කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැව්වේ දුටුගැමුණු කුමරු නොවේ. මහානාම හිමි යි - ආචාර්ය රාජ් සෝමදේව

Published in කලා
Saturday, 14 February 2015 10:08

ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ විසින් රචිත ‘‘මහ රජ ගැමුණු ජයමග ඔස්සේ’’ කෘතිය පසුගිය 10 වන දින කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජන ගත කෙරිණ. මැටරඹ හේමරතන නාහිමිපාණන් මෙම උත්සවයේ මුලසුන හෙබවූ අතර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි සහ මහාචාර්ය රාජ් සෝමදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් යන මහත්වරු දෙසුම් පැවැත් වුහ.

ආචාර්ය රාජ් සෝමදේව යනු කවදත් සම්මත ඉතිහාසය අභියෝගයට ලක් කරන විද්වතෙකි; පුරා විදු පර්යේෂකයෙකි. එදින ද ඔහු පැවැත්වූ දේශනයේ ඇතැම් කොටස් සම්මත ඉතිහාසය, එසේත් නැත්නම් විවිධ වංශකතාවල අඩංගු ඉතිහාස කරුණු යම් අභියෝගයකට ලක් කළේ ය.

මතු දැක්වෙන්නේ ඒ මහතා විසින් කරන ලද දේශනය ඇසුරින් සැකසූ ලිපියකි.

මෙය අපි බොහෝ දෙනා විසින් වඩාත් හඳුනන ඓතිහාසික චරිතයක් වන දුටුගැමුණු රජතුමාගේ සංග්‍රාමික ගමන් මග ඔස්සේ කළ ගවේෂණාත්මක චාරිකාවක තොරතුරු ඇතුළත් කෘතියකි. මෙම කෘතිය මගින් මීට වසර දහස් ගණනකට ඉහත සිදු වූ එක් ප්‍රධාන ඓතිහාසික සිද්ධියක් ස්ව අත්දැකීමක් ලෙස විඳගැනීමට පාඨකයාට පුළුල් අවස්ථාවක් ලබාදෙබ බව නිසැක ය. මෙවැනි කෘතියක් සම්පාදනය කිරීම වෙනුවෙන් එහි කර්තෘවරයාට අප සියලු දෙනා විසින් කෘතඥ විය යුත්තේ ඒ නිසා යැයි මම විශ්වාස කරමි.

ඉතිහාසය යනු ඇතැම් විට අප ජීවත්වන වර්තමානයටත් වඩා අපිට සමීප බවක් දනවන්නකි. ඇතැම් ඓතිහාසික චරිත අපගේ අසල්වැසියාටත් වඩා හොඳින් හඳුනමි. එවැනි ඓතිහාසික චරිත අතළොස්සක් අතරින් දුටුගැමුණු රජුගේ චරිතය සුවිශේෂිත ය. මේ සුවිශේෂී බව කියාපාන්නේ අවම වශයෙන් අවුරුදු 1500 ක් පමණ පැරණි ලිඛිත ඓතිහාසික සම්ප්‍රදාය තුළ එම ඓතිහාසික චරිතය අනෙක් චරිතවලට වඩා කිහිප ආකාරයකින් වර්තමානය මගින් එය භාවිතයට ගෙන ඇති හෙයිනි.

ඉතිහාසය නම් වූ නිම්වළලුවලින් දුරස්තව පවතින: කලාව, සාහිත්‍යය, දේශපාලනය ආදී ක්ෂේත්‍රවල මෑත කාලයේ දී දුටුගැමුණු චරිතය ඇගයීමට ලක්වීම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි හොඳම නිදසුන යැයි මම විශ්වාස කරමි. ‘‘මහරජ ගැමුණු ජයමග ඔස්සේ’’ නම් වූ මෙම කෘතිය ද ඒ ඓතිහාසික චරිතය වර්තමාන සමාජය අවශෝෂණය කරගෙන ඇති තවත් මානයක් අප වෙත විදහා දක්වන්නකි. මෙම කෘතිය ප්‍රවේශමින් කියවන විට පෙනෙන්නේ වංශකතාවලින් දැනටමත් ප්‍රතිශ්ඨාපනය කර ඇති වෘත්තාන්තයක් කතුවරයා විසින් ගුරු කොට ගනිමින් ඒ වෘත්තාන්තයේ යථාර්තය ප්‍රායෝගික ලෝකය තුළ සොයාගැනීමට වෑයම් කිරීමට වෙර දරන බවයි. අතීතය අධ්‍යනය කිරීමේ විධික්‍රමයක් ලෙස නම් මෙය මා දකින්නේ අතිශය අවදානම් සහගත කටයුත්තක් බව යි.

