මහින්ද සමඟ රටම සූදානම් විය යුත්තේ කුමකට ද?

Saturday, 04 July 2015 15:40

‘මහින්ද සමඟ රට ම සූදානම්’ යනුවෙන් පෝස්ටරයක් රට පුරා අලවා තිබේ. රට බේරාගත් නායකයාට කලගුණ සලකමු යනුවෙන් එක් දේශපාලනඥයකුගේ නම සඳහන් පෝස්ටරයක් ද ඒ සමඟ ම අගනුවර තාප්පවල අලවා තිබෙනු ද පෙනේ. අතීත සිදුවීම සිහියට නැඟීම නිසා මේ පෝස්ටර් දෙක දකින විට කිසියම් භීතියක් ඇති වේ. එසේ වනුයේ හිටපු ජනාධිපතිගේ පාලන සමයෙහි අප සිත්හි ඇති ව තිබූ භීතිය නැවත දැනෙන්නට වීමෙනි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහමඟදී වෙඩි තබා ඝාතනය කළ අන්දම එසැනින් සිතට නැ‍ඟේ. මහින්ද සමඟ රට ම සූදානම් වන්නේ කුමකට ද යන්න අපට විසඳා ගැනීමට ඇති ගැටලුවයි.

පසුගිය කාලයෙහි රට පුරා පන්සල් රැසක සිදු කෙරුණු බෝධි පූජා ආශ්‍රිත දේශනා මාලාවක් ඓතිහාසික මැදමුලන දේශනයෙන් නිමාවට පත් විය.

මැදමුලන දේශනය අසන්නට පැමිණි හුදී ජනයාගේ ප්‍රාර්ථනය වූයේ අනාගත අගමැතිට ජය වේවා! යන්න ය. හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා දක්වා උසස් වීමේ(!) ඓතිහාසික අවස්ථාව දැක බලා ගැනීම ඔවුන්ගේ චිත්ත ප්‍රීතිය පිණිස හේතු වෙයි. කන්ද උඩ දේශනාවටත් වඩා වැඩි වැදගත්කමක් උසුලන මැදමුලන දේශනයෙන් ඔහු මතු කළ මූලික කරුණු හුදී ජන පහන් සංවේගය පිණිස වඩාත් පැහැදිලි කිරීම ජාතික යුතුකමක් යැයි සිතමි.

ජනවාරි 8 වැනි දා තමන් පරාජයට පත් වී නව ජනාධිපතිවරයකු පත් වීමෙන් පසු ව ඇති වූ ශෝකය නිසා, බොහෝ දෙනා ඇඬු කඳුළින් පසු වූ බවත් එම ගෙවල්වල ළිප ගිනි නොමෙළ වූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ඔහුගේ අදහස ජනතාව තම දුක දරා ගත නොහැකි නිසා එසේ කළ බව ය. මේ පිළිබඳ වෙනත් අයකු හට මෙ වන් තර්කයක් ගෙන ආ හැකි ය.

නව ජනාධිපතිවරයකු පත් වීමේ ප්‍රීතිය නිසා, ගෙදර සුපුරුදු බත නොපිස, හොඳ හෝටලයකින් කෑම වේලක් ගෙන ඒමට සිත් වූ නිසා, ළිප ගිනි නොමොළවා ඇත. මේ තවත් අදහසකි. පසු ගිය දස වසරෙහි දී සිදු වූ සංවර්ධනය කෙතරම් බලවත් ද යත් ජනවාරි අට වැනි දා වන විට ළිප ගිනි මොළවා යමක් පිසින්නට තරමේ වත්කමක් හුදී ජනයාට නොවී ය. මෙයින් කෝක හරිදැයි තෝරා ගැනීම පාඨකයාට බාර ය.

සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ යන සියලු ජාතීන්ට සහෝදරත්වයෙන් ඉදිරියට යෑම සඳහා ආරාධනා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මෙහි දී සිහිපත් වනුයේ පසුගිය ජනාධිපතිවරණයේ දී දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ඔහුට විරුද්ධ ව ඡන්දය පාවිච්චි කළ බව ය. ඔහුගේ පාලන සමයෙහි ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ හින්දු ආගමික මධ්‍යස්ථාන සිය ගණනකට නන්නාඳුනන කල්ලිවලින් ප්‍රහාර එල්ල විය. ආරක්ෂක අංශවල පාලනය පවතින ප්‍රදේශවල ද මෙය සිදු විය. බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් ජනතාවට වෙඩි තැබීම සහ දේපළ සංහාරය මෙහෙයවන ලද්දේ ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ භික්ෂු කල්ලියක් සහ මිලිටරි හස්තයක් විසිනි.

