මංජරීට ඔච්චම් කළ එක්සත් ජාතීන්ගේ ඒකපාර්ශ්වික මානව හිමිකම Featured

Saturday, 23 December 2017 08:47

අත්තනෝමතිකව රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය සිකුරාදා (15දා) රටින් පිටව ගියහ. එසේ පිටව යන්නට පෙර ඔවුහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූවෝය. ඒ පසුගිය 4දා සිට පුරා දින 11ක් තිස්සේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන සොයා බලන්නට කළ සංචාරයෙන් පසු ස්වකීය නිර්දේශ හා යෝජනා පිළිබඳව රටේ මාධ්‍ය දැනුවත් කරන්නටය. ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ නිලධාරීනි උෟනා මැකෝලි සමඟ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමට අයත් ජෝ ඇන්ටෝනියෝ ගුවේරා බර්මූඩස්, ලී ටුමේ සහ එලීනා ස්ටීනර්ට් යන නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

මංජරීගේ අවනඩුව

අත්තනෝමතිකව රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම මාධ්‍ය හමුව පවත්වන ස්ථානයට පැමිණිල්ලක් සහිතව තරුණියක් පැමිණෙන්නීය. ඇයට අත්තනෝමතිකව රඳවා තබාගෙන සිටිනා ස්වකීය පියා ගැන පැමිණිල්ලක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් වෙත භාර දීමට අවශ්‍යය.

මේ තරුණිය දැනට බන්ධනාගාරගතව සිටින කොමදෝරු ඩී.කේ.පී දසනායකගේ දියණියය. මංජරී දසනායකය. අත්තනෝමතිකව රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම හමුවන්නට මංජරී පැමිණෙන්නේ නෛතික පදනමකින් තොරව, මිනීමැරුම්, පැහැර ගැනීම් හා කප්පම් ගැනීම් පිළිබඳ නිශ්චිත චෝදනා රහිතව ස්වකීය පියා මාස පහක් තිස්සේ බන්ධනාගාරගතව සිටිනා ආකාරය ගැන පැමිණිලි කරන්නටය.

ඒ වනවිට මධ්‍ය සාකච්ඡාව ආරම්භ කර නැත. මාධ්‍යවේදීන් පිරිස එක්සත් ජාතීන්ගේ කණ්ඩායම එනතුරු සීරුවෙන්ය. ඔවුන් පිළිගැනීමට එළන ලද රතු පලස් නොපෑගෙන්නට යන එන්නෝ සීරුමාරු වෙන්නෝය. මංජරී මාධ්‍ය හමුව පවත්වන ස්ථානයට යන්නීය. ප්‍රවේශයේ සිටිනා තරුණිය හමුවී පැමිණිල්ලක් භාර දීමට පැමිණි බව කියන්නීය. ඇයට අවශ්‍ය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික විද්වතුන් හමුවී තම අවනඩුව පිළිබඳ ලේඛනය භාර දීමට බව පහදා දෙන්නීය.

"ඒ අය මුණගැහෙන්න දෙන්න බෑ. කොයිකටත් ඔයා ඔතන ඉඳගෙන ඉන්න. මං මේ ගැන දැනුවත් කරන්නම්." ප්‍රවේශයේ සිටින තරුණිය ඇතුළට යන්නීය. මොහොතකින් පිටතට එන තවත් ගැහැනියකි. ඇය කතා කරන්නේ දෙමළෙනි. ඇයගෙන් නැඟෙන ප්‍රශ්න වැලකි.

"ඔයා දෙමළ ද?"

"නැහැ."

"දෙමළ තේරෙනව ද?"

"නැහැ"

"එල්.ටී.ටී.ඊ පැමිණිල්ලක් ද?"

"නැහැ. මිල්ටරි එකක්." ඇය සිය පියා ගැන කියන්නීය.

"ඔයාලට ඒ කණ්ඩායම මුණගැහෙන්න දෙන්න බෑ. මෙච්චර අතුරුදන් වෙලා තියෙනවා. ඔයාට කොහොමද විශේෂයක් කරන්නෙ. අවශ්‍ය නම් ඕක මට භාරදීලා ඔයා මෙතැන ඉන්නේ නැතිව යන්න. ඒ අය එන්නෙ සිකියුරිටි එකත් එක්ක. මෙතැනදි එයාලට බාධා වුණොත් ඒ සිකියුරිටි එක ඔයාලට ගහලා පන්නයි." දැන් කාන්තාවගේ කටහඬ අමුතුය. ටිකක් සැරය.