සාහිත්‍යමය යථාර්ථයත්, අනුභවික යථාර්ථයත් අතර සංවිද්ධතා මෙන් ම විසංවාද ද හටගනී. ඕනෑම සාහිත්‍යය කෘතියක් ස්වකරණවාචී යැයි පිළිගනු ලබනවා. එය තුළ රචකයාගේ අභිප්‍රේථාර්ථ පමණක් නොව එවැනි චරිතයක් ගොඩනැගීම සඳහා මුදුන්පත්ව පැවති සමාජ, ආර්ථික සංකල්පාවලීන් ගෙන් ද අත්මිදීමට කුමන තරාතිරමක රචකයකු වුව ද අපොහොසත් වෙයි. අප සිතන පතන සියලු දෑ අප ජීවත්වන වර්තමානය මගින් ප්‍රාණය සපයනු ලබන දේ ය. එහෙයින් එවැනි උල්පතකින් පැනනගින, මිනිසුන් විසින් කරනු ලබන නිර්මාණ සියල්ලක් ම පුද්ගල ආත්මීය ආදේශවලින් සමන්විත ය.

දුටුගැමුණු නම් වූ ඓතිහාසික චරිතය මැනවින් සජීවිකරණයට ලක් කර තිබෙන මහාවංශයට වුව ද මේ සිද්ධාන්තය එක සේ සාධාරණ ය. ක්‍රි:ව: පස්වන සියවසේදි මහානාම හිමියන් විසින් දුටුගැමුණු රජතුමා පිළිබඳ එතෙක් පැවති ඓතිහාසික මතකය වර්ණවත් වූ වෘත්තාන්තයක් බවට පරිවර්තනය කොට පරිපූර්ණත්වයට පත්කළේ ය. මෙහි දී අප විසින් තරයේ මතකයට නගා ගතයුත්තේ මහාවංශ කතු හිමි විසින් අලිඛිත මූලාශ්‍ර ඔස්සේ තමන්ට අසන්නට ලැබුණු කරුණු සිය අභිමතය පරිදි සංග්‍රහ කරන ලද බවයි.

කරුණු වනාහී නිගමනවලින් ස්වාධීන වූ ඒවා බව සාමාන්‍ය පිළිගැනීම ය. එහෙත් මහාවංශය මගින් කිසියම් කරුණු සමුදායක් උපස්ථිතික නිගමනයකට ලඝු කරන ආකාරය දුටුගැමුණු රජුගේ චරිතය එහි නිරූපණය වී තිබෙන ස්වරූපය විසංයෝජනය කිරීමෙන් තේරුම් ගත හැකි බව මගේ විශ්වාසය යි. මේ උපස්ථිතික නිගමනයට අනුබලය සපයන්නේ මහාවංශය ආරම්භ වූ කාලයේ ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ ගොඩනැගුණු සමාජ ආර්ථික යථාර්ථය බව තේරුම් ගැනීමට ඉවහල් වන පුරාවිද්‍යාත්මක සාක්ෂි ගණනාවක් දැනට ලැබෙමින් තිබේ.

අන්තර්ජාතික වෙළෙඳාම තරගකාරී වීමත්, එවක රටේ වයඹ දිග වෙරළේ පිහිටි දකුණු ආසියාවේ වැදගත් ම අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මාතොට වරායේ බලය අල්ලා ගැනීමට දකුණු ඉන්දීය පාලකයන් දැරු නිරන්තර උත්සාහයනුත් ඇතුළත් අනේකප්‍රකාර ගම්‍යතාවයන් අතර මැද ජාතික රාජ්‍යයක් ලෙස නැගී එන අභිමතයට ස්වීය අනන්‍යතාවය පිළිබඳ සංවේ දී වාස්තවික සමාජ මනසක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන සාධනීය පිළිවෙතක් පිළිබඳ උපස්ථිතිය මහාවංශය ගොඩනැගීම තුළ පැහැදිලිව ම පෙනේ.

