පිරිමින් නිසරු කරන බෝතල් වතුර

Published in Gossip
Saturday, 04 April 2015 11:03

මානව ශිෂ්ටාචාරයේ විවිධ යුග ගැන අප කතා කරනවා. එහෙත් අප දැන් ඉන්නේ පෙට්‍රෝලියම් යුගයේ කීවොත් ඔබට එකවර අමුත්තක් දැනේවි. ඒකත් හරියට අප දැන් ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ කියනවා වගේම තමයි. පෙට්‍රෝලියම් යුගයේ ඉන්න අපට එහි අනුකුලකයක් වුණු ප්ලාස්ටික් යුගයෙන් ගැලවෙන්න බෑ.

af1504053-3ඒ තරමටම මුළු ලෝකයම ප්ලාස්ටීකරණය වෙලා. ඉඳිකටු හිසේ ඉඳන් මහා ඉදිකිරීම් දක්වා සෑම දේකටම ප්ලාස්ටික් යොදාගන්න හුරුවුණු යුගයක් මේ. ඒ නිසා 'ප්ලාස්ටික් පොලිතින් අපේ රටෙන් ඉවත් කරමු' කියලා ඊනියා සටන් පාඨ කීමෙන්

කිසිම පලක් නෑ. කරන්න පුළුවන් හොඳම දේ මේවායින් වන හානිය අවම කර ගන්න අපේ පෞද්ගලික දැනුම වැඩි කර ගැනීමයි. මේ පිළිබඳව අප ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශප්‍රධානී, කායික රෝග හා දියවැඩියා පිළිබඳවවිශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සමඟ සාකච්ඡා කළා.

පෙට්‍රෝලියම් හා මිනිසා අතර සම්බන්ධය ක්‍රිස්තු පූර්ව සියවස්වල ඉඳන් තිබෙන්නක් බව චීන ඉතිහාසය හදාරන්නෙකුට අවබෝධ වෙනවා. පසුකාලීනව ලෝකයේ පෙට්‍රෝලියම් පිරිපහදු කිරීමේදී ලැබෙන අතුරුපලයක් ලෙස ප්ලාස්ටික් නිෂ්පාදනය වුණා. කාර්මික විප්ලව සමඟ මේ දේවල් නිසි ලෙස කළමනාකරණය කරගන්න බැරි වීමේ විපාකයක් ලෙස තමයි අද ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග මුළු ලෝකයම ආක්‍රමණය කර තිබෙන්නේ.

ඒ කොතරම් ද කීවොත් අප කන බොන සෑම දෙයක්ම පාහේ ඇසුරුම් කරන්න ප්ලාස්ටික්වල යම් වර්ගයක් සම්බන්ධ වෙනවා. අඳින ඇඳුම්වලින් සෑහෙන ප්‍රමාණයක් කෘත්‍රිම රෙදි. ඒ කියන්නේ බහු අවයවික නැත්නම් පොලිමර්. එයත් ප්ලාස්ටික් වර්ගයක්. මේ වගේම ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ භාවිත වන ශක්තියෙන් හා ස්ථායීතාවෙන් වැඩි කල් පවතින ප්ලාසික් වර්ග සහ ගෘහාශ්‍රිතව භාවිත වන එතරම් ශක්තිමත් නැති, කල් පැවැත්ම අඩු ප්ලාස්ටික් වර්ග වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ අතරින් බොහොම අර්බුදකාරී වන්නේ ගෘහාශ්‍රිත භාවිතයට ගන්නා ප්ලාස්ටික් වර්ග. මොකද ඒවා නිෂ්පාදනය වැඩි නිසා පරිසරයට එකතු වන ‍වේගයත් වැඩියි. ප්ලාස්ටික්වල ප්‍රමාණයට සාපේක්ෂව බර අඩු නිසා වැඩි වැඩියෙන් භාවිතයට එක් වනවා.

