සී අයි ඩියට බැලමෙහෙවරකම් කරන මාධ්‍ය සහ දසනායක හිරකිරීම Featured

Published in පුවත්
Friday, 21 July 2017 15:17

මාධ්‍යවේදියාගේ කාර්ය භාරය සම්බන්ධයෙන් අටෝරාසියක් කතන්දර තිබුණද ඒ කිසිවක පවත්න ආණ්ඩුවට හෝ පොලිසියට හෝ පක්කලිකම් කිරීම වියයුතු බව සඳහන්ව නැති බවට සැකයක් නැත. විශේෂයෙන්ම ගවේශනාත්මක මාධ්‍යකරනය සම්බන්ධයෙන් නම් මාධ්‍ය වේදීයා යනු තමන්ගෙ හෙළිදරව් කිරීම විනා අන් කිසිවකට යටත් විය යුතු පුද්ගලයකු නොවේ.

එහෙත් ගවේශනාත්මක මාධ්‍යකරණය සම්බන්ධයෙන් ලෝකයටම අලුත් සම්ප්‍රදායයක් හඳුන්වා දීමට මෙරට වත්මන් මාධ්‍යවේදීන් පිරිසක් සමත්ව තිබේ. විශේෂයෙන්ම පැවැති රාජපක්ෂ පාලනය පෙරලා දමා යහපාලන ආණ්ඩුව බිහි වීමෙන් පසුව මේ අලුත් සම්ප්‍රදාය හෙලිදරව් වීම සිදුවීමත් මේ යහපාලනයේ සුවිෂේශත්වය කියා පාන්නකි.

අද ගවේශනාත්මක මාධ්‍යකරණය ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා අපූරු සම්ප්‍රදායයක් අනුව කටයුතු කරන මේ මාධ්‍යවේදීන් සිදු කරනු ලබන්නෙ තමන් වෙතට කවුරුන් හෝ විසින් ලබා දෙන තොරතුරු කොටසක් පදනම් කරගෙන පත්තර පි‍ටු පුරා ඒ පිටපත් කිරීමය. ඒ අතරට ඒ ලිවිල්ල සාධාරණ බව ඔප්පු කිරීමට අවශ්‍ය තමන් විසින් තොරා ගන්න ලද පුද්ගලයන් කිහිප දෙනෙකුගේ වාචික ප්‍රකාශයන්ද රිංගවයි. භාෂා හරබයන් කදුළු කඩන් පනින භාවාතිශ්‍යය යෙදුම් ආදියෙන් රස ගන්නවා ගැනිමෙන් පසුව ..ඒ ලිවිල්ල සම්පූර්ණ වෙයි.. පත්තරේ පල වූ පසු එහි පිටපත් සම්මාන උළෙලවල් වලට යැවීම හා තමන් පොරක් බව පවසමින් සමාජ ජාලා ඔස්සෙ ප්‍රචාරය කිරීම සිදුවෙයි.. .එයින් ගවේශනාත්මක මාධ්‍යකරණයට අලුත් අර්ථකථනද ලැබෙන අතර මේ ලියු අය යුගයේ සම්මානනීය මහා මාධ්‍යවේදියාණෝ ද වෙති. මෙහෙම කිහිප දෙනෙකු අප මිතුරන් අතර සිටී..

මේ මාධ්‍යවේදීන්ගේ ලිවීමේ ඉතිහාසය පරික්ෂා කරන විට පෙනී යන සුවිශේෂීම කරුණ නම් මේ බොහොදෙනාගේ ලියැවිලි වලට පදනම්ව ඇත්තේ ශ්‍රිලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව නොහොත් රහස් පොලීසියේ යම් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ලබා දෙන තොරතුරු මත පදනම්ව වාර්තාකරණය සිදු කිරීමය. මෙම තොරතුරු සෘජුවම හෝ ,අගමැති කාර්යාලය ,ජනාධිපති කාර්යාලය හරහාද ඒ ඒ ‍තෝරා ගත් මාධයවේදීන් වෙත යොමු කරනු ලැබේ. ඇතැම් විට යම් විමර්ශනයක් දේශපාලන වාසිය අත්පත් කර ගැනිම වෙනුවෙන් මේ තොරතුරු ඒ වෙනුවෙන් පාවිච්චි කළ හැකි විපක්ෂයේ වුව දේශපාලන පක්ෂ නියොජිතයන් වෙතද යොමු කෙරේ. යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසුව ඇතැම් ආන්දොලනාත්මක වූ සිදුවීම රැසක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පරික්ෂා කර බැලීමේන් මේ ඉතා පැහැදිලිව හඳුනා ගත හැක.

මේ හෑල්ල ලියන්න්ට සිත් වූයේ මේ දිනවල කතා බහට ලක්ව තිබෙන ත්‍රිකුණාමලයේදී පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාලව..නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා වන කොමදොරු ඩී කේ පී දසනායක අත් අඩංගුව ගැනීම සම්බන්ධයෙන් වන සංවාද දැකීමෙනි.

යුධ අපරාධයක්

මෙම පුද්ගලයන් 11 අතරින් කිහිප දෙනෙකු කප්පම් මුදල් ගැනීම වෙනුවෙන් පැහැරගෙන තිබෙන බව සත්‍යයකි. එමෙන්ම දේශපාලන හෝ පෞද්ගලික පලිගැනිම් වෙනුවෙන් පැහැරගත් කිහිප දෙනෙකු සිටින බවටද යම් සාක්ෂි හමුව තිබේ. මේ සියලු දෙනා දරුවන්, ශිෂ්‍යයන් බවටද තරුණයන් බවටද මතයක් ගොඩනඟමින් තිබුණත් ඒ එසේ නොවේ..වයස 18 සිට 65 දක්වා පිරිස ඒ අතර වේ. එමෙන්ම ඔවුන් එල්ටීටීඊ සාමාජිකයන් හෝ එහි හිතවතුන් බවටද කිසිදු සාක්ෂියක් නැත. ඒ කෙසේ වුවත් මේ මුලුමනින්ම නීති විරෝධී කටයුත්තක් වන අතර ඒ යුධ අපරාධයක් ලෙස හැඳින්වීමද සිදු කළ හැක. මේ සිදුකළ වුන්ට දඬුවම් පැමිණවීම විය යුතුව ඇත. එසේම පැහැර ගැනීමෙන් පසුව මෙතෙක් එම පුද්ගලයන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් නැත..අතුරුදන් වූවන් ලෙස සලකණු ලැබෙන නමුත් මේ පිරිස ඝාතනයට ලක්කර ඇති බවට සධාරණ සැකයක් තිබේ. අවසන් වරට මෙම පුද්ගලයන් රඳවාගෙන් සිටි බව කියන ත්‍රිකුණාමළයේ නාවික තටාංගන කඳවුරේ පිහිටි ගන්සයිඩ් නම් නම් කුටි දෙකෙන් එකක මිනිස් ඝාතන සිදුව ඇති බවට සාක්ෂි ලැබී තිබිණි.

විමර්ශන අයාලේ

මේ විමර්ශනය කර මීට වගකිව යුත්තන්ට දඬුවම් දීම විය යුතු බව අනිවාර්යෙන්ම සිදු විය යුතු කරුණකි. මේ මෙරට ක්‍රියාත්මක විමර්ශන ක්‍රියාවලියෙන් හෝ අධිකරණයෙන් සාධාරණය සිදු කළ නොහැකි නම් විදේශ විනිසුරුවරුන්, විමර්ශන නිලධාරීන් හෝ ගෙන්වා කළ යුතු කටයුත්තකි. ඒ ගැන විවාදයක් නැත. මන්ද මේ සිදුවීමට අදාලව සිදු කෙරෙමින් පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැති බවට තොරතුරු හෙලි වීමය.

