පාදඩ ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහින්ද චින්තනය

Published in පාඨක මත
Saturday, 27 June 2015 12:04

තම ධුර කාලයේ වසර දෙකක් ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ එම මැතිවරණය පැවැත්වූ පසුගිය ජනවාරි අට වැනිදාට පසුදා එළිවෙන විට අසීමිත බියකට පත්ව තිබුණි. තමන්ගේ ජයග්‍රහණය රැක ගැනීමට අසීරු බව තේරුම් ගත් පසුව බලය කෙසේ හෝ රැක ගැනීමට ද තැත් කර එය ද අසාර්ථක වූ පසුව එසේ බියට පත්වීම සහේතුක කරුණකි. කෙසේ හෝ අවසානයේ මහින්ද රාජපක්ෂගේ බිය තුරන් කළේත් ආරක්ෂිතව මැදමුලනට පසුබැසීමට උදව් කළේත් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බව මේ වනවිට කවුරුත් දන්නා කරුණකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (04) වගන්තියට අනුව ජනාධිපතිවරණයක දී නව ජනාධිපතිවරයා තෝරා පත් කර රාජකාරී භාර ගන්නා තෙක් අදාළ ධුරයේ රාජකාරි කටයුතු ඉටු කළ යුත්තේ ඉවත්ව යන ජනාධිපතිවරයා විසිනි. එහෙත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැනවී ඇති එම භාරධුර කාර්යය ඉටු කිරීමට තරම් ඉස්පාසුවක් නොවුණි.

ජනාධිපතිවරණයෙන් තමා පරාජය වී ඇති බව නොනිල වශයෙන් දැන ගත් පසුව අඩු වශයෙන් එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු හෝ ධුරයේ රැඳි සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමට හිටපු ජනාධිපතිවරයා අපොහොසත් වුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කර රට බේරා ගත්තා යැයි කියන, එසේම එලෙස “රට බේරා ගැනීම” අලෙවි කරමින් බලය රැකගත් ඔහුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම ප්‍රතිවාදියා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මට්ටමට ඇද වැටීමට සිදුවීම උත්ප්‍රාසජනක ය.

වේළුපිල්ලේ ප්‍රභාකරන් සිදු කළ පරිදිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල කළ හැක්කේ මේ අවස්ථාවේ දී පමණක් නොවේ. ඔහු මීට පෙර ද අවස්ථා ගණනාවක දී තමන් දිවිහිමියෙන් සුරකින බවට දිවුරුම් දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කිරීමට පැහැර හරිමින් රජයේ උසස් තනතුරු වලට පත් කිරීම් කිරීමේ දී ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කළේ වරක් දෙවරක් නොවේ. සිරිතක් ලෙස ඒ වරද කළ හිටපු ජනාධිපතිවරයා ඒ උල්ලංඝනයන් නීත්‍යනුකූලත්වයට පත් කළේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස‍ංශෝධනය මගිනි. ඒ සංශෝධනය ගෙන ඒම ඉතිහාසයේ පිළිකුල් සහගතම දේශපාලන ක්‍රියාව ලෙස හැඳින්විය හැකි තරම් බරපතළ වරදකි.

ජේ.ආර්. ජයවර්ධන විසින් 1977 දී අතිවිශාල ජනවරමක් ලබා ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වරූපය ආර්ථිකමය, දේශපාලනමය හා සමාජයමය ලෙස පරිවර්තනයකට ලක් කරන්නට පියවරින් පියවර කටයුතු කරන විට ඊට මුහුණ දෙන්නට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් සමාජය තුළ නොවුණි. ඒ නිසා සමාජයේ පසුගාමී කොටස්වල එකතුවකින් යුත් අසංවිධානාත්මක බලවේග ‍ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රතිසංස්කරණයන්ට “දේශපාලන කැට කැබැලිති” එල්ල කළහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර “ධර්මිෂ්ට සමාජය” ලියමින් ඒ පසුගාමී දේශපාලන බලවේගයන්ට න්‍යායාත්මක මඟ පෙන්වීමක් ලබාදුනි.

එදා ජේ.ආර්. ජයවර්ධනගේ සමාජ ප්‍රතිසංස්කරණයන්ට විරුද්ධ වූ පසුගාමී බලවේග අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වුණි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතළම විවේචනය වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එම ව්‍යවස්ථාව මඟින් රට ආඥාදායකත්වයක් කරා ගෙන යන බව ඔවුහු කීහ. එහෙත් එසේ කියූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 2005 දී ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂත් මුළු මහත් සමාජයම ආඥාදායකත්වයට තල්ලු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වන සංශෝධනයක් ගෙන ඒම වඩාත්ම උත්ප්‍රාසජනකය.

