ජවිපෙ ගණිකා වෘත්තිය නීතිගත කරන්නේ නෑ, තහනම් කරන්නෙත් නෑ. පාදඩ අඥා පනත වෙනස් කරනවා. Featured

Published in පුවත්
Monday, 22 January 2024 20:35

ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් සම්මුඛ සාකච්ඡාවකදී 'ජ.වි.පෙ. අද රට හදන්න යන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මුදල් උපයලාදැයි' කළ ප්‍රශ්න කිරීමේදි ඔහු සඳහන් කරන්නේ,

'එවැනි නීතිගත කිරීමක් කොහෙත්ම කරන්නේ නැහැ. අද වනවිට අපේ රටේ කාන්තාවො රැකියා නැතිකම, ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා ඔය කියන වෘත්තියට පෙළඹිලා. අපේ පාලනයකදී ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි. ඒ අයට ගෞරවාන්විතව ජීවිත් විය හැකි පරිසරය සකස් කළාම ඔවැනි කටයුතුවලට යොමු වන්නේ නැහැ. ආර්ථික පීඩනය හේතුවෙන් ඔය වෘත්තියට යන බොහෝ අය අත්අඩංගුවට ගන්නේ දැනට තිබෙන අයාලේ නීතිය පාවිච්චි කරලා. මේ නීතිරීති වෙනස් කරන්න ඕන. හැබැයි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන ප්‍රතිපත්තියක් අපට නැහැ. මාලිමාවේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය මුළුමනින්ම නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි.' යනුවෙනි.

එනම් හෙිදී අදහස් කරන්නේ, ගණිකා වෘත්තිය තහනම් කිරීමක් හෝ නීතිගත කිරීමක් නොකරන බවත් ගණිකාවන් අත් අඩංගුවට ගන්නා 'පාදඩ (අයාල) ආඥා පනත' වෙනස් කර, එම වෘත්තියට කරගෙන යෑමට ඇති බාධාවන් අහෝසි කරන බවය. 'අපේ පාලනයකදී ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් නැති කරනවා' යනුවෙන් සපත කරන්නේ ඊට හේතුවන ආර්ථික සාදක අහෝසි කිරීමෙනි.

එමෙන්ම රටේ ආර්ථික අර්බුදය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඉතා  ප්‍රාථමික අදහස් කිහිපයක් ඉදිරිපත් කරන විජිත හේරත් අර්බුදය විසඳීම වෙනුවෙන් යෝජනා කර සිටින්නේ 'ජනතාව මත බදු බර නොපටවා මේ රට හදන එකම ක්‍රමය හොරකම, වංචාව නැති කර නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමයි.' යනුවෙනි.

 

එම සාකච්ඡාව

ප්‍රශ්නය:- පළාත් පාලන මැතිවරණ රේස් එකක් දිව්වත් වැඩක් වුණේ නැහැ. දැන් ජා.ජ.බ. ජනපතිවරණ රේස් එක දුවනවා. තරගය අවසන් වනවිට හාවාට අත්වූ ඉරණම අත්වේවිද?

පිළිතුර:- ආණ්ඩුව හිතාමතාම පළාත් පාලන ඡන්දය කල් දැම්මා. හැබැයි ජනාධිපතිවරණය එහෙම කල්දාන්න බැහැ. ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම මේ වසරේ සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර ජනාධිපතිවරණය පවත්වන්නම ඕන. ජනාධිපතිවරණයට වංගු ගහන්න, කල්දාන්න, අවලංගු කරන්න ජනාධිපතිට බැහැ. අනිවාර්යයෙන්ම පවත්වන්න වෙනවා. ඒ රේස් එකෙන් අපි අනිවාර්යයෙන්ම දිනනවා.

ප්‍රශ්නය:- දැනට තනියම රේස් එක දුවන නිසා ඔහොම කියන්න පුළුවන්. අනෙක් අයත් ආවාම ඔය කියන තත්වය වෙනස් වෙන්නේ නැතිද?