දසනායක අත් අඩංගුවට ගැනීම සාධාරණය කිරීම

අපරාධයක් සම්බන්ධයෙන් ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණවීම එම විමර්ශන කටයුතුවලට අදාල නීතිමය අවශ්‍යතාවයකි. නමුත් එසේ සිදු කිරීමට තරම් සාධාරණ සාක්ෂි විමර්ශන නිලධාරීන් සතුව තිබිය යුතුය. අධිකරණය සැක කරුවකුට අත් අඩංගුවෙන් නිදහස් කරනවාද,ඇප ලබා දෙනවාද රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවාද යන්න තීරණය කරන්නෙ එම විමර්ශන නිලධාරීන් ලබා දෙන සාක්ෂි එම නීතිමය අවශ්‍යතාවයට ගැලපෙනවාද යන්න ගැන සොයා බැලීමකින් පසුවය. නමුත් මෙය විනිසුරුවරයාගේ හුදු කැමැත්ත ප්‍රකාරව සිදුවීම ශ්‍රීලංකාව වැනි දියුණු අධිකරණ ක්‍රමයක් නොමැති රටවල සාමන්‍ය තත්වයය. බොහෝ විටම එම 'සාක්ෂි ඉදිරිපත් කිරීම' නිවැරදිද යන්න මිස එම 'සාක්ෂි' නිවැරදිද යන්න අධිකරණය පරික්ෂා කරන්නෙ නැත. ඒ සිදු කරනු ලබන්නෙ පසු අවස්ථාවක චූදිතයාගෙන් ලැබෙන ප්‍රතිතර්කයන් අනුවය.මේ පවතින ඉඩ කඩ තුල බොහෝ අසාධාරණ අකටයුතුකම් චුදීතයන් බුක්ති විඳ තිබේ.

මේ අනුව පසුගියදා පුද්ගල අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සියලු පව් කොමදෝරු දහනායක පිට දමා ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම..රහස් පොලීසියේ කුප්ප සෙල්ලමක් බවට නැගෙන චෝදනා ලෙහෙසියෙන් බැහැර කළ නොහැක. මන්ද ඒ ඉතා පැහැදිලි කරුණක් වීම නිසාය.. දසනායක අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් ඊට පෙර සිටම මාධ්‍ය සෙල්ලමක් ක්‍රියාත්මක වූ බවත් මේ වන විට රජයේ මාධ්‍ය මෙන්ම කලින් කී පරිදී රහස් පොලීසියේ වාර්තා මත පදනම්ව කටයුතු කරන 'ගවේශනාත්මක මාධ්‍යවේදීන්' කිහිප දෙනෙකුත් දසනායක අත් අඩංගුවට ගැනීම සාධාරණීය කරණය කරමින් සිටී.

2009 වසරේ වූ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කටයුතු සිදුවෙමින් පැවැතියත් දසනායක මෙම සිදුවීමෙහි සැක කරුවකු බවට රහස් පොලීසිය නම් කරනු ලැබුවේ පසුගිය 11 වන දිනය. 12 වන දින ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබීය..( මෙම විමර්ශන ක්‍රියාවලියේ ඇති විශේෂත්වය නම් මේ වෙනුවෙන් රහස් පොලීසිය, අධිකරණය හා කටයුතු කළේ නීතිපතිවරයාගේ නිර්දේශ අනුව නොවීමය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා මීට පෙර අවස්ථාවක (පසුගිය මාර්තු 23 වන දින) අධිකරණයට දැනුම් දීමද සිදු කරනු ලැබීය...අධිකරණය, නීතිපතිවරයාගේ නිර්දේශයන් අනුව දසනායක ,හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුලු අනෙක් නිලධාරීන් අත් අඩංගුවට ගත් යුතු බවට දැනුම් දී තිබුණද පසුගිය 11දා දහනායකව වහාම අත් අඩංගුවට ගත යුතු බවට රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීතිපතිවරයාගේ නිර්දේශය සඟවාලමිනි. නීතිපති නිර්දේශය වී තිබුණේ දසනායකව අත් අඩංගුවට ගැනීමට තරම් සාක්ෂියක් නොමැති බවය.

දසනායකට එරෙහිව ඇති සාක්ෂි මොනවාද යන්න සලකා බැලීමේදී මේ සිදු කරමින් පවතින විකාරය පැහැදිලිය. පුද්ගලයන් පැහැර ගෙන යෑමට දසනායක සෘජුව වගකිව යුතු බවට වාචික සාක්ෂි 1ක් පමණක් තිබේ. .ඒ නාවික හමුදාවේම ලුතිනන් කමාන්ඩර් ක්‍රිශාන්ත වෙලගෙදර දුන් සාක්ෂියය. නමුත් ඒ බව ඔප්පු කිරීමට තරම් අනෙක් කිසිදු කරුණක් වෙලගෙදරගේ සාක්ෂියෙ නැත. විද්‍යාත්මක සාක්ෂියක් ලෙස පොලිසිය ඉදිරිපත් කරන්නේ අතුරුදන් පුද්ගලයකුගෙ ඥතියකු විසින් දුන් දුරකතන ඇමැතුම සම්බන්ධයෙන් දසනායක පවසා ඇත්තේ හෙට්ටිආරච්චි නම් නිලධාරියා යටතේ එම පුද්ගලයන් 5 දෙනෙකු සිටින බවට කළ ප්‍රකාශයකි.

මේ සාක්ෂි දෙක මත පදනම් වී දසනායක අත් අඩංගුවට ගැනීමට හෝ හො ඔහුව සැකකරුවකු කිරීමට නොහැකි වූවත් දසනායකව අත් අඩංගුවට ගැනීමට රහස් පොලීස්ය වලි ඈවේ අද ඊයේ නොවේ..ඊට දිගු ඉතිහාසයක් මෙන්ම තවත් කතන්දරයක් තිබේ.


තොරතුරු හෙලි වූයේ අහම්බයකින්

මේ පුද්ගල අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු හෙලි වූයේ අහම්බයකිනි. පුද්ගලයන් අතුරුදන් වීම සම්බන්ධයෙන් එම දිනවලදීම පොලිස් පැමිණිළි ලැබී තිබුණද ඊට සම්බන්ධ කිසිදු තොරතුරක් සොයා ගැනිමට පොලීසිය සමත්ව තිබුණේ නැත. මෙම පුද්ගලයන් 11 අතරින් පුද්ගලන් 5 දෙනකු පැහැර ගැනීමට ලක්ව තිබුණේ 2008 වසරේ අගෝස්තු මාසයේ 17 වන දින වන අතර අනෙකුත් පුද්ගලයන් 6 දෙනා ඊට පසුව ඒ ආසන්න දිනවලදී පැහැර ගැනිමට ලක්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් කොටහේන හා කො‍ටුව පොලිසිවල පැමිණිලි කිරීමද එම ඥාතින් විසින් සිදු කර තිබිණි.

මේ අතරේදී එවකට හිටපු නාවික හමුදාපතිව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් තමන්ගේ පුද්ගලික ආරක්ෂකයා හෝ සහකාර නිළධරියාව සේවය කළ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් නේවී සම්පත් යන අය ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් 2009 මැයි 28 වන දින සිදු කර තිබිණි.

