මැතිවරණයකදී තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතිය ප්‍රථමවරට කලඑළි බසින්නේ 2012 වසරේදීය. ඒ එම වසරේදී පැවැත්වූ පළාත් සභා ඡන්දය අරමුණු කර ගනිමිනි.

නිදහස් මාධ්‍යයක් සඳහා නව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ඇති කැපවීම අභියෝගයට ලක්කරමින්, ජාත්‍යන්තර ඇගයීමට මෙන්ම එමි සම්මාන සඳහා නාම යෝජනා ලත් ‘යුද මුක්ත කලාපය: ශ‍්‍රී ලංකාවේ මිනිස් දඩබිම්’ (No Fire Zone: The Killing Fields of Sri Lanka) වාර්තා චිත‍්‍රපටයේ සිංහල පිටපත, මාර්තු 10 වැනිදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළිදක්වනු ලැබිණ.

දින සීයෙන් කරන්නට බලාපොරොත්තු වුණ සියලු වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම එලෙසම කරන බවත් අලුතෙන් ස්වාධීන කොමිසන් සභා දෙකක් ද ඇති කරන බවත් අධිකරණ හා කම්කරු ඇමැති ජනාධිපති නීතිඥ වි‍ජේදාස රාජපක්ෂ මහතා කියයි. වත්මන් දේශපාලනය ගැන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේය.

වර්ෂ 2001 - 2004 කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සී. වී. විග්නේෂ්වරන් මහතා 2013 වසරේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණයෙන් එහි මහඇමැති ධූරයට පත්විය. දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන අසාධාරණකම කියාපාන කරුණු ඇතුළත් විශේෂ යෝජනාවක් මහඇමැතිවරයාගේ මූලිකත්වයෙන් උතුරු පළාත් සභාව විසින් අනුමත කර ගන්නා ලදී. එම යෝජනාව නිසා උතුරු පළාත සම්බන්ධයෙන් රටේ පැවැති දේශපාලන අදහස් වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මේ පිළිබඳව මහඇමැති විග්නේෂ්වරන් මහතාගෙන් කරුණු විමසන ලද සාකච්ඡාවකි මේ.

මහින්ද රාජපක්ෂ කියනවා ඔහු උතුරට ඡන්ද අයිතිය ලබා දුන්න නිසා තමයි ඡන්දය පරාද වුණේ කියලා. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?

යුද්දෙ කාලෙත් උතුරේ ප‍්‍රදේශවල ඡන්දය පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා සිංහල ජනතාව රවට්ටන්න තමයි මේ වගේ අදහස් පළකරන්නේ. එල්ටීටීඊ නායකයාට මිලියන ගණන් ලබාදීලා ඡන්ද වර්ජනයකට යැව්වා කියලා ඔහුට චෝදනා තියෙනවා. අගමැතිතුමාත් ඒ කතාව කියනවා. ජේ.ආර්. ජයවර්ධන, පේ‍්‍රමදාස, චන්ද්‍රිකා ජනාධිපතිවරුන්ගේ කාලවලත් උතුරේ ඡන්ද තිබුණා. ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල වගේම උතුරේ ඡන්දය පැවැත්වෙනවා. ඒක මහින්ද අලූතින් ලබා දුන්නු අයිතියක් නෙවෙයි. මේක අමූලික බොරුවක්.

මහින්ද රාජපක්ෂ කියන්නේ ඔහු යුද්ධය ඉවර කරලා ජාතික සමඟිය ඇති කළා කියලා.

ජාතීන්ට සම අයිතිවාසිකම් නැතිව ජාතික සමගියක් ඇතිවන්නේ කොහොමද? එක් මිනිසුන් පිරිසකට වඩා තවත් පිරිසක් පහත් නම් බහුතරයට සුළුතරයට යටත් නම්? මහින්දට ඒ තත්ත්වය වෙනස් කරන්න බැරිවුණා. යුද්ධයෙන් පස්සෙ ගෙවුණු කාලය විතරක් අරගෙන බලන්න. විශාල ජනතාවක් නැවත පදිංචි කිරීමක් නැතිව ඉන්නවා. අවුරුදු විස්සක් තිස්සේ විශාල ජනතාවක් අවතැන් කඳවුරුවල ඉන්නවා. වලිකාමම් උතුරු ප‍්‍රදේශවල හමුදාවෙන් හෝටල් දහ අටක් හදනවා. ජනාධිපති මාලිගාවක් හදනවා.

ගොල්ෆ් ක‍්‍රීඩාංගණ හදනවා. හමුදා නිලධාරීන්ගේ ගෙවල් හදනවා. ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගතකරද්දී ජනතාව අවතැන් කඳවුරුවල ඉන්නවා. මේ වගේ පසුබිමක ජාතික සමඟියක් හැදෙන්නේ කොහොමද? යටත් විජිත පාලකයෝ ටිකක් යටත් වැසියන් ලෙස දෙමළ ජනතාව තියාගන්න උත්සාහ කිරීමක් වගේ නෙමෙයිද මේක. හමුදාව උතුරේ කිරි නිෂ්පාදන, ගොවිතැන් එහෙම කරනවා. ඒකෙන් ජනතාවගේ ජීවන වෘත්තීන්වලටයි පහර වදින්නේ. හමුදාව වගා කරන නිසා ගොවියන්ට වගා කරලා අලෙවි කරගන්න අමාරුයි. මේ වගේ හේතු ගොඩක් නිසා යුද්ධයෙන් පස්සෙත් ද්‍රවිඩ ජනතාව බොහොම පීඩනයකට පත්වෙලා ඉන්නේ. හරිම අසාධාරණ විදියට රට ඇතුළේ දෙමළ ජනතාවගේ හඬ යටපත් වෙලා. අවසන් සටනේදී හමුදාවට යටත්වෙච්චි විසිදාහක් විතර අතුරුදන් වෙලා තියෙනවා. ඒක හොයා බලන්න ක‍්‍රියාත්මක වෙන්නෑ.

