අගවිනිසුරුවරයාව අනිවාර්යයෙන් ම ඉවත් කළ යුතුයි - නීතීඥ බැසිල් ප්‍රනාන්දු Featured

Published in පුවත්
Monday, 26 January 2015 07:18

ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියානු රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් පිරිනමන  ‘‘රයිට් ලයිව් හුඩ් අවෝර්ඩ්’’ (theRightLivehoodAward) නමැති ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ආසියානු මානව හිමිකම් කොමිසමේ (hongkong) අධ්‍යක්ෂවරයා ද වූ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා වසර දහයකට පසුව පසුගියදා සිය මවු රටට පැමිණියේ ය.

 

නීතීඥයකු මතු නොව කවියකු සාහිත්‍යකරුවකු වන ඔහු පසුගිය 23 වන දින කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ දී ‘‘නීතියේ ආධිපත්‍යය හා යහපාලනය’’ නමින් විවාත සාකච්ඡාවක් පැවැත්වීය. මතු දැක්වෙන්නේ එම සාකච්ඡාව ඇසුරින් සැකසු ලිපියකි.

 

නීතියේ ආධිපත්‍යය යනු Ruler of Low  යන්නෙහි නිසි පරිවර්තනයක් නොවේ. එහි අරුත වන්නේ ‘නීතිය මත පාලනය’ යන්න ය. ඉන් අදහස් කෙරෙන්නේ ‘නීතිය අභිබවමින් කිසිවකුට කිසිවක් කළ නොහැකි ය’ යන්න ය. එය සාකච්ඡා කිරීම පසුවට තබා මේ මොහොතේ අදාළ මාතෘකාව පිළිබඳ යමක් සඳහන් කරන්නට කැමැත්තෙමි.

 

ඉතිහාසය පුරා ම සුළු කාලයක් පමණක් පවතින යම් යම් අවස්ථා පැමිණ ඇත. සාමාන්‍යය කාලවකවානුවක දී කළ නොහැකි ඇතැම් දෑ මෙම සුළු කාලයේ දී කළ යුතු ම ය. එලෙස පැමිණි සුළු කාලය අත්හැර දැමුව හොත් යළි කිසි දිනක එබඳු අවස්ථාවක් උදා නොවනු ඇත. උදාහරණයක් ලෙස ගතහොත් : කැම්බෝඩියාව සම්පූර්ණයෙන් ම පාහේ කඩාවැටී තිබූ මොහොතක එහි සාමය ස්ථාපිත කොට මූලික වෙසක් ඇති කර දෙන්නැයි කළ ආරාධනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විසිපන්දහසක ප්‍රමාණයක් එරටට පැමිණිය හ. මම ද ඒ අවස්ථාවට සහභාගී වීමට වරම් ලැබීමි. එහි දී දුටු ප්‍රධාන ම ලක්ෂණය නම් ඒ මොහොතේ ඕනෑම දෙයක් කළ හැකි තත්ත්වයක් පැවතීම ය.

 

මන්ද ‘මේ මොහොතේ කුමන හෝ වෙනසක් සිදු කළ යුතු ය’ යන්න ඒ සියලු දෙනා එක සේ පිළිගත්හ. නමුත් අවාසනාවකට මෙන් දියුණු රටවල්වලින් සම්බන්ධ වන අයට මේ ආකාරයට විශාල වශයෙන් වෙනස් වූ රටවල් පිළිබඳ අවබෝධයක් නොමැති හෙයින් එම අවස්ථාව ගිලිහුණි. ඉන් සමසක් ගතවීමෙන් ඉක්බිති එදා වෙනසකට කැමැත්තක් දැක් වූ පිරිස් සමග වුව ද යළි එම මාතෘකාව සාකච්ඡා කිරීමට නොහැකි විය. මේ මොහොතේ අප ගතකරමින් සිටින්නේ ද එබඳු අවස්ථාවකි. මා මේ අවස්ථාවේ යහපාලනය සම්බන්ධයෙන් කරුණු තුනක් පිළිබඳව සටහන් කරමි.

 

මෙහි දී පළමුවෙන් ම යහපාලනය යනු කුමක් ද, එය නිර්මාණය වී ඇත්තේ කුමන දර්ශනයක් මත ද යන්න සහ ප්‍රායෝගිකව ඉන් අත්පත්කරගත හැකිවන්නේ මොනවාද යන්න පැහැදිළ කරගත යුතු ය. මන්ද බහුතරයක් දෑ සිදුවන්නේ ප්‍රායෝගිකත්වය මත ය. මෙම ප්‍රායෝගිකත්වය භාවිතයට ගන්නවාද නැද්ද යන්න මත යහපත් සහ අයහපත් ප්‍රතිඵල මොනවාද යන්න තීරණය කෙරේ.

