ගුටි කෑවත් සෙරප්පු දෙක අමතක කරල දුවන්න එපා.. Featured

Published in පුවත්
Thursday, 22 June 2017 20:47

මිනිස්සු අරගල කිරීම කැරලි ගැසීම සාමාන්‍ය දෙයකි. ඒ මිනිස් ඉතිහාසය පුරා සිදුවු දෙයකි. ඒ හෙට දවසේදීත් සිදුවනු ඇත. ඒ තමන්ට ලැබිය යුතු දෙයක් තිබෙනවාය, ඒ ලබා ගැනීමට අයිතියක් තිබෙනවාය කියන සිතුවිල්ලෙනි. මේ සිතුවිල්ල හරි හෝ වේවා වැරදි හෝ වේවා අරගලයකින් තොරව කිසිවක් දිනා ගත නොහැකි බව සදාතනික සත්‍යයකි. එහෙත් ඒ අනුව අරගලය හෝ කැරළිගැසීම උත්කර්ෂයට නැඟීම කළ නොහැක. මේ දිනවල සයිටම් ප්‍රශ්නය අල්ලා කෙරෙන ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාවලිය ගැන කතා කළ යූතු වන්නෙ ඒ කෙතරම් දුරට සාධාරණද යන්න ගැන සිහි බුද්ධියෙන් යුතුව කල්පනා කරය.

නොමිලයේ අධ්‍යාපනය යනු මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ලැබුණු වරප්‍රසාදයකි. නිදහස් අධ්‍යාපනය යනු නොමිලයේ අධ්‍යාපනය නොවේ. අධ්‍යාපනය ලැබීමේ නිදහසයි. අධ්‍යාපනය ලැබීම මෙරටේ පුරවැසියාගේ අයිතියක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට ඇත්තකි. දුගී දුප්පත් ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට ඇති හැකියාව මොට වීම මත නොමිලයේ අධ්‍යාපනය ලබා දීම රජය විසින් සිදු කරන්නෙ අධ්‍යාපන නිදහස සමාජයේ සියලු කොටස් වෙත සාධාරණව ලබා දීමේ අරමුණෙනි. පෞද්ගලිකව ධනය වැය කර අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඉන් අහොසි නොවේ. එයද අයිතියකි.

මේ වන විට මුදලට අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික ආයතනය පවත්වාගෙන යෑමට ඉඩ දීම නිදහස් අධ්‍යාපනය කෙලසීමක් කියා කරන හැඳින්වීම අතිශයිම වැරදි සහගතය. අනෙක් පෞද්ගලික අධ්‍යාපන අයතනවලින් හුදකලා කොට සුවිශේෂී ප්‍රශ්නයක් කොට ගෙන තිබෙන සයිටම් ආයතනයටත් එසේමය.

සයිටම් හී වෛද්‍ය අධ්‍යාපනය නිසි ප්‍රමිතියට නොමැති නම් ඒ ආයතනය ප්‍රතික්ෂේප කිරීම හෝ නොකිරීම ඒ ශිෂ්‍යයන්ගේ හා මාපියන්ගේ කැමැත්තය. එහෙත් ඒ ප්‍රමිතියකින් තොරවූවත් නැතත් එම අධ්‍යාපනය ලබා පැමිණෙන සිසුන් වෛද්‍යවරයකු ලෙස මෙරට සේවය කිරීමට අදාල අනුමැතිය අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නොකිරීම රජයේ වගකිමකි. දැන් අවශ්‍යව ඇත්තේ ඒ රජයේ යාන්ත්‍රණය ගොඩ නැංවීමය. ඒ වෙනුවෙන් පරීක්ෂණ රෙගුලාසි දමා ඒ නියාමනය කිරීමෙන් ප්‍රමිතිය පිළිබඳ ගැටලුව අවසන් කර ගත හැක. ඒ සයිටම් ආයතනයට පමණක් නොව මෙරට වෙනත් උපාධි ප්‍රදානය කරන සෙසු ආයතනවලටත් අනාගතයේදි බිහි වන අනෙක් ආයතනයකත් ප්‍රමිතිය පිළිබඳ ගැටලුව නිරාකරණය කරගත හැක. ඇත්තේ සරල ප්‍රශ්නයකි. එහෙත් මේ දැන් දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය කර ගෙන ඇත. දේශපාලන ප්‍රශ්න විසඳිය හැක්කෙ දේශපාලන ක්‍රමවේදයන් ඔස්සේය. ඒ අනුව ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය උද්ඝෝෂණයට පහර දී විසුරුවා හැරීම ආණ්ඩුව ගත් නිවැරදි දේශපාලන තීරණයකි. එහි වාදයක් නොමැත.