යුද්ධය ඉවර කළ වහාම ජාතික සමඟිය ඇතිවුණා කියලා තමයි සිංහල ජනතාව කියන්නේ.

යුද්ධයට හේතුවෙච්ච කාරණා තියෙනවා. ඒවා ගැන හොයලා බලලා විසඳුමක් දුන්නොත් තමයි ජාතික සමඟිය ඇතිවෙන්නේ. යුද්ධ ඉවර වුණ ගමන් සාමය එනවා කියන්නේ මනඃකල්පිත අදහසක්. යුද්ධයෙන් පස්සේ ජාතික සමඟිය ඇති කරන්න කිසිම දෙයක් කරලා නැහැ. දේශපාලන විසඳුමක් නැහැ.

මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා පිළිගන්නවා භූමිය එක් කළත් මිනිසුන්ගේ හදවත් එක්වුණේ නැහැ කියලා. ඔවුන් සංහිඳියාව ඇති කරයිද?

මේගොල්ලන්ගේ දවස් සීයේ වැඩපිළිවෙළ තුළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධ හෝ අතුරුදන්වූවන් ගැන හෝ බන්ධනාගාරවල ඉන්න ජනතාව ගැන කිසිවක් සඳහන් වෙලා නැහැ. මැතිවරණ ප‍්‍රකාශවලදීත් දෙමළ ජනතාවට විසඳුමක් දීම ගැන කතා කළේ නැහැ. නිදහස් උළෙලේ ප‍්‍රකාශයක් කළත් මාසයක් ගිහිල්ලාත් කිසිම දෙයක් කරලා නැහැ. සාකච්ඡුා ආරම්භ කරලා, නැවත පදිංචි කරලා බන්ධනාගාරවල ඉන්න ජනතාවට සහනයක් ලැබෙනවා නම් දෙමළ ජනතාව තුළ විශ්වාසයක් ඇතිවෙයි.

දෙමළ ජනතාවට තිබෙන ප‍්‍රශ්න සිංහල ජනතාවට අවබෝධ කරවන්න කවුරුත් නැහැ නේද? මේ ප‍්‍රශ්නයේදී අවස්ථාවාදී මාධ්‍ය භාවිතාව ගැන හිතන්නේ මොකක්ද?

ඇත්තටම ඒක හරි. දෙමළ ජනතාවට තියෙන ප‍්‍රශ්න සිංහල ජනතාවට වැරදි විදියට තමයි ගෙනියන්නේ. ජාතික ප‍්‍රශ්නයත් සිංහල ජනතාවට වැරදියට තමයි වාර්තා වෙන්නේ. මේකට ප‍්‍රධාන හේතුව ප‍්‍රධාන දේශපාලන පක්ෂ හිතන්නේ දෙමළ ජනතාවට වැරදි මතයක් කිව්වොත් තමයි සිංහල ඡුන්ද ගන්න පුළුවන් කියලා. ඒ වාගේම ජාතික හෙළ උරුමය, විමල් වීරවංශගේ පක්ෂය, බොදුබල සේනාව සිංහල ජනතාව ඉලක්ක කරගනිමින් ජාතිවාදී විදියට ඉන්නවා. ඒක තමයි මේ දෙමළ කතා කරන ජනතාව සහ සිංහල කතා කරන ජනතාව අතර හරි සන්නිවේදනයක් නැතිවෙන්න හේතුව.

දකුණේ විකල්ප මතයක් ප‍්‍රබලව ගෙනෙන ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂත් ඉන්නේ ඒ වගේ මතයක. ඔවුන් එක් අවස්ථාවක ආයුධ අතට ගත්ත පිරිසක්. මේක දකින්නේ කොහොමද?

ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතට ගත්ත පක්ෂයක් විතරක් නෙවෙයි. මාක්ස්වාදී ලෙනින්වාදී පක්ෂයක්. සමාජවාදී පක්ෂයක්. කියන්න ඕනෑ සියලූ ජනතාවට සම අයිතිවාසිකම් දෙන්න ඕනෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සිංහල ජනතාවට සම අයිතිවාසිකම් දෙන්න අනෙකුත් ජනතාවට අවශ්‍ය නැහැ වගේ මතයක්. උතුරු නැගෙනහිර ඉන්නේ බහුතරයක් දෙමළ කතා කරන ජනතාව. ඒ පළාත් දෙක එක්වෙලා ස්වයංපාලනයක් ඉල්ලීම වැරදියි කියලා තමයි ජේවීපීය කිව්වේ.

රටේ ඉන්නේ බහුතර සිංහල ජනතාව. රටේ ජනාධිපති අගමැති සිංහල වුණාට කිසි ප‍්‍රශ්නයක් නැහැ. උතුරු නැගෙනහිර ඉන්නේ වෙනත් සංස්කෘතියක් තියෙන ජනතාව. ඔවුන් මධ්‍යම ආණ්ඩුවට යටත්, තමන්ගේ පාලනයක් ඉල්ලීමට තමයි ජේවීපීය විරුද්ධ වුණේ. සමාජවාදී ජේවීපීයක් කියන්නේ දෙමළ ජනතාව සුළු ජාතිකයෝ, බහුතර සිංහලයෝ දෙන දෙයක් හොඳයි කියලා පිළිඅරගෙන හිටියම ඇති කියලයි. පසුගියදා උතුරේ සම්මත වුණු යෝජනාවත් ජේවීපීය ගත්තේ වැරදියට.

