වෙන්ව නසින්නට යන එජාපය

Sunday, 07 September 2014 21:03

විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.

 ඒ පක්‍ෂය තුළ ඇති නායකත්ව අර්බුදය නැවත අවුළුවා ඉස්මත්තට ගැනීමෙනි. දැන් විධායක ජනාධිපති ක‍්‍රමය, දූෂණය, රාජපක්‍ෂ පවුල් පාලනය ගැන වෙනුවට කතාකැරෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නයකත්ව අවුල ගැනය.

රනිල් වික‍්‍රමසිංහ මහතා නිසැක වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව දැනටමත් කියමින් යයි. එහෙත්, ජනාධිපතිවරණයෙන් පසු විධායක ජනාධිපති ක‍්‍රමයට කරන්නේ කුමක්දැයි ඔහුවත් පක්‍ෂයවත් කිසිතැනක නොකියයි. දැනට ඒ ගැන ඔහු දක්වා ඇති සීමිත අදහස් දැක්වීම්වලින් පැහැදිලි වන්නේ ඔහුගේ සිහිනය මීළඟ විධායක ජනාධිපතිවරයා වීම බවයි.


 වර්තමාන සියලූ තත්ත්වයන් එසේ පවතිද්දීම රනිල් වික‍්‍රමසිංහ විධායක ජනාධිපතිධුරයට පත්වීම වනාහි පවතින දේ එලෙසම ඉදිරියට ගෙනයෑම මිස අන් කිසිවක් නොවේ. වික‍්‍රමසිංහ මහතාගේ මාර්ග සිතියම වන්නේ පළමුව විධායක ජනාධිපති ධුරයට පත්වී ඉන්පසු විධායක අගමැති ධුරයකට මාරුවීමයැ’යි සිතිය හැකිය. ඔහු කියන විධායක අගමැති ධුරය යනු මේ අත්තනෝමතික විධායක ජනාධිපති ධුරයේම කපාපු පලූවකි. කිසි වෙනසක් නැත. එනිසා, රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩිකරවා ඔහුගෙන් විධායක ජනාධිපති ක‍්‍රමය (හුදෙක් ධුරය නොවේ.) අවසන් කරවා ගැනීමට තබාගන්නා විශ්වාසයට අත්වන ඉරණම, 1994දීත්, ඉන් පසුවත් චන්ද්‍රිකා ලවා එය කරන්නට ගොස් සිදුවුණු දේට නොවෙනස් වනු ඇති බවට දැනට යෙදී තිබෙන කරුණුවලින් නම් පැහැදිලිව පෙනෙයි.

තත්ත්වය මෙසේ තිබියදී, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වුවමනාව සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජ්‍ය නායකකමට ගෙන්වා ගැනීමය. රනිල් සජිත් සුසංයෝගයක් ගැන එක්සත් ජාතික පාක්‍ෂිකයෝ හැමදාම සිහින දැක්කාහ. ඒ සිහිනයේ අරමුණ ඔවුන් දෙදෙනා එකතු වීමෙන් පක්‍ෂය ශක්තිමත් වී ජයග‍්‍රහණය කරා ගෙනයෑමට හැකිවනු ඇත යන්නය. දැන් සිදුවන්නට යන්නේද රනිල් සජිත් සුසංයෝගයකි. එහෙත්, එහි ප‍්‍රතිඵලය වන්නට නියමිත බව පෙනෙන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක පක්‍ෂය නැවතත් බරපතළ ලෙස දෙදරා යෑමකි.


සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහයෝගය රනිල් වික‍්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන්නේ තමාගේ ජනාධිපති වරණ ජයග‍්‍රහණය සඳහා බව පෙනෙයි. වික‍්‍රමසිංහ මහතා සිතන අන්දමට දෙමළ, මුස්ලිම් ආදි සුළු ජාතික ඡන්ද දැනටමත් ඔහු දිනාගෙන හමාරය. තමාට අඩුවිය හැකියැ’යි පෙනෙන සිංහල බෞද්ධ ඡන්ද එකතු කරගැනීමේ හොඳම ක‍්‍රමය, එවැනි ප‍්‍රතිරූපයක් බවට පෙනෙන සජිත් පේ‍්‍රමදාස මහතා තමාගේ සහායට ගැනීමයි. 


