ජනපති, නීතිපති වටේ යයි. නඩුත් නෑ, බඩුත් නෑ. මුහුදත් දොන්ත බබක්කට

Published in පුවත්
Saturday, 06 May 2017 21:00

මෙම වසර තුල මෙරට සාගර කලාපය පුලුල් කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ සාකච්ඡා වෙනුවෙන් ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතා පත් කිරීමට ජේෂ්ඨ කැබිනට් ඇමැතිවරු ගනනාවකගේ කැමැත්ත හිමිව තිබුණද ජනාධිපතිවරයා , නීතිපතිවරයාගේ බහට යටවී ඒ වැලැක්වීමට කටයුතු කර තිබෙන බව දැන ගැනීමට තිබේ..

මෙම සාගර කලාපය පුළුල් කර ගැනීම වෙනුවෙන් ' ජාතික සාගර කටයුතු පිළිබඳ කමි‍ටුව' (national ocean affairs committee) පත් කළ නමුදු මෙතෙක් ඒසඳහා සභාපතිවරයකු පත් කර නොමැත. මේ වෙනුවෙන් වඩාත්ම සුදුසුකම් සහිත පුද්ගලයා වන්නේ ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතා බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා යෝජනා කර තිබිණි. සාගර කටයුතු හා තෙල් නිධි ගවේශනය සම්බන්ධයෙන් විශේෂඥයකු වන වික්‍රමසූරිය මහතා මේ වෙනුවෙන් නම් කිරීමට හේතු වී තිබුණේ ඔහු විසි වසරකට වඩා මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විදේශීය අත් දැකීම් රැසක් ලබා තිබීම හා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉතා ඉහළ වටිනාකම ගෙන එන මෙරට සාගර කලාපය කිහිප ගුණයකින් පුළුල් කර ගැනිමේ කටයුත්ත නිසි ලෙස රටට වඩා වාසිදායක වන ලෙසින් කර ගැනීමේ වුවමනාව වෙනුවෙනි. එමෙන්ම මෙම වසර තුළ මෙරට ජාත්‍යන්තර මුහුදු සීමාව පුළුල්වීම සම්බන්ධව කටයුතු කඩිනම්ව සිදුකිරීමට සිදුව තිබේ.


අමාත්‍යවරයාගේ මෙම යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩල හමුවකදී සිදුකර ඇති අතර එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පළකර තිබිණි. ඒ අනුව අදාළ පත්කිරීම පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කර ඇති අතර එහිදී එහෙත් මෙම යොජනාවට නීතිපතිවරයා විරෝධය දක්වා ඇත. නීතිපතිවරයාගේ නිර්දේශය වී ඇත්තේ රාඩා ගනුදෙනුව සම්බන්ධ චෝදනාවට සාලිය වික්‍රමසුරිය මහතාද ඇතුලත් බැවින් ඔහුට රජයේ තනතුරක් දැරිය නොහැකි බවය.


අප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ මේ සම්බන්ධව සාකච්ඡාවට ගෙන ඇති අතර එහිදී ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු අමාත්‍යවරුන් ගණනාවක්ම ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිත්වයට සාලිය වික්‍රමසුරිය මහතා සුදුසු බව පෙන්වාදී ඇත. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කොතරම් සුදුසුකම් ඇති අයෙකු වුවත් නීතිපතිවරයාගේ නිර්දේශය පැහැදිළිව දක්වා ඇති නිසා අදාළ පත්වීම සිදුකිරීමට හැකියාවක් නැති බවය.


එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාද කරුණු දක්වා ඇති අතර ඒ නීතිපතිවරයා යනු රජයට නෛතික උපදෙස් දෙන තැනැත්තා මිස රජයේ තීන්දු තීරණ ගනු ලබන තැනැත්තා නොවන බවත් වික්‍රමසුරියගේ පත්වීම රජයේ ස්ථීර සේවයක් නොවන නිසාත් කැබිනට් මණ්ඩලයේ සාමුහික තීන්දුවක්, කැමති තීන්දුවක් ගැනීමට බලය ඇති බව පෙන්වා දෙමින්ය. මෙහිදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම අග්‍රාමාත්‍යවරයාගේ කරුණු දැක්වීම අනුමත කර ඇත.

