''සෝභිත හිමි එක්ක එකතු වෙනවා'' - වසන්ත සේනානායක

Tuesday, 07 October 2014 10:00

• ලොකු ලොකු කට්ටිය වැඩක් කරන්න දෙන්නෙම නැතිලු නේද?

නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ.


• එහෙනම් ඇයි සන්දර්ශන දාලා ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එකපාරටම අකුළගත්තෙ?


මෙතැන පැහැදිලි කරගන්න කරුණු දෙකක් තියෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලුවා එක පාරක් ව්‍යවස්ථා සංශෝධන යෝජනා දෙන්න කියලා. මම එතකොට "සේනානායක ව්‍යවස්ථා සංශෝධන" කියලා පෙත්සම ඉදිරිපත් කළා.

• තනියම?

නෑ. තරුණ වෘත්තීයවේදීන් කීපදෙනකුත් එක්ක එකතු වෙලා තමයි ඒක සකස් කළේ.


• ඒගොල්ලො දේශපාලනයට සම්බන්ධ නැද්ද?

නෑ. නෑ.


• හරි කතාවට එමු?


අපි මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඒක ඉදිරිපත් කළේ. ඒත් අඩුම තරමෙ ඒක ගැන ලියුමක්වත් අපිට එව්වෙ නෑ. ඒක මම ඉදිරිපත් කරපු වෙලාවෙ අපේම පක්‍ෂයෙ සමහර ජේ‍යෂ්ඨ ඇමැතිවරු කතා කළේ හරියට රටට විරුද්ධ දෙයක් ගේනවා වගේ. අපි පැහැදිලි කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ඔච්චර කලබල වෙන්න මේක මේ බණ්ඩාරනායක මහත්තයගෙවත්, රාජපක්‍ෂ මහත්තයගෙවත් ව්‍යවස්ථාවක් නෙවෙයි කියලා.


• කොටින්ම ආණ්ඩුව ඔබව කුණු මුල්ලට වීසි කළා?


මෙහෙමයි. අපිට කියපු නිසා අපි යෝජනා වගයක් ඉදිරිපත් කළා. ඒවා සත පහකට ගණන් ගත්තෙ නෑ. අඩු තරමෙ සලකලා බැලුවෙවත් නෑ.


• එහෙම තියෙද්දිත් දෙවැනි පාරත් ඒ වැඩේම කළා?


ඔව්. මෙතැනදි මම අර යෝජනා එකතුවෙන් එක යෝජනාවක් විතරක් ගත්තා. ඒක තමයි කැබිනට්ටුව සීමා කිරීම. පසුගිය කාලෙ කතාබහට ලක්වුණු ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පෞද්ගලික මන්ත්‍රි පනත තමයි ඒක. ඒකෙ කාරණා ගොඩක් තියෙනවා.


• මම ඔබට බාධා කරනවා. ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් අහන්න තිබුණනෙ, ඇයි කලින් සංශෝධනය ගැන ඇහැක් ඇරලාවත් බැලුවෙ නැත්තෙ කියලා?

ඇහුවා. ඒත් කවුරුවත් ඒකට පිළිගන්න පුළුවන් උත්තරයක් දුන්නෙ නෑ.


• ඉතින්?

මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්තුමාටයි, දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාටයි ලිපියක් යැව්වා. ඒකෙදි පැහැදිලි කළා මම මේ වගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා කියලා. ඒ පිළිබඳ විරෝධතාවක් තියෙනවා නම් මට දැනුම් දෙන්න කියලා. දින විස්සක් විතර මම කල් දුන්නා ඒකට උත්තර දෙන්න. කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නැති හින්දා මම මේක පාර්ලිමේන්තුවට ගෙනාවා.


• අදාළ ඇමැතිවරු දුරකතනයෙන්වත් කතා කළේ නැද්ද?

නෑ.


• දැන් හරි තැනට එමු. කිසිම බලපෑමක් වුණේ නැත්නම් ඇයි එකපාරටම යෝජනාව අයින් කර ගත්තෙ?


මම මේක ගෙනාපු වෙලාවෙ දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා මට කිව්වා ආණ්ඩු පක්ෂෙට ටිකක් කල් දෙන්න මේක ගැන සොයා බලන්න කියලා. එතෙක් මේක ඉවත් කරගන්න කියලා. මම ඒ වෙලාවෙ එතුමට කිව්ව මේක ඉවත් කරගන්න නම් බෑ. ඕනෙ නම් කල්ගන්න පුළුවන් කියලා. මොකද මටත් ආත්මගරුත්වයක් තියෙනවනෙ.


