දැන් වමේ පත්තර කලාව කියල දෙයක් නෑ - ගුණසිරි සිල්වා

Monday, 27 July 2015 12:47

ගුණසිරි සිල්වා යනු මෙරට සිටින ප‍්‍රවීණ මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් හා චිත‍්‍රපට විචාරකයෙකි. කලක් ‘සියරට’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා හැටියට කටයුතු කළ ඔහු ඒ සමයේ පුවත්පතට ලියූ කතුවැකි රැසක් කෘතියක් ලෙස එළි දැක්වීමට කටයුතු සූදානම් කරමින් සිටී.
'අවිචාර සමය - රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග' ලෙස නම් කර තිබෙන මේ කෘතිය මේ මස 29 වන බදාදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඞීමට නියමිතය. පහත දැක්වෙන්නේ අප ඒ පිළිබඳ ගුණසිරි සිල්වා සමඟ කළ සාකච්ජාවයි.

මොකක්ද මේ ඔබ කියන ‘අවිචාර සමය’ සහ චෞර රාජ්‍යය?

මම මේ කතා කරන්නේ මහින්ද රාජපක්ෂ බලයට පත්වුණාට පස්සේ මේ රටේ මාධ්‍ය මර්දනය කළ විදිය, යුද්ධය විකුණන් කාපු විදිය, දූෂණය පෝෂණය කළ විදිය, මැරවරයන් රැක ගත්ත විදිය ගැන. මම 2007 - 2009 කාල සීමාව තුළ සියරට පුවත්පතේ කර්තෘ හැටියට කටයුතු කළා. ඒ කටයුතු කරමින් සිටියදී මහින්ද රාජපක්ෂගේ ඒකාධිපතිත්වයට එරෙහිව මා එම පුවත්පතට ලියු කතුවැකිවල එකතුවක් තමයි මේ කෘතියක් ලෙස එළිදක්වන්නේ.

වාමාංශික කඳවුර නියෝජනය කළ, ඇත්ත පුවත්පතේ ලියපු ගුණසිරි සිල්වා එක්සත් ජාතික පක්ෂයේ නිල ප‍්‍රකාශනය වුණු සියරට දක්වා පසු බහින්නේ ඇයි?

ඒක බොහොම වැදගත් ප‍්‍රශ්නයක්. මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුමයි. අපි කාලයක් තිස්සේ දැක්කා මේ රටේ ශ‍්‍රී ලංකා - යූඑන්පී ගැටුමක් තිබෙනවා. යූඑන්පී එක හැඳින්වූයේ අධිරාජ්‍යවාදී පක්ෂයක් හැටියට. ශ‍්‍රී.ල.නි.ප.ය නියෝජනය කළේ දේශීය ධනේශ්වර පංතිය. ඔය අතරේ 1977දී යූඑන්පීය මේ රටේ බලයට ඇවිත් රට ඇතුළේ විශාල වෙනස්කම් ප‍්‍රමාණයක් කළා. ඒ අවුරුදු 17ක පාලන කාලය තුළ අපි දිගින් දිගටම යූඑන්පී එකේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධව සටන් කළා. ඒ වෙනුවෙන් විශාල අරගලයක් කළා. සරච්චන්ද්‍ර මහත්මයා ‘ධර්මිෂ්ඨ සමාජය’ පොත ලියලා පහර කෑමට ලක් වෙන්නෙත් ඔය අවධියේදී. කොහොම හරි අපි එහෙම අරගල කරලා තමයි 1994දී චන්ද්‍රිකා කුමාරණතුංග බලයට අරගෙන එන්නේ.

චන්ද්‍රිකා එන්නේ ගෞරවණීය සාමයක් ඇති කරනවා, විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබාදෙනවා, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා ආදී පොරොන්දු දීගෙන. ඇගේ ඒ පොරොන්දු ගැන වාමාංශික පක්ෂ ඔක්කොම වගේ විශ්වාසය තිබ්බා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව උඩ ජනතා විමුක්ති පෙරමුණ පවා තමන්ගේ අපේක්ෂකයාගේ නම ඉවත් කර ගත්තා. නමුත් එතුමියට ඒක කරන්න බැරි වුණා. කරන්න බැරි වුණාද කළේ නැද්ද කියලා පැහැදිලි නෑ. කොහොම හරි ඔය චන්ද්‍රිකාගේ කාලෙදී ශ‍්‍රී ලංකා එකෙයි යූඑන්පී එකෙයි වෙනසක් නැතුව ගියා. ශ‍්‍රී ලංකා එක තවදුරටත් ධනපති පක්ෂයක් වුණා.