ෆොන්සේකාගෙ මැදිහත් වීම

කෙසේ නමුත් නාවික හමුදා පතිවරයාගේ චෝදනාව කවරක් වූවත් ඒ වන විට මෙම සම්පත් මුණසිංහ, නාවික හමුදාපතිවරයා සමඟ වන පෞද්ගලික ආරවුලක් මත නාවික හමුදාවෙන් පලා ගොස් සැඟව සිටි බව අප්‍රසිද්ධ කරුණක් වුවත් එම නිලධාරී තලයට ඒ රහසක් නොවීය. තමන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙන බව දැනගත් සම්පත් මුණසිංහ එවකට සිටි හමුදාපති සරත් ෆොන්සෙකා මහතා හමුවී නාවික හමුදාපතිවරයාට එරෙහිව චෝදනා ‍රැසක් එල්ල කර තිබේ. ඒ අතර ෆොන්සෙකා මහතා ඇතුළුව ප්‍රභූන් ‍රැසක් ඝාතනය කිරීම සඳහා නාවික හමුදාපතිවරයා කුමන්ත්‍රණය කර බවත් තමා ඊට එකඟ නොවීම නිසා නාවික හමුදාපති තමාට මෙලෙස චෝදනා කරන බව මෙහිදී පවසා ඇත. නාවික හමුදාපතිවරයා හා යුධ හමුදාපතිවරයා අතර පවතින නයි මුගටි පන්නයේ පෞද්ගලික ගැ‍ටුම දඩමීමා කරගෙන විශේෂ ආරක්ෂාවක් ෆොන්සෙකා මහතාගෙන් සම්පත් බලාපොරොතු වීම ඊට හේතුවව තිබිණි.

එහෙත් ඔහු එල්ල කරන චෝදනා බරපතලවීම නිසා ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාබය රාජපක්ෂ මහතාට ඒ බව දනුම් දී තිබූ අතර පසුව එම තොරතුරු වල සැකසහිත භාවය හේතුවෙන් සම්පත් මුණසිංහව එම 2009 වසරේ ජුනි 08 වන දින යුධ හමුදා බුද්ධි අංශ වෙතට පත් කරන ලදී. පසුව එම විමර්ශන කටයුතු වැඩි දුරටත් කරගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන ලදී. ඒ අනුව සම්පත්ව අත් අඩංගුවට ගැනීම සිදුකරන ලදි. ඔහු සම්බන්ධ විමර්ශන කටයුතු වෙනුවෙන් ඔහුව රඳවා ගැනිමේ නියෝග මත තබා ගන්නා ලදි. එම නියෝගයන්ට අත්සන් තබා තිබුණේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.


මාධ්‍ය පතුරන බොරු

මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනාව (එවකට කපිතාන්) කොමදෝරු දසනායක පිට පටවා ඔහුව අත් අඩංගුවට ගැනීම සම්ධන්යෙන් රාජපක්ෂවාදීන් වෙතින් විශාල විවේචනයක් එල්ල වීම සිදුවන විට , මෙම පරීෂණ අරම්බ කළේ ගොඨාබය රාජපක්ෂ බවට මතය රටට දීමට රහස් පොලීසියට අවශ්‍ය වූ අතර රහස් පොලිසිය හා බැඳී කටයුතු කරන මාධ්‍ය හරහා එම පණිවිඩය සමාජ ගත කරන ලදී..එහෙත් ගොඨාබය ආරම්බ කළෙ පුද්ගලයන් අතුරුදන් කිරීම ගැන පරීෂණයක් නොව සම්පත් මුණසිංහ කිව් ඝාතන කතන්දරය ගැනය. ඒ සත්‍යය රහස් පොලීසියේ වුවමනාව මත මාධ්‍ය විසින් වසන් කරන ලදී.

පුද්ගලයන් අතුරුදන් කළ බවට සැකය ඇති වීම

මේ අතර තුරදී සම්පත් මුණසිංහගේ පලා යාමෙන් සතියකට පසුව ඔහුගේ කාර්යාල කාමරය නාවික හමුදා විනයාරක්ෂක බලකාය විසින් පරික්ෂාවට ලක් කරන ලදී. එහිදී නාවික හමුදාව පාවිච්චි නොකරන වර්ගයේ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් සහිතව උණ්ඩ 500කට අසන්න ප්‍රමාණයක් හසුවිය. ඒ අතර ජාතික හැඳුනුම්පත් ,ගුවන් ගමන් බලපත්‍ර, බැංකු ගිණුම් පොත් , මිලියන් කිහිපයක වටිනා කමින් යුත් චෙක්පත් ආදි ද විය. එමෙන්ම ඔහුගේ වැ‍ටුපට නොවන තරම් අධි සුඛෝපභෝගි ජීවිතයක් ගත කර තිබෙන බවට වන තොරතුරු රැසක්ද නීරීක්ෂණය වී තිබිණි.

මෙම හැඳුනුම්පත් කවරෙකුද යන්න ගැන පරික්ෂා කිරීමේදී. 2008 වසරේදී පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයන්ගේ බව හෙලි විය. ඒ අනුව වන විමර්ශන වලදී දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයන් 5 දෙනෙකු ඔවුන්ගේ මෝටර් රථය සමගම පැහැර ගැනිමට ලක් කර තිබුණු බව හෙළි විය.

වගකිව යුත්තා නේවී සම්පත් බව රහස් පොලීසිය සොයා ගනී

මෙලෙස පැහැර ගැනිමට ලක්වූවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට කෝටි ගනනින් කප්පම් ඉල්ලා තිබූ බවට ඊට සම්බන්ධ වු නිලධාරීන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුනා ගන්නා ලදී. එමෙන්ම මෙම සම්පත් මුණසිංහ මෙම පැහැර ගැනිම් සම්බන්ධයෙන් මහ මොලකරුවා වන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා 2015 ජුනි 23 ( යහපාලන ආණ්ඩු සමයේදී) මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හා මාධ්‍ය වෙතද ප්‍රකාශ කර තිබිණි. මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් බවද පොලිස් ප්‍රධානීයා මෙහිදී පැවසීය.(එහෙත් සම්පත් මුණසිංහ අධිකරණයෙන් ඇපා ලබා නිදැල්ලේ පසුවේ. සම්පත්ගේ නියෝග මත කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකුද අත් අඩංගුවට ද පත් නොවී නිදැල්ලේ සිටී. චුදිතයන් වූ ඇතැමුන්ට නාවික හමුදාවේන් උසස්වීමද ලබා දී තිබේ.)

පිට්‍ටු බම්බුවෙන් ගන්සයිඩ් දක්වා

කෙසේ නමුත් මෙලෙස පැහැර ගැනිමට ලක් කළ මෙම පිරිස 2008 අගෝස්තු මාසයේ පැහැරගෙන ගොස් 2009 මාර්තු මාසය දක්වා කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා මුලස්ථානයේ පිට්‍ටු බම්බුව නමින් හඳුන්වන ගොඩනැගිල්ලේ දෙවන තට්‍ටුව තුල වන කාමරයක් තුලත් 2009 අප්‍රෙල් මාසයේ සිට එම වසරේ ජුනි මාසය දක්වා ත්‍රිකුණාමලයේ නාවිකහමුද කඳවුරේ ගන්සයිඩ් නම් භූගත සිර මැදිරියේද රඳවා තබාගෙන තිබේ. මෙම සිර මැදිරිය ඇතැමුන් ගෝඨා කැම්ප් ලෙසද හඳුන්වනු ලබයි.

කෙසේ නමුත් 2009 වසරේ ජුනි මාසයෙන් පසුව මෙම පුද්ගලයන් පිරිසට සිදුවුයේ කුමක්ද යන්න ගැන තවමත් විමර්ශන අවසන් නැත. නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව කොළඹ නාවික හමුදා කඳවුරේදීම පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනය කර තිබේ. ඉන් පසුව ඉතුරු පිරිස ත්‍රිකුණාමලයට ගෙන ගොස් ඝාතන කර ඇතැයි සැලකේ. මෙම කඳවුර එක්සත් ජාතීන්ගේ විමර්ශනයට ලක් වූ අවස්ථාවේදී මිනිස් ඇට කැබිලිති කිහිපයක් මෙම සිර මැදිරිය තුල තිබී හමුවු අතර ඔවුන්ගේ නිරීක්ෂණය අනුව එම ස්ථානයේ විශාල පිරිසක් ඝාතනය කර ඇති බව පැවැසිනි.


