ශ්‍රී පාදස්ථානයට කළ අකටයුත්තට සොබාදහමත් එරෙහි විය Featured

Saturday, 17 January 2015 13:09

ප්‍රථම ලෝක සිතියම සකස් කළ ටොලමිට ලෝකයේ බොහෝ සුවිශාල ප්‍රදේශ මඟ හැරී තිබිණි. එහෙත් කුඩා වුවත් අපේ රට මඟහැරී තිබුණේ නැත. ටොලමි ඔහුගේ සිතියමෙහි අපේ රට දක්වා තිබුණේ හැබෑ ප්‍රමාණයට වඩා අතිවිශාලවටය. ඊට හේතුවක් තිබුණි. එකල අපේ රට ගැන ලොව පුරා පැතිරී තිබු කීර්තියට අනුව ටොලමි අනුමාන කර ඇත්තේ එය මහා විශාල ප්‍රදේශයක් ලෙසය.

අපේ කුඩා දිවයින පුරාණ ලෝකයේ ප්‍රකට වන්නට එක් හේතුවක් වූයේ දෙවියන් වහන්සේ මැවු පළමු පුරුෂයා වන ආදම් හා ඒව ජීවත්වූ ඒඩන් නම් උද්‍යානය මෙහි පිහිටා තිබෙන බවට බටහිර මෙන්ම අරාබි ලෝකයේ පැතිර තිබු විශ්වාසයයි. මේ උද්‍යානය මත කඳු මුදුනක ආදම්ගේ පා සටහන පිහිටුවා ඇති බව ද ඔවුහු විශ්වාස කළහ. පැරැණි බටහිර ලේඛනයක සඳහන් කර තිබෙන්නේ මේ කඳු පාමුලට ගිය විට පාරාදීසයේ දියබිඳු වැගිරෙන හඬ ඇසෙන බවය.

මේ කඳු මුදුන සිරිපා කඳු මුදුනයි. බෞද්ධ අපගේ විශ්වාසයට අනුව එහි පිහිටා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පා සටහනය. ඒ පාමුලට ගිය විට පාරාදීසයේ දිය බිඳු වැගිරෙන හඬ ඇහෙන්නේ නම් එම පාරාදීසය අනිවාර්යයෙන්ම සිරිපා අඩවිය විය යුතුය.

බෞද්ධයින් බුදුරජාණන් වහන්සේගේ පා සටහන ලෙස සලකමින් ද, කිතුනුවන් හා ඉස්ලාම් භක්තිකයන් එය ආදම්ගේ පා සටහන ලෙස සලකමින් ද හින්දුන් එය ශිව දෙවියන්ගේ පා සලකුණ (ශිවනොලි පාදම්) ලෙස සලකමින් ද වසර දහස් ගණනක් පුරා වන්දනා කළේ දුෂ්කර චාරිකාවක යෙදෙමිනි.

දුෂ්කර නමුත් මේ ගමනේදී ඔවුන්ට පාරාදීසය වන් සිරිපා අඩවියේ සුන්දරත්වයත් පහසත් විඳ ගැනීමට අවස්ථාව ලැබුණේය.

එහෙත් පැවැති ආණ්ඩුව එම ප්‍රදේශයේ ආරම්භ කිරීමට උත්සාහ කළේ මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් හේතුවෙන් සිරිපා අඩවියම විනාශ වීමේ අනතුරක් තිබු බවට පරිසරවේදීහු චෝදනා කරති.

“පැවැති රජය සිරිපා අඩවිය හා සිරිපා කඳු මුදුන වගේ සංවේදී තැනකට ඔරොත්තු නොදෙන අන්දමේ මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් කරන්න උත්සාහ කළා. ඇත්තටම එයින් සිරිපා වඳින්න එන බැතිමතුන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒවා තනිකරම වාණිජ අරමුණු සහිත ව්‍යාපෘති. පැවැති රජය ශ්‍රීපාද අඩවිය සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් කරන්නයි හැදුවේ.” පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර පවසයි.