චන්ද්‍රිකා කුමාරණතුංගගෙන් පස්සේ 2005දී මහින්ද රාජපක්ෂ බලයට ආවා. ඔහුගේ වැඩ ගැන දීර්ඝ වශයෙන් කියන්න ඕනේ නෑ. පසුගිය ජනාධිපතිවරණ ක‍්‍රියාවලිය ඇතුළේ ඒවා හොඳටම කියැවුණා. මේ වෙද්දි සෝවියට් දේශය බිඳ වැටිලා, ගෝලීකරණය හමුවේ සමාජවාදය කරා යා හැකි මාර්ග පටු වෙලයි තිබුණේ. එතැනදී අපි තීරණය කරනවා අවම වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ආරක්ෂා කරගත හැකි ස්ථාවරයකට යා යුතුයි කියලා. විශේෂයෙන්ම 2005න් පස්සේ මූලිකම කාරණාව වුණේ ඒකයි.

ඒ වනවිට යූඑන්පීය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ වෙනස්කම්වලට භාජනය වෙලයි තිබුණේ. අපිට ඕන වුණේ නූතන දැක්මක් ඇති නායකයෙක්. එහෙම නැතුව මහින්ද රාජපක්ෂගේ ඒකාධිපතිත්වය ආරක්ෂා කරන කොමියුනිස්ට් - සමසමාජ වාමාංශික පෙරමුණක් නෙවෙයි.

එදා සහ අදත් වම ඉන්නේ කොතැනද බලන්න. ඔය කාරණා අතරේ තමයි ප‍්‍රගීත් එක්නැළිගොඩ මට කතා කරන්නේ සියරට පත්තරේට. ඒ පත්තරේට මුලින්ම සම්බන්ධ වෙන්නේ ප‍්‍රගීත්, මම සහ ජෝ සෙනෙවිරත්න. මුලදී කොමියුනිස්ට්කාරයෝ යූඑන්පීයේ පත්තරයක් කරනවා කියලා, එක්සත් ජාතික පාක්ෂිකයෝ අපිට හිනාවුණා. නමුත් අපි අපේ වගකීම හරියට ඉටු කළා. අපි ජාතිවාදයට එරෙහිව විශාල මතවාදී අරගලයක් ගෙන ගියා. එතැනදී අපිට යූඑන්පී එක ඇතුළෙන්ම ප‍්‍රශ්න ආවා. එක වතාවක් ඊ.ඩබ්. අදිකාරම් මහත්මයාගේ ලිපියක් පළ කළා. ‘ජාතිවාදියා යනු මානසික රෝගියෙකි’ කියලා. මේකට පක්ෂයේ ඇතුළෙන්ම විශාල විරෝධයක් ආවා. සමහරු බය වුණා. යුද්ධය ඉස්මත්තට පැමිණිලා තිබුණු ඒ අවධියේදී ජනතා විඥානයට පිටින් ජාතිවාදයට එරෙහිව ගෙන ගිය අරගලය ඔවුන් දුටුවේ ජාතිකත්වයට පහරදීමක් ලෙසයි. එතැනදී ඇති වුණ ගැටුම්වල ප‍්‍රතිඵලයක් හැටියට තමයි ප‍්‍රගීත් එක්නැළිගොඩ සියරට පත්තරේ ප‍්‍රධාන කර්තෘ තනතුරෙන් ඉවත් වෙන්නේ.

ඔහුගේ ඉවත් වීමෙන් පසුව තමයි මාව ප‍්‍රධාන කර්තෘ හැටියට තෝරාගන්නේ. මම වැඩ කරද්දී කවදාවත් රනිල් වික‍්‍රමසිංහ මට කතා කරලා කියලා නැහැ අරක දාන්න එපා, මේක දාන්න කියලා. එහෙම ඇඟිලි ගැහුවේ නැහැ. අපි කටයුතු කළේ ස්වාධීනත්වය සහ පෞරුෂයක් තියාගෙන.

දක්ෂිණාංශික ධනපති ආයෝජනයක් යටතේ වාමාංශික පත්තරකාරයෙක් විදිහට වැඩ කරන්න ගියාම මොනවද මුහුණ දෙන්න සිදුවෙන අභියෝග?

වමේ පත්තර කලාව කියලා එකක් දැන් නැහැ. ඒක මිථ්‍යාවක්. දැන් කොතැනකවත් පාරිශුද්ධ හිමිකරුවෝ නැහැ. ඒක මම කියන්න අවශ්‍ය නැහැ, හැමෝම දන්නවා. ඒ හිමිකරුවන්ගේ වුවමනාවට තමයි අද බොහෝ දේවල් සිද්ධ වෙන්නේ. ඔවුන්ගේ වුවමනාවටයි පුවත්පත දුවන්නේ.

