මේ හොර ජාවාරම්, රවීලා මංගලලා නොදැන වෙන ඒවාද? Featured

Published in පුවත්
Monday, 21 November 2016 18:37

පසුගියදා ක‍ටුනායක ගුවන් තො‍ටු පොලෙන් නීති විරෝධී ලෙස මෙරටින් මුදල් පන්නා ගැනීමට ගත් උත්සාහයක් රේගුව විසින් වලක්වා තිබිණි. එම සිදුවීමට සම්බන්ධ කුප්‍රකට ඉන්දීය ජාවාරම් කරුවා රාම් සුදර්ශනය. ඔහු සමඟ මේ කටයුත්තට හවුල් වූ අනෙක් අය විදේශ ඇමතිගේ මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් තුසිත හල්ලොළුව බවත් දැන ගැනීමට තිබේ.

එමෙන්ම මෙම ප්‍රශ්නයෙන් ඔවුන්ව බේරාගැනීමට මැදිහත් වූ ඇමැතිවරයා රවී කරුණානායක බවත් දැන ගැනීමට තිබිණි. නමුත් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියවලිය ඉදිරියට යෑම නතර වූයේන් එහි සත්‍ය අසත්‍යතාවය ඔප්පු වූයේද නැත. ඉදිරියේදී ඔප්පු වීමට නියමිතවද නැති බවට සැකයක්ද නැත.

කොහොම නමුත් යහපාලන ආණ්ඩුව බිහි කරලීමේ රහසිගත ක්‍රියාවලියේ ප්‍රධානියකු ලෙස පෙනී සිටිමින් ( අපි දන්න තරමින් ඔහු සිදු කළේ සිරිකොතට ලැබුණු බත් පාර්සල් ඒ ඒ කාර්යාලවලට බේදාහැරීම හා ඉන් පසුව නිදාගැනීම පමණය) යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛත්ම ඩීල් කරුවකුව සිටින මේ කොට හාදයා, තුසිත හල්ලොලුව රාම් සුදර්ශන නැමැති කූප්‍රකට ඉන්දියනු ජාවාරම් කරුවා සමඟ කළ සෙල්ලමේ කොටසක් පසුගිය ඉරිදා සත්හඬ පුවත් පත මඟින් හෙලි කර තිබිණි. ඒ සම්පූර්ණ කතාව මේ සමඟ පහත දැක්වේ.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී කිව් කතාවලට වලංගුතාවයක් දැන් නැති අතර එදා රාජපක්ෂ යුගයේ පැවැති මජර පාලනයම එසේම පවත්වාගෙන යන බවට ඉතා හොඳ නිදසුනක් මේ සිදුවීම මඟින් පෙන්වා දෙයි.

 

කළු සල්ලි රට යවන ජාවාරමක සුල මුල

යහපත් කාලගුණයක් පවතින විට කුණාටුවක් ගැන කල්පනා නොකිරීම මිනිසාගේ පොදු දුර්වලතාවකි” යි ලියා තැබුවේ නිකොලොයි මැකියාවෙලි ය. ඒ සිය කුමාරයා කෘතියේය.
අපට අනුව වත්මන් ආණ්ඩුව මේ මොහොතේ ගත කරමින් සිටින්නේ මැකියාවෙලි පෙන්වා දුන් ඒ දුර්වලතාව හොඳින් ප්‍රකාශමාන කරමින්ය. කෙසේ වුවත් මේ කතාව අපට සිහිපත් වන්නට නිමිත්ත වූයේ අයවැය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ගැනීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත ගිය අවස්ථාවේ සත්හඬ මාධ්‍ය භාවිතාව සම්බන්ධව අමාත්‍යවරයා එල්ල කළ විවේචනයයි. එම විවේචනය තුළ කියවුණු එක් කතාවක් නම් සත්හඬ රාත්‍රියට ගෝඨාභයලා සමඟත් උදේට වික්‍රමසිංහලා සමඟත් සිට තුප්පහි මාධ්‍ය භාවිතයක නිරත වන බවය. ඇමැතිවරයාගේ මේ විවේචනය ගැන අපට ගැටලුවක් නැත. මන්ද සත්හඬ පසුගිය කලාප කියවන ඕනෑම අයෙකුට ඇමැතිගේ විවේචනයේ පදනමට අවශ්‍ය සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකි නිසාය.

ඒ අනුව අපේ එක් පසෙක මැකියාවෙලි කියූ පන්නයේ දුර්වලතාවයෙන් ආතුර වූ බහුතරයකින් යුතු ආණ්ඩුවක්ය. අනෙක්පස මුදල් අමාත්‍යවරයා ගේ විවේචනය ය. ඒ පසුබිමේ අපේ සූදානම ඇමැති රවී කියූ රාත්‍රියේ ගෝඨාභය සමඟ පමණක් නොව දවසම රාජපක්ෂ රෙජීමයේ කටු කෑ සහ අද ද යහපාලනයේ නාමයෙන් හොරෙන් කටුකන උදවිය කවුද යන්න ලියන්නටය. ඒ හමුවේ අප වෙත ලබා දුන් උත්තේජනය වෙනුවෙන් අප මුදල් අමාත්‍යවරයාට තුති පුදකළ යුතුය. එනිසාම ඇමැති රවී මේ ලිපිය ඔහුට පුදන මල් කළඹක් ලෙස ගත්ත ද ගැටලුවක් නැත.

