මහින්ද යළි තරග කිරීම ආයතනයක ප්‍රධානියෙක්‌ අනියම් සේවකයකු ලෙස සේවයට බැඳීමට සමානයි- දිගම්බරම්

Sunday, 05 July 2015 09:13

මහ මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ දිනෙන් දින උණුසුම් වන රටේ දේශපාලන තත්ත්වය සහ ඡන්දයට ඇති සූදානම පිළිබඳව වතුකරය නියෝජනය කරන දේශපාලනඥයකු වන කම්කරු ජාතික පෙරමුණේ නායක හිටපු වතු යටිතල පහසුකම් ඇමැති පලනි දිගම්බරම් මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - මහ මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ දේශපාලන ක්‌ෂේත්‍රය දැඩි උණුසුම් වෙමින් තිබෙනවා. මේ ඡන්දයේදී ඔබේ පක්‍ෂයේ භූමිකාව කුමක්‌ද?

පිළිතුර - අගෝස්‌තු මාසයේදී පවත්වන මහ මැතිවරණයට දේශපාලන පක්‍ෂ තුනක්‌ ඒකාබද්ධව පුළුල් සන්ධානයක්‌ ලෙස අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය - මොකක්‌ද ඔය සන්ධානය.

පිළිතුර - දෙමළ ප්‍රගතිශීලී සන්ධානය. මෙම සන්ධානය ගොඩනැඟීම සඳහා අපි දිගුකලක සිට කැප වුණා, කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, ප්‍රගතිශීලී පෙරමුණ යන පක්‍ෂ මේ සඳහා එක්‌වී සිටිනවා.

ප්‍රශ්නය - ඔය ප්‍රගතිශීලී පෙරමුණ එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ ඒකාබද්ධව ඡන්දයට ඉදිරිපත් වන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙම තීරණයක්‌ ගෙන තිබෙනවාද?

පිළිතුර - ප්‍රධාන පක්‍ෂවලින් අපට ඉල්ලීම් ලැබිලා තිබෙනවා. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂය හෝ වෙනත් පක්‍ෂයක්‌ සමඟ එක්‌ව තරගයට එනවද කියා තවම තීරණය කර නැහැ. ඒ තීරණය අද හෙටම ගන්නවා.

ප්‍රශ්නය - දැනට පවත්වා ඇති සාකච්ඡාවලින් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී තිබෙන්නේ කුමන පක්‍ෂයෙන්ද?

පිළිතුර - මෙතෙක්‌ පැවැත්වූ සාකච්ඡාවලින් අපේ ඉල්ලීම්වලට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉහළ ප්‍රතිචාරයක්‌ තිබෙන බව සිහිපත් කළ යුතුයි.

ප්‍රශ්නය - මොනවද ඔය ඉල්ලීම්.

පිළිතුර - රට බෙදන ඉල්ලීම් හෝ ජාතිවාදය වපුරවන ඉල්ලීම් අපිට නැහැ. දෙමළ ජනතාවට හා රටට සේවාවක්‌ කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ඉටුකිරීමට හැකි පක්‍ෂයක්‌ සමඟ අපි එකතු වෙනවා.

මොන පක්‍ෂයෙන් ඡන්දයට ආවත් අපේ ප්‍රගතිශීලී සන්ධානයට දිස්‌ත්‍රික්‌ක කිහිපයක ලැබිය යුතු ආසන ප්‍රමාණයන් තියෙනවා. එය ලබාදෙනවා නම් අපි ඔවුන් සමඟ සන්ධාන ගත වෙනවා.

ප්‍රශ්නය - මොනවද ඔය ආසන.

පිළිතුර - අපි එකතු වන ප්‍රධාන පක්‍ෂය හෝ සන්ධානය මැතිවරණයට අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේදී අපේ සන්ධානයට යම් ආසන ප්‍රමාණයක්‌ ලබාදිය යුතුයි.

අපි ඉල්ලන්නේ කොළඹට අපේ සන්ධානයෙන් අපේක්‍ෂකයන් 02 ක්‌ නුවරඑළියට 3 ක්‌. මහනුවරට 1 ක්‌, රත්නපුරට 1 ක්‌, කෑගල්ලට 1, බදුල්ලට 1 ක්‌ ආදී වශයෙන් අපේක්‍ෂකයෝ ලැබිය යුතුයි.