මේ අතර නීතිපතිවරයාගේ විරෝධය හේතුවෙන් සාලිය වික්‍රමසුරිය මහතාට මේ වන විට ඔහු සේවය කරන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ (Petroleum Resource Development Secretariat) අධ්‍යක්ෂ ජනරාල්ධුරයේ කටයුතු සඳහා විදේශගතවීමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් රජයේ කටයුතු අඩාලවීම සම්බන්ධවද කැබිනට් මණ්ඩල හමුවේදී අවදානය යොමුවී ඇති අතර ඒ අනුව ඉදිරියේ පවත්වන කැබිනට් මණ්ඩල රැස්වීමකදී මේ සම්බන්ධ අවසාන තීන්දුවකට එළඹෙන එකඟතාවයෙන් එම සාකච්ඡාව අවසන් වී ඇති බවද අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි. එසේම රජයේ නීති කටයුතු සම්බන්ධව නීතිපතිවරයා කටයුතු කිරීමේදී මීට වඩා වගකීමක් ඇතුව කටයුතු කළ යුතු බව එහිදී අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දක්වා ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ නමුත් රාඩා ගනු දෙනුව සම්බන්ධයෙන් වික්‍රමසූරිය මහතා අත් අඩංගුවට ගැනීම හා ඔහුට චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක්ද තිබේ. සුනාමි නිවාස ඉදිකිරීම සඳහා රාඩා ආයතනයට ලබා දුන් මුදල් රුපියල් මිලියන 645ක් අයතා පරිහරණයට ( එල්ටීටීඊ සංවිධානයට ලබා දීම ඇතුලුව) ගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනුවී පවතී. මෙම මුදල් කොටසක් ව්‍යාජ සමාගම් තුනක් හරහා එල්ටීටීඊයට ලැබුණු බව කියැවේ. සුනාමි නිවාස ඉදිකිරීම සඳහා මෙම සමාගම් තුන අනුමත කර තිබුණේ රාඩා සභාපති ටිරාන් අලස්ය. ඒ එවකට (2005) එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානියකු වු පුවන්නන්, එමිල් කාන්ත් හා රාජපක්ෂවරුන්ගේ උපදෙස් අනුවය. ඒ අනුව රාඩා මෙහෙයුම් නිලධාරියාව සිටි වික්‍රමසූරිය මහතා ඇතුලු ටෙන්ඩර් කමිටුව 2006 ජනවාරි 26 දින එම සමාගම් සඳහා කොන්ත්‍රාත්තු පිරි නැමීමට සිදුව තිබිණි.


මේ අනුව නීතිපතිවරයා රාඩා ගනුදෙනුවේ වගඋත්තර කරුවන් ලෙස ටිරාන් අලස් මහතා, වික්‍රමසූරිය මහතා ඇතුලුව සිව් දෙනෙකුට චෝදනා ගොනු කර ඇත. එහෙත් නීතිපතිවරයා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුව තවමත් විභාගයට ගැනීම සිදු කර නොමැත. එළඹෙන මැයි 23 වන දින නැවත් නඩුව කැඳවා ඇත.මේ වන තුරු වික්‍රමසූරිය මහතා වරදකරුවකු බව අධිකරණය හමුවේ ඔප්පු වී නොමැත. ඔහු වරද කරුවකුද නැතිද යන්න ගැන නිශ්චිතව නොමැති තත්වයක් තුල ඔහුට වරදකරුවකු සේ හැ‍ඟෙන පරිදි චෝදනා කොට ඔහුගේ විශේෂඥ සේවය මෙරටට ලබා ගැනීමට තිබෙන ඉඩ කඩ ඇහිරීම නීතිපතිවරයාට තිබෙන හැකියාව ගැටළු කාරීය.

ඔප්පු කළ හැකි සාක්ෂි සහිත කම්බ හොරුන් තොගයක් සම්බන්ධයෙන් නිතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැහී තිබෙන ලිපි ගොනු ගැන වගේ වගක් නැති නීතිපති වරයා වික්‍රමසූරිය මහතා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විමතිය දනවන සුළුය. කවර චෝදනා තිබුණත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂව හෝ එම ආර්යාව අත් අඩංගුවට ගැනිමට තමා ඉඩ නොදෙන බව වරක් දෙවරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මේ සම්බන්ධයේදී නීතිපතිවරයාගේ බහට යටවීමත් විකාර සහගතය.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us