ඒ මල් කළඹ අප ඇමැති රවීට පුදන්නේ නොවැම්බර් 16 වන දා ඔහු සමඟ කළ සංවාදයේ අප පටිගත කළ දෙබසකින් සරසාය.

“ඇමතිතුමා, රාම් සුදර්ශන් රට ගිය විදිහ ගැන ඔබතුමාගේ දැනුවත් බවක් නැද්ද?

මං දන්නෙ නෑ. ඒක එයාගෙන් අහන්න. සුදර්ශන් කියන්නෙ?

රාම් සුදර්ශන්, ඒ කියන්නෙ චෙන්නායිවල අම්බිගා හෝටලයේ අයිතිකාරයා

ඉතින්,

ලක්ෂ සීයකට ආසන්න මුදලක් රේගුව දැනුවත් නොකර ගිහින්....

ඇල්ලිලා ඇති... රාජ්‍ය සන්තක කරලා ඇති...

මහෙස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කරන්න කලින් ඔබතුමා කෝල් එකක් දුන්නා කියලා...

රජය සන්තක කරලා ඇති.. තියෙනවද නැද්ද

මහෙස්ත්‍රාත් කෙනෙක් ගාවට දාන්න කලින් ඔබතුමා ඇමතුමක් දීලා නැද්ද?

අපි දීලා නෑ. ඔය තුප්පහි දේශපාලනය අපි කරන්නේ නෑ. ඔය සත්දිනේ ඕවා තමයි පාවිච්චි කරන්නේ...”

ඉතින් ඇමැතිතුමා, ඔබතුමා නොදන්නවා වෙන්නට පුළුවන. එහෙත් අපගේ මාධ්‍ය භාවිතය තුප්පහි බැවින් ඔබේ දේශපාලනය එය නොවන හෙයින් මෙතැන් පටන් මේ සටහන වෙන් කරන්නේ අපේ තුප්පහි බව තහවුරු කරන්නටය. ඒ අනුව මේ කියවන පාඨකයන් විනිශ්චයේ තබා මෙතැන් පටන් අපි අපේ තුප්පහි මාධ්‍ය භාවිතය තවදුරටත් ඔප්පු කිරීමට සූදානම්ය. ඒ මෙසේය.


ඩොලර් 45,000 රේගු අත්අඩංගුවට

දිනය නොවැම්බර් මස 10 වනදාය. එදින පුද්ගලයන් තිදෙනෙක් එකම වාහනයේ නැගී කටුනායක ගුවන් තොටුපොළට එන්නේ ඉන්දියාව බලා පිටත්ව යාමේ Ram Letterඅපේක්ෂාවෙන්ය. සුපුරුදු පරිදි ගුවන්තොටුපොළ තුළ දී ඔවුන්ව රේගු පරීක්ෂාවට ලක් වන අතර එහි දී එම එක් අයෙකුගේ බෑගයේ සඟවා තිබූ ඩොලර් 45,000 ක මුදලක් රේගු භාරයට පත්ව ඇත. මෙරට නීතියට අනුව එක්වරක එසේ ගෙනයාමට ඉඩ ඇත්තේ ඩොලර් 10,000ක් වුවත් මේ අවස්ථාවේ දී එය සිව් ගුණයක ප්‍රමාණයක් ගත් නිසා ඔවුන් රේගු අත්අඩංගුවට පත්විය.

සාමාන්‍ය පුද්ගලයකු රේගු අත්අඩංගුවට පත්වූවා නම් සිදු වන්නට නියමිතව තිබුණේ නියත වශයෙන්ම මහෙස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා රිමාන්ඞ් බන්ධනාගාරගත කර ඉදිරි විමර්ශන සිදු කිරීමය. එසේ වූවානම් සිකුරාදා අත්අඩංගුවට පත් වෙන්නාට එළියට එන්න ඇප ලැබෙන්නේ 15 වන අඟහරුවාදා ය. ඒ සඳුදා දිනය ද පෝය දිනයක් වන නිසාය. එහෙත් මේ අය ඊට වඩා වාසනාවන්ත වී තිබිණ. එනිසා රිමාන්ඞ් බන්ධනාගාරගත වනවා වෙනුවට රුපියල් 100,000 දඩ මුදලකට යටත්ව එදින නිදහස්ව යාමට මේ අයට අවස්ථාව ලැබිණ. එපමණක් නොව අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මේ අයට අභියාචනයක් කිරීම හරහා අත්අඩංගුවට ගත් මුදල් ද නැවත නිදහස් කර ගන්නට අවස්ථාව තවමත් ඇත.

