බණ්‌ඩාර, එස්‌.සී හපුආරච්චි, සමරපුල්ලිගේ නිශාන් ධම්මික හා සමරපුල්ලිගේ නිරාඡ් රොෂාන් යන තැනැත්තන් නීති විරෝධීව අලි පැටවු ළග තබා ගැනීම සම්බන්ධව තහවුරු කර විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක්‌ නිකුත් කර තිබිණි. එහෙත් මේ කිසිවකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වී තිබුණේ නැත.

නිලධාරීන් විකිණුන හැටි

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ විගණන වාර්තා දෙකට අනුව මෙම නින්දාසහගත ජවාරාම සාධාරනීකරණය කිරීමට නීති විරෝධී බලපත් වැඩිම ප්‍රමාණයක්‌ නිකුත් කර ඇත්තේ වනජීවී සම්පත් සංරක්‌ෂණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් උදේනි වික්‍රමසිංහය. ඔහු කලක්‌ වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයේ වැඩ බැලුවේය. ඒ වකවානුවේ ඔහු විසින් අලි පැටවු ස`දහා නීති විරෝධී බලපත්‍ර හතක්‌ නිකුත් කළ බව හෙළි වුණේය.

විගණන මෙහෙයුමට සම්බන්ධ අනෙක්‌ බලපත්‍ර හත නිකුත් කර ඇත්තේ හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයකු වන චන්ද්‍රවංශ පතිරාජ හා වර්තමාන වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වන එච්.ඩී රත්නායකය.

ඛේදවාචකය වන්නේ මෙම බලපත්‍ර සියල්ලම ලබාදීම සඳහා ව්‍යාජ ලේඛණ සැකසීම හා ව්‍යාජ පරීක්‌ෂණ වාර්තා ලබා දීම සිදුකර ඇත්තේ දැනට වැඩ තහනමකට ලක්‌ව සිටින එවකට නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයා වීමය. ඔහුත් වනජීවි සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ කාලකණ්‌ණි නිලධාරීන් කිහිපදෙනෙකුත්, අදාල අලි පැටවු හිමිකරුවනුත් එක්‌ව මේ ව්‍යාජ ලිපි ලේඛන සකසා ඇති ආකාරය දැන් හෙළිsදරවු වී හමාරය. හිටපු වනජීවි ඇමති විජිත් විජයමුණි සොයිසා දැන් මේ අපරාධය සිදුකළේ වනජීවි නිලධාරීන් බව කියන්නේය. ඔහුට අනුව පුද්ගලික අලි හිමියන් භාරයේ සිටිනා අලි පැටවු 27 ගෙන් 22 ක්‌ම හොර අලිය. තමන් වනජීවි ඇමතිවරයාව සිටියත් තමන් අභිබවා ගිය නිලධාරී යාන්ත්‍රනය ගැන ඔහු අද කතාකරමින් සිටින්නේය.

ලංකාවේ වැඩිම අණ පණත් ප්‍රමාණයක්‌ උල්ලංඝනය කරමින් සිදුකළ නින්දිත ගණුදෙනුව මේ මොහොත වනවිට නිරුවත්ව ඇත. මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන මීට වඩා කතා කරන්නට යමක්‌ ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. මහේස්‌ත්‍රාත් වරුන්ගේ නම් තුප්පහි ජාවාරම් සම්බන්ධව ඈඳෙන විට ඊට රටේ විධායක ජනාධිපති සම්බන්ධ යෑයි කීවාට වඩා බරපතළ ලෙස මිනිස්‌සුන්ගේ සිත් බිඳෙන්නේය. අලි පැටවු හොරකම් කිරීම සම්බන්ධව වරදට මුන්ට දඩුවම් කළ නොහැකි නම් අඩුම තරමේ ව්‍යාජ ලිපි ලේඛන සැකසීම සම්බන්ධවවත් අච්චු කළ හැකිව තිබිණි. එහෙත් කිසිවක්‌ සිදුවූයේ නැත.

රටේ බලාපොරොත්තුව නීතිය ක්‍රියාත්මක වනු දැකීමය. දැන් මේ මිනිස්‌සුන්ට අවස්‌ථාවක්‌ ලැබී තිබේ. ඒ මෙතෙක්‌ රටේ යහපත් බලාපොරොත්තු සමග ගනුදෙණු කළ සුධීමතුන්ගේ යහපාලනයේ යථාර්ථය තක්‌සේරු කිරීම සදහාය.

 


පරිසර සංරක්‌ෂණ භාරයේ සජීව චාමිකරට විශේෂ ස්‌තුතිය!

 

ජානක ලියනආරච්චි - ජගත් කණහැරආරච්චි

 

divaina

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us