මංජරී අසරණය. ඒ හා සමානවම දැන් එක්සත් ජාතීන්ගේ ලංකාවාසී කණ්ඩායමත් නොසන්සුන්ය. ඇනතුරුව විශේෂඥ මානව හිමිකම් කණ්ඩායම මංජරීට මුණනොගැසෙන සේ මාධ්‍යවේදීන් සිටින ස්ථානය වෙත රැගෙන යන්නට සැලසුම් වන්නේය. රතු පලස් එළා ඇත්තේය. එහෙත් විදේශික විශේෂඥ කණ්ඩායම මාධ්‍ය හමුව පවත්වන ස්ථානය වෙත එන්නේ පෑළ ‍ෙදාරෙනි.

මාධ්‍ය හමුව පැවැත්වෙන්නේය. ඉන් අනතුරුව තරුණ මාධ්‍යවේදිනියක් මැදිහත්ව මංජරීව එක්සත් ජාතීන්ගේ විශේෂඥ මානව හිමිකම් නියෝජිතයන්ව මුණගස්වන්නට උත්සාහ කරන්නේය. ඒ අවස්ථාවේදී ඇය මුණගැසෙන්නට පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක උෟනා මැකෝලිය.

මැකෝලිට මංජරී සිය පැමිණිල්ල ඉදිරිපත් කරන්නීය. ඇය මංජරීගේ කතාව පිළිගන්නට සූදානම් නැත.

"ඔවුන් එතැන ඉන්නෙ රට වෙනුවෙන්..." මංජරී කියන්නීය.

"අපි සාකච්ඡා කළා. ඔය ලිපිය ලබා ගැනීම අපේ විෂය පථයෙ නෑ. ඒ නිසා කනගාටුයි." මැකෝලිගේ පිළිතුර එයය.

අවසානයේ මංජරී මාධ්‍ය ඉදිරියට පැමිණ රටට කතා කරන්නීය.

"මේක මේ විදියට සිද්ධ වෙච්චි පළමුවැනි සැරේ නෙමෙයි. බෙන් එමර්සන් එක් අවස්ථාවක කිව්වා ඔහු පෞද්ගලිකව සතුටු වෙනවා කියලා මගේ තාත්තව අත්අඩංගුවට ගැනීම ගැන. අපි දවස් එකොළහක් බලාගෙන හිටියා මේ අය බන්ධනාගාරයට ඒවි කියලා. සියලුම එල්.ටී.ටී.ඊ සැකකරුවන් බලන්න ගියා හැම බන්ධනාගාරයකටම. ඒත් ඇයි අපිට එක විනාඩි පහක් දෙන්න බැරි වුණේ."

මැකෝලිලාගේ විෂය පථය බොහෝ සේ කුඩා බව අප දැනගත්තේ එදාය. මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් ඩී.කේ.පී පිළිබඳව නඩුව අසා ස්වකීය විනිශ්චය දී අවසානය. ඔවුනට අනුව දැන් මංජරී මිනීමරු අපරාධකාරයකුගේ දියණියකි. ඕනෑම සැකකරුවකු අරබයා මානව ධර්මීය වටිනාකමක් සහිතව ක්‍රියාත්මක වන නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයන්ට පෙර ඩී.කේ.පී. දසනායකට එරෙහිව නඩු අසා ඔහුව එල්ලුම් ගස් යවනු ලැබුවේ ආණ්ඩුවේ මාධ්‍ය හා අත්වැල් බැඳගත් කොන්ත්‍රාත්කාර වෙබ් අඩවිය. මේ සිදුවීම් පෙළෙහි බිහිසුණු යථාර්ථය ඇත්තේ මේ මොහොත වනවිටත් අපේ රටේ දුගී මනුෂ්‍යයන් අතපත ගාමින් ඇති ගර්හිත දේශපාලන හැසිරීම්වලට එපිටිනි.

මංජරී එක්සත් ජාතීන්ගේ කණ්ඩායම වෙත යෑම

මේ වනවිට අධිකරණයේ පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවක් ඇසෙමින් පවතින්නේය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇසෙමින් ඇති අංක ඕ 732/09 දරන එම නඩුවෙහි පැමිණිලිකාර පාර්ශ්වය ලෙස පෙනී සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාය. නඩුවේ සැකකරුවන් හත් දෙනෙකි. මුල් හයදෙනා මුණසිංහ ආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ, රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්නගේ ලක්ෂ්මන් උදය කුමාර, නලීන් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරිය. හත්වැනි සැකකරු මංජරීගේ තාත්තා වූ ඩී.කේ. පී. දසනායකය.

