ජජබ + සජබ යහපාළුවනි, ව්‍යාජ සටන් පාඨවලින් පරිසරය නොරැකේ. Featured

Saturday, 20 March 2021 10:47

කැලෑ කපන කතා දැන් ඔක්කාරෙට එන තරමට වැඩි වී ඇත. පසුගිය මාස කිහිපය තුල සමාජ මාධ්‍ය ප්‍රමුඛව අනෙකුත් මාධ්‍යයන් විසින් වාර්තා කළ සිදුවීම් ප්‍රමාණය අනුව තවත් කපන්නට තරම් කැලැයක් මේ රටේ ඉතිරිව තිබෙනවාද සැක සහිතය. ජවිපෙ මූලිකව එජාප(සජබ) කොටසකුත් සහ වෙනත් විපක්ෂ කුඩා කණ්ඩායම් මෙලෙස මහා වන විනාශයක් රටතුල සිදුවෙමින් පවතින බවට දැවැන්ත ප්‍රචාරයක් සිදු කරමින් තිබේ.

මේ වෙනුවෙන් එම පක්ෂ ක්‍රියාකාරිකයන් දහස් ගනනක් මෙහෙයවමින්ද තිබේ. එමෙන්ම සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් ලක්ෂ ගනනින් වියපැහැදම් කරමින් රට අවුළුවමින්ද තිබේ. ඊට කම් නැත. විපක්ෂ දේශපාලන පක්ෂ කොහොමත් වැරවෑයම් කරන්නේ පවතින ආණ්ඩුව පෙරළා දැමීම සඳහා මොකක් හෝ පොටක් පාදාගැනීමට නිසාය. ඇත්තටම පරිසරය වෙනුවෙන් හැමදාම පෙනී සිටින පරිසරවේදීන් පවා මේ කියනතරම් පරිසර විනාශයක් ගැන කතාකර නැතිතරම් යැයිද සිතේ.

වත්මන් පාලනයට එරෙහිව මේ ජවිපෙ සජබ ආදී විපක්ෂ කණ්ඩායම්වලට පහසුවෙන් අල්ලා ගැනීමට හැකිව ඇත්තේ මේ වන විනාශයන් ගැන හුදු පුවත් කිහිපයකි. එකම සිද්ධිය වටගනනාවකින්, විවිධ මුහුණුවර ගනනාවකින්, විවිධ විග්‍රහයන් ගනනාවකින්, විරෝධතා සටන් පාඨ සිය ගනනකින්, මතු කරමින් මෙම විනාශයේ පරිමාව සිය දහස් ගුණයකින් මවා පෙන්වීමට මෙම පිරිස දැනට සමත්ව තිබේ. ඒ අනුව මෙරට තුළ හැමදාමත් වන විනාශයන් ගැන තොරතුරු අසන්නට ලැබී තිබේ. ඒවා සාමාන්‍ය සිදුවීම් ලෙස නොතකා හැරිය නොහැකි දේ නොවේ.

පරිසර අණ පනත් නීති රීති හා ක්‍රමවේදයන් මඟින් මේ පරිසර විනාශය වැලැක්වීම වෙනුවෙන් කවර ක්‍රියාමාර්ගයන් ගෙන තිබුණත් ඒ මඟ හැර මේ විනාශකාරී ක්‍රියාවන් හී යෙදෙන පිරිස් වෙති. ඒ ඒ කාලවල රටේ දේශපාලන බලය හුවමාරු වන විදිහට දේශපාලන බලය දරණ පිරිස් හෝ එම සැබැඳියන් සහිත පිරිස් මේවා සංවිධානාත්මක ජාවාරම් ලෙස කරන බවත් රහසක් නොවේ. මීට අමතරව සාමාන්‍ය ජනතාවද තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පරිසරයට හානිකිරීම අතිබහුලව සිදුකරයි. රටේ පරිසර නීති අතරින් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මේ සාමාන්‍ය ජනතාවගෙන් පරිසරය බේරාගැනීම වෙනුවෙන් බව අමතක කළ යුතු නැත. ඒ අතරම පරිසරය නොතකා කෙරෙන අමනෝඥ සංවර්ධන ව්‍යාපෘති ගැනද අපට අහන්නට සිදුව තිබේ. පරිසරය රැකගෙන ඒ මත පදනම්ව වන සංවර්ධන ව්‍යාපෘතිද ක්‍රියාත්මක නමුත් ඒවාද පරිසරයට හානිදායක බවට වන චෝදනා ද නිරන්තරයෙන් එල්ල වේ. මන්ද පරිසරයට හානි නොකොට කළ හැකි සංවර්ධනයක් කොහොමත් නැති නිසාය.