පසුගිය කාලය පුරා ශ‍්‍රී ලංකාව ගොනු වුණේ රාජපක්ෂ විරෝධය වටා. ඔබත් පාවිච්චි කළේ ඒ ජනප‍්‍රිය සටන් පාඨයද? ඒක පොතකට ගන්න තරම් තියෙන වැදගත්කම මොකක්ද?

මම මේක ඇතුළේ කිසිම කෙනකුට මඩ ප‍්‍රහාරයක් දියත් කරලා නැහැ. ඒ වගේම මේවා මොකුත් මම අතින් දාලා ලියපුවා නෙවෙයි. මේ සියල්ලම සත්‍ය සිදුවීම්. මම හිතන්නේ ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ රාජපක්ෂ යුගයේ සිදුවූ අකටයුතුකම් ගැන. එතැනදි මම මාධ්‍යවේදියෙක් විදිහට මගේ වගකීම ඉෂ්ට කළා. දැන් ඒ මහින්ද රාජපක්ෂ නැවත වතාවක් ආපහු හිස ඔසවන්න සූදානම් වන බව අපිට පේනවා. ඔහු සහ ඔහු වටා ඉන්න කල්ලියක් තමයි මේක ක‍්‍රියාත්මක කරන්නේ. ඔහු නැවත හිස එසවුවහොත් රට ආපහු යන්නේ පරණ තැනටමයි. කවුද කැමැති එහෙම දෙයක් වෙනවාට? අපි මේ බොහොම මහන්සියෙන් ලබාගත් ජයග‍්‍රහණය පාවා දිය යුතුද? මීට මාස කිහිපයකට කලින් මේ කතුවැකි නැවත කියවද්දී මට හිතුණා ඒවා පොතකට ගොනු කළ යුතුයි කියලා. මං විශ්වාස කරනවා මේ ඒකට හොඳම වෙලාව කියලා.

එතකොට දැන් තිබෙන්නේ සහ අනාගතයේදී හැදෙන්නේ මොන වගේ සමයක් සහ රාජ්‍යයක්ද?

අපි විශ්වාස කරනවා රනිල් වික‍්‍රමසිංහ මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ගෙනියනවා කියලා සහ ගෙනියයි කියලා. ඔහු නිතරම විශ්වාස කළේ හා කතා කළේ ජාතික ආණ්ඩුවක් පිළිබඳ මතයේ ඉඳගෙන. අනෙක් කාරණය අපිට කිසිම කෙනෙක් සීයට සීයක් විශ්වාස කරන්න බැහැ. විශේෂයෙන්ම දේශපාලනය කරනකොට. නමුත් මහින්ද රාජපක්ෂ බලයේ ඉන්නවාට වඩා මේ යන ක‍්‍රමය හොඳයි.

මට අවසාන වශයෙන් කියන්න ඔබ වාමාංශිකයෙක් හැටියට විශ්වාස කරනවාද පුද්ගල චරිතයකට එළවා එළවා පහර දීමෙන් පමණක් මේ තියෙන ප‍්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි කියලා?

මම මෙතැනදී කිසිම පුද්ගලික පහර දීමක් සිදු කරලා නැහැ. මම ගැහුවේ සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයටම. එදා හැමදෙයක්ම තිබුණේ ඔහු අතේ. නීතිය, පොලීසිය, අධිකරණය, මාධ්‍ය, රාජ්‍ය සේවය මේ හැම දෙයක්ම පාලනය කළේ ඔහු. ඒ කාලයේ තිබුණේ ශ‍්‍රී ලංකා රජයක් නෙවෙයි රාජපක්ෂ රාජ්‍යයක්. ඒ නිසා හුදෙක් පුද්ගලයා පමණක් විවේචනය කළා නෙවෙයි. ඔහු වටේ එකතු වුණ සියලූ බලයයි විවේචනය කළේ. මේ කෘතියේම ‘චෞර රාජ්‍යයේ අන්දරේලා’ යන නමින් තීරු ලිපි එකතුවක් පළ වෙනවා. ඒ ලිපිවල අන්තර්ගත වෙනවා රාජපක්ෂ වටේ හිටපු අන්දරේලා ගැන. අපි මේ ප‍්‍රහාරය එල්ල කළේ ඒ සමස්තයම ඉලක්ක කරගෙන.

කතා බහ : කසුන් සමරතුංග
ජායා : අජිත් සෙනවිරත්න

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us