බුලත් කොලේ අතට දී අලියා පොහොට්ටුවෙන් කළ මුස්ලිම් විරෝධී ප්‍රහාරය Featured

Wednesday, 14 March 2018 17:53

"එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක්‌ ගත්තහම පෙනෙන දෙයක්‌ තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා.

" මේ පසුගිය මාර්තු 11 දා "ඉරිදා දිවයින සංග්‍රහය" ට ජනාධිපති සිරිසේන ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක්. මේ පිළිබඳව මගේ අවධානය වඩා යොමු වුනේ මේ ප්‍රකාශයෙන් පසුව කරනා ලද හෙළිදරව්වක් නිසා.

එතනදී ජනාධිපති සිරිසේන මෙහෙම කියනවා.

"කුලියාපිටියේ මුස්‌ලිම් කඩ දෙකකට පහර දුන්නා. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කරපු අපේක්‌ෂකයෙක්‌, ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්‌ෂණවලදී හොයා ගෙන තිබෙනවා. සමහර දේවල් පැහැදිලිවම, දේශපාලන පසුබිම්වලින් ආණ්‌ඩුවට විරුද්ධව සිද්ධ කරපුවා බව මේ සාධක වලින් පෙනෙනවා. සමහර අය දේශපාලන පසුබිමක්‌ නැතිව අන්තවාදී විදියට හිතන අය." දැන් මා කියන්නම් ජනාධිපති සිරිසේනගේ මේ ප්‍රකාශ ඇයි මගේ විශේෂ අවධානයකට ලක් වුනේ කියලා.

ජනාධිපති සිරිසේන වරකදී කියනවා ඡන්ද ලකුණක් තියෙන මුස්ලිම් කඩයක් තියෙනවා ඒකට මොනවත් කරලා නැහැ. නමුත් ඒ අයිනේ තියෙන අනිත් ඔක්කෝම කඩවලට ගහලා කියලා. හැබැයි ඒ කඩේ තිබුන ඡන්ද ලකුණ කියන්නේ නැහැ. ඊළඟට කියනවා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කරපු අපේක්‌ෂකයෙක්‌ කුලියාපිටියේදී ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්‌ෂණවලදී හොයා ගෙන තිබෙනවා කියලා. එතකොට තමන්ගේ ආණ්ඩුවේ කොටස්කාර​යෙක් වුනත්, එජාප ය මුස්ලිම් විරෝධී කැරැල්ලට සම්බන්ධ වුනා කියලා නිර්භීතව කියනවා. ඒක බොහොම හොඳයි. ඒත් තෙල්දෙණියේ මුස්ලිම් කඩේ ගහලා තිබුන ඡන්ද ලකුණ කාගේද කියන්නේ නැතිව හංගනවා. හංගන්න හේතුව තමයි ජනාධිපති සිරිසේන මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කළ "බුලත් කොලය" හෝ "අත ලකුණ" තමයි ඒ මුස්ලිම් කඩේ අලවලා තිබුනේ. ඒ නිසා තමයි ඒ කඩේ බේරුනේ.

ඊළඟට මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ නැමැත්තා ගේ බිරිඳ පහුගිය මාර්තු 12 දා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. ඒකෙදි ඇය කීවේ සිය ස්වාමිපුරුෂයාට නුවර එන්න කියලා ආරාධනා කළේ මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා. සිය සැමියා මේ සියලු චෝදනාවන්ට පැටලවීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා වගකිව යුතු බවත් ඇය දැඩිව කියා සිටියා. මෙදිනම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ගේ හෙළිදරව්වක්ද ජනමාධ්‍ය හරහා අපට දැක ගන්නට හැකිවුනා. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ "අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වෘක, බැටළු ඇඳුම් ඇඳගත් කට්ටිය​. හැම පවුලකම කලු බැටළුවන් ඉන්නවා. ඒ වාගේම ආණ්ඩුවේත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා" යි කියලා.

මේ සියල්ලට අමතරව​ මුස්ලිම් කඩේ අලවලා තිබුනේ "අත හෝ බුලත් කොලේ" ලකුණ කියලා ටක්කෙටම කියන්න පුලුවන් තවත් හේතුවක් තියෙනවා. මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේත්, වර්තමාන ජනාධිපති සිරිසේන ගේත් ජනාධිපති ආරක්‍ෂක ඒකකය බාරව හිටිය කෙනෙක්. මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ට පොලිසිය ආධාර අනුබල දුන්නාය, ඒ සඳහා සාක්‍ෂි තියෙනවා කියලත් මාධ්‍ය ඉදිරියේම මුස්ලිම් ඇමතිවරු කියනවා.