 

පළමුවෙන් ම වර්තමානයේ පවතින ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ ප්‍රශ්නය මේ මොහොතේ ම විසඳා ගතයුතු ය. මේ මොහොතේ ලංකාවේ පවතින්නේ යහපාලනය නමැති සංකල්පයට සපුරා වෙනස් තත්ත්වයකි. එය කල් ඉකුත් වූ සිද්ධීන්ගෙන් පමණක් නොව පසුගිය දෙසතිය තුළ සිදුව ඇතැයි සාකච්චා කෙරෙන කරුණු හරහා පවා පැහැදිලි වේ. ‘මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවා බලය පැහැරගැනීමේ කුමන්ත්‍රණයක් තිබුණා ය, එම සාකච්ඡාව පැවති ස්ථානයේ අගවිනිසුරුවරයා සිටියා ය’ කියන අධිකරණයක් පවතින රටක යහපාලනය පිළිබඳ සාකච්ඡා කිරීම ම විසිළු සහගතය. එබඳු සිදුවීමක් කිසිසේත් ම සිදු නොවිය යුතු ය.

 

පසුගිය කාලය පුරා ම අධිකරණ කටයුතු අඩපණ වී ඇත. අධිකරණයේ සහය ජනතාවට නොලැබෙන්නේ නම් ව්‍යවස්ථාදායකය හෝ විධායකය මත පමණක් යහපාලනය ඇති නොවන බව ඉතාමත් පැහැදිලි ය. අවම වශයෙන් එය ආරම්භ කිරීමට හෝ මේ සුළු කාලයේ අප උත්සාහ කළ යුතු ය. එනම් දැනට සිටින අගවිනිසුරුවරයා අනිවාර්යයෙන් ම ඉවත් කළ යුතුව ඇත. රටේ සිටින ප්‍රබුද්ධ, විද්වත්, උගත් බුද්ධිමත් කණ්ඩායමේ ප්‍රධාන වගකීම වන්නේ ද එය යි. මෙම අවස්ථාව මගහැරී ගියහොත් වෙනත් බොහෝ හේතුකාරණා මත මෙම ක්‍රියාවලිය යටපත්වනු ඒකාන්ත ය. මෙම කර්තවය ඉටු නොකරන තාක්කල් අපට ස්වාධීන අධිකරණයක් නොලැබේ. ස්වාධීන අධිකරණයේ හදවත ශ්‍රේෂ්ඨාධිකරණය යි. එහෙත් මේ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින තත්ත්වය අනුව එය කිසිසේත් ම විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයට පත්ව ඇත. මෙම ගැටලුව විසඳා නොගන්නා තෙක් අනෙක් කිසිඳු කටයුත්තක් සඳහා අවශ්‍යය නීත්‍යානුකූලත්වය සහ ප්‍රායෝගිකත්වය කිසිඳු වලංගුභාවයක් නොගනු ඇත.

 

වර්තමාන ආණ්ඩුවේ  මුදල් ඇමතිවරයා පත්කළ මොහොතේ ම අපි ඔහු වෙත විවෘත ලිපියක් ඉදිරිපත් කළෙමු. එම ලිපිය හරහා අප ඔහුට ඒත්තුගන්නවා සිටියේ යහපාලනය යන්න වචනයට පමණක් සීමා කරනවා ද? ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවාද යන්න රැඳි පවතින්නේ මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශය මත බව යි. ඊට ප්‍රධාන ම හේතුව වන්නේ යහපාලනයට අයවැය අවශ්‍යය වීම ය. යහපාලනය ස්ථාපිත කිරීම සඳහා අනිවාර්යයෙන් ම අයවැය අවශ්‍ය ය.