පිළිතුර:- අනෙක් තරගකරුවන් කවුද කියා දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා. රනිල්, සජිත් එන බව කියා තිබෙනවා. අපේ ස්ථාවරය කියා අවසන්. පොහොට්ටුව පමණක් තවම කියා නැහැ. ඒ නිසා රේස් එකේ ජොකියො කවුද කියා රටම දන්නවා. පොහොට්ටුව මොන ජොකිය දැම්මත් පරදිනවා. ඒක ඒ අය දන්නවා. දැනට ඉන්න ජොකියො තුන්දෙනාගෙන් ඉදිරියෙන්ම ඉන්නේ ඒ.කේ.ඩී. තමයි.

ප්‍රශ්නය:- විධායක ජනපති ධුරයට විරුද්ධ ජ.වි.පෙ. එය අහෝසිකරන පොරොන්දුවකට තම අපේක්‍ෂකත්වය පවා ඉවත් කරගත්තා. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන කතා දැන් දැන් කරළියට එමින් තිබෙනවා. එවන් තැනකදී ජා.ජ.බ. ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න අපි ඉතිහාසයේ උපරිම උත්සාහ ගත්තා. විවිධ කැපකිරීම් කළා. එහෙත් පත්වූ අය ඒ පොරොන්දු කඩ කළා. නැවත වතාවක් එවැනි බොරු පොරොන්දු දෙන කෙනකුට අපේ සහය ලැබෙන්නේ නැහැ. මෙවර අපිම එන්නේ මේ ක්‍රමය අහෝසි කළ හැකි එකම කණ්ඩායම මාලිමාව කියා විශ්වාස කරන නිසයි.

ප්‍රශ්නය:- වත්මන් ජනපති රටේ ප්‍රශ්න ක්‍රමයෙන් විසඳමින් යනවා. එනිසා ජනතාව ඒවටා එකතු නොවී සිටීවිද?

පිළිතුර:- රනිල් රටේ ප්‍රශ්න වැඩි කළා. එයා එන්න කලින් බිත්තරයක් රුපියල් 12 යි. දැන් බිත්තරයක් රුපියල් 45 යි. එදා රු. 105 ට තිබූ ඩීසල් ලීටරය අද රු. 359යි. රු. 117ක් වූ පෙට්‍රල් ලීටරය අද රු. 366 යි. ලයිට් බිල සියයට 400 කින් වැඩි වුණා. සියයට 18 ක් වැට් ගැසීම නිසා බඩු මිල වේගයෙන් ඉහළ ගිහින්. ජනතාවගේ වියදම් හතර පස් ගුණයකින් වැඩි වෙලා. ආදායම් ශත පහකින්වත් වැඩි වුණේ නැහැ. රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. රනිල් ඇවිත් කළේ ඕව තමයි. ජනතාව තවත් අගාධයට තල්ලු කළා. එයා ඇවිත් හදපු දෙයක් නැහැ. එක ඩොලරයක්වත් ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. පොලීවලට සහන අරගෙනත් නැහැ. ඒ නිසා විරෝධය තවත් වැඩි වෙමින් තිබෙනවා.

ප්‍රශ්නය:- එහෙත් ආර්ථිකය යහපත් වෙමින් පවතින බව අයි.එම්.එෆ්. එක පවා කියනවා. යම් ප්‍රතිසංස්කරණ කළ යුතු බව ඔවුන් කියනවා. ඔවුන් එහෙම කියන්නේ නිකම්මද?

පිළිතුර:- රට අමාරුවේ වැට්ටුවේ අයි.එම්.එෆ්. පදේට නටන්න ගිහින්. බදු වැඩි කරන්න සම්පත් විකුණන්න යෝජනා කළේ ඔවුන්. ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කර ආර්ථිකය හොඳයි කියන්නේ කොහොමද? අයි.එම්.එෆ්. එකත් පැහැදිලිව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොඳයි. ඒත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවම ප්‍රමාදයි කියලයි. ඊළඟ වාරිකය දීම තීන්දු වෙන්නේ මේ කටයුතු කළොත් පමණයි කියා ඔවුන් කියා තිබෙනවා. මේච්චර බදු ගහලත් බඩුමිල වැඩි කරලත් මදි බොහෝදේ කෙරී නැති බව අයි.එම්.එෆ්. එක කිව්වා.