හකීම් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා කැරලි මර්දන හමුදා හිටියත් ඔවුන් කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කළේ නැහැ කියලා. හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ තමන්ට ක්‍රියාත්මක වෙන්න නියෝගයක් ආවේ නැහැ කියලා හමුදා භටයන් කියා සිටි බවයි. තවත් තැනකදී ගමට පහරදීමට ආව කැරලිකරුවන්ට මුස්ලිම් ජනතාව එකතුවී පහරදී පන්නා දැමූ බවත්, විශේෂ කාර් ය​ බලකා භටයන් මුස්ලිම් ගම්වැසියන්ට පහරදී එළවා දැමූ බවටත් චෝදනා තිබෙනවා.තවත් තිබෙන චෝදනාවක් තමයි "පැයක් දෙන්නම්, කරන දෙයක් කරළා ඉක්මනට යන්න ඕනෑ" යි කැරලිකරුවන්ට ඉඩ දෙමින් පොලිසිය කියා ඇති බව​.

මද්දුම බණ්ඩාර ගේ ටිකිරි බණ්ඩාර පොලිසිය​.

මේ බොහෝ චෝදනාවන් සත්‍ය යැයි නීතිය හා සාමය පිළිබඳ ඇමති මද්දුම බණ්ඩාර මාර්තු 12දා බී බී සී ය සමඟ කරන ලද සාකච්ඡාවකදී තහවුරු කර තිබෙනවා.

"ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යද්දී පොලිසිය 'බලා සිටි' බවට සහ කැරලිකරුවන් පාලනය කිරීමට පියවර නොගත් බවට පොලිසියට එල්ලවන චෝදනා එල්ලවනවා නොවේදැ" යි බීබීසී ය ඇමතිවරයාගෙන් විමසා තිබුනා. එයට පිළිතුරු දුන් ඇමතිවරයා "දැන් බලන්න මේ ගැටුම්වලින් මරණයට පත්වෙලා තියෙන්නේ දෙන්නයි. ඒ වගේම තුවාල වෙලා තියෙන්නේ 12 දෙනෙකුට විතරයි. එයින් අට දෙනෙක් බෝම්බ සිද්ධියෙන්. ඒ කියන්නේ ගහ ගැනීමක් වෙලා නෑ. පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ට මීට වඩා වෙනස් විදියකට සැලකුව නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ."

ඇමතිවරයාගේ පිළිතුර අනුව​, කැරලිකරුවන් ගෙනෙන බෝම්බ ඔක්කෝම ගහන්න ඉඩ දෙනවා. ඉන්පසු රිසි සේ පහරදීම්, ගිනි තැබීම්, මංකොල්ලකෑම් කරන්න ඉඩදෙනවා. උන්ටම ඇතිවුනාට පස්සේ ආපහු යනකම් පොලිසිය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තෝරා බේරා අවශ්‍ය අය පමණක් අත් අඩංගුවට ගන්නවා. ජනවර්ගයකයට එරෙහි කැරැල්ලක් මැඩ පවත්වන්න 21වන සියවසේ කරනා ලද හොඳම සොයා ගැනීම​. නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කරන්න පුලුවන්. ජනාධිපති ගේ විද්‍යානුකූල කැබිනට් සංශෝධනයෙන් පස්සේ ආපු ඇමති. වාසනාවන්.

ඊළඟට ඇමතිවරයා කියනවා ගහ ගැනීමක් වෙලා නැහැ කියලා. ඒක හරිනෙ. සන්නද්ධ සිංහල පොලිසිය හා සිංහල හමුදාව, සන්නද්ධ සිංහල කැරලිකරුවන්ට ආරක්‍ෂාව සපයලා තියෙනවා. ඒ නිසා මුස්ලිම් එවුන්ට පෙරළා පහර දෙන්න බැරිවෙලා. එතකොට ගහ ගැනීමක් නෑනෙ. මුස්ලිම් එකා ගුටි කෑම පමණයි.

