වැරැද්ද කළේ ඇවන්ගාඩ් නෙවෙයි. ආරක්ෂක අමාත්‍යංශයයි - විජේදාස රාජපක්ෂ

Saturday, 07 March 2015 08:41

දින සීයෙන් කරන්නට බලාපොරොත්තු වුණ සියලු වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම එලෙසම කරන බවත් අලුතෙන් ස්වාධීන කොමිසන් සභා දෙකක් ද ඇති කරන බවත් අධිකරණ හා කම්කරු ඇමැති ජනාධිපති නීතිඥ වි‍ජේදාස රාජපක්ෂ මහතා කියයි. වත්මන් දේශපාලනය ගැන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේය.

ඇතැමුන් චෝදනා කරන හොරුන් දූෂිතයන් අල්ලන වැඩපිළිවෙළ ගැන ඔබ කියන්නේ කුමක් ද?

දැන් අපිට අර මලකඩ කාපු පරණ මැෂින් එකනේ ක්‍රියාත්මක කරන්න වුණේ. මේක දූෂිත ආණ්ඩුවක් යටතේ දූෂිත යාන්ත්‍රණයක්ව තිබුණේ. ඒ මලකඩ අයින් කරල, දැති හදල, ග්‍රීස් දාල තමයි අපි වැඩ පටන් ගත්තේ. එක උදාහරණයක් අල්ලස් කොමිසම කිසි දෙයක් කරන්නේ නැතිව ලිපිගොනු 2000ක් ගොඩගැහිලා තිබුණා.

මේ අලුතෙන් ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක් දාල මාසයක් සති තුනක් තුළ ඒ ලිපිගොනු පන්සීයක විතර කටයුතු කෙරිල තියෙනවා. පොලිසිවල ඒ රාජ්‍ය ආයතනවල ඒ පිරිසුදු කිරීම් කරමින් තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නේ. ඒ අනුව ගත්තම දැන් ප්‍රමාදයක් නැහැ. විශාල කොටසක් කෙරිල තියෙනවා.

නඩු පැවරිලා තියෙනවා. අවුරදු තුනක් තිස්සේ ඇනහිටල පවරගන්න බැරුව තිබුණ දුමින්ද සිල්වාගේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිනිමැරුම් නඩුව දැන් මහාධිකරණයේ පවරා තියෙනවා.

දින සියය ගත වෙන්න කලින් කෙරෙන්න ඕන හුඟක් දේ තියෙනවා.

ඇයි මේ කියපු හොරු අල්ලන්නේ නැත්තේ කියල ආණ්ඩුවෙන් විපක්ෂයට විසිවුණ හිටපු නයකයෝ අහනව. චෝදනා කරනව විතරයි ‍ෆයිල් උස්සගෙන යනව විතරයි කියනවා...?

ඒක තමයි මම කිව්වේ. දින සීය ගතවෙන්න කළින් අපි කරනව කිව්වනේ. තාම මේ කතා කරන මොහොතේ දවස් 54 යි ගෙවිල තියෙන්නේ. තව දවස් 46 ක් ඉස්සරහට තියෙනවා. ඒ ටිකේ කෙරෙන්න ඕන ටික අනිවාර්යයෙන් ම කෙරෙනවා. ඒ විපක්ෂය කියන වේ‍ගයෙන් ම කෙරුවොත් ‘මේක මහින්ද චින්තනයේ තුන’ වෙනවා. එහෙම නෙවෙයි අපි කරන්නේ යහ පාලනය යටතේ. අපි කරනව නම් නීතියක් යටතේ

හාල් මැස්සෝ තමයි අල්ලන්නේ කෝ තෝරු ඇල්ලුවද අහන අයට කියන්නේ ‍කුමක්ද...?