මේ සමහර ලක්ෂණ ප්ලාස්ටික්වල ප්‍රයෝජන ලෙස ගන්න හැකි වුණත් අප ඒවා භාවිත කරන ආකාරය අනුව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වන්න පුළුවන්. ඉන් වඩාත් අර්බුදකාරී වන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයි. ඒ ගැන වෛද්‍ය වරුණ ගුණතිලක පැහැදිලි කළේ මේ ආකාරයටයි.

“ප්ලාස්ටික් ගැන කියද්දි ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ අපි කඩවලින් ගන්න පානීය ජල බෝතල්. මොකද ඒවායේ ප්‍රමිතිය ගැන තහවුරු කරන්න ක්‍රමයක් නෑ. සමහර වතුර බෝතල්වල එස්එල්එස් සහතිකය තිබුණත් ඒ තියෙන්නේ බොන වතුර ටිකට මිස ඒ බෝතලය හදලා තිබෙන ප්ලාස්ටික් වර්ගයට නෙවෙයි. ඒ වගේම ඒ වතුර බෝතල් පෙට් බෝතල කියලා හඳුන්වන ඉතා තුනී ප්ලාස්ටික් වර්ගයකින් තනා තිබෙන නිසා අවදානම ඉතා වැඩියි.”

මේ අවදානම මොකක්ද කියා ඔහු විස්තර කළා.

“මේ වගේ බෝතල්වල තිබෙන රසායන ද්‍රව්‍ය ඉතා ඉක්මනින් ඉර එළියට, රස්නෙට ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා බෝතලේ තිබෙන වතුරට මේ රසායන ද්‍රව්‍ය එක් වන්න ඉඩ වැඩියි. විශේෂයෙන්ම තැළුණු, නැමුණු බොතල් කිසි සේත්ම මිල දී ගන්න එපා කියන දේ දැඩිව අවධාරණය කළ යුතුයි‍. මොකද ඒවායේ තිබෙන තැලේඩ් නම් රසායනය මේ ආකාරයට ජලයේ දිය වෙලා අපේ ශරීරයට ඇතුළු වෙනවා.

එය අපේ ශරීරයේ‍‍ හෝමෝන ශ්‍රාවයට ඉතා දරුණු ආකාරයෙන් බලපානවා. ඒ අතරිනුත් ඇන්ඩ්‍රොජන් නම් ලිංගික හෝමෝනයට මෙය දැඩිව පහර දෙනවා. එය වැඩියෙන්ම බලපාන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ට. කාන්තාවන්ගෙන් ගර්භිණී මව්වරුන්ට, කලළයට, අලුත උපන් දරුවන්ට මේ රසායනය අනතුරුදායක වන්න පුළුවන්. ඊට වඩා පිරිමින්ගේ දරුඵල ලැබීමේ හැකියාව අඩුවන්න මේ රසායනය බලපානවා.

“කඩවල බොතල් වතුර තියෙද්දී ඒවා ඉර එළියට නිරාවරණය වනවා, දිගු කාලයක් තිස්සේ ඔහේ තිබෙනවා, වැටීම් තැළීම්වලට ලක්වෙනවා. ඒ නිසා අව්වේ තිබෙන බෝතල් වතුර වගේම අව්වේ වේළි වේළි තිබෙන වතුර බෝතල් ගැනීමත් සෞඛ්‍යයට ඉතාම හානිදායකයි. ඒ වගේම අපි ගමන් කරන වාහන අව්වේ සිටුවා යනවා නම් ඒ තුළ අපේ වතුර බෝතල් තබා යාම නිසාත් මේ අවදානමම ඇති වන්න පුළුවන්. මොකද ඒ බොතල්වල ජලයටත් රස්නය වැඩි වෙද්දි අර රසායන ද්‍රව්‍ය දිය වී යන නිසා.

