උතුරේ පිබිදෙන අලුත් දේශපාලන අභියෝගය - ගජේන්ද්‍රකුමාර් ! Featured

Saturday, 17 February 2018 12:02

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විග්‍රහ කිරීම තවම අවසන්ව නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ‘ජයග්‍රහණය’ කිසිවෙක් බලාපොරොත්තු වූ සීමාවට එහා ගිය ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනා සලකනු පෙනේ. අලුතෙන් පටන්ගත් පක්ෂයක් මෙවන් ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාවයැයි බොහෝ දෙනා කියති.

එහෙත් සැබවින්ම මේ ජයග්‍රහණය පුදුම විය යුතු තත්වයක්ද? මෙය අලුත් පක්ෂයක් යැයි කීවත් මේ අලුත් පක්ෂයක් නොව හිටපු ආණ්ඩුවයි. එපමණක් නොව ශ්‍රී ලාංකේය ජාතිකවාදී බලවේගවල ෆැන්ටසි නායකත්වය වන රාජපක්ෂ පවුල රැගත් පක්ෂයයි. එපමණක්ද? පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, පළාත් සභාවල නියෝජිතයන්ගෙන් බහුතරය, හිටපු ඇමතිවරුන් ඇතුළු බලය ඇති, පහුගිය අවුරුදු විස්සක් තිස්සේ ඒ ඒ ප්‍රදේශවල ආණ්ඩුවේ නියෝජිතයන්ව සිටි ලංකාවේ ධනවත්ම දේශපාලඥයන් එකතුවක් විසින් සංවිධානය කළ මැතිවරණ ව්‍යාපාරයකින් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම අරුමයක් නොවේ.

ඒ සියල්ලට අමතරව පොදුජන පෙරමුණ ලබා ඇති ඡන්ද ප්‍රතිශතයේද අඩුවීමක් ඇති බව බොහෝදෙනෙකු පෙන්වා ඇත. කවුරු කෙසේ කීවත් ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රමාණයේ පැහැදිළි වැඩිවීමක් ඇත. ඒ සියල්ල සමඟ අප තවම මේ මැතිවරණයෙන් ලද විශ්මයජනක ප්‍රථිපලය ලෙස දකින්නේ ලංකාවේ නවතම සිංහල දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයයි. එහෙත් මගේ අදහස නම් මේ මැතිවරණයේදී විශ්මයජනක ජයග්‍රහණය ලබා ඇත්තේ ලංකාවේ පැරණිම දෙමළ දේශපාලන පක්ෂයේ යළි නැඟිටීම සනිටුහන් කරමින් සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය බවයි. මේ සටහන පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ගැන කෙළවරක් නැති විචාර වෙනුවෙන් නොව සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය ලද ජයග්‍රහණය ගැනයි.

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය සීයට විස්සක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත. ඡන්ද 63 246ක් ඔවුන් ලබා ඇත. සාමාජිකයන් අසූවක් විවිධ පළාත් පාලන ආයතනවලට යැවීමට ඔවුන් සමත්ව ඇත. ඔවුන් සීයට විස්සක ප්‍රතිශතයක් ඡන්ද ලබන්නේ දෙමළ ජාතික සන්ධානය 34% ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී බව සිහිතබාගත යුතුය. දෙමළ ජාතික සන්ධානය ඡන්ද 105, 947ක් ලබද්දී ඔවුන් චන්ද 63 246ක් ලබා ඇත.

මේ යුද්ධය අවසන්ව ටික කාලයකින් පැවති 2010 මහ මැතිවරණයේදී යාපනයේ ඡන්ද 6362 ක් ලබාගත් පක්ෂයයි. 4.28 ක ප්‍රතිශතයක් ඡන්ද ලබාගත් පක්ෂයයි. ආසන්න වශයෙන් මේ ඡන්ද ප්‍රමාණය 10 ගුණයකින් ඔවුන් වැඩි කරගෙන ඇත.