ප්‍රශ්නය:- දැනට අයකරන බදු ප්‍රමාණවත් නොවන බව අයි.එම්.එෆ්. මතය වී තිබෙනවා. මෙතරම් බදු බර නොපටවා ජනතාවට සහන දෙන ක්‍රමයක් ඔබලට තිබෙනවද?

පිළිතුර:- මේ රටේ ආර්ථිකය වැටෙන්න හේතු දෙකක් බලපෑවා. වංචාව, දූෂණය, හොරකම, නාස්තිය ආර්ථිකයේ සියයට පනහක් කඩා වැටීමට හේතු වූවා. නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ටවීම දෙවැන්නයි. අද අල්පෙනෙත්තේ ඉදිකටුවේ පටන් සියල්ල පිට රටින් ගේනවා. බිත්තරයත් පිටරටින් ගේනවා. අපේ නිෂ්පාදනය වැට්ටවීම නිසා අපට රුපියලුත් ඩොලරුත් නැති වුණා. ජනතාව මත බදු බර නොපටවා මේ රට හදන එකම ක්‍රමය හොරකම, වංචාව නැති කර නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමයි. කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගුකාලීන සැලසුම් සහගත ආර්ථිකයක් ඇතුලේ ජනතාවට සහන දෙන වැඩේ කරන්න පුළුවන්.

ප්‍රශ්නය:- එදා ඇඟලුම් කම්හල් ගිනි තැබූ ජ.වි.පෙ. අද රට හදන්න යන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මුදල් උපයලාදැයි විපක්‍ෂය නගන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක්ද?

පිළිතුර:- එවැනි නීතිගත කිරීමක් කොහෙත්ම කරන්නේ නැහැ. අද වනවිට අපේ රටේ කාන්තාවො රැකියා නැතිකම, ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා ඔය කියන වෘත්තියට පෙළඹිලා. අපේ පාලනයකදී ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි. ඒ අයට ගෞරවාන්විතව ජීවිත් විය හැකි පරිසරය සකස් කළාම ඔවැනි කටයුතුවලට යොමු වන්නේ නැහැ. ආර්ථික පීඩනය හේතුවෙන් ඔය වෘත්තියට යන බොහෝ අය අත්අඩංගුවට ගන්නේ දැනට තිබෙන අයාලේ නීතිය පාවිච්චි කරලා. මේ නීතිරීති වෙනස් කරන්න ඕන. හැබැයි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන ප්‍රතිපත්තියක් අපට නැහැ. මාලිමාවේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය මුළුමනින්ම නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි.

ප්‍රශ්නය:- කවුරු බලයට ආවත් අයි.එම්.එෆ්. නැතිව මේ රට හදන්න බැහැ කියා මහ බැංකු අධිපති කියා තිබෙනවා. ජා.ජ.බ. බලයට ආවත් මේ වැඩපිළිවෙළේම යනවද?

පිළිතුර:- අයි.එම්.එෆ්. එකත් එක්ක දැන් ගිවිසුම් ගසා අවසන්. අපි කැමැති වුවත් අකැමැති වුවත් දැන් එය නීත්‍යනුකූල ගිවිසුමක්. අපේ පාලනයක් යටතේ අයි.එම්.එෆ්. ගිවිසුමේ ජනතාව පීඩාවට පත්කරන කොන්දේසි සාකච්ඡා මාර්ගයෙන් ඉවත් කරනවා. අසාධාරණ බදු ගැසීම්, රාජ්‍ය දේපල විකිණීම ආදිය අපි අනුමත කරන්නේ නැහැ. මේ ගිවිසුම සමාලෝචනය කර අපි ඉදිරියට යනවා. ඒකට අපි ජනමතයක් ඉල්ලා සිටිනවා. රනිල් මේවා කළේ ජනමතයක් නැතිව. ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් ඉලක්ක කර මේ ගිවිසුම ඉදිරියට ගෙන යනවා. අපේ ක්‍රමවේදය එයයි.