රටේ සමාජ දේශපාලනික සහ ආර්ථික ස්ථාවරයට නිරන්තරයෙන් බලපැමක් ඇති කළ දකුණු ඉන්දියානු වාසි සියල්ල ම පොදුවේ අනෙකා ලෙස දැක්වෙයි. එම න්‍යාය පත්‍රයේ වැදගත් වූත් එමෙන් ම ප්‍රමුඛතාවයට පත්කිරිමට අභිප්‍රේථ වූත් තේමා ය. එවැනි ගමනාන්තයක් වෙත හිස් නමා කන් සලා සියල්ල අසා සිටින්නට හුරුපුරුදු සමාජයක් නාභිගතකිරීමට වඩාත් සුදුසු චරිතය සහ ඒ වටා දැවටී ඇති සිද්ධි මහාවංශ කතුවරයා විසින් තර්කානුකූලව තෝරාගෙන තිබෙනවා. ඒ දුටුගැමුණු රජුගේ චරිතය යි.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වාර්තාගත පැරණිතම දකුණු ඉන්දියානු චරිතය වන එළාර ඉතිහාසය මත පතිත පළමු දකුණු ඉන්දිය සෙවණැල්ල සේ සලකා ඒ සෙවණැල්ලේ අඳුර දුරු කිරීම ජාතික වගකීමක් සේ හුවා දැක්වීමෙන් දුටුගැමුණු රජුගේ විශිෂ්ටත්වය පිළිබඳ හැඟීම වැටහීමට සුදුසු ම කෙතක් එහි කතුවරයා විසින් නිර්මාණය කර තිබෙනවා. මිට වසර 1500 කට පමණ පෙර මහාවංශය රචනා කිරීම ආරම්භ කළ දික්සග සෙනවියා පිළිගෙන ඇති මහානාම හිමියන් තුළ පහළ වූ ඒ උපස්ථිතිය ම දුටුගැමුණු රජතුමා පිළිබඳ වර්තමාන කථිකාව තුළ දෝංකාර නංවන අයුරු උපාලිගේ කෘතිය ආරම්භයේ දී ම මම දුටුවෙමි. ඔහුගේ කෘතියේ ‘‘සියල්ලට ම පෙර කියවීම’’ නමැති පරිච්ඡේදයේ දෙවැනි ඡේදයේ ඇති කොටසක් මෙසේ උපුටා දක්වමි.
‘‘අපේ සටන් බිම බොහොම දරුණුයි. මානුෂීය මෙහෙයුම හරිහැටි ක්‍රියාත්මක නැතත් අපේ රණවිරුවන්ගේ ආත්මවිශ්වාසය, චිත්ත ධෛර්යය නංවන්න මේ කෘතිය යම් සවියක් වෙන්න පුළුවන්. දුටුගැමුණු මහරජු ගේ ජය මාවත ගැන ලියන්න තීම් එකක් සුදානම් කරන්න එතුමා කීවා’’

මේ ප්‍රකාශය මගින් ධ්වනිත වන අදහස ඇත්ත වශයෙන් ම විසිවැනි සියවසේ මෙරට පැවති ජාතික නිදහස් අරගල සමයේ වඩාත් ම උත්කර්ශවත් ලෙස අපේ සමාජය තුළ භාවිතයට පැමිණියක් බව මගේ විශ්වාසය යි. වර්තමානයේ අප දන්නා සමාජයේ වාස්තවික ව්‍යාකූලතා අපගේ ග්‍රහණයෙන් මිදී පහළට රූටා ගොස් තවදුරටත් සමාජ අර්බුදයක් බවට පත්වන විට ඒවා එක්තැන් කොට ගොනු කරගැනීමට ඓතිහාසික සිද්ධි හා ඒවාට සම්බන්ධ චරිත ඉස්මතුකොට දැක්වීම යනු කිසියම් සමාජයක් විසින් අතීතය වර්තමානය මත ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ස්වරූපය යි.

