දැන් තියන්නේ මනාප ගන්න හදන සිනමාවක්- ධර්මරසේන පතිරාජ

Thursday, 31 July 2014 11:28

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මරසේන පතිරාජයන් දිගු නිහැඬියාවකට පසු නැවතත් සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස සක්‍රීය වී ඇත. සිනමාවේ දැඩි අර්බුදකාරී පසුබිමක ඔවුන් මුහුණ දෙන අපහසුතාවයන් සමස්ත කලාවේ පරිහානිය සහ කලාකරුවාගේ භූමිකාව පිළිබඳ පතිරා‍ජයන් දැක්වූ අදහස් කිහිපයක් මෙසේය.

පතිරාජලා සිනමාවේ ලොකු ඉන්ටවල් එකක් අරගෙන ආපහු එනකොට වැඩ බැරි ටාසන්ලා සිනමාව මස්තබාල්දු කරමින් ඉන්නේ.......

නවසිය හැත්තෑ ගණන්වල ප්‍රධාන ප්‍රවාහයට අභියෝග කරන විකල්ප සිනමාවක් තිබුණා. ඒකට දායක වුණේ සිනමාව ගැන හොඳ අවබෝධයක් තිබුණු අය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රමුඛ සිනමාව ගැන ගැඹුරින් හිතපු අය. මූලිකව ඒක සිද්ධ වුණත් ඒක මූමන්ට් එකක් විදියට සලකුණු වෙන්නේ හැත්තෑව දශකයේ. හැත්තෑව - අසූව දශකය තුළ සිනමා කෘති හරහාම උසස් සිනමාවකට අවශ්‍ය ප්‍රේක්ෂක පිරිසක් හදා ගන්න පුළුවන් වුණා. ප්‍රධාන ප්‍රවාහයෙන් කැඩිච්ච, වට්ටෝරු සිනමාවෙන් ඈත් වෙච්ච යථාර්ථවාදී සිනමා කෘති ඒ පීරියඩ් එකේ හැදුණා. දැන් වෙනකොට ඒ සම්ප්‍රදාය මුළුමනින්ම කඩාගෙන වැටිලා. අද සිනමාවේ පොදු බවක් පේන්න නෑ. තනි පුද්ගල ප්‍රයත්නයක් විතරක් පේනවා. ප්‍රසන්න විතානගේ, අ‍ශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි ඇතුළු පිරිස ප්‍රමුඛ කරගෙන මේ තත්වය දකින්න පුළුවන්. 2003 දී ''මතුයම් දවසෙන්" පස්සේ මගේ අතින් චිත්‍රපටයක් කෙරුණේ නෑ. ඒකට විවිධ හේතු බලපෑවා. හැත්තෑව කාලේ වගේ අනුග්‍රාහකත්වය ලැබීමේ අඩුවක් තියෙනවා. එදා කලාත්මක සිනමාවට තිබුණු වටපිටාව ශීඝ්‍රයෙන් පිරිහෙන්න පටන් ගත්තා. අපි ''උණට" සිනමාව කරපු අය. හොඳ වටපිටාවක් තියෙනකොට අපේ උනන්දුවත් වැඩියි. ප්‍රධාන වශයෙන් රාජ්‍ය මැදිහත්වීම ශීඝ්‍රයෙන් ප්‍රචාරණවාදී දේශපාලනීකරණය වෙච්ච, රාජ්‍ය බලයට අවනත වෙච්ච ස්වරෑපයක් ගත්තා. මේ වේගවත් පරිහානිය ඇතුළෙ තමයි අපට දැන් සටන් කරන්න වෙලා ‍තියෙන්නේ.

චිත්‍රපටි නොළත් සිනමාව එක්ක මම සමාන්තර ගමනක් ආවා. මේ පසුගිය කාලය ඇතුළෙ. නමුත් චිත්‍රපටියක් දෙකක් අධ්‍යක්ෂණය කරගෙන එනකොට ඔබ කියපු අන්දමට තත්වය නරකම විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අද සිද්ධ වෙන්නේ අමුතුම දෙයක්. මේක මම ප්‍රවණතාවක් කියලා හඳුන්වන්න කැමතිත් නෑ. මොකද ප්‍රවණතාවක් කියන්නේ, ඉදිරියට යන සමුප්‍රදායක් නේ. මේක නිකම්ම රාජ්‍ය නිල මතවාදයට මුක්කු ‍ගහන රැල්ලක්. මේක සිනමාව කියලා කියන්නත් අමාරුයි. අද රටේ සිද්ධ වෙන්නේ රාජ්‍ය බලය පවත්වාගෙන යාමට සිංහල ‍බෞද්ධ මතවාද තුළ ජනතාව බලෙන් හිරකර ගැනීමක්. සිමාවත් අද ඒකේ ප්‍රබලම ගොදුරක් බවට පත්වෙලා.

