යථාර්ථය මෛත්‍රීපාල සිරිසේන. මායාව මහින්ද රාජපක්ෂ

Sunday, 15 February 2015 08:26

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා සමඟ කළ සාකච්ඡවකි

(1) වත්මන් ආණ්ඩුවේ ස්ථාවරත්වය ගැන ඔබ දරන මතය කුමක්ද?

මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. අනික් පැත්තෙන් එජනිස මන්ත්‍රිවරු වික්ෂිප්ත වෙලා ඉන්නවා. ඔවුන් මෛත්‍රිපාල සිර‍ිසේන මහතාට ‘අයියෝ සිරිසේන’ කියපු කට්ටිය. එහෙම කියපු අය මෛත්‍රිපාල ජනපතිවරයාගේ නායකත්වය වැලඳගෙන ඉන්නවා. ඒක ප්‍රශ්නයක්.

ඊළඟට ශ්‍රිලනිපය තුළ චන්ද්‍රිකාගේ භූමිකාවකුත් තිබෙනවා. ඒක අදෘශ්‍යමාන බලවේගයක් වගේ. මේ මන්ත්‍රිවරු මහින්ද සරණං ගච්චාමි කියපු අය. මේ අයට මහින්ද ජයගනියි කියලා විශ්වාසයක් තිබුණා. දැන් ඒක ඉච්ඡාභංගත්වයක් බවට පත්වෙලා. ඒ නිසා තමයි ශ්‍රීලනිප මන්ත්‍රිවරු වික්ෂිප්තභාවයට පත්වෙලා ඉන්නෙ.

ඔවුන් ශ්‍රීලනිප සභාපති ලෙස මෛත්‍රිපාල සිර‍ිසේන ජනාධිපතිවරයාව පත් කර ගත්තා. එසේ පත්කර ගත්තත් අවිඥානිකව ඔවුන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ. මේක හරියට යථාර්ථය හා මායාව අතර ප්‍රශ්නයක් වගේ. යථාර්ථය මෛත්‍රිපාල සිරිසේන. මායාව මහින්ද රාජපක්ෂ. ඉතින් එජනිස මන්ත්‍රිවරුන්ගේ මනස වික්ෂිප්තවෙලා තියෙන්නෙ. මන්ත්‍රිවරුන්ට බැහැ මෛත්‍රිපාල මහතාට සහාය නොදී ඉන්න.

ඊළඟ ප්‍රශ්නය තමයි දැන් ආණ්ඩුව තියෙන්නෙ එජාපයට. ඒක සාධාරණයි. මෛත්‍රිපාල මහතා දිනුවෙ බහුතරයක් එජාප ඡන්ද වලින්. අනෙක් අතට අද වනවිට මෛත්‍රිපාල මහතා විධායකය භාවිත නොකරන මට්ටමට පත්වෙලා ඉන්නවා. ඒක අපි ප්‍රසංශා කළ යුතු තත්ත්වයක්. ‘77 න් පසු බිහිවූ නායකයින්ගෙන් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස පෙනෙන්නේ මෛත්‍රිපාල මහතායි. ඔහුට විධායක බලය දීලත් ඔහු ඒ බලය භාවිත කරන්නෙ නැහැ. ඒ බලය ඔහු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරා තිබෙනවා.

බහුතරය වන එජනිසයේ මන්ත්‍රිවරුන්ට දිරවාගත නොහැකි කාරණය තමයි යූ.එන්.පී. ආණ්ඩුවක් පැවතීම. පාර්ලිමේන්තුවෙ බහුතරය තිබෙන පක්ෂයකට මේ වගේ අභාග්‍ය සම්පන්න ඉරණමක් අත්වෙච්ච ප්‍රථම වතාව මේක. දැන් ඔවුන්ගේ නායකයා ජනාධිපති. මේ ආණ්ඩුව ඔවුන්ගේ නායකයා විසින්ම පිහිට වූ එකක් නිසා මේක පෙරළන්න විදියකුත් නැහැ. ඒ නිසා ඔවුන් මෙතනදි සරල උපායක් පාවිච්චි කරනවා විවේචනාත්මක සහාය කියලා. මේක හරියට කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක්.

(2) ඇමතිවරයෙකුට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අත කොනහනවා වැනි දෙයක් ද?