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මේ මැතිවරණයට වෙනම තරග කරනවා. මේ ගැන ඔබ මොනවද හිතන්නේ. ඔහු සමඟ සන්ධාන ගතවීමේ සූදානමක්‌ නැද්ද?

පිළිතුර - මහින්ද රාජපක්‍ෂ සමඟ කිසිම සන්ධානගතවීමක්‌ හෝ සාකච්ඡාවක්‌ නැහැ.

ප්‍රශ්නය - ඇයි දැන් එහෙම කියන්නේ ඔහු ඔබට නියෝජ්‍ය ඇමැතිකමකුත් දුන්නා නේද?

පිළිතුර - මහින්ද රජපක්‍ෂ මේ රටේ හිටපු ජනාධිපතිවරයා. ඔහු බලයට තියෙන කෑදරකම නිසා දැන් නැවතත් ඡන්දයට ඇවිත් තිබෙනවා. මේක හරියට කිසියම් ආයතනයක හෝ සමාගමක සභාපති කෙනෙක්‌ වී සිට ඔහු විශ්‍රාම ගොස්‌ නැවත එම ආයතනයට අනියම් කම්කරුවකු ලෙස බැඳෙනවා වගේ වැඩක්‌. මේ වැඩේ හරිම ලැඡ්ජයි.

අවුරුදු දහයකට වැඩි කාලයක්‌ බලයේ ඉඳලා මේ එන්නේ මොකටද? රටට සේවය කරන්නද? නැහැ තමාගේ සහ තම ගෝල බාලයන්ගේ පටු අරමුණු ඉටුකර ගන්නයි. මේ අයට ජනතාවගේ කැමැත්ත ලැබෙන්නේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ වටේ සිටින්නේ කවුද කියලා ජනතාව අවබෝධ කරගත යුතුයි. මේ දූෂිතයන්, හොරුන් නැවත බලයට පත්කර ගන්නවාද කියා ජනතාව ජාති, ආගම්, කුල බේදයෙන් තොරව කල්පනා කළ යුතුයි. එහෙම නොකර පෙනුමට හා ඔවුන්ගේ බොරුවලට මුලා වෙනවා නම් රටේ අනාගතය නැවතත් විනාශයට පත්වෙනවා. මේ රට නැවත ගොඩගත නොහැකි පරිහානියට තල්ලු වෙනවා. අපේ දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා. ඒ නිසා මේ ඡන්දයේ දී ජනතාව බුද්ධිමත්ව සිතා කතිරය පාවිච්චි කළ යුතුයි.

ප්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජයේ හොරු දූෂිතයන් සිටි බවට ඔබ චෝදනා කරනවා. නමුත් ඔබ ඇමැතිකමක්‌ දැරුව පසුගිය රජයේ. එජාප රජය ඔවුන් නීතියේ රැහැනට නොගෙනාවේ ඇයි?

පිළිතුර - එහෙම කඩේට ගිහින් බඩු ටිකක්‌ ගන්නවා වගේ හොරු අල්ලන්න බැහැ. රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන යන නායකයන් බුද්ධිමත්ව ක්‍රියාකරන අය. ඔවුන් කිසිදාක කැලෑ නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. රටේ පවතින නීතියට ගරු කරමින් ඒ නීතියට අනුව අපේ ආණ්‌ඩුව ක්‍රියාකළා.

අපේ ආණ්‌ඩුව බලයේ සිටියේ ඉතාම කෙටි කාලයක්‌. මේ කාලය තුළ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට අවුරුදු දහයක්‌ කිරීමට නොහැකි වූ විශාල වැඩකොටසක්‌ අපි කළා. හොරු, දූෂිතයන්, අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වාතාවරණය අපි රට තුළ නිර්මාණය කළා.