මගේ කල්පනාව අනුව නම් දුටුගැමුණු රජතුමා සහ එතුමාගේ චරිතය වටා වංශකතාකරුවන් විසින් පෙළගස්වා තිබෙන සිද්ධි දාමය පෙළගස්වනු වෙනුවට, පුනරුච්ඡාරණය කරනු වෙනුවට ඒ දෙස් විමසිලිමත්ව ඒ චරිතය සහ සිද්ධි මගින් අධ්‍යහාරව අප වෙත සන්නිවේදනය කරන සමාජ දේශපාලනික යථාර්ථය මැනවින් ග්‍රහණය කර ගැනිමට දැන් සුදුසු කාලය පැමිණ ඇති බව යි. ඇත්තෙන් ම මේ රටේ දේශපාලන බලයේ විකාශනය අධ්‍යනය කරන්නෙකුට දුටුගැමුණු කතා ප්‍රවෘත්තියෙන් ලබාගත හැකි ආදර්ශය අතිමහත් ය. ඒ පිළිබඳ සංවාදය ආරම්භ කළ යුත්තේ එතුමාගේ පියා වූ කාවන්තිස්ස රජුගෙනි. ශ්‍රි ලංකාවේ වයඹදිග වෙරළේ පිහිටි එවක ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර වරායක් ලෙස ක්‍රියාත්මක කොට ඇති මාතොට හි බලය තහවුරු කරගැනීමෙන් රටට ඇතිවන ආර්ථික වාසිය පුරෝකථනය කළ එතුමා ඒ වන විටත් එම වරායේ ආධිපත්‍ය දරමින් අනුරාධපුරයේ වාසය කළ එළාර රජුගෙන් එය මුදවාගැනීම කල්යල් බලා සැලසුම් කළ ආකාරයේ උපායමාර්ගික ආදර්ශය නිසිපරිදි අපගේ අවධානයට යොමු නොවුණි.

කාවන්තිස්ස රජතුමා විසින් අනාගත සංග්‍රාමික ප්‍රවේශයක් සඳහා සිය හුද හමුදාව ගොඩනගන ආකාරය පිළිබඳ සහස්ථවත්තුකරණය සහ පාලි රසවාහිනියේ සඳහන් වන තොරතුරු ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. යුද හමුදාවේ ඉහළ තනතුරු සඳහා අඩුම තරමින් කහවනු දාහක වාර්ෂික ආදායමක් ලබන පවුල්වලින් තරුණයන් හමුදාවට බඳවා ගතයුතු බව එ’රජු විසින් නියම කරන ලදී. 1970 දශකය වනතුරු ම මේ රටේ ත්‍රිවිධ හමුදාවන්ට බඳවාගැනීමේ දී ද ආධුනිකයන්ගේ පවුල් පසුබිම පිළිබඳ සූක්ෂම අවධානයක් යොමු කළ ආකාරය අපට අමතක නැත. හමුදාවක තිබිය යුතු විනය අඛණ්ඩව පවත්වාගැනීමට එවැනි ප්‍රවේශයක වැදගත්කම පසුගිය කාලයේ සමහර අවස්ථාවල අප විසින් අත්දකින ලදී. එවැනි දුරදක්නා නුවණකින් ක්‍රියා කළ කාවන්තිස්ස රජතුමාට ස්ත්‍රී ආභරණ යවන ලද්දේ දුටුගැමුණු කුමරුන් නොව මහාවංශය රචනා කළ කතු හිමියන් විසිනි. ඇත්තෙන් ම කාවන්තිස්ස රජුට එවැනි ඓතිහාසික අසාධාරණයක් සිදුවූයේ කුමන ගම්‍යතාවක් පදනම් කරගෙන ද යන්න අප කල්පනා කළ යුතු ය.

තමා විසින් නායකත්වය ලබා දිමට නියමිත සංග්‍රාමිය උපාය මාර්ගයට එලඹීම සදහා දුටුගැමුණු කුමරු ක්‍රියාකරණ ආකාරය ඒ ආකාරයට ම සැලසුම්සහගත ප්‍රජාතන්ත්‍රවාදි ස්වරුපයක් පිළිබිඹු කරන බව මගේ අදහස යි. ඒ වන විටත් ප්‍රාදේශීය ප්‍රභූන් අත පැවති දේශපාලන බලය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව වටහාගත් දුටුගැමුණු කුමරු එය ක්‍රියාත්මක කළේ ය. වේළුසුමන, නන්දිමිත්‍ර ආදී ප්‍රාදේශීය ප්‍රභූන් කේන්ද්‍රීය පාලන ව්‍යුහයකට අවශෝෂණය කිරීම එහි දී අනුගමනය කළ ක්‍රමය යි. එම ක්‍රියාවලියට නිදසුන් සපයන සාක්ෂි දුටුගැමුණු රජුගේ පාලන සමය තුළ රචනා කරන ලද සෙල්ලිපිවල අන්තර්ගතව ඇත. ඇතැම් සෙල්ලිපිවල වේළුසුමන පෙනී සිටින්නේ පරුමක වේළුසුමන යන නමිනි. එහි තේරුම ප්‍රධාන වේළුසුමන යන්නය. නන්දිමිත්‍ර පිළිබඳව වුව ද කිව යුතතේ එලෙස ම ය. නමුත් ඇතැම් සෙල්ලිපිවල මේ දෙදෙනා ම හැඳින්විමට ‘‘ක්ෂණපති’’ හෙවත් ‘‘සේනාපති’’ යන තනතුරු නාමය ද යොදා ඇත. ‘‘පරුමක ක්ෂණපති වෙළුසුමන’’ යනුවෙන් ලියා ඇති සෙල්ලිපි කිහිපයක් සිතුල්පව්වේ දක්නට ඇත.