“අනෙක් කාරණය තමයි බොතල් කළ ජලය, කෝලාවර්ග, බීම ආදිය පුරවා තැබූ තුනී ප්ලාස්‍ටික් බෝතල් නැවත භාවිතයට ගන්න සමහරු පුරුදු වෙලා තිබෙනවා. ඒක ඉතාම භයානක වැරැදි වැඩක්. මොකද ඒවා ති‍බෙන්නේ එක වරක් පමණක් පාවිච්චි කර ඉවත ලන්නයි. ඒ ඉවත දැමීමත් නිවැරැදි ආකාරයට විය යුතුයි. නැත්නම් සමස්ත පරිසරයටම එයින් හානියක් වෙනවා. ඒ කියන්නේ එවැනි ප්ලාස්ටික් වර්ග ඔහේ විසි කළොත් ඒවා අව්වට රත් වීමත්, පළුදු වීමත් නිසා රසායන ද්‍රව්‍ය පොළොවට හෝ ජලයට එකතු වී භූගත ජලයට මුසු වීමෙන් පානීය ජලය ඔස්සේ පොදුවේ අප සැමගේ සිරුරට එකතු වන්න පුළුවන්. ඒ නිසා හැම විටම ප්ලාස්ටික් වර්ග වෙනම එකත කර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට යොමු කිරීම අත්‍යවශ්‍යයි.”

තැලේඩ් නම් රසායනය නිසා ඇති වන ගැටලු එතැනින් අවසන් වන්නේ නැත. ඒ එය පිළිකා කාරකයක් නිසයි. නමුත් අප භාවිත කරන බොහෝ ඇසුරුම්වල තැලේඩ් අඩංගු විය හැකියි. ඒවා මොනවාදැයි හඳුනා ගැනීම අපහසු කාරණයක් නොවේ. ඇත්තේ තමන් ආහාරපාන ඇසුරුම සඳහා ප්ලාස්ටික් භාණ්ඩයක් මිල දී ගන්නා විට එහි සඳහන් වන ප්ලාස්ටික් කාණ්ඩය තෝරා බේරා ගැනීමයි. වැඩි දෙනකු අවධානයට ලක් නොකරන මේ කරුණ පිළිබඳව වෛද්‍ය වරුණ ගුණතිලක කීවේ මෙසේයි.

“සාමාන්‍යයෙන් ප්ලාස්ටික් භාණ්ඩවල පතුලේ ත්‍රිකෝණයක් තුළ ඉලක්කමක් සදහන් වනවා. මෙහෙම කරන්නේ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පහසුවට. මොකද වර්ග දෙකක ප්ලාස්ටික් එකට ප්‍රතිචක්‍රීකරණය කරලා ප්‍රයෝජනයට ගන්න අපහසු නිසා. ඒ අංකනය 1 සිට 7 දක්වා තිබෙනවා. ඉන් අංක 1 යොදන්නේ ඉතා තුනී ප්ලාස්ටික් වර්ගවලට. බොහෝ ජල භාජන හා බීම බෝතල් මේ වගේ අඩු අගයන්වලින් යුක්තයි‍. අංක 2 යොදා ඇති ප්ලාස්ටික් බෝතල්වල පානීය ජලය, බීර, මුඛ සේදුම් දිය‍ර, සෝස්වර්ග ආදිය අසුරනවා. ඒ වගේම රටකජු, බටර්, ජෙලි, ජෑම් ආදිය අසුරන්නේ මේ වර්ගයේ ප්ලාස්ටික් යොදාගෙන. මේ වර්ග දෙකම හිරු එළිය‍ට නිරාවරණය වීමේදී හෝ බොහෝ කලක් ගබඩා කර තැබීමේදී ක්ෂය වීම නිසා ආහාර පානවලට විෂ එකතු විය හැකි අසුරනයි. ඒ නිසා ඇසුරුම් කළ දිනය හා අසුරා තිබෙන ස්ථානය ගැන සැළකිලිමත් විය යුතුයි‍.