උතුරු පළාත් සභාව සම්මත කරගත්ත යෝජනාව සිංහල ජනතාවට පණිවුඩයක් කියලයි විග්නේශ්වරන් මහතා කිව්වේ. ඒත් ඒ පණිවුඩය දකුණට ආවෙ නැහැ.

ඇත්තටම විග්නේශ්වරන් මහතා එතන කළ කතාව සහ යෝජනාවේ තියෙන කරුණු විකෘති නොකර සිංහල මාධ්‍යවල පළවෙන්න ඕනෑ. ඊට පස්සේ ඒ කතාවේ අඩුපාඩුවක් තියෙනවාද කියලා සිංහල ජනතාවට තේරුම් ගන්න පුළුවන්. මේ යෝජනාව බෙදුම්වාදී ජාතිවාදී අන්තවාදී තීන්දුවක් නෙවෙයි. හැමදාම ආපු ආණ්ඩු දෙමළ ජනතාව රැුවටීමයි කළේ. අන්තිම යුද්ධයේදී හතළිස්දාහක් මියගිය බවත් සාම්පූර් යුද්ධයේදී ලක්ෂ තුනක් මියගිය බවත් වාර්තාවල සඳහන් කරනවා. හමුදාව ඇවිල්ලා උතුරේ වගා කරනවා, මාලිගා හදනවා. මේ වගේ දේවල් තමයි මේ යෝජනාවේ තියෙන්නේ. අදත් ද්‍රවිඩ ජනතාවට ඒගොල්ලන්ගේ ඉඩම්වල පදිංචි වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා විශාල මිනිස්සු ප‍්‍රමාණයක් විදේශ ගතවෙලා ඉන්නවා. කිලිනොච්චිවල ප‍්‍රදේශයක කාන්තාවන්ට ළමයි නොලැබෙන විදියට වඳ කරලා තියෙනවා. මේ දේවල් තමයි අපි කියන්නේ වර්ග සංහාරයක් කියලා. මේ යෝජනාව සිංහලයන්ට විරුද්ධව නෙවෙයි. දෙමළ ජනතාවගේ ආරක්ෂාවට. සිංහලයන් මරන්න නෙවෙයි.

විග්නේශ්වරන් අගමැතිවරයාගෙන් අහන්නේ තවත් රැුවටීම දේශපාලන සංස්කෘතිය කරගන්නවාද, සිංහල ජනතාවට ඇත්ත තේරුම් කරන්න පුළුවන්ද කියලා. දෙමළ මිනිස්සු එක් මොහොතක ආයුධ අතට ගත්තා. දැන් ඔවුන් අතේ ආයුධ නැහැ. නැවතත් ආයුධ අතට ගන්න ඔවුන් පෙළඹෙයිද?

දශක තුනක යුද්ධයේදී දෙමළ ජනතාව විශාල පීඩනයකට ලක්වෙලා තියෙනවා. ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා. තවත් ලක්ෂ ගාණක් විදේශ ගතවෙලා. මේ වගේ මොහොතක ආයුධ අතට ගත්ත දෙමළ මිනිස්සු නැවත ආයුධ අතට ගන්නේ නැහැ. යුද්ධයෙන් සිංහලයන්ට හිතන්නවත් බැරිතරම් දෙමළ ජනතාව පීඩා වින්දා. මේ ආණ්ඩුවත් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය විසඳන්න කටයුතු කරන්නේ නැත්නම් අද නැතත් තව අවුරුදු දහයකින් මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දීලා සංහිඳියාව ඇති කරනවා නම් එහෙම අවිනිශ්චිත බවක් ඇතිවෙන්නේ නැහැනේ.

ජිනීවා යෝජනාව කල් ගියා. ඒ ගැන හිතන්නේ කොහොමද?

ලංකාවේ සිදුවෙච්ච මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධ චෝදනා මාර්තු මාසයේ විසි අටවෙනි සැසි වාරයේ සම්මත වෙන්න ඕනෑ. ඒත් ඒක සැප්තැම්බර් දක්වා කල් ගිහින් තියෙනවා. මේ වාර්තාව ආවා නම් ඒකේ අලූත් කරුණු තියෙන්නට ඉඩ තිබුණා. කාටවත් දඬුවම් දෙන්න ඕනෑ නැහැ. අපි හැමෝම ඒ යෝජනාව දිහා බලන්න ඕනෑ පීඩාවට ලක්වුණ ජනතාවගේ පැත්තෙන්. ඒ අයට සාධාරණයක් ඉටුකිරීම පැත්තෙන්. ජීවිත තර්ජන මැද්දේ මිනිස්සු මේකට සාක්ෂි දුන්නේ සාධාරණයක් ඉටු කරවා ගන්න. යෝජනා කල් යෑමෙන් ඒ අයගේ බලාපොරොත්තු කඩවෙලා. මේගොල්ලෝ කාලයක් ඉල්ලූවේ අභ්‍යන්තර විමර්ශනයක් කරන්නම් කියලා. ලංකාවේ මෑත කාලයේ තිබුණු අභ්‍යන්තර කොමිෂන් දිහා බලන්න. සාක්ෂි දෙන්නවත් විශ්වාස කරන්න පුළුවන් මට්ටමක තියෙනවාද? අවුරුදු ගාණක් විසඳුමක් නැතිව තියෙයි. ජනතාවට විශ්වාසය තියෙන්න බැහැ. ඒ නිසා මේ යෝජනාව කල් තැබීම දෙමළ ජාතික සන්ධානය පිළිගන්නෑ. ඒ සිංහල ජනතාවට දඬුවම් දෙන්න හරි ඒ අය එක්ක තරහකින් හරි නෙවෙයි.

