දූෂිතයන්ට නාමයෝජනා දීම හෙවත් දේශපාලන අලකලංචිය

Saturday, 18 July 2015 09:11

නාම යෝජනා කලිකලහය ගිනි ගන්නට ආසන්න තරමට ගිනියම් වී පැවැති පසුගිය සති අන්තයේ තවත් ආන්දෝලනාත්මක පුවතක් අසන්නට ලැබුණි. ඒ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කළ ප්‍රකාශයකි. එය එතරම් ගණන් ගත යුතු ප්‍රකාශයක් හැටියට සැලකිය නොහැකි වුවද ප්‍රතිවාදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශ්වයෙන් ඊට එරෙහිව එල්ල වුණේ ප්‍රබල ප්‍රහාරයකි.

මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැවසුණේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකිනුත් ලක් සතොස මඟින් අලෙවි කෙරෙන පුන්නි සම්බා සහ සුදු නාඩු සහල් මිල කිසියම් ප්‍රමාණයකට අඩු කරන්නටත් තීරණයක් ගන්නා ලද බවය. මහ මැතිවරණයට නාම යෝජනා කැඳවා තිබෙන අවස්ථාවක ඒ ආකාරයෙන් භාණ්ඩ මිල අඩු කිරීම ඡන්ද නීති උල්ලංඝනය කිරීමක් ය යන්න සන්ධානයේ හිටපු මැති ඇමැතිවරුන්ගෙන් ඊට එරෙහිව එල්ල වුණු ප්‍රබල ප්‍රහාරය විය. එම මිල අඩු කිරීම ඔවුන් විසින් හඳුන්වන ලද්දේ ඡන්ද අල්ලසක් විලසිනි.

නීතිය පැත්තෙන් බලන විට එය ඡන්ද නීති උල්ලංඝනය කිරීමක් ද යන්න නීති විශාරදයන් විසින් විමසා බලනු ලැබ පිළිතුරු සැපයිය යුතු ගැටලුවකි.

නාමයෝජනා

මැතිවරණයට නාමයෝජනා කැඳවා තිබෙන අවස්ථාවේ ගෑස් හා සහල් මිල අඩු කිරීම පිළිබඳ පුවත එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීම ඡන්ද නීතිය උල්ලංඝනය කිරීමක් නම්, පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව පවතිද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් විසින් ගන්නා ලද ඇතැම් තීරණ හා ක්‍රියාවට නංවන ලද ඇතැම් ක්‍රියාකාරකම් මීට වඩා සිය දහස් වාරයකටත් වඩා වැඩි ඉහළ ගුණාකාරයකින් ඡන්ද නීති උල්ලංඝනය කිරීමකි. රුපියල් කෝටි ගණනින් ගිනිය යුතු ආකාරයේ අල්ලස් දීමකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චෝදනාවට ඒ ආකාරයෙන් පිළිතුරු දෙන විට, ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුහු අල්ලෙන් විලි වසා ගැනීමට තැත් කිරීම බඳු විලිලැජ්ජා නැති උත්තරයක් දෙති. ඒ පහත සඳහන් ආකාරයෙනි, “ඔව් අප අතින් එබඳු වැරැදි සිදුවුණා කියමුකෝ. ඒත් යහපාලන ආණ්ඩුව බලයට ආවේ එබඳු වැරැදි යළිත් වතාවක් කරන්නට නොවේ.”

සාධාරණීකරණය

තමන් බලයට පත්ව සිටින කාලයේ ඉතා දැනුවත්ව සිදුකරන ලද බරපතළ වැරැදි සාධාරණීකරණය කර ගන්නට, සන්ධාන නායකයන් විසින් එම තර්කය නිතර දෙවේලේ භාවිතයට ගන්නා ලද ආකාරය පසුගිය දිනවල නිරන්තරව දක්නට ලැබුණි. එක්තරා අර්ථයකින් එය ඔවුන් විසින් බරපතළ වැරැදි සිදුකරන ලද බව සැකයකින් තොරව පිළිගැනීමකි.

තමන් නිර්දෝෂී වන්නට, සන්ධාන නායකයන් විසින් දෙනු ලබන ඉහත විස්තර කරන ලද උත්තරය තර්කානුකූලව නිවැරැදි බව සත්‍යයකි. එහෙත් සැබෑවටම ඇත්ත තර්ක මාර්ගයෙන් ඔප්පු කර පෙන්වන දෙයම ද? නැත. තර්ක ශාස්ත්‍රය උගන්වද්දී, තර්කානුකූලව ඔප්පුකොට පෙන්වන සියල්ල සත්‍යය නොවන බව සනාථ කොට පෙන්වන අපූරු උදාහරණයක් ඇත. “බාගෙට ඇරුණු දොරක් යනු බාගෙට වැසුණු දොරක් ද වෙයි. එහෙයින් සම්පූර්ණයෙන් ඇරුණු දොරක් යනු සම්පූර්ණයෙන් වැසුණු ‍දොරකි” එකී උදාහරණයෙහි සරල අර්ථය එයයි.