මහින්ද රාජපක්ෂ දිවයින පුරා 2010 දී ලැබූ ඡන්ද සහ මෙවර ලැබූ ඡන්ද සැසඳීමක් කළොත් කෙබඳුද? ඇත්තෙන්ම මේ මැතිවරණයේදී මැජික් එක කළේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ය.
කිලිනොච්චි, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල යාපනයේ තරම් ඡන්ද ප්‍රතිශතයක් ලබා නැතත් පැහැදිළි වර්ධනයක් ඔවුන් පෙන්වා ඇත. ඒ ප්‍රදේශවල දෙමළ දේශපාලන පක්ෂ අතරින් ඔවුන් දෙවැනි වන්නේ දෙමළ ජාතික සන්ධානයට පමණි. වවුනියා දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවද වාසය කරන බව සිහිතබාගත යුතුය.

සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය 2018 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණේ දෙමළ ජනතා සභාව නම් යාපනයේ ‘එළඟ තමිල්’ ව්‍යාපාරය සංවිධානය කළ සිවිල් සංවිධානයේ ආශිර්වාදය සමඟයි. දෙමළ ජනතා සභාවේ අදහස් නියෝජනය කරන දේශපාලන පක්ෂය සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයයි. දෙමළ ජනතා සභාව සමඟ කටයුතු කළ සුරේෂ් ප්‍රේම්චන්ද්‍රන් මහතාගේ ඊපීආර්එල්එෆ් කණ්ඩායම ආනන්ද සංගරී මහතාගේ ටීයූඑල්එෆ් පක්ෂය සමඟ ඡන්දය ඉල්ලූ අතර ඔවුන්ට සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබුණේ නැත.

දෙමළ ජනතා සභාවට මැතිවරණයේදී ලද ඡන්ද ප්‍රමාණයට එහා ගිය සිවිල් බලයක් ඇති බව පැහැදිළි කාරණයකි. මේ වෙද්දී නැඟී එන දෙමළ දේශපාලන බලවේගය එයයි. තවම එය මැතිවරණ දේශපාලනයේ බලය ලබාගැනීමට තරම් ශක්තිමත් නැතත් මේ වෙනස පැහැදිළිව නිරීක්ෂණය කළ යුතුය.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ පියා කුමාර් පොන්නම්බලම් මහතාය. ඔහුගේ සීයා චිරප්‍රසිද්ධ ජී.ජී. පොන්නම්බලම් මහතාය. ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වන සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ ආරම්භක නායකයාය. චෙල්වනායගම් මහතාගේ වෙන්වීයෑමට පෙර දෙමළ ජනතාවට නායකත්වය දුන් නායකයෙකි. ජී.ජී. පොන්නම්බලම් මහතාගෙන් පසුව කුමාර් පොන්නම්බලම් මහතා ජනප්‍රිය දෙමළ දේශපාලන නායකත්වයේ අදහස්වලට අභියෝග කළ දේශපාලන නායකයෙක් ලෙස කටයුතු කළේය. එහෙත් දේශපාලන පක්ෂයක් වශයෙන් ජනතාව අතර දැවැන්ත පිළිගැනීමක් පක්ෂයට නොවීය. 2000 දී කුමාර් පොන්නම්බලම් මහතා ඝාතනයට ලක්විය. ගජේන්ද්‍රකුමාර් මහතාට කතාව එන්නේ ඉන් පසුවය.

මේ ජයග්‍රහණයට හේතුව දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ඉල්ලීම් පාවාදුන් බවට දෙමළ ජනතාව තුළ වර්ධනය වෙමින් පවතින විශ්වාසයයි. දකුණේ ආණ්ඩු සමඟ දෙමළ ජාතික සන්ධානය ගෙන යන සංවාදය පිළිබඳ දෙමළ ජනතාව අතර සැකයක් වර්ධනය වෙමින් පවතියි. ඒ දකුණේ ආණ්ඩු දෙමළ ජනතාවගේ ඉල්ලීම් නොසලකා හරින බවට ඇති හැඟීමයි. ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටු වාර්තාව සහ අනුකමිටු වාර්තාවල ඇති බලය බෙදීමේ සීමා මෙන්ම දකුණේ දේශපාලන නායකයන් කියන කතාද උතුරේ ජනතාවගේ විශ්වාසය නැති කරමින් පවතියි.

