වසංගතයකින් පසුව එන දුර්භික්ෂයටත් රජය සුදානමින් ! Featured

Monday, 14 February 2022 16:26

2022 වසර තුළ අප රටේ ජනතාවට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදු වෙතැයි උපකල්පනය කරමින් ඊට විසඳුම් දීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා ඇමැති මණ්ඩලය දැනුම්වත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

2022 වසරේ දී දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවනු ඇතැයි බොහෝ විද්වතුන් විසින් අදහස් පළ කර තිබීමත්, කාබනික වගාවේ යම් අසාර්ථක වීමක් සිදු වුණොත් ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහාත් මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම උචිත යැයි ඇමැතිවරයා පෙන්වා දී ඇත.

සෑම වසංගතයකින්ම පසු කවර රටක් තුළ වුවද සාගත තත්ත්වයක්, දුර්භික්ෂ සමයක් උදා වන බව විද්වතුන්ගේ අදහසයි. කොවිඩ් 19 වසංගතය දීර්ඝ කාලයක් පැවැති, තවමත් පවතින වසංගත තත්ත්වයකි. එමනිසා එම වසංගත තත්ත්වය කවදා මෙලොවින් තුරන් වේද? යන්න කිසිවකුට හෝ අනාවැකි පළ කළ නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. එමනිසා ලෝකයේ සංවර්ධිත රටවලට මෙන්ම අපේ රට වැනි මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවලට දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට සිදු විය හැකිය.

එමනිසා ලබන වසරේ ආහාර හිඟයක් ඇති වුණොත් දැනට අපේ රටේ ඇති ආර්ථීක තත්ත්වය මත පිටරටින් ආහාර ආනයනය කිරීමේ හැකියාවක් ද නැත. එහෙත් අපට අවශ්‍ය දේ අපම වගා කර ගැනීමට අවශ්‍ය කාලය තවමත් තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය මෙන්ම සියලුම අමාත්‍යංශවල දායකත්වය මත දීපව්‍යාප්ත වගා සංග්‍රාම වැඩසටහනක් ඇරැඹීමටත්, මේ සඳහා අයවැය ලේඛනය මඟින් ඒ ඒ අමාත්‍යංශවලට වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් යම් කොටසක් යොදා ගැනීමටත් ඇමැති මණ්ඩලය තීරණයක කර ඇත.

ජනාධිපතිවරයා පිහිටු වූ දේශගුණ විපර්යාසවලට තිරසර විසඳුම් දෙමින් හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් මේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. මේ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය පළ විය. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා තවත් ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කෙළ්ය.

අපේ රටේ සිටින පවුල් සංඛ්‍යාව පවුල් මිලියන 5.2කට ආසන්නය. ඔවුන් ජීවත් වෙන කුඩා බිම් කඩක වුව තමන්ට දෛනික අවශ්‍ය දේවලින් යම් ප්‍රමාණයක් වගා කර ගැනීමට උනන්දු කළ යුතුව තිබේ. එමෙන්ම එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩලවල සහයෝගය ගැනීම සිදු විය යුතුය. ඒ අනුව ගෘහස්ථ ගෙවතු වගා දිරිමත් කිරීම සඳහා දීමනා දීමට කමිටුවක් පත් කර ඇත. එහි සභාපතීත්වය වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දරයි. එම කමිටුවට කෘෂිකර්ම, ඉඩම්, වැවිලි ආදි අමාත්‍යාංශ ගණනාවක් ඇතුළත්වේ.

මේ සියලු ඉඩම්වල ආහාර භෝග වගා කිරීම මඟින් රටේ ආහාර අවශ්‍යතාව විසඳා ගැනීමට පියවර ගත හැකි වුව ද, මේ වන විට අපේ රටේ ආහාර පාරිභෝජන රටාවේ දැඩි වෙනස්කමක් පෙන්වන බව ආර්ථීක විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඒ අනුව ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා වූ ප්‍රධාන යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

රටේ ආහාර නිෂ්පාදනය සම්බන්ධව දැනට වඩා ඉදිරි වසර 10ක්, 20ක් ඉලක්ක කර ගනිමින් සැලසුම් සකස් කර නොගත්තොත් නුදුරු අනාගතයේ දී අපේ රටේ ජනතාවට දැවැන්ත ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වීම අනිවාර්යවේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ රටේ ජනතාව තුළ ඇති වූ ආහාර පරිභෝජන රටාව නැවත සකස් කළ හැක්කක් නොවේ. එය මින් ඉදිරියට එසේම පවතිනු ඇත. ඇතැම් විට ඉදිරි කාලය තුළ ඒකපුද්ගල ආහාර පරිභෝජනය තව දුරටත් ඉහළ යා හැකිවා මිස අවම වීමක් අපේක්ෂා කළ නොහැකිය.

එමනිසා අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ඉස්මතුව පවතී. ආණ්ඩුවක් රටේ ජනතාවට අවශ්‍ය දෑ සියල්ල වෙනත් රටවලින් ආනයනය කර හෝ කෑමට දිය යුතුය යන ආචීර්ණකල්පික මතවාදයෙන් ඔබ්බට ගොස් එම කාරණය සලකා බැලීමට සිදුව තිබේ. එක් අතෙකින් රටේ විදේශ සංචිත ප්‍රමාණය අවම වීම මත ඩොලර් වැය කර භාණ්ඩ මිලදී ගැනීමේ රජය සතු ක්‍රය ශක්තිය අවම වෙමින් පවතින බව සැබෑය.

