ජනවාරි අටවැනිදා ජයග්‍රහණය හා පුරවැසියාගේ සමාජ වගකීම

Saturday, 11 July 2015 10:17

2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වටා රොක් වූ මෙරටේ බහුතර ජනතාවගේ අපේක්ෂාව වූයේ මහින්ද චින්තන සංස්කෘතිය පරාජය කිරීමයි. ඒ සඳහා වූ දේශපාලන ව්‍යාපාරය දින සියයේ ‍වැඩපිළිවෙළ තුළ යම් ක්‍රමානුකූල ගමනක යෙදුණේ ඒ අරමුණෙනි. එහෙත් පසුව ධ්‍රැවීකරණය වූ දේශපාලන හැඩතල අනුව මේ මොහොත වනවිට ජනවාරි අට වැනිදා ජයග්‍රහණය කළ දේශපාලන අභිලාෂයන් නැති ගැන්මකට ලක්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු මහින්ද චින්තනවාදය ප්‍රතික්ෂේප කළ සමාජ බලවේගය වික්ෂිප්ත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුව තිබේ. එසේ වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ අභිලාෂයන් හා රටේ බහුතර ජනතාවගේ සමාජ අභිලාෂයන් අතර ගැටුමකට මැදිව ඇති නිසා විය හැකි ය. එහෙත් එසේ වූ පමණින් රටක සමාජ අභිලාෂයන් අහෝසි වන්නට ඉඩ දීම වැළැක්විය යුත්තකි.

ජනාධිපතිවරයා පදවිප්‍රාප්තව ටික දිනකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේඩරයන් අමතමින් නිරවුල්ව ප්‍රකාශ කළ පරිදි රට මුහුණ දෙන බලවත් ම ගැටලුව වන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවන අසීරු අවස්ථාවයි. ඊටම ඈදුන එහෙත් වඩාත් ම වැදගත් කාරණාව වන්නේ පශ්චාත් යුද තත්ත්වයකට පසුව බෙදී ගිය ජන කොටස් දෙකක සිත් එක්සත් කරන්නේ කෙසේද යන්නයි.

අවාසනාවකට ඇති තරම් දේශප්‍රේමී වන කිසිම නායකයෙක් මේ මොහොතේ දී රටක් ලෙස අපට මුහුණ දෙන්නට සිදුව ඇති මේ බැරෑරුම් කරුණු සම්බන්ධයෙන් බරපතළ ඇගයීමක සිටින බවක් පෙනෙන්නට නොමැත. එහෙත් අහිමි වූ බලය පතා නන්විද ලෙස තර්ක කරමින් රාජ්‍ය බලය සඳහා සටන් කරන බවක් පෙනෙන්නේ ජනවාරි අටවැනිදා මහ ජනතාව විසින් තමන් ප්‍රතික්ෂේප කළ හේතූන් සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් හෝ නොකරය. ඒ අනුව රට මේ මොහොතේ මුහුණ දෙමින් ඉන්නා බැරෑරුම් අභියෝග සම්බන්ධයෙන් මහින්ද චින්තනවාදීන්ට හැඟීමක් ඇතැයි පැවසිය නොහැක.

සමාජයක් ලෙස ප්‍රශ්න විසඳා ගැනීම සඳහ‍ා ශිෂ්ට ක්‍රමවේදයන් තම සංස්කෘතිය ලෙස භාවිතා නොකරන නිසාදෝ එල්.ටී.ටී.ඊ. සංවිධානය ගෙන ගිය අරගලය පොඩි පට්ටම් කරමින් ප්‍රීතිය බුක්ති විඳීමට අපි නොපැකිලුණෙමු. එහෙත් දකුණ විසින් උතුර මත මුදාහළ ඒ පීඩනය පෙරළා දකුණ කරා එන බවක් එදා නොසිතන්නට ඇත‍. එහෙත් තම සහෝදර ජන කොටසක් මත මුදා හළ භීෂණය දකුණ විසින් තමාගෙන් ම ප්‍රශ්න කිරීමේ ආරම්භය ජනවාරි අට වැනිදා නිහඬ විප්ලවය මඟින් ප්‍රකාශ කළ බවක් පෙනෙන්නට තිබුණි. එතෙක් සතුරු බලවේගයක් ලෙස සලකන ලද උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන පාලනය මිතුරු බලවේගයක් ලෙස දැකීමට ජනාධිපතිවරයා පෙලඹීම ඇත්තටම ප්‍රශස්ත ක්‍රියාවකි.