මේ ආණ්ඩුවත් ජාතික ප‍්‍රශ්නය ගැන හිතන්නේ රාජපක්ෂ ආණ්ඩුව වගේ නම්, ඔබේ පක්ෂය නිදහස් උළෙලට ගිහින් ජාතික විධායක සභාවට ගිහින් පාර්ලිමේන්තුවේදි ඡන්දය දීලා ආණ්ඩුව එක්කම ඉන්නේ ඇයි?

නිදහස් උළෙලට සහ ජාතික විධායක සභාවට ගියේ ටීඑන්ඒ මතය අනුව නෙවෙයි. ඒ දෙන්නෙක්ගේ මතය විතරයි. අතුරු අයවැයට අපි ඡුන්දය දුන්නා. ඒ අයවැය රටට හොඳ නිසා. හොඳ ව්‍යවස්ථා සංශෝධනවලටත් අපි සහාය දෙනවා.

යුද්ධය අදත් සිහිපත් කරන්නේ ජයග‍්‍රහණයක් විදියට. යුද්ධය සිංහලයන් යොදා ගත්තේ ආඩම්බර වෙන්න කාරණයක් විදියට. අපි යුද්ධය සිහිපත් කරන්න ඕනෑ කොහොමද?

යුද ජයග‍්‍රහණය වගේ වැඩසටහන් අවශ්‍යද? කොටි පරාජය කළ නිසා රණවිරුවෝ වීරයෝය කියන එක එක කතාවක්. ලක්ෂ ගාණක් ජනතාව මියගිය එකේ ජයග‍්‍රහණයක් නැහැ. දෙමළ ජනතාවත් මේ රටේ පුරවැසියෝ. මීට කලින් දකුණේ වුණා වගේම ඒ අයත් අයිතිවාසිකමක් දිනාගන්න සටන් කළා කියන එක තේරුම් ගන්න ඕනෑ. කිළිනොච්චි, අලිමංකඩ, මුලතිව් වගේ ප‍්‍රදේශවල වීරත්වය පෙන්වන සමරු ඵලක, පිළිම හදලා තියෙනවා. ඒකෙන් දෙමළ ජනතාවට දිගින් දිගටම දෙන පණිවුය උඹලා පරාජිතයෝ, උඹලට විසඳුමක් නැහැ කියලා. විජයග‍්‍රහණයක් කියලා යුද්ධයේ ඛේදවාචකය සැමරීමෙන් ප‍්‍රශ්නයට විසඳුම් තව තවත් ඈත් වෙනවා.

නැගෙනහිර දෙමළ ජනතාව හිතන්නේ ඔබේ පක්ෂය දැන් උතුර ගැන හිතනවා නැගෙනහිර බලන්නේ නැහැ කියලයි.

උතුරු පළාත් සභාවේ ආසන 38කින් 30ක් ජයග‍්‍රහණය කරලා දෙමළ ජාතික සන්ධානයට විශාල බලයක් තියෙනවා. ඒ නිසා උතුර ගැන අපි අවධානය යොමු කරනවා. නැගෙනහිර ජන කණ්ඩායම් තුනක් ඉන්නවා. ආසන 37න් වැඩිම ආසන තියෙන තනි පක්ෂය අපි. බලයක් පිහිටුවන්න ඒක මදි. බලය පිහිටුවන්න නම් මුස්ලිම් කොංග‍්‍රසය වගේ පක්ෂයක සහාය ඕනෑ. මුස්ලිම් කොංග‍්‍රසය සන්ධානය එක්ක ගිවිසුමක ඉන්නවා.

මහ ඇමති ධුරය අවුරුදු දෙකහමාර බැගින් භාරගන්න. මුස්ලිම් කොංග‍්‍රසය සන්ධානයෙන් ඉවත් වුණු වෙලාවේ අපි උත්සාහ කළා බලය ලබාගන්න. ඒත් මුස්ලිම් කොංග‍්‍රසය ඒකට අකමැති වුණා. අද ජනාධිපති සහ අගමැතිට බලය ලබාගන්න දෙමළ ජනතාව උදව් වුණා. ඔවුන් එක්කත් නැගෙනහිර ආණ්ඩුවක් පිහිටුවන්න කතා කළත් ඔවුන් අකමැති වුණා. අපි නැගෙනහිර අමතක කළා නෙවෙයි, එහේ අයට බලය පිහිටුවන්න සහයෝගයක් ලැබුණේ නැහැ. නැගෙනහිර බහුතරයක් තියෙන්නේ දෙමළ නියෝජිතයන්ට. ඒත් පහුගිය ඇමති මණ්ඩලයේ දෙමළ ජනතාවට ඇමතිකමක්වත් තිබුණේ නැහැ.

ව්‍යවස්ථා වෙනසක් ගැන කතා කරනවා. මොන වගේ ව්‍යවස්ථා වෙනස්කම්ද ඔබලාගේ පැත්තෙන් විය යුත්තේ?

