මෙරට බෝග වගා විනාශයි. ඉන්දියානු බීජ ලංකාවට. රේගුව අවසර දීලා !

Published in පුවත්
Monday, 05 February 2018 23:11

මෙරට බෝග විනාශ කළ හැකි බීජ වර්ග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා දේශපාලන බලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය , මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


ඉන්දියාවේ ජාතික බීජ සංගමය (National Seed Association of India) මඟින් සංවිධානය කරන ඉන්දියානු බීජ සමුළුව (Indian Seed Congress) මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක හෝ ගොවි සංවිධානයක මැදිහත්වීමකින් තොරව 2018 පෙබරවාරි මස 05 හා 06 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ. දීර්ඝ කෘෂිකර්ම ඉතිහාසයකට උරුමකම් කියන අප රට තුළ “බීජ” වැනි ඉතා සංවේදී, අත්‍යාවශ්‍ය ක්‍ෂේත්‍රයක සමුළුවක් කිසිඳු බලයලත්, නිල ආයතනයක මැදිහත් වීමකින් තොරව මෙලෙස පැවැත්වීම පිළිබඳව අප ව්‍යාපාරයේ විරෝධතාවය ප්‍රකාශ කර සිටිමු.

එමෙන් ම ලංකාව තුළ මේ වනවිටත් ගොවීන් හා ගොවි සංවිධාන මට්ටමින් බීජ නිෂ්පාදනයේ හා බීජ සංරක්‍ෂණයේ යෙදී සිටින්නන් නොසලකා හරිමින්, ඔවුන්ට තර්ජනයක් විය හැකි අයුරින් පරිසරයට හා මෙරට කෘෂි ක්‍ෂේත්‍රයට බලපෑම් ඇති විය හැකි ආකාරයෙන් විනිවිදභාවයකින් තොරව, රාජ්‍ය අනුග්‍රහය නොමැතිව, ගොවි සංවිධානවල සාකච්ඡාවකින් තොරව මෙම සමුළුව පැවැත්වීමෙන් මෙහි යටි අරමුණ මනා ව පැහැදිලි වේ.
එපමණක් නොව බීජ නිරෝධායන අනුමැතීන් ලබා නොගෙන මෙම සමුළුව සඳහා ඉන්දියානු බීජ සමාගම් ගණනාවක් විසින් ලංකාවට බීජ වර්ග ගෙන ඒමට සූදානම් වේ.

මේ මඟින් ලංකාවේ බෝග ප්‍රභේද වලට රෝග පැතිරීමේ අවදානමක් ඇති විය හැකි අතර ලංකාවේ බීජ නිෂ්පාදන වෙළෙඳපොළ ඉන්දියානු සමාගම් යටතට අත්පත්කර ගැනීමට උත්සාහ ගනිමින් සිටී. ඇමෙරිකාව, නෙදර්ලන්තය, තායිලන්තය, පකිස්ථානය, ජර්මනිය, ජපානය, මැලේසියාව වැනි රටවල සමාගම් බහුතරයක් විසින් මෙරට බීජ නිෂ්පාදන අයිතිය අත්පත් කර ගෙන සිටින අතර ඉන්දියාවේ බීජ නිෂ්පාදන සමාගම් ගණනාවක් විසින් ගුණාත්මක බැවින් තොර බීජ හා වල් පැළෑටි බීජ සහිත අර්තාපල් හා ලූනු බීජ බොහොමයක් නීති විරෝධී ලෙස ලංකාවට ගෙන ඒම සිදු කරයි.

ඉන්දියානු සමාගම් ශාක ආරක්‍ෂණ පනත උල්ලංඝනය කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු අනුමැතියකින් තොරව එම බීජ ගෙන එන අතර දේශපාලන බලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කර ගෙන රේගු දෙපාර්තමේන්තුවෙන් මෙම බීජ වර්ග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා නිදහස් කර ගැනීම සිදු කරයි.

ඒ මඟින් මේ වන විට ලංකාවේ බීජ නිෂ්පාදකයින් දැඩි අසීරුතාවකට පත් ව සිටින අතර ගුණාත්මක බැවින් තොර හා රෝග කාරක හා වල් පැළෑටි බහුල බීජ වර්ග ගෙන්වීම හේතුවෙන් ගොවි ජනතාව ද දැඩි අසීරුතාවකට පත් ව සිටී. එවන් තත්ත්වයක් තුළ මේ සමුළුව මඟින් තවදුරටත් උත්සාහ දරන්නේ බීජ අයිතිය මෙරට ගොවි ජනතාවට තවදුරටත් අහිමි කර බීජ ආනයන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට ඉන්දියානු සමාගම් පත් කර ගැනීමට ය.