උන්නතිකාමිත්වය එක්වරම ශරීරයට කාවැදී පිබිදී සිටින රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ගණන් බැලීම හරිද වැරදිද කීම අපට වැදගත් නොවන නමුත්, සජිත් පේ‍්‍රමදාස මහතා නම් රනිල් වික‍්‍රමසිංහ හා එක්වනු ඇත්තේ ඇයිදැ’යි පැහැදිලිව කිවහැකිය.


පළමුවැනි සාධකය සජිත් එකතුවූ පමණින්ම ජනාධිපතිවරණය ජය ග‍්‍රහණය කළ හැකි බවට කිසිම සහතිකයක් නැති බවය. පක්‍ෂය තුළද ඉන් පිටතද බලවේග පෙළගැසී තිබෙන ආකාරයට පෙනෙන්නේ එවැනි විටකදී අත්වන පරාජයේ සේයාවක් මිස අන් යමක් නොවේ.


 පේ‍්‍රමදාස මහතාගේ ගණන් බැලීම වනු ඇති බව පෙනෙන්නේ, රනිල් වික‍්‍රමසිංහ මහතාට තමාද සහයෝගය දුන් නමුත් ජයග‍්‍රහණය කිරීමේ හැකියාව ඔහුට නැති බව සාධක සහිතව පෙන්වා, ජනාධිපතිවරණය අවසන් වූ වහාම පක්‍ෂයේ නායකත්වය සඳහා නැවත සටන් වැද එය ලබාගැනීමයි.


 මේ ජනාධිපතිවරණයද පරාජය වූ විටෙක, තවදුරටත් නායකත්වයේ සිටීම සඳහා වික‍්‍රමසිංහ මහතාට ඇති සියලූ සාධක මුළුමනින්ම ගිලිහෙනවා ඇත. පක්‍ෂ නායකත්වය සජිත්ගේ ඔඩොක්කුවටම වැටෙනවා ඇත. එහෙත් ඉන් පසු ඇතිවන තර්කානුකූල ප‍්‍රතිඵලය වනු ඇත්තේ වික‍්‍රමසිංහ මහතාද ඇතුළු සියලූ වික‍්‍රමසිංහ අනුගාමිකයන්ට එක්සත් ජාතික පක්‍ෂයේ වේදිකාව අහිමිවීමයි. ඒ සියලූ දෙනා විසින් පක්‍ෂය තුළද, රටේද ඇතිකරන්නට බලා පොරොත්තු වී සිටි ලිබරල් ප‍්‍රතිසංස්කරණ කිසිවක් වේ නම් ඒ සියල්ලෙහි අවසානයද එය වනු ඇත. පක්‍ෂය යළි දෙවැනි මහින්ද යුගයක් කරා යනු ඇත. 


දේශපාලනික වශයෙන් සජිත්ගේ මාර්ග සිතියම වැරදියැ’යි කිසිවකුට කිව නොහැකිය. එය වරදින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා විෂයයෙහිය. සජිත් තමන්ගේ වේදිකාවට නැංග විටෙක ඒ එකමුතුව ගැන සතුටු වන පාක්‍ෂික ජනතාව උද්යෝගයට පත්වී විශාල ලෙස ඡන්දය දෙනු ඇතැ’යි රනිල් වික‍්‍රමසිංහ මහතා සිතනු ඇත. එහෙත්, සජිත් පේ‍්‍රමදාස මහතාට එම වේදිකාව දෙවිධියක හැඟවුම් සහිත වෙයි.