“අංක 3 යොදන ප්ලාස්ටික් වර්ගය අතීතයේ හැඳින්වූයේ අඩු අවදානමක් සහිත එකක් හැටියටයි. කෙසේ වුවත් බෙහෙත් පෙති ඇසුරුම්, විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග ඇසුරුම්, පයිප්ප, ඇඳ ආවරණ ඇසුරුම් සඳහා යොදා ගන්නා ඝනකමින් වැඩි පොලිතින්, කෘත්‍රිම හම්, ජලයේ පාවෙන සෙල්ලම් බඩු, මස් වර්ග හා චීස් වර්ග ඔතන ආවරණ, මේස ආවරණ රෙදි, කර්ට්න්, වයර් ආවරණ ආදිය සඳහා යොදා ගන්නා මේවා හිරු රශ්මියට ඔරොත්තු දුන්නද පිලිස්සීමේදී පිළිකාකාරක ද්‍රව්‍ය මුදා හරින නිසා ඉවතලෑමේදී සැලකිලිමත් විය යුතුයි.”

“සිලි කවර ව‍ගේම පාන්, ශීත කළ ආහාර, එළවළු, පලතුරු, අපද්‍රව්‍ය, භාජන වහන පියන්, සෙල්ලම් බඩු හා සීඩී, ඩීවීඩී කවර ආදාය නිපදවන අංක 4 ප්ලාසිටික් වර්ගය තරමක් අඩු අවදානම් සහිත බව හඳුනාගෙන තිබෙනවා. අපට වඩාත් වැදගත් වන්නේ අංක 5 යෙදූ ප්ලාස්ටික් වර්ගයයි. මොකද නැවත නැවත භාවිත කරන බෝතල්, ආහාර ගබඩා කරන භාජන, කෑම පෙට්ටි, විද්‍යාගාර උපකරණ ආදිය සඳහා යොදා ගන්නා මේ ප්ලාස්ටික් වර්ගය උණුසුමට ඔරොත්තු දෙනවා. එනිසා ආරක්ෂිත වර්ගයක් හැටියටයි ගණන් ගැනෙන්නේ.

“කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, අලෙවිය සඳහා ඇති ආහාර බහාලන පෙට්ටි, ශක්තිමත් ආහාර අසුරන, රෙජිෆෝම් අසුරන ආදිය නිපදවන අංක 6 වර්ගයේ ප්ලාස්ටික්වල ස්ටයරීන් නමැති පිළිකාකාරකය අඩංගු වන නිසා භාවිතය හැකි තරම් අඩු කරනවා නම් හොඳයි. අංක 7ට අයත් වන්නේ විවිධ ගණයන්ට අයත් ලීටර් 3 හා ඊට වැඩි ධාරිතාවෙන් යුතු වතුර බෝතල්, ඇතැම් පලතුරු යුෂ වර්ග, එළවළු-පලතුරු කූඩ, සෙරෙප්පු, පුටු, ගෘහ උපකරණ වගේම ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික්, ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන දිරාපත් වන ප්ලාස්ටික් ආදියයි.

“මේ විදිහට බලද්දී අංක 3,6,7 වර්ග භාවිතයෙන් ඉවත් කරන තරමට හොඳයි. සමහර ඉන්දියානු හා චීන භාණ්ඩවල ඉලක්කම් වෙනුවට තරු යොදා තිබෙනවා. එහි ප්‍රමිතිය කුමක්ද කියා ඇගයීමක් කර නෑ. එනිසා හැකි තරම් පේපර් ප්ලේට්ස්, පේපර් කප්ස්, නැත්නම් වීදුරු, පිඟන් මැටිවලින් තැනූ භාණ්ඩ අපේ නිවසේ භාවිතයට ගැනීම තමයි මේ දේවලින් බේරෙන්න තිබෙන හොඳම ක්‍රමය.

“විශේෂයෙන් වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට බෝතල් වතුර නොදෙන්න මවුපියන් වගබලා ගන්න ඕන. මයික්‍රොවේව් යන්ත්‍රයක් භාවිතයෙන් ආහාර උණුසුම් කරනවා නම් ඒ සඳහා ඔරොත්තු දෙන භාණ්ඩ තෝරා ගන්න වෙනවා.