දකුණේ ජනතාව පීඩා විඳින බව ඇත්තය. එහෙත් දකුණේ ජනතාවට එහා ගිය වාර්ගික පීඩනයක් අද වෙද්දීත් උතුරේ ජනතාව විඳිමින් සිටියි. රාජ්‍ය ආයතන හරහා ඔවුන් එදිනෙදා මහත් පීඩාවක් විඳිද්දී තවම ඉඩම් අයිතිය සම්බන්ධයෙන්ද ඔවුන් පීඩා විඳියි. වැන්දඹු කාන්තාවන් මුල් කරගත් පවුල් බොහොමයක් උතුරේ ආර්ථික සටනකට මුහුණදෙයි. දකුණේ ගොවියන් පීඩා විඳින බව ඇත්තය. දකුණේ ගොවියන්ටගේ බෝගවලට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බව ඇත්තය. එහෙත් දකුණේ ගොවියන්ට ඇති මිලවත් උතුරේ ගොවියන්ට නැත. ඉතින්, දකුණේ ගොවියන් සිහිනෙන්වත් නොදකින පීඩනයක් උතුරේ ගොවියා විඳියි. දකුණේ ගංවතුර එද්දී රාජ්‍ය යාන්ත්‍රණය අඩුපාඩු සහිතව හෝ දකුණේ ජනතාවට සහන සැලසීමට ක්‍රියාත්මක විය. උතුරු නැගෙනහිර ජනතාව නියඟයෙන් බැට කද්දී ඉන් අඩක හෝ මැදිහත්වීමක් නොවීය. උතුරේ ගොවියන්ගේ ප්‍රශ්ණය, නියඟයේ ප්‍රශ්නය, පහසුකම් ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න හෝ චුන්නාක්කම් ජල ගැටලුව වැනි ප්‍රශ්ණද දකුණේ ආණ්ඩුවලට ගැටලු නොවේ. ඉතින් උතුර ඉල්ලන්නේ සැබෑ බලය බෙදීමකි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලඥයෙකු නොවේ. ඔහු තනි ශ්‍රී ලංකාවක් තුළ පුළුල් බලය බෙදීමකින් පසුව දියුණු ශ්‍රී ලාංකේය රාජ්‍යයක් නිර්මාණය කරගැනීම පිළිබඳ විශ්වාසය තැබූ නායකයෙකි. එහෙත් මේ මැතිවරණයේදී ඔහු ලද ජයග්‍රහණයෙන් සංකේතවක් වෙන්නේ දෙමළ ජනතාවට ව්‍යවස්ථාමය සැරසිල්ලක් ලෙස බලය බෙදීමේ විජ්ජා පෙන්වීමෙන් පලක් නොවන බවයි. නුදුරේ එවන් බලය බෙදීමක් නොකළොත් දෙමළ ජනතාව මහා පීඩනයකට කෙමෙන් කෙමෙන් මුහුණදෙන බව පැහැදිළිය. ඒ පීඩනය දෙමළ ජනතාව හෝ උතුරේ මධ්‍යම පන්තියට නොදැනෙනු ඇත. මේ වෙද්දීත් යාපනය නගරයට කොළඹ ඇති පහසුකම් සියල්ල පාහේ ගමන් කර හමාරය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න සහ වර්ධනය වෙමින් පවතින මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමත් ශ්‍රී ලංකා ජාතියේ චින්තනය වෙනස් මඟකට ගෙන ඒම මේ රට දියුණු කිරීමට අත්‍යාවශ්‍ය කටයුත්තකි. එය කට කැඩෙනතෙක් යළි යළිත් අපි කියන්නෙමු.

‘අපි හැමෝගෙම දුවන්නේ රතුපාට ලේ. අපි හැමෝම එකයි.’ යන්න ජනප්‍රිය කතාවකි. ඒ කතාව ඇත්තය. එහෙත් දුවන්නේ එක ලේ වුණත් අපි එකිනෙකා අතර වෙනස්කම් ඇත. අපි හැමෝම මිනිස්සු බව ඇත්තය. එහෙත් අප අතර වෙනස්කම් ඇති බව අවබෝධ කරගෙන ඒ වෙනස්කම්වලට ඉඩදීම අත්‍යාවශ්‍ය කටයුත්තකි. මේ මැතිවරණයේදී වුව ඒ සංඥාව ලැබී ඇත. එය මහින්ද රාජපක්ෂ ලද ජාතිවාදී ජයග්‍රහණයේ සෙවණැල්ලට යටවිය යුතු නැත.

තරිඳු උඩුවරගෙදර
vipakshaya.lk

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us