නඩු නිමිත්ත ප්‍රකාරව නාවික හමුදාවේ පිරිසක් පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබේ. සාක්ෂි සහිතව ඔප්පු වන ආකාරයට ඔවුන් රඳවා තබාගෙන ඇත්තේ ලංකා බැංකු මූලස්ථානය අසල නාවික හමුදා ආරක්ෂක නිවෙස්නයකය. අනතුරුව ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේය. කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට් (21), රජීව් නාගනාදන් (21), ප්‍රදීප් විශ්වනාදන් (18), මොහොමඩ් සාජිත්(18), තිලකේශ්වරම් රාමලිංගම්(17), ජමාල්ඩීන් ඩිලාන් (21), අමලන් ලියෝන් (50), රොෂාන් ලියෝන් (21), ඇන්ටන් කස්තුරිආරච්චි (48), කනගරාජා ජෙගන් (32), මොහොමඩ් අලි අන්වර් නොහොත් හාජියාර් (32) යන පුද්ගලයන් එකොළොස් දෙනා මෙසේ පැහැරගැනීමෙන් අනතුරුව අතුරුදන් කර තිබුණේය.

මේ නඩුවේ ප්‍රධාන සැකකරු මුණසිංහ ආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහය. ඔහුට එරෙහිව 2009/05/28 දින මෙම නඩුව ගොනු කරන්නේ එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. මේ ප්‍රධාන සැකකරු මේ වනවිට ඇප මත නිදහස්වය.

දැන් මේ නඩුවට වයස අවුරුදු අටකුත් මාස හතක් පසුවී හමාරය. මේ රටේ ඕනෑම පුරවැසියකුගේ අපේක්ෂාව නින්දිත ලෙස පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබූ මේ පුද්ගලයන් උදෙසා සාධාරණයක් ඉෂ්ට කිරීමය. එහෙත් ඒ යුක්තියේ සාධාරණත්වය අතාර්කික ලෙස උල්ලංඝනය කරමින්, ඝාතනය හෝ අතුරුදන්වූවන්ට යුක්තිය ඉටු කිරීමත් පසෙකලා ද්වේෂ සහගත පුද්ගල දඩයමක් බවට මෙම විමර්ශනය පත්වන විට, නිශ්චිත අපරාධ චෝදනාවක් නැතිව තම පියා අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගෙන සිටින විට ඒ අවනඩුව ගැන කියන්නට කෙනෙක් මංජරීලාට අවශ්‍ය විය. මාධ්‍ය ජනමතය හදමින් සිටියේ අනුකම්පා නොකළ යුතු අපරාධකාරයෙක් කොටුවී ඇති බවටය. ආණ්ඩුවේ මාධ්‍ය මංජරීට උපේක්ෂාවෙන් ජීවත් වෙන්නට කියා දෙමින් සිටියේය.

මංජරීලා තමන් මුහුණදෙන දුර්දාන්තය රටේ ජනාධිපතිතුමාට ලිඛිතව දැන්වූහ. රටේ අගමැති තුමාට ලිඛිතව දන්වනු ලැබූහ. ජනාධිපතිවරයා හමුවී මේ කතාව කීවේය.

අනතුරුව වර්ෂ 2017 අගෝස්තු 02දා සියලු නෛතික කාරණාමත පදනම්ව නීතිඥවරුන් හරහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ලිඛිත දේශනයක් ඉදිරිපත් කළහ.

එම නෛතික කරුණු දැක්වීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගන්නේ මෙම පුද්ගලයන් 11 දෙනා අතුරුදන් කිරීම හෝ මරා දැමීම සඳහා පෞද්ගලිකව සහභාගී වූ බවට දැක්විය හැකි කිසිම ඍජු හෝ වක්‍ර සාක්ෂියක් නොමැතිවය. මේ ඝාතන සිදුකිරීමට කිසිම තැනැත්තකුට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කළ බවට වූ කිසිම ඍජු හෝ වක්‍ර සාක්ෂියක් නොමැතිවය. මෙම පුද්ගලයන් මරා දැමූබව හෝ මරාදැමීමට සූදානමක් ඇති බව හෝ මරා දැමීමට නියමිතව සිටි බවට කිසිම ආකාරයක දැනුමක් තිබූ බව තහවුරු කරන කිසිම ඍජු හෝ වක්‍ර සාක්ෂියක් නොමැති මේ පුද්ගලයන් පැහැර ගන්නා ලෙසට හෝ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ බවට කිසිම ඍජු හෝ වක්‍ර සාක්ෂියක් නොමැතිවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩී.කේ.පී දසනායක අත්අඩංගුවට ගන්නේ මේ අපරාධය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරනු ලබන පුද්ගලයන් අධීක්ෂණය කිරීමේ වගකීම මත පමණි. එහෙත් අධීක්ෂණය සඳහා වන වගකීම මත තැනැත්තකුට එරෙහිව කිසියම් වරදක් සම්බන්ධයෙන් අපරාධමය වගකීමක් ආරෝපණය කිරීම සඳහා මේ රටේ කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැත. නීති විශාරදයෝ මේ පිළිබඳ නෛතික පදනමක පිහිටා ප්‍රාමාණික කරුණු දැක්වීමක් අධිකරණයට ඉදිරිපත් කළහ.