නිදහස් අධ්‍යාපනය සු‍රැකිමට යැයි කියමින් වත්මනෙහි විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදු කරන උද්ඝෝෂණ ක්‍රියාවලිය , නිර්ධන පංතික අරගලයක්, සමාජවාදය වෙනුවෙන් කරන අරගලයක් ලෙස හඳුන්වන පිරිසක්ද සිටී. නිර්ධන පංතික අරගල වලින් කෙරෙනෙ අනෙක් පංතියක් මර්දනය කිරීමය. අනෙක් පංතියක හැකියාව, අයිතිය මර්දනය කිරීමකි. අවසානයේදී නිර්ධන පංතියේ ඒකාධිපත්තිත්වයට අනෙක් සියලු කොටස් යටපත් කිරීම සිදුවේ. ඒ සාධාරණද ? නිර්ධන පංතික ඒකාධිපතිත්වය යටතේ සේම සියලු දෙනාටම සම අයිතිවාසිකම් සමාන අවස්ථා ලැබේ යැයි කියනු ලැබේ. ඒ සියල්ල නිර්ධන පංතියේ රජය විසින් දැඩිව පාලනය කළ යුතුය. ඒ අනුව එම සෑම රාජ්‍යයකම ජනතාව දැඩි පීඩනයකින් ජීවත් වන බව රහසක් නොවේ. එමෙන්ම රාජ්‍ය නිලධාරී තන්ත්‍රය ඉහළ පහසුකම් විඳිමින් සිටින බව පෙනෙන්නට තිබෙන තිත්ත ඇත්තකි. එහෙත් අද ලොව පවතින සමාජවාදි රාජ්‍යයන් ඒ අත්හරිමින් තිබේ. මිනිස් නිදහස දිගුකාලීනව පාලනය කිරීම කළ නොහැකි බව ඒ රාජ්‍යයන් විසින් ද දැන් දැන් පෙන්නුම් කරමින් ඇත. මේ වකවානුව වන විට මේ පරතරය පාලන කිරීම පිණිස පෞද්ගලික ව්‍යවසායකයන්ට ඉඩකඩ ලබා දීම සිදු වෙමින් තිබේ. ඒ අතර පෞද්ගලික අධ්‍යාපන ආයතනද වේ.

පෞද්ගලික දේපළ ක්‍රමය විසින් සමාජය විවිධ ස්ථර වලට බේදා වෙන් කරනු ලබන බව සැබෑවකි. ඇති හැකි එකා ඉහළට නැගිම සිදුවෙයි. නැති බැරි එකා පහළට වැටීම සිදුවෙයි. නැති බැරි එකා තව දුරටත් අසරණ නොකර ඔසවා තැබීම ‍රැක ගැනිම රජයේ වගකීම වෙයි. නොමිලයේ අධ්‍යාපනය නොමිලයේ සෞඛ්‍ය ලැබෙන්නෙ ඒ අනුවය. එමඟින් සමාජයෙ ඉහළට නැගිමට තිබෙන අවස්තාව දුගී දුප්පතුන්ට ලැබී තිබේ. ඒ වෙනුවෙන් රටේ සමස්ථ ජනතාවගෙන් අය කර ගනු ලබන බදු මුදල් යෙදවේ. පෞද්ගලික අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාගෙ මාපියන්ද මෙම බදු මුදල් ගෙවිය යුතු වේ. ඇතැම් විට ඔවුන්ගේ ආදායම් තත්වය අනුව සමාජයේ සෙසු පුරවැසියන්ට වඩා මේ මාපියන් බදු ගෙවනවාද විය හැකිය. මෙම මාපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන ආයතනය ද ලාබ උපයන පෞද්ගලික සමාගම් වන බැවින් මේ බදු මුදල් ගෙවිය යුතුවේ. රටේ සියලු රාජ්‍ය පාසල් හා විශ්ව විද්‍යාල නඩත්තු වන්නෙ මේ බදු මුදලිනි. අද අරගල කරන විශ්ව විද්‍යාල සිසුන්ට එතැනට පැමිණීම සඳහා නොමිලයේ පාසල් අධ්‍යාපනය ලබා දුන්නෙ මේ බදු මුදල් වලිනි. මේ අනුව වෛද්‍ය ශිෂ්‍යයකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් වැය කරනු ලබයි. ඒ පාසල් අධ්‍යාපනයට වැය කරන මුදලට අමතරවය. මෙලෙස වසරකට එලෙස 1200 කට ආසන්න වෛද්‍යවරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මේ ජනතා බදු මුදල් රුපියල් කෝටි 1200ක් වැය කෙරේ. එහෙත් ඒ රටේ අවශ්‍යතාවය නොවේ. අවම වශයෙන් මෙයින් දෙගුණයක ප්‍රමාණයකින් රටට වෛද්‍යවරු අවශ්‍යව තිබේ. එහෙත් එම සීමාව ඉක්ම යෑමේ හැකියාව පෙන්වීමට රජය අසමත්ය.