සියලු සැක කරුවන් හඳුනාගෙන අවසන්

මේවන විට මෙම විමර්ශන කටයුතුවල ප්‍රතිපල අනුව චූදිතයන් හඳුනාගැනීම සිදුකර තිබේ. සම්පත් මුණසිංහගේ නියොග මත පුද්ගලයන් පැහැර ගත් බවත් කප්පම් ඉල්ලූබවත්, ත්‍රිකුණාමලය සිර මැදිරියට ගෙන ගිය බවත් එම සිරමැදිරිය බාරව සිටි සහ පුද්ගලයන් අතුරුදන් කිරීමට වගකිව යුතු සම්පත්ගේ අධික්ෂණයට යටතේ සිටි විශේෂ බුද්ධි අංශයේ නිලධාරීන් සියලු දෙනාවද මේවන විට හදුනාගෙන අවසන්ය.

වෙලගෙදර වෙනුවෙන් පළිගැනීම

එහෙත් මෙම විමර්ශනයන් හීදී ලුතිනන් කමන්ඩර් ක්‍රිශාන්ත වෙලගෙදර නැමැත්තා විසින් ලබා දී තිබෙන සාක්ෂියක් මත මෙම විමර්ශන කටයුතු අනෙක් අතකට යොමුව පවතී. වෙලගෙදර එවකට ත්‍රිකුණාමලය සිරකඳවුර බාරව සිටි ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහගේ දෙවැනිය ලෙස කටයුතු කළ අයෙකි. ඔහු කළ ප්‍රකාශය අනුව මෙම ත්‍රිකුණාමලයේ භුගත සිර මැදිරිය බාරව සිටි ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ යන අයගේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශය කපිතාන් ඩී කේපී දසනායකය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම සිදුවීමේ ප්‍රධාන වගකිව යුත්තා දසනායක බවට චෝදනාවක් ගොනු කරන්නේ එම ප්‍රකාශය අනුවය.

සාක්ෂි කරුවන් 72 ක්

මෙම සිදුවීමට අදාලව නාවික හමුදා සාමාජිකයන් 72 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණද ලුතිනන් කමන්ඩර් රණසිංහගේ අධීක්ෂණ නිලධාරියා කපිතාන් දසනායක බව සඳහන් කොට තිබෙන්නේ ක්‍රිශාන්ත වෙලගෙදර පමණය. ක්‍රිශාන්තගේ ප්‍රකාශය අනුව සෙසු සාක්ෂිකරුවන්ගෙන් කපිතාන් දිසනායක ත්‍රිකුණාමලය සිරමැදිරිය අධීක්ෂනණය කළේද යන්න විශේෂයෙන් විමසීමද සිදුව තිබිණි. එහෙත් දසනායක මෙම කඳවුරෙහි අධීක්ෂණ නිලධාරියාව කටයුතු කර නොමැති බව තහවුරු වී ඇත.

කපිතාන් දිසානායක මෙම පුද්ගල පැහැර ගැනිම සිදුවන කාලයේ දසනායක හිටියේ හවායි හී මෙහෙයුමකට සහභාගී වීමට සුදානමිනි. ඉන් පසුව ඔහු 2008 දෙසැම්බරයේ 'සාගරික විශේෂ බලකාය' අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීම ලැබ මුලතිව් ප්‍රදේශයෙ සේවය කළේය. නාවික හමුදා සාගරික විශේෂ බලකාය ( කුඩා ප්‍රහාරක නෞකා වලින් සමන්විත ප්‍රහාරක බල ඇණිය හා ගොඩබිම් මෙහෙයුම ) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදී යුද්ධයේ අවසන් දින කිහිපයේදී නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව නාවික මෙහෙයුම් ඔහුගේ අණදීම අනුව සිදුවිය.

මෙම 'සාගරික විශේෂ බලකාය' හා නාවික හමුදා ' බුද්ධි අංශයේ විශේෂ බලකාය' පටලවා මාධ්‍ය වාර්ථා පළකරමින් දසනායකව චූදිතයෙක් ලෙස හංවඩු ගැසීමට ද පෙර කිව් ගවේෂණාත්මක මාධ්‍යෙව්දින් උත්සහ ගන්නා ආකාරය ද පෙනෙන්නට තිබේ. බුද්ධි අංශ විශේෂ බලකායේ ප්‍රධානියා ලෙස ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ කටයුතු කළ අතර ඔහුගේ දෙවැනි ලෙස කෙටි කලක් ක්‍රිශාන්ත වෙලගෙදර කටයුතු කරනු ලැබූවේය. ඔවුන්ගේ අධීක්ෂණ නිලධාරියා වූයේ වෙනත් නිලධාරියෙකි.කෙසේ නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව දසනායක නාවික හමුදා විනයාරක්ෂකාදිපති ( නාවික හමුදා පොලිසිය) ලෙස කටයුතු කරනු ලැබීය.


වෙලගෙදර - දසනායක ගැ‍ටුම

ක්‍රිශාන්ත වෙලගෙදර නම් නිලධාරියා හා දසනායක නම් නිලධාරියා තර ඇති විරසකය ඇතිවන්නෙ දහනායක විනයාරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන කාලයේදීය . ක්‍රිශාන්ත වෙලගෙදර යනු නාවික හමුදාව තුලදි විශාල චෝදනා රැසකට ලක් වුවෙකි. මේවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නිසි විමරශනයක් නොකර මඟ හැර තිබෙන 'මිනිස් ජාවාරම' සම්බන්ධයෙන් චෝදනා ලබන එක් ප්‍රධානියකු වන්නේ මේ වෙලගෙදර නැමැත්තාය.

මේ 2012 -2013 කලය තුලදී මිනිස් ජාවාරමට සම්බන්ධ නැවියන් කිහිප දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් වන අතර තවත් නැවියන් කිහිප දෙනෙකු සම්බන්දධයෙන් චෝදනා එල්ල විය. පොලිසියේ දැනුමදීම මත මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළේ දසනායකය. එහිදී පැහැදිලිවල ක්‍රිශාන්ත වෙලගේදර ඇතුලු කණ්ඩායමක් මෙම මිනිස් ජාවාරමට හවුල් බවට තොරතුරු අනාවරණය විය. ලබා ගත් මුදල් ගැනද සක්ෂි ලැබී තිබිණි.

මෙරටට අන්තර් ජාතික වශයෙන් විශාල අපකීර්තියක් ගෙන දුන් මෙම මිනිස් ජාවාරම නාවික හමුදා ඉතිහාසයේ ලොකු කළු පැල්ලමකි. විශේෂයෙන්ම මෙම මිනිස් ජාවාරම බහුලව සිදු වූයේ 2012 වසරේදීය. එම මාසයේදී මෙරටින් බොට්‍ටු 123 හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට සරණාගතයන් ලෙස මෙරට පුද්ගලයන් රැගෙන ගොස් තිබේ. නමුත් ඊට පෙර වසරෙදී වාර්තා වී තිබුනේ අවස්ථා 2ක් පමණි. ඉන් එක් බො‍ටුවක් අත් අඩංගුවට ගෙනද තිබිනි. 2012 වසරේදී බෝට්‍ටු 62ක් අත් අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්ව තිබිනි.

නමුත් එම අත් අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවේ නාවික හමුදාවේ 'බුද්ධි අංශයේ විශේෂ බලකාය' විසින් නොව.. විනයාරක්ෂකාධිපති කපිතාන් දසනායකය. මන්ද ඒවන විට මෙම ගැටලුව නිසා එය විසඳා ගැනිම වෙනුවෙන් නාවික හමුදාපතිවරයා විසින් විශේෂ රාජකාරියක් ලෙස ඒ ඔහුට පවරා තිබිමය.