මේ ප්‍රාදේශීය ප්‍රභූ රාජ්‍ය යාන්ත්‍රණයට අවශෝෂණය කොට ඔවුන් සංග්‍රාමික ව්‍යෘතියේ ජෙනරාල්වරුන් ලෙස සලකා ඔවුන්ට වගකීම් පවරන ආකාරය ඇත්තෙන් ම ප්‍රාදේශීයව පැවති බල න්‍යෂ්ටියේ කේන්ද්‍ර වෙත ගොනු කොට එම ව්‍යුහය වඩාත් සවිගැන්වීම සඳහා අනුගමනය කළ සාධනිය වූත් අතිශය උපායමාර්ගික වූත් දේශපාලන වැඩපිළිවෙළක් ලෙස පෙනේ. සිය සංග්‍රාමික දේශපාලන ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු කෙන්ද්‍රිය පාලන ව්‍යුහයට අවශෝෂණය කළ මේ ප්‍රාදේශීය ප්‍රභූන් රාජ්‍ය යාන්ත්‍රණයේ විවිධ මට්ටම්වල තනතුරු හොබවන තොරතුරු සෙල්ලිපිවල අන්තර්ගතව ඇත.

දුටුගැමුණු රජුගේ චරිතය විසංයෝජනීයව හදාරණ කෙනකු ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය නම් වංශකතා සහ ජනප්‍රවාද මගින් ඒ චරිතය වටා දවටා තිබෙන: අත්භූත, නාටකීය, වෘත්තාන්තමය දුහුවිලි මගින් අප සිත් තුළ උපදවා තිබෙන මායාවෙන් එම චරිතය මුදවා ගැනීම ය. මහාවංශය මගින් ර්ච්ඡේද දහයක් පමණ වෙන් කරමින් ඓතිහාසික උත්කෘශ්ටතාවයට නංවා ඉතිහාසයේ අසමසම චරිතය බවට ඔපමට්ටම් කළ දුටුගැමුණු රජුගේ බිසව ගැන වචනයකුඳු සටහන් නොකිරීමට මේ වංශකතාකරුවෝ ප්‍රවේශම් වූයේ ඇයි?

කොස්සවකන්ද සෙල්ලිපියේ සඳහන් වන පරිදි එතුමාගේ රමණීය බිරිඳ ලෙස විස්තර කර තිබෙන කතී නම් තැනැත්තිය කවුද? ඇයට ඉතිහාසයේ කිසිඳු ස්ථානයක් හිමි නොවූයේ කුමක් නිසා ද? දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු ඉතිහාසයෙන් පිටමං කිරිමට වංශකතාකරුවන් කල්පනා කළේ ඇයි. ඔහු සරණපාවාගත් අශෝකමාලා පහත් කුලයක කාන්තාවක් යැයිසිතුණ නිසාත්, අශෝක මාලාගේ මව කාවන්තිස්ස රජුගේ මාලිගයේ මුළුතැන්ගෙයි ආහාර පිසීමට දායක වු බවත් ඇගේ ආහාර පිසීමේ දක්ෂතාව නිසා ඇයට ‘‘මධුර හස්ත රසායනි’’ යන අන්වර්ථ නාමයක් මාලිගයේ පටබැඳී තිබු බවටත් දක්වන රසවාහිනි විස්තරයත්, මහාවංශ කතුවරයා පවසන ඇගේ පහත්කුළ ප්‍රභවය පිළිබඳවත් අදහස් අතර පවතින විසංවාදය කුමක් ද? දුටුගැමුණු රජුගේ සංග්‍රාමික ව්‍යාපාරය සැලසුම් කිරීමේ දී ඊට මහත් දායකත්වයක් සැපයූ කාවන්තිස්ස රජු වෘත්තාන්තයෙන් ඉවත් කොට ඒ වෙනුවට විහාර මහා දේවිය කරළියට ගන්නට වංශකතාකරු කල්පනා කර තිබෙන්නේ ඇයි?