 පළමුවැන්න වික‍්‍රමසිංහ මහතා සමග එක්ව සිටින බව පෙන්වීමයි. එහෙත් යම් හෙයකින් එනිසා වික‍්‍රමසිංහ මහතාගේ ජය තහවුරු වුවහොත්, පේ‍්‍රමදාස මහතාගේ නායකත්ව සිහිනය අවම වශයෙන් අවුරුදු දොළහකට කල්දැමීමට සිදුවනු ඇත. එතරම් කාලයක් සඳහා සිය සිහිනය විනාශ කර ගැනීමට පේ‍්‍රමදාස මහතා ස්වයං කැමැත්තෙන් ඉදිරිපත් වනු ඇති බවට දේශපාලනය ගැන දන්නා කෙනකු කල්පනා කරනු ඇත්ද යන්න ප‍්‍රශ්නයකි. ඒ අනුව, සජිත් පේ‍්‍රමදාස මහතාට රඟපෑම සඳහා ඉතිරිව ඇත්තේ උඩින් මිතුරු යටින් හතුරු ගණයේ චරිතයකි.

නායකත්ව මණ්ඩලය

මාධ්‍ය වාර්තා කළ අන්දමට පළමුව ඌව පළාත් සභා මැතිවරණයත්, දෙවනුව වික‍්‍රමසිංහ මහතාගේ ජනාධිපති වරණයත් සඳහා කැපවීමට නියෝජ්‍ය නායකකම භාරගැනීම කරන්නේ නායකත්ව මණ්ඩලය විසුරුවා හැරියහොත් පමණක් බවට කොන්දේසියක් පේ‍්‍රමදාස මහතාගෙන් පැනැවී ඇතැ’යි මාධ්‍ය වාර්තා කළේය. (මේ මාධ්‍ය වාර්තා කරන්නේ හරියටම සිදුවුණු දේ ද, නැතිනම් සිදුවිය යුතුයැ’යි ඒ මාධ්‍ය හිමිකරුවන් සිතා ඒවායේ මාධ්‍යවේදීන්ට අණකරනු ලබන දේවල්දැ’යි තීරණය කිරීම මඳක් උගහටය.) ඇත්ත වශයෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතාද නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකි. ඔහුට හිමි අසුන තවමත් එහි නොපිරවී තිබේ. එහි අසුන් ගන්නැ’යි භික්‍ෂූන් ඇතුළු විවිධ පාර්ශ්ව නිරන්තරයෙන් කළ සියලූ ඉල්ලීම් පේ‍්‍රමදාස මහතා නිර්දය ලෙස නොතකා හැරියේය.

නායකත්ව මණ්ඩලය ඇතිකෙරෙන්නේ පක්‍ෂයේ තර්කානුකූල ක‍්‍රියාවලියක ප‍්‍රතිඵල ලෙසය. වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය පක්‍ෂය තුළ බලවත් අභියෝගයට ලක්ව තිබූ අවස්ථාවක ඒ අභියෝගය සමනය කරගැනීමටත්, පක්‍ෂ නායකයා සතුව තිබූ අභිමත බලය බෙදාහදාගැනීමටත්ය නායකත්ව මණ්ඩලය පිහිටුවූයේ. සමහර විට නායකත්ව මණ්ඩලය නොපිහිටුවන්නට වික‍්‍රමසිංහ මහතාද දිගින් දිගටම ප‍්‍රහාරවලට ලක්වන්නටත් සමහර විට දැවීයන්නටත් ඉඩ තිබෙන්නට ඇත.


 නායකත්ව මණ්ඩලය පිහිටුවූ වහාම වික‍්‍රමසිංහ මහතා කීවේ, දැන් තමා පක්‍ෂයේ කටයුතු ගැන තනි තීරණ ගන්නේ නැති බවත්, සීමිත අවස්ථා කිහිපයකදී හැර මුළුමනින්ම කටයුතු කරන්නේ නායකත්ව මණ්ඩලයේ උපදෙස් මත බවත්ය.