‍තමන් විසින් බරපතළ ලෙස විවේචනය කළ දේශපාලන ක්‍රමයක් පසුව තමන් විසින් බරපතළ ලෙස කැප වී රැක ගන්නා දේශපාලන ක්‍රමයක් බවට පරිවර්තනය කර ගැනීම මේ ක්‍රියාදාමය තුළ හාස්‍යජනක ය. එසේ පරිවර්තනයකට ලක් වීම සාධාරණීකරණය කිරීමට හා සමාජ අවශ්‍යතාවක් බව පෙන්වීමට ඒ සම්බන්ධයෙන් වූ දේශපාලන විවේචනයක් මේ මොහොත තුළත් මහින්ද රාජපක්ෂ සතුව ඇති බවක් නොපෙනේ. ඒ සම්බන්ධයෙන් ඔහු නියෝජනය කරන බලවේගයන් ඔහුව දේශපාලනිකව ප්‍රශ්න කරන බවක් ද නොපෙනේ. එවැනි ස්වයං විවේචනයකින් තොරව දේශපාලනයක යෙදීම එක් අතකින් ඊට ආවේනික දේශපාලන ආස්ථානයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ යුගයේ දී පෝෂණය වූයේ එම පක්ෂයේ මූලික පදනම වූ පංච මහා බලවේගය නියෝජනය කළ දේශපාලන සමාජ කොටස් වලින් නොවේ. නො එසේ නම් කාලානුරූපව ධනාත්මකව වෙනස් වෙමින් අලුත් දේශපාලන බලවේගයකින් ද නොවේ. සමාජ දේශපාලන පරිසරයේ තර්කානුකූල විය හැක්ක පරිදිම මහින්ද රාජපක්ෂ යුගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුති ඇති කර ගත්තේ 1978 ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රතිසංස්කරණ වලින් සමාජය තුළ නිර්මාණය වූ පාදඩ සමාජ ස්ථරයන් සමඟය. 1978 දී ඇති කළ ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට විකල්ප වූ සමාජ ව්‍යාපාරයක් නොමැතිව ඊට කැට කැබලිති වලින් පහරදෙමින් සිටි පක්ෂයකට වෙනත් තර්කානුකූල අවසානයක් නොමැතිවීම ස්වභාවිකය. 2015 වනවිට මහින්ද රාජපක්ෂගේ “දේශපාලන ක්‍රමය” එහි කූටප්‍රාප්තියට පත් වෙමින් පාදඩ සමාජ ක්‍රමයේ හසුරුවන්නා බවට රජය පත්ව තිබුණි.

එල්.ටී.ටී.ඊ. ය පරාජය කරමින් මහින්ද රාජපක්ෂ ලංකා සමාජය ඔසොවා තැබුවේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී වඩා ශිෂ්ට හා වඩා ගුණ යහපත් සමාජ මට්ටමකට නොවේ. ඔහු සියලු පැති වලින් සමාජය තුළ ශක්තිමත් කළේ ඒකාධිපති, අශිෂ්ට හා අමානුෂික බලවේගයන් ය. ඒ බලවේගයන් 1978 දී ඇති කළ දේශපාලන ක්‍රමයේ අනිවාර්ය ප්‍රතිඵලයන් ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කරමින් රට බෙදීමේ අරමුණු ව්‍යර්ථ කළා යැයි උදම් ඇනීම අර්ථවිරහිත බලය ලබා ගැනීමේ සටන් පාඨයක් පමණක් වන්නේ මේ අරමුණෙනි.

1978 ඇති කළ ප්‍රතිසංස්කරණ තුළ මධ්‍යම පන්තිය ශීඝ්‍රයෙන් පුළුල් වූවා මෙන්ම එම පන්තිය පාදඩ ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් යැපුණි. නිෂ්පාදන, කාර්මික අංශ ශීඝ්‍රයෙන් හැකිලෙමින් සේවා අංශය ආර්ථිකය තුළ පුළුල් වුණි. ඒ සේවා අංශය අතර වඩා ශක්තිමත් වූයේ පාදඩ ආර්ථික ක්‍රියාකාරකම් ය. ඒ අතර සමාජය තුළ ශක්තිමත් වූයේ සුදුසුකම් නැතිව දේශපාලන බලය මඟින් රැකියා ලැබූවන්, රාජකාරියක් ඉටු නොකරමින් හෝ අඩුවෙන් රාජකාරියක් ඉටු කරමින් හෝ මහජන මුදලින් වැටුප් ලබන්නන්, රජයේ කොන්ත්‍රාත් ආදියෙන් මුදල් වංචා කළවුන්, රජයේ දේපළ නොමිලේ, අඩු මුදලට හෝ බද්දට ලබා ගැනීමේ වරප්‍රසාද ලැබූවන්, පරිසර සංහාරයෙන් මුදල් උපයන්නන් ආදීන් ය. මෙවැන්නන් බල්ලන් මරා හෝ මුදල් උපයා ගන්නන්ගේ සමාජ තීරුවට ඇතුළත් කළ හැකිය.