කෝ දැන් තෝරද හාල්මැස්ස ද කියල ඔය කියන විපක්ෂයේ උදවියම හොරුන්ගේ ලැයිස්තුව දුන්න නම් හරිනේ. විපක්ෂයෙන් අපට ලැයිස්තුව දුන්නොත් තෝරු මෙන්න මේ උදවියයි කියල අපි හෙට ම අත්අඩංගුවට ගන්නවා. එහෙම නැත්නම් අපට වෙන්නේ පොලිසිය පරීක්ෂණ කරල තෝරුයි මෝරුයි වෙන්කරල ගන්න.

ඇතැම් නඩු සීගිරි ගලේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් සීරීම වගේ. නඩුවලට සතියෙන් දෙකෙන් අච්චු කෙරුවා...?

ඔව් ඉතින් මහියංගනේ පොල්ගෙඩි දහයක් හොරකම් කළ කෙනා අප්පුහාමිටත් මාස හයක සිර දඬුවමක් දීල තියෙනවා පසුගිය කාලේ.

හැබැයි මගේ කෝප් රිපෝට් එකේ මිලියන 5470 ක් හොරකම් කරපු කෙනාටවත් දඬුවමක් දීල තිබුණේ නැහැනේ. දැන් අවුරුදු අටක් තිස්සේ.

වරෙන්තු තියන උදවියනේ රාජ්‍ය මාධ්‍ය ආයතන මෙහෙයවූයේ. ජනාධිපති එක්කත් ආරක්ෂක ලේකම් එක්කත් එකට ඡායාරූප ගත්තනේ.

නීතියේ ආධිපත්‍යය පිහිටුවල කියලයි ඔබ කියන්නේ...?

ඔව්. දැන් අර ව‍ගේ නැහැ. අපරාධ වංචා දූෂණ ගැන දහස් ගණනක් චෝදනා තියෙනවා. පොලීසි තිබුණු තරමනේ තියෙන්නේ. පොලීසිය වැඩි වුණේ නැහැනේ. ඒ අතරේ එද‍ිනෙදා වෙන අපරාධත් තියෙනවා. එදිනෙදා අධිකරණ කටයුතු කරන අතරෙ එපායැ නිලධාරි මේ කටයුතු කරන්න. අපි කිව්වාට සමහර පරීක්ෂණ වාර්තාවල පිටු දහස් ගණනක් තියෙනවා කට උත්තර. භාරත ලක්ෂ්මන්ගේ නඩු ෆයිල් එක ගත්තම පිටු දහස් ගණනක නඩු ෆයිල් එකක්නේ.

ඒ උදවිය පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට ආවට ගියාට කටයුතු කරන්න බැහැ. අපට හදිස්සිය තිබුණට. නිලධාරින් වගකීම ගන්න එපායැ. වගකීමෙන් කටයුතු කරන නිසා තමයි මේ තරම් ප්‍රමාදය.

නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි...?

ඒක අපි පිළිගන්නවා. ඉස්සර නම් ජනාධිපතිවරයා කෝල් එක දුන්නම පහුවෙනිදම නඩුව පවරනවා. ඊළඟ දවසේ කෝල් එක දුන්නම පවරපු මිනී මැරුම් නඩුව ඉල්ලා අස්කර ගන්නවා. එහෙ‍මනේ නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ. ජනාධිපති අගවිනිසුරුතුමාට කෝල් එක දුන්න ගමන් නඩු තීන්දු හම්බ වෙනවා ඉස්සර.

කොටින් ම කියනව නම් නරකම නඩුවක් නම් අධිකරණයේ මතය වාසිදායක නොවෙයි කියල පෙනෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුවත් කියන්න පුරුදුවෙලා තිබුණ මේක ජනාධිපතිතුමාගේ නැතිනම් ආරක්ෂක ලේකම් තුමා සම්බන්ධ ව්‍යාපෘතියක් කියලා.

එතකොට ඒ ගොල්ලො දන්නව නඩුව නෝටිස්වත් නැතුව වීසි කරනව කියල.