එම තත්ත්වයට වගකිව යුත්තේ රටේ වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය යැයි කෙනෙක් පවසන්නේ නම්, එය හුදෙක් අත්තනෝමතික ප්‍රකාශයකි. රටේ ආර්ථික අවපාතය සම්බන්ධව රජයට දොස් කියන සමහරු කිසි විටෙක සාධාරණීකරණය නොකරන කරුණු කීපයක් තිබේ.

යම් හෙයකින් කොවිඩ් වසංගත තත්ත්වය බලනොපෑවා නම් අද රටේ තත්ත්වය කෙසේ වේවි ද? යන්න සිතා බැලිය යුතුය. 2020 වසරේ මුල් කාර්තුව තුළ එක දිගට මාස තුනක් පමණ මුළු රටම වසා දමා තිබිණි. එහෙත් ජනතාවට කිසිදු ආහාර අහේනියක් හෝ මුදල් හිඟයක් හෝ ඇති වීමට, මහජනතාව බඩගින්නේ තැබීමට වත්මන් රජය කටයුතු කළේ නැත. මහජනතාවට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය නිවෙස් අසලටම සැපයීය. රාජ්‍ය සේවකයන්ට හිඟයකින් තොරව වැටුප් ගෙව්වේය. ස්ථිර ආදායමක් නැති ජනතාවට සහන දීමනාවක් දුන්නේය. ඒ අතර කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට ගලවා ගැනීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් හිඟයකින් තොරව රට පුරා ස්ථාපිත කළේය.

ඒ සම්බන්ධව අද කිසිවෙක් රජයට ස්තුතියක් හෝ පළ කරන්නේ නැත. එහෙත් මේ කාරණා අමතක කළ යුතු කාරණා ද නොවේ. 1948 සිටම පැවැති හැම රජයක්ම දේශීය නිෂ්පාදන ආර්ථිකය නැංවීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවාට වඩා උනන්දු වූයේ පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම ලාබදායී යැයි සිතා කටයුතු කිරීමටය.

කෙසේවෙතත් වත්මන් රජය ගෙවතු වගා දිරිමත් කිරීමට දිරි දීමනාවක් දීම, වී ගොවීන්ගේ ආදායම් මට්ටම් සුරක්ෂිත කිරීමට අමතර සහන දීම, වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනයක් දීම, සමෘද්ධිලාභීන් වෙත අතිරේක දීමනාවක් දීම, රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් දීම, එම දීමනාව පුද්ගලික අංශයේ සේවකයන් සඳහා දීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.

මින් පෙර පැවැති රජයන් වරින්වර උද්ගත වන සාගත තත්ත්වවලට මුහුණ දීම සඳහා ජාතික වගා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. 1973 දී එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය‘නිෂ්පාදන සංග්‍රාමය’ නමින් වගා ව්‍යාපාරයක් ආරම්භ කළේ, රට තුළ පැවැති සාගත තත්ත්වයට මුහුණ දීමටය. ඒ සඳහා ‘තරුණ ගොවි හමුදාව’ නමින් වැඩසටහනක් ද ඇරැඹීය. රටේ ජනතාව තම නිවෙස්වල තිබූ මල්පෝච්චිවල පවා එළවළු, පලතුරු වගා කිරීමට පෙලඹුණේය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ රජය මඟින් ‘සාගත සාගිනි නිවමු - හැම බිම් අඟළම වවමු’ යනුවෙන් වගා සංග්‍රාම වැඩසටහනක් ආරම්භ කළේය.

2005 දී බලයට පත් එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ‘අපි වවමු - රට නගමු’ දැවැන්ත වගා සංග්‍රාමය වැඩසටහන ඇරැඹීය. එම වැඩසටහන කෙතරම් සාර්ථක වූවා ද යත් 2010 වන විට අපේ රට සහලින් ස්වයංපෝෂිත විය. කිසිදු ආහාර හිඟයක් නොවීය. එළවළු, පලතුරු මෙන්ම අල භෝගවලින් හා ධාන්‍යවලින් අපේ රටේ අටු කොට පිරී ගියේය. 2014 දී වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට ද හැකි විය.

2018 දී ද ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වෙතැයි විද්වත්හු අදහස් පළ කළහ. එම අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින් එවකට කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර මහතා ‘අපි වවලයි අපි කන්නේ’ නමැති දැවැන්ත වගා සංග්‍රාම වැඩසටහන ආරම්භ කළේය.

වත්මන් ආර්ථික අපහසුතා රටේ පාලනයේ ඇති දුර්වලතාව නිසා සිදුවන්නක් යැයි ඇතැමුන් උළුප්පා පෙන්වීම සාධාරණ යැයි සිතෙන්නේ නැත. අද රට තුළ උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වය දශක ගණනාවක් තිස්සේ එක් වූ ගැටලු ගණනාවක ප්‍රතිපලයක් බව අවසාන වශයෙන් කිව යුතුය.

-පංචාලි

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා.

Connet With Us