“පිරිමින්ගේ නිසරුබවට වගේම කලළ අවස්ථාවේදී පිරිමි දරුවන්ගේ ලිංගික අවයව ස්ත්‍රී ලක්ෂණ දක්වන්නට, දරුවන්ගේ මොළේ, පියයුරුවල හා පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථිවල විකෘති වර්ධනයට, ගැහැනු දරුවන් අකලට වැඩිවිය පැමිණිම ආදී විකෘතිතා ඇති කරන බිස්ෆීනෝල් නම් රසායනයත් මේ ප්ලාස්ටික්වල අඩංගුයි. ඊට අමතරව ජාන විකෘතිතා, ඇදුම, සමේ රෝග, දෘෂ්ටි දුර්වලතා, බිහිරිබව, ආහාර නොදිරවීම, අක්මාවේ අවහිරතා, ස්ථුලතාව, දියවැඩියාව, අධික්‍රියාකාරීත්වය, ශරීර දුර්වලතාව, වමනය, හිස කැක්කුම, පාචනය ආදියත් ප්ලාස්ටික් වර්ගවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන්න පුළුවන්.

“යම් කාලයක් මේ රසායන ද්‍රව්‍ය අපේ ශරීරයට ඇතුළු වුණාමයි අප නොදැනුවත්ව මේ රෝගවලට ගොදුරු වන්නේ. ඒ නිසා ළදරුවන්ට දත් එන විට හපන්නට ප්ලාස්ටික් ටීතර්ස් දෙන්න එපා. අනුමත ඒවායේ හැර ප්ලාස්ටික් භාජනවල කෑම රත් කරන්න එපා.packaged-drinking-water-bottle-i13-1

ජලය මෙන්ම කෑම, බීම බහාලීමට වීදුරු හෝ වෙනත් ද්‍රව්‍යවලින් තැනූ භාණ්ඩ භාවිත කරන්න. ඇඳුම්, ගෘහ භාණ්ඩ, ඇඳ ඇතිරිලි ආදියට ස්වාභාවික රෙදිවලින් සැකසූ ආවරණ යොදන්න පුරුදු වන්න. විශේෂයෙන් බත් කොළවල ප්‍රමිතිය ගැන සෙවීමට මේ වන තුරු කිසිවෙක් උනන්දු වී නෑ. මොකද බොහෝ රටවල බත් කොළ කියා දෙයක් භාවිත වන්නේ නෑ. ඒ නිසා පුළුවන්තරම් ආහාර නිවුණු පසු බත් කොළවල එතීමට පුරුදු වනවා නම් එහි අවදානමෙන් ගැලවීමට පුළුවන්.”

විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසූ මේ කරුණු ඇතැම් විට ඔබත් දන්නවා විය හැකියි. නමුත් නිවෙසට භාණ්ඩයක් ‍තෝරා ගැනීමේ මොහොතේදී අවධානය යොමු කිරීමට අමතක වන්නට ඇති. ඒ පුංචි අතපසුවීම නිසා අපට අපේ ජීවිතවලින් කොයි ආකාරයේ වන්දි ගෙවීමක් කරන්නට වේදැයි දන්නේ කවුරුද? ඒ නිසා මින් පසු අප මීට වඩා වැඩි අවධානයක් අප තොරා ගන්නා ප්ලාස්ටික් භාණ්ඩ පිළිබඳ යොමු කළ යුතුයි. ඒ වගේම ඒවා ඉවත දැමීමත් ඉතා ක්‍රමානුකූලව සිදු කළ යුතුයි. එසේ නොවුණහොත් අද අප ඉවත ලන විෂ හෙට ශරීරගත වන්නේ අපේම දරුවන්ට විය හැකියි.‍

අරුණි මුතුමලී

silumina

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us