කළු රට සුදු කළ හිස නොනැමු මංගල - අවුරුද්දකට කලින් කියපු ඇත්ත සහ දැන් කියන ඇත්ත Featured

Sunday, 08 September 2019 01:17

'අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො.'

'මට මතකයි 1998-99 වකවානුවේදී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලෙ මමයි රනිල්ට බෑ කියල පෝස්ටර් ගැහුවෙ ගමක් ගමක් ගානෙ. ඒ මොකද අපි දැක්ක රනිල්ට ඇත්තටම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියල. ඇත්තටම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කිය පෝස්ටර් ගහන්නෙ. ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේදී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මම කියන්න කැමැතියි.'

'ගැලරිය පිනවන්නෙ නැතුව රට ගමන් කළ යුතු සැබෑ දිශාව දන්නා නායකත්වය ඔහුයි. එදා මම මුදල් ඇමැති වෙලා හිටිය නම් ගැලරියේ අත්පොලසන් වෙනුවෙන් මේ තරම් සහන ලබා දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය වෙන්නෙ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැය කරන්න තියෙන මුදල්.'

'පසුගිය දවසේ අපි දැක්කා වැලිගම ප්‍රදේශයේ පාලම් විවෘත කරන්න ගිය අවස්ථාවට ඇමැතිවරුන් පිරිසකට ඒකාබද්ධ විපක්ෂෙ කණ්ඩායම් විරෝධය පළ කළා. ඔවුන් කිවුවෙ ඒ ආණ්ඩුවෙන් කරපු වැඩ මේ ආණ්ඩුවෙන් විවෘත කරනව කියලයි. මම මතක් කරන්න කැමැතියි අද ඔය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඉන්න පුද්ගලය කරපු දේවල්. මාතර අපට අමතක නෑ ඒව. දක්ෂිණ අධිවේගී මාර්ගෙ වැඩ පටන් ගත්තේ 1997 දී. මමයි ෆවුසි ඇමැතිතුමයි තමයි මුල් ගල තිබ්බෙ. ඉඩම් පවරා ගනිද්දි විදේශගතව ඉන්නෙ ඉඩම් හිමියෙක් අපට නඩුවක් දැම්ම. ඒ නඩුව කාලයක් දිග්ගැස්සුණා. පස්සේ 2001 එක්සත් ජාතික පක්ෂය බලයට ආවමත් අපි අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පස්සෙ ඇවිත් පාර හදල අපි හිටවපු මුල්ගල නිල්වලා ගඟට විසි කරල තමයි එයාගෙන නම ගහගත්තෙ.'

'මේ මාතර මහානාම පාලමත් එහෙමයි. 2005 දි තමයි මම දකුණු කොරියාවට ගිහින් ඊට ආධාර ගත්තෙ. පස්සෙ පාලම හදල විවෘත කරන්න එයා ලොකු උත්සවයක් තියල අර මර්වින් සිල්වා ඇමැතිතුමාව ගෙන්නලා මගෙ මව්පියන් මතක් කළා.'

- අමාත්‍ය මංගල සමරවීර
(2018 මැයි 14 මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහන අමතමින්.)

ඇමැති මංගල සමරවීර මීට අවුරුද්දකට පෙරාතුව එජාප නායකයා කෙරෙහි මේ පළ කළ අදහස අදටත් වලංගුය. එය මංගලටවත් එසේ නොවේ යැයි කිව නොහැක. එහෙත් තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මංගල ‍තෝරා ගත්තේ රනිල් නොව සජිත් ප්‍රේමදාසය.

මේ පරස්පරය මතුපිටින් දැක මෙය මංගලගේ දේශපාලනයේ තිබෙන දෙබිඩි බව හෝ අවස්ථාවාදී කමක් හෝ ඔය මොකක් හරි කියන්නට පුලුවන. එදා මංගල ,රනිල්ගේ හොඳම ආරක්ෂකයා විය. ඔක්තෝර්බර් 26 කුමන්ත්‍රණය පරාජය කර යළි රනිල් වික්‍රමසිංහට අගමැති පු‍ටුව දිනා දීමේ තීරණාත්මක මෙහෙයුම පි‍ටුපස සිටියේ ද මංගලය. ඊට මාස කිහිපයකට පසුව මංගල රනිල්ව පැත්තකට කර සජිත්ව ‍තෝරා ගැනීම ගැන මංගලගේ සමීප හිතවතුන් පවා වික්ෂිප්ත කළ කාරණයක් විය. මංගල මේ මොකක්ද කරන්න හදන පිස්සු වැඩේ යැයි ඔහුගේ මූණටම ඇසූ අයද සිටියහ.