හැම සතියකම මාධ්‍ය වාර්තා කළේ 11 දෙනෙක් පැහැරගෙන ගොස් කප්පම් ගෙන අතුරුදන් කිරීමේ වරදට අත්අඩංගුවට පත්වී සිටිනා ඩී.කේ.පී දසනායක නැමැති මිනීමරුවෙක් ගැනය. මේ දෛනික වාර්තාකරණය දසනායක නිශ්චිත අපරාධකාරයෙක් කරමින් සිටියේය. එහි වාසියත් ගෙන හසුරුවනු ලැබූ මේ විමර්ශනයේ අගතිගාමී ස්වරූපය ගැන කියන විට ඇහුම්කන් දෙන්නට කෙනෙක් හිටියේ නැත. මංජරී එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සොයා ගියේ ඒ අවනඩුව කියන්නටය.

රටේ නීතිය අනුව පිළිගත හැකි නෛතික කරුණු මත පදනම්ව මිස සැකකරුවෙක් ලෙස තැනැත්තෙක් මහෙස්ත්‍රාත් අධිකරණයට යොමුකළ නොහැකිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරමින් සිටියේ සාධාරණ සැකයක් ඇතිකර ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණුවලින් තොරව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඔහු එම අපරාධය කර ඇත්දැයි විමර්ශනය කිරීමේ කටයුත්ත බව නීති විශාරදයෝ අධිකරණයට දන්වා තිබුණහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩී.කේ.පී දසනායකට එරෙහිව හැසිරුණු ද්වේෂහගත පිළිවෙත කරුණු සහිතව දීර්ඝ ලිඛිත දේශනයක් සේ අධිකරණය වෙත ඉදිරිපත් විය. ඔහුට චෝදනා කිරීම ස¼දහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි කෘත්‍රිමව තැනූ බවට වූ සාධක නීතිවේදීහු ඉදිරිපත් කළහ. විමර්ශනයේ මුල් අවස්ථාවේදී විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකරුවන් අතුරින් තොරාගත් පිරිසකගෙන් නැවත ප්‍රකාශ ලබා ගත් විට ඔවුන්ගෙන් බහුතරයක් ලබා දෙන ප්‍රකාශ මුල් ප්‍රකාශයට සපුරා පටහැනි වන ආකාරය නීතිවේදීහු අධිකරණයට පෙන්වා දී තිබුණහ. මුලින් ප්‍රකාශ නොවූ පුද්ගලයන්ගේ නම් පසුව ප්‍රකාශ වන ආකාරය පෙන්වා දුන්හ. නීතියේ මූලධර්මයන් ව්‍යසනයට ලක්කරමින්, සාක්ෂි වෙනස්කර සිය පියා අත්තනෝමතිකව රඳවා ගෙන ඇති බව ඇයට කියන්නට කෙනෙක් අවශ්‍ය විය. මංජරී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයන් සොයා ගියේ ඒ නිසාය.

නඩුවේ පළමු සැකකරු හා මේ අපරාධය අතර සම්බන්ධය ගොඩනැඟෙන ඍජු සාක්ෂි ඉදිරිපත් වී තිබුණු ආකාරය නීතිවේදීහු පෙන්වා දුන්හ. පුද්ගල පැහැරගැනීම, රඳවා තබා ගැනීම, ඔවුන් වධ බන්ධනයට ලක්කිරීම, මරණ තර්ජන එල්ලකිරීම පිළිබඳ කරුණු සහිත ප්‍රකාශ සාක්ෂි ලෙස ඉදිරිපත් වී තිබියදී ඔහු පිළිබඳව දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ උසාවියට කරුණු වාර්තා නොකිරීමත්, අත්අඩංගුවට ගැනීමට තරම්වත් ප්‍රාමාණික සාක්ෂි නැති ස්වකීය පියාට එම 296 වගන්තිය යටතේ අපරාධ චෝදනා එල්ල කිරීමත් පිළිබඳව කියන්නට මංජරීට අවශ්‍ය විය. ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයන් සොයා ගියේ ඒ බව කියන්නටය.