ඇමතිවරයා තවදුරටත් මෙහෙම කියනවා. "පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ට මීට වඩා වෙනස් විදියකට සැලකුව නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ." ඇමතිවරයාගේ මේ ප්‍රකාශයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා බීබීසී මාධ්‍යවේදියා අහල නෑ. ඒනිසා ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට ඒක අර්ථගන්වා ගැනීමට පුලුවන්. ඉදිරියේදී මෙවැනි ජනවාර්ගික පහරදීමකදී කැරලිකරුවන් ගෙනෙන බෝම්බ​, ආයුධ හා එන පිරිස් කොපමණද කියලා ප්‍රමාණය සීමා කළ හැකිනම් විනාශය අඩු කරගන්න පුලුවන්වෙයි කියලයි මට හිතෙන්නේ. එවගේම එයට අදාල චක්‍රලේඛයක් නීතීය හා සාමය අමත්‍යංශයෙන් හැකි ඉක්මනින් නිකුත් කරන්න පුලුවන්නම් හොඳයි.

එවැනි ත්‍රස්තක්‍රියා දෙස නිසොල්මනේ බලා හිඳීමෙන් පොලිසිය හා හමුදාව අපහසුතාවයට පත්වනවා. ඔවුන්ට චෝදනා එල්ල වෙනවා. ඒ නිසා කැරැලිකරුවන් ආපසු යනතුරු මින්පසු හමුදාව හා පොලිසිය බැරැක්ක තුළම රඳවා තැබීමටද යෝජනා කරනවා.

අරුම පුදුම ක්‍ෂණික කෝපය

මුස්ලිම් විරෝධී කැරැල්ල පිළිබඳව ප්‍රකාශයක් කළ ඇමති කිරිඇල්ල, සිංහල බෞද්ධයා මුස්ලිම් ජනතාවගෙන් සමාව ගතයුතු යැයි කියා තිබුනේ පාර්ලිමේන්තුවේදී. එයට විරෝධය පළකරමින් ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්‍ය ඕමල්පේ සෝභිත හිමියන් නිවේදනයක් නිකුත්කර තිබුනා. එහි එක් තැනක මෙසේ සඳහන් වෙනවා. "ක්‍ෂණික කෝපය මුල්කර ගෙන අසංවිධිත ප‍්‍රකෝපකාරී පිරිසක් විසින් කරන ලද එම ත‍්‍රස්ත කි‍්‍රයාව කිසිසේත් බෞද්ධයන් විසින් සංවිධානාත්මකව කළ දෙයක් නොවේ."

අවසර හාමුදුරුවනේ! පත්‍රිකා බෙදමින්, දුරකථන ඇමතුම් දෙමින්, පොලීසි තුළ රැස්වෙමින් ප්‍රහාර සැලසුම් කරනා අයුරු ඔබ වහන්සේ නුදුටුවේද​? නොඇසුවේද​? එවගේම ක්‍ෂණික මෝචනය, ක්‍ෂණික නූල්ඩ්ස් යන වදන්වල තේරුම පහදා දියහැකිද​? සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව කෙනෙකුගේ ක්‍ෂණික කෝපයක් තිබිය හැකිද​? එවගේම ක්‍ෂණික කෝපයක් ආ ක්‍ෂණයෙන් පෙට්ට්‍රල් බෝම්බත් ක්‍ෂණයෙන් පහළවේද​?

සෝභිත හිමිගේ ක්‍ෂණික කෝපයෙන්, ප්‍රහාරයන්ට සූදානම්කර තිබූ පෙට්ට්‍රල් බෝම්බ 24 ක් පේරාදෙණියෙන් සොයාගත් බව "ක්‍ෂණික පුවත්" වාර්තාකර තිබුනි. ක්‍ෂණික කෝපයෙන් මුස්ලිම් දේවස්ථානද ඇතුළු ගිනිබත්කර ඇති දේපළ ගණන 465 කි. එයින් සිය මව්බිමේදීම ක්‍ෂණිකව අනාථවී ඇති පිරිස පවුල් 4,000 කි. මේ සිංහල බෞද්ධයා ගේ ක්‍ෂණික කෝපය පිටාර ගැලීමෙන් කන්ද උඩරටදී පමණක්, මේවනවිට මුසල්මානුවාට සිදුවී ඇති විනාශයේ ප්‍රමාණයයි. සිංහල බෞද්ධයාගේ ස්ථිර කෝපය නිසා උතුරේ දෙමළා ගේ විනාශ වූ දේපළ වටිනාකම බිලියන ගණනකි. ඝාතනයට ලක් වූ ජීවිත ගණන හා අතුරුදහන්කර ඇති ජීවිත ගණන ලක්‍ෂ ගණනකි. ඒ අතින් මුසල්මානුවා පින්කර තිබෙනවා නොවේද අපේ හාමුදුරුවනේ. මොකද ඝාතනයන් දෙකයි. ළූනු බිකක්.