රාජපක්ෂවරු වෙලගෙදර රකියි

මේ අතර 2013 සැප්තැම්බර් 10 වන දින ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද සරණාගත යාත‍්‍රාවක නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සංජීව අන්නකුගොඩ ඇතුළු ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් සිවුදෙනකු සිටි බව AFP පුවත් සේවය මුළු ලොවටම වාර්තා කර සිටියේය. නාවික හමුදාවේත් යුද හමුදාවේත් ඉහළම නිලයන් මේ මිනිස් ජාවාරමට සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ඒ අනුව ලොවටම හෙළි විය. එවකට බුද්ධි අංශයේ විශේෂ බලකා ප්‍රධානී- ක‍්‍රිෂාන්ත වෙලගෙදර, අධ්‍යක්‍ෂ නාවික බුද්ධි -නිශාන්ත උඩුවේතැන්න, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා (අධ්‍යක්‍ෂ ජනරාල් නාවික මෙහෙයුම්), ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් හෙන්දාවිතාරණ මිනිස් ජාවාරමට සම්බන්ධ වූ ප‍්‍රධාන පෙළේ නිලයන් බවට චෝදනා එල්ල විය. මේ සියලූ දෙනාම ක‍්‍රියාත්මක වූයේ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා යටතේය. සේනාධි නායකයා යටතේය.

නමුත් විනයාරක්ෂකාධිපතිවරයා විසින් සිදු කරමින් සිටි එම විමර්ශන කටයුතු එවකට ආරක්ෂක අමාතයංශයේ ලේකම්වරයාගෙන්, ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් හෙන්දාවිතාරණ ගෙන් එල්ල වූ බලපෑම හමුවේ අත් හැර දමනු ලැබීය. ඒ කෙසේ නමුත් මේ වන විට දැන ගැනීමට තිබෙන පරිදි වෙලගෙදර එදා මිනිස් ජාවාරම සිදු කළේ අහවලුන් යැයිද ඔවුන්ගේ බලපෑම මත තමන්ට ඒ සිදු කිරීමට සිදුවු බවද කියමින් එම සිදුවීමේ ද සාක්ෂිකරුවකු වී සිටී.

මේ අතර මෙම මිනිස් ජාවාරමට දසනායක හවුල් බවට අසත්‍ය තොරතුරු රහස් පොලීසියේ සම්බන්ධතා මාර්ගයෙන් මාධ්‍යට ලබා දිමද පසුගිය වකවානුවේදි සිදුව තිබිණි. කලින් කී වර්ගයේ .ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මේවාද පත්තර පිටු පුරා දිගෙලි කර තිබිණි. එහෙත් මෙම සම්බන්ධ විමර්ශන කටයුතු මේවන විට සිදු නොවේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව නිසි පරීක්ෂණයක් සිදු වේ නම් වෙලගෙදරලාගේ ඇත්ත රටට හෙළි වනු ඇත.

වෙලගෙදර හා රන් ආභරණ

පුද්ගල අ‍තුරුදන් කිරීම සම්බන්ධයෙන් දසනායක වගකිව යුතු බවට වෙලගෙදර ප්‍රකාශය ලබා දී තිබුණේ 2013 වසරේ ජුනි මාසයට ප්‍රථම බව පොලිස් බී වාර්තාවල දක්වෙන නමුත් කපිතාන් දසනායකගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරන්නේ 2015 වසරේ පෙබරවාරී මාසයේදීය. ඒ වන විට ඔහු පාඨමාලාවක් සඳහා අමරිකාවට ගොස් සිටි අතර ප්‍රකාශයක් සටහන් කළ යුතු බවට දැනුම් දීම මත දින දෙකක් ඇතුලත ඔහු මෙරටට පැමිණියෙය. නමුත් ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමේන් අනතුරුව ඔහුට යළි විදේශ ගත වීම අත් හි‍ටුවනු ලැබීය.

මේ සිදුවීම මාලාව වන විට ක්‍රිශාන්ත වෙලගෙදර නාවික හමුදාවට නොදන්වා පෞද්ගලික චාරිකාවක් සඳහා විදේශ ගතවීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන යුධ අධිකරණය විසින් සිරගත කිරීමද සිදුව තිබිණි. එහෙත් ඊට එරෙහිව රාජපක්ෂවරු කෑකෝ ගසන්නට පටන් ගැනීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත් වීම මත ඔහුව නිදහස් කිරීමද සිදු කෙරිනි.

එදා වෙලගෙදර වෙනුවෙන් රාජපක්ෂලාගේ කෑ ගැසීමට හේතුව ඔහු හා එම පවුල අතර වූ සමීප සම්බන්ධයය. විශේෂයෙන් එම ආර්යාව හා තිබූ සම්බන්ධය වැදගත් වී තිබිණි. වෙලගෙදර එල්ලවූ තවත් බරපතල චෝදනාවක්ව තිබෙන්නේ උතුරේ අවතැන්වූවන්ගේ මුදල් හා රන් ආභරණ කොල්ල කෑමේ චෝදනාවය. ඒ සම්බන්ධයෙන් දරුස්මාන් වාර්තාවේද තොරතුරු ඇත..

එසේම මොහු එල්ටීටීඊ සංවිධානය සතුව තිබි අල්ලා ගන්නා ලද අවි ආයුධ තොගයක් වෙනත් පුද්ගලයන් අතට පත් කිරීම සම්බන්ධයෙන්, උතුරෙ නිවෙස් වල තිබු විදුලි උපකරණ කොල්ල කා වෙනත් පුද්ගලයන්ට ලබා දිම ආදී චෝදනා රැසක් එල්ල වී නාවික හමුදාවේ විමර්ශන වලදී ඒ ඔප්පු වී දඩුවම් නියමව තිබුණද එවකට රාජපක්ෂවරුන් හා පැවැති සමීප සම්බන්ධතාවය හෙතුවෙන් ඔහු කිසිදු දන්ඩනයකට යටත් වූයේ නැත.

වෙලගෙදර රණ විරුවකු වීම

එහෙත් මෙම නිලධාරියා වත්මන් යහපාලන ආණ්ඩුවේද කෙරුමෙක් වී සිටී.. ඔහුව ජනාධිපති මෛත්‍රී විසින් අත් අඩංගුවෙන්ද නිදහස් කළේ ඔහුව රණ විරුවෙකු ලෙස අභිෂේක කරමිනි. දැන් වෙලගෙදර යහපාලන ආණ්ඩුව චූන් කරමින් සිටී. පුද්ගලයන් අතරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වෙලගෙදර රජයේ සාක්ෂිකරුවකු වීම යහපාලන ආණ්ඩුවට සතුටින් සිටීමට හේතුවක් ව තිබේ.

වෙලගෙදර ගේ පරණ විරසකයට අනුව දසනායකට කිසි වගවිභාගයක් නොමැතිව දඬුවම් කිරීමට හැකිව තිබීමට තවත් හේතුවක්ව ඇත්තේ මෙම විමර්ශන කටයුතු මෙහෙයවන ඉහළ පොලිස් නිළධාරියකු මොහුගේ පාසල් වියේ මිතුරකු වීමය. එමෙන්ම එදා මිනිස් ජාවාරමට සම්බන්ධව කටයුතු කළ ඉහල පොලිස් නිළධාරියකු වත්මනෙහි ද පොලිසියේ ඉහළ තලයක සිටින නිසා වෙලගෙදරට සුරක්ෂාව ලැබී තිබෙන බව දන්නො දනිති.