ප්‍රිය පාඨකය, රාජපක්ෂ සමයේ සිදු වූ හොරකම් ගැන අසා ඇති ඔබට මේ ඩොලර් 45,000 මුදල අයථා ලෙස රටින් පිටකර ගන්නට උත්සාහ කිරීම එතරම් බරපතළ නොවන්නට පුළුවන. එහෙත් එම හොරු අල්ලා මහ උළුගෙදර යවන බවට සපථ කළ ආණ්ඩුවක් යටතේ මෙවැනි දෑ සිදු වන්නේ කෙසේද යන පැනය ඔබට මේ වන විට මතුව තිබෙනවා නිසැකය. අපේ මේ සූදානම ඒ ප්‍රශ්නය විසඳන්නටය.

මෙම පුද්ගලයන් තිදෙනා අතුරින් ඩොලර් 45,000ක් රේගුව දැනුවත් නොකර රටින් පිටකරන්නට උත්සාහ කිරීමේ වරද බාරගත් පුද්ගලයා රාම් සුදර්ශන් නම් ඉන්දීය ව්‍යාපාරිකයෙක්ය. නැතිනම් චෙන්නායි හි ඇති අම්බිගා එම්පයර් (Ambica Empire) හෝටලයේ හිමිකරුවාය. එපමණක් නොව ඔහු රාජපක්ෂ රෙජීමයේ පාලන සමයේ එක්තරා ආකාරයක කෙරුමකු ලෙස සඳහන් කළ ද වැරැදි නැත. ඒ එම සමයේ ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරික මිතුරා වූයේ බැසිල් රාජපක්ෂ වූ නිසාය. අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව පසුගිය සමයේ එනම් 2014 වසරේ අවසාන භාගයේ ලක් සතොස වෙනුවෙන් මෙරටට ගෙන්වන ලද පරිභෝජනයට ගත නොහැකිව රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වූ සහල් මෙටි්‍රක් ටොන් දහස් ගණන ආනයනය කරන්නට මැදිහත් වූයේ ඔහුය. අප දන්නා ලෙස මේ වෙනුවෙන් එවකට වෙළෙඳ අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු චෝදනා ලබා සිටියත් අදාළ සහල් තොගය ආනයනය කරන්නට රාම් වෙත පහසුකම් සලසා ඇත්තේ බැසිල් රාජපක්ෂගේ නියෝගය මත එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ පී.බී. ජයසුන්දරය. ඒ වෙනුවෙන් අත්සන් තබන්නේ ලක් සතොස හි එවකට සභාපති වූ නලින් ප්‍රනාන්දුය. මේ නලින් ප්‍රනාන්දු කලක් අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ හිතවතෙකු ලෙස ප්‍රසිද්ධ වුවත් නලින්ගේ ව්‍යාපාරික සගයා වන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුය.

රාම් ගැන වන අපේ ඒ හෙළිදරව්ව එතනින් නිමාවන්නේ නැත. අපි තවදුරටත් ඔහුගේ කෙරුවාව මෙහි ලියන්නෙමු. ඒ අන් කිසිවක් නිසා නොව රවී අමාත්‍යවරයා කියූ ලෙස අප කොතරම් රාජපක්ෂවාදීන් දැයි ඔප්පුකර පෙන්වීමට සහ අපේ තුප්පහි මාධ්‍ය භාවිතය ඔප්පු කර පෙන්වන්නටය. එනිසා අදාළ සිදුවීම ගැන ලිවීම කල් දැමීමට සිදුවීම ගැන පාඨක ඔබ අපට කමා කළ යුතුය.


රමණ රංගන වන්නම

මේ රාම් ඉන්දියාවේ සිට මෙහි පැමිණි විට නවාතැන් ගන්නේ ටාජ් හෝටලයේ ය. එහි දී ඔහු තම අයථා ව්‍යාපාර ගනුදෙනු වෙනුවෙන් මුණගැසිය යුතු විශේෂ සම්භාවනීය පුද්ගලයන් හමුවන අතර ඒ සමහර පුද්ගලයන් ව්‍යාපාර ගනුදෙනු නිම කරගන්නටත් පෙර යොමු කරන තවත් ස්ථානයක් ද රාම් සතුව ඇත. ඒ රාජගිරිය බුත්ගමුව ෆෙයාර් මවුන්ට් රෙසිඩන්සි හි පිහිටි රාම්ගේ නවාතැනය. එතැන සුවිශේෂී අංගනයක් වන්නේ ෆෙයාර් මව්න්ට් යන මෙරට අයට රාම් විසින් දකුණු ඉන්දියාවෙන් ගෙන එන ජනප්‍රිය නිරූපණ ශිල්පිණියන් මෙන්ම ලිංගික ශ්‍රමය විකුණා යැපෙන ළඳුන්ගේ පහස ලබන්නට එහි දී අවස්ථාව ලැබෙන නිසාය. රාජපක්ෂ සමයේ පටන් රාම් මෙම නවාතැන තුළ එම කටයුත්ත සිදු කරයි. කෙසේ වෙතත් ඒ වෙත ගොඩවන දේශපාලනඥයන් මෙන්ම රජයේ විවිධ ඉහළ තානාන්තර දරන පුද්ගලයන් වෙත රාම්ගෙන් ගැලවෙන්නට නොහැකි වන්නේ එහි සිදුවන රමණ රංගන පටිගත කිරීමට ද රාම් කටයුතු කරන නිසාය. එනිසා රාම්ගේ සියඹලා කන කාටත් සිදු වන්නේ රමණ රංගනයෙන් පසුව රාම්ගේ තානමට පාද තියා නටන්නටය.