 

කලාත්මක සිනමාව ගැන යම්තම් හෝ දන්න අයත් මේ රජකතා මේනියාව හෝ බෞද්ධ කතා මේනියාව වැළඳගෙන ඉන්නේ ඇයි?


ඒකට හේතුව පෞද්ගලික ලාභ ප්‍රයෝජනය. මේ රැල්ල ඉතාම අවර ගණයේ බොර දියේ මාළු බෑමක්. මේකෙන් සිනමාවට හෝ සිනමා ප්‍රෙක්ෂකයාට කිසිදු යහපතක් නෑ. සිංහල, බෞද්ධ මතවාද කරපින්නාගත් උන්මාදයක් මේක.

උන්මාදකාරයන්ට හොඳ කලා කෘතියක් කරන්න බෑ. දැන් මේ රටේ සිද්ධ වෙන දේවල් පේනවනේ. මගේ ගුරුවරයෙක් මේ උදේ කිව්වා ලස්සන කතාවක්. එයා කියනවා ''දේශපාලන නායකයන් මල් වට්ටි අරගෙන නිතරම පන්සල් හොය හොයා යද්දී හැමුදුරුවරු දේශපාලනය කරන්න පටන් අරගන්නවා." කියලා.

ඇත්තටම මේක තමයි අද සිද්ධ වෙන්නේ. මේ ප්‍රකාශයෙන් පේන්නේ අද සිද්ධ වෙන සමාජ විපරීතය. සිංහල බෞද්ධ උන්මාදය අවුස්සන රාජ්‍ය ක්‍රමවේදයට මුක්කු ගහන්න ඒ ආකාරයේම චිත්‍රපටි හදන කණ්ඩායමක් දැන් බිහිවෙලා ඉන්නවා. මේකෙන් රසිකයාගේ බුද්ධියට අංශුමාත්‍රයක වැඩක් නෑ.

හැබැයි මේ අය මතයක් හදලා තියෙනවා, ජනතාව නැවත සිනමාහල් කරා ගේන්නෙ මේ රැල්ලෙන් නිසා මේක තමයි කර්මාන්තයේ පැවැත්ම කියලා. මේ අය හදපු දුර්මතයක් මේක. මිනිස්සු ගෙන්නගන්න ඕනෑ යහපත් සිනමාවකට මිසක් රාජ්‍ය බලයට මුක්කු ගහන සිනමාවකට නෙවෙයි. මෙයාලා සිනමාශාලාවලට ජනතාව ගෙන්නන්නේ කොහොම ද? හාමුදුරුවරුයි, ඉස්කොලෙවල ගුරුවරුයි, ඉස්කෝලවල ගුරුවරියොයි, ළමයි ටිකයි රවට්ටලානේ. මේක ජනතාව නැවත සිනමා ශාලාවට ගෙන ඒමක් නොවෙයි. බලෙන් රැවටීමක්. සිනමාශාලා හිමියොත් දැන් කරන්නේ මේ ක්‍රමයට වැඩියෙන් ලාබ ලබන්න පුළුවන් මේ රැල්ලේ චිත්‍රපටි තමන්ගේ ශාලාවල පෙන්නන එක. චිත්‍රපටි හෝල් අයිති අයට මොන චිත්‍රපටිය වුණත් කමක් නෑ සල්ලි හම්බවෙනව නම්. පෝලිමේ තියෙන අනිත් චිත්‍රපටිත් පෙන්නන්න ඕනෑ කියලා මේ අය හිතන්නේ නෑ. මේ අත්දැකීමට දැන් මම මුහුණ දෙනවා. දැන් සිනමාව මොකක්ද කියලා තීරණය කරන්නේ ප්‍රදර්ශන මණ්ඩලවල අය. මේක මාෆියාවක් කියන්නත් බෑ. මොකද මේක රාජ්‍ය අනුග්‍රහය ලබමින් මිනින්නුන්ගේ උන්මාදය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරපු තත්වයක්. රාජ්‍ය මැදිහත්වීම සිද්ධ වෙන්න ඕනෑ කලාවේ සංවර්ධනයට. අද මේ තියෙන නූල් සූත්තර ක්‍රමයෙන් කලාවට කිසිම සුගතියක් නෑ. බලන්න දැන් ඔය සිනමාව ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙළට වෙලා තියෙන දේ.