ඉස්ලාම් ව්‍යාපාරිකයන් හට තම ව්‍යාපාර අතහැර දමා සැඟවී සිටින්නට සිදු විය. රට පුරා ඉස්ලාම් විරෝධයක් ඇති කර සිංහල බෞද්ධ බහුතරය තමන් වෙත දිනා ගැනීම ඔහුගේ අපේක්ෂාව වුව ද එයින් සිදු වූයේ සිංහල සමාජයෙහි සැලකිය යුතු ප්‍රතිශතයක් ද දෙමළ හා ඉස්ලාම් අති බහුතරය ද ආගමික සහජීවනය නොඉවසන පාලකයා ගෙදර යැවීම සඳහා තම ඡන්දය පාවිච්චි කිරීම ය.

ඒ නිසා, අලුත් ගමනක් යෑම සඳහා සියලු ජාතීන්ට ඔහු කළ ආමන්ත්‍රණයෙන් සිදු වන්නේ අතීත තුවාල පෑරීම නිසා, ඔවුන් තව තවත් ඔහුගෙන් දුරස් වීම ය. හිටපු ජනාධිපතිවරයා මේ කරන්නේ දවල් හීන දැකීමකි.

ඇන හිට ඇති සංවර්ධනය නැවත ආරම්භ කරන බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ ය. මේ කියන සංවර්ධනය කාගේ සංවර්ධනයක් ද යන්න විශේෂ අවධානයට ලක් විය යුතු මනා ය. නැවතී ඇති සංවර්ධනයෙහි ප්‍රධාන ම අංගයක් වන්නේ මාර්ග සංවර්ධනය යි. මාර්ග කාපට් කිරීම හා අධිවේගී මාර්ග ඉදි කිරීමෙහි දී සිදු වී ඇති රුපියල් කෝටි ගණනක වංචා පසු ගිය අවධියෙහි හෙළිදරව් විය.

පසු ගිය රජයෙහි මාර්ග සංවර්ධනය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර විය. ඇමැතිවරයා බැංකුවකට කතා කර ඔහුගේ හෙංචයියකුට ණය මුදලක් ලබා දෙයි. එම ණය මුදලින් මාර්ග සංවර්ධනය කෙරේ. එම ණය ප්‍රමාණය ඇස්තමේන්තු වියදමට වඩා කිහිප ගුණයක් විශාල ය. රජය බැංකු ණය ගෙවයි. මේ ඉදිකිරීම්වල කිසිඳු ප්‍රමිතියක් නැති බව පසු ගිය ගංවතුර ගැලීම්වලට හසුව කාපට් පාරවල් බෑ ගැසී යෑමෙන් ම පෙනේ. මාර්ග සංවර්ධනයේ දී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් නිකුත් කළ චක්‍රලේඛයක් ද පිටුවහල් වී තිබේ.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී කිලෝමීටරයකට වැය කර ඇති මුදල, ලොව කිසි ම රටක මාර්ග කිලෝමීටරයක් ඉදිකිරීමට වැය කළ මුදලට වඩා වැඩි වීම ආශ්චර්යයේ නියමුවන්ගේ දක්ෂකම කියාපාන්නකි. නාගරික සංවර්ධනය මුවාවෙන් පැල්පත් ජනයා කුකුළු කොටු වැනි මහල් නිවාසවලට වීසි කර දමන අතරතුර පරිසර ඇගැයීම් වාර්තා කිසිවක් නොමැති අනවසර කැණීම් හා ඉදිකිරීම සිදු කරන ලදී.

එම ව්‍යාපෘති සඳහා ණය ලබා ගෙන ඇත්තේ ද කිසිදු නීතියකට යටත් නොවී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රටවලිනි. මේ නිසා, ඔහු කියන සංවර්ධනය ඇන හිටීම කාගේ සංවර්ධනයේ ඇන හිටීමක් ද යන්න සිතා බැලිය යුතු ය.

අධිකරණයේ ස්වාධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහා පෙරට එන මෙන් හිටපු ජනාධිපතිවරයා ආරාධනා කරන විට චරිත තුනක් සිහිපත් වේ. හිටපු අගවිනිසුරන් වන මොහාන් පීරිස්, ශිරාණි බණ්ඩාරනායක හා හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ ය. අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික හා සමාජ මට්ටම නැංවීමේ අරමුණින් යැයි කියමින් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් දිවි නැඟුම පනත ඉදිරිපත් කරන ලදී.