එහෙත් ඊට මංගලට දේශපාලනික පිළිතුරක් තිබිණි. මංගල කියන්නේ ලංකාවේ දේශපාලනයට බබෙක් නොවේ. රාජ්‍ය නායකයන් පත් කිරීමට මෙන්ම බලයෙන් පහ කිරීමටත් ඔහු රුසියෙකි. ඒවායේ හොඳ සහ නරක ප්‍රතිපලද අත් වින්දෙකි.

අද සජිත්ව ඔහු යෝජනා කළා සේ 2004 දී මහින්දව අගමැති කමටත්, 2005 දී මහින්දව ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවටත් යෝජනා කරමින් ඔහු ඒ වෙනුවෙන් දැඩි අරගලයක්ද ගෙන ගිය අයෙකි. මහින්දව යෝජනා කිරීමත් ඒ මොහොතේදී මංගලගේ සුපුරුදු දේශපාලන භාවිතාවට ගැලපෙන්නක් වූයේ නැත. එවකට මහින්ද කියන්නේද දේශපාලනික වශයෙන් ගොබ්බයෙකි. ඔහුට දේශපාලන මතයක් තිබ්බෙ නැත. ගැලරිය පිනවීමේ ශූරයකු වුව ඔහුට රටේ ආර්ථිකය දේශපාලනය සංස්කෘතිය හෝ සාමාජීය කාරණා ගැන මතයක් තිබුණු අයෙක් නොවීය. නමුත් එවකට ශ්‍රීලනිපයේ බිම්මට්ටමේ ජනප්‍රිය චරිතය වූයේ මහින්දය.

ශ්‍රී ලනීපයට ජනාධිපතිවරණය ජය ගැනිමට නම් මහින්දව ඉදිරිපත් කළ යුතු බව මංගල තරයේම කිවුවේ ඡන්ද එකතුකර ගැනීමේ හැකියාව ඔහුට තිබූ බැවිණි.. එදා මහින්දව නොගෙනාවා නම් ශ්‍රීලනීපයේ අපේක්ෂකත්වය හිමි වන්නේ අනුරටය. එසේ වී නම් එය නියත පරාජයක් විය හැකිව තිබිණි. අනුර වෙනුවෙන් එදා පොදුජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ වී සිටි වාමාංශික පක්ෂ පවා කොන්දේසි විරහිතව එකඟව සිටියහ. ඔවුන් මහින්දව ප්‍රතික්ෂේප කළහ.  එහෙත් මංගල, ජනාධිපති චන්ද්‍රිකාගේ මතයටත් එරෙහිව යමින් මහින්ද වෙනුවෙන් පෙනී සිටි අතර ඔහුව දිනවීමටත් සමත් විය. මංගල ඒ මොහොතේදී කල්පනා කළේ පක්ෂයේ ජයග්‍රහණයයි. ඔහු ගනන් හැදුවේ දත්ත සූත්‍රගත කළේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙනි.

එහෙත් ඉන් පසුව මහින්ද කටයුතු කළ ආකාරය පලනය කිරීමට ඔහුට හැකි වූයේ නැත. ඔහුට මහින්ද හැරදා මහින්දට එරෙහිව කටයුතු කරන්න සිදු විය. තමන් විසින්ම පොඩිපට්ටම් කර දැමූ රනිල්ව යළි කෙළින් කර මහින්දගේ පවුල් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙන තැනට ඔහු වැඩ කළේය. එහෙත් 2010 දීත් 2015 දීත් ඔහු ජනාධිපතිවරණයට මහින්දට එරෙහිව රනිල්ව යෝජනා කළේ නැත..ඒ එතරම් ශක්තියක් රනිල්ට හෝ එජාපයට නොතිබුණු බැවිනි.

