මහින්දගේ කප්පම් විදෙස් පි‍ළිවෙත පිළිගන්නේ නැහැ - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

Monday, 23 February 2015 12:15

ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමේ කාර්යයේ ඉදිරි ගමන කෙ‍සේද, විධායක ජනපති ක්‍රමය සංශෝධනය කළ යුතු ද, අහෝසි කළ යුතු ද, අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ඇතුළු ව වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයට ලක් ව ඇති කරුණු කිහිපයක් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟ කළ කතාබහකි මේ.

ජාතික විධායක සභාවෙන් ජනතාව අපේක්ෂා කළ දේ ඉටුව තිබෙනවාද?
අපි කැබිනට් මණ්ඩලයේ හෝ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නොවෙයි. එනිසා ම ආණ්ඩුවේ සියලු දේට වගකීමක් හෝ බැඳීමක් අපිට ඇත්තේ නෑ. නමුත් විධායක සභාව අපේ යෝජනාවක්. එය පිහිටුවීමේ මුඛ්‍ය අරමුණ වූයේ අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇතිකර ගැනීමට අවශ්‍ය එකඟතා රාමුවක් ගොඩනඟා ගැනීමයි.

විධායක ජනාධිපති ඉවත් කොට ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, තොරතුරු දැනගැනීමේ පනත, ඖෂධ පනත, වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත, රටේ විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, වංචා දූෂණයන්හී නිරත වූ අයට දඬුවම් කිරීම යන මූලික අරමුණු පෙරදැරිව යි විධායක සභාව පිහිටුවා තිබෙන්නේ. මේ වන විට ඉන් ඉටු වී ඇති කාර්ය භාරය පිළිබඳ සැබවින් ම සෑහීමකට පත්විය හැකියි. මේ සියලු ව්‍යවස්ථා සංශෝධන මාර්තු මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට සම්මත කර ගත හැකි වේ යයි අපි විශ්වාස කරනවා.

කොමිෂන් සභා යළි පණගැන්වීම පිළිබඳ කටයුතු නිසි ආකාරයෙන් කෙරෙන බවක් පෙනේනනේ නෑ...?
අපේ රාජ්‍ය සේවය, පොලිසිය, අධිකරණ පද්ධතිය, විගණනය, මැතිවරණ, ස්වාධීන ක්‍රියාවලියකට ගොනු කළ යුතු ව තිබෙනවා. ඒවා 18 වැනි සංශෝධනය යටතේ රාජපක්ෂ ජනාධිපතිවරයා මුළුමනින් ම තම බලතල යටතට පවරා ගත්තා. එය රටේ පොදු පැවැත්මට අතිශය අහිතකරයි. නැවත මේ කොමිෂන් සභා ඇතිකිරීම රටේ යහපාලනය ඇතිකිරීමට අත්‍යවශ්‍යයි. එය ව්‍යවස්ථාවට ඇතුළත් කර 19 වැනි සංශෝධනය ලෙස නැවත සංශෝධනය කළ හැකිවේයි විශ්වාස කරනවා.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමෙන් පමණක් යහ පාලනයක් ඇතිකළ හැකි ද?
නැහැ, කොහෙත් ම නෑ. එහෙම හිතනව නම් ඒක මිථ්‍යාවක්.

ඔබ කළ හැකියි විශ්වාස කරන ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවක් ලබාගත යුතුයි නේද?
මේ මොහොත වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුවයි. නමුත් අද අපේ රටේ සුවිශේෂී දේශපාලන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. ඔහු ජනාධිපති බවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ හා අනෙකුත් පක්ෂවල සහයෝගයෙන්.

අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ. ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය මත. මෙවැනි තත්ත්වයකදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම වඩාත් හිතකරයි. ජනාධිපතිත්, අගමැතිත්, පාර්ලිමේන්තු බහුතරයත් එක් පාර්ශ්වයකට බලය අත්පත් කරගන්නා ඕනෑම අවස්ථාවකදී මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉටුකර ගැනීමේ අසීරුතාවක් ඇතිවෙනවා.