පැවැති රජය සමනොළ අඩවියේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ එම ව්‍යාපෘති මේවාය. කඳු පාමුල සිට උඩ මළුවට කේබල් කාර් සේවයක්, හෙලිකොප්ටර් නැවැත්වීම සඳහා අංගණයක් (හෙලිපෑඩ්), හෝටල් ව්‍යාපෘතියක් සහ උඩ මළුව සම්පූර්ණයෙන්ම වැහෙන පරිදි වීදුරු චෛත්‍යයක් යන අංගය. මේවා සියල්ලම මහා පරිමාණ ඉදිකිරීම්ය.

සිරිපා අඩවිය හෙවත් සමනොළ අඩවිය ස්වභාව ධර්මයාගේ සම්පතකි. පවතින නෛතික රාමුව තුළ එය රක්ෂිත වනාන්තර සංකීර්ණයක් ලෙස හඳුනාගත හැකිය. සිරිපා අඩවිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තර සමූහයකින් සමන්විතය.

මෙහි වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර, ස්වභාව රක්ෂිතයක් ලෙස නම් කළ රක්ෂිත හා අභය භූමියක් ලෙස නම් කළ රක්ෂිත ප්‍රදේශ ලෙස දෙආකාරය. ස්වභාව රක්ෂිත ලෙස නම් කර ඇත්තේ වනාන්තරයේ මධ්‍යයේ පිහිටි නොඉඳුල් වනාන්තරය. අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ස්වභාව රක්ෂිතය වටා පිහිටි මාර්ග අවට හා මිනිසුන් ගැවසෙන කලාපයයි. මේවාට පරිබාහිර කලාපයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත හා යෝජිත රක්ෂිතවලින් සමන්විතය.

ශ්‍රීපාද අඩවිය නම් මේ භූමියේ ශ්‍රී ලංකාවේ දැනට පවතින මෙතෙක් මිනිස් පහසක් නොලැබු නොඉඳුල් ප්‍රාථමික වනාන්තර සුළු ප්‍රමාණය පිහිටා තිබේ.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන සත්ත්ව හා වෘක්ෂලතා වර්ග අතරින් සිරිපා අඩවියට පමණක් ආවේණික වූ වනසතුන් හා වෘක්ෂලතා ගණනාවක් ද ජීවත්වන සංවේදී පරිසර පද්ධතියක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. ලෝකයේ රටවල් 196 අතරින් ජෛව විවිධත්වය උච්ඡ රටවල් 34 අතර පමණක් නොව අතිඋච්ඡ රටවල් අතරේ ද ශ්‍රී ලංකාව සිටී. අපේ රටේ මේ පාරිසරික විශේෂත්වයට සමනොළ අඩවිය සුවිශේෂී දායකත්වයක් දක්වයි.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂී විශේෂ 24 ම දැකිය හැකි ස්ථානයක් ලෙස ද ශ්‍රීපාද අඩවිය වැදගත්ය. එසේ ම මේ වනයේ අලි ඇතුන් 14 ක් පමණ ද ගැවසෙන බව පැවැසේ.

ශ්‍රීපාද රක්ෂිතය අයත් මධ්‍ය කඳුකරය ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික ලෝක උරුමය ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කරනු ලැබ ඇත්තේ ද මේ සුවිශේෂත්වය නිසාය.

එවැනි ලෝක උරුමයක සංවර්ධන කටයුතු පමණක් නොව ඕනෑම කටයුත්තක් කිරිම යුනෙස්කෝ සම්මුතින්ට අනුව සිදුකළ යුතුය. නොඑසේනම් එය ලෝක උරුම ලැයිස්තුවෙන් එළියට විසිවනු ඇත.

“සංස්කෘතික වශයෙන් පමණක් නොවෙයි පාරිසරිකවත් මෙවැනි වැදගත් ස්ථානයක් තමයි සංවර්ධනයේ නාමයෙන් විනාශ කරන්න හැදුවෙ. සිරිපා කඳු මුදුන විශාල වීදුරු චෛත්‍යයකින් වහන්න හැදුවා. එහෙම දෙයක් ඉදිකරන්න නම් කඳු මුදුනේ විශාල කොන්ක්‍රීට් අත්තිවාරම් දාන්න වෙනවා. ඒකෙන් කඳු මුදුනේ භූ පිහිටීම අස්ථාවර වෙලා හෝදා යාම සහ නායයෑම් වැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි කේබල් කාර් ව්‍යාපෘතියක්. වනාන්තරය හරහා කඳු මුදුනට හදන්න හැදුවා.

