කවුද රංජන් කියන්නේ ? විපක්ෂය අහන දිනය වැඩි ඈතක නැත. Featured

Friday, 09 April 2021 13:23

පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන්නේ විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාසගේ සජබ කණ්ඩායමයි.

විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම ලෙස අද මේ මොහොතේත් මෙම කණ්ඩායම වෙතින් ආණ්ඩුවට අභියොගාත්මක බලපෑමක් කළ යුතුව ඇති නමුත් තවමත් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත්තේ නරිනාඩගම් කිහිපයක් පමණි.. ඒවා හුදු ජනී ජනයාගේ විනෝදය පිණිස වන විහිළු තහළු වැඩසටහන් වූවා මිසක් අන් කවෙරෙකුට දේශපාලනික සංවාදයකට හෝ හේතු කරගැනීමට සමත් වී නැත. මෙම තත්වය විපක්ෂයේ සෙසු කොටස්වලටත් යම් තරමකින් එල්ල කළ හැකි විවේචනයක්ද වෙයි.

පසුගියදා සජබය නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් පැමිණවීම පදනම් කරගෙන පාර්ලිමේන්තුව ඔහුගේ මන්ත්‍රීධුරය අත්හිටවනු ලැබීය. මෙය බරපතල කාරණාවක් වුව ඒ දක්වා එම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මැදිහත්වීම දේශපාලනික වශයෙන් සක්‍රීය හෝ මතවාදී වශයෙන් ප්‍රබල අදහසක් සමාජය මත ඇතැර දැමීමට සමත් වූයේ නැත.

රංජන් සම්බන්ධයෙන් අධිකරණයෙහි තීන්දුව අභියෝගයට ලක්කිරීමට දේශපාලනික එළඹුමක් මෙම සිදුවීම හරහා නිර්මාණය වී තිබුණද එය විපක්ෂය මඟ හැරියේය. පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත කළ යුතු වූ සටන් මඟ හැරියේය. ජනතාව සමඟ කළ යුතු වූ සංවාදය මුලුමනින්ම අත් හැරියේය.

අද රංජන්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු මංත්‍රී අසුනට ගම්පහ දිස්ත්‍රික් සජබ මනාප ලැයිස්තුවේ ඊළඟ වැඩිම මනාප හිමිකර ගත් අජිත් මාන්නප්පෙරුම ඇවිත් නව මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන්නේය. මෙතරම් වේගයෙන් මේ කටයුත්ත සිදුවීම ගැන හිතන්න වෙන්නේ මාන්නප්පෙරුම රංජන්ට අසුන අහිම වන තෙක් ඇඟිලි ගනිමින් සිටි බවය.

දේශපාලනයේදී බලය අත්පත් කරගැනීම විය යුතු නමුත් එමඟින් අඩුම තරමින් තමන්ගේ පක්ෂයට පාක්ෂිකයාට දේශපාලනික ජයග්‍රහණයක් අත්පත් කරදීමට සමත් විය යුතුය. එහෙත් මෙතැන සිදු වූයේම තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණය හෝ ලාබ අපේක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීමය. රංජන් වෙනුවෙන් තමන් දිගටම සටන් කරනවා කියන පණිවිඩය හෝ පාක්ෂිකයාට ඒත්තු ගැන්වීමට කටයුතුකර මෙම දිවුරුව් දීම දින කිහිපයකට හෝ කල් යැවීමට මාන්නප්පෙරුම කටයුතු කළේ නැත. රංජන් විසින් ගම්පහෙන් උපයා ගත්තු ඔහුගේ ඡන්දදායකයාම රංජන්ට මනාපයක් දෙන ගමන් මාන්නප්පෙරුමටද මනාපයක් ලබාදීමට කටයුතුකර තිබුණේ නම් එම ඡන්දදායකයා මේ මාන්නප්පෙරුම ගැන කල්පනා කරන්නේ හොඳ අදහසකින් ද නොවේ. අඩුම තරමින් සජබයේ නායකයාටවත් එම අවස්ථාවෙන් ගත හැකි දේශපාලනික වාසිය ගැන ඔහුට කියාදීමට නොහැකිවීම ගැනත් එක අතකට පුදුමවන්නට දෙයක් නැත. ඒ, සිදුවීම්වල දේශපාලන වාසිය අත්පත්කර ගැනීමට දේශපාලනික මොළයක් අවශ්‍යය කියන එක සජිත් ප්‍රේමදාස ඇතුලු සජබ නායකයන්ගේ අසාර්ථක සහ විසුළුකාරී වැඩවලින් දිගින් දිගටම පැහැදිලි වෙන තත්වයන් තුළ දේශපාලන වාසි අතපත්කර ගැනීම ගැන ඔවුන්ට අවබෝධයක් නොමැති බව පෙන්වා දී තිබෙන නිසාය.
මේ අනුව 'කවුද රංජන් කියන්නේ ? ' යනුවෙන් විපක්ෂය ජනතාවගෙන් අහන දිනය වැඩි ඈතක නැති බව කීවාට වැරැදි නැත.

රටේ සිදුවෙන අනෙකුත් කරුණු කාරණාවන් සම්බන්ධයෙන්ද විපක්ෂ කොටස් විසින් විටින් විට කරන විකාර වත්මන් ආණ්ඩුවේ නිවැරදිතාවයන් සහ එහි පැවැත්ම සහතික කිරීමට හේතු වී ඇති බවත් පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම ආණ්ඩුවට එරෙහිව එල්ල කරන බොහෝ චෝදනාවන් හී සත්‍ය කරුණවලට වඩා අතිශයෝක්තියට නංවන තොරතුරු , බොරු, සහ ඇත්ත ගැටලුව වෙනුවට වෙනත් ගැටලු මතු කිරීම් ආදී දේ නිසා ඒවා පහසුවෙන් නිශ්ප්‍රභා කිරීමට ආණ්ඩුවට හැකිව තිබේ. එ වගේම මේ චෝදනා එම චෝදනාවේ වපසරියෙන් එහාට ගෙන ගොස් උපක්‍රමික දේශපාලන ප්‍රහාරයන් දක්වා වර්ධනය කරගැනීමට දක්වන අසමත්කම හෝ ඔතෑනීකමද කැපී පෙනෙන තත්වයකි. කොටින්ම අද විපක්ෂය යැපෙන්නේ සමාජ මාධ්‍ය තුළ පුද්ගලයන් වශයෙන් අසංවිධානාත්මකව ආණ්ඩුවට එරෙහිව එල්ල කෙරෙන විවේචනයන් මතය. සමාජ මාධ්‍යයන්ගේ මේ ක්‍රියාකාරිත්වය නොමැති වූවා නම් මේ රටේ විපක්ෂයක් කියා දෙයක් තිබෙන බව සොයන්නට වෙනම කරදර වියයුතු වැඩක් බවට පත්වීම අනිවාර්යය.

මේ තත්වයන් මත කියන්නට වන්නේ තවත් බොහෝ කාලයක් යන තුරු ආණ්ඩුවට එරෙහිව ඇත්ත දේශපාලනික අභියෝගයක් නම් මේ මහ පොළවේනම් පහළ වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවය.

-සුජය

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us