මේ ආකාරයෙන් රටේ වන ගහනයට එල්ලවන බලපෑම විවිධ මුහුණුවරින් සිදුවේ. මෙසේ සිදුවන ක්‍රියාකාරකම්වලින් පරිසර පද්ධතියට වන බලපෑම අවම කරමින් ඒවා නිසි ලෙස කළමනාකරණය කරගැනීම රජයේ වගකීම වේ. මේ වගකීම ඉ‍ටුකිරීමේ දී පවත්නා ආණ්ඩු විසින් සමත්කම් මෙන්ම අසමත්කම්ද පෙන්වා තිබේ. ඒ කොහොම නමුත් අවම වශයෙන් අවුරුදු 100 ක ඉතිහාසය ගෙන බැලුවත් දිගින් දිගටම දකින්නට ලැබෙන්නේ රටෙ වනගහනය අඩුවෙමින් පැවැතීම ගැන සංඛ්‍යා දත්තයන්ය. අද එය රටට දැරිය හැකි කෙළවරකට පැමිණ තිබෙන බවද පිළිගත යුතුය. සමහර විට අප දැන් රතු ඉරත් පැන ඇති බව කීමෙහිද වරදක් නැත. රටේ තිබිය යුතු යැයි කියන වනගහනය අද අපට නැත. ඒ අනුව තවත් කපන්නට වනාන්තර නැත. මෙහිදී සියලු දෙනා තේරුම් ගතයුතු වැදගත් කාරණාවක් නම් රට පුරා ගස්කොළන් තිබීම හා වනාන්තර තිබීම යනු දෙකක් වන බවය. වනාන්තරයක් කපා ඒ වෙනුවෙන් ගස් කොළන් වැවීම වනාන්තර කැපීම නිසා වන පරිසර විනාශයට කිසිසේත්ම විසඳුමක් නොවේ. මේ නිසා වනාන්තරය රැකගැනීම විශේෂයෙන්ම වියයුතු බව කිසිවකුට ප්‍රශ්න කළ නොහැක. වනාන්තර රැකගැනීම ජාතික වගකීමකි. එතැන දේශපාලනයක් හෝ වෙනත් බෙදීමක් තිබිය නොහැක.

එහෙත් අද මෙරට දේශපාලනයේදී වනාන්තර වැදගත්වන්නේ වනාන්තරයේ ඇති ගුණය නිසා නොව එය දේශපාලනික අර්ථයෙන් ජාතික වගකීමක් ලෙස පටු තැනක තබා තිබෙන බැවිනි. ඒ අනුව වනාන්තරය, දේශපාලන සටන් පාඨයක් බවට පත්වේ. රටේ අනෙකුත් දේශපාලනික ප්‍රශ්න තොරොම්බල් වෙන ගානට වනාන්තරයටත් ඒ සන්තෑසිය උරුමය. අද මේ මොහොතේ අන් කවරදාකටවත් වඩා ඒ දකින්නට ලැබේ. ඇත්ත සහ බොරුව වටහාගන්නට ඉඩක් ලබානොදීම වනාන්තර පිළිබඳ ප්‍රශ්නය අවුල් වියවුල් කර තිබේ.