දිසනායකගෙ කට වැසීම

කෙසේ නමුත් දිසානායක මහතා විසින් අපරධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත කරන ප්‍රකාශය හෝ එහි කොටසක් හෝ අධිකරණය හමුවට පත් කෙරුනේ නැත. ඔහුට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමේ අවස්ථාවද පසුගිය කාලය පුරාම අහිමි කරන ලද අතර පසුගියදා ඔහු නිතිඥයකු මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අතපසු වූ විදේශ පාටඨමාලාව හැදැරීමට යාමේ අවස්ථාව ඉල්ලා සිටියෙය...ඒ වන විටත් ඔහු නඩුවේ සැකකරුවෙකු නොවීය. රහස් පොලීස්ය කලබල වී ඔහුව සැකකරුවකු කොට අත් අඩංගුවට ගැනීමට කටයුතු සකස් කළෙ ඉන් පසුවය.

ෙඒ අනුව නඩු විභාගයක් නොමැතිව සතුරු පාර්ශ්ව විසින් ඔහුව දඬුවමකට ලක් කර තිබේ. මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධ මෙහි ප්‍රධාන වගඋත්තර කරු සම්පත් මුණසිංහ ඇප පිට සිටින අතර මෙම පැහැර ගැනීම සිදු කළ බවට සාක්ෂි ගනනාවක් මඟින් ඔප්පු වී තිබෙන අනෙක් වගකිව යුත්තා වන හෙට්ටිආරච්චි නම් නිලධාරියා අත් අඩංගුවට ගැනීමක් හෝ සිදුව නැත. හෙට්ටිආරච්චි අත් අඩංගුවට ගැනීම සිදු නොකිරීම ගැන ගවේශනාත්මක මාධ්‍යවේදීන් ද නිහඬය.( මන්ද රහස් පොලීසියෙන් තවම ඒ ගැන මොවුන්ට දැනුම් දීමක් සිදු කර නොමැති බැවිනි)


මාධ්‍ය - රහස් පොලිස් සෙල්ලම

කෙසේ නමුත් පසුගිය 11 වනදා දසනායක මෙම නඩුවේ සැක කරුවකු ලෙස නම් කරනු ලැබ ඔහුව අත් අඩංගුවට ගැනීම සිදු කරන ලදී. මෙම අත් අඩංගුවට ගැනීම නීතිපතිවරයාගේ නිර්දේශ නොතකා සිදු කළ එකක් වන අතරම මේ සම්බන්ධයෙන් බරපතල විවෙච්න එල්ලවන බව රහස් පොලීසිය කල් තියාම දැන ගෙන සිටියේය..ඒ සමනය කර ගැනීම වෙනුවෙන් රහස් පොලීසිය සුපුරුදු මාධ්‍ය මෙහෙයුම ආරම්බ කළේය.. මීට අසන්නතම හා අපූර්වතම උදාහරණය පසුගිය ජූලී 9 වන දින සති අන්ත පුවත් පත් කිහිපයක පලවූ ලිපි ය. ජුලි 09 යනු ඉරිදා දිනයකි. මෙම පුවත් පත් වෙළඳ පොළට නිකුත් වන්නේ 08 වනදාය. පුවත් පත් මුද්‍රණයට යවන්නෙ 07 වනදා වන අතර ඇතුලු පිටු ලිපි ලේඛන 6 වන දින හෝ ඊට පෙර සකස් කරනු ලබයි..ඒ අනුව දසනායක ඉලක්ක කර ගනිමින වන එම ලිපි ලියා ඇත්තේ 6 වන දින හෝ ඊට පෙරය.. දසනායක මෙම නඩුවේ සැකකරුවකු කරන්නෙ 11 වන දිනය. එහෙත් හදිස්සියේම මෙම ලියුම්කරුවන් මෙම ලිපි මඟින් සියලු චෝදනා දසනායක මත පටවා ඔහුව වරදකරු කර තිබේ...ඒ කෙසේද? ( මේ සෙල්ලමට වෙබ් අඩවි කිහිපයකුත් හවුල්ය) ඒ ඒසේ වීම ලේඛකයාගේ නොමෙරූකම නොදන්නා කම නොවේ. මේ සැලසුම් සහගතව සිදු කෙරුණක් නිසාය. රහස් පොලීසියේ ඉල්ලිම මත ඔවුන්ට අවනත මාධ්‍ය අයතන විසින් ඊට සරිලන ලියුම්කරුවකු යොදාගෙන මේ කටයුත්ත සිදුකර ඇති බව පැහැදිලිය. මේ රහස් පොලීසියේ මාධ්‍ය සෙල්ලමට ආසන්නතම එක උදාහරණයක් පමණි. එමෙන්ම මීට සමගාමීව පැවැති උද්ඝෝෂණ මාධ්‍ය හමු ඒ අදාල පුද්ගලයන්ගෙන් බාහිර පිරිසක විසින් හදිසියේම සංවිධානය කෙරුණ ඒවා බවත් සොයා ගත හැකිය. ( නැවත අවධාරණය කරන්නෙ අගතියට පත් පිරිසට සාධාරණය යුක්තිය ඉ‍ටු විය යුතු බවය. ඒ වෙනුවෙන් අරගල කිරීම විය යුතුය. එහෙත් ගැටලුව තිබෙන්නේ සාධාරණයෙහි යුක්තියෙහි වුවමනාව සහිත මිනිස්සුන්ව වෙනත් සටකපට ව්‍යාපෘති වලට දැක්කීමේ තක්කඩි වැඩ ගැනය)


පොලිසියේ දඬුවම් ක්‍රමය

කිසිවකුගෙන් හෝ පලිගන්න අව්‍යශ්‍ය වූ විට නීත්‍යනුකූලවම ඒ ඉටුකර ගැනීමට අධිකරණය හසුරුවා ගැනීමට අව්‍යශ්‍ය ආකාරය පොලිසිය පලපුරුද්දෙන් දන්නා කරුණකි. මෙම පුද්ගල අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලවම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා බොහොමයක් සංස්කරණය කරන ලද තොරතුරු වලින් යුක්තය. නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරන ලද නඩුවක් විභාග නොවනතාක් පොලිසියට විමර්ශන අවශ්‍යතාවය මතු කර පලිගැනීම් සාධාරණීයකරනයට අවශ්‍ය ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරගැනීම පහසුවෙන් කළ හැකිය. අධිකරණය නියෝග දෙන්නේ මේ සාක්ෂි අනුවය. එම නියෝගය වෙන්නෙ විමර්ශන අවශ්‍යතාවයක් වුවත් පොලීසිය මාධ්‍ය හරහා සැකකරුවන් වැරදිකරුවන් කිරීමට මෙම අධිකරණය නියෝග ප්‍රමාණවත්ය. කෙතරම් නිවැරදි පුද්ගලයකු වුව මාධ්‍යය මඟින් වැරැදිකරුවකු කළ විට සිදුවන හානිය යළි ආපසු හැරවීම සිදුකිරීම පහසු නැත. ඒ වන විටත් සිදුවිය හැකි සියළු විනාශයන් සිදුවී හමාර වන්නටද ඉඩ තිබේ.

රහස් පොලිසිය විසින් අක්ෂර සංයෝජනය ද සිදුකර දෙන වාර්තාවන් එලෙසම පත්තර වල වෙබ් අඩවි වල පළ කර මහා ගවේශනාත්මක මාධ්‍යවේදීන් ,ජනතා හිතවාදී මාධ්‍යවේදීන් වන පොරවල් ( මේ අය තමන් විසින්ම තමන් එහෙම පොරවල් බව ද කියමින් සිටී) මේ විනාශයට වග කියන්නේ නැත.

අනුර කුමාර ඇන ගැනීම

මාධ්‍යට අමතරව රහස් පොලීසිය විසින් දේශපාලකයන්ව ද ඇන්දවීම සිදුකරන බවට උදාහරණයක් ලෙස මෙම සිදු වීමට අදාලවම ජවිපෙ නායක අනුර දිසානායක විසින් පසුගිය මාරතු 22 වන දා පාර්ලිමේන්තුවේදි කරන ලද ප්‍රකාශයක් අනුව පෙන්වා දිය හැකිය.