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ දේශපාලනය රුධිරයෙන් හා යකඩෙන් තළ‍ා පෙළා දැමූ පසුව ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනවාට වඩා අතිශයෙන් වැදගත් වන්නේ ජනකොටස් දෙකක් ඒකාබද්ධ කරමින් තැවී ගිය සිත් සුවපත් කරන ක්‍රමවේදයයි. ඒ සඳහා ජනවාරි අටවැනිදා බල හුවමාරුවකට පදනම දැමූ දේශපාලන ව්‍යාපාරයට අවශ්‍යතාවක් තිබූ අතර පදවියට පත්වූ පසු ජනාධිපතිවරයා ක්‍රියාවට නැඟූ යම් යම් පියවර ඒ දේශපාලන ව්‍යාපාරය තෘප්ත කිරීමට හේතු විය.

ජනකොටස් දෙකක් අතර බිඳී ගිය සුහදතාව යළි ගොඩනඟා ගැනීම දිගුකාලීන පියවර රැසක එකතුවකි. ඒ ගමනේ අත්හළ නොහැකි වගකීම පැවරී ඇත්තේ යුද්ධයේ දී තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගත් පාර්ශ්වයට ය. ඒ අර්ථයෙන් ම දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සම්බන්ධයෙන් ‍සංවේදීවීමේ පළමු පියවර තැබිය යුත්තේ සිංහල ජනතාව විසින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දෙමළ විමුක්ති කොටි සංවිධානය තුවක්කුවෙන් අභියෝග කෙළේ ශ්‍රී ලංකා රාජ්‍යයටයි. රාජ්‍ය තුළ දෙමළ ජන කොටසට හරිහමන් අනන්‍යතාවක් හිමි නොවීම නිසා එහි කොටස්කරුවන්වීමේ අපහසුතාව ඔවුන්ට බරපතළ ගැටලු ඇති කරන්නට හේතු වුණි. ඒ නිසා විමුක්ති කොටි සංවිධානයේ ප්‍රචණ්ඩ භාවිතය ප්‍රතික්ෂේප කළත් ඔවුන් ලබාදුන් දේශපාලන පණිවුඩය ප්‍රතික්ෂේප කිරීම අර්ථාන්විත නොවේ. ඒ දේශපාලන පණිවුඩයේ හරය වූයේ දෙමළ ජන කොටස ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම සම්බන්ධයෙන් ස්ථිරසාර විශ්වාසයක නොසිටින බවයි.

රටක ස්ථාවරභාවය රැකෙන්නේ මිලිටරි බලය මඟින් ජන කොටස් මත පීඩනය මුදා හැරීමෙන්ය යන්න ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නොවේ. යම් රටක ජන කොටසක් පවතින නීතියට ගරු කරන්නේ නම් හා රාජ්‍යයේ සුජාතභාවය හා පැවැත්ම පිළිගන්නේ නම් රාජ්‍යයේ ස්ථාවරභාවය ආරක්ෂාවේ. එහෙත් එවැනි තත්ත්වයක් ස්වයංව ඇති නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

දෙමළ ජනතාව මත දීර්ඝ කාලයක් තිස්සේ මුදාහළ ඒකාධිපතිත්වයේ පීඩනය නිසා ශ්‍රී ලංකා රාජ්‍යයේ සුජාතභාවය හා පැවැත්ම පිළිබඳව ගැටලු පැන නැඟීම තර්කානුකූල ය. ඒ අනුව ශ්‍රී ලාංකික ‍ජාතියක් ගොඩනැඟීමට නම් වහා කළ යුත්තේ දෙමළ ජනතාව තුළ අනෝන්‍ය විශ්වාසය ඇතිවන පරිදි රාජ්‍යයේ ආකාරය ප්‍රතිසංස්කරණය කිරීමයි.

ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් යුද්ධය ජයග්‍රාහීව අවසන් කළ පසුව හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ‍නායකත්වයෙන් යුත් දේශපාලන වැඩපිළිවෙළ පදනම් වූයේ එවැන්නක් මත ය. එසේ ම මිත්‍ර ජාතීන් ජපානය යටත් කරගත් පසුව මිලිටරි නායක ජනරාල් මැක් ආතර්ගේ නායකත්වයෙන් සිදුවූයේ ද එවැනි දේශපාලන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමයි. එය ජයග්‍රාහී පාර්ශ්වයේ වගකීම වන අතර රාජ්‍යයේ පැවැත්ම සඳහා එය අත්‍යවශ්‍ය බැවින් “ජයග්‍රාහී මානසිකත්වය” කටයුතු කරන පාර්ශ්වයේ අවතක්සේරුවකට හේතුවක් වන්නේ නැත.

පරාජය වූ පාර්ශ්වය ගෞරවනීය ලෙස රාජ්‍යය ගොඩනැංවීමට දායක වන්නේ ඊට අවශ්‍ය පිළිගැනීම ජයග්‍රාහී පාර්ශ්වයෙන් ලැබෙන්නේ නම් පමණි. එබැවින් දෙමළ ජන කොටස රාජ්‍යය තුළ කොටස්කාරයන් කර ගැනීමෙන් ඔබ්බට ශ්‍රී ලංකා රාජ්‍යය ශක්තිමත් නොවන බව කිව යුතු කරුණකි. තමන් රාජ්‍යයේ කොටස්කරුවන් යැයි මුල්ලකට තල්ලු කළ ජන කොටසකට ඒත්තු ගැන්වෙන්නේ ඔවුන් රාජ්‍යයේ පාලනයට සම්බන්ධ කර ගැනීමෙනි. ඒ නිසා ආධිපත්‍යයක් ලෙස පවතින රාජ්‍යයේ බලය ජන කොටස් කරා බෙදා හැරීමෙන් තමන් ද රාජ්‍යයේ කොටස්කරුවන් යන හැඟීම ජනිත වේ.

එළඹෙන සැප්තැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී කොන් නොවී සිටීමට නම් සමාජයක් ලෙස ගත යුත්තේ මෙවැනි ප්‍රවේශයකි‍. මේ වනවිටත් මානව හිමිකම් කමිටුව විසින් අවවාද කර ඇති පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ අන්තර් ජාතික පරීක්ෂණයේ නිගමන බල රහිත කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අදාළ ප්‍රතිපත්තිය මෘදු බවට පෙරළා ගැනීමට නම් හෝ කළ යුත්තේ එවැන්නකි.

ගෝලීය ධනේශ්වරය ලෝකය පුරා ශක්තිමත් ව පවතින යුගයක ඒ ලෝකයාගෙන් කොන්වීම රටක් තුළ බරපතළ ගැටලු නිර්මාණය කිරීමට හේතුවකි. ශ්‍රී ලංකාව වැනි ප්‍රමාණයෙන් මෙන් ම ගුණාත්මකව කුඩා රටක් එවැනි පීඩනයකට ඔරොත්තු දී පැවැත්ම ආරක්ෂා කරගන්නේ යැයි සිතීම විහිළුවකි. ජාතියක අනන්‍යතාව හා එහි ප්‍රෞඩත්වය භුක්ති විදිය යුත්තේ පැවැත්ම පිළිබඳ බරපතළ තක්සේරුවක් ඇති කරගැනීමෙනි. එහෙත් රටක පැවැත්ම අභියෝගයට පත් කරමින් ජාතියේ උදාරත්වය ගැන උදම් ඇනීම හෝ ප්‍රීතිවීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ.