දුටුගැමුණු රජතුමා පිළිබඳ ඓතිහාසික වංශ කතා මගින් ඉදිරිපත් කරන විස්තර තුළ වැඩිපුර ප්‍රශ්න කිරීම් ගණනාවකට ලක් කළ යුතු මෙවැනි අඳුරු අවස්ථාවන් කිහිපයක් ම තිබෙන බව දක්නට ඇත. පුරාණ රුහුණු පළාතට අයත් කුඹුක්කන්ඔයට යාබද ප්‍රදේශයේ එකල පිහිටා තිබූ එක් පරිපාලන බලප්‍රෙද්ශයක් තුළ වාසය කළ කතරගම පරපුරේ ධර්මරාජගේ මිනිබිරියක් වූ විහාර මහා දේවි කුමරිය කාවන්තිස්ස රජු සමග වැලි කෙළියේ පටන් දැන හැඳුනුම්කම් පවත්වන බවට දක්වා ඇති අදහස වෙත මෙහි දී අවධානය යොමු කළ යුතු ය. විහාර මහා දේවියගේ සැබෑ නම වන ශර්වරී යන්නෙහි අර්ථය රාත්‍රිය යන්න වන අතර විවාහයෙන් පසු තිස්ස කුමරු තමුන්ගේ නමට කාකවණ්න යන කොටස ඈඳාගැනීමත් අතර මතුපිටින් අපිට නොපෙනෙන යම් ගම්‍යතාවක් ඇත. මේ සියල්ල විමසිල්ලෙන් ප්‍රශ්න කළ යුතු ස්ථාන ලෙස මම සලකමි.

ඓතිහාසික විස්තර මගින් පැහැදිලි ලෙස විස්තර කර නොමැති ක්‍රි: පූ: හයවන සියවසට පෙර මෙරට පැවති සමාජය සහ සංස්කෘතිය පිළිබඳව සොයා බැලීම මැතක දී අප විසින් ආරම්භ කළ පුරා විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති තුළින් දැනට ලැබී තිබෙන තොරතුරු අනුව අනාගතයේ දී අපේ රටේ ඉතිහාසයේ මුල්කාල පරිච්ඡේදය සකස් වීම පැහැදිලි කෙරෙන නව සංකල්පීය ආකෘතියකට ප්‍රවේශ වීමට අපට හැකියාවක් ලැබෙනු ඇතැයි යන්න විශ්වාස කළ හැකි ය.

වංශකතාවලින් කිසිවක් නොකියන ලද මෙරට විසූ ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය පමණක් නොව ඔවුන් රටේ ප්‍රධාන ඉතිහාස ධාරාවට ඇතුල් වන ආකාරය දැන් දැන් පෙනෙන්නට පටන්ගෙන ඇත. මේ රටේ ඉතිහාසයේ ආරම්භක අවධියේ දේශපාලන කටයුතුවලට සහභාගී වූ චරිතවල සැබෑ අනන්‍යතාව කුමක් ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට ද එම පර්යේෂණ තොරතුරුවලින් ලැබෙන්නේ මහත් ආලෝකයකි. ඒ පිළිබඳ සියල්ල පැහැදිලි කිරිමට මෙය අවස්ථාවක් නොවන අතර දුටුගැමුණු රජතුමා පිළිබඳ ලියවුණු කෘතියක් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඒ පිළිබඳව සඳහන් කළ යුතු යැයි මම අදහස් කළෙමි.

එම කරුණු කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ ‘‘මහ රජ ගැමුණු ජය මග ඔස්සේ’’ කෘතියේ රචක උපාලි සමරසිංහ ගැමුණු රජතුමා කෙරෙහි අප තුළ තිබෙන ඓතිහාසික සංජානනය උද්දීප්ත කිරීමට මහත් වෙහෙසක් දරා ඇති බවයි. සාහිත්‍යයකරුවකු ලෙස ඔහු, ඔහුගේ සීමාවන් තුළ සිය කාර්යය සිත්ගන්නා අන්දමින් ඉදිරිපත් කර තිබෙන ආකාරය මෙම කෘතිය කියවන කවුරුන් තුළත් වැටහීමක් ගොඩනැගෙනු ඇතැයි මම විශ්වාස කරමි.

සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us