මොකක්ද මේ ඔබේ නමත් සම්බන්ධ වුණ ඩීල් කතාව...?

ඔය කියන අයම තමයි ඩීල්කාරයෝ. ඔය කියන අයට විරුද්ධව දැනටමත් සමහර අයට අල්ලස් එකට පැමිණිලි වැටිල තියනවා කියල විශ්වාස කරවා. දැන් මට ඔය කතාව කියන්නේ අනුර කුමාර නිසානේ.

අනුර කුමාර මට අභූත චෝදනාවක් කළා. මං ඒකට අභියෝග කළා ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. එතුමා ජනාධිපතිටයි අගමැතිටයි කියල මේක සමථයකට පත් කරන්න යෝජනා කළා. ජනාධිපතිතුමායි අගමැතියි කියපු නිසා මං එතුමන්ලට ගරු කරල එකඟ වුණා. විවාදයකට නොගිහින් ඉන්න.

අනිත් ප්‍රශ්නය අනු‍රගෙන් අහන්න තියෙන්නේ මට ඩීල් දාන්න ඕන නම් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඩීල් උල්පතක්. ඒකෙ හොඳම ඇමැතිකම මට හම්බ වුණේ ඩීල් දාන්න. ඒ බැංකු ඇමැතිකම එතනින් මාස පහෙන් ඇමැතිකම දාල එළියට ආවේ දූෂණයට විරද්ධව සටන් කරල.

ඒ කාලෙ ඒ අය හිටියේ මහින්ද‍ගේ ඔඩොක්කුවේ අපි ඔය දූෂණයට විරුද්ධව කතා කරන කාලේ.

මොකක්ද අර ඇවන් ගාඩ් අයිතිකාරයගේ ගමන් බලපත්‍රය අරන් දුන්න කියල යන කතාව...?

ඒ පාස් පෝට් එක අරන් දෙන්න මට තියා ජනාධිපතිතුමාටවත් බැහැ. හේතුව සීඅයිඩී එකෙන් ඒක බාර දීල තිබුණේ මහේස්ත්‍රාත්වරයාට. ඒක මහේස්ත්‍රාත් තුමාගේ අභිමතය පරිදි පමණයි දෙන්නේ. මහේස්ත්‍රාත්ට පමණයි ඒ බලය තිබුණේ. ඒ පාස්පෝට් එක අරන් දෙන්න අගවිනිසුරුටවත් බැහැ. අනිත් එක එයා පාස්පෝට් එක අරන් දවස් පහකට හෝ හතකට ගියේ.

ඒක පාස්පෝට් එක දවස් හතකට නිදහස් කරන්න හේතුව ලෙස ඒ අයගේ නීතිඥයා පෙන්වා දීල තිබුණේ එයා ඒක පෞද්ගලිකව කරන ගනුදෙනුවක් විදේශ රටක් එක්ක. ඒ ගිවිසුමට එයාම අස්සන් නොකළොත් රටට නැතිවන විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන හතළිස් දෙදහක් රටට අහිමිවෙනවා කියලා. ඒ කරුණු සලකා බලා වෙන්න ඕන ඒක දෙන්න ඇත්තේ. දිනයටත් කළින් ඔහු පිට රට ගිහින් කළින් ඇවිල්ලා පාස්පෝට් එක උසාවියට බාර දීල තියනවා.

තිලක් මාරපන මහත්තයගෙත් නම මේකට සම්බන්ධ වුණා...?

තිලක් මාරපන මහත්තය විතරක් නෙවෙයි නීතිඥයොත් නීතිඥයෝ විදියට කටයුතු කරනකොට උඩතල වින්නේ දහ දෙනෙක් මරපු නඩුවටත් මම පෙනී හිටල රත්වත්තේ උන්නැහැ වෙනුවෙන් පෙනී හිටියා. නීතිඥවරයාට ඕන කෙනෙකු වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. මම දහදෙනා මරපු නඩුවට පෙනී හිටියට මට අපරාධ කාරයෙක් කියන්න බැහැ. ඒක නීතිඥවරුන්ගේ වගකීම.