• ඒ කියන්නෙ අයින් කරගෙන නෑ. ඒක හරියට පැහැදිලි කරන්න?


ඔව්. අයින් කරගෙන නෑ. කල් තබලා තියෙන්නෙ. මේක අයින් කරගත්තා කියලා මාධ්‍යවල වැරැදියට ගියෙ.


• ඔබ හිතනවද ආණ්ඩුව ඔය කියපු සංශෝධනය ගෙනෙයි කියලා?


ඒක මට හරියට කියන්න බෑ.


• දිනේෂ් ඇමැතිතුමා ඒක පොරොන්දු වුණානෙ?


නෑ. එතුමා කිව්වෙ මේක ගැන අවධානය යොමු කරන්න යම් කාලයක් අවශ්‍යයි කියලා. මම හිතන්නෙ මේක කඩිනමින් කරන්න ඕනෙ. ඒක රටේ අවශ්‍යතාවක්. ජනතාවගේ අවශ්‍යතාවක්. දැන් ඇමැතිවරුන්ට, විධායකයට ඒක නීතියක්. ජනතාවට තවත් නීතියක්.


• ඉතින් මම අහන්නෙ මේ ආණ්ඩුවෙන් ඔය කියන දේවල් සිද්ධවෙයිද?


ජනතාවට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා ගැන. මේ ජනාධිපතිතුමා තමයි යුද්දෙ විසඳුවෙ. ඒ වගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ ලිහන්න බැරි ගැටෙත් මෙතුමා විසඳයි කියන විශ්වාසෙ ජනතාවට තියෙනවා.


• ඇයි ආණ්ඩුවෙම ඉඳගෙන ආණ්ඩුව අපහසුතාවට පත්කරන්නෙ මේ වගේ වැඩ කරලා?


නෑ. මම කරන්නෙ ආණ්ඩුව අපහසුතාවට පත්කරන වැඩක් නෙවෙයි. අද පොදු විපක්‍ෂයටත් එකතු වෙන්න පුළුවන් එකම තැන තමයි මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන සටන් පාඨය.


• ඔබ මේ ආණ්ඩුවෙ වෙන කොන්ත්‍රාත් එකක් කරනවද දන්නෙත් නෑ?


නෑ. එහෙම එකක් නම් නෑ. ආණ්ඩු බලය ගත්තට පස්සෙ හැමෝටම මේක වෙනස් කරන්න අමතක වෙනවා. හැමදාම වික්‍ෂයෙ ඉන්න අය කියන්නෙ මේක වෙනස් කරන්න ඕනෙ කියලා. ඒකෙන් රටට වෙන්නෙ අසාධාරණයක්. අනෙක් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනෙ අපිට හැමදාම ආණ්ඩු බලය තියෙන්නෙ නෑ කියන එක.


• ඒ කියන්නෙ දැන් ආණ්ඩුව පෙරළන්න ළඟද?


මෙහෙමයි. මම විශ්වාස කරනවා බුද්ධිමත් වුණොත් අපිට තව චාන්ස් එකක් ගන්න පුළුවන් කියලා. උෟවෙ ප්‍රතිඵලය අපි හරියට තේරුම් ගන්න ඕනෙ. පසුගිය මැතිවරණ සියල්ලක්ම නිතරගයෙන් වගේ අපි දිනුවෙ. මේ ප්‍රතිඵලයෙන් ඒක වෙනස් වුණා. අපි අපේ අඩුපාඩු ටික හදාගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්.


• ඔබ හෘදසාක්‍ෂියට එකඟවද මේ ආණ්ඩුවෙ රැඳිලා ඉන්නෙ?


මම මේ වෙනකොට ඇත්තටම ආණ්ඩුව තුළ ඉන්නෙ අතිගරු ජනාධිපතිතුමා ගැන තියෙන විශ්වාසය නිසා. එතුමා නිසා මේ රටට යහපත් වෙනස්කම් තවත් සිද්ධ වෙයි කියන අදහස තමයි මම මෙතැන ඉන්නෙ.


• එහෙම විශ්වාස කරගෙන ආණ්ඩුව කවදාහරි ව්‍යවස්ථාව වෙනස් කරනකම් බලාගෙන ඉන්නවා එතකොට?


නෑ. පාර්ලිමේන්තුවෙ නොවුණත් මම විවිධ ආකාරයෙන් මගේ මේ යෝජනාව නැවැත නැවැත ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම නිහඬව ඉන්නෙ නෑ.