2015 ජනාධිපතිවරණය සඳහා එජාපයේ යෝජනාව වූයේ කරූ හෝ රනිල්ය. නමුත් ඒ මත දෙකම පරාජය කර පොදු අපේක්ෂකයකු ගෙන ඒමට ඔහු සමත් විය. මංගල එජාපය හැරදා යළි රාජපක්ෂ කඳවුරට යන බවට පුවත් නිර්මාණය වූයේ ඒ මෙහෙයුමේ කොටසක් ලෙසය. එහෙත් ඒ වෙනකනුත් ඔහු රනිල්ගේ පක්ෂ නායකත්වය රැක ගැනීම සඳහා විශාල මෙහෙවරක් කරමින් සිටියේය. එහි සුවිශේෂී අවස්ථාවක් වන්නේ මාතර සිදුවූ කුරුඳු පොළු ප්‍රහාරයයි. එජාප නායකත්වයත් රැකගෙන එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සූක්ෂමව ක්‍රියාත්මක වීමේ ප්‍රතිපළයක් ලෙස මහින්දගේ පවුල් ආණ්ඩුව පරාජය කිරීමට හැකි විය.

2015 න් පසුව එජාපය මුහුණ දුන් දරුණුම දේශපාලන පරාජය 2018 පෙබරවාරීයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයයි. එහිදී ද රනිල්ගේ නායකත්වයට අභියෝග රැසක් සජිත් පාර්ශ්වයෙන් එල්ල විය. නමුත් ඒ මොහොතේදීද රනිල්ව ආරක්ෂා කරමින් මංගල කටයුතු කළේය. ඔක්තොර්බර් 26 කුමන්ත්‍රණයත් සමඟ යළි රනිල්ගේ පක්ෂ නායකත්වයට අභියෝගයක් එල්ල විය. එම දින 52 හී අරලිය ගහ මන්දිරයට කො‍ටුවී සිටි රනිල්ව නායකත්ව පු‍ටුවෙන් ඇද දැමීමට බලවේග රැසක් ක්‍රියාත්මක වන විට මංගල මැදිහත්ව එය පාලනය කළේය. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් ආ බලපෑම පාලනය කිරීමට ඔහු සමත් විය. ඒ ඉදිරි මැතිවරණයදී පක්ෂයේ බලය සජිත් ප්‍රේමදාස පාර්ශවය හා සමතුලිත විය යුතු බවට වන යෝජනාව සමඟිනි.

2018 ලත් පරාජයට හේතුත් ඒ පදනම් කරගෙන රනිල්ගේ නායකත්වයට සජිත් පාර්ශ්වයෙන් එල්ලවන බලපෑමත් නිසා පක්ෂයට ඉදිරි මැතිවරණයකදී සිදුවිය හැකි අනතුර වලක්වා ගැනීමට ඔහු ආකාර කිහිපයකින් ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම එජාපයට ගමේ සහය අහිමි වීමේ ගැටලුව මෙම පක්ෂ අර්බුධයට මූලික හේතුව බව පෙනී ගොස් තිබිණි. ගම්පෙරළිය එන්ටප්‍රයිස් ශ්‍රීලංකා වැනි වැඩ සටහන් ඔස්සේ ගමේ සහය ලබා ගැනීම වෙනුවෙන් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් දියත් කරන අතර ගමේ දේශපාලනයට වඩාත් බලපෑම් සහගත වන නායකයා ලෙස සජිත්ව කරළියට ගැනීමට ඔහු තීරණය කළේය. ඒ වෙන කිසිවක් නිසා නොව එජාපයේ ජයග්‍රහණය වෙනුවෙනි.

මෙහිදී රනිල් වික්‍රමසිංහව පන්නා දැමීමට ඔහු යෝජනා කළේ නැත. රනිල් කියන්නේ පක්ෂයේ අධ්‍යාත්මික නායකයා වන තරමට වැදගත් සලකුණකි. ජේ ආර්ට පසු එජාප ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගුණය ආරක්ෂා කිරීම වෙනුවෙන් වඩාත්ම කැපවූ නායකයා රනිල්ය.. ඔහු ගැලරි පිනවීමේ දේශපාලනය කළේ නැත. අමාරු අසීරු ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගෙන රටේ අනාගත දියුණුව වෙනුවෙන් බොහො දුර කල්පනා කර තීන්දු ගත් අයෙකි. එවැනි නායකයන් රටට අත්‍යාවශ්‍යට. මෙවැනි කාලයක එහි අනිවාර්යතාවය කැපී පෙනෙන දෙයකි.