ස්වාධීන කොමිෂන් පත් කිරීම, ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම ඇතුළු වෙනස්කම්වලට අපි එකඟයි. එහෙත් මේවා කරන්න යෝජනා කළ දේශපාලන නායකයෝ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථා වෙනසක් ගැන කියලා නැහැ. යමක් පාර්ලිමේන්තුවේ කරන්න තුනෙන් දෙකේ බලය ඕනෑ. එහෙත් මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න තුනෙන් දෙකක් එකතු කරගන්න බැහැ. මේ ප‍්‍රධාන පක්ෂ දෙකම ජාතික ප‍්‍රශ්නය ගැන හිතන්නේ කොහොමද කියලා තේරෙනවා.

ප‍්‍රශ්නවලට විසඳුමක් දෙනවා නම් ආණ්ඩුවට සහයෝගය දෙන්න කැමතියි කියලා ඔබ කිව්වා. විසඳුම විය යුත්තේ මොකක්ද?

උතුරු නැගෙනහිර බහුතරයක් දෙමළ කතා කරන ජාතිකයන් ඉන්න ප‍්‍රදේශයක්. මධ්‍යම ආණ්ඩුව බහුතරයක් සිංහල ජාතීන් ඉන්න ප‍්‍රදේශයක්. ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රශ්න තේරුම් ගන්න පුළුවන් දේශපාලන අධිකාරියක් තියෙන්න ඕනෑ. ස්වයං පාලනය කියන්නේ ඒකට මිසක් රටට අනතුරුදායක දෙයකට නෙවෙයි.

ඇමරිකාවේ ජනපද ගණනාවක් එකතු වෙලා එක්සත් ජනපදයක් හැදිලා තියෙනවා. කැනඩාවත් ඉන්දියාවත් ගත්තාම විවිධ භාෂා කතා කරන ජාතීන් කිහිපයක අයට ස්වයං පාලන බලතල ලබාදීලා තියෙනවා. විවිධත්වය තුළින් ඒකීයත්වය ළඟාකර ගන්න පුළුවන් ක‍්‍රමයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ඇති කරන්න ඕනෑ. ඒකෙන් රට බෙදෙන්නේ නැහැ. වෙනත් රටවල් හැදෙන්නේ නැහැ. ජාතික හැඟීම නැතිවෙන්නෙත් නැහැ. ලෝකේ සාර්ථක රටවල් මෙහෙම ඉන්නවා. අපේ සංස්කෘතිය, භාෂාව, කලාව ආරක්ෂා කරගන්න ගමන් ගෞරවනීය ලෙස ජීවත් වෙන්න අවශ්‍ය ව්‍යවස්ථාමය පසුබිමක් හදන එක ගැන තමයි බලාපොරොත්තුවෙන්නේ. අඩු තරමේ ඒකට සංවාදයක්වත් දැන් නැහැ.

ආණ්ඩු මාරුවත් එක්ක ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ මතභේද ඇතිවෙලා තියෙනවා නේද?

බෙදීමක් කියන එකට වඩා ප‍්‍රතිවිරුද්ධ අදහස් අතරෙ සංවාදයක් කියලා කියන්න පුළුවන්. ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂ කිහිපයක් එකතුවෙලා හැදිලා තියෙන්නේ. ඊපීආර්එල්එෆ්, ප්ලොට්, ටෙලෝ, අයිටීඒකේ වගේ පක්ෂ තියෙනවා. සියට සීයක් ඔක්කොම එක මතයක් නැහැ. විවිධ අදහස් තියෙනවා. හැබැයි අපට ජනතාව වෙනුවෙන් එක මතයක් තියෙන්නේ. ගැටලූ විසඳගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


තරිඳු උඩුවරගෙදර

ravaya.lk

ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමේ කාර්යයේ ඉදිරි ගමන කෙ‍සේද, විධායක ජනපති ක්‍රමය සංශෝධනය කළ යුතු ද, අහෝසි කළ යුතු ද, අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ඇතුළු ව වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයට ලක් ව ඇති කරුණු කිහිපයක් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟ කළ කතාබහකි මේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා සමඟ කළ සාකච්ඡවකි

නව ආණ්ඩුව විවිධ තනතුරු සඳහා සිදුකර ඇති විවිධ පත්වීම් ගැන ඔබ වහන්සේට තෘප්තිමත් විය හැකිද?

උදාහරණයක් ලෙස ජනාධිපතිතුමාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ලෙස පත් කොට තිබෙනවා.

තවත් පවුල් පාලනයක් ඇති වේ දැයි මහජනතාව තුළ සැකයක් මතුවී තිබෙනවා?

කොටින්ම මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ජනාධිපතිවරයාට බොහෝ සහෝදර සහෝදරියන් සිටිනවා. රාජ්‍ය ආයතනවලට ලේ ඥාතීන් පත් කිරීමට විරුද්ධව කිසිම නීතියක් ඇත්තේ නැහැ. ඔහුට සුදුසුකම් ඇත්නම් එහි කිසිම ගැටලුවක් නැහැ. ඒත් සමස්ත රාජ්‍ය ක්‍ෂේත්‍රයම පවුලේ පාලනයකට යටත් වුවහොත් එය තමයි ප්‍රශ්නයක් වන්නේ.


 පළමු දින 100 ඉතා වැදගත් නිසා ඒ කටයුත්ත එම කාලය ඇතුළත සිදු කිරීම ප්‍රශ්නයක් නොවේද? ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද පුද්ගලයාට සුදුසුකම් තිබුණත් ඒ පත්වීම් සිදු නොකළ යුතුයි කියලා?