 

ජනමාධ්‍ය ඇමැති පසුගියදා ප්‍රකාශ කරලා තිබුණේ ඩිජිටල්කරණය සීමාවෙන්නේ ශිල්පීන් අතර තියෙන මතභේද නිසා කියලා.


ඔන්න ඕක තමයි ආණ්ඩුව මේ ප්‍රශ්නය හීන්නූලෙන් මඟ අරින හැටි. මේක ශිල්පීන්ගෙ අදහස් කියන්න කියලා කිව්වේ. මේක මහා නොමඟ යැවීමක්. ආණ්ඩුව අනෙක් ප්‍රශ්න විසඳන්න උත්සාහක් ගන්නෙ නැති විදියටම තමයි බොරු හේතු දාලා මේක ප්‍රමාද කරන්නේ. ඇත්ත කාරණේ මේ ගැන පැහැදිලි දැක්මක් රජයට හෝ චිත්‍රපටි සංස්ථාවට නෑ.

මම ගිය සතියේ බොම්බායේ රසායනාගාරයකට ගියා. එතනදි මට හිතුණේ මම ඒ ආවේ සෙලෝලයිඩ් එකේ මරණයට කියලා. ලෝකයේ වෙනත් රටවල් ඩිජිටල්කරණයට සූදානම් වුණේ සහස්‍රය ලබද්දි.

අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රජයට කරුණු කිව්වා. මේකෙ අවශ්‍යතාවය පෙන්නලා. ආණ්ඩුව ඒ වෙලාවෙ ඒක ගණන් ගත්තේ නෑ. අපි මේකෙ ප්‍රමිතිය ගැන කරුණු හොයලා සිදුවෙන්න ඕනෑ ක්‍රමය ගැන කරුණු ඉදිරිපත් කළා. ජනමාධ්‍ය ඇමැති ඔය වගේ කතාවක් කියනව නම් ඒක බොරුවක්. සිනමාවට ආදරය කරන අය මේක පරක්කු වෙනවට කැමති නෑ. හැබැයි ආණ්ඩුවේ නායකයින්ට පන්දම් අල්ලන කලාකාරයෝ මේක පමා කරන්න ආණ්ඩුවට සහාය දෙනවද දන්නනේ නෑ. පිටපත් 35 වෙනුවෙන් පිටපත් 55ක් 60ක් තමන්ගෙ චිත්‍රපටිය පෙන්නගන්න දඟලන අය මේකට ආණ්ඩුව සහයෝගය දෙනවා ඇති. සමහර චිත්‍රපටි හෝල් අයිති අයත් කැමැති නෑ මේකට වියදම් යන නිසා. එහෙම නැතුව ශිල්පීන්ගෙ මතභේදයක් මෙතන නෑ. මෙතැන තියෙන්නේ රජයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්.

 

මේ ගැන කතා කරන්න කියල පසුගිය දවසේ කලාකරුවෝ අරලියගහ මන්දිරේට කැ‍‍‍දෙව්වා නේ ද?


ඒකත් තනිකර බොරුවක්නෙ කළේ හැමෝම වැඩේ හරි කියලා. ඒත් එදා කළේ ඩිජිටල්කරණය ප්‍රතිපත්තියක් හැටියට පිළිගත්තා කියන කැබිනට් තීරණයක් දීම නෙවෙයි. දාන ගැසට් එකේ කොපියක් පෙන්නපු එක. එදා කළේ වැඩකට ඇති අයයි නැති අයයි හැමෝම ගෙන්නලා දානයක් දීපු එක විතරයි. ජනාධිපතිතුමා එක්ක හිනාවෙලා ෆොටෝ ගන්න අයට තමයි ඒකට එන්න කියලා තිබුණේ. මේ ඔක්කොම සංදර්ශන විතරයි. කොටින්ම මේ කල්ලියතමයි ආණ්ඩුවත් අන්දලා කලාවට කරන ලොකු විනාසය කරන්නේ. මේ අයට කලාකරුවෝ කියන්නත් බෑ. රටක නායකයෝ වටේ මොළේ නැති කේවට්ටයෝ ඉන්නතුරු රටට කිසිම හොඳක් වෙන්නෙ නැහැ.