අද ජවිපෙ විසින් අවුළුවා දෙන පරිසරය පිළිබඳ ව්‍යාජ ප්‍රශ්න එජාප, සජබ ආදී පක්ෂ විසින් තවතවත් පිරුදු දමා ගින්න පතුරුවමින් කරන විනාශය මේ පරිසර විනාශය වඩා බරපතල බව පෙන්වා දිය යුතුය. මෙය සංවිධානත්මකව සිදුවෙන කටයුත්තක් බවත් පැහැදිලිය. සමාජ මාධ්‍ය තුළ මේ පක්ෂ ක්‍රියාකාරිකයන් හිතවතුන් එකට එකතුව කටයුතුකරමින් සිටින බවත් පැහැදිලිව දකින්ට තිබේ. විශේෂයෙන්ම ව්‍යාජ පුවත් බෙදාහැරීම සහ අනෙක් පාර්ශ්වයන්ට මඩ අවලාද ගසා දුර්මුඛ කිරීම යම් කතිකාවක්, එකඟතාවයක් අනුව සිදුවෙමින් තිබේ.

පසුගිය යහපාලනය යනු මේ සියලු දෙනාගේ එකමුතුවක් නිසා යළිත් එම හවුල් ආණ්ඩුව පිහි‍ටුව ගැනීමට මේ පිරිස් දැනුවත්ව වැඩකරනවාද විය හැකිය. විහිළුවට කරුණ නම් මෙම පිරිසම පසුගිය යහපාලන කාලයේදී විල්පත්තුව, සිංහරාජය, යාල.. කැපීම ඇතුලුව අති විශාල ලෙස පාරිසරික හානියක් සිදුකරමින් සිටින විට (2017 මේ අය අනුමත කළ ජාතික භෞතික සැලසුම/ එම්සීසී ගිවිසුම නැවත පරික්ෂාකර බලන්න) ඒවා සාධාරණීයකරණයට ඉදිරිපත් වීමය. අද තණකොළ ගහක් උගුල්ලනවාටත් එරෙහි වුවත් එදා තිරසාර නැතිනම් ධරණීය සංවර්ධනය යනුවෙන් ටොපියක් පෙන්වමින් මේ අය පරිසර විනාශය වෙනුවෙන් පෙනී සිටි අය වෙති.

අද මේ රට තුළ මහා පරිමාණ පරිසර විනශයක් සිදුවෙමින් තිබෙන බවට පෙන්වා දිය හැකි අමුතු සිදුවීම් නැත. රජය සංවර්ධනයේ නාමයෙන් හෝ මහ ඝන වැසි වනාන්තර, රක්ෂිතයන් අක්කර සිය දහස් ගනනින් කපාහෙළා කරන විනාශයන් සිදුකර නැත. රජයට ඊට ක්‍රමවේදයක් තිබේ. හැමදාමත් සිදුවුණා සේ රජයේ ව්‍යාපෘතිවලින් පරිභාහිරව යම් යම් හුදකළා සිදුවීම් වී ඇති නමුත් ඒ සෑම විටම ඒ වැලක්වීමට කටයුතු කර තිබේ. කැලෑ කැපීමගැන එල්ලවන චෝදනා වැඩිවීම හමුවේ රජය දියත් කළ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙල අනුව මේ වන විට එවැනි සිදුවීම් ගනනාවක් වලක්වාගැනීමට සමත්ව තිබේ. එහෙත් මේ සිදුවීම්වලින් අති විශාල ප්‍රමාණයක් සාමාන්‍ය මිනිසුන් විසින් තමන්ගේ බඩගෝස්තරය කොහොම හරි ගැටගහගැනීම වෙනුවෙන් කරන නිති විරෝධි කටයුතුවලට වඩා දෙයක් නැති බව ඒ පිළිබඳ තොරතුරු පරික්ෂා කිරීමෙදී පැහැදිලි වේ. මේවා වනජීවී නිලධාරීන්ටත් වලක්වාගත හැකි තිබූ ඒවාය. කොටින්ම පරිසරය රැකගැනීම සාමාන්‍ය ජනතාවගේ ඇත්ත පොදු වුවමණාවක් වී තිබුණානම් මෙහෙමවත් මේ සිදුවීම් වන්නේ නැත.

