මෛත්‍රීට ගරු කරන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි - ඉරාන් වික්‍රමරත්න

Saturday, 27 June 2015 11:55

රටට අවශ්‍ය වන්නේ ජනාධිපහි මෛත්‍රීපාල සිරිසේන මහතාට ගරු කාන පාර්ල්මේන්තුවක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. සිරිසේන මහතාට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් පවතින චින්තන පාර්ලිමේන්තුවෙන් පලක් නොවන බවද ඔහු පවසා සිටී.

සිළුමිණ පුවත්පත හා සකච්ඡාවක යෙදෙමින් ඔහු ඒ බව පවසා ඇත.

එම සාකච්ඡාව පහත දැක්වේ

මේ වන විට රටේ දේශපාලනය තුළ සෑහෙන උණුසුමක් දකින්නට ලැබෙනවා. වර්ධනය වෙමින් තියෙන මේ දේශපාලන වර්ධනයන් ඔබ කියවන්නේ කොහොම ද?

මෙහෙමයි. ජනවාරි අට වැනිදා මේ රටේ ඓතිහාසික බල හුවමාරුවක් සිද්ධ වුණා. ධන බලය, මැර බලය යන මේ හැම බලයක්ම ජනතා බලයට යටයි කියන එක ඒ මැතිවරණයේදී අපේ රටේ ජනතාව ලෝකයාට ඔප්පු කර පෙන්නුවා. නමුත් ඒ බල පෙරළිය නිසා ජනාධිපති ධුරය දැරූ පුද්ගලයා වෙනස් වුණාට රාජ්‍ය තන්ත්‍රය වෙනස් වුණේ නැහැ. පාර්ලිමේන්තුව වෙනස් වුණේ නැහැ. අවුරුදු ගණනක් තිස්සේ පෝෂණය වෙමින් පැමිණි නිලධාරී පංතිය වෙනස් වුණේ නැහැ.

එම නිලධාරීන් අතර පැවැති රජයේ දූෂිත දේශපාලනඥයන් ආරක්ෂා කළ නිලධාරී පැළැන්තියක් හිටියා. ඒ දෙගොල්ලෝ අතර ලොකු අන්‍යොන්‍ය සහ‍යෝගයක් අදටත් තියෙන බව පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා.

ඒ එක්කම ජනවාරි 08 දා වෙනසත් එක්ක අලුත් රජයක් ඇතිවුණේ නැහැ. ඇත්තටම වුණේ තිබුණ රජය වෙනස්වීම පමණයි. 2010 දී ලැබුණු චින්තන ජනවරම දැන් ඉවරයි. දැන් තියෙන්නේ කල් ඉකුත් වූ අක්‍රීය පාර්ලිමේන්තුවක්. රජය ගේන හැම දෙයකටම අකුල් හෙළීම අද විපක්ෂයේ විලාසිතාව වී තියෙනවා.

හැම කාරණයක් සම්බන්ධයෙන්ම ඒ බව පෙනෙන්නට තියෙනවා. ආණ්ඩුව වැදගත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ කරද්දි පවා ඒ අය නොනවත්වා කකුලෙන් අදිමින් ඉන්නවා. මේක අතිශය කනගාටුදායක කාරණයක්. රටේ බුද්ධිමත් ජනතාව මේ තත්ත්වය තේරුම්ගෙන තියෙනවා ය කියලා අපි විශ්වාස කරනවා.

ඔබ කියන විදිහට පහුගිය කාලේ සිදුවී තියෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේ නෙවෙයි, විපක්ෂයට අවශ්‍ය දේ...

එක අතකට එහෙම කියන්න පුළුවන්. අපි මොනවා කිව්වත් කරන්න හැදුවත් කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවකින්, මීට වඩා දෙයක් අපේක්ෂා කරන්න බැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් මෛත්‍රි පාලනය ගරු කරන පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. නමුත් ඒ වෙනුවට තවම තියෙන්නේ චින්තන පාර්ලිමේන්තුවක්.

ජනවාරි අට වැනිදා බලය ගනිද්දි ඔබලා ඔය තත්ත්වය දැනගෙන හිටියනේ ඇමැතිතුමා. අරව මේවා කරනවා කියා කිය කිය ඉන්නේ නැතුව ඒ වෙලාවේම ඡන්දෙකට ගියානම් ඔබ ඔය කියපු කිසි කරදරයක් නැහැනේ...

මෙහෙමයි. ජනාධිපතිවරණ අවස්ථාවේදී ප්‍රකාශ කළ ආකාරයට ඒ ලැබුණු ජනවරම තුළ දින 100 කට අපිට ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්. නමුත් දින සීයෙන් එහා කරන්න බැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවා හැරිය යුතුයි. ඒකේ දෙකක් නැහැ.

මේකට උත්තරයක් දෙන්න. මොන ක්‍රමයකට හරි දැන් මේ ආණ්ඩුව මාස හයක ගමනක් සම්පූර්ණ කර තියෙනවා. මේ දින 190 තුළ කරපු කියපු දේවල් ගැන රජයක් ලෙස තෘප්තිමත් ද?