හොරෙක්‌ අල්ලන්න ඒ පිළිබඳව විධිමත් සාක්‍ෂි අවශ්‍යයි. පසුගිය කාලයේ අපි ඒවා සියල්ල ගොනු කරමින් ජාතික හා ජාත්‍යන්තරව පුළුල් වැඩපිළිවෙළක්‌ දියත් කළා. යථා කාලයේදී රටේ මහජනතාවගේ දේපොළ මංකොල්ලකෑම්, අපරාධ සිදුකළ දූෂිතයන් සියලු දෙනා නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වේ යෑයි මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලනයට හවුල් වූ ඔබ අද එය හෑල්ලු කර කතා කරනවා. ඒ රජය යටතේ වතුකරයට හා සමස්‌sත දෙමළ ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක්‌ සිදුකර තිබෙනවා නේද?

පිළිතුර - නැහැ. මහින්ද රාජපක්‍ෂ හෝ ඔහුගේ රජයෙන් වතුකරයට කිසිම සෙතක්‌ සැලසී නැහැ. දෙමළ ජනතාවට කිසිදු සහනයක්‌ ලබා දුන්නේ නැහැ. ඔවුන් හැම විටම ජාතිවාදය අවුස්‌සමින් අහිsංසක ජනතාවට පොරොන්දු ලබාදෙමින් ජනතාවගේ ඡන්දය මංකොල්ල කෑවා. අද උත්සාහ කරන්නෙත් ඒ අහිංසක අසරණ ජනතාව මුලා කිරීමටයි. මෙවර අපි ඊට ඉඩ තියන්නේ නැහැ.

මේ පුංචි රට සියලු ජනවර්ග ජීවත්වන උතුම් රටක්‌. මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ මේ උතුම් රට විනාශය කරා ගෙන ගියා. ජාතීන් අතර අසමගිය ගොඩනැඟුවා. ඔවුන්ට වෛර කළා අනෙක්‌ පැත්තෙන් දේශීයත්වය ගැන කතා කරමින් රට විදේශ රටවලට උකස්‌ කළා. අපරාධකරුවන්ගේ පාරාදීසයක්‌ බවට පත්කළා. අපි නැවත ඒ අමිහිරි අතීතයට යායුතු නැහැ.

අද මහින්ද වටේ සිටින අය පසුගිය ජනාධිපතිවරණයෙන් ලැබුණ ඡන්ද පනස්‌ අට ලක්‍ෂය ගැන කතා කරනවා. ඒ ඡන්ද ප්‍රමාණය ඔවුන් ගත්තේ ඡන්ද මංකොල්ලයකින්. රාජ්‍ය දේපළ, රාජ්‍ය සේවය, හමුදා බලය, රජයේ මුදල්, රජයේ වාහන ආදිය යොදවලයි. මේ වතාවේ ඒ සෙල්ලම් දාන්න බැහැ. ඒ ඡන්දවලින් පහෙන් එකක්‌වත් මෙවර ලැබෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබ මොනව කීවත් ත්‍රස්‌තවාදය අවසන් කර රටට සාමය ඇතිකළේ මහින්ද නේද?

පිළිතුර - සාමය ඇතිකළේ මහින්ද පමණක්‌ නොවෙයි. රනිල් වික්‍රමසිංහ, සරත් ෙµdන්සේකා, රටේ සාමය ඇතිකිරීමට දිගු කලක සිට කටයුතු කළා. ඒ වගේම මේ රටේ ජනතාව විවිධ කැපවීම් කළා. මේක මහින්දගෙ පමණක්‌ ජයග්‍රහණයක්‌ කියා කවුරුහරි කියනවා නම් එය වැරදියි.

සාමය ඇතිවුණත් එහි ඵල නෙළා ගන්න අපිට හැකි වුණේ නැහැ. එහෙම වුණේ හොඳ දේශපාලන නායකත්වයක්‌ නොලැබුණ නිසයි. ඔබ කියනවා ත්‍රස්‌තවාදය නැති කළා කියලා. මම අහනවා ත්‍රස්‌තවාදය හා බෙදුම්වාදය රටේ යළි හිස එසවීම වැළැක්‌වීමට මහින්ද ගත් පියවර කුමක්‌ද කියා.