මොකක්ද මේ සිද්ධියට ඔබේ ති‍ෙයන සම්බන්ධය...?

ඔය සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔය සිද්ධියට අනුර කුමාර මගේ සම්බන්ධයක් ගැන කියන්නේ මම මේක ගැන හයිලෙවල් කැබිනට් කමිටු හා දූෂණ කමිටුවලදි මගෙන් නීතිය පිළිබඳව පැහැදිලි කරන්න කියල කරපු ඉල්ලීම අනුව මම කරපු පැහැදිලි කිරීම නිසා.

එතනදි මම පැහැදිලි කළා ඇවන්ට් ගාඩ්ට ආරක්ෂක අමාත්‍යාංශයයෙන් නිසි අවසරය දීල තියනව මේක කරන්න. හැබැයි නීතියට විරුද්ධ තැනක් තිබුණා. ඒක තමයි ආරක්ෂක හමුදාව මේ ගිවිසුමට ඇතුළු වුණාට නාවික හමුදා පනතේ විධි විධාන අනුව නාවික හමුදා ආයුධ වාණිජ කර්තව්‍යයකට පෞද්ගලික පාර්ශ්වයකට බාරදීම නීති විරෝධීයි. ඒක මම බොහොම පැහැදිලිව පෙන්වා දුන්නා. ඒක පිළිබඳව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කරගෙන යනවා.

ඇවන්ගාඩ් පැත්තට බලය දීල තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය. ආරක්ෂක අමාත්‍යාංශය වරදක් කරල තියනවා. මේක කරනව නම් නාවික හමුදා පනත ස‍ංශෝධනය නොකර ඒ කරපු එක ගැන රජයේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් වරදක් වෙලා තියෙනවා.

හැබැයි ඒක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන සියලු කරුණු මම මාධ්‍ය ඉදිරියේ කියෙන්නේ නැහැ ඇමැතිවරයෙක් විදියට. මෙතන ජාත්‍යන්තර සම්බන්ධයක් තියනවා. එහෙම කළොත් රාජ්‍ය තාන්ත්‍රික ගැටීමකට අපට යන්න වෙනවා.

ඔබ මේ ඇවන්ගාඩ්න් හිමිකරු දන්නවද...?

මම දන්නවා. ලංකාවේ ඉහළ පෙළේ කිසිම ව්‍යාපාරිකයෙක් නැහැ මාව නොදන්න. ඔය ධම්මික පෙරේරලා, හැරී ජයවර්ධනලා ඔක්කොගේම එක්කෝ ඒ අයගේ නඩු වෙනුවෙන් නැතිනම් ඔවුන්ට විරුද්ධ ලෙස පෙනී ඉඳල තියනවා.

හැබැයි ගිය අවුරුදු අටේ ම ඔය කියන මනුස්සයා මා එක්ක වචනයක් කතා කරල නැහැ.

මම මේ ගැන කතා කරල කිව්වා මේක ඇවන්ගාඩ් එක පැත්තෙන් නෙවෙයි වරද වෙලා තියෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය පැත්තෙන් කියල. ඒ ප්‍රකාශය හැරෙන්න මගේ කිසිම සම්බන්ධයක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ දැන් රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ ගැන කියල කියල මැතිවරණයක් එනකොට මේ ආණ්ඩුවටත් දූෂණ චෝදනා ගහන්න ඕන. මේ ආණ්ඩුවෙත් කවුරු හරි අල්ලා ගන්න ඕන. නැත්නම් ඒ අය කොහොමද ඡන්ද ගන්නේ. මොනව කරයි කියල ඡන්ද ගන්නද?