ඔව්. විශ්වාසභංගය පසුපස කුමන්ත්‍රණකාරී බලවේගයක් තිබෙනවා. පරාජිත ප්‍රතිගාමීත්වය. ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, අන්තගාමී දේශපාලනයක් කරපු අන්තිමට හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලන්න ගිය පිරිසක් තමයි මේ පසුපස ඉන්නෙ. බොහෝවිට ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට මේ ගැන නියම වැටහීමක් නැහැ. මන්ද ඔවුන් සිටින්නේ මේ ආණ්ඩුවට කෙසේ හෝ රිදවිය යුතුය යන මානසික මට්ටමකයි. මේක පසුපස ඉන්න සැබෑ බලවේගය ගැන ඔවුන්ට ඇත්ත වැටහීමක් නැති වෙන්න පුළුවන්. ඇත්තටම මේ විශ්වාසභංගය පසුපස නරුම ප්‍රතිගාමීත්වයක් තිබෙන බව තමයි පේන්නෙ.

ජෝන් අමරතුංග වැනි අය ඉතාමත් පිරිසිදු අය යැයි මගේ ප්‍රකාශයෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ. එජාපයේ නූතන තරුණ පිරිස පැරැන්නන්ට වඩා හුඟක් හොඳයි. ඇතැම් දූෂිත පැරැන්නන්ට විකල්ප ලෙස එජාපයේ තරුණ පිරිස ඉදිරියට ගත යුතුයි. වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට අවශ්‍යත් එබඳු පිරිසක්.

එජාපයේ පැරැන්නන්ට 77 - 94 කාලය තුළ වගේ දූෂිත දේශපාලනයකට ඉඩ නොතැබිය යුතුයි. අමරතුංග කළ වරදට සමාව දෙන්නත් බැහැ. හැබැයි විශ්වාස භංගය ගේන්නෙ තවත් දූෂිත හා වැරදිකාර පිරිසක්. නිශාන්ත මුතුහෙට්ටිගම කරපු වැඩෙයි මේකයි අතර වෙනසක් තියෙනවද. නැහැ. නමුත් මුතුහෙට්ටිගම ගැන නිහඬව හිටපු මන්ත්‍රිවරුන්ට අමරතුංග විතරක් වරදකරුවෙක් වෙනවා. ඒ නිසයි මේ විශ්වාසභංගය ප්‍රතිගාමී බලවේගවල වුවමනාවක් බව මම කියන්නෙ.

(3) වැරදි කරන අයට දඬුවම් කිරීමත්, ප්‍රගතිශීලී ගමනකට පිළිවන් ආණ්ඩුව රැක ගැනීමත් කියන කාරණා දෙකම අපි ඉෂ්ට කර ගන්නේ කොහොමද?

ජනවාරි 9 වැනිදායින් ආරම්භ වෙච්ච රෙජීම් එක නිදහසින් පසු මේ රටේ බිහි නොවුණු එකක්. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයත් සමඟ බිහිවූ රජය ලෝකයේ කිසිම ආකෘතියකට ගැළපෙන එකක් නෙමෙයි. ප්‍රධානම කාරණය තමයි සියලු විධායක බලතල හිමි ජනාධිපති ස්වෙච්ඡාවෙන් ඒ බලතල අතහැර තිබීම.

ඒක ලෝකයේ කිසිම රටක වෙලා නැහැ. දෙවැනි කාරණය ලංකාවෙ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට සුළුතර ආණ්ඩුවක් බලයට පත්වෙලා තියෙනවා. අද විරුද්ධ පක්ෂය කියන්නෙ පාර්ලිමේන්තුවෙ බහුතරය තිබෙන පක්ෂයකට. ඒ නිසා මේ තත්ත්වය ලෝකයේ කිසිම ආණ්ඩුක්‍රම පසුබිමකට සමගාමී නැති එකක්. මේක එක්තරා ආකාරයක විකෘතියක්. හැබැයි මේ විකෘතිය ධනාත්මකයි.

මේ ආණ්ඩුව බලයට පත්වන්න පෙරම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කණ ඇති කිරීම පිළිබඳ කාලසටහනක් ඉදිරිපත් කරනවා. දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම කාලසටහනක් දීලා නැහැ. ඒක ඉතාම හොඳ විශ්වාසනීය ගුණාංගයක්. ප්‍රධාන ඒවා අපි ගනිමු. ඒක තමයි විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීම, දෙක තමයි 18 අහෝසි කිරීම. ඊළඟට 17 වැනි සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. තාවකාලිකව හතරවැන්න නවතා තිබෙනවා.

