වැස්සට පෙර පිදුරුටික වේලගන්න මංගල.. Featured

Monday, 29 May 2017 13:35

අභිනව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතය...,

යහපාලනය යටතේ දඩාවතේ යන්නටලු රාජ්‍ය ආයතනයක් ගැන ලියන්නට ගත් නිසාත්, මේ මහා ජාතික අපරාධය සිදුවෙමින් තිබෙන්නේ මහ දවාලේ නිසාත් මේ ලියන ලියමනට බුද්ධ ධම්ම සංඝ සරණ යොදා ආශීර්වාද කරන්නට සිත්දෙන්නේ නැත. එනිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට ඒම වැදගත් යැයි සිතේ.

අනෙක් අතට මේ මොහොතේ මංගල මුදල් ඇමති වන්නේ ඔබ සතු හසල මුල්‍ය සහ ආර්ථික දැනුමට වඩා “මංගල නමට හොරකම් නැති නිසා” බව සක්සුදත්සේ පැහැදිලිය. එසේම යකාට ගොස් තිබු මෙරට විදෙස් සම්බන්ධතා යලිත් නියම රාජතාන්ත්‍රික මට්ටමට ගෙන ඒමට ඔබ කළ සේවයද ප්‍රශංසනීයය. එහෙත් ඇමතිතුමනි, ඩයස්පෝරා හෝ සුද්දන් සමඟ ගනුදෙනු බේරාගත් ඔබ ඒ තරම් පහසුවෙන් මුදල් අමාත්‍යංශය වැනි හොර ගුහාවක් තුළද කටයුතු කරන්නට සිතා සිටිනවා කියා අප හිතන්නෙ නැත. එහෙත් හොරු ශුර මැජික් කරුවන් වූ විට හොරකමත් මැජික් දර්ශනයත් ඔබට පටලවන්නට ඉඩ ඇති බැවින් මෙසේ ලියන්නට සිත් විය.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ වසන්ති මංචනායක ය. එහෙත් ඇගේ සැමියා ගාමිණී සෙනරත්ගේ විශ්වවිද්‍යාල කණ්ඩායමේ කෙනකු වීම හා ව්‍යාපාරික සගයකු වීම මත ඒ අවස්ථාව මංචනායක මහත්මියට අහිමි විය. ඒ යහපාලනයේ ආරම්භක සමයේ ඇයව ඉවත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව තුළින්ම ආ බලපෑම හමුවේ ය. පසුව එම තනතුරට පත් කරන ලද්දේ කල්‍යාණි දසනායක ය. ආයතනයේ ජ්‍යේෂ්ඨත්ව අනුපිළිවෙළින් එම තනතුර දසනායක මහත්මියට ලැබීම ගැන තර්කයක් නැත. එහෙත් ඊට වඩා කල්‍යාණි නෝනා යහපාලන ආණ්ඩුවේ ටයිකෝට් දාන ඇමැතිවරයකුගේ බිරිඳකගේ ළඟම හිතවතියක් වීම අදාළ තනතුරට ලැබීමට තවත් සුදුසුකමක් වූ බවටද කතා ඇත. ඒ කතා ඇත්ත කළේ අප නොව කල්‍යාණිය ගේම හැසිරීමය. සැබවින්ම කොහොඹ ගසේ කරවිල වැල ගියාට වඩා වැඩි වෙනසක් එහිදී දක්නට ලැබුනේම නැත.

මේ ලියන්නේ ඒ ගැනය.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ වංචාසහගත කි‍්‍රයාකලාපය හේතුවෙන් බදු එකතු කිරීමේ සිට සාමාන්‍ය පරිපාලනය දක්වා වූ සියලූ කටයුතු බරපතළ ලෙස බිඳ වැටී ඇතැයි පළමු වරට හෙළිකරන්නේ දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින්ය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළ කළමනාකාරිත්වය ව්‍යවස්ථාමය හා රෙගුලාසිමය අවශ්‍යතාවලට අනුකූලව කටයුතු නොකිරීමෙන් මේ අර්බුදකාරී තත්ත්වය උද්ගතව ඇති බව එහිදී ජනාධිපති අගමැති සහ විෂය භාර ඇමති ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කෙරුණත් ඊට අදාළ කිසිඳු පියවරක් ගැනුනේ නැත.