මහින්ද රාජපක්ෂ විසින් ස්ථාපිත කළ සමාජ ක්‍රමයේ පදනම් පවුරු වන්නේ මේ අන්දමින් බල්ලන් මරා හෝ මුදල් උපයන්නවුන්ය. එය පාදඩ ආර්ථික ක්‍රමයක අනිවාර්ය ප්‍රතිඵලයකි. වරක් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර පාර්ලිමේන්තුවේ දී පැවසූ පරිදිම මේ රටේ ආර්ථිකය 50%ක් පාදඩ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයන් ය එවැනි කළු ආර්ථිකයක සමාජ කොටස් හැසිරෙන්නේ ඊටම ආවේණික ලෙසිනි.

රාජපක්ෂගේ “මහින්ද චින්තනය” පදනම් වී ඇත්තේ පාදඩ ආර්ථිකයක් මත වන අතර එය සුරුවම් කර ඊට සුජාතභාවයක් ලබාදෙන්නට කටයුතු කළේ බෙදුම්වාදයෙන් රට බේරා ගැනීමේ ප්‍රමුඛයා ලෙස මහින්ද රාජපක්ෂව ඔසොවා තබමිනි. එහෙත් එකකට එකක් වෙනස් බව නිතර පැවසුවද ප්‍රභාකරන් චින්තනයත් මහින්ද චින්තනයත් දෙකම එකක් බව මේ වන විට ඔප්පු වී අවසන් ය. මහින්ද චින්තනයේ දරුවන්ට රාජපක්ෂගේ පරාජය දරා ගත නොහැකි වීම බරපතළ කරුණකි. ඒ නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුගාමිකයන් මෙන්ම මහින්ද චින්තනයේ දරුවන් ද සමාජ ගත කිරීමට පෙර දේශපාලන ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුය.

සමාජයේ පාදඩ ආර්ථික බලවේගයන්ගේ දේශපාලන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නිතැතින්ම පත්ව තිබේ. ඒ තුළ නියෝජන භූමිකාව රඟ දක්වන්නේ වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා ගම්මන්පිල ය. රට බේරා ගත් නායකයා ලෙස තොරොම්බල් කරමින් මහින්ද රාජපක්ෂට සිංහල ග්‍රාමීය සමාජ ස්ථරය තුළ තවමත් පදනමක් පවතී. එසේම ග්‍රාමීය ප්‍රදේශ වලින් කොළඹ අග නාගරිකයට හා තදාසන්න ප්‍රදේශයන්ට පැමිණ පදිංචි වූ සිංහල බෞද්ධ මධ්‍යම පාන්තිකයන් තුළ විමල් වීරවංශට, දිනේෂ් ගුණවර්ධනට හා ගම්මන්පිලට දේශපාලන ශක්තියක් පවතී.

පාදඩ ආර්ථික බලවේගයන්ගෙන් පෝෂණය වන සමාජයේ මධ්‍යම පන්තිය සමාජ ක්‍රියාකාරීත්වය තුළ බලාපොරොත්තු වන්නේ ඉක්මන් විසඳුම් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැදමුලනට පසු බා ගිය මහින්ද රාජපක්ෂට මෙන්ම මහින්ද චින්තන දරුවන්ට ද බලය නොමැතිවම ජීවත්විය නොහැක. ඒ අර්ථයෙන් බලය සඳහා කළ හැකි සියල්ල කරමින් සමාජය විනාශය කරා ඇදගෙන යෑම මෙවැනි සමාජ කොටස්වල ස්වභාවික චරිත ලක්ෂණයන් ය. එය සමාජ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීමක් ලෙස අර්ථ දැක්වීම සමාජයට ස්වයං විනාශයට කැඳවා ගැනීමකි. ඒ නිසා පළමුව මහින්ද රාජපක්ෂ හා මහින්ද චින්තනයේ දරුවන් ද දෙවනුව පාදඩ ආර්ථික ක්‍රමය ද දේශපාලනිකව පරාජය කිරීම අනිවාර්යෙන් කළ යුත්තකි.

කේ.ජී.පිලිප් ශාන්ත

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+