මම මේකට බලපෑමක් කරන්න නම් මම කතා කරන්න එපායැ මහේස්ත්‍රාත්වරයාට. වෙන කාටවත් කතා කරල හරි යන්නේ නැහැ නේද? එහෙම නම් කියන්න එපායැ මම ‍මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කළා කියලා.

නීතිපතිට කළ බලපෑමක් ගැනනේ කියන්නේ...?

මේක නීතිපති දුන් එකක් නෙවෙයි. මම නීතිපති දෙපාර්තමේන්තුවේ එක නිලධාරියකුට කිව්වයි කියල කියන්නේ. ඒ කියන නිලධාරියා මම ගෙන්නල ඇහුව්වා. එයා කියනව එයා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. මේක මම නම් දකින්නේ අර සටන් පාඨ ඔක්සිජන් කරණය කරන්න ගත්ත උත්සාහයක් විදියට.

2010 ජනාධිපතිවරණයට ජවිපෙ ඒ ගොල්ලන්ටත් සල්ලි නැතිව ඇවිල්ල මගෙන් ලක්ෂ 25 ක් අරන් ගියා. මට ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා දෙන්න ගිය ඒ සල්ලි ඔවුන්ට දුන්නා. මගේ ඡන්දෙ මම කළේ බැංකු අයිරාගත කරලයි. ගිය අවුරුද්දේ ඒ අයගේ පළාත් සභා මන්ත්‍රීලා දෙන්නෙක් පක්ෂයෙන් පහ කරල උසාවියට ගියාම මේ අය වෙනුවෙන් නොමිලේ පෙනී උන්නේ මම ජේවීපී පක්ෂයට නඩු දාපු පක්ෂය වෙනුවෙන් පෙනී හිටියේ සතයක් ගන්නේ නැතුව.

ජවිපෙ අයට දැන් සටන් පාඨ නැහැනේ. දැන් ඒ අය සටන් පාඨ හදාගෙන යනවා. හිටපු ආණ්ඩුවට දැන් ගහලා වැඩක් නැහැනේ. හිටපු ආණ්ඩුව පෙරලුවා. දැන් ඉතින් මේකට ගහගෙන යනවා. එකිනෙකා තෝරල ගහගෙන යනවා.

ආණ්ඩුව ඇතුළේ ඩීල්කාරයෝ ඇත්තෙම නැද්ද?

අපිත් හරි ආසයි එහෙම ඩීල්කාරයෝ ඉන්නව නම් හොයා ගන්න. හොයාගෙන ආණ්ඩු ඇතුළේ ඉන්න ඩීල්කාරයන්ටත් අපි දෙනව ගේම. ඕකම තමයි අර ගමේ කියන්නේ හොරාට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියලා. අපි ඒ අයගේ හුඟක් ඩීල් දන්නවා. දැන්ම ඒව ගැන කතා කරන්නේ නැහැ. අවශ්‍ය වුණොත් ඉදිරියට කතා කරමු.

දින 100 වැඩපිළිවෙළ දැන් ඔබලා අතේ තියෙනවද...?

මට ඒක කටපාඩම්.

මේක අමතක කරන්නේ නැහැ...?

අමතක කරන්නේ කොහොමද? ඒක අපේ වගකීම. ඒක හරියට බයිබලය වගේ තමයි. අපේ දවස් සීයේ බයිබලය.

ඖෂධ පනත 18 ‍ගේනවා කියල තිබුණේ. 4 ගෙනල්ලා සම්මත කර ගත්තේ. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අවුරුදු දහයක් වෙනව හදලා. ඒක ගිය 19 සම්මත කර ගත්තා. අර්ථ සාධක පනතේ රෙගුලාසි අවුරුදු තුනක් හිරවෙලා තිබිල සම්මත කර ගත්තා.

දින 100 වැඩපිළිවෙළ අනුව විධායකයේ බලය සීමා කිරීමත් සමඟ මැතිවරණ ක්‍රම සංශෝධනයත් කෙරෙනවද?