එබඳු විකාර රූපී තර්ක ඉදිරිපත් කිරීම මඟින් සන්ධාන නායකයන්ට තම නිරුවත වසා ගන්නට පුළුවන්කමක් නැත. මෑත අතීතය විමසා බැලීමෙන් ඒ බව සනාථ කරන සාධක අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් සොයාගත හැක. පසුගිය ජනවාරි අට වනදා පැවැති ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන්නට මහින්ද රාජපක්ෂ මහතා සූදානම්ව සිටියදී, ඔහු විසින් ගන්නා ලද තීන්දු තීරණ හා ක්‍රියාවට නංවන ලද ඇතැම් ක්‍රියාකාරකම් මෙහිදී සලකා බලන්නට පුළුවන.

උදාහරණ

ඉතාම ප්‍රකට උදාහරණය, එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ තිස්ස අත්තනායක මහතාට අමාත්‍ය පදවියක් ලබා දී සන්ධානයට සම්බන්ධ කර ගැනීමයි. විධායක ජනාධිපති හැටියට තමන් කැමැති ඕනෑම අයකුට අමාත්‍ය තනතුරක් පිරිනැමීමට මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිපාදන ඇතත් සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට තීරණය කර තිබියදී එබඳු ප්‍රදානයන් කරන්නට ඒ මහතාට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැත. එය අල්ලස් දීමක් හැටියට චෝදනාවට ලක්ව මේ වන විට විමර්ශන ද ආරම්භ වී ඇත. ආණ්ඩුවේ මුදල් රුපියල් කෝටි ගණනින් අවභාවිතයට ගනිමින් සිල් රෙදි බෙදීම, අරලියගහ මන්දිරයේදී දිනපතාම පාහේ දන්සල් පැවැත්වීම, මැතිවරණ වාසි පතාගෙන තෝරාගත් ප්‍රදේශ කීපයක ජනතාවට පමණක් නියං ආධාර ලබාදීම ආදිය තවත් ඉතා ප්‍රසිද්ධ උදාහරණ කීපයක් පමණි.

මහ මැතිවරණයට නාමයෝජනා කැඳවා තිබියදී ගෑස් සහ සහල් මිල අඩු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් හා අල්ලස් දීමක් හැටියට හඳුන්වා දෙමින් කට ලේ රහ වන තුරු බෙරිහන් දෙන සන්ධාන නායකයන්ට, තමන් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටියදී, තෝරාගත් පිරිසකට පමණක් ඉහත සඳහන් ආකාරයේ වරදාන හා වරප්‍රසාද ලබාදීම, ඒ ආකාරයේ දූෂණ ක්‍රියාවක් හැටියට නොවැටහෙන්නේ ඇයි? එය තම බඩජාරිකම මකා ගැනීම සඳහා කබරගොයා ද තලගොයකු බවට පත්කර ගැනීමක් විනා වෙන අන් කිසිවක් නොවේ.

නිරවද්‍යතාව

පවත්නා ආණ්ඩුව විසින් ගෑස් හා සහල් මිල අඩු කිරීම ඡන්ද අල්ලසක් නම්, ඉහත විස්තර කරන ලද පහුගිය ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද ප්‍රදානය එබඳු වරදක් නොවන්නේ ඇයි? සන්ධාන නායකයන් ජනතාව ඉදිරියේ පහදා දිය යුතුය. එබඳු ඇතැම් කටයුතු මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක් හා අල්ලස් දීමක් හැටියට සලකා නඩු පවරනු ලැබ තිබෙන බව ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. එහෙත් තවමත් ඔවුන් දේශපාලන වේදිකා මත නැඟී පාරම්බාමින් සිටින්නේ ඒවායේ නිරවද්‍යතාව කූප්‍රකට තර්ක මඟින් ඔප්පු කර පෙන්වන්නටය.