එනම් මෙහිදී දිසානායක මහතා බරපතල චොදනාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ එජනිස පත් කළ මන්ත්‍රී මලිත් ජයතිලක මහතා මෙම පුද්ගලයන් අතුරුදන් කිරීමට සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙන නාවික හමුදා නිලධාරීන් නිදහස් කරන ලෙස පොලිස්පතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ප්‍රධානියකුටත් තර්ජනය කරමින් බලපෑම් එල්ල කර තිබෙන බවය. ඒ මොහොතේ මලික් ජයතිලක මහතා පාර්ලිමේන්තුව තුල නොසිටි නමුත් ඊට පසු දින ඔහු මේ චෝදනාව සම්බන්ධයෙන් පිලිතුරක් පාර්ලිමේන්තුව හමුවේ දුන්නෙය. ඒ අනුව දිසානායක මහතා කර ඇත්තේ අසත්‍ය චොදනාවකි. තමන් පොලිස්පතිවරයාව මුණ ගැනුනේ පුද්ගලයන් 11 දෙනාගේ ඝාතකයන් නිදහස් කිරීම ගැන කතා කරන්නට නොව, එම සිදු වීමට ඊයේ පෙරේදා ඈඳගෙන සිටින ඊට කිසිසේත්ම සම්බන්ධ නැති ලුතිනන් කමාන්ඩර් අනිල් ධම්මික මාපා ගැන කතා කරනට බවය. මපා නම් නිලධාරියා හා මෙම පුද්ගල අතුරුදන් කිරීම  එකිනෙක සම්බන්ධ කිරීමේ අලුත් කතන්දර රහස් පොලීසිය විසින් සැකසූවක් වන අතර ඊට සම්බන්ධ තොරතුරු වාර්තාවක් හිතවත් මාධ්‍ය වෙතද එම දිනවල ලබා දි තිබිණි. දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශය කළෙ එම වාර්තාවේ තොරතුරුය.

කැලී 72 වැන් රථය

වසර 9 ක් මුලුල්ලේ , මේ කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම සිදුවීම ගැන විමර්ශනය කරමින් සිටියද ඒ කිසිදු සාක්ෂියක මාපා මෙම සිදුවීම හා සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධව සිටි බවට සාක්ෂි තිබුනේ නැත. ඔහු එවකට කොළඹ බුද්ධි අංශයේ නිලධරයෙකි. මාපා නම් නිලධාරියාගේ නම මීට ඈඳී තිබුනේ මැතකදීය. මාපා සම්බන්ධයෙන් වෙනත් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සිදු කරමින් තිබේ. ඒ වැලිසර නාවික හමුදා කඳවුරෙහි කොටස් 72 කට කැබිලි කර තිබූ වෑන් රථයක් සම්බන්ධයෙනි. එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුද අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් දෙදෙනාද අතුරුදන් බවට සැලකේ. ඒ එල්ටීටීඊ සංවිධානයට අයත් බවට සැකකර අත් අඩංගුවට ගන්න ලද රථයකි.

එම රථය පුද්ගලයන් 11 දෙනා පැහැර ගැනීමට සම්බන්ධයක් තිබෙන බව පොලිසිය කියුවද එහෙත් පිලිගත හැකී සාක්ෂියක් ඉදිරිපත්ව නැත. කෙසේ නමුත් මේ නිලධාරියා දැන් ඉන්නෙ අත් අඩංගුවෙය. නාවික හමුදා තොරතුරු මාර්ග අනුව එම වෑන් රථයෙහි පුපුරන ද්‍රවය තිබුණු බවට සැකය මත ඒ කැබලි කර පරීක්ෂා කර ඇත. ඒ කප්පම් ගැනීම සඳහා කළ අත් අඩංගුවට ගැනීමක් බවට කිසිදු සාක්ෂියක් ලැබී නැත. එමෙන්ම වෑන් රථය කැබලි 72 කර එහි කොටස් කඳවුරෙන් ඉවත් කොට විකුණා ඇති බවට ද චෝදනවක් එල්ල වූවද එම ටොයටා ආයතනයේ කාර්මික ශිල්පීන් ඒ නැවත සකසා එහි කිසිදු කොටසක් අඩු නැති බව පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම චෝදනාවද අර්ථ විරහිතව ඇත. එමෙන්ම පුද්ගලයන් 5 දෙනෙකු සමඟ පැහැර ගැනීමට ලක්වුනු මෝටර් රථය දසනායක මහතා විසින් සිය බිරිඳගේ උපන් දිනය සඳහා තෑග්ගක් ලෙස ලබා දුන් බවටද පුවතක් ප්‍රචාරය කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඇත්තේද නැත. එම මොටර් රථය ත්‍රිකුනාමලය නාවික කඳවුරේ තිබි අසු විය.


නේවී සම්පත්ව නිදහස් කිරීමේ වෑයමක්

මේ අතර මෙම සිදුවීමෙහි ප්‍රධාන චුදිතයාව සිටින සම්පත් මුණසිංහ යන අයව මේ චෝදනාවෙන් නිදහස් කිරීම සඳහා යම් සැලසුමක් ක්‍රියාත්මක වනවාද යන්න ගැනද සැකයට තුඩුව ඇත. මන්ද පසුගියදා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් අනුව මුණසිංහ මේ සිදු වීමට සම්බන්ධ නැත. එය ඔහුට එරෙහිව වෙනත් නිලධාරීයකු ගොතපු බොරුවකි.

එසේම ඇතැම් තොරතුරු මාර්ග පවසන්නේ සම්පත් මුණසිංහ රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවය. රජයේ සාක්ෂි කරුවකුවීම දඬුවමින් ගැලවෙ සිටීමේ උපක්‍රමයකි. එමෙන්ම රජයේ වරප්‍රසාද ලැබීමේ ද සාර්තක ක්‍රමයකි.

කෙසේ නමුත් විකෘති තොරතුරු වේවා සත්‍ය තොරතුරු හෝ වෙවා සංවේදී විමර්ශන තොරතුරු මාධ්‍යට ට දේශපාලන පක්ෂ වලට ලබාදී එතැනින් තීන්දු ජනතාවට ලබා දීම වියයුතු දෙයක් නොවේ. මන්ද එම තොරතුරු වලින් වැරදි කරුවා නිවැරදි කරුවා තීන්දු කිරීම අධිකරණය මඟින් සිදු කිරීම වියයුතු බැවිනි. එය පිළිගත් සමාජ සම්මුතියය. මාධ්‍යට හෝ දේශපාලකයකුට ඒ තීන්දු කිරීමේ හැකියාවක් නැත. එම නිසා ඉතා පැහැදිලිව සඳහන් කළ යුතු කරුණ නම් මෙලෙස තොරතුරු පිටමන් කරන්නේ යුක්තිසහගත වුවමනාවක් වෙනුවෙන් නොවන බවය.

නඩු නැත....