කොහොම වුණත් ඔවුන් නිකන් ම තමන්ගේ අත උස්සන එකක් නෑ. මා දුටුවා ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයෙක් චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබුණා. හිටපු ඇමැතිවරුන්ටත්, නියෝජ්‍ය ඇමැතිවරුන්ටත් ජීප් රථයක් හා කැබ් රථයක්, රියැදුරන් සහ ඉන්ධන ලබාදීමට. මා හිතන්නේ ‍මේ අත ඔසවා ගැනීම සඳහා ලබාදෙන කප්පම්. රටේ ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

අල්ලස් කොමිසම ඉදිරියේ ජේ. වී. පී. ය ටෙලි නාට්‍යයක් රඟදක්වන බවට මන්ත්‍රීවරයෙක් චෝදනා කර තිබුණා?
අල්ලස් කොමිසමට ප්‍රසිද්ධියේ ලිපි ගොනු භාරදීමේදී අපි අපේක්ෂා කරන අරමුණු දෙකක් තිබෙනවා. මේ කොමිසම පිළිබඳ අපට කිසිදු විශ්වාසයක් නෑ. මේ මුළුමනින් ම රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන වුවමනා මත අනෙකා දඩයම් කිරී‍මට හෝ හීලෑ කිරීම සඳහා බළල් අතක් ලෙස යොදා ගැනීමට සකස් කරගන්නා ලද්දක්. ප්‍රසිද්ධියේ වංචා, දූෂණ පිළිබඳ ලිපිගොනු භාරදීම හරහා එම ආයතනවලට යම් බලපෑමක් කිරීමේ අරමුණ අපි සතු ව තිබෙනවා.

දෙවැන්න, එසේ ප්‍රසිද්ධියේ භාරදෙන විට ජනතාව ඔවුන් දන්නා තවත් එවැනි දේ අපි වෙත ලබාදීමට පෙළඹෙනවා. කොහොම වුණත් අපි අප්‍රසිද්ධියේ මෙවැනි දූෂණ අක්‍රමිකතා මැඬලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මාධ්‍ය මඟින් හෙළිකළ ප්‍රචාරණයට වඩා ගොඩාක් වැඩියි. අපිට මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවක් නෑ.

ජනතාව තුළ විශාල කුකුසක් තිබෙනවා 94 සිදුවූ ආකාරයට මෙවරත් අපරාධකරුවන් නීතියෙන් ගැලවී යාවි කියලා?
දූෂිතයන්, හොරුන්, මැරයින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි කියලා මේ රටේ විශාල හඬක් නැඟූ අවස්ථා දෙකක් තිබෙනවා. එකක් එජාප 17ක් අවුරුදු පාලනයට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත්කළ අවස්ථාව. දෙවැන්න 2015 මැතිවරණය. 1994 සිදුවූ අන්දමින් හොරුන්ට, අපරාධකරුවන්ට ලෙහෙසියෙන් ගැළවීමට මෙවර අවස්ථාවක් නො ලැබෙන බවට විශ්වාසයක් පවතිනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂම මෙහෙය වන්නේ අපි නො වේ. ඒ සියල්ල ම තිබෙන්නේ ඔවුන් අතේ. අපි උපරිම බලපෑම් කරනවා මේ ආයතන පද්ධතිය හරහා වැරදිකරුවන් හඳුනාගෙන දඬුවම් කිරීමට. දඬුවම් ලබාදීමට අසමත් වුවහොත් ඒ සඳහා බාධා කළේ කවුද කියලත් අපි රටට හෙළි කරනවා.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා දින 100 වැඩසටහනින් ඉවත් කර තිබෙනවා නේද?
දින සියයේ වැඩසටහන ඇතුළේ මැතිවරණ ක්‍රමය පිළිබඳ සාකච්ඡා ඇතිවී තිබෙනවා. නමුත් ඊළඟ මහා මැතිවරණයට පෙර ප්‍රතිසංස්කරණ ඇතිකිරීමේ ගැටලු පවතිනවා. ඇත්ත වශයෙන්ම ඒවා ප්‍රායෝගික ගැටලු. සීමා නීර්ණය කිරීම් වැනි කටයුතුවලට යම් කාලයක් වැය වෙනවා. මා සිතන ආකාරයට එවැනි කටයුත්තක් නියම ආකාරයෙන් සිදුකිරීමට වසර එකහමාරක්වත් ගතවේවි. දින සියයේ වැඩසටහන සැලසුම් කිරීමේදී ඊට යම් ආකර්ෂණයක් ලබාගැනීම සඳහා නිශ්චිත දින වකවානු ඇතුළත් කර තිබුණත් සෑම විටම ඒ දින වකවානු ප්‍රායෝගික වන්නේ නෑ.

මෙවැනි දේ හේතුවෙන් මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකියි නේද?
දින 100 ය තුළ ඉටුකෙරෙන සාධනීය වැඩ කොටසක් තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්. කෙසේ වෙතත් දින 100 වැඩසටහන සකස් කිරීමට අපි සම්බන්ධ නෑ. එමඟින් රටේ අනාගත යහපත වෙනුවෙන් ඉටුකර ගත හැකි දෙයට අපි මුළුමනින් ම සහාය දෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද? සංශෝධන කරනවාද? කොහොම වුණත් ඒ පිළිබඳ යමක් දින 100 තුළ නො කෙරෙන බවයි පෙනෙන්නේ?
විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් ම අහෝසි කළ යුතු බවයි අපගේ යෝජනාව. තනි පාලකයකු වටා අසීමිත බලයක් කේන්ද්‍ර වීම ඉතා ම ප්‍රාථමික ක්‍රමයක්. සමාජය දියුණු වීමේදී එය පිරිසක්, කණ්ඩායමක් වෙත ව්‍යාප්ත විය යුතුයි.