 

සිනමා සංරක්ෂණාගාරයක් හැදුවා කියලා ලොකු ශබ්දයක් දැමීමත් මේ සංදර්ශනයේම එක කොටසක් ද?


ඇත්තටම මේක සංරක්ෂණාගාරයක් නෙවෙයි. තවත් ගබඩාවක් විතරයි. අර ලෙස්ටර්ගෙ නමත් විකුණලා බොරුවක් කළේ. වර්ණ චිත්‍රපටි විශාල වශයෙන් විනාශ වෙමින් යනවා. මේ සංරක්ෂණාගාරයේ හරි ප්‍රමිතියකට වැඩ සිද්ධ වෙනව ද? මේ ව්‍යාජ වැඩවලින් තමයි මිනිස්සු අන්දවන්නේ. ඒවට උඩගෙඩි දෙන්න සැදී පැහැදී ඉන්න කල්ලියක් ආණ්ඩුව නඩත්තු කරනවා. මේ කල්ලිය කරන්නේ කලාව නෙවෙයි. බිස්නස් එකක්.

 

සිනමාව මේ තරම් පල්ලම් බහිද්දි සිනමාව ගැන ජනාධිපතිට මොකටද උපදේශ කලා?


ආණ්ඩුවට ජැක් එක ගහන අය සතුටු කරන්න දීපු දෙයක් විතරයි ඕවා. මේ අයට හඬක් නෑ. අපි පෙළපාලියක් ගිහින් තමයි මේ ඩිජිටල්කරණය ගැන ආණ්ඩුවට පණිවුඩයක් දුන්නේ. ඒත් ඔය උපදේශකලා කරන දෙයක් නෑ. එයාලා කරන්නේ අරලියගහ මන්දියේ දානවලට යන එක. තමන්ගේ හිතවත් පිරිස් පාඩුපිට නඩත්තු කිරීමක් තමයි දැන් අපි මේ ආණ්ඩුවෙන් දකින්නේ. රන්මිණිතැන්නෙන් ආණ්ඩුවෙ හිතවත්තු කී දෙනෙක් හැදුන ද? රජයේ වගකීම් හරිහැටි ඉටුකරන්නෙ නැතුව මිනිස්සුන්ට බෝලෙ පාස් කරන්න නම් ආණ්ඩුවක් මොකට ද? කියන එක තමයි ප්‍රශ්නය. සිනමා ‍ශාලා හදන එක සිනමාකරුවෝ කරන්න ඕනෑ දෙයක් නොවෙයි. ඒක කරන්න ඕනෑ රජය. ආණ්ඩුව සිනමාව පිළිබඳ අවංකවම හිතනවා නම් ඒකට ප්‍රතිපත්තියක් ගෙනියන්න ඕනෑ. ඒ ‍වගේම මේ දේවල් නියාමනය කරන්න පැහැදිලි කොමිසමක් වගේ එකක් ඕනෑ. රටේ අර්බුද ඇති කරන්න ආණ්ඩුවකට යුතුකමක් නැහැ. නමුත් අපට පේන්නේ ආණ්ඩුව ඉලෙක්ෂන් එකේදි මනාපවලට ඕනෑ කරන සිනමාව හදනවා මිසක් හොඳ සිනමාවක් හදන එක නෙවෙයි. කොටින්ම සමස්ත කලාවම රාජ්‍ය නිල මතවාදය කරගහගෙන යන තත්වයට පත් කරන්න තමයි රජය උත්සාහ කරන්නේ.

ආණ්ඩුව ප්‍රශ්නවලින් පැනලා යන්න පාවිච්චි කරන තුරුම්පුවක් තමයි තමන්ට විරැද්ධ අය ''දේශද්‍රෝහීන්" ලෙසත් තමන් රකින අය ''දේශප්‍රේමීන්" ලෙසත් ලේබල් ගැහීම.