අපේ මතයත් ඒකයි. හැබැයි මේ සුළු පක්ෂ ටික තමයි මේ ගැන බයෙන් ඉන්නේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය මේක ඊළඟ පාර්ලිමේන්තුවට ගේමු කියල දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ. අපි සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යත් සූදානම්. ප්‍රශ්නෙ තියෙන්නේ මේ පක්ෂ දෙක නොවේ. අර සුළු ආසන සංඛ්‍යාවක් තියෙන පක්ෂ මේක ගැටලුවක් විදියට දකින්නේ. ඒ අය කියන්නේ මේක එපා කියල නෙවෙයි. තව සාකච්ඡා කරල සුදුසු ක්‍රමයක් ගේමු කියලා. කවුරුත් විරුද්ධ නැහැ.

මැතිවරණ ප්‍රතිසංස්කරණයට වෙනම සංශෝධනයක් ගේන්න එකඟත්වයක් ඇති කර ගන්න අපි බලන්නේ. මිශ්‍ර කරගන්නේ නැතුව. එකඟ වෙච්ච ඒව ඔක්කොම මේකට ඇතුළු වෙනවා 19 සංශෝධනයට.

එතකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගේනවා...?

ඔව් මේ විදියට ගෙනාවොත් 20 විදියට තමයි ගේන්න වෙන්නේ.

සුළු පක්ෂවල එකඟතාව ගත්තොත් ඒකත් 19 සංශෝධනයට ඇතුළත් කර ගේන්න බලන්නේ. සංහිඳියා වගේ යහපාලනය. ඔක්කොම එකතු කරගන්න බලන්නේ.

17 සංශෝධනයේ තිබුණ ස්වාධීන කොමිසන් යළි පිහිටුවනවා...?

ඔව්. ඔක්කොම ස්වාධීන කොමිසන් එනවා. ඒවාට අමතරව අලුත් කොමිසන් දෙකකුත් එනවා. විගණන කොමිසම හා මිලදී ගැනීම සම්බන්ධ කොමිසම. තොරතුරු දැන ගැනීමේ පනත, අධිකරණමය ලෙස ළමයින්ගේ අයිතිය රකින්න පනතකුත් එනවා මගේ අමාත්‍යාංශයෙන්. ස්වාධීන විගණන කොමිසන් සභා පනතකුත් එනවා. මේක හැදුවේ 2004 මමත් නීති කොමිසමේ සාමාජිකයෙක් වෙලා ඉන්න කොට. පී.බී. ජයසුන්දර මහතා ඒකෙ තටු කැපුවා. දළ ගැලෙව්වා. දැන් ඒකත් ශක්තිමත් කරල ගේනවා.

ඡන්දෙ කාලෙ රාජපක්ෂ රෙජීමයටයි චෝදනා කළේ?

දැන් ඒක නැහැනේ. ඒක දැන් වාෂ්ප වෙලා. පුද්ගලයන්ට විරුද්ධවනේ දැන් චෝදනා නැ‍ඟෙන්නේ. පරීක්ෂණ කෙරීගෙන යනවා.

අර කියපු ලොක්කොත් අහුවෙයිද...?

හුඟක් ලෙහෙසියෙන් අහුවෙයි. මොකද මහ පරිමාණ වංචා දූෂණ වෙලා තියෙන්නේ මුදුනින්. දැන් වෙනකොටම මන්ත්‍රීවරුන් කී දෙනකුගේ ගුවන් ගමන් බලපත්‍ර තහනමට ලක්කරල තියෙනවද බලන්න. නම් ටික දන්නවනේ.

අර සමහරු කියනව වගේ පෙර වුණා වගේ මේක නිකම් පරීක්ෂණ විතරමක් ම වෙයිද?

කිසිසේත් මෙදා එහෙම වෙන්නේ නැහැ.

මේ ක්‍රියාදාමය අධිකරණයෙන් නවතින්නේ...?