 

පසුගිය කාලය පුරා සිදු වූ: දූෂණ, වංචා, පැහැරගැනීම්, පුවත්පත් කලාවේදීන් ඝාතනය කිරිම්, තර්ජනය කිරීම් ආදි අකටයුතුකම් බහුල ය. මේ සියල්ල වෙනුවෙන් නීතිය මගින් සාධාරණයක් ඉටුවෙනවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ එක් ප්‍රායෝගික ක්‍රියාවලියක් හරහා පමණි. එනම් එම පරීක්ෂණ පැවැත්වීම සහ එවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පොලිස් පරීක්ෂක කණ්ඩායමක් සිටිනවාද නැද්ද යන්න මත ය. මෙම ක්ෂේත්‍රය බහුතරයකට නුහුරු ය. නමුත් මෙබඳු කර්තවයන් ඉතා සාර්තකව ඉටු කරගත් ලෝකයේ වෙනත් රටවල් දෙස බලන විට පොලිසිය සහ ජනතාව අතර පවත්නා ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා මේ මොහොතේ අයවැයෙන් යම් ප්‍රතිපාදනයක් වෙන් නොකරන්නේ නම් එය පුස්ස බින්දාක් මෙන් කිසිඳු ඵලයක් ගත නොහැකි තත්ත්වයට පත්වන්නේ ය.

 

පසුගිය සමයේ සිදු වූ මර්දනකාරි තත්ත්වයන්, දූෂණය සහ වංචාව පිළිබඳ කෙරෙන පරික්ෂණ සඳහා කිසිඳු දේශපාලන ඇඟිලිගැසීමක් සිදු නොකරන බවට වාචික පොරොන්දුවක් ලැබී ඇත. සැබැවින් ම මෙය යහපත් තත්ත්වයකි. අතීතයේ දී පැවති ප්‍රශ්නය වූයේ කිසිඳු මර්දනකාරී තත්ත්වයක්, දුෂණයක් හෝ වංචාවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට දේශපාලන බලාධිකාරිය විසින් ඉඩ ප්‍රස්තා ලබා නොදීම ය. නමුත් මෙය හේතුකොට ගෙන පමණක් මෙකී ප්‍රශ්නය විසඳෙන්නේ නොමැති බව සඳහන් කළ යුතු ය. මන්ද මෙම සංස්ථා සහ දෙපාර්තමේන්තු විශාල කාලයක් පුරා දූෂිත තත්ත්වයෙන් පවත්වාගෙන ගොස් ඇත. එහෙයින් මේ සඳහා අවශ්‍ය විශේෂඥ දැනීම ලබාගැනීමට, මේ සඳහා කැපවීමෙන් කටයුතු කරන පිරිසක් සපයාගැනීමට, එම දැනීම සහ දැනීම සහිත පුද්ගලයන් ලබාගැනීමට සහ අධිකරණ වෛද්‍ය නිලධාරි සංචිතයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මුදල් නොමැත. මාසයක් දෙකක් නොව වසරක ගණනාවක් පරීක්ෂණ පැවැත්වු ද ඊට අදාළ භෞතික සම්පත් හිඟ බැවින් එකී පරීක්ෂණ ‘සාක්ෂි නැත’ යන පදනම යටතේ අවලංගු කරන තත්ත්වයකට පත්වේ.

 

මැතිවරණ ප්‍රතිඵල අහෝසි කර මිලිටරි බලයක් ස්ථාපිත කර ගැනීමට සැලසුමක් තිබූ බව මේ මොහොතේ කතාබහට ලක්වෙමින් තිබේ. මෙය හැඳින්විය යුත්තේ රාජද්‍රෝහීත්වය‍ (Tresonable) යනුවෙනි. රාජද්‍රෝහී චෝදනාවක් එල්ල වීමෙන් අනතුරුව ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම සඳහා සති දෙක තුන කල් ගතයුතු නොවේ. 1962 වසරේ සිදු වූ රාජ්‍යෙද්‍රෝහී කුමන්ත්‍රණය හෙළිදරව් වූ මොහොතේ එසැණින් ම ඊට සම්බන්ධ වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පිරිස් අත්අඩංගුවට ගත්තේ ය. පරීක්ෂණ පැවැත්වීම කල් තැබුව ද අදාළ පුද්ගලයන් තොරතුරු හෙළි වූ මොහොතේ ම අත්අඩංගුවට ගතයුතු ය. ත්‍රස්තවාදය යනුවෙන් හඳුන්වන්නේ ද රාජ්‍යෙද්‍රෝහීත්වය යි. එය නිවැරදිව භාවිතා නොකළ අවස්ථා ද දක්නට ඇත. නමුත් එහි වචනාර්ථය සම්පූර්ණ වන්නේ රාජද්‍රෝහිත්වය යනුවෙන් සඳහන් කළ විට ය. මෙනයින් සලකා බලන විට නීතිය මත පාලනය යනුවෙන් කිසිවක් නොමැති අතර පැවතිය යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම ය. මෙය ඉතා සරල කටයුත්තකි. අපරාධ නීතියේ විශාල ම අපරාධය මිනි මැරුම නොව රාජ්‍යද්‍රෝහීත්වය යි. එම විශාල ම අපරාධය වෙනුවෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් එහි නීතියක් හෝ නීතිය මත පාලනයක් තිබේ ද යන්න ගැටලුවකි.