අපිත් ඔය පළවෙනි ගොඩට තමයි දාලා තියෙන්නේ. ඇත්ත කියන්න ඉඩක් නැති සමාජයක් ගැන තවත් ඉතිං කතා කරලා වැඩක් තියෙනව ද? ඕනෑම රටක ජනතාව පීඩනයකට පත් කරන පාලනයක් පෙරළා දමන්න ඕනෑ කලාකරුවෝ. දේශපාලන බලවේගයන් සමග එකතු වෙලා. නැත්නම් කලාකරුවෝ හුදකලා වෙනවා. එහෙම කිසිම බලවේගයක් නෑ. හැම කෙනාටම කලාකරුවො මතක් වෙන්නේ ඡන්දෙ කාලටෙ විතරයිනේ. ඒ කාලෙට ඉදිරිපත් වෙන ප්‍රතිපත්ති මාලාවලටත් ඒවා ඇතුළත් වෙනවා. මහින්ද චින්තනයෙත් තියෙනවා කලාකෙත අස්වැද්දීම කියලා. ඒකත් අස්වැද්දීම කෙසේ වෙතත් දවසින් දවස වඳ පීදෙනවා. ක්‍රමය රකින අයට සතුටු කරන ගමන් ඊට විරුද්ධ අයගෙ කට වහන්නයි හදන්නේ. මේ ළඟදිත් ඔය රාජ්‍ය නොවන සංවිධානවලට වාරණ දාන්න උත්සාහයක් ගත්තා. විකල්ප මතවාදයකට ඉඩක් නෑ. ඇත්තටම අපි කතා කළොත් සාබෑ කලා කෘති හැමදාම පවතින ක්‍රමයට අභියෝගයක්. ඒක කලා ඉතිහාසයේ මුල් කාලයේ ඉඳලා අපි දකින දෙයක්.

සිනමාව මේ තරම් ගරාවැටෙද්දි පෙළක් අයට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ක්‍රමයට සෙට්වෙලා සැපට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිනි මාලනී ෆොන්සේකාට උපහාර කරන්නේ නෑ කියන එක.


මාලනී පාර්ලිමේන්තුවේ හිටියට එයාලට හඬක් නෑනේ. එයාලගෙ කටවල් වහලා. එයාලා ගැන කතා කරන එකේ තේරුමක් නෑ. එයාලගෙන් සිනමාවට මහ ලොකු දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. එයාලගෙ පැවැත්මට සැප සම්පත්වලට පාර්ලිමේන්තුවෙ ඉන්නවා මිසක් වෙන දෙයක් නෑ. එයාලට මේ ගැන සැබෑ හැඟීමක් තියෙනවා නම් එක්කො අරගල කරනවා නැත්නම් අයින් වෙනවා. මේ දෙකම වෙන්නෙ නෑනේ.

මාලනී ගැන මොන කතාද, අපේ වාමාංශික දේශපාලකයන්ට වෙලා තියෙන දේ දිහා බැලුවාම. සමසමාජ පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් මේ ආණ්ඩුවට වෙලා මොනවද කරන්නේ? එයාලට මෙතනින් ගිහින් කරන්න දෙයක් නෑ. මේකෙ ඉඳගෙන කරන්න දේකුත් නෑ. නිකං විහිළුකාරයෝ ටිකක් බවට පත්වෙලා. එදා අරගලකාරී වාමාංශික පක්ෂවල සාමාජිකයෝ තමයි අද අන්ත ප්‍රතිගාමීන් වෙලා ඉන්නේ. වාසුදේව, ඩීව් ගුණසේකර, තිස්ස විතාරණ වගේ අය මේකෙ නොම්මර එකේ ගොදුරු. මේ අයත් වැටිචිච වැටිල්ල එක්ක මාලනී ‍ෆොන්සේකා මගේ අය ගැන මොනට කතා කරනවා ද?

 

එදා ප්‍රගතිශීලී දේශපාලකයෝ කලාකරුවෝ විදියට නම් දරපු අය තමන්ගේ ප්‍රතිපත්ති පාවා දීලා මේ තරමට කොඳුකඩා ගත්තේ කොහොම ද?