ප්‍රශ්නය:- අයි.එම්.එෆ්. නියෝජිතයන් ජ.වි.පෙ. හමුවූ බව ආරංචියි. ඇත්තටම ඔවුන් හමුවුණාද? කතා කළේ මොනවාදැයි රටට නොකියන්නේ ඇයි?

පිළිතුර:- ඔව් අයි.එම්.එෆ්. එක අපි හමුවුණා. අපි විවෘතව ඔවුන් සමග සාකච්ඡා කළා. ජනතාව පීඩාවට පත්කරන බදු පැනවීම, රාජ්‍ය සම්පත් විකිණීමට අපි එකඟ නැති බව කිව්වා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බව පෙන්වා දුන්නා. ඒ අයගේ අදහස් වැඩපිළිවෙළ අපට පැහැදිලි කළා. අපේ ස්ථාවරය ප්‍රතිපත්තිය ඔවුන්ට කිව්වා. හංගන්න දෙයක් නැහැ. බොහොම විවෘතව කළ සාකච්ඡාවක්.

ප්‍රශ්නය:- හැබැයි ජ.වි.පෙ. නායකයා මුණගැසුණේ නැහැ නේද?

පිළිතුර:- අපේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධාන නියෝජිත කණ්ඩායමක් හමුවුණා. නායකයාම හමුවන්න අවශ්‍ය නැහැ. අපේ විවිධ වැඩවලට විවිධ කණ්ඩායම් සිටිනවා. අපේ ආර්ථික කවුන්සිලයක් තිබෙනවා. ඔවුන් හමුවුණා.

ප්‍රශ්නය:- වැඩ වර්ජන රැල්ලක් හරහා රටේ ආර්ථිකය යළි විනාශ කරන්නට ජ.වි.පෙ. සැරසෙන බවට නැගෙන චෝදනාවට දෙන පිළිතුර කුමක්ද?

පිළිතුර:- විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ටෙලිකොම්, රක්ෂණය, ඉඩම් ඇතුළු ජාතික සම්පත් විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එතාකොට අපට අත පය බැඳගෙන ඉන්න කියලද කියන්නේ. රටට ආදරය කරන ඇත්ත දේශප්‍රේමීන් හැටියට අපට කට වහගෙන අත් බැඳගෙන ඉන්න බැහැ. ඒ සම්පත් බේර ගන්න සටන් කරන්න ඕන. රටේ පොදු යහපත වෙනුවෙන් වෘත්තීය සමිති අරගල කරනවා. ජාතික සම්පත් රැකගැනීමේ මේ සටනේදී අපි ඉදිරියෙන්ම සිටිනවා. අපි නායකත්වය දෙනවා.

ප්‍රශ්නය:- මේ ඔක්කොම නරක නම් රට හදන වැඩ පිළිවෙළ මොකක්ද? ඒක රටට නොකියන්නේ ඇයි?