මේ අවස්ථාවේ මේ ගැන මට අදහසක් ප්‍රකාශ කළ නොහැකියි. දින සියයේ වැඩසටහනේ ඉතාම වැදගත් සහ අපහසුම කාර්යභාරය වන්නේ ව්‍යවස්ථාමය සංශෝධනයයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ජනාධිපතිගේ බලතල අඩු කිරීම ගැන සියලු පාර්ශ්ව තම අවධානය යොමු කිරීමයි වැදගත්. මේ නිසා අප ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිසම් පත් කිරීම ගැනයි. අනෙකුත් කරුණු අමතක කළ යුතු යැයි මා පවසන්නේ නැහැ. එහෙත් එවැනි දේ ගැන මහජනතාවට ක්‍රියාත්මක වීමට මහ මැතිවරණය ඉඩ සලසනවා.


 සමහර පත්වීම්වලදී ඉතා බරපතළ විෂමාචාර සිදුවී තිබෙනවා. උදාහරණයක් ලෙස පී.බී. අබේකෝන් ජනාධිපති ලේකම් ලෙස, ආචාර්ය සෝමරත්න දිසානායක ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරීමත් අභියෝගයට ලක්වී තිබෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට වඩා ප්‍රබල දැක්මක් ඇති කෙනකුව පත් කිරීමට තිබුණා නේද?

ආචාර්ය සෝමරත්න දිසානායක සුදුසු නැත්තේ ඇයි කියලා මම දන්නෙ නෑ. වඩාත් හොඳ කෙනෙක් හිටියා නම් පත් කළ යුතු බව ඇත්ත. ඒ ගැන විවාදයක් නෑ. ඔහු දූෂිත අයකු යැයි මට අදහසක් නෑ. වඩාත් සුදුසුකම් ඇති අය සිටිය හැකියි. එයින් කෙනකු මීළඟට පත් කළ හැකියි. මං හිතන්නේ මේවා තාවකාලික මාස තුනකට සිදු කෙරුණු පත්වීම්. මට නම් ආයතනයක සභාපති ධුරයකට වඩා ව්‍යවස්ථා සංශෝධනයයි වැදගත් වන්නේ.

 මේ සියලුම පත්වීම් තාවකාලිකයි කියලද ඔබ වහන්සේ පවසන්නේ?

ඇත්ත වශයෙන්ම මේ සියල්ල මාස තුනකදී වෙනස් වෙනවා. මේ ඇමැති ධුර පවා තාවකාලිකයි.
ව්‍යවස්ථා සංශෝධන සඳහා වූ යෝජනා පාර්ලිමේන්තුවේ සහාගත කිරීම ජනවාරි 21 වැනිදාට නියමිතව තිබුණත් එය කල් ගියා. මෙයට බලපෑ හේතුව කුමක්ද?

මම හිතන්නේ ව්‍යවස්ථා සංශෝධන ගැන දීර්ඝ කාලයක් වාද විවාද පැවැත්විය යුතු බවයි. දින සියයේ වැඩසටහනේ සියලුම අංග හැම දෙනාටම එක ලෙස එකඟ වූ ඒවා නොවීමට පුළුවනි. එය ගැඹුරින් සලකා බලා පුළුල් විවාදයකට ලක් කොට කළ යුතු කාර්යයක්. ව්‍යවස්ථා සංශෝධන මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි.


දින ගාණ අතර ඉලක්ක ව්‍යාජයිද?

මම එහෙම කියන්නේ නැහැ. ඒත් ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා. මම හිතන්නේ නැහැ මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නය කාලසටහනයි කියලා. ඒ අයට අවශ්‍ය දින 100 ඇතුළත මේ සියල්ල ඉටුවීම පමණයි. ඒ නිසා අප අධෛර්ය විය යුතු නැහැ. වැරැදි සිදු නොවීමට නිතරම අප කල්පනා කළ යුතුයි.

ද එහෙනම් ඇයි ඔබ කාලසටහනක් හැදුවේ? මහජනතාව ඒ ගැන විශ්වාසය තබා තිබෙනවා නේද?

කරන කාර්යභාරය කාල සටහනකින් පැහැදිලි කොට දක්වා තිබෙනවා. මහජනතාව සැලැසුමකට අනුව වැඩකිරීමට කැමැතියි. ඔබත් මගෙන් ඔය ප්‍රශ්නය අහන්නේ අප කාලසටහනක් ඉදිරිපත් කළ නිසානේ. ඒක හොඳ ක්‍රියා මාර්ගයක්. ඉතාම වැදගත් කාර්යය වන්නේ මාස තුනක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීමයි.


ඇත්තටම දැන් විධායක ජනාධිපති ක්‍රමයට මොකද වෙන්නේ?

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය හඳුන්වාදී ඇති ආකාරයේ තමයි වැරැද්ද තිබෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමයෙ ඇති එවැනි ප්‍රශ්න ගැන අප කතා කළ යුතුයි. ඒ ප්‍රශ්නනවලට අප විසඳුම් ද සොයාගත යුතුයි. ජනාධිපතිවරයාට තමා කැමැති පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි. කැබිනට් මණ්ඩලයේ සංයුතියද ඔහුට කැමැති පරිදි පත් කළ හැකියි. ඔහුට කැමැති සංශෝධනද කළ හැකියි. ජනාධිපතිවරයාට ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවන්ද පත් කළ හැකියි. මේ ලක්‍ෂණ අපි වහාම ඉවත් කළ යුතුයි. ඒත් එයින් අදහස් වන්නේ සමස්ත විධායක ජනාධිපති ධුරයම අහෝසි කළ යුතුයි යන්න නෙවෙයි.