රාම්ගේ ඒ වැඩ කොටස වෙනුවෙන් පූර්ණ කාලීනව යොදවා සිටින සේවකයා වන්නේ ගනේෂ් ය. එන අයට ඉන්දියානු සුරූපී ශරීර පෙන්වා දීමේ සිට රමණ සෙල්ලම් සමඟ තිතට මත ගන්නා ඇතැම් කෙරුමන් නිවෙස් වෙත ඇරලවන්නට කටයුතු සම්පාදනය කරන්නේ ද මේ ගනේෂ් ය.

ඉතින් අදාළ දිනයේ රේගු අත්අඩංගුවට පත්වන තෙක් රාම්ගේ සෙල්ලම එසේය. ඒ සෙල්ලම් රාජපක්ෂ සමයට පමණක් සීමා නොවූ අතර වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ද රාම් සෙල්ලම් නොකඩවා සිදුවිණ.

ඒ මොනවාදැයි අප පසුව සඳහන් කරන්නට පොරොන්දු වෙමින් මීළඟට ඔබ වෙත ගෙන එන්නේ අදාළ දිනයේ රාම් සමඟ සිටි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාය. ඔහු ෆාරුක් ෆර්ඞ්හවුස් ය. මාතලේ නගරාධිපතිවරයකු මෙන්ම උග්‍ර රාජපක්ෂවාදියකු ලෙස ප්‍රසිද්ධ හිල්මි කරීම්ගේ බෑණාය. කෙසේ වුවත් ෆාරුක් ෆර්ඞ්හවුස් බොහෝ දෙනෙකු දන්නෙ ෆෙරෝස් යන අන්වර්ථ නාමයෙන් සඳහන් කළ විටය. එසේම ෆෙරෝස් යහපාලන ආණ්ඩුව යටතේ ටෙලිකොම් හි අධ්‍යක්ෂ ධුරයට පත් වූ අයෙකු වන අතර ලේක් ඩ්‍රයිව් ප්‍රොපර්ටි ඩිවෙලොපර් සහ පෑන් ඒෂියා පවර් නමැති සමගාම්වල කොටස්කරුවකු ද වෙයි.

එසේම 2008 ජනවාරි 08 න් පසුව මහින්ද නිතර ආගිය තැනක් ලෙස ද ෆෙරෝස් - හිල්මි නිවස ප්‍රසිද්ධය. එපමණක් නොව රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් පිහිට වූ පොදුජන පෙරමුණ වෙනුවෙන් අරමුදල් රැස් කරන කටයුත්ත වෙනුවෙන් ද ෆෙරෝස් ගේ මාමණ්ඩිය මැදිහත්ව ඇති බව අද ප්‍රසිද්ධ රහසකි. රාම් සුදර්ශන් ද ඒ වෙනුවෙන් අවස්ථා ගණනක දී ආධාර කර ඇත. ඉතින් අප රාත්‍රී කාලයේ ගෝඨාභය සමඟ සිට මාධ්‍ය භාවිතා කරන නිසා තවදුරටත් ෆෙරෝස් සුද්ද කිරීම වෙනුවෙන් අදාළ සිදු වීම ගැන ෆෙරෝස් අමතන්නට අමතක කළේ නැත.

එහි දී ඔහු අප සමඟ පවසා සිටියේ තමන් රාම් සුදර්ශන් නැමැත්තා ව්‍යාපාරිකයකු ලෙස කාලයක පටන් දන්නා බවය. එසේම අදාළ දිනයේ තමන් තුසිත සමඟ ඉන්දියාව බලා ඒමට පිටත් වූ බවත් ඒ එන අතරමඟ දී රාම් මුණගැසී ඔහුද ඉන්දියාවට යන බව දැන්වූ නිසා තිදෙනාම එකට කොළඹින් පිටත් වූ බවය.