කිසිම රජයක් දවස් 100 කින් නොකළ වැඩ අපි මේ කෙටි කාලය තුළ කළා. තු‍නෙන් දෙකක බලයක් තියාගෙන අවුරුදු 10 ක් තිස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කළ නොහැකි වූ බොහෝ දේ මන්ත්‍රීවරු හතළිස් ගණනක් තියාගෙන අපි ප්‍රායෝගිකව කරලා පෙන්නලා තියෙනවා. ඒ ගැන උපරිමයට අපි තෘප්තිමත් නමුත් විපක්ෂයේ නොනවත්වා කඩාකප්පල් කිරීම ඇතුළේ දින සීයෙන් පසුව අපිට එහෙම කරන්න බැරි වුණා. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා අපි ඉල්ලන්නේ ඒකයි.

දින සීයෙන් පස්සෙ මුකුත් කරන්න බැහැ, කරන්න දෙන්නේ නැහැ කියමින් තාමත් යූඇන්පීය ආණ්ඩු බලය තියාගෙන ඉන්නෙ ඇයි? ඒක සාධාරණීකරණය කරන්නෙ කොහොම ද?

ආණ්ඩුව විසුරුවන්න කියන ඉල්ලීම අපි ලිඛිතව මෙන්ම වාචිකවත් ජනාධිපතිවරයාට දැනුම් දී තියෙනවා. දැන් ඒ තීරණය තියෙන්නේ ජනාධිපතිවරයාගේ අතේ. තමන් රටේ මුල් පුටුවට ගෙන ඒමේදී එජාපයෙන් ලැබුණු දායකත්වය පිළිබඳ නිවැරැදි තක්සේරුවක් ජනාධිපතිවරයාට තියෙනවා ය කියලා මම දැඩිව විශ්වාස කරනවා. එතුමාව ජනාධිපති කරන්න ගමේ පෝස්ටර් ගැහුවේ, රැස්වීම් පැවැත්වූවේ, ගෙයින් ගෙට ගියේ, ඡන්ද පොළ රැක්කේ එජාපය හා එහි ආධාරකරුවන් ය කියන කාරණය පිළිබඳ කාටවත්ම තර්කයක් තියෙන්න බැහැ.

ඒ එක්කම ලැබුණු ඡන්ද ප්‍රතිඵලය ආරක්ෂා කරගනිමින් කිසිදු ලේ වැගිරීමකින් තොරව සුමට ආකාරයෙන් එදා පාලන බලය හුවමාරු වුණේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධිමත් නායකත්වය නිසා ය කියන කාරණයත් හරි පැහැදිලියි. ඒ නිසා එජාපය මතු කරන කාරණය සම්බන්ධයෙන් විවේක බුද්ධියෙන් කල්පනා කර බලා නිවැරැදි තීරණයක් තවත් කල් නොයවා ඉක්මනින්ම ගැනීමේ යුතුකමක් ජනාධිපතිවරයාට තියෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා ඉල්ලීම් කළාට මහ ඡන්දෙකට යූඇන්පිය ලැහැස්ති ද?

අනිවාර්යයෙන්ම අපි ලැහැස්තියි. පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී අපි අපේ සියලු සංවිධාන ව්‍යුහයන් ක්‍රියාකාරී තත්ත්වයට ගෙනාවා. පසුගිය මැයි දින සැමරුමේදී “අලියාගේ” සැබෑ ශක්තිය මොන වගේ ද කියලා අපි රටට පෙන්නුවා. දැන් අපි අපේ පක්ෂ යාන්ත්‍රණය පණ ගන්වලයි තියෙන්නේ. ඕනෑම මොහොතක දුවන්න ඒ අය ලැහැස්තියි.

මැයි දිනයේ දී ගත්ත ඒ “ගැම්ම” තවමත් නොනැසී තියෙනවා ය කියලා විශ්වාස කරනව ද?

100% ක් විශ්වාසයි. මේ වෙද්දී රටේ මොකක්ද වෙන්නේ කියලා අවබෝධයක් ජනතාවට තියෙනවා. රටේ ඉදිරි ගමන අඩාල කරන්නන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට ජනතාව නොඉවසිල්ලෙන් යුතුව බලන් ඉන්නවා.

යූඇන්පියේ සංවිධාන ජාලය සූදානම් කියලා කිව්වට පහුගිය මාස හය තුළ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ටෙලිෆෝන් එකටවත් අල්ලගන්න බැහැ කියලා පාක්ෂිකයන් තුළ මතයක් සමාජගතව තියෙනවා. ඒ ගැන මොකද කියන්නෙ?

