76 වන ජාතික නිදහස් දින සැමරුම (video) Featured

Published in පුවත්
Sunday, 04 February 2024 16:40

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.


මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා එක්ව සිටි අතර ලොව සියලුදෙනාගේ සහාය ඇතිව යළි ගොඩනැඟෙමින් සිටින ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට විදහා දැක්වීම මෙහි අරමුණ විය.


ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන ඒම සිදු විය.
ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙන යාම සිදු වූ අතර එහිදී පාසල් සිසු සිසුවියෝ 100 දෙනෙක් ජාතික ගීය ගායනා කළහ. එමෙන්ම පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ආශීර්වාදාත්මක ගාථා ගායනා කිරීම ද සිදු විය.
මාතෘ භූමියේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා නිශ්ශබ්දතාවක් පැවැත්විණි.
ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ලොවට පසක් ‍කරමින් 76 වන නිදහස් දින සැමරුම් පෙළපාළිය, ත්‍රිවිධ හමුදාව පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් වර්ණවත් කළහ.
ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය සහ උදාරත්වය විදහා දක්වමින් සිංහ ප්‍රතිමාව රැගත් රථය පෙරටු කර ගනිමින් යුද, නාවික, ගුවන් පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායට අයත් නිලධාරීහු ජාතික ධජ රැගෙන පෙළපාළියේ ගමන් කළහ.

ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ද ඊට ඇතුළත් වූ අතර විශ්‍රාමික නිලධාරීන් 22 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනෙකු එහි ගමන් කරනු ලැබීය. ත්‍රිවිධ හමුදා තූර්ය වාදක පෙළපාළියක්ද ඊට ඇතුළත් විය.
ආචාර පෙළපාළිය අවසන් වන තුරුම පීඨිකාව මත රැදී සිටි ජනාධිපතිවරයා එහි ගමන් කළ සියලු රණවිරුවන් වෙත සිය ගෞරවය පිරිනැමීම ද විශේෂත්වයකි.
එමෙන්ම ශ්‍රී ලංකාව සතු ගුවන් ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන කෆිර් යානා ඇතුළු ගුවන් සන්දර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකාව සතු නාවික ශක්තිය ද අභිමානවත්ව ප්‍රදර්ශනය කෙරිණි.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරන පැරිෂුට් භටයන් තිස් දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති පැරෂුට් සන්දර්ශනයකින් සහ සංස්කෘතිකාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
මේ අතර ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, චීන ජනාධිපති ෂී ජිංපින්, දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල්, ඉන්දීය ජනාධිපති ද්‍රෟපදි මුර්මු, ලිබියානු ජනාධිපති ආචාර්ය මොහොමඩ් වයි. අල්-මෙන්ෆි, සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම්, ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි යන මහත්වරු මෙන්ම පාකිස්ථාන ජනාධිපති, බංග්ලාදේශ ජනාධිපති සහ කුවේට් රාජ්‍යයේ එමීර්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත සිය සුබපැතුම් පළ කර තිබිණි.
මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, 76 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි මහතා ඇතුළු තායිලන්ත දූත පිරිස සහ විදෙස් තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Last modified on Sunday, 04 February 2024 16:48

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us