මෙම සමුළුව සඳහා සමාගම් ගණනාවක් විසින් බීජ ලංකාවට ගෙන ඒමට සූදානම් වූ අතර ඒ සියල්ල සිදුකරනු ලබන්නේ 1999 අංක 35 දරන ශාක ආරක්‍ෂණ පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 7 (1) උප වගන්තියට අනුව නිරෝධායනය නොකළ ශාක හෝ ශාක නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය නොකළ යුතු බව සඳහන් වේ. නමුත් මේ සමුළුව සඳහා ගෙන ඒමට යෝජිත බීජ වර්ග සඳහා කිසිඳු නිරෝධායන සහතිකයක් ලබා ගෙන නොමැත. නිරෝධායනය නොකළ බීජ ලංකාවට ගෙන ඒම නීති විරෝධී ක්‍රියාවක් වන අතර පනතේ 10 (2) උප වගන්තියට අනුව එවන් වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයෙකු මාසයත් මාස හයත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් දස දහසත්, ලක්‍ෂයත් අතර දඩයකට හෝ මෙම දඬුවම් දෙකට ම හෝ යටත් කළ හැකි ය.

මෙසේ තිබිය දී ඉන්දියාවේ ජාතික බීජ සංගමය මගින් ලංකාවේ පැවැත්වෙන බීජ සමුළුව සඳහා කිසිඳු ආකාරයක නිරෝධායන සහතිකයක් හෝ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව බීජ ගෙන ඒම නීති විරෝධී ක්‍රියාවකි.

1924 අංක 10 දරන ශාක ආරක්‍ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශිත 1981 නොවැම්බර් 02 දින අංක 165/2 දරන ගැසට් නිවේදනයේ සඳහන් නිර්ණායක වලට යටත් ව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව මෙලෙස බීජ ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැත. නමුත් මෙම සමුළුව පිළිබඳ ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම අමාත්‍යංශය හෝ නිසි අවබෝධයක් නොතිබින. නමුත් මේ සමුළුව නීති විරෝධීව පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවට බඳුන් වීමත් සමඟ ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රේගු දෙපාර්තමේන්තුව වෙත මෙම බීජ රට තුළ ට ගෙන ඒම වැළැක්වීමට අදාළ දැනුම්වත් කිරීම් සිදු කර තිබේ.
නමුත් ඉන්දියානු බීජ සමාගම් ඉතා ම සූක්‍ෂම ව ලංකාවේ බීජ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට නීති විරෝධී උත්සාහයක් ගනිමින් පවතින බව තහවුරු වේ. ඉන්දියානු සාම සාධක හමුදාව ලංකාව තුළ රැඳීසිටි කාලයේ දී නිසි පරිදි නිරෝධායන ක්‍රමවේද වලින් තොරව ලංකාවට ඉන්දියාවෙන් එළුවන් ගෙන ඒමේ දී එම සතුන් සමඟ පාතීනියම් ශාකයේ බීජ මෙරටට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල පාතීනියම් ශාකය දරුණු ආක්‍රමණිකයකු ලෙස පැතිරීම සිදු වී ඇත. මේ වනවිට එම ශාකය පාලනය කිරීම සඳහා විශාල අමතර ධනස්කන්ධයක් වැය කිරීමට සිදු වී ඇත.

පසුගිය දා ලංකාවට හොර රහසේ ඉන්දියාවෙන් ගෙන එන ලද අර්තාපල් හා ලූනු බීජ සමඟ වල්පැළෑටි බීජ බොහොමයක් මෙරටට පැමිණ තිබේ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම හා අප රටේ කෘෂිකර්මාන්තයට දරුණු ගැටලු වලට මුහුණ දීමට ඉදිරියේ දී මෙම ක්‍රියාවලියත් සමඟ සිදුවිය හැකි ය. එබැවින් ඉන්දියානු බීජ සමාගම් අප රටේ බීජ නිෂ්පාදන අයිතිය තහවුරු කර ගැනීමට දරන උත්සාහය හා ගුණාත්මක බැවින් තොර, නිරෝධායනය නොකළ බීජ ගෙන්වීමේ ක්‍රියාවලිය නතර කිරීමට වහා ම පියවර ගත යුතු ය. එපමණක් නොව ශාක ආරක්‍ෂණ පනතේ 12 (2) (ආ), (ඇ), (ඈ), (ඉ) යන උප වගන්ති වලට අදාළ ව ශාක හෝ ශාක කොටස් ආනයනය කිරීමේ දී වැදගත් වන සීමාවන්, තහනම් කිරීම් හා නිරෝධායන නීති ශක්තිමත් කිරීම සඳහා බලපත්‍ර ක්‍රියාවලිය හා කොන්දේසි පැනවීම සඳහා වන දැනට සකස් කර ඇති නියෝග කඩිනමින් ගැසට් නිවේදන මඟින් බලාත්මක කළ යුතු ව ඇත.

එසේ නොමැති වුවහොත් ලංකාවේ බීජ ආනයන ක්‍රියාවලිය යටතේ හෝ ශාක ආනයන ක්‍රියාවලිය යටතේ රටේ කෘෂිකර්මයට හා ස්වාභාවික පරිසර පද්ධතිවල පැවැත්මට බලපෑම් ඇති කරන ජීවින්ගේ පැමිණීම පාලනය කළ නොහැකිවන අතර ගුණාත්මක බැවින් යුතු බීජ ලංකාවේ භාවිතා කිරීමට ඇති අයිතියට ද බලපෑම් එල්ල වනු ඇත. මේ තත්ත්වයන් පාදක කර ගෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සිදු විය හැකි අනිසි බලපෑම් පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අවධාරණය කර සිටිමු.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us