එමෙන්ම මේ අත්අඩංගුවට ගැනීම් හා රඳවාගැනීම් මාලාව ගොඩනැඟෙන නිශ්චිත පූර්ව රටාවක් ඇති බව කියන්නට ඇයට අවශ්‍ය විය. විදේශ අමාත්‍යවරයා ජිනීවාහි මානව හිමිකම් සමුළුව ඇමතුවේ මාර්තු මස 3දාය. නඩුව ගොනුවී වසර හයකට පසු ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ අත්අඩංගුවට පත්වන්නේ මාර්තු මස 02දාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත බෙන් ඉමර්සන් ලංකාවේ සංචාරය කරන්නේ 2017 ජූලි 04 සිට ජූලි 14 දක්වාය. කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට පත්වන්නේ ජූලි 12 වැනිදාය. සංක්‍රාන්ති යුක්තිය සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රධානම නිලධාරියා වූ පැබ්ලෝ ඩි ග්‍රීෆ් රටේ සංචාරය කළ ඔක්තෝබර් 10 සිට 23 දක්වා කාලය තුළ පැවති නඩු වාරයේදී නීතිපතිවරයා හට නඩු කටයුත්ත අධ්‍යයනය කිරීමට තවත් දීර්ඝ කාලයක් අවශ්‍ය විය. නඩු නොවැම්බර් 10 දක්වා කල්ගියේය. නොවැම්බර් 10 සහ ඊළඟ නඩු දිනය වූ දෙසැම්බර් 7 දින නඩුකාරවරයා නොපැමිණියේය. 2018 ජනවාරි 09 තෙක් නඩු වාරය කල්ගියේය. ඒ කාලය තුළ එනම් දෙසැම්බර් 4 සිට දෙසැම්බර් 15 දක්වා අත්තනෝමතිකව රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම රට තුළ රැඳී සිටියේය. මේ සම්බන්ධතාවයේ යථාර්ථය කුමක්දැයි විමසන්නට මංජරීට අවශ්‍ය විය. ඇය එක්සත් ජාතීන් සොයා යන්නේ ඒ නිසාය. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මංජරීව ප්‍රතික්ෂේප කළේය.
සිදුවන්නේ කුමක් ද?.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අශ්ලීල අනීතික ස්වරූපය මේ වනවිට උසාවිය ඉදිරියේම නිරුවත් වෙමින් ඇත්තේය. අත්අඩංගුවේ පසුවන කපිතාන් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා පිරිස් මිනීමැරූ බව බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් විජයකාන්තන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගෙන් ඒ ප්‍රකාශය ලබාගත් ආකාරය ගැන (21දා) සිකුරාදා උසාවියට පැමිණ ප්‍රකාශයක් නිකුත් කළේය. විජයකාන්තන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ උදය ගම්මන්පිලයි. පොලිසිය තමන්ට බලපෑම් කළ ආකාරයත් සිංහල භාෂාව ලියන්නට හෝ කියවන්නට නොදන්නා තමන්ගෙන් ලියවිල්ලකට අත්සන් ගත් ආකාරයත් විජයකාන්තන් උසාවියේදී කීවේය. සුමිත් රණසිංහ ඇතුළට යැවුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ එම සාක්ෂියය. ඩි.කේ.පී. දසනායක බන්ධනාගාරගත කළේ සුමිත් රණසිංහ ඔහුගේ අධීක්ෂණ වගකීම මත සිටීම පදනම් කරගෙනය.

අපට පෙනෙන සරල සත්‍යයක් තිබේ. මේ විමර්ශකයන්ට අවශ්‍ය වී තිබුණේ මේ තිරශ්චීන අපරාධය කළ පුද්ගලයන් සොයා නීතිය අබියසට පැමිණවීම නොවේ. එය යුද අපරාධයක් සේ ලෝකයට පෙන්වන්නට නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමය. එම සාහසික කුමන්ත්‍රණයේ සැබෑ අර්ථය අපට වැටහෙන්නේ නැත. එහෙත් එයින් ප්‍රකට වන්නේ මේ රටේ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල ස්වරූපය නම්, විනිවිද භාවයේ හැඩය නම්, ජාත්‍යන්තරය දිනාගත් ප්‍රමාණය නම් ලෝකයේ ජීවත්වන අවාසනාවන්තම මිනිසුන් අපය.

- රුචිර ජයදේව
(මව්බිම)

 

සැබැඳි ලිපි -

සී අයි ඩියට බැලමෙහෙවරකම් කරන මාධ්‍ය සහ දසනායක හිරකිරීම

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us