මේ පනතට අදාළ විෂයයන් පළාත් සභාවලට අයත් වන හෙයින් මධ්‍යම ආණ්ඩුවට එම බලය නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් විය. පැමිණිල්ල විභාග කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඇතුළු විනිසුරු මඬුල්ල දිවි නැඟුම පනත පළාත් සභාවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස ද එහි ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවට ද නීති ප්‍රකාර ව තීන්දුවක් දුන්නේ ය.

අධිකරණය ආණ්ඩුවට ගැති තීන්දුවක් ලබා නොදී ස්වාධීන තීන්දුවක් දීමෙන් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට යකා නැංගේ ය. ඔහු සමෘද්ධි නිලධාරීන් පිරිවරාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහි ව පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය කළේ ය.

ඒ වන විට උතුරු පළාත් සභා පිහිටුවා නොතිබූ බැවින් අධිකරණ නියෝගය ඉෂ්ට කිරීම සඳහා පළාත් සභා ඡන්දය පැවැත්වීමට ද සිදු වේ. රාජපක්ෂ පාලනය කල්පනා කළේ අගවිනිසුරු තම පවුලට එරෙහි වී ඇති බව ය. එහෙයින් බොරු චෝදනා යටතේ ඇයට එරෙහි ව නඩු පවරන ලදි. ඇයට එරෙහි ව දෝෂාභියෝගයක් ඉදිරිපත් විය.

පාර්ලිමේන්තු කමිටුවක් මඟින් පැය විසි හතරක් ඇතුළත සාක්ෂි විමසා ඇය ධුරයෙන් පහකරන ලදි. අගවිනිසුරු නිල නිවෙස ඉදිරිපිට අට්ටාල බැඳගත් මැරයෝ ද, මහජන නියෝජිතයෝ ද කිරිබත් කා රතිඤ්ඤා පත්තු කළ හ. රුපියල් පන්සීයක් සහ මාළු පාන් එක බැගින් ලබා දී අධිකරණය ඉදිරියට යවන ලද කණ්ඩායම් අගවිනිසුරුවරියට එරෙහි ව උද්ඝෝෂණ පැවැත්වූහ. එහි ගිය ඇතැමකුගේ මුවින් ශිරාණි බණ්ඩාරනායක වෙනුවට ශිරන්ති රාජපක්ෂගේ නම කියවීමෙන් පෙනෙනුයේ ඔවුන්ගේ දැනුම් මට්ටමේ තරම ය.

“අපගේ හදවත් මත ඔවුන් පත්තු කරන රතිඤ්ඤා ළඟදීම ඔවුන්ගේ හදවත් මත පත්තු වෙනවා”

තරුණ කවියකු මගේ ජංගම දුරකථනයට එවූ කෙටි පණිවිඩයකි ඒ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යැවීම සඳහා අනීතික ක්‍රමයකට නෛතික මුහුණුවරක් දුන් අය නැවතත් මහින්ද බලයට පත් කිරිම සඳහා කපුකම් කරන සමයක හිටපු අගවිනිසුරුවරිය තමන් පටලවා ඇති නඩුවලට පෙනී සිටීම සඳහා උසාවි ගානේ රස්තියාදු වෙයි.

චෝදනා ගණනාවක් එල්ල වී තිබූ මොහාන් පීරිස් අගවිනිසුරු හැටියට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ රබර් මුද්‍රාවක් බවට අධිකරණය පත් කිරීම සඳහා ය. එහෙයින් අධිකරණයේ ස්වාධිපත්‍යය ඇති කිරීම සඳහා හිටපු ජනාධිපති දෙන ප්‍රතිඥාව අසා සිටිය හැක්කේ දෙමාසයකින් අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නකු හට පමණි.

රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි ව මැස්සකුටවත් පියාඹා යා නොහැකි වූ සමයකි එය. මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමඟ ආරවුලක පැටලී සිටි අතිදක්ෂ රගර් ක්‍රීඩකයකු හිටි අඩියේ මෝටර් රථ අනතුරකින් මිය ගියේ ය. ඔහුගේ මුදල් පසුම්බිය සිද්ධිය වූ ස්ථානයට සැතපුම් ගණනක දුරින් හමු විය. අනතුර සිදුවන විට ඔහුගේ අත පය කැඩී තිබුණි.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පළ වූ ගවේෂණාත්මක වාර්තාවක් නිසා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උදහසට ලක් විය. ආරක්ෂක ලේකම් ඔහුට දුරකථනයෙන් තර්ජනය කළේ ය. උසාවියෙහි නඩුවක් ද විභාග වෙමින් පැවතිණි. ඒ අතරතුර මහ දවාලේ ලසන්ත ඝාතනය කරන ලදී.