එහෙත් ජවිපෙ වැනි පක්‍ෂ පවසනවා නේද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි කියලා?

පක්‍ෂවලට එසේ කිව හැකියි. මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කියල ඡන්දදායකයෝ ඉල්ලා සිටිනවා. සමහරු එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කියනවා. ඒත් අපට මැද මාවතයි අනුගමනය කළ හැක්කේ. ජනමත විමසුමකට යා යුතු මට්ටමේ සංශෝධනවලට නොයන බවට මෛත්‍රිපාල සිරිසේන මහතා තම වැඩපිළිවෙළේදී පොරොන්දු වුණා. විධායක ජනාධිපති ධුරයට අදාළව සංශෝධනයක් ඇති කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත්කර දමන්නේ නැහැ.


විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවතීවිද?

නරක ලක්‍ෂණ ඉවත්කොට එය දිගටම පවතීවි.
මේ ආණ්ඩුවේ ප්‍රධානම සටන් පාඨයක් වූයේ වැරැදි කළ අයට දඬුවම් පමුණුවනවා යන්නයි. ඒත් එය සිදුවන්නේ නැහැ යැයි මහජනතාව කල්පනා කරනවා නේද?

සති කිහිපයක් ඇතුළත නීතිය ක්‍රියාත්මක කළ නොහැකියි. දැන් තොරතුරු රැස්කරමින් පවතිනවා. ආණ්ඩුව යටතේ ස්වාධීන ආයතනයක් ස්ථාපිත කරමින් පවතිනවා. ඉදිරි සති කිහිපය ඇතුළත නඩු කිහිපයක්වත් ගොනු කිරීමට හැකි වෙතැයි මා විශ්වාස කරනවා.

 අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව 2014 ජනවාරි 01 වැනිදා ජවිපෙ පැමිණිල්ලක් ගොනු කළා. ඒ කොමිසම යටතේ යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට වේ යැයි ඔබ වහන්සේට විශ්වාස තැබිය හැකිද?

මම හිතන පරිදි අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයාව ඉවත් කළ නොහැකියි.
ඔහුව ඉවත් කිරීමේ කිසියම් ක්‍රමවේදයක් තිබෙනවාද?

ඇත්තෙන්ම එහෙම ක්‍රමයක් ගැන මා දන්නේ නැහැ.


 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය 30කට සීමා කරන බවට පොරොන්දු වුණා. ඒත් රාජ්‍ය ඇමැතිවරු එකොළහක් පත් කෙරුණා. මේ නව තනතුරු මොනවාද?

රාජ්‍ය ඇමැතිවරුන්ගේ වගකීම වන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු බලා ගැනීමයි. කොටින්ම ඒ ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. අපට තියෙන සීමාව රැකිය හැකියි. ඒත් වඩාත් වැදගත් කාර්යය වන්නේ ඉදිරියේ එන ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමස්ත පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමයි. මේ සඳහා අපට තුනෙන් දෙකේ බහුතරය අවශ්‍යයි. කැබිනට් මණ්ඩලය පත් කරන විට අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. හැම පාර්ශ්වයක් ගැනම අපට අවධානය යොමු කිරීමට සිදුවෙනවා. මාස 3ක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරවාගත යුතුයි. කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ව්‍යවස්ථාවේ සටහන් කිරීමට අවශ්‍යයි. අප විශ්වාස කරනවා එය ගණනින් 30 නොඉක්මවිය යුතු බව.

මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ 25ක් ප්‍රමාණවත් බවයි. මේ දේවල් සිදු කෙරෙන තුරු පවතින පාර්ලිමේන්තුව දිගටම ක්‍රියාත්මක කිරීමට අපට සිදුවෙනවා. මේ නිසා මේ අවස්ථාවේ අමාත්‍යධුර සංඛ්‍යාව වගේ ප්‍රශ්න වඩා බරපතළ ලෙස සැලකීම අවශ්‍ය නැහැ. මෙය ප්‍රධාන පක්ෂ දෙක එකමුතු වී ගොඩනැඟූ ජාතික ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයයි. ධුර බෙදා දීමේදී කිසියම් ආකාරයකට තනතුරු සංඛ්‍යාව වැඩිවීම විශාල ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. කිසිම කෙනකුට ව්‍යවස්ථා සංශෝධනයක් තනිවම සිදු කිරීමට නොහැකියි. ඒත් මේ සියල්ලට ගත වන්නේ මාස තුනක් පමණයි කියලා අප මහජනතාවට පැවැසිය යුතුයි.


මේ පත්වීම් මාස තුනක් සඳහා පමණයි කියලා ඔබට සහතික විය හැකිද?

සහතිකවම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩලය 30කට සීමා වෙනවා. මේ ප්‍රකාශයේ වගකීම මා භාර ගන්නවා. ව්‍යවස්ථාවේ ස්ථාපිත කෙරෙන මේ කරුණු කිසිම කෙනකුට උල්ලංඝනය කළ නොහැකි වනු ඇති. ඉදිරියේදී පත්වන ආණ්ඩු මේ ආකාරයෙන් ජාතික ආණ්ඩු නොවන්න පුළුවනි. මෙය අන්තර්වාර ආණ්ඩුවක්. ප්‍රධාන පාර්ශ්ව දෙකේ ගැටුම් අතරේ අපට ඉදිරියට යා නොහැකියි. කිසිම කෙනකුට ව්‍යවස්ථා සංශෝධනයක් තනිවම සිදුකළ නොහැකියි. අපට බහුතරයේ සහාය අත්‍යවශ්‍යයි.