මේ අයගෙ ලොකුම තර්කය තමයි පිට ඉඳන් සටන් කරලා වැඩක් නෑ. ඒක නිසා ක්‍රමය ඇතුළෙ ඉඳන් සටන් කිරීම තමයි හොඳ කියලා. දැන් මේ අය අවුරුදු බර ගාණක් ක්‍රමේ ඇතුළෙ හිටියා කියලා මොනවද කළේ? එයාලා විතරක් නෙවෙයි අද අතුරලියේ රතන හාමුදුරුවෝ, පාඨලී චමිපික, විමල් වීරවංශ හැමෝම කියන්නේ ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුව හදා ගන්නවා කියලා. එහෙම හදන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි මේ. ඒක තමයි එයාලට සිද්ධ වෙලා තියෙන්නේ. තනි තනිවම යෝජනා මාලාවන් අරගෙන වටේ යන්න. මෙයාලා යෝජනා අරගෙන වටේ ගිහින් අවසානයේ ගෙටම එන්න තමයි වෙන්නේ. මේ කලාකරුවන්ගෙන් දේශපාලකයින්ගෙන් අවසාන කාලයේ හොඳට ඉන්න පුළුවන් තැනකට සෙට්වෙලා ඉන්නවා මිසක් ඒ අය එදා කරපු ප්‍රගතිශීලී වැඩ කරන්න අදහසක් නෑ.

 

කලාකරුවා සමාජයේ පෙර ගමන්කරුවා කියන අදහස අපේ රටට අදාළව තවදුරටත් වලංගු ද?


බොහෝ අය සම්බන්ධයෙන් ඒ අදහස වලංගු නෑ. ඇත්තටම ඒ අය කලාකරුවොද කියන එකත් ප්‍රශ්නයක්. ඒක නිසා තමයි ඒ අයටම සිද්ධවෙලා තියෙන්නේ තමන් සංවේදී කලාකරුවො කියලා. රටක සමාජයක පෙරගමන්කරුවො විදියට කටයුතු කරන අයට බෑ ජනතාව පෙළන පාලනයකට මුක්කු ගහන්න. රටේ ජනතාව තවදුරටත් මේ ප්‍රතිගාමීන්ගෙ කතාවලට රැවටෙන්න හොඳ නෑ. ජනතාව මේ අය ප්‍රතික්ෂේප කරාවි. මේ දෙබිඩ්ඩන්ගෙ පිළිවෙල දැනුත් මිනිස්සු අඳුරගෙන ඉවරයි.

මාධ්‍යයෙත් වගකීම ජනතාව මේ තත්වයෙන් මුදා ගන්න එක. ප්‍රගතිශීලී වෙස් මූණ දැගෙන ජනතාව රවටන ප්‍රතිගාමීන්ගේ සැබෑ මුහුණ ජනතාවට අනාවරණය කිරීම මාධ්‍යයේ වගකීම. අවාසනාවට අද බහුතරයක් මාධ්‍යයන් රාජ්‍ය බලයට නතු කරගෙන. සියලු ජනමාධ්‍ය ආණ්ඩුවේ හොරණෑ බවට පත්වෙන රටක සාමාන්‍ය මිනිස්සු මොනවා කරන්න ද? එතකොට විකල්පයක් අවශ්‍ය වෙනවා. වචනයට විතරක් සංවේදී නොවී සැබෑ සංවේදී නායකයෙක් තමයි රටට ඕනෑ. ඒකට ජනතා සහභාගී අරගලයක් අවශ්‍යයි.

සැරින් සැරේට ඡන්ද තියලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා කියන රටක්නේ මේක. තමන්ට වාසි වෙලාවට සැරින් සැරේ ඡන්ද තියෙන එකම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. දැන් ඉන්නේ රටේ මිනිස්සු විශ්වාස කරන පාලකයෝ වෙනුවට ග්‍රහතරැ ගැන විශ්වාසය තියලා වැඩ කරන අය. ඉතිං එහෙම රටක කලාව ගැන කතා කිරීමෙන් මොන ඵලයක් ද?

 

සිනමාව ගැන කටයුතු කළ යුතු ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරිත්වය ගැන ඔබේ ඇත්තම අදහස මොකක් ද?