එසේම රජය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යම් භුමී ප්‍රදේශයක් හඳුනාගෙන වෙන් කරන්නෙ එහි ඇති පාරිසරික බලපෑම ගැන විධිමත් පාරිසරික අධ්‍යයනයකින් පසුවය. ඒවා නොතකා අද කටයුතු කළ නොහැක. බලහත්කරයෙන් හෝ හොර රහසේ හෝ වැඩ කිරීමට රජයට හැකියාවක් නැත. එහෙම කරන්න ගන්නා උත්සාහයන් හෝ වලකාගැනීමට නීති රීති ක්‍රමවේදයන් මේ රටේ තිබේ. පරිසරයට ඇත්තටම ආදරයක් ඒක ගැන කැක්කුමක් තිබෙන ඕනෑම පුරවැසියකුට එම නිති රීති ක්‍රමවේදයන් පාවිච්චි කරමින් පරිසරය රැකගැනීම වෙනුවෙන් ඉදිරිපත් විය හැකිය. පරිසරවේදීන්ට, පරිසර සංවිධානවලට ඒ අයිතිය හා නිදහස තිබේ. එහෙම ඉදිරිපත් වී ලැබූ ජයග්‍රහණයන්ද රැසක් තිබේ. එම නිසා පරිසර ප්‍රශ්නය යනු විසඳාගැනීමට අමාරු දේ නොවේ.

අද මේ පරිසරය ගැන ජවිපෙ සජබ ආදී පක්ෂ දක්වන උනන්දුව මීට පෙර ඇත්තටම තිබුණා නම් අද මේ රටේ වනගහනය කිහිප ගුණයකින් වැඩි වී තිබිය යුතුය. එහෙත් මේ පක්ෂ වන වගා ව්‍යාපෘතියක් කවදා හෝ සිදුකර තිබේද. අඩුම තරමින් තමන්ගේ පාලන කාලයේදී වූ විල්පත්තු විනාශය සම්බන්ධයෙන් තමන්ගේ සහෝදර ඇමැතිවරයකු වූ රිෂාර්ඩ් බදියුදීන්ට නැවත විලපත්තුව වවන්න කියා දුන් අධිකරණ නියෝගය මත හෝ මේ අයට තිබුණා විලපත්තුවට ගොස් පැලයක් දෙකක් හෝ සි‍ටුවන්න. එත් එහෙම වුණේ නැත.

ඒ අනුව පාරිසරික ප්‍රශ්න යනු ආණ්ඩුවක් පෙරළා දැමීටට හේතුවක් නොවන් බවත්, ජවිපෙ එජාප සජබ හවුලෙ පාරිසරික ප්‍රේමය යනු මුලුමනින්ම අවස්ථාවදී දේශපාලන සටන් පාඨයක් පමණක් බව නිවැරදිව තේරුම් ගැනීම විය යුතුය. මොවුන්ගේ පට්ටපල් කෙබරවලට රැවැටී යළිත් 2015 කළ තක්තීරුකමට ඉඩක් නොතැබීමට මේ රටේ සියලු පුරවැසියන් වගබලා ගත යුතුය. නැතිනම් එය පරිසර විනාශයකට වඩා බරපතල වෙනු ඇති බව අමුතුවෙන් පෙන්වා දිය යුතුනැත. යහපාලනයේ විනාශකාරී අත්දැකීම් ඊට ප්‍රමාණවත්ය.

එහෙත් පරිසර විනාශය ජාතික වශයෙන් බලපවත්වන පොදු කාරණයක් බව තේරුම් ගෙන ප‍ටු දේශපාලනික වාසි ප්‍රයෝජන වෙනුවෙන් පමණක් කතාකරන මාතෘකාවක් බවට පත්කරනොගෙන පරිසරය රැකගැනීම අපගේ පුරුද්දක් බවට පත්කර ගැනීම නම් වියයුතුය. මන්ද අපේ පණ අපිම නහගන්න අවශ්‍යනැති නිසාය.

 

-the novemberist

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us