හිර ගෙදරින් වෙන්න පුළුවන්. අවසානයට එතැනනේ.

මේ ආණ්ඩුව බලාපොරොත්තු වුණ වේගයෙන් ක්‍රියා කරනවද?

අපිට දවසකට පැය හතර පහක්වත් නිදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ අසීරු කාලයක් ගත කරන්නේ.

අපි ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්තය අපේ ජනාධිපති අපේක්ෂකයා කළාම රටේ මිනිස්සුන්ගෙන් සියයට අසූවක් විතරවත් හිනා වුණානේ. අපි හැම තිස්සේම බැහැ කියපුවා කළේ. අපි උඩුගම් බලා පිහිනන්න සූදානම් කට්ටිය.

කෝප් එකේ ඉඳල කෝටි තිස් දහසක වංචා හෙළි කළාම මට කොච්චර ජීවිත තර්ජන ආවද. මගේ ගේ හමුදාවෙන් 80 විතර වටලල මට පාරට බහින්න දුන්නේ නැති එක මතක ඇතිනේ. නීතිඥ සංගමයේ කටයුතු කරද්දි මේ ගෙදරට ඇවිල්ලා වෙඩි තිබ්බනේ. ඕන දේකට අපි සූදානම්.

හිටපු ජනාධිපතිවරයාව සන්ධාන අගමැති අපේක්ෂකයා කරන සූදානමක් තියෙනවා...?

මං කිව්වා කියල ලියා ගන්න ඒක කිසිසේත් සිදුවන්නේ නැහැ.

මහින්ද මහත්තයා ඔබේ ගමේ මනුස්සයා?

හිතවතා මිත්‍රයා. එතුමා එතෙන්ට ගේන්න සෑහෙන දර දිය ඇදපු කෙනා. නීති උපදේශකයා. හැබැයි ගමේකමට වැඩිය රට ලොකුයිනේ. අපි එතුමාට කට කැඩෙනකම් කිව්වා වැරැදි මාර්ගයේ යන්න එපා කියලා.

බලයට ඇවිල්ලා මාස හයක් යනකොට එතුමා එතෙන්ට ගේන්න උදව් කළ කිසි කෙනෙක් එතන ඉතුරු වුණේ නැහැ. එතුමාට විරුද්ධව වැඩ කළ ප්‍රසිද්ධ තක්කඩියෝ ටිකක් එතන ඉඳල එතුමා වට කරගත්තා. එතුමා ඔවුන්ගේ ගොදුරක් වුණා අපි එතැනින් ඉවත් වුණා.

මේ ඔබ ලේක්හවුසිය සමඟ නඩු හරඹයකින් පසු දෙන පළමු සම්මුඛ සාකච්ඡාව...?

ඔබතුමාලම දන්නවනේ කොහොමද ඔතන අවුරුදු දහයේ පාලනය කෙරුණේ කියලා. සිළුමිණ පත්තරේ මට කළ අපහාසවලට මම ඉහළම වන්දිය ගත්තා.

මිලියන පන්සීයයි ලංකාවේ ලොකුම වන්දි නඩු තීන්දුව. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිළුමිණේ පළ කරපු ද්වේෂ සහගත පිටු දෙකක මඩ ප්‍රහාරය. ඒක සම්බන්ධව තමයි මේ වන්දිය දීල තියෙන්නේ. ඒක මට ලේක්හවුසිය ගෙවන්න ඕන. දැන් ඇපීල් කරල තියෙන්නේ.

මම ආණ්ඩු පක්ෂයෙන් එජාපයට ගිහිල්ල සති දෙකක් තුළ මේක කෙරුණේ. 2007 නොවැම්බර් 14 මම විපක්ෂයට ගියා. මේක පළවුණේ නොවැම්බර් 17 වගේ දවසක.

සංවාද සටහන -
සරත් පෙරේරා

- silumina

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us