පසුව කටුනායක ගුවන් තොටුපොළේ දී රාම්ගේ බෑගයේ තිබී ඩොලර් 45,000 කට ආසන්න මුදලක් රේගු අත්අඩංගුවට පත් වූ බවත් එහි දී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව රාම්ව දඩයකට යටත් කර නිදහස් කළ බවය. එහි දී ෆෙරෝස් වැඩිදුරටත් කියන ලෙස අදාළ මුදල යළි රේගුවෙන් ලබා ගැනීමට රාම්ට අවස්ථාව ඇති බව සහ ඒ වෙනුවෙන් අභියාචනා කරන ලෙස ද රේගුව රාම්ට දැනුවත් කර ඇත.

එසේම තමන් හෝ රාම් හෝ තමන් සමඟ සිටි කිසිවෙක් රේගුව වෙත කිසිදු බලපෑමක් සිදු නොකළ බවත් සියල්ල නීතියට අනුව සිදුවීමට ඉඩ දුන් බව ද ඔහු පැවසීය.

එතනින් ෆෙරෝස්ගේ කතාව අවසන් කරන අපි මේ සූදානම් වන්නේ 10 වන දා රාම් රේගු අත්අඩංගුවට පත් වීමෙන් පසුව සිදු වූ සිදුවීම් පෙළ ඔබ හමුවේ තබන්නටය.


කවුද මේ කලබල

ඩොලර් 45000ක මුදල රාම් සමඟ රේගු අත්අඩංගුවට පත් වීමෙන් පසුව රාම්, ෆෙරෝස් මෙන්ම ඔවුන් සමඟ සිටි අනෙක් පුද්ගලයා ද මහත් කලබලයට පත්ව ඇත. රේගු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ අදාළ වරද හේතුවෙන් රාම්ව මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමය.

ඒ බව දැනගත් වහාම රාම් මතුව ඇති තත්ත්වය සෙන්දිල් තොණ්ඩමාන් වෙත දැනුම් දී ඔහුගේ උපකාර පතා ඇත. මෙහි දී තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් නොමසුරුව වියදම් කළ රාම් වෙනුවෙන් සෙන්දිල් ඉදිරිපත් වන අතර ඔහු වහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අපේක්ෂාවෙන් නීති උපදෙස් පතා ඇත. ඒ ප්‍රසිද්ධ නීතීඥයකු අමතාය. එම උගත් නීතිඥ මහතාගේ දුරකථන අංකය පවා මේ වන විට අප සතුව ඇත.

කෙසේ හෝ වේවා සෙන්දිල් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත අදාල නීතිඥයා මීගමුවේ අධිකරණයේ කටයුතු කරන සිය දන්නා කියන සගයින් අමතා මීගමුවේ අධිකරණය ගැන තොරතුරු ලබාගෙන ඇත. අනතුරුව පෙරළා සෙන්දිල් අමතා ඇති ඔහු මීගමුව මහෙස්ත්‍රාත්වරයා එදින රාජකාරියේ නැති බවත් ඔහු වෙනුවට අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩ බලන බවත් පවසා ඇත. එහි දී ඔහු වැඩිදුරටත් සෙන්දිල් දැනුවත් කර ඇත්තේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩ බලන නිසා සිදුවීමට අදාළව කිසිසේත් ඇප ලබා ගැනීමට හැකියාවක් නැති බවත් සති අන්තය සහ සඳුදා පෝය දිනයක් බැවින් දින 3ක් නිශ්චිතවම රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ඇති බවත් සඳහන් කරමින්ය.

පසුව සෙන්දිල් මේ බව රාම් වෙත දන්වන අතර කුමන හෝ වෙනත් උපක්‍රමයක් වෙත යොමු වන ලෙසත් තමන්ට හැකි උපකාරයක් තමන් ද කරන්නට උත්සාහ කරන බවත් ඔහු පවසා ඇත.

තිදෙනාම මේ දැනුම් දීම හමුවේ තවත් කලබල වන අතරසෙන්දිල් සහ රාම් සමඟ සිටි අනෙක් පුද්ගලයා සිය අනුහස් බලය ක්‍රියාවට නංවන්න ගන්නේ මේ අවස්ථාවේ දීය. දැන් අප පාඨක ඔබ හමුවට ගෙන කරළියට නංවන්නේ ඒ අනුහස්ධාරී තුන්වන පුද්ගලයාය.