ඒ සඳහා දූෂිත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම පාරාවළල්ලක් වේයැයි මහජනතාව සැක කරනවා?

එහෙම ගත්තොත් අපට දූෂිත මන්ත්‍රිවරු 25ක් 30ක් පමණ ඉවත් කිරීමට සිදුවෙනවා. එවිට ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන්නේ කවුද? මහජනතාව තේරුම් ගත යුතු කරුණ මෙයයි. දූෂිත පුද්ගලයන් හැම තැනකම ඉන්නවා. අපි ඒ අය ගැනත් පැමිණිලි කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් සියල්ලම බලාපොරොත්තු විය නොහැකියි.

අකාර්යක්ෂම නිලධාරීන්ට එරෙහිව අප විරෝධතා මතුකළ යුතුයි. ඒ සංස්කෘතිය ගොඩනැඟීමටයි අප උත්සාහ දැරිය යුත්තේ. අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස අප උද්ඝෝෂණ සහ බලපෑම් කළ යුතුයි. ජනමාධ්‍ය, සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාවට ඉදිරි මාස තුන ඇතුළත මේ කාර්යයට දායක වීමේ යුතුකමක් තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය අනුමත වූ පසු අමතර අමාත්‍යාංශ ඉවත් කරන බවට මට සහතිකයක් දිය හැකියි. එවිට මුළු රටටම දැනගත හැකියි රටේ පවතින අමාත්‍ය ධුර සංඛ්‍යාව කීයද කියලා. ගැටුමක් ආවොත් අපට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි. ඒත් ඒ සියල්ලට පෙර ව්‍යවස්ථා සංශෝධනය සිදුකර ගැනීමයි වැදගත් වන්නේ.

සමහර දූෂිත දේශපාලනඥයන්ට රටින් පලා යෑමට ඉඩ ලැබීමේ වරදෙන් කොටසක් ආණ්ඩුව දැරිය යුතු යැයි මහජනතාව කල්පනා කරනවා නේද?

ඒ අය දූෂණවලට වැරැදිකරුවන් බව නීතිය ඉදිරියේ ඔප්පු වුවහොත් අන්තර්ජාතික පොලිසිය හරහා මෙරටට ගෙන්වා ගැනීමට හැකියි.

ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයේදී තනිවම පක්ෂයක් ලෙස තරග කරනවාද?

අපට එජාපය හෝ ශ්‍රී ලනිපය සමඟ තරග කළ හැකියි. අපට ජවිපෙ සමඟ එක්වී තුන්වැනි බලවේගයක් ගොඩනැඟීමටද හැකියි. ඒත් අපි තවමත් ඒ ගැන සාකච්ඡා පවත්වා නැහැ.


ද සිලෝන් ටුඩේ පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් චම්පික රණවක පැවැසුවා සියලුම පක්ෂ තම දැඩි මත වෙනස් කොට පොදු අරමුණකට එක්විය යුතුයි කියලා. ජාතික හෙළ උරුමය සිංහල බෞද්ධ ජාතික මතවාදයෙන් වෙන් වීමට සූදානම්ද?
අප කවදාවත් සිංහල බෞද්ධකම පදනම් කරගෙන කතා කොට නැහැ.

ඒත් ජාතික හෙළ උරුමයේ අනන්‍යතාව එයයි නේද?

ඒක ඇත්ත.

ආණ්ඩුවේ ගමන ගැන ඔබ තෘප්තිමත්ද?

මේ ආණ්ඩුව සුදුසුම එක නෙවෙයි. ඒත් මේ මඟින් අපගේ ඉලක්ක කරා යා හැකියැයි අප විශ්වාස කරනවා.


මේ ආණ්ඩුව ගැන මහජනතාවට බලාපොරොත්තු තැබිය හැකිද?

මේ පරිවාස කාල සීමාව අතරතුරදී ව්‍යවස්ථා සංශෝධන, සහන සහ දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග ගනු ලබනවා. මේ ආණ්ඩුවෙන් මහජනතාවට බලාපොරොත්තු විය හැකි හොඳම දේ ලෙස මා දකින්නේ ව්‍යවස්ථා සංශෝධනයයි. ඉන්පසු මහජනතාවට අලුත් ආණ්ඩුවක් පත්කරගත හැකියි. දූෂිත දේශපාලනඥයන්ව ඉවත් කිරීමට මහජනතාවට පුළුවනි. ඒ වගේම ආණ්ඩුවක් ගැන අපට සුබ බලාපොරොත්තු තැබිය හැකියි.

මේ පරිවාස කාල සීමාවේදී ජාතික ප්‍රතිපත්ති ගොඩනැඟීමට අපට නොහැකියි. අලුත් ආණ්ඩුවක් යටතේ සියලු අංශවල ස්ථිර ජාතික ප්‍රතිපත්ති මාලාවක් ගොඩනඟාගත හැකියි.

මේ ආණ්ඩුවේ තිරයෙන් පිටුපස සිටින්නේ ඔබ වහන්සේද?

මම දන්නෑ මම තිරය පිටුපසද නැති නම් තිරය ඉදිරිපසද ඉන්නේ කියලා. ඒත් මං දන්නේ මෙච්චරයි, මං ක්‍රියාත්මකයි.

(Ceylon Today පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවකි.)

සංවාදය - නිරංජලා ආරියවංශ / පරිවර්තනය - බුද්ධි කරුණාරත්න

Page 4 of 9

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us