ඒ වාගේම තෙල්දෙණියේ පොලිසිය ඇතුළේදිම මහසෝන් බලකා නායකයා මඩකලපුවේ සුමනරතන හිමියන්ට කියනවා, හාමුදුරුවනේ ඊයේ රෑම කට්ටියක් ගාල්ලෙන් කෝච්චියට නැංඟා. වව්නියාවේ සිංහල මිනිස්සු වෑන් එකකින් එනවා. කුරුණාගලින් දැන් පිටත් වුනා කියලා. බලන්න සෝභිත හාමුදුරුවනේ ක්‍ෂණික කෝපය ඇතිවෙලා, අසංවිධානාත්මකව නන්නත්තාරේ ඔහේ ඇවිදගෙන ඇවිත් තියෙන්නේ හරි තැනටමනේ.

සෝභිත හිමියන් ගේ ප්‍රකාශයෙන් තවත් ඇඟවුමක්ද කර තිබෙනවා. ඒ තමයි හින්දු දෙමළාත්, ඉස්ලාම් භක්තික මුසල්මානුවාත් සිංහල බෞද්ධයාගේ කෝපය නොඇවිස්සෙන ලෙස ජීවත්වන්නට ඉගෙන ගතයුතුය. "තම්බියා දැඟලුවා බොහොම වැඩියි" යි බොහෝ සිංහල බෞද්ධයන් කියන්නේද මේ අදහසමය​. සමාජයේ කාන්තාවන්ටද මෙවැනිම චෝදනාවක් ඇත​. ඒ ඇය බලහත්කාර දූෂණයට ලක් වන්නේ ඇයගේ ඇඳුම පැළඳුම හා චර්‍යාවන් නිසාය කියලා​. ඒ නිසා පිරිමින් ගේ අහවල් එක මෙව්වා නොවන්නට කාන්තාව ජීවත්විය යුතුයි කියලා. මේකත් අන්න ඒ වගේ එකක්.

සියල්ල මෙසේ හමාර වූ පසු "තමන් ගේ ජාතියට ආරක්‍ෂාව ලබාදීම අතින් මුස්ලිම් ඇමතිවරුන් ෆේල්" කියලා බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ දිලන්ත විතාන ගේ මුස්ලිම් ඇමතිවරුන් උපහාසයට ලක්කරලා තිබුනා. ඒකෙන් අදහස් කරන්නේ ඇමතිකමට වඩා සිංහල බෞද්ධ, ජාතිවාදී ආගම්වාදී වීම මොනතරම් බලවත්ද කියලනෙ. මේවන විට (මාර්තු 14) බොදුබල සේනා ඥානසාර හිමි සහ ජනාධිපති සිරිසේන යන දෙදෙනාම ජපානයේ සංචාරකය නිරතවීමද සැළකිල්ලට ගත යුතුය​.

කැරැල්ලේ සැබෑ නායකයන්

චෝදනා එල්ල ඇති නියෝජ්‍ය පොලිස්පති, දිලුම් අමුණුගම​, ලොහාන් රත්වත්ත කුපාම මහින්ද රාජපක්‍ෂ ගේ පිළේ.

ඒනිසා මේ සියලු කරුණු විමර්ශනය කිරීමෙන් පෙනී යන්නේ මුස්ලිම් විරෝධී කැරැල්ලට කෙලින්ම සම්බන්ධකම් තිබෙන පාර්ශව තුනක් ඉන්නවා කියලා. ඒ ජනාධිපති සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ​, හිටපු ජනාධිපති කුපාම මහින්ද රාජපක්‍ෂ​. ඔවුන් එය ප්‍රතික්‍ෂේප කරනවානම් අප බලකල යුතුයි තමන් ගේ කිසිම අනුගාමිකයෙක් මේ කැරැල්ලට සම්බන්ද නැහැ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. සිටිනවානම් ඔවුන් වෙනුවෙන් පක්‍ෂයක් ලෙස ගන්නා තීන්දුවත් රට හමුවේ කියන්න​.