ඇමැති සරණං ගච්ඡාමි

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මේ පුද්ගලයා තමන් සතු තුරුම්පු එකින් එක අදින්නට ගන්නේ රේගු අත්අඩංගුවට පත් වූ පළමු මොහොතේ සිටය. පළමුව ඔහු රේගුව හමුවේ දී සිය නිරවද්‍යතාව තහවුරු කරගන්නේ අදාළ රේගු අත්අඩංගුවට පත් වූ මුදලේ හිමිකරු ලෙස රාම්ව ඉදිරිපත් කරමින්ය. ඒ අනුව පළමුව චෝදනාවෙන් නිදහස් වන ඔහු දෙවනුව කරන්නේ තමන් කවුද යන්න රේගු නිලධාරීන්ව දැනුවත් කරමින්ය. ඒ තමන් මෙරට රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු වන අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කරන බව සඳහන් කරමින්ය. එසේම ජනාධිපතිවරයා සමඟ ද තමන්ට සමීප ඇසුරක් ඇති බවත් ඔහු සමඟ විදෙස් සංචාරවලට ද සම්බන්ධ වූ බවත් ඔහු පවසා ඇත. ඒ කිසිදු දැනුම් දීමකින් රේගු නිලධාරීන් නම්මවාගත නොහැකි වූ තැන ඔහු සිය ප්‍රබල තුරුම්පුවක් එළියට අදින අතර ඒ අන් කිසිවකු නොව වත්මන් ආණ්ඩුවේ ඩීල් සහ ව්‍යාපාරවලට ප්‍රසිද්ධ ප්‍රබල අමාත්‍යවරයෙකුවය. දෙදෙනාගේ හිතවත්කම මත අදාළ අමාත්‍යවරයා සිය උපරිම බලය යොදා රේගු නිලධාරීන් අසරණ කරන්නට කටයුතු යොදා ඇති අතර ඔහුගේ මැදිහත්වීම නොවන්නට 10 වන දා රුපියල් ලක්ෂයක දඩයකින් නිදහස් වන්නට ඉඩ ලැබෙන්නේ නැත. එසේම එදින ගුවන්යානය මඟ හැරීම නිසා ඊට පසුදින ඉන්දියාව බලා නැවත පිටත්ව යාමට ඉඩ ලැබෙන්නේ ද නැත. කෙසේ වුවත් දැනට මේ මැදිහත් වීමට අදාළ චෝදනාවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක නිදහස් කරන්නට අපට සිදුව ඇත. මන්ද අප කළ කරුණු විමසීමේ දී ඔහු අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ නිසාය.

එසේ වූවා කියා රජයේ ප්‍රබල අමාත්‍යවරයකු රේගුවට බලපෑම් කර රාම් ඇතුළු තිදෙනා නිදහස් කළ බවට ඇති තොරතුර අවලංගු වන්නේ නැත. එසේම එම අමාත්‍යවරයාගේ සරණින් රේගු අත්අඩංගුවෙන් මිදුණු අය රාජපක්ෂ රෙජීමය සමඟ සිදු කළ පන්නයටම යහපාලන ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් සමඟ ද ඩීල් දමමින් සිටින බවට ඇති චෝදනාවද ප්‍රතික්ෂේප වන්නේ නැත.

කෙසේ වුවත් ඇමැතිගේ සරණින් නිදහස් වූ මේ පුද්ගලයා අනතුරුව උත්සාහ කරන්නේ අදාළ සිදුවීම මාධ්‍ය හරහා හෙළිදරව් වීමට ඇති ඉඩකඩ අහුරාලීමය. ඒ වෙනුවෙන් ඔහු සිය හිතවතුන් හරහා ක්‍රියාත්මක වන අතර කොන්දේසි විරහිතව දූෂණයට වංචාවට එරෙහි වන බව පවසා ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන අපේ කාලයේ අවාසනාවන්ත වෙබ් අඩවියේ හිමිකරුවාගේ සහාය ද ඊට ලැබී ඇත.


යහපාලන නැට්ටෙත් ගොම

කෙසේ වුවත් එවැනි ඔස්තාද්ලා හරහා මේ සිදුවීම යටපත් කරන්න මේ පුද්ගලයා සමත් නොවන්නේ ඒ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන්නට රේගුව මෙන්ම ගුවන්තොටුපළ බුද්ධි අංශ ක්‍රියාකර තිබූ නිසාය. ඒ ගැන නොදත් මොහු අදාළ චෝදනාව සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකුව මුළා කරන්නට උත්සාහ කළේ තමන් සහ මේ සිදුවීමේ කිසිම සම්බන්ධයක් නැති බවත් තමන් කළේ විපතක් සිදුව ඇති බව දුටු හිතවතෙකුට යම් උපකාරයක් කරන්නට මැදිහත්වීමක් පමණක් බවත් පවසමින්ය.

යහපාලනයේ නැට්ටේ සිට ගොම ගාමින් සිටින මේ පුද්ගලයාගේ ඒ තුරුම්පු අවසානයේ බාල්දු වී ගියේ සිදුවීම පිළිබඳ ආණ්ඩුවේ ඉහළ පාර්ශ්ව දැනුවත්ව පැය කිහිපයක් ගතවන විට ඊට අදාළ ජජඑඩ දර්ශන ගෙන්වා නරඹන්නට ඒ අය කටයුතු කළ නිසාය.

අදාළ පුද්ගලයන් තිදෙනා එකම වාහනයකින් ගුවන් තොටුපොළට යන ආකාරයත් පසුව ගුවන් යානය මඟ හැරුණු නිසා එකම වාහනයේ නැගී පෙරලා එයින් පිටත්වන ආකාරයත් එහි පැහැදිලිව සටහන්ව තිබිණ. ඒ අනුව ආණ්ඩුවේ ඉහළ තැන් නොමඟ යවන්නට ඔහු ගැසූ තුරුම්පුව බාල්දුවී ඇතුවා පමණක් නොව මේ වන විට ඔහුට එරෙහිව විශේෂ වාර්තාවක් සකස් කරන්නට ද බුද්ධි අංශ වෙත පවරා ඇතැයි වාර්තා වෙයි.