එහෙත් එජාපය මේ වන විට මුහුණ දීමට නියමිතව ඇත්තේ මැතිවරණ දේශපාලනයකටය. රාජ්‍ය පාලනයෙහි රනිල් කෙතරම් ශූරයකු වූවත් මැතිවරණයක් හමුවේ ඔහු අසාර්ථකය. පොදු මහජනතාව සමඟ දේශපාලනය ඔහුට හුරු වූවක් නොවේ. ගැලරිය පිනවීම ඔහුට හුරු වූවක් නොවේ. කොටින්ම එජාපයේ පහළ සාමාජිකයාගේ විශ්වාසය දිනා ගැනීමෙහිද ඔහු අසාර්ථකය. එම ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයාට හෝ ඔහු සමීප නොවෙයි.. ඒ නිසා බොහෝ දෙනා එජාපය හැර ගියේය. අපේක්ෂාභංගත්වයට පත් විය. 2018 දී මෙය වඩාත් හොඳින් පෙන්නෙට තිබිණි.

පක්ෂයක් නියෝජනය නොකරන මධ්‍යස්ථ ඡන්දදායකයා එජාපය ගැන හිතුවේ නැත. එජාප ඡන්ද දායකයන් පවා ඡන්ද පොළට යෑමට අදිමදි කළේය. නැත්නම් වෙනත් පක්ෂයක් වෙනුවෙන් ඡන්ද පාවිච්චි කළේය. මේ අසාර්ථකත්වය කර තබාගෙන ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමේ හැකියාවක් නැති බව පැහැදිලි වූ කාරණයකි.

එජාපයේ දුර්වලකම ජය ගැනීමට නම් එය විසඳිය හැකි නායකයා මතුකර ගැනීම විය යුතුවිය. සජිත් ප්‍රේමදාස ඊට සරිලන නයකයා බව මංගල තීරණය කරන්නේ 'දිනන්න පුලුවන් ' නායකයා ඔහු බව පවසමිණි.

මංගලට අවශ්‍ය වන්නේ පක්ෂය දිනවීම මිසක් රනිල්ව පරාජය කිරීමට නොවේ. මේ විදිහටම කල්පනා කර 2005 දී මංගල, මහින්දව ගෙනත් සිය දේශපාලනයටද බරපතල හානියක් කර ගත්තද මෙවර තත්වය ඊට වෙනස්ය. ඉදිරියේදි පත්වන ජනාධිපතිවරයාට මහින්ද යුගයේදී තිබූ ඒකාධිපති බලතල හිමි වන්නේ නැත. ජනාධිපතිවරයාගේ කාර්යයන් වඩාත් සීමාවී පවතී.. රාජ්‍ය සංවර්ධනයේදී ඔහුගේ දායකත්වය පවා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක වන්නකි. මේ නිසා ඉදිරියේදි වඩා වැදගත් වන්නේ මහ මැතිවරණයයි..එහිදී පත්වන ආණ්ඩුව එජාප ආණ්ඩුවක් බවට පත් කර ගත යුතුය.

එහෙත් ඊට මුහුණ දීමට නම් ජනාධිපතිවරණය ජය ගැනිම අනිවාර්ය වේ.මන්ද ඒ ජයග්‍රාහි පිම්ම පනින්නේ නැතිව මහ මැතිවරණයකට මුහුණ දීම බරපතල පරාජයක් කැන්දා ගැනීමක් වන නිසාය. එසේ නම් මේ මොහොතේදී ‍තෝරා ගත යුතු දේශපාලනය වන්නේ රනිල්ගේ දේශපාලනය නොව සජිත්ගේ දේශපාලනයයි. එජාපයට ජනාධිපතිවරණය ජය ගත හැකි දේශපාලනයයි. මංගල තේරුවේ එයයි.

රනිල් හෝ මංගල හෝ අගයන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නුතන දේශපාලන ප්‍රවාහය හා සජිත් බද්ධ නොවෙතත් එසේම ඔහු කෙරෙන් මතුවන දුර්වලා තිබුණත් එය ජනාධිපතිවරණ ජයග්‍රහණයට බාධාවක් වන්නෙ නැත. එමෙන්ම ඉදිරි දී රාජ්‍ය පාලනය කෙරෙහිත් එහි ඇති වැදගැම්මක් නැත. මේ නිසා මේ මොහොතේදී සජිත්ට එරෙහිව මත පලකරන ලිබරල් හෝ මධ්‍යම පාන්තික අදහස් දරන්නන්ගේ හෝ වෙනත් දේශපාලන කුලීකරුවන්ගේ මත දැක්වීම් වල වංගුතාවයක් නැත. වැදගත්ම දේ එජාපය ජනාධිපතිවරණය ජය ගැනීමය. ඒ වෙනුවෙන් මේ මොහොතේ වැදගත්ම දේ ‍තෝරා ගැනීමය.

 

 

Last modified on Sunday, 08 September 2019 01:19

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us