ඒකට අපි සමාව දෙමු. නමුත් ප්‍රධාන එක තමයි ජනාධිපති බලතල සීමා කිරීම. ඇත්තටම ජනතාව බලාපොරොත්තු වුණේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. නමුත් දින සියය තුළ බලතල සීමා කිරීමට දැන් කටයුතු සූදානම්. ඊළඟට 18 අහෝසි කර 17 ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ සමයේදි කිව්වෙ අපි රට මුදාගත්තා, දැන් එය සංවර්ධනය කරනවා කියලයි. මිනිස්සුන්ග භෞතික ජීවිතය ගැනයි එතුමා කතා කළේ. මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ බලවේගය කතා කෙරුවේ ඒවා නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන.

ඒවා භෞතික දේවල් නෙවෙයි. ඒවා සාමාජීය වශයෙන් ජීවිත වලට ලැබෙන දේවල්. රටේ යම් දියුණු කොටසක් අපේක්ෂා කරන දේවල්. යම් යම් දේශපාලන අවබෝධයක් තිබෙන කොටසකට ආමන්ත්‍රණය කිරීමයි මෛත්‍රිපාල සිරිසේන ඇතුළු බලවේගය කළේ. ජනතාව ඒ බලවේගය දිනෙව්වා. දැන් ඒ බලවේගයට ලොකු වගකීමක් තිබෙනවා. ඒ තමයි තමන් දුන් පොරොන්දු පැහැර හැරිය නොහැකියි කියන එක. ඔවුන් ඒ පොරොන්දු ඉටුකිරීමේ ව්‍යායාමයේ යෙදෙන බව පේනවා. ඒ නිසා මේ ආණ්ඩුව නිදහසින් පසු ලංකාවේ බිහිවූ වඩාත් ප්‍රගතිශීලීම ආණ්ඩුව ‍ලෙසයි මට පේන්නෙ.

මේ රටේ නැති වෙච්ච දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක ඇති කරනවයි කියන එක හරිම ප්‍රගතිශීලී වැඩක්. මේ කටයුත්ත සපුරා ගැනීමට ජන සහභාගීත්වය අත්‍යවශ්‍යයි. දැන් සිවිල් සමාජය හුඟක් දියුණුයි. පොරොන්දු ඉටු කරනවාද යන්න ගැන ඔවුන් විමසිල්ලෙන් ඉන්නවා. ඔවුන් උද්ඝෝෂණ කරන ජනතාවක්. ඒ නිසා ආණ්ඩුවලට කර හරින්නත් බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් යම් ධනාත්මක තත්ත්වයක් මේ කාලය තුළ ඇතිකරගත හැකි වූවොත් ඒක මේ රටේ ජනතාව ලබන ජයග්‍රහණයක්.

(4) පැවැති රජයේ දූෂණ වංචා පිළිබඳව පැමිණිලි ඉදිරිපත් වුණා. නමුත් පරීක්ෂණ ප්‍රමාද වන තත්ත්වයක් තිබෙනවා. මේක කොහොමද ආණ්ඩුවේ ඉදිරි ගමනට බලපාන්නේ?

ඒක අපි කාටත් තිබෙන ප්‍රශ්නයක්. සාමාන්‍ය ජනයාට මේක බරපතළ ලෙස දැනෙන ප්‍රශ්නයක්. මේ වැඩේට යාන්ත්‍රණයක් අවශ්‍යයි. දැනට තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම. ඒක සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙච්ච කොමිසමක්. ඒක ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව අතහැර ඇති බවකුයි දක්නට ලැබෙන්නෙ. ආණ්ඩුව කියන්නේ 17 සංශෝධනය නැවත ක්‍රියාත්මක කළ විට මේ විමර්ශනය සඳහාත් නීති හැදෙනවා. එතකොට මේ තියන එක ස්වයංක්‍රීයව අහෝසි වෙනවා. අලුතින් හදන අල්ලස් දූෂණ ආයතන රාමුවට පුළුවන් මේ ක්‍රියාවලිය ක්ෂණිකව කරගෙන යන්න. ඒ කියන්නෙ ව්‍යවස්ථා සංශෝධනය එනතුරු අපිට ටිකක් කල්මරන්න සිද්ධ වෙනවා.

(5) මේ කාරණය ජනතාවට පැහැදිලි කර දිය යුතුයි නේද?