එවගේම අප සැළකිලිමත් විය යුතුයි මේ මුස්ලිම් විරෝධි කැරැල්ල නව අත්හදා බැලීමක්ද කියලා. මොකද මහින්ද, ගෝඨා දෙමළ​, මුස්ලිම් ජාතිකයන්ට කෙලින්ම විරෝධය දක්වලා ප්‍රහාර එල්ලකළා. එයින් ආණ්ඩුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හංවඩු ගැහුනා වර්ගවාදී, ආගම්වාදී ආණ්ඩුවක් කියලා. ඒ නිසා යහපාලන ආණ්ඩුව තියරි එක වෙනස් කළා වෙන්න පුලුවන්.

එහෙම සැකයක් මතුවෙන්න කරුනු ගණනාවක් තියෙනවා. මේ කැරැල්ලට සම්බන්ධ කිසිම භික්‍ෂුවක් අද වනතුරු අත් අඩංගුවට නොගැනීම​. ප්‍රහාරයන්ට ලක් වුවන්ට ආණ්ඩුව වහාම වන්දි ගෙවීම​. ජාතිවාදී, ආගම්වාදී මත පතුරවන විද්‍යුත්මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍යයන්ට කිසිදු වාරණයක් නොකිරීම. ෆේස් බුක්, වට්ස් අප්, වයිබර් පමනක් අවහිර කිරීම​. හමුදාපතිවරයා ගේ මුසල්මානු මහාකරුණාව. ගිනිබත් කළ සියළු නිවාස, වෙළද සැල්, ආගමික සිද්ධස්ථාන ලබන පෝයට පෙර සාදා නිම කිරීමට හමුදාපතිවරයා පොරොන්දු වීම​. ​1988 සිට අඛණ්ඩව සමාජය තුළ තහවුරු කැරෙමින් පැවති සිංහල​, බෞද්ධ ජාතිවාදී ආගම්වාදී මතවාදය පරාජය කිරීම වෙනුවෙන් අබමල් රේණුවක තරමින් දෙයක් ප්‍රායෝගිකව​, යහපාලන ආණ්ඩුව නොකිරීම​. (කතා සරිත් සාගරයක් පමනි.)

අලුත් අත් හදා බැලීමක්ද​?

එමනිසා ඇතැම්විට ලබන පෝයට පෙර මේ සියල්ලේ නැවත පදිංචියේදී, භික්‍ෂූන් ගිහින් පිරිත් කියලා මුසල්මානුවන් ගේ අතේ පිරිත් නූල් ගැට ගහන්න පුලුවන්. සිකුරාදා දේව මෙහෙයෙන් පසු භික්‍ෂූන් මුස්ලිම් දේවස්ථාන තුළ බණ කියන්න පුලුවන්. මව්ලවිවරුන්ට පෝයදාට පන්සලට එන්න සිද්ධවේවි. පන්සලේ මකර තොරණ ඇතුළු විවිධ උත්සවලට ආධාර කිරීම අනිවාර්‍ය වේවි. ඒකට "ආගමික සහජීවනය" කියලා ලස්සන නමක් දාන්නත් පුලුවන්. මාක්ස්වාදයේ ස්වීකරණය කියලා හඳුන්වන්නේ මේ වැඩ පිළිවෙල තමයි.

හිට්ලර් ගේ නාසිවාදයට වඩා රුසියාවේ ස්ටාලින් ගේ ඒකාධිපතිවාදය බිහිසුනුයි, කුරිරුයි කියලා දේශපාලන විද්‍යාඥයෝ කියනවා. හිට්ලර් සිය වධකාගාරයන්ට ගෙනා කොමියුනිස්ට්කරුවන් ආපසු එළියට ගියේ එක්කෝ වදබන්ධනයට ලක්කර මරා දැමූ නිරුවත් සිරුර. නැතිනම් දවාහළ අළු. ඒත් ස්ටාලින් ගෙනා කොමියුනිස්ට්කරුවන් එළියට ගිහින් ජීවත් වුනේ ලෙනින් හෝ ට්‍රොට්ස්කි අපරාධකරුවන්, ස්ටාලින් තමයි නිවැරදි යැයි කියන​ නරුමයන් ලෙසින්.

ඉතින් අපි බලමු සිංහල​, බොදු, ගොවි වංශිකයන් ගේ රාජධානියේ, සිංහල බෞද්ධයාගේ මුදුන්මල්කඩ යැයි කියනා සෙංකඩගල පුරවරයේ වෙසෙන මුසල්මානුවාගේ ජීවිත ඉරණම හෙට දවසේදී කෙසේ විසඳේවිද කියා?

ඥානසිරි කොත්තිගොඩ​

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us