ගෝලීය ධනේශ්වරය ශක්තිමත් යුගයක ජාතික රාජ්‍යයට ශක්තිමත් පිළිගැනීමක් නොලැබීම ස්වභාවික ය. එමඟින් ප්‍රකාශ වෙන්නේ රටක් ලෝකයා හා බැඳී ඇති තරමට පැවැත්ම ස්ථිරසාර වන බව ය‍. ඒ නිසා මේ මොහොත තුළ ලෝකයාගෙන් කොන්ව වාසය කිරීමට ශ්‍රී ලංකාවට කොහොමවත් නොහැක. දණින් වැටී පැවැත්ම තහවුරු කර ගැනීම මෙන් ම උඩගුකමින් උද්දච්ඡව විනාශය කරා යෑම ද එකවිට ප්‍රතික්ෂේප කිරීම රටේ පැවැත්ම සඳහා මූලිකවම සලකා බැලිය යුතු කරුණකි.

ළඟ එන මහා මැතිවරණයේදී සමාජය මත අතිමහත් වගකීමක් පැවරී ඇත්තේ මේ මොහොත තුළ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති උභතෝකෝටිකය ජය ගන්නා මාර්ගයක් නිර්මාණය කර ගන්නා අන්දම සම්බන්ධයෙනි. දෙමළ ජනතාව ශ්‍රී ලංකා රාජ්‍යයේ සුජාතභාවය හා පැවැත්ම පිළිගන්නා සහ නීතියට ගරු කරන ජන කොටසක් බවට පෙරා ගත හැක්කේ ජාතික අභිලාශයන්ට පිළිගැනීමක් ඇති වැඩපිළිවෙළකිනි. එසේ ම මානව හිමිකම් කමිටුවේ දී ශ්‍රී ලංකාවේ ආත්ම ගෞරවයට හානියක් නොවන තීන්දුවක් කරා ජාත්‍යන්තරය මත බලපෑමක් ඇති කළ හැක්කේ තවදුරටත් ශ්‍රී ලංකාව පීඩන රාජ්‍යයක් නොවන බව ඒත්තු ගැන්වීමෙනි.

ජාතික හා අන්තර්ජාතික තල දෙකක පවතින අභියෝග ජය ගැනීම අසීරු නොවේ. එහෙත් ඒ අසීරු අභියෝගයන්ට මුහුණ දී ශක්තිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීම අත්‍යන්ත කාර්යයකි. මහින්ද චින්තනවාදය පරාජය කරා ගෙන ගිය ජනවාරි අට වැනිදා දේශපාලන විප්ලවයේ මූලික ඉලක්කය වූයේ ද එයයි. එය අමතක කරන තාක් සමාජය නැවත ඇද වැටෙන්නේ මහින්ද චින්තනවාදයට රාජ්‍ය බලය හිමි වූ ඒ අඳුරු යුගයටමයි.

එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස බලය තහවුරු කර ගැනීමට සටන් සංවිධානය කරයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය අපේක්ෂා කරයි. මහින්ද චින්තන සංස්කෘතිය තමන් විසින් කරන ලද අපරාධයන්ට ආවරණයක් ලබාගැනීම සඳහා රාජ්‍ය බලය ලබාගැනීමේ නොතිත් ආශාවක ගිලී සිටියි. මේ දේශපාලන වටපිටාව තුළ ශ්‍රී ලංකා රාජ්‍යයේ අභිලාශයන් අරාජික වෙමින් පවතී.

එහෙත් ජනවාරි අටවැනිදා ජය ගත් දේශපාලන ව්‍යාපාරයට ශක්තිමත් දැක්මක් තිබේ. එය මූලික වශයෙන් ම තේරුම් ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින අභියෝග ජය ගන්නා අන්දමයි. මේ රටේ පුරවැසි බලවේගයන් ළඟ එන මහා මැතිවරණයේ දී කේන්ද්‍රීය දේශපාලන කාරණාව කරගත යුත්තේ ජනවාරි අටවැනිදා ජය ගත් දේශපාලන ව්‍යාපාරයේ අරමුණු තවදුරටත් ශක්තිමත් කර ගන්නා අන්දමයි. එසේ නොවුන හොත් ජනවාරි අටවැනිදා සිදුවූ වෙනස මුහුණු මාරුවක් පමණක් වීම නො වැළැක්විය හැක්කක් විය හැකි ය.

කේ.ජී. පිලිප් ශාන්ත

උපුටාගැනීම - සිළුමිණ

Last modified on Saturday, 11 July 2015 10:31

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us