මේක ඉතිං ආණ්ඩුවෙ වගකීමක්නෙ. ඒක ප්‍රධානීන්ගේ වගකීමක් වෙනවා. අද මාධ්‍ය කරන වැඩේ බලන්නකො. මාධ්‍ය තවම ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ පැත්තෙනෙ. අදටත් මාධ්‍ය අදෘශ්‍යමාන ලෙස යහපාලනය ගැන ප්‍රශ්න කරනවා. ප්‍රතිසංස්කරණ ගැන සැක පළකරනවා. එයින් උත්සහ කරනවා මහින්ද රාජපක්ෂ ගෙන ගිය ක්‍රියාවලිය යුක්තිසහගත කරන්න. මාධ්‍ය අද හැසිරෙන්න ඕනෙ එහෙම නෙමෙයි. අද ඇතිවී තිබෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට විශාල තල්ලුවක් දෙන්න ඕන. මාධ්‍යයක වගකීම තමයි ජනතාවට මේක අවබෝධ කර දීම.

(6) හිටපු ජනපතිවරයා නැවත දේශපාලන කරළියට පැටවීමේ තැතත් ක්‍රියාත්මක වෙනවා. මේ කාරණය ජනතාව තේරුම් ගත යුත්තේ කෙසේද?

මේ රටේ සිංහල සමාජයේ බහුතරය ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ෂට. යුද්ධය ජයග්‍රහණය කිරීම සිංහල බෞද්ධයින්ට ලොකු වින්දනයක් ගෙන දුන් කාරණයක් වුණා. මම දෙමළ ජාතියේ ස්වයං නීර්ණ අයිතිය පිළිගන්න කෙනෙක්. දෙමළ විමුක්ති අරගලයක් තිබුණු බවත් පිළිගන්නවා. හැබැයි අපි කවුරුත් තැනින් තැන බෝම්බ පිපිරෙනවට කැමති නැහැ. සිංහල සමාජය මේ ප්‍රශ්නයට හරි සංවේදියි. මොකද සිංහල සමාජය මේ ප්‍රශ්නයෙන් දරුණු විදියට බැට කෑවනෙ. හැබැයි මේ අර්බුදයෙන් දෙමළ සමාජය බැට කාපු බව සිංහල සමාජය දන්නෙ නැහැ. දැන ගන්න වුවමනාවකුත් නැහැ.

අනික් අතට මේක හරි විජ්ජාකාර සමාජයක්නෙ. රටක සැබෑ සංවර්ධනයයි කියන්නෙ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගපු තත්ත්වයක්නෙ. නිෂ්පාදන ආර්ථිකයකට ගැළපෙන යටිතල පහසුකම්නෙ හදන්න ඕනෙ. මේ රටේ සංවර්ධනය කෙරුණේ එහෙම නෙමෙයි. ඇඳුමක් මහලා ඇඳුමට හරියන විදියට ඇඟ හදාගන්නවා වගෙයි. ඒ විජ්ජාකාරී සංවර්ධනය ආකර්ෂණීයයි. ඇසට පේන දේවල් මහින්ද රාජපක්ෂ කෙරුවෙ.

ලොකු පාරවල් දුටු මනතින් මිනිස්සුන්ගෙ ඇස් නිලංකාර වෙනවා. වෝකින් පාක් හරහා නාගරික සංවර්ධනය ජනතාව දුටුවා. ඒකෙනුත් ඇස් නිලංකාර වුණා. සමහරෙකට ඒවා භුක්ති විඳින්න බැරි වුවත් දැකීමෙන් ආස්වාදයක් ලැබුවා. මිනිස්සු දේශපාලනික වශයෙන් නොදියුණු නම් තමයි ඇත්තමට ඔය තත්ත්වයට මුහුණ දෙන්නෙ. ඔවුන්ට මහින්ද නිතැතින්ම වීරයෙක් වෙනවා.

අපේ දේශපාලන සංස්කෘතිය වැඩවසම් එකක්. ඒ අනුව අපි තවම ඉල්ලන්නේ රජ කෙනෙක්. බ්‍රිතාන්‍ය වගේ රටක ජනතාව රජ කෙනෙක් එපා කියනවා. ඉන්නවා නම් කූඩුවෙ දාපු ගිරවා වගේ තමයි තියා ගන්නෙ. රජ කෙනෙක් එපා කියන එක තමයි දියුණු ප්‍රජාතන්ත්‍රවාදය. ඒත් අපි අදටත් ඉල්ලන්නෙ රජ කෙනෙක්. විශේෂයෙන් ම අපේ සාම්ප්‍රදායික සමාජය. ඒ වුවමනාව මහින්ද ඉෂ්ට කෙරුවා.