 

නීතිය මත පාලනය යනු වැරදිකරුවන් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීම නොවේ. එය ගෝඨාභයගේ ක්‍රමය යි. අප බලකර සිටින්නේ එසේ වැරදිකරුවන් ඝාතනය කරන්න යැයි නොව මේ සියල්ල විසඳිය යුත්තේ නීත්‍යානුකූලවය යන්න ය. ඒ සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ප්‍රායෝගිකත්වය යි. එනම් මොළයක සැත්කමක් සඳහා සූදානම් වන වෛද්‍යවරයකු හිටි අඩියේ කටු මිටි රැගෙන එම සැත්කමට සූදානම් වන අය නොවේ. ඒ සඳහා ඔවුන් පෙලඹෙන්නේ වසර ගනනාවක පුහුණුවකින් අනතුරුව සහ නිශ්චිත රෝග විනිශ්චයකින් අනතුරුව ය. අපරාධ පරීක්ෂකයන් යනු එබඳු කණ්ඩායමකි. අනෙක් අංශවල පවත්නා විශේෂඥතාවය මෙන් ම මේ සඳහා ද විශේෂඥයන් සිටිය යුතු ය. මෙය විශේෂඥතාවය මත සිදුකළ යුතු කර්තවයකි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සපයන්නට කිසියම් ආණ්ඩුවක් අසමත් වන්නේ ද එතැන නීතිය මත පාලනයක් නම් සිදු නොවන්නේ ම ය. මේ සියල්ල සපයා දිය යුත්තේ මුදල් අමාත්‍යංශයෙනි. ඒ සඳහා නියෝග නිකුත් කළ යුත්තේ මුදල් ඇමතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ වගකිව යුතු නිලධාරින් විසිනි. යහපාලනයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කළ යුතු යැයි අප ඔවුන්ට බල කළ යුතු ය.   

 

දෙවන කරුණ නම් දූෂණ පිළිබඳ ප්‍රශ්නය යි. මේ වන විට විවිධ දේශපාලනඥයන් කළ නොයෙක් නොයෙක් ආකාරයේ දූෂණ වංචා පිළිබඳ පැමිණිලි ලැබෙමින් පවතී. එහෙත් ලැබෙන පැමිණිලි නිසියාකාරයෙන් වාර්තා කරනවා ද? ඒ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා ද? සැබැවින් ම ඒ පිළිබඳ විනිවිද භාවයක් නොමැත. හොංකොං නගරයේ නම් පැමිණිල්ලක් ලද විගස එය එදින ම වාර්තා කොට එම පැමිණිළි පරීක්ෂක නිලධාරීන් සෑම සතියකට වරක් ම රැස් වී අදාළ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡා කරයි. අනතුරුව ඒ ඒ පැමිණිලිවලට අදාළ පරීක්ෂණ මෙහෙයවීම සඳහා සුදුසු දක්ෂ නිලධාරීන් වෙත අදාළ පරීක්ෂණ කටයුතු බාර කෙරේ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ වෙනත් ක්‍රියාදාමයකි. එනම් කිසිවකු හෝ පැමිණිල්ලක් කළ විට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ එය පළ වන අතර ඉන් අනතුරුව සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව කිසිවක් මහජනතාව දැන නොගනී.