එමෙන්ම රජය නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන්නේ වෛද්‍යවරු බිහි කිරීමට පමණක් නොවේ. තවත් ක්ෂෙත්‍ර සිය ගනනක උගතුන් වෘත්තිකයන් බිහි කිරීමට රජයට සිදුව තිබේ. සියලු පුරවැසියන් සාක්ෂරතාවයෙන් ඉහළම තැනකට පත් කිරීමට රජයට සිදුව තිබේ. ඒ සියල්ල කරන්නට සිදු වන්නෙ ජනතාවගේ බදු මුදලිනි. එහෙත් නොමිලයේ අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍යවරු වී සිටින රජයේ වෛද්‍යවරු තමන්ගේ පෞද්ගලික සේවාවන්ගෙන් රජයේ මාසික වැ‍ටුප මෙන් විසිතිස් ගුණයකින් ආදායම් ලබා ගත්තාද ඔවුන් ඒ ආදායමෙන් රජයට බදු ගෙවන්නෙ නැත. ( එහෙත් ඊනියා නිදහස් අධ්‍යාපන අරගලයට ඔවුන් පණ පොවති.)

කෙසේ නමුත් රජය විසින් සිය අසීරුතාවය වලක්වා ගැනීම සඳහා එම අවශ්‍යතාවය යම් තරමකින් හෝ සපුරා ගැනීමට පෞද්ගලික අංශයට ඉඩ කඩ ලබා දීම වැරදි නොවේ. පෞද්ගලික අධ්‍යාපන ආයතයකට එම සේවාව ලබා දිය හැකි නම් ඔවුන්ට ඒ වෙනුවෙන් ලාබයක් උපයා ගැනීමට ඉඩ ලබාදීම ද විය යුතුය. එසේ නොමැතිව එම ආයතන පවත්වාගෙන යා නොහැකිය. ඒ සයිටම් ආයතනයටද අදාලය. ඒ අධ්‍යාපනය විකිණීමේ ජාවාරමක් වන්නේ නැත.

මේ අතර අද සයිටම් විරෝධී කැරලි, නිදහස් අධ්‍යාපනය සු‍රැකිමේ ඊනියා සටන් පාඨයට මුවා වී සිදු කරගෙන යන තවත් දේශපාලන මෙහෙයුමක් බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ. බංකොලොත් වාමාංශික දේශපාලන පක්ෂ, දේශපාලන වුවමනාවන් වෙනුවෙන් තක්කඩි ලෙස ආණ්ඩු විරෝධී වී තිබෙන වෘත්තීය සමිති හා ප‍ටු පරමාර්ථ වෙනුවෙන් කල්ලි ගැසී සිටින විවිධ කණ්ඩායම් විසින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙම ශිෂ්‍ය ව්‍යාපාරය දඩමීමා කරගෙන තිබෙන බව ඒ ඒ කණ්ඩායම් වල අනෙක් ක්‍රියාකාරකම් වල ස්වභාවය විසින් පෙන්නුම් කරමින්ද තිබේ. ඒ කෙසේ නමුත් අවසානයේ මේ ගැටලුව ගැන දිගක් පළලක් නොදන්නා පොතේ දැනුමට පමණක් සීමා වී සිටින මේ සීමාන්තික උගතුන් විශේෂයක් වන සරසවි ශිෂ්‍ය ප්‍රජාව ඉතා ඛේදජනක ලෙස මේ දේශපාලන උගුලේ පටලවා ඇත.

තමන්ගේ දේශපාලන වුවමනාවන් සංතර්පනය කර ගැනීම සඳහා මළ මිනී අවශ්‍ය කරමින් තිබෙන බව මෙම පෞද්ගලික අධ්‍යාපන විරෝධීන් විසින් පෙන්වා දී තිබේ. පොලිස් ප්‍රහාරයකින් ශිෂ්‍යයකු මියයෑම මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය ඇතිවාට සැක නැත.

පොලිස් ගුටි කා තමන්ගේ සෙරෙප්පුද අමතකර ආපසු දිව් ශිෂ්‍ය ප්‍රජාව මේ වගක් දැන හිටින්නට තරම් සිහිකල්පනාවෙන් යුතු යැයි කල්පනා කළ නොහැක . මන්ද වත්මන් සරසවි සිසුන් කියන්නෙ සාමාන්‍ය දැනුමෙන් ඌන පිරිසක් වීමය. මොවුන් පොතේ උගතුන් විය හැකිය. එහෙත් කිසිසේත්ම බුද්ධිමතුන්ගේ කුලකයට අයත් නොවේ. ඔවුන් ලෝකය දකින්නෙ සරසවියට පැමිණිමෙන් පසුවය. ඒ නිසා ඕනෑම කපටියෙකුට කපටි ව්‍යාපාරයකට ඔවුන්ව පහසුවෙන් රවටා ගෙන ඕනෑම දිශාවකට දක්කාගෙන යා හැකිය.

ඉහත පින්තූරයේ සෙරෙප්පු ගොඩ විසින් පෙන්වා දෙන්නෙ එයය. එනම් මේ බුද්ධිමය පීඩිතයාගේ අසරණ කමය.

 

- මහේෂාඛ්‍ය

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+