පිළිතුර:- ඒක හංගන්න දෙයක් නැහැ. අපි පැහැදිලිව ඒක කියනවා. වංචාව දූෂණය මුළුමනින්ම නවත්වා කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා නගා සිටුවන්න කටයුතු කරනවා. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හදනවා. මෙරට නිෂ්පාදනය වැඩි කිරීමට ඔවුන්ට විශේෂ සහන ලබාදෙනවා. මධ්‍යකාලීන වැඩසටහනේදී මධ්‍ය පරිමාණ නිෂ්පාදන නගා සිටුවීමට මූලිකත්වය දෙනවා. විදේශගත ලාංකිකයන් ලක්ෂ 30කට වැඩිය සිටිනවා. ඔවුන් උපයපු ධනය ලංකාවට ගෙනැවිත් ව්‍යාපාර, නිෂ්පාදන අරඹන ලෙස ඔවුන්ට ආරාධනා කරනවා. ඒ අනුව ලාංකිකයන්ගේම ආයෝජන මත රට තව අඩියක් ඉදිරියට තබනවා. දිගුකාලීන වැඩසටහන යටතේ මහා පරිමාණ ආයෝජන, නිෂ්පාදන නගා සිටුවනවා. ජාත්‍යන්තර මහා පරිමාණ ආයෝජකයන් කැඳවා ගන්නවා. ඒ හැකියාව අපට තිබෙනවා. අපේ රට නවීන තාක්ෂණයත් සමග නූතන ලෝකයට ගැළපෙන කාර්මීකරණය හා බද්ද වූ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා. වසර පහක් දහයක් ඇතුළත මේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේ වැඩපිළිවෙළයි.

ප්‍රශ්නය:- ජ.වි.පෙ. යන පාරේ ගිය කියුබාවට අද අත්වී ඇති ඉරණම ගැන බොහෝ කතා තිබෙනවා. ජ.ජ.බ බලයට ආවොත් ඒ ඉරණම අපටත් අත් වේවිද?

පිළිතුර:- කියුබාවේ ක්‍රමය කියුබාවට අදාළයි. චීනෙ ක්‍රමය චීනයට අදාළයි. රුසියාවේ ක්‍රමය රුසියාවට අදාළයි. ඒවා ලංකාවට අදාළ නැහැ. රුසියන් සපත්තුව අපට ලොකු වැඩියි. චීන සපත්තුව අපට පොඩි වැඩියි. චීන ක්‍රමයවත් රුසියාවෙ ක්‍රමයවත් කියුබාවෙ ක්‍රමයවත් අපි අනුගමනය කරන්නේ නැහැ. අපේ තිබෙන ආර්ථික සංස්කෘතික වටපිටාවට ගැළපෙන ලංකාවට ආවේනික ක්‍රමයක් අපි අනුගමනය කරනවා. ලංකාවේ අද පවතින තත්වයට අනුරූප වන ආකාරයට අපේ ආර්ථික දේශපාලන මොඩලය සකසනවා.

අපි ආවොත් උතුරු කොරියාවේ, කියුබාවේ ක්‍රමය කරාවි යැයි සමහරු කියනවා. එහෙම එකක් නැහැ. අපි ඇමරිකාව, ඉන්දියාව, චීනය, ජපානය, මැදපෙරදිග, අප්‍රිකා, ලතින් ඇමරිකා ආදී සෑම රටක් සමගම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වනවා. ලෝකයේ සෑම රටක් සමගම ගනුදෙනු කරනවා. ඒ සියලු දෙනාගේ සහයෝගය මත අපටම ආවේනික ආර්ථික ක්‍රමයක් ගෙනයනවා. හුදකලා වී තනිව නැගිටින කතාවක් නැහැ.

ප්‍රශ්නය:- පිල් මාරුවීම නව වසර ආරම්භයේදීම ඇරඹුණා. හැබැයි ජා.ජ.බ. පැත්තට එන කෙනෙක් නැහැ නේද?

පිළිතුර:- එක එක පක්ෂවලින් එළියට වැටිච්ච අය අහුලගන්න ප්‍රතිපත්තියක් අපට නැහැ. ජා.ජ.බ හොරකම්, වංචා, දූෂණ නොකරන ප්‍රගතිශීලි ජනතාවට විවෘතයි. පක්ෂවලින් එළියට වැටෙන කුණු ගොඩවල් එකතු කරන්න අපි ලෑස්ති නෑ. ඒ කුණු ගොඩවල් ස.ජ.බෙ. එකතු කර ගත්තාවෙ. හැබැයි අපි එකතු කරන්නේ ප්‍රගතිශීලි ජනතාව පමණයි. ඒකට අපි ඕන වෙලාවක විවෘතයි.

- ලංකාදීප 

(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

Last modified on Monday, 22 January 2024 20:39

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us