 

දූෂණ අංශයේ පරීක්ෂණ ඉතා අසීරු බව සැබැවකි. ඒ සඳහා විශාල කඩදාසි ප්‍රමාණයක් ද වැය කිරීමට සිදුවේ. අදාළ ලියවිලි, මුදල් කුවිතාන්සි ආදිය පිළිබඳ මෙම පරීක්ෂණ මෙහෙයවිය යුතු ය. එසේ නොවුණ හොත් නිවැරදි සාක්ෂි ගොනු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. පළමුවෙන් ම සැලකිය යුත්තේ මෙම කටයුතු සඳහා මානව සම්පත් තිබේද යන්න ය. දෙවනුව එම මානව සම්පත අදාළ කටයුත්ත සඳහා නිසි පුහුණුව ලැබූ අය ද යන්න ය. තෙවනුව සලකා බැලිය යුත්තේ අදාළ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍යය උපකරණ ප්‍රමාණවත් ද යන්න ය. උදාහරණයක් ලෙ ගතහොත් විශාල පරිමාණයේ මූල්‍ය දූෂණයක් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවද්දී හොංකොං නගරයේ නම් එම කාල සිමාව තුළ ඇතැම් විට එක් දිනක දී ඡායා පිටපත් යන්ත්‍ර දෙසීයක් තුන්සියක් භාවිතයට ගනී. මේ සියලු කටයුත් සඳහා අවශ්‍ය ප්‍රධාන ම ද්‍රව්‍යය නම් මුදල් ය.

 

එහෙයින් කිසියම් ආණ්ඩුවක් යහපාලනය පිළිබඳ සාකච්ඡා කරන්නේ නම් පළමුවෙන් ම කළ යුත්තේ ඒ සඳහා අවශ්‍යය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම ය. එසේ නොවුණ හොත් සිදුවන්නේ දූෂණය, වංචාව, අල්ලස යන සාධක ආණ්ඩුවක් මාරු කිරීමට පමණක් ඉවහල් වීම ය. ආණ්ඩුවක් මාරු කිරීම සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කරගැනීම යනු කාරණා එකක් නොව දෙකකි. මන් ද රාජ්‍යය (State) සහ ආණ්ඩුව (Govrnment) යනු දෙකක් මිස එකක් නොවේ. නමුත් මෙතෙක් කල් සිදුව ඇත්තේ ආණ්ඩුව මාරු කිරීම මිස ඊට අදාළ රාජ්‍ය්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නොවේ. එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් කළ හැකි ක්‍රියාවක් නොවේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පමණක් කළ නොහැකි ය. ඒ සඳහා මැදිහත් විය යුත්තේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය යි.

 

18 වන සංශෝධනය අහෝසි කොට නැවත 17 වන සංශෝධනය ස්ථාපිත කිරීම සාධනීය පියවරකි. නමුත් එය ක්‍රියාත්මක කරන්නේ ද මතුපිට පවත්නා සුළු සුළු ගැටලු නිරාකරගැනීම සඳහා ය. එනම් විවිධාකාරයේ පත්වීම් සම්පූර්ණ කරගැනීම සඳහා ය. එම පත්වීම් සම්පූර්ණ වීමෙන් අනතුරුව සිදුවන්නේ කුමක් ද? අනතුරුව ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග කවරේ ද? අදාළ කාර්යයන් මෙහෙයවන්නේ කවුරුන් විසින් ද? ඒ කිසිවක් සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැත. ආයුද පෙන්වීමට ගොස් ඝාතනයට ලක්වන්නේ හෝ පැහැරගෙන ගොස් මරා දමන්නේ මෙම ක්‍රියාදාමයන් නිසියාකාරයෙන් සිදු නොවන හෙයිනි. එය යහපාලනය නොවේ.

 

එසේ නම් රටේ සිටින උගත්, බුද්ධිමත් සහ ප්‍රබුද්ධ කණ්ඩායම් අවබෝධ කරගත යුතු කරුණු අනන්ත ය; අප්‍රමාණ ය. උදාහරණයක් ලෙස ගතහොත් වෛද්‍ය ක්ෂේත්‍රයේ යම් වෙනසක් ඇති කළ යුතු නම් අදාළ පාර්ශවයන්ට එම විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබිය යුතු ය.කිසියම් රෝගයක් මර්දනය කිරීම සඳහා වෙහෙසෙන්නේ නම් අදාළ රෝගයේ ආරම්භය සහ විකාශනය පිළිබඳ ඔවුන් දැනුවත් විය යුතු ය. ඒ සඳහා සුදුසු පුද්ගලයන් කවුද යන්න පිළිබඳව අදාළ ක්ෂේත්‍රෙය් බලධාරීන් දැනුවත් විය යුතු ය. එසේ නොවුන හොත් අදාළ කාර්යය නිසි පරිදි සිදු නොවේ. එහෙයින් මෙම අවස්ථාවේ මුලික වශයෙන් පුළුල් අදහසක් ඇතුව සාකච්ඡාවට එලඹෙමින් ඒ සඳහා අවශ්‍ය විශේෂතා පිළිබඳ සාකච්ඡා කළ යුතු ය.  ප්‍රධාන කාරණය අපි සැවොම පිළිගන්නෙමු. එනම්: යහපාලනය, නීතිය මත පාලනය පිළිගැනීම සාධනීය ලක්ෂණයකි. එමෙන් ම මෙම ක්‍රියාදාමය සක්‍රිය කරවන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. ඒ සම්බන්ධයෙන් නිරන්තර අවදියෙන් සිටීම, උද්ඝෝෂණ ආදිය හරහා බලපැම් කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමග නිරන්තරයෙන් අදහස් හුවමාරු කිරීම  සිදුවිය යුතු ම කර්තවයකි.