යුද්ධයෙන් බැට කෑව උතුරේ ජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම සඳහා කිසිම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළේ නැහැ. ඒ ජනතාවගේ අනාගතය ගොඩනැඟීමට ක්‍රියාකළේ නැහැ. ඔවුන්ට කිසිම පැත්තකින්වත් සහනයක්‌ ලබාදීමට ක්‍රියාකළේ නැහැ. ඒ වගේම වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නවලටද විසඳුම් ලැබුණේ නැහැ.

ප්‍රශ්නය - ජාතික රජයක්‌ නැවත ගොඩනැඟෙනු ඇතැයි ඔබ හිතනවාද?

පිළිතුර - ඔව්... මේ මැතිවරණයෙන් පසු නියත වශයෙන්ම ජාතික රජයක්‌ බිහිවෙනවා.

ප්‍රශ්නය - කොහොමද එහෙම වෙන්නේ. කවුද ඒ ජාතික රජයට එකතු වෙන්නේ.

පිළිතුර - මේ රටේ සිටින දේශපාලඥයන් අතර පිරිසිදු නායකයෙක්‌ අද ජනාධිපතිකම දරනවා. අනෙක්‌ පිරිසිදු නායකයා අගමැතිකම හොබවනවා. මේ දෙදෙනා එකට එකතුවන බව අපට විශ්වාසයි. එහෙම වුණොත් සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකියි. සාමකාමී දියුණු රටක්‌ බවට මේ පුංචි ලංකාව පත්කර ගත හැකියි. අද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ දේශපාලනඥයන් ඇනකොටා ගැනීමේ ක්‍රම හෝ ක්‍රමවේදයක්‌ නොවෙයි. දේශපාලනඥයන් එකතු වී රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන ක්‍රමවේදයක්‌ පමණයි.

ප්‍රශ්නය - ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සුළු පක්‍ෂ විසින් කඩාකප්පල් කළ බවට බරපතළ චෝදනාවක්‌ එල්ල වෙනවා. ඇත්තෙන්ම ඊට ඔබලා විරුද්ධ වුණේ ඇයි?

පිළිතුර - අපි පමණක්‌ නොවෙයි විපක්‍ෂයේ අයත් ඊට විරුද්ධ වුණා. දිනේෂ් ගුණවර්ධන පවා විරුද්ධ වුණා. මේ ක්‍රමය සංශෝධනය වී රටට උචිත එකක්‌ බවට එය පත්කරගත යුතුයි. ඒ වැඩේ දින කීපයකින් කරන්න බැහැ. එක පක්‍ෂයක වුවමනාවට එය කරන්න බෑ. සියලු අය සාකච්ඡා කර හැමෝටම එකඟ විය හැකි පොදු තැනකට පැමිණ 20 වැනි සංශෝධනය සම්මත කරගත යුතුයි.

ප්‍රශ්නය - ඔව් ඔබ මොනව කිව්වත් වතුකරයේ බලවතා ලෙස සැලකෙන්නේ තොණ්‌ඩමන්. ඔහුට තනිව මුහුණ දෙන්න බැරි නිසා නේද ඔබ අනෙක්‌ පක්‍ෂ සමඟ සන්ධාන ගතවුණේ.

පිළිතුර - නැහැ. තොණ්‌ඩමන් සමඟ මම අවුරුදු ගණනක්‌ µයිට්‌ කළා. මට ඔහු අභියෝගයක්‌ නොවෙයි. අනෙක ඔහුගේ දේශපාලනයයි මගේ දේශපාලනයයි වෙනස්‌. මම කිසිදාක පහත් තත්ත්වයට වැටිලා දේශපාලනය කරන්නේ නැහැ. එනිසා අදටත් මට වතුකරයේ ජනතාව ආදරෙයි.

පසුගිය මැතිවරණයේදීත් තොණ්‌ඩමන්ලා හිටපු ජනාධිපතිවරයා සමඟ සන්ධානය යටතේ තරග කළත් ඔවුන්ට වැඩිය අපි නුවරඑළියේ ප්‍රබල වුණා. වතුකරයේ ජනතාව අපි කියන දේ විශ්වාස කරනවා. අදත් එහෙමයි. එළඹෙන මැතිවරණයේදීත් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය අපි විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබනවා. ඒ ගැන කිසිම සැකයක්‌ අපිට නැහැ.


පියසේන දිසානායක
දිවයින

 

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us