මේ තත්වය මත සැකයට භාජනය වන අනෙක් කරුණ නම් මේ සිදුවන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු පවත්වා යුක්තිය ඉ‍ටු කිරීම විය නොහැකි බවය. මන්ද ඇතැම් සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා තිබෙන සාක්ෂි ආදිය පිලිබද ඇති ගැටලුකාරිත්වය අනුව සාධාරණ නඩු විභාගයකදී විමර්ශන නිලධාරීන් විසින් සිදු කරනු ලබන නොමඟ යැවීම් ඔප්පු වීම විය හැකි බැවිනි. මේ නිසා බොහෝ සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉ‍ටු නොවී ඒ යටපත් වීමේ ඉඩ ඉතා අධිකය. විමර්ශන වෙනුවෙන් ලබා ගන්නා ඇතැම් අධිකරණ තින්දු මඟින් තමන්ගේ විරුද්ධ වාදියාව දින කිහිපයක් රිමාණ්ඩ් කර තැබීම නැත්නම් ඔහු හොරෙකු වංචාකාරයකු බව සමාජයට ඒත්තු ගැන්වීම , බියට පත් කිරීම , තමන්ගේ පැත්තට හරවා ගැනීම හෝ මිතුරන් බේරා ගැනීම වෙනුවෙන් පාවිච්චි වීම මේ රටේ ඉතිහාසය පුරා සිදුව තිබේ. අදත් සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

දේශපාලනමය හා පුද්ගලික එදිරිවාදිකම් මත විකෘති කරන ලද සාක්ෂි ලබාදීම හෝ අත්‍යවශ්‍ය සාක්ෂි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩු විභාගයක් පවත්වා සාධාරණ තින්දුවක් ලබා දිම සිදු කළ නොහැක. සැක සහිත තොරතුරු මඟින් විත්තිකරුවාට වාසියක් සැලසීම විනා වෙනකක් වන්නෙ නැත. එවිට පජාත වන්නේ පැමිණිලිකාර පාර්ශ්වයය. පොලිසිය ඒ කැත නම ගාවා ගැනීමට කැමැතිවන්නෙ ද නැති නිසා මෙම චෝදනා විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් වීම සිදුවනු ඇතැයි සැලකිය නොහැක. අද පොලිසිය හෝ අනෙක් විමර්ශන අංශ නීතිපතිවරයාට ලබා දී තිබෙන ලිපි ගොනු ගනන සියයට අධික බව කියැවේ. එහෙත් නඩු පැවරීම කර ඇත්තේ ඉතා තලොස්සක් වන සිදුවීම් සම්බන්ධයෙන් පමණි. බොහො විට නීතිපති දෙපාර්තමෙන්තුවත් මේ විමර්ශන තොරතුරුවල ඇති ව්‍යාකූලභාවය අනුව නඩු පැවැරීමේ නොහැකියාවෙන් පෙලෙනවාද විය හැකිය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් පොලිස් විමර්ශන අනුව පවරනු ලැබු නඩු කිහිපයකදීම ඔවුන්ම අර්බුදයට ගිය අවස්ථා කිහිපයක්ද වාර්තා වී තිබිනි.


රහස් පොලිසිය වැඩ කරන්නෙ කාටද?

පසුගිය 2016 වසරේ සැප්තැම්බර් මස 22 වන දින මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් වන පෙත්සමක් සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් කියැවුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොරු චෝදනා කර ඇති බවය.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුනේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕමත්ත මුදලිගේ දොන් ගැමුණු විසින්. ඒ අසත්‍ය කරුණු පදනම් කරගෙන ඔහුට චෝදනා එල්ල කිරීමත්, ඔහුගේ සහොදරයාව අනවසර ගිනි අවි තබාගෙන සිටියාය යනුවෙන් අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කර අත් අඩංගුවට ගැනිමටත් එරෙහිවය. 2011 වසරේ දී මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පොලිස් ස්ථානිධිපතිවරයා සම්බන්ධයෙන් රහස් පොලිසියට ලැබී තිබු පැමිණිල්ල සිදු කළ අයෙකු ඉදිරිපත් නොවූ අතර ඒ රහස් පොලීසියට අනුව නිර්නාමික පෙත්සමකි.


එදා ෆොන්සේකාට එරෙහිව

එම පෙත්සමෙහි කරුණු කාරනා කුමක් වූවත් පොලිස් පරීක්ෂකවරයාට එවක ආණ්ඩු පාර්ශ්වයෙන් එල්ල වී තිබු සත්‍ය චෝදනාව වුයේ 2010 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව මුද්‍රණය කරමින් තිබූ අපහාසාත්මක පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගැනීමය.

ඒ අනුව එවකට රාජපක්ෂ රෙජීමයේ මහා සතුරා වී සිටි සරත් ෆොන්සේකා වන බැවින් රටේ නීතිය ක්‍රියාත්මකවිය යුත්තේද ෆොන්සෙකාට එරෙහිව මිසක් පිලිගත් නීති පද්ධතියට අනුව නොවන්නේ යැයි කල්පනා කළ රහස් පොලිසිය පාලකයාට අනුව කටයුතු කර තිබේ. මෙහිදී පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව නිර්නාමික පෙත්සමක් සකසා අසත්‍ය චෝදනා එල්ල කර ඔහු මට්‍ටු කිරීම්ට නොහැකි තැන ඔහුගේ සහොදරයාව ද අත් අඩංගුවට ගත්තේ අනවසර ගිනි අවි ලඟ තබා ගැනීමේ චෝදනාවක් එල්ල කරමිනි. මෙයද මුලුමනිනම අසත්‍ය චෝද්නාවක් විය.

නිර්දෝෂී පුද්ගලයන් අදටත් සිර ගෙවල් වල

ගංජා පැකට්‍ටුවක්, කුඩු පැකට්‍ටුවක් හෝ ආයුධයක් දමා පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමේ ක්‍රමය පොලිසියේ සුපුරුදු සෙල්ලමකි. සැකකරුවකු මරා දැමිමට අවශ්‍ය නම් ආයුධයක් පෙන්වීමට රැගෙන යාමේදි සැකකරු පැන ගියා හෝ ඔහු ආයුධයක් ගෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව කියා සැකකරුවන් මරා දැමීමේ අවස්ථා පසුගිය කාලයේ විශාල වශයෙන් වාර්තා විය. මෙහිදි පොලිසිය විසින් ඉදිරිපත් කරන ව්‍යාජ සාක්ෂි මත අධිකරණ තීන්දු ද ලබා දුන් අවස්ථා තිබේ. පොලිසියේ තර්ජන හමුවේ වරද බාර ගෙන දඬුවම් විඳින නිර්දෝෂී පුද්ගලයන් අදටත් සිර ගෙවල් වල සිටී.

නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය පිහි‍ටුවන්නෙ යැයි කියමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩු සමයේදී ද මේ කියන පොලිසිය සුපුරුදු පරිද්දෙන් කටයුතු කරමින් සිටින බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා වී ඇත. පොලීසිය වෙනස් වී නැත. පොලිසියේ පිලිවෙත් වෙනස් වී ද නැත.


නිශාන්ත සිල්වා - ශානි අබේසෙකර තක්කඩි නිලධාරීන්ය

ඉහත කී සිදුවීමට අදාලව පොලිස් පරික්ෂකවරයා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම අනුව එහි පළමු වගඋත්තර කරුවන් වූයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය. පොලිස් අධිකාරී ශානි අබේසෙකර 4 වෙනි වගඋත්තර කරුවා විය. මෙම නිලධාරීන් දෙදෙනා සමඟ පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ සහ සැරයන් මෙන්ඩිස් යන අය විසින් අදාළ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕමත්ත මුදලිගේ දොන් ගැමුණු නමැත්තා ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් ය. මෙම නිලධාරීන් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බව ද තීන්දු විය.

අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ තම නිලධාරීන් දෙදෙනා බවට වර නැගෙන්නෙ මේ ශානි අබේසෙකර, නිශාන්ත සිල්වා නිලධාරීන් දෙදෙනාය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිලි වලින් වැඩිම ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන්නෙ මේ නිලධාරීන් දෙදෙනා යටතේය.

විශේෂයෙන්ම රාජපක්ෂ රෙජීමය සමයේදී වූ දේශපාලන හා පෞද්ගලික පලිගැනීම් ලෙස සිදු කෙරුනු ඝාතන රැසක් සම්බන්ධයෙන් මෙම නිලධාරීන් විමර්ශනය කරනු ලබයි. එහෙත් එදා සහ අද වෙනසකට ඇත්තේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනස් වීම පමණකි. නීතිය කොහොමත් වල් වැදී පවතී.

 

 

‍ෙ

1

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+