 

මම වසර විසිපහකට අධික කාලයක් හොංකොං නගරයේ ජීවත් වූ පුද්ගලයෙකි. බ්‍රිතාන්‍ය පාලන සමයෙන් අනතුරුව හොංකොංහි සිදුවු දේ සහ ලංකාවේ සිදු වු දේ අතර විශාල පරතරයක් පවතී. බ්‍රිතාන්‍ය පාලකයන් හොංකොං අතහැර යනවිට රටේ අල්ලස, දූෂණය සහ වංචාව දුරු කළ හැකි මාර්ග සකසා ගියේ ය. මා ජීවත් වු වසර විසිපහ තුළ කිසිඳු පුද්ගලයකු අල්ලස් ගත් බවක් සැල වී නොමැත. හොංකොංහි පොලීසිය කටයුතු කරන්නේ ද එරටේ අනෙක් ආයතන මෙන් ම ය. ඔවුන්ට ජනතාව සුවිශේෂ ලෙස සැලකිය යුතු නොවේ. ජනතාවට අවශ්‍ය සේවාව සැපයීමට පොලිසිය ද බැඳී සිටී. යම් ආකාරයකින් පොලිස් නිලධාරියකු කිසියම් පුද්ගලයකුට අනිසි ආකාරයෙන් කතා කළ හොත් අදාළ පුද්ගලයා ද පෙරළා ඒ ආකාරයෙන් ම පොලිස් නිලධාරියා ඇමතීමට පසුබට නොවන්නේ ය.

 

මෙය ගැහැනු පිරිමි යනුවෙන් භේදයක් නොමැත. එසේ පෙරළා පිළිතුරු දීමට ඔවුන් කිසිවකු බිය නොවෙයි. මන්ද එසේ පිළිතුරු සපයන්නා හෙට දිනයේ අතුරුදන් නොවන බැවිනි. එසේ ජනතාවට නිර්භයව කටයුතු කිරීමට හැකිවන්නේ එ’රටේ රාජ්‍ය ආයතන උසස් තත්ත්වයක පවතින අතර ම ජනතාව ද දියුණු මනසකින් කටයුතු කරන බැවිනි. එ’රටේ පළමුවෙන් ම දූෂණය අහෝසි කළේ පොලිසියේ ය. එහි පරීක්ෂණ සඳහා තොරාගන්නේ පොලිස් සේවයේ නිරතවුවන් නොවේ. ඒ සඳහා ඔවුන් මානව සම්පත් තොරාගන්නේ එරට විශ්වවිද්‍යාලවල අපරාධ සහ මානව විද්‍යාව පිළිබඳ හදාරණ සහ හැදෑරූ දක්ෂ තරුණ තරුණියන් ය. එය තාක්ෂණික උපක්‍රමයකි; තොරතුරු පිටතට යාම වැළැක්වීම සඳහා භාවිතා කළ උපක්‍රමයකි.

 

 

මේ සියලු කාරණා සැලකිල්ලට ගත් කල යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකය වන්නේ ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සහ ඒ පිළිබඳ උනන්දුවක් තිබෙන පුද්ගලයෝ, ආයතන සහ නිලධාරින් නිරන්තරයෙන් අවදියෙන් සිටීම ය. අදාළ කාරණය ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා ඇති නිලධාරින් උනන්දු කරවීම ය. එසේ නොමැතිව අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා මෙය ක්‍රියාත්මක කරාවි ය යන පදනමේ සිට නිහඩව සිටීමෙන් යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කළ නොහැකි ය.

සටහන - ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

Last modified on Monday, 26 January 2015 07:26

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us