ප්‍රතිසංස්කරණ ඇතිවන්නේ ධුරය අහෝසි කිරීමට නො ව බලතල සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ?
ඒ පිළිබඳව විවිධ අදහස්, යෝජනා පැවතිය හැකියි. නමුත් පක්ෂයක් විදිහට අපගේ අදහස එය මුළුමනින් ම ඉවත් කළ යුතු බවයි. වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අප දරන මතය ඊට වෙනත්. දැන් ඔහුට ජන වරමක් ලැබී තිබෙනවා. විශේෂ වූ අන්තර්කාල විධිවිධාන යටතේ සිය ධුර කාලය අවසන් වන තෙක් රැඳී සිටීමට ජනපතිවරයාට බලය පවරා දිය යුතුයි.

මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව සමඟ ඔබට ඇති හිතවත්කම නිසා ඔබ එලෙස යෝජනා කරන බවට කෙනෙක් යෝජනා කළහොත්?
අපිට වත්මන් ජනාධිපති මෛත්‍රී ද තවත් කෙනෙක් ද කියන එක ගැටලුවක් නෑ. දැන් ඉන්න ජනාධිපතිට ජනවරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරම පාර්ලිමේන්තුවක් පත්කිරීමට ලබා දෙන ජනවරමට දෙවැනි වෙන්නේ නෑ. ඒ නිසා ජනවරමින් පත්වූ ජනාධිපති ඔහුගේ ධුර කාලය අවසන් වනතුරු සිටිය යුතුයි.

චීනය, රුසියාව වැනි රාජ්‍ය, ශ්‍රී ලංකාව සමඟ අමනාප කිරීම සඳහා ඔබ පක්ෂය කටයුතු කරන බවට චෝදනා එල්ල වුණා?
අපිට ඉන්දියාව ද, චීනය ද, අමෙරිකා එක්සත් ජනපදය ද, රුසියාව ද කියා ගැටලුවක් නෑ. අපිට හොඳ විදෙස් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. රාජපක්ෂ හිටපු ජනපතිට තිබුණ කප්පම් විදේශ ප්‍රතිපත්තිය අපිට පිළිගන්න බෑ. ඔහු නොරොච්චෝලේ බලාගාරය චීනයට දෙන විට හිත ‍රිදෙයි කියලා සාම්පූර් දුන්නා ඉන්දියාවට. චීනයට මාතර බෙලිඅත්ත පාර හදන්න දෙන විට කන්කසන්තුර ඕමන්ත රේල් පාර ඉන්දියාවට දුන්නා. ඒක කප්පම් විදේශ ප්‍රතිපත්යක්. අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ඊට වඩා පුළුල් දැක්මක් ඇතිවය.

අපි චීනයට විරුද්ධ වුණේ නෑ. නමුත් වරාය නගරය ඉදිවෙන අවිධිමත්, අහිතකර විනාශකාරී ක්‍රමවේදයට අපි හැමදාමත් විරුද්ධයි. කුඹුරක් ගොඩකිරීමටත් නීතියක් තිබෙන රටේ මුහුද ගොඩකිරීමට කිසිදු නීතියක් නෑ. මේ ඉදිවන වරාය නගරය ලෝ‍ක දේශපාලනයේ බල තුලනයට විශාල තර්ජනයක්. දැනට යෝජනා වී ඇති අන්දමට මේ වරාය නගරයේ වැඩි වාසි අත්වෙන්නේ චීනයට. මේ නිසා අප චීන රජයට විරුද්ධ නෑ. චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ අපේ පක්ෂයත් සමීප සබඳතා තිබෙනවා. නමුත් රටට අහිතකර මේ ඉදිකිරීමට අපි මුළුමනින්ම විරුද්ධයි.

රුසියාව පිළිබඳ ගැටලුව ඇතිවී තිබෙන්නේ තානාපති කාර්යාලය ඉදිකර ඇති බිම පිළිබඳ, පිරිසක් අප වෙත පැමිණ ඉදිරිපත් කරන ලද දුක්ගැනවිල්ලක් හේතුවෙන්. අපි රුසියාව හෝ එම තානාපති කාර්යාලයට විරෝධය දක්වා නෑ. එම භූමිය එහි පදිංචි ව සිටි පිරිසගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙනවා. අපි විරෝධය දැක්වූයේ එම පවරා ගැනීම පිළිබඳවයි.

උපුටා ගැනීම-ලක්බිම

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us