නායකත්ව මණ්ඩලය පක්‍ෂයේ වුවමනාව තුළ ඇතිකළ තර්කානුකූල ආයතනයක් වූවාක් මෙන්ම, එහි සාමාජිකයන්ගේ විවිධ ධන හා ඍණ සීමා සහිතව වුවත්, ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඒ විසින් ඉටුකරන ලදි. කෙටියෙන් කිවහොත්, අසීරු අවස්ථාවක පක්‍ෂය නොකැඞී නොඉබිඳී යාත‍්‍රාකරවීමටත්, බොහෝ ගැටලූ සමනය කරගැනීමට අවකාශයක් විවෘත කරගැනීමටත් නායකත්ව මණ්ඩලයට හැකිවූ බව පෙනිණි. ඒ ප‍්‍රතිඵලය අත්වූයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් දිවා රෑ නොබලා ඒ සඳහා කළ කැපවීම නිසා බව අමතක කළ නොහැකිය.


 නායකත්ව මණ්ඩලය හැකි අයුරින් පක්‍ෂයේ උන්නතිය සඳහා කටයුතු කරද්දී, එහි අසුනකට අයිතියද තිබූ පේ‍්‍රමදාස මහතා කළේ කුමක්ද? සිය අනුගාමිකයන් හා ගජමිතුරු මාධ්‍ය ලවා නායකත්ව මණ්ඩලයටත්, විශේෂයෙන් එහි ප‍්‍රධානී කරු ජයසූරියටත් පහත් පෙළේ අවලාද නගමින් මුළුමනින්ම හතුරු ආකල්පයක ලා ක‍්‍රියාකිරීමයි. එක් අතෙකින් දැන් එළැඹ ඇත්තේ නායකත්ව මණ්ඩලය කළ ඒ හොඳ පස්සෙන් එළවන අවස්ථාවකි. නායකත්ව මණ්ඩලය කෙවිටෙන් තලා පිටමංකිරීමට සැරසීම වනාහි පක්‍ෂයට හානි ගෙනදෙන්නක් පමණක් නොව, නායකත්ව මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට කරන බලවත් අකෘතඥකමක්ද වන බව අතිශයෝක්තියක් නොවේ.

පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ වෙනස්කම්වල ප‍්‍රකාශකයාද කසකරුවාද වී සිටින බව පෙනෙයි. කෙසේ වෙතත්, මේ සියලූ අභ්‍යන්තර කාරණාවලට පරිබාහිරව, දැන් කතාකළ යුතු වැදගත්ම දේ ලිපියේ මුලටම සඳහන් කළ කාරණයට සම්බන්ධය. පසුගිය කාලය පුරාම, රටේ මහජනතාව තුළ ආණ්ඩුවේ අවනීතියට, අවපාලනයට හා රාජපක්‍ෂ පවුල් පාලනයට විරුද්ධ අදහසක් සහ ක‍්‍රියාකාරිත්වයක් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණි.


 එහෙත් අවාසනාවකට ඒ ක‍්‍රියාකාරිත්වය සඳහා එජාපය දායක වූයේ ඇල්මැරුණු ස්වභාවයකිනි. නැතිනම් කොහෙත්ම දායක වූයේ නැත. ඒ මහජන ක‍්‍රියාකාරිත්වයේ එක් පෙරමුණක් වූයේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු වැඩපිළිවෙලක් තුළ පොදු අපේක්‍ෂකයකු සමග කටයුතු කොට විධායක ජනාධිපති ධුරය අවසන් කොට පැරණි පාර්ලිමේන්තුවාදී ආකෘති යකට නැවත රට යා යුතුය යන අදහසයි.


 ඒ සඳහා රටේ සෑම වෘත්තීය හා සමාජ තීරුවකම අනුමැතිය යහමින් ලැබෙමින් පැවැතිණි. ආණ්ඩුව තුළද ඒ අදහසට අනුව කටයුතු කරන හා ඊට සහාය දෙන පිරිස ක‍්‍රමයෙන් වැඩිවෙමින් පැවතිණ. එහි අවසන් ප‍්‍රතිඵලය විය හැකිව තිබුණේ එළැඹෙන ජනාධිපතිවරණයකදී ඒ පොදු වැඩ පිළිවෙල ජයග‍්‍රහණය කරවීමයි.