ඉතින් ප්‍රිය පාඨකය, මුදල් අමාත්‍යවරයා අපගේ මාධ්‍ය භාවිතය තුප්පහි කියන්නේ මෙවැනි අම්බරුවන් සහ ඔවුන්ගේ අම්බරු වැඩවලට සහාය දෙන දේශපාලන අම්බරුවන් හෙළිකරන නිසාදැයි අප දන්නේ නැත. එනිසා ඒ ගැන ඔබටම සිතන්නට ඉඩදී මේ යහපාලන අම්බරුවා ගැන තවත් ලියන්නට අපට සිත් විය.

මේ පුද්ගලයා 2015 ජනවාරි 08 ආණ්ඩු පෙරළියේ සින්නක්කර ඔප්පුව පළමුව තම මාධ්‍ය හිතවතුන් ලවා මාධ්‍ය හරහා ලියවා ගත් අයෙකු වන අතර එයින් සෑහීමකට පත් නොවී තමන්ම තම කෙරුවාව ලියා පොත් මුද්‍රණය කළ අයෙකුය. ශ්‍රීලනිපය රාජපක්ෂගෙන් ගලවා ගෙන සුරකිනු ලැබුවේ තමන් බව නිතර දොඩවන ඔහු පසුගිය සමයේ වඩාත් අවධානයක් දිනා ගත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෑන් රථයක නංවාගෙන නිතර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන්නෙකු ලෙසය. ඒ සියල්ල ඔහු සිදු කළේ වත්මන් ආණ්ඩුව රාජපක්ෂ අන්තරාවෙන් මුදවාගෙන සිටින මුර දේවතාවා තමන් බව තවදුරටත් පෙන්වා දෙන්නටය.


සජින් වාස් II

ඒ මුරදේවතාවා රාජපක්ෂ සමයේ සිටි තක්කඩියන් සමඟ එකතුව ඒ පරණ සෙල්ලම් යහපාලන ආණ්ඩුව තුළට ගෙන ආවේ ද මේ අතරතුරය. ඒ සෙල්ලම් විසින් ඔහුව අද අසීමිත ධනයක හිමිකරුවෙක් බවට පත් කර ඇති අතර ඒ කොතරම්දයත් යහපාලනය පත්ව වසර දෙකක් ඉක්ම යන තැන ඔහුගේ නවාතැන වී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ ජරුිජ්එ හි කාමර දෙකින් සමන්විත සුඛෝපභෝගී එපාර්ට්මන්ට් එකකය. එහි මාසික කුලිය ඩොලර් 4000ක් පමණ වන අතර වටිනාකම රුපියල් මිලියන 785-800 ත් අතරය. එසේම මිරිහාන ප්‍රදේශයේ රාජපක්ෂවරුන්ගේ නිවස අසල මහල් නිවසක් සේම තවත් ප්‍රදේශයක හෝටල් සංකීර්ණයක් ද ඔහු ඉදිකරමින් සිටියි.

එසේම යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව ඔහු ප්‍රසිද්ධව සිටින්නේ යහපාලනයේ “සජින් වාස්” නමින්ය. ඒ රාජපක්ෂ රෙජීම සමයේ සජින් වාස් කළු සල්ලි විදෙස් ගතකර ගන්නට එම ජාවාරම්කරුවන්ට සිය රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය හරහා උදව් කළ බවට කතාවක් ඇති නිසාය. මේ පුද්ගලයා ද සජින් ලෙසම නිතර විදෙස් ගත වන අතර ඒ බොහෝවිට සිය රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදා ගනිමින්ය. ඒ අයුරින් ඔහු මේ වන විට 30 වතාවකට වඩා විදෙස්ගත වී ඇත. ඒ බොහෝ අවස්ථාවල දී ඔහු රාම් ද එම සංචාරය සඳහා එක්කරගෙන ඇති අතර ඉන්දියාවට ගිය අවස්ථාවල දමිළ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් ආයෝජනය කර ඇති බව ද හෙළිව ඇත.