සැබවින්ම අනතුරුව අපද සිදුකළ සොයාබැලීම් වලදී හෙළිවූයේ බදු ලිපිගොනුවල විගණන සහ විමර්ශන කටයුතු ප‍්‍රමාද කිරීම, බදු ගෙවන්නන්ගේ නියම ආදායම් මාර්ග සැඟවීම, ගෙවිය යුතු ප‍්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය කිරීම, මහා පරිමාණ සමාගම්වලින් බදු අය කරගැනීම හිතාමතාම ප‍්‍රමාද කිරීම සහ සමාගම්වලින් බදු අයකර ගැනීම අනියම් එකඟතා මත සැඟවීම දේශීය ආදායම් සේවාවේ බිඳවැටීමට අදාළව සැලකිය යුතු සෘජු මැදිහත්වීම් ප්‍රමාණයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළු ඇය මත යැපෙන නඩය හරහා සිදුවන බවය.

මේවා නිකං කතා පමණයි කියා ඉවත දැමිය හැකි වුවත් වත්මන් කොමසාරිස් ජනරාල්වරියගේ අත්තනෝමතික සහ වංචාසහගත කි‍්‍රයා කලාපය ගැන ඕනෑවටත් වඩා සාක්ෂි අප සතුය. එසේම අප ඒවා අවස්ථා කිහිපයකදීම හෙළිකරන්නටද කටයුතු කර ඇත. මේ ඊට නිදර්ශනය. වර්තමානය ගොඩනගන්නේ ඉතිහාසය විසින් බව අප විශ්වාසය වන බැවින් දේශීය ආදායමේ මහතැන ගැනද ඉතිහාසයේ පටන් නිදර්ශන ගෙනෙන්නට අපට සිත්විය.

1. 2013 වසරේ දී රුපියල් මිලියන 50 ක අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද කල්‍යාණි දසනායක මහත්මියට චෝදනා එල්ල වි ඇත. ඒ ප‍්‍රකට මෝටර් රථ ව්‍යාපාරික ආයතනයක් වන විල්ස් ලංකා ආයතනයෙන් අයකර ගත යුතුව තිබූ වැට් බදු සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් එවකට දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් කේ. ජී. ජේ. එන්. දේශප‍්‍රිය එවකට සිටි කොමසාරිස් ජනරාල් වසන්ති මංචනායකට ලිඛිතව පැමිණිලි කළ නමුත් ඒ යටපත් කෙරිණි. එම ලිපි ගොනු අංකය TIN 114146889 වන අතර ඒ භාරව තිබුණේ ද විශාල බදු ගෙවන්නන්ගේ අංශයේ ප‍්‍රධානී කල්‍යාණි දසනායක සතුවය. විල්ස් ලංකා සමාගම වසර 7 ක් තිස්සේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබිය දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම ආයතනයට එරෙහිව තක්සේරු දැන්වීමක් පිළියෙල කර හිඟ බදු අත්පත් කර ගැනීමට කටයුතු සම්පාදනය කළ ද දිසානායක මහත්මිය විසින් මිලියන 50 ක සන්තෝසමක් ගෙන ඒ වැළැක්වූ බවට මේ චෝදනාව ඉදිරිපත් විය. විල්ස් සමාගම තමන්ට ව්‍යාපාරයෙන් පාඩු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙසේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබූ නමුත් එම සමාගම මිලියන දහස් ගණනින් ව්‍යාපාර කටයුතු සිදු කර තිබූ බව ද හෙළි කර ගැනීමට දේශීය ආදායම් නිලධාරීන් සමත්ව තිබිණි. මෙලෙස රටට අහිමි වූ බදු මුදල මිලියන සිය ගණනක් දහස් ගණනක් හෝ විය හැකිය. එහෙත් ඒ ගැන වත්මන් යහපාලනයෙන් ද විමර්ශන නැත.

2. ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකුගේ කැසිනෝ සමාජ ශාලාවලට අදාළව 2010 වසරේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් බදු මුළුමනින්ම අත්හිටුවීමට තීරණය කිරීම. ඒ අනුව TIN - 409235220-7000 බදු ලිපි ගොනු අංකය යටතේ, අංක 6492075 යටතේ පළමු කාර්තුව, අංක 6492076 යටතේ දෙවන කාර්තුව සහ අංක 6492731 යටතේ තෙවන කාර්තුව සඳහා වන ලිපි ගොනු ප‍්‍රකාරව ගෙවිය යුතු වැට් මුදල් කපා හැරීම සිදු කර ඇති අතර ඒද වත්මන් කොමසාරිස් ජනරාල්වරියගේ මැදිහත්වීම ඇතිවය.

3. ලලිත් කොතලාවල මහතා සතුව තිබූ ‘එෆ් ඇන්ඩ් ජී. පෞද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක පත්වීමට උත්සහ කිරීම.

4. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක 2014-2015 තක්සේරු වර්ෂයේ කෝටිපති ව්‍යාපාරික ලක්ෂ්මන් බාලසූරියගේ නමට (Sporting Times Turf Accountants and Kandy Lake Club) ස්පෝර්ටින් ටයිම්ස් හී ආදායම් බදු එකතු කිරීම වෙනුවෙන් වන ලිපිගොනුව ඇස්තමේන්තු තක්සේරු නිකුත් කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කර ඇත. 2017 ජනවාරි 16 වනදා CGR /2017/3- 1දරන එම නියෝගය නිකුත් කර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයටය. එකී අත්හිටුවීමේ නියෝගයට අදාළ ආදායම් බදු ලිපිගොනුවේ අංකය වන්නේ 86/9002-03 ය. ඒ හරහා එක් තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් බිලියන 2 කට ආසන්න බදු මුදලක් රටට අහිමිව යන අවදානමක් පැනනැග ඇත. එසේම මේ වන විටත් අප වෙත වාර්තා වී ඇති ආකාරයට වත්මන් කොමසාරිස් ජනරාල්වරිය එම විමර්ශන නිලධාරීන් වෙත බලපෑම් කරමින් සිටියි.

5. රුපියල් 10,000කට වඩා දුරකථන ගාස්තු ගෙවන ග්‍රාහකයන්, අලුතින් වාහන මිලදී ගන්නා පුද්ගලයින්, සුපිරි නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නන්, මාසිකව ක්‍රෙඩිට් කාඩ් බිල රුපියල් ලක්ෂය ඉක්මවන්නන් කැඳවා ඔවුන් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දඩ ගසන බවට තැරැව්කරුවන් හරහා බිය ගන්වමින් කප්පම් ගන්නා මාෆියාවක් ක්‍රියාත්මක කිරීම.


ඉතින් අභිනව මුදල් අමාත්‍යතුමණි සමස්ථ රාජ්‍යයේ බදු ආදායම් එකතු කරන ආයතනයේ ලොකුම පුටුවේ කෙරුවාව කෙසේද යන්න තේරුම් ගන්නට ඔබට මේ නිදර්ශන කිහිපයෙන් වුවත් ප්‍රමාණවත් වනු ඇත. ඇත්තටම මෙහි ලියා ඇත්තේ ඒ දේශීය ආදායමේ මහතැන ගේ කෙරුවාවෙන් කිහිපයක් පමණය. තවදුරටත් මේ ගැන ඔබට දැනකියා ගන්නට අවශ්‍ය නම් දේශීය දාදායම් දෙපාර්තමේන්තුවේ අවංක සේවකයින් ඒ වෙනුවෙන් සාක්ෂි සහිතව සුදානමින් පසුවෙයි. ඉතින් ඇමතිතුමනි, මහින්ද පාලනයේදී මෙන්ම යහපාලනය යටතේද සිදුවුවා නම් හොරකම හොරකමමය. දැන් ඇත්තේ ඔබේ වාරයය. එතෙක් සියල්ල බලා සිටින්නේ ‘මංගල ඇමැතිටත් පිදුරු වේලන්න මතක් වෙන්නේ වහින්නට පටන්ගත්විටදැයි”කියාය. යහපාලනය හොරු ඇල්ලීම අතින් දැනට සිටින්නේ එතරම් කුජීත තැනකය.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us