තනිව ජනාධිපති වරණයට තරග කරන බව කීමෙන් පළමුව එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ඒ වැඩපිළිවෙල දුර්වල කළේය. දැන් දෙවනුව ඒ විනාශය සිය පක්‍ෂය තුළටමද කැන්දාගනිමින් සිටියි.


පෞද්ගලික න්‍යාය පත‍්‍රය හා පොදු න්‍යාය පත‍්‍රය



පවතින තත්ත්වය යටතේ පොදු වැඩපිළිවෙලකට එකතු වන්නට කිසිදු නැමියාවක් එක්සත් ජාතික පක්‍ෂය තුළ නොවීය. තම පක්‍ෂය විපක්‍ෂයේ ප‍්‍රධාන පක්‍ෂයයැ’යි කියමින් අන් අයට දෙකට නැමී තමන් ළඟට එන්නටයැ’යි හඟවන ස්ථාවරයක වංසය කබල් ගාමින් සිටියා මිස, තීරණාත්මක සහයෝගයක් හා පොදු වැඩපිළිවෙලක් ඇතිකර ගැනීමට පක්‍ෂ නායකයාගේද පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේද කිසිදු වැඩපිළිවෙලක් නොතිබුණි.


 සිවිල් සංවිධාන නායකයන්, මාධ්‍ය සංවිධාන නායකයන් ඇතුළු වෘත්තීය සමිති නායකයන් හමුවූ අවස්ථාවලදී පවා පක්‍ෂ නායකයා කතාකළේ ඒ ඒ ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රශ්න නොව සිය ‘ජයග‍්‍රහණය’ සඳහා ඔවුන් සහාය දිය යුතු අන්දම ගැනය.

එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ විශාලතම පක්‍ෂය බවට සැකයක් නැත. එහෙත් ඒ විශාල පක්‍ෂය පසුගිය අවුරුදු විස්සක කාලය තුළ දිගින් දිගටම පරාජය වී තිබෙන බවටද ඒ තරම්ම සැකයක් නැත. ඒ පරාජයන් සඳහා පක්‍ෂයේ දායකත්වයක්ද ඇති බව අමතක කළ නොහේ. ඉතින්, අපට තනිව දිනිය හැකියැ’යි ගණන් හදන්නටවත්, පුරාජේරු කියන්නටවත් තනි පක්‍ෂයක් ලෙස එජාපයට හැකියාවක් නැති බව අලූතෙන් කීමට දෙයක් නැත.


 ඥානාන්විත දෙය වීමට තිබුණේ, මෙවර ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කොට විධායක ජනාධිපති ක‍්‍රමයත්, ඒ හා බැඳුණු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතයනුත් දුරුකොට ඉන්පසු ඇතිවන නිදහස් දේශපාලන අවකාශය තුළ සිය පක්‍ෂය ඉදිරියට ගැනීමට එජාපය කටයුතු කිරීමයි. එවැනි නිදහස් වාතාවරණයක පවත්වන මහ මැතිවරණයකදී තමන්ගේ නියම පක්‍ෂ බලය උරගා බලන්නටද එජාපයට අගනා අවස්ථාවක් තිබිණි. එහෙත් පක්‍ෂයේ ලොකු කුඩා නායකයන්ගේ බලාලෝභී කම හේතුවෙන් ඒ අවස්ථාව මඟහැරීයන්නට නියමිත නම් කළ හැක්කේ කුමක්ද?


මෙවැනි පක්‍ෂ රටකට අවශ්‍ය ඇයිදැ’යි මේ වැනි යුගයක ජනතාව සිතුවොත් පුදුම වන්නට දෙයක් නැත. මෙතරම් දශක දෙකක පමණ කාලයක් පීඩාවට ලක්ව සිටින ජනතාවක් ක‍්‍රමයෙන් එක් පෙරමුණකට එක්වන්නට සූදානම් වද්දී ඒ පෙරමුණු කඩාබිඳ දමන විපක්‍ෂයක ප‍්‍රධාන පක්‍ෂයට ජනතාව සැලකිය යුත්තේ කෙසේද?


(රාවය - කේ. ඩබ්ලිව්. ජනරංජන) 

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us