• ඒ කියන්නෙ ආණ්ඩු පක්‍ෂය කියන දේ ඔබ අහන්නෙ නෑ?


ආණ්ඩු පක්‍ෂය අද වෙනකම් මට මේක ගේන්න එපා කියලා නෑ. කවුරුවත් කතා කරලා මේක වැරැදි වැඩක් කිව්වෙ නෑ. ඒගොල්ලන්ගෙ හෘද සාක්‍ෂියට එකඟව මේක වැරැදියි කියලා කියන්නත් බෑ.


• හැබැයි මේකට එකඟ වෙනවා කියලා කවුරුවත් කියලත් නෑ?


නෑ. ආණ්ඩුව මේක ගැන වචනයක්වත් නොකියා කිසි දෙයක් නොවුණු විදියට ඉන්නවා.


• ජනාධිපතිවරයා මේ ගැන ඔබත් එක්ක කතා කළේවත් නැද්ද?


නෑ. තවම නෑ.

• ඒත් ජනාධිපතිවරයාගෙ බලපෑමට ඔබ මේක අයින් කරගත්තා කියලා ඇතැම් වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා?

නෑ. ඒක බොරුවක්. මට කවුරුවත් එහෙම බලපෑම් කළේ නෑ.


• දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා කියපු දේ එකපාරටම ඇහුවා?


මෙහෙමයි. මම වැදගත් විදියට සලකන ඇමැතිවරුත් ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාට මම සලකනවා. ඒක නිසා එතුමගෙ ඉල්ලීම මම ඉටු කළා.


• ඔය ජාති දෙකෙන් වැඩි හරිය ඉන්නෙ කවුද?


මෙහෙමයි. මගෙ සංශෝධනයෙන් මම කියන්නෙ කැබිනට් එක සීමා කරන්න ඕනෙ කියලා. ලෝකෙ ලොකුම කැබිනට් එකනෙ දැන් අපේ තියෙන්නෙ. බොරු බොරු කිසි වැඩකට නැති අමාත්‍යංශ හදලා නිකම්ම සුදුසු නැති මිනිසුන්ට දීපුවහම වැඩි වෙන්නෙ අනෙක් පැත්ත තමයි.


• ඔබේ සංශෝධනය ගෙනැත් දැන් යම් කාලයක් ගතවෙලා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒකට ප්‍රතිචාර දක්වන්න තිබුණු කාලය වැඩිත් එක්ක. කොහොමද ඔබට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරයි කියලා තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ?


අපේ ආණ්ඩුවත් ඇතුළත්ව ආණ්ඩු කරපු හැමෝම ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා. ඒත් කරන්න හරිම මැළියි. අද විධායකයට විශාල බලයක් තියෙන්නෙ. ව්‍යවස්ථාදායකය හසුරුවන්න පුළුවන්. අධිකරණයට විනිසුරුවන් පත්කරන්න පුළුවන්.


• ඔබ කියන සියල්ල හරි. මම අහන්නෙ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීම ගැන?


අන්තිම දවස වෙනකම් මම උත්සාහ කරනවා ආණ්ඩුව හරි මාර්ගයට ගන්න. සමහර විට එහෙම කරනකොට පක්ෂෙට මාව එපාවෙයිද දන්නෙත් නෑ. යන්න කිව්වොත් ඉතින් යනවා.


• ඒ කියන්නෙ එළියට බහින්න ලෑස්තියි?


මම ඇතුළෙ ඉඳන් තමයි සටන් කරන්නෙ. මම හිතන්නෙ හොඳම විප්ලව කෙරුණෙ ඇතුළෙ ඉඳන්.


• ඔබේ ව්‍යවස්ථා සංශෝධනයෙ තියෙන ප්‍රධාන කාරණයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මාදුළුවාවෙ සෝභිත හාමුදුරුවන් ප්‍රමුඛ පිරිසේ සටනත් ඒකයි.එතැනට යන්නද බලාපොරොත්තුව?


උන්වහන්සේ එක්ක එකතු වෙන්න කිව්වොත් 78 ව්‍යවස්ථාව වෙනස් කිරීම කියන කාරණයෙදි මම පැහැදිලිවම එකතු වෙනවා. ඒකෙ අදහස උන්වහන්සේ කියන සියල්ලට එකඟ වෙනවා කියන එක නෙවෙයි. අනෙක උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථාව මට අධ්‍යයනය කරන්න ලැබිලත් නෑ.

(මව්බිම-ශාලික විමලසේන)

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us