කෙසේ හෝ වේවා මෙවර ඔහු රේගු අත්අඩංගුවට පත් වන්නේ සිය සගයින් සමඟ සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදෙස් ගතවීමට ගිය නිසාය. ඒ අනුව බුද්ධි අංශ මේ වන විට ඔහුගේ වීඅයිපී පර්යන්තයෙන් ගිය විදෙස් සංචාර සහ එහි දී මුණගැසුණු පුද්ගලයන් පිළිබඳව විමර්ශන අරඹා ඇත. ඒ මොහු සිය රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදාගෙන කළු සල්ලි විදෙස්ගත කර සුදු කරන ජාවාරමේ නිරත බවට තොරතුරු අනාවරණය වී ඇති නිසාය. එසේම එම විමර්ශනවල දී මේ වන විට ඔහු ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ගිය අවස්ථාවේ රාම් සුදර්ශන්ව ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරය තුළට ගෙන ගොස් ඇති බවද හෙළිව ඇත. ඒ තොරතුරු තහවුරු වනවා නම් තත්ත්වය ඉතා බරපතළය. මන්ද මෙසේ ඔහු ජනාධිපතිවරයා හමුවට ගෙන යන්නේ රාජපක්ෂ රෙජීම සමයේ බැසිල්ගේ ගෝලයකුව සහ අදටත් බැසිල්ගේ පොදුජන පෙරමුණට අනුග්‍රහය දක්වන අයෙකු වන නිසාය. එපමණක් නොව බැසිල් මිත්‍ර, රාම් සුදර්ශන් සිරිකොත වෙත හඳුන්වා දීමට සහ ඔහුට එහි සම්බන්ධතා සාදා දීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කිට්ටුම කාර්යමණ්ඩල සභිකයකු මුණගැස්සවීමට ද මොහු කටයුතු කර ඇති බව මේ වන විට හෙළිව ඇත.

එපමණක් ද නොව මොහු පොලීසියේ ඉහළම නිලධාරියකු සමඟ එකතු වී රාජපක්ෂලාගේ මෙගා ඩීල් යට ගැසීම වෙනුවෙන් කප්පම් ගන්නා ආකාරය ගැන ද තොරතුරු අප සතුව ඇත. ඉදිරියේ දී මේ පිටු මත නම් ගම් සහිතව ඒවා පළ වන්නට ද නියමිතය.

එසේම තවත් වැදගත් කරුණක් වන්නේ මේ ආණ්ඩුවේ සීනි ආනයනය සම්බන්ධ ටෙන්ඩරය රාම් ගේ ඔමේගා නම් සමාගමට දීම ඇතුළුව තවත් ටෙන්ඩර් කිහිපයක් රාම් වෙත ලබා දීමට කටයුතු සූදානම් කළ ඇමැතිලා මේ ආණ්ඩුවේ සිටීමය. ඒ වෙනුවන් හුවමාරු වූ ලිපි අප වෙත ලැබී ඇති අතර ඊට පහසුකම් යෙදවූ අය මේ රාම් කවුද නොදැන සිටියාදැයි අසන්නට අපට සිදුව ඇත. එපමණක් නොව රාජපක්ෂ රෙජීමයේ සෙල්ලම් යහපාලනය යටතේ දමන රාම් වැනි තක්කඩියන් සේම ඊට අනුබල දෙන යහපාලනයේ සින්නක්කර ඔප්පු හිමියන් සහ ඔවුන් හරහා මඩිය තරකර ගන්නා තදයින් ගැන තවත් තොරතුරු අප සතුව ඇතුවා මෙන්ම ඒවා ද මේ පිටුමත අකුරු වනවා ඇත. රාත්‍රියේ රුධිරය පානය කරන්නට තරම් දරුණු වන, උදෑසන දොස්තර වෙස් ගන්න දොස්තර ජැකිල් සහ මිස්ටර් හයිඞ් භූමිකා අපට නැත. එවැන්නන් කොහේ සිටියත් ඔවුන් අපෙන් ප්‍රවේශම් විය යුතුය.

එසේම මේ කළු සල්ලි රට පටවන උන්දැලා එවන වෑන් රථයේ නැගී හෙට දිනයේ ද රටේ නායකයන්ගේ කාර්යාලවලට යනවද කියා මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් ද ඇසිය යුතුව ඇත. අප ඔවුන්ට දැනුම් දෙන්නේ ඔය එන සුදු වෑන් රාජපක්ෂගේ සුදු වෑන්වලින් වෙනස් වන තැනවත් හඳුනාගෙන කටයුතු කළ යුතුව ඇති බවය.

ඉතින් මුදල් ඇමැතිතුමනි! අප ගෝඨාභය සමඟ රාත්‍රිය ගතකර උදෑසන ආණ්ඩුව සමඟ සිටින තුප්පහි මාධ්‍ය භාවිතයක නිරත වන බව කියන්නේ මෙලෙස සිදු කරන මාධ්‍ය භාවිතයටද? ඒ ප්‍රශ්නයට ඔබේ පිළිතුර ඔව් නම් ඊට අපේ ප්‍රතිචාරය මෙසේය.

ඇමැතිතුමා ඔබ තුප්පහි කියන්නෙ අපේ මේ මාධ්‍ය භාවිතයට නම් අපි තුප්පහි තමයි, අපේ අපේක්ෂාව මාධ්‍ය භාවිතය, ඒ තුප්පහිකමේ අංක එක වීමයි.!

- සංජය ලියනගේ

sathhanda.lk

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us