මේ අතර ඔවුන් තම නිරුවත වසා ගන්නන්ට භාවිතයට ගන්නා දුහුල් සළුපටක් බඳු තවත් ලඳබොලඳ තර්කයක් වෙයි. ඒ වනාහි අධිකරණය විසින් සැකයකින් තොරව ඔප්පු කරන තුරු කිසිඳු චූදිතයකු වැරැදිකරුවකු නොවන බවට ඔවුන් විසින් නඟනු ලබන අසාර්ථක තර්කනයයි. තමන් විසින් මැතිවරණයට ඉදිරිපත් කරනු ලැබ සිටින සියලු ඡන්ද අපේක්ෂකයන් අතිපිරිසිදු පුද්ගලයන් බව ඔවුහු ආඩම්බරයෙන් කියති. අනෙකුත් පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අපේක්ෂකයන් අතර ද එබඳු දූෂිත අපේක්ෂකයන් එකකු දෙදෙනකු සිටිය හැකි අතර අතිබහුතරයක් දූෂිතයන් සිටින්නේ සන්ධාන ලැයිස්තුවේ බව වසන් කළ යුතු කරුණක් නොවේ. මෙවර සන්ධානයෙන් තරග වදින එක් හිටපු අමාත්‍යවරයකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ යම් යම් හේතුන් මත සමහර දූෂිත පුද්ගලයන්ට නාමයෝජනා ලබා දෙන්නට තමන්ට සිදුවූ බවයි.

අවධානයට යොමු විය යුතු අනෙක් කාරණය වන්නේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා අනාවරණය කරන කාරණයයි. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන් අතරින් විසිහතර දෙනකු මත්පැන් හා මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව සනාථ කෙරෙන සාධක තමන් සතුව තිබෙන බවකි, සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ. හිටපු මැති ඇමැතිවරුන් වැඩි පිරිසකට මෙවර සන්ධානය මඟින් නාමයෝජනා ලබා දී තිබෙන වාතාවරණයක් තුළ මත්කුඩු හා මත්පැන් ජාවාරමට සම්බන්ධ සෑහෙන පිරිසක් සන්ධාන ලැයිස්තුව තුළ ගොනු වී සිටිති.

අනාවරණය

පොදුවේ ගත් විට වංචාව හා දූෂණය හොර රහසේ කෙරෙන්නක් හැටියට සැලකුණ ද සියලු දූෂණ ක්‍රියා එම ගණයට නොවැටේ. මත්කුඩු ජාවාරම, කසිප්පු අලෙවිය, ස්ත්‍රී දූෂණය, ළමා අපචාරය, කොමිස් ගැහිලි, අල්ලස් හා කප්පම් ගැනීම, හොර රහසේ සිදුවන දූෂණ ක්‍රියා නොවේ. කල් ගතවන විට ඒවාට සම්බන්ධ පුද්ගලයන් කවුරුන් ද යන්න සමාජය ඉදිරියේ ඉබේම අනාවරණය වෙයි. ඒ සියල්ල පොදු සමාජය තුළ සිදුවන දූෂණ ක්‍රියා බැවිනි. එබඳු චෝදනාවලට ලක්වූවන් මේ වන විට ජනතා අධිකරණය ඉදිරිපිට කිසිඳු සැකයකින් තොරව වැරැදිකරුවන් බව ඔප්පු වී හමාරය.

ඔවුන් හුදෙක් චෝදනා ලැබූවන් හැටියට පමණක් සලකා, සදාකාලයටම සැකකරුවන් නැතහොත් චූදිතයන් හැටියට රඳවා තබාගන්නට දරන ප්‍රයත්නය ඉතා පැහැදිලිව ජනතාව මුළා කිරීමකි. ජනතාව මුළා කිරීමේ එම වැඩපිළිවෙළ මේ වන විට විහිළුවක් බවට පත්ව තිබෙන ආකාරය සන්ධානයේ නාමයෝජනා ලැයිස්තු විමසා බලන විට අපූරුවට අනාවරණය වෙයි.

එල්ල වී ඇති සියලු චෝදනා ජනතා අධිකරණය ඉදිරියේ සැකයකින් තොරව ඔප්පු වූ පසු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව ලැබුණු තීන්දුව වී තිබෙන්නේ ඔහු මැති සබය පැත්ත පළාතටවත් වැද්ද නොගත යුතු ය යන්නයි. එයින් මහත් චිත්ත පීඩාවට පත් සන්ධාන නායකයන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ භාර්යාවට මෙවර නාමයෝජනා ලබා දී ඇත. තම නාමයෝජනා ලැයිස්තු ඔවුන් විසින් සුපිරිසිදු කරගෙන තිබෙන්නේ ඒ ආකාරයෙනි.

පවත්නා ආණ්ඩුව විසින් ගෑස් හා සහල් මිල අඩුකිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් හා අල්ලස් දීමක් හැටියට මවා පෙන්වා දැන් මහා උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන්නේ මේ සන්ධාන නායකයන්ය. ඔවුන් තම අධිකරණය ඉදිරියට කැඳවා නිසි තීන්දුව ලබාදීම මේ අවස්ථාවේ රටේ ජනතාව වෙත පැවරෙන පැහැර නොහැරිය යුතු වගකීමකි.

පියනන්ද මල්දෙණිය

silumina

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us