තමන් කළ යුතු දේවල් ඒ ඒ අවස්ථාවෙ කළේ නෑ කියන එක තමයි ඇත්තම අදහස. සංස්ථාවක් ඕනෑ චිත්‍රපට බෙදාහැරීම විධිමත් කරන්න සහ සිනමාවේ ප්‍රමිතීන් ඉහළ දාන්න. ඒක සිද්ධවෙන්නෙ නැත්නම් මොකද කරන්නේ. අද තරුණ සිනමාකරුවන්ට සංස්ථාවෙන් සපයන අත්වැල මොකක් ද? අපිත් අහන්නේ මේ කිසි දෙයක් කෙරෙන්නේ නැති ජාතික චිත්‍රපට සංස්ථාව මොකට ද කියලා. චිත්‍රපට සංස්ථාව වගේම හැම සංස්ථාවකම සභාපති වෙන්නෙත් ඒ ඒ දේශපාලන පක්ෂ දිනවන්න උදව් කරපු අය. තානාපතිවරුත් එහෙමනේ. දැන් අපි දකිනවා රටක විදේශ සබඳතා ජාලය ශක්තිමත් කරන්න පුළුවන් තානාපති සේවයට‍ දාලා තියෙන්නේ කවුද කියලා. ඒවට දාලා තියෙන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන් එහෙම නැත්නම් ලෝක හොරු. අද තියෙන්නේ පල් වළ ඉහගෙන කෑමක්. ඉතිං චිත්‍රපට සංස්ථාවට හෝ සිනමාවට මේ ක්‍රමය මඟ හැරලා අමුතු ගමනක් නෑ.

 

ෂොපින් මෝල් හදන්න තියෙන උනන්දුවෙන් සීයට එකක්වත් කලාව වෙනුවෙන් මේ ආණ්ඩුවට නෑ, කියලද ඔබ කියන්නේ.


මේ ආණ්ඩුව කරන දේවල්වලින් අපි නොකිව්වත් ඒක මිනිස්සුන්ට තේරෙනවා. ලොකු සද්ධයක් දාපු රන්මිණිතැන්න අද වන්දනා නඩ බලන්න යන තැනක් වෙලා. ෂොපින් මෝල්වලින් එන ඓශ්චර්ය කලාවට වැඩ කිරීමෙන් සිද්ධ වෙන්නෙ නෑනේ. අද රටට ඕනෑ දැකුම්කළු සංදර්ශන විතරයි. කලාවක් ඕනෑ නෑ. ඒ මතය තමයි තහවුරු කරන්නේ. මිනිස්සුත් ඒකෙන් මත්වෙලා ඉන්නේ.

මුළු රටම ලොකු මිථ්‍යාවක තමයි ගිල්වලා තියෙන්නේ. ඒක නිසානේ මේ තරම් ධාතු ප්‍රදර්ශන තියන්නේ. මේක තනිකරම සංදර්ශන භූමියක් කරලා තියෙන්නේ. ඒ භූම්යට අවශ්‍යයි ධාතු ප්‍රදර්ශන වගේ සරුව පිත්තල සැරසිලි සියල්ල. ධාතු වැඳපු තරමට මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය වුණා නම් හාමුදුරුවරු ජාතිවාදය, ආගම්වාදය අවුසන්න තරම් කුපිත වෙනවා ද?

පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුව රකින වාචාලයෝ සහ ආණ්ඩුවේ පැවැත්ම රකින කලාකරුවො, විශ්වවිද්‍යාල උගතුන් සහ සිවිල් සමාජයේ ඇතැම් චරිත නිසා මේ යන තත්වයේ වෙනසක් දකින්න අමාරුයි. මේ නරාවළෙන් ගොඩ එන්න මිනිස්සුන්ගේ චින්තනය දියුණු කරන එක ලේසි නෑ. යම් විකල්ප අදහසක් ඉදිරිපත් වුණත් ඒකත් මර්දනය කරන්න සූදානම් පිරිස වැඩියි. ඒ අය මිථ්‍යාවෙන් මත්වලා ඉන්නේ. මේ සමාජය අඳුරෙන් අඳුරටම යනවා මිසක් මේක ආලෝකයක් සොයන සමාජයක් නොවෙයි.

(උපුටාගැනීම -ඉරිදා ලංකාදීප)

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us