මේ රටේ ගැමි ජනයාගේ අපේ කම කියන දේට තමයි මහින්ද ආමන්ත්‍රණය කෙරුවෙ. ඒ නිසා ගැමි සමාජයේ වීරයා මහින්ද. දෙමළ ගැමි සමාජයේ ද්‍රෝහියා මහින්ද. මේ වීරත්වය උඩ තමයි සිංහල සමාජය මහින්දට ඡන්දෙ දුන්නෙ. ඔහු පරාජය වෙලා ගමට ගිහින් කිව්වෙ මෛත්‍රිපාල දිනුවෙ දෙමළ ඡන්දවලින් කියලයි. ජනේලෙ එල්ලිලයි ඔහු ඒක කිව්වෙ. ඒක බොහොම ජාතිවාදී කතාවක්. මෙරට ඇතිවූ ජැකොබින් වාදයේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ. මේ බලවේගය නියෝජනය කරපු පිරිසක් පාර්ලිමේන්තුවෙ හිටියා. වීරවංස, වාසුදේව, රෝහිත, මහින්දානන්ද, දිනේෂ් වගේ අය. ජැකොබින් වාදය තුළ ජනතාවාදී ස්වරූපයකුත් තිබෙනවා. ඊනියා ප්‍රගතිශීලි භාවයකුත් තියෙනවා.

උදාහරණයක් හැටියට ගඩාෆි ගනිමු. ඔහු ප්‍රගතිශීලී නායකයෙක් කියලනෙ ප්‍රතිරූපය හදාගෙන හිටියෙ. ඔහු අන්ත දූෂිත නායකයෙන්නෙ. නමුත් අධිරාජ්‍ය විරෝධයන් ඔහුට තිබුණා. ඒ ජාතියේ නායකයෙක් බවටයි මහින්ද පත්වෙමින් ආවෙ. ඒ බලවේගය තවම මේ සමාජය තුළ සක්‍රීයයි. ඒ තත්ත්වයයි ජනතාව ඉදිරි මැතිවරණයකදි තේරුම්ගත යුත්තෙ. ඒ කුමන්ත්‍රණයයි ජනතාව ඉදිරි මැතිවරණයේදි තේරුම් ගත යුත්තෙ.

(7) ආණ්ඩුවේ දින සියය හා මැතිවරණයකින් පසු එළඹෙන යුගය ගැන අද අපට අදහසක් ඇති කර ගත හැකිද?

දින සියය තුළ ජනාධිපති බලය සීමා කරන එක අනිවාර්යයෙන් කෙරෙනවා. 18 අහෝසි කර 17 ගෙනෙනවා. ඒ සමඟම යහපාලනයේ මූලධර්ම රට තුළ ස්ථාපිත වෙනවා. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දින සියය තුළ සාර්ථක වුණොත් ඊළඟ මහමැතිවරණය නිදහස් ඡන්දයක් බවට පත්වෙනවා. එතනදි මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා මධ්‍යස්ථව වැඩ කරයි කියලා අපි අපේක්ෂා කරනවා. මන්ද ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීමට පටන් ගතහොත් විරුද්ධ පක්ෂවලට අවස්ථාවක් නැති වෙනවා.

සහජීවනයත් එතනින් ඉවර වෙනවා. ජනාධිපති මෙතනදි නිර්පාක්ෂිකව මධ්‍යස්ථ භූමිකාවක් නිරූපණය කළහොත් ඔහු ලංකා දේශපාලනයේ ඉතිහාසගත පුද්ගලයෙක් බවට පත්වෙනවා. ස්වාධීන කොමිසම් පිහිටුවූවාට පසු ස්වාධීන මැතිවරණ, රාජ්‍ය සේවා පොලිස් කොමිෂන් ස්ථාපිත වෙනවා.

ඒ ඒ විෂයයන්ට අදාළව වැඩ කරන කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට පක්ෂග්‍රාහීව වැඩ කරන්න බැරි වෙනවා. 100% ක් නොවූවත් සාපේක්ෂව හරි ඔවුන් ස්වාධීන වෙනවා. ස්වාධීන ඡන්දයක් ලැබෙන විට ඡන්ද දායකයාටත් කැමති පක්ෂයකට ඡන්දෙ දෙන්න නිදහස ලැබෙනවා. කිසිදු බලපෑමක් නැහැ. මාධ්‍යයත් ස්වාධීන වෙනවා. එහෙම බලන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය හා පාලන යුගය ආශ්චර්යවත් කාලයක් බවට පත්වෙනවා. ඒ කියන්නෙ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාව මල්ඵල ගැන්වෙනවා.

සංවාදය -
වීරසිරි තේනුවර


silumina

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us