ඝාතනය සම්බන්ධයෙන් මෑත දී හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනිණ. මෙලෙස ඝාතනයට ලක් කෙරුණු සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් ගණන විශාල ය. පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, නාමල් පෙරේරා යනාදී වශයෙන් මාධ්‍යවේදීහු විශාල පිරිසක් ප්‍රහාරයට ලක් වූහ. ඔවුන් තවමත් එතෙර ය. මෙතෙර බලා පැමිණිය හැකි මට්ටමේ දේශපාලන ස්ථාවරත්වයක් තවමත් නොමැත්තේ රාජපක්ෂ හොල්මන් සහ අවතාර තවමත් ප්‍රසිද්ධියේ සැරිසරන හෙයිනි.

සිරස මාධ්‍ය ආයතනයට පහර දෙන ලද්දේ යුද්ධයකදී පාවිච්චි කරන බර අවි ද භාවිත කිරීමෙනි. සියත රූපවාහිනී නාළිකාවට ද පහර දෙන ලදි. මෙ ලෙස මාධ්‍යවේදීන් මරා දැමීම හෝ අතපය කඩා දැමීම, මාධ්‍ය ආයතනවලට පහරදීම සහ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් විවිධ වරදාන මඟින් තමන්ගේ ලියන්නප්පුලා බවට පත් කිරීම යන කරුණු අතින් රාජපක්ෂ යුගයට ළං කළ හැකි යුගයක් මෙරට තිබී නොමැති බව හැටේ දශකයේ සිට වර්තමානය දක්වා සමාජ දේශපාලන තතු පිළිබඳ මතකය අනුව මේ ලියුම්කරුට සිතේ.

මහින්ද රාජපක්ෂගේ කල්ලිය ප්‍රකාශ කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවී තිබෙන හෙයින් ද රටේ සංවර්ධනය ඇනහිට ඇති හෙයින් ද මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පත්කර රට බේරා ගත යුතු බව ය.

අප දන්නා පරිදි නම් පසු ගිය අවදියේ රාජපක්ෂ සහෝදරවරුන්ට, රාජපක්ෂ පුතුන්ට හා රාජපක්ෂ බිරියට විවිධ චෝදනා එල්ල විය; කට උත්තර ද ගන්නා ලදී. ඒ අනුව තම පවුලට එල්ල වී ඇති තර්ජනය රටට එල්ල වී ඇති තර්ජනයක් ලෙස අර්ථකථනය කිරීම ස්වයං ආරක්ෂණ ක්‍රමවේදයකි.

පසු ගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවන ලද්දේ ආඥාදායක පාලනය වෙනුවට දූෂණයෙන් භීෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙනි. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා රටේ බහුතරයක් ජනතාව නව ජනපතිවරයකු තෝරා පත්කර ගත්හ. එහෙත් ඒ, සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කප්පාදු කර අඩපණ කරන ලද්දේ පරාජිත මහින්ද රාජපක්ෂ විසින් උසිගන්වන ලද ඔහුට ගැති මහජන නියෝජිතයන් විසිනි.

ඒ අනුව, නැවත ආඥාදායක පාලනයක් යටතේ දූෂණය හා භීෂණයට පාර කපා ඇත්තේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ කල්ලිය යි. මහින්ද සමඟ රට ම සූදානම් යන ආමන්ත්‍රණයෙන් අදහස් කර ඇත්තේ, කුමන මඟකින් හෝ අගමැති ධුරය ලබා ගෙන ඉනික්බිති ව්‍යවස්ථානුකූල මාර්ගයකින් හෝ වෙනත් අයුරකින්, ජනාධිපති ධුරය ද ඩැහැගෙන, සුපුරුදු පාලනය ස්ථාපිත කරගෙන තම දරු පරම්පරාවට අනාගතයේ රටේ පාලනය හිමිකර දීම විය හැකි ය.

එසේ හෙයින් ජනවාරි 8 දා ලැබූ ජනතා ජයග්‍රහණය උඩු යටි කිරීමට ඉඩ නොදී ප්‍රතිවිප්ලවය පරාජය කිරීම වෙනුවෙන් කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීම යි.

තිඹිරියාගම බණ්ඩාර

silumina

 

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us