ඒ කතාවේ යම් ඇත්තක් තියෙන්න පුළුවන්. විපක්ෂයේ ඉඳන් ආණ්ඩු පක්ෂයට ගියාහම කාර්යභාරයන් වෙනස් වෙනවා. ඒ නිසා පරණ විදිහටම ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමේ තාර්කික ගැටලුවක් තියෙනවා. ඒක අඩුපාඩුවක් හැටියට මම පිළිගන්නවා. එම තත්ත්වය මඟහරවා ගැනීමට මේ වෙනසට ගැළපෙන ලෙස අපි ඉක්මනින්ම ක්‍රමවේදයක් සකසා ගත යුතුව තිබුණා. නමුත් ඒකට කල් ගියා. ඒ නිසා එවැනි මතයක් තියෙනවානම් ඒක නිහතමානීව පිළිගන්න අපි සූදානම්.

කවුරු මොනවා කිව්වත් 20 සංශෝධනය සම්මත කරගැනීමකින් තොරව මහා ඡන්දයකට නොයන බව කැබිනට් ප්‍රකාශකවරයා කියලා තිබුණා. 20 වැනි සංශෝධනය සම්මත කරගන්න එජාපය තුළ ඒ හැටි උනන්දුවක් නැත්තෙ ඇයි?

ඒ කතාව වැරැදියි. පවතින ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි කියන කාරණය අපි ප්‍රතිපත්තියක් විදිහට පිළිගන්නවා. එදා 2001 දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තිබුණු කාලේ ඡන්ද ක්‍රමයේ වෙනසක් සඳහා අපි අපේ උනන්දුව දිනේෂ් ගුණවර්ධන කමිටුව පිහිටුවමින් අපි පෙන්නුවා. එජාපය හැටියට ඡන්ද ක්‍රමයේ වෙනසකට අපි එකඟයි. ඒ එක්කම නව ඡන්ද ක්‍රමය හරහා හඳුන්වා දෙන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දෙසිය විසිපහකට වඩා වැඩිවිය යුතුත් නැහැ.

ඒ සියලු වෙනස්කම් සිදුවිය යුත්තේ රටේ සියලු දේශපාලන පක්ෂළුල එකඟතාව සහිතවයි කියන තැනත් අපි ඉන්නවා. විශේෂයෙන්ම පටු දේශපාලන අවශ්‍යතා මත සුළු ජාතික පක්ෂවල විරෝධය නොතකමින් විසිවැනි සංශෝධනය සම්මත කළොත් සැබැවින්ම වෙන්නේ යළි රටේ බෙදීමක් ඇතිවන එක විතරයි. එහෙම වෙනවා දකින්න අපි කැමැති නැහැ. යූඇන්පිය විස්සට පස්ස ගහනවා ය කියන විපක්ෂය, තමයි පහුගිය අවුරුදු 10 තුළදී මේ රට පාලනය කළේ.

එදා තුනෙන් දෙකක බලයකුත් තියාගෙන ඡන්ද ක්‍රමයේ වෙනසක් කරන්න ඒ අය මොකද කළේ? එදා මේ කඩිමුඩිය තිබුණ ද? 20 ගැන කියමින් ඒ අය මේ හලන්නේ කිඹුල් කඳුළු. ඡන්ද ක්‍රමයේ වෙනසකට මුළුමනින්ම එකඟ වුණාට ඒ කාරණය ඉදිරියට දමමින් පාර්ලිමේන්තු කාලය දිනෙන් දින ඈතට අදිමින් මේ කරගෙන යන නාටකයට අපි එකඟ නැහැ. මීළඟ මහා මැතිවරණයෙන් පසු වහා ප්‍රමුඛතාව ලබාදිය යුතු කාරණයක් ලෙස සියලු දෙනාගේ එකඟත්වයෙන් නව ඡන්ද ක්‍රමයක් අපේ රජයක් යටතේ මේ රටට ස්ථිරවම හඳුන්වා දෙනවා.

සෑහෙන කාලයක් සංවිධානය කළ නැ‍ඟෙනහිර කොළඹ ආසනය හැරදා ඔබ දැන් මොරටුවට “පිම්මක්” පැන තියෙනවා. එහෙම තීරණයක් ගත්තේ ඇයි?

මම නැ‍ඟෙනහිර කොළඹ දාලා ගියේ නැහැ. කොළඹ දාලා ගියේ නැහැ. තාමත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ. පක්ෂ නායකත්වයේ ඉල්ලීමක් උඩ මොරටුව ආසනය භාරගන්න මම තීරණය කළා. සුව පහසු ජීවන අවස්ථාවක් කැප කරමින් මම දේශපාලනයට ආවේ ඕනෑම අභියෝගයක් භාරගන්න. ඒ නිසා මේ අභියෝගය සතුටින් කැමැත්තෙන් භාරගන්න තීරණය කළා. ඒ වගේම මොරටුව කියන්නේ මට අමුතු තැනක් නෙවෙයි. එහේ තියෙන සංස්කෘතික විවිධත්වයට මම හැමතින්ම කැමැතියි.

සංවාද සටහන
චාමර ලක්ෂාන් කුමාර
ඡායාරූපය - සුදම් ගුණසිංහ

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us