එහෙම දෙයක් ඉදිකරන්න වනාන්තරය පුරා තැනින් තැන කුලුනු හදන්න වෙනවා. මේවා හදන්න සහ කම්බි අදින්න කැලෑව කපල පාරවල් හදන්න වෙනවා. ඊළඟට නඩත්තු කටයුතු සඳහා මේ මාර්ග දිගටම පාවිච්චි කරන්න වෙනවා. මෙයිනුත් සිද්ධ වෙන්නෙ ඉහත තත්ත්වයමයි.

ශ්‍රීපාදයේ පහළ නල්ලතන්නි ප්‍රදේශයේ මුලින් යෝජනා කළේ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. නමුත් පරිසර සංවිධානවල දැඩි විරෝධය නිසා පැවැති ආණ්ඩුව පූජා භූමි ව්‍යාපෘතිය කියලා එය වෙනස් සංකල්පයකින් ගේන්න උත්සාහ කළා” සජීව චාමිකර සිහිපත් කරයි.

කෙසේ හෝ පැවැති ආණ්ඩුව ඉදිරියට ගෙන ඒමට උත්සාහ කළ මෙම ව්‍යාපෘති ආපස්සට තල්ලු කිරීමට පරිසර සංවිධානවලට හැකි විය.

“පරිසර සංවිධාන විදිහට අපි නිරන්තර අවධානයෙන් හිටියා. ඒ වගේම ක්‍රියාත්මක වුණා. දේශීයව කළ හැකි දේ සියල්ල කළා. ඒ වගේම යුනෙස්කෝ සංවිධානයටත් දැක්වූවා. යුනෙස්කෝ සංවිධානය මේ ගැන හොයන්න කමිටුවකුත් පත්කළා. මේ කමිටුවේ නිගමනය වුණෙත් මේ ව්‍යාපෘති නොකළ යුතු බවයි. ෙමය ක්‍රියාත්මක කළොත් විශාල පාරිසරික හානියක් වගේම ඉන් පසුව වසර දහස් ගණනක් පැරැණි පුදබිමත් විනාශ වෙන්න ඉඩ තියෙන බවයි ඔවුන්ගේ මතය වුණේ. කොහොම නමුත් අවසානයේ ආණ්ඩුවට ව්‍යාපෘතිය නතර කරන්න සිද්ධ වුණා” ඔහු පවසයි.

ශ්‍රීපාදය වාර්ෂිකව බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වන ස්ථානයක්. මේ පිරිසට පවතින පොදු පහසුකම් ගැන කිසිසේත් සෑහීමට පත්විය නොහැකිය. හැම තැනම අපද්‍රව්‍යය. නිසි පරිදි මළමුත්‍ර බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැත.

අපි පැවැති ආණ්ඩුවට යෝජනා කළා බොරු වැඩ කරල පරිසරය විනාශ කරන්නෙ නැතුව අපද්‍රව්‍ය සහ මළමුත්‍ර බැහැර කරන්න විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න, උඩමළුවට යන අතරමඟ තියෙන අම්බලම් වැඩිදියුණු කරන්න සහ වෙනත් පොදු පහසුකම් දියුණු කරන්න කියලා. නමුත් ඔවුන් ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ” සජීව චාමිකර සිහිපත් කරයි.

සංවර්ධනය නාමයෙන් භෞතික සම්පත් පමණක් නොව ආධ්‍යාත්මික වටිනාකම් ද ඉවක් බවක් නැතිව විනාශ කරන්නට ගත් උත්සාහයක් ලෙස සිරිපා අඩවියට කළ මේ බලපෑම දැක්විය හැකියි. සිරිපා අඩවියට අධිපති දෙවියන් ලෙස පිළිගන්නා සමන් දෙවියන්ගේ හෝ සොබාදහමේ හෝ යම් බලපෑමකින් සිදුවන්නට ගිය මේ විනාශය වැළකුණු බව ද ඒ ගැන කම්පාවෙන් සිටි අයගේ අදහසයි.

ප්‍රදීප් ඇහැලියගොඩ

- silumina

සැබැඳි පුවත්:
ශ්‍රී පාදය වැනසූ, බැසිල්ගේ හෝටලය කඩා දමයි !

Last modified on Saturday, 17 January 2015 13:40

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us