ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ආප්ප බානවා වගේ කරන්න බෑ - අනුර කුමාර දිසානායක

Saturday, 28 March 2015 14:01

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීම, 19 වැනි සංශෝධනය ඇතුළු මාතෘකා කිහිපයක් නිසා රටේ දේශපාලනය ‘ගිනියම්’ වී ඇති මොහොතක කාලීන දේශපාලන කරුණු කිහිපයක් පාදක කරගනිමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සංවාදයකි මේ.

ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ඇමැති ධුර ලබාගනිමින්, පසුගියදා රජයට එකතු වුණා. මේ එකතුව ජාතික ආණ්ඩුවක් විදිහට සමහරු අර්ථ නිරූපණය කරනවා. ජවිපෙ මේ කාරණය කියවන්නේ මොන විදිහට ද?

මූලිකවම මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. ශ්‍රීලනිපය හා එජාපය එකතු වූ පමණින් ජාතික ආණ්ඩුවක් බිහිවෙන්නේ නැහැ. මේක ජාතික ආණ්ඩුවක් ය කියලා කවුරුහරි අර්ථ නිරූපණය කරනවානම් එහෙම ආණ්ඩු ඉතිහාසයේ මීට පෙර විවිධ අවස්ථාවලදී හැදිලා තියනෙවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙලා රට පාලනය කරන්න කියලා අපේ රටේ ජනතාව ජනවරමක් දුන්නේ නැහැ.

2010 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී හෝ ජනවාරි අට වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී හෝ ඔය කියන ආකාරයට ජාතික ආණ්ඩු හදන්න, ජනවරමක් ලැබිලා නැහැ. ජනාධිපතිවරණය වෙලාවේ පවා කිව්වේ කෙටි කාලයකින් පසුව පවත්වනු ලබන මහ මැතිවරණයකින් අනතුරුව ජාතික ආණ්ඩුවක් හදනවා ය කියලයි. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවෙන් ජාතික ආණ්ඩුවක් හදන කථාවක් කිසිම තැනක කිව්වේ නැහැ.

ඒ නිසා මේක ජාතික ආණ්ඩුවකට පටහැනියි. ජනවාරි අටවැනිදා පැවැති ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහත්තයා සමඟ එක පෙළට තබා පරාජයට පත්කළ, දුෂ්ට ජනතා විරෝධි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ කණ්ඩායම් ජාතික ආණ්ඩුව නමැති ආකර්ෂණීය වචන ටික ඉදිරියට දමමින් යළි බලය අත්පත් කරගැනීමේ දුෂ්ට මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මුළු ඇ‍ඟෙන්ම වැඩකළ මෛත්‍රීපාල මහත්තයාව පරාද කරන්න වැඩ කරපු දූෂණ, වංචා චෝදනාවලට සම්බන්ධ තක්කඩි දේශපාලනඥයන් මේ හරහා ඇමැති ධුර ලබාගෙන වරප්‍රසාද භුක්ති විඳීම දැනටමත් ආරම්භ කර තියෙනවා. එහෙම උදවියට ඇමැතිකම් ලබා දෙද්දී වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නේ කොහොම ද? මේක ඉතාම ජුගුප්සාජනක, අපුල දනවන කාරණයක්.

ජනවරම, පවාදීමක් මේ හරහා සිදුව ඇති බව ඔබ කිව්වට, ඉක්මන් හා හදිසි ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුකිරිම සඳහා පාර්ලිමේන්තුවේ බලය පවත්වා ගැනීමත් වැදගත් නේද?

ජවිපෙ හැටියට අපි නැවත කියන්නේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ජනවරම පාවාදී කටයුතු කරනවා ය කියලයි. ජනවාරි 08 වැනිදා ජනතාව ලබාදුන් ඒ ඓතිහාසික තීන්දුව ඔවුන් තේරුම් ගත යුතුයි. ජනතා මතය ලැබුණේ වංචාවට, දූෂණයට, ජාතික අසමඟිය ඇතිකරපු ඒ දුෂ්ට ගමනට එරෙහිව මිසක්, ඔළුගෙඩි එහාට මෙහාට කරමින් විකාරරූපි රංගන කරන්න නෙමෙයි.

ජනතා බලය හිමි වූ ක්‍රියාමාර්ගවලට ඇලී මෑලිවන මේ ආණ්ඩුව තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා. දවස් තිහකට අමාත්‍ය ධුර ලබාගන්න මේ තරම් තියෙන තදියම මොකක්ද? අඩුම තරමින් මාසයක කාලයක්වත් තමන්ගේ වාහනයක් නිවාසයක් පාවිච්චි කරන්න මේ දේශපාලනඥයන්ට බැරි ද? සුපැහැදිලිවම මේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා හා අරමුණු ක්‍රියාත්මක ‍වන්නේ ජනතාවට එරෙහිවයි.

සැබෑ ජනතා අවශ්‍යතා වෙනුවට තක්කඩි දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා උඩට විත් තියෙනවා. ඒ තුළ ජනතා උවමනාවන් හා පාලකයන්ගේ උවමනාවන් අතර විශාල බෙදුම් රේඛාවක් මේ වන විට නිර්මාණ්‍ය වෙමින් තියෙනවා.

ඔබ බොහොම තදබල විවේචනයක් අලුත් ඇමැතිවරු ගැන කළාට මේ ඇමැතිකම් ලබාගෙන තියෙන්නේ හොරුන් වංචනිකයන් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීමට පෙරමුණ ගත් ඇමැතිවරයකු කියලා තිබුණා.

ඒක තවත් එක් විහිළු ප්‍රකාශයක් පමණයි. ඊයේ පෙරේදා ඇමැතිකම් ගත්ත ඒ අයගේ අතීත වාර්තාව පැටිකිරිය, අපි අමුතුවෙන් රටට විස්තර කිරීම අවශ්‍ය නොවන තරම්. එහෙම කළොත් ඒක මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන නිගාවක්. ඒ අයගේ ඉතිහාසය මුළු රටම දන්නවා. ඒ නිසා එවැනි පිරිස්ව ශාන්තුවරයන් බවට පත්කරන්න කවුරුහරි උත්සාහ කරනවානම් මෝඩකමකට වඩා දෙයක් එතැන නැහැ.

ආණ්ඩුවට ගහන ගමන් ජවිපෙ තවමත් ජාතික විධායක සභාව නියෝජනය කරනවා. එතැන පොඩි අවුලක් තියෙනවා නේද?

මෙහෙමයි. අපි ජාතික විධායක සභාව නියෝජනය කරන්නේ, ව්‍යවස්ථා සංශෝධනය වගේ, නීතිමය සංශෝධන කිහිපයක් සම්මත කරගැනීම සඳහා බලපෑම් කිරීමේ අර්ථයෙන්. අනෙක් අතට ඒක ව්‍යවස්ථාපිත ආයතනයක් නෙමෙයි. ඒකේදි ගන්න තීරණ, එළඹෙන එකඟතා අවසාන වශයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුවයි.

19 වැනි සංශෝධනය, තොරතුරු දැනගැනීමේ පනත, මහජන නියෝජිතයන්ට අදාළ ආචාර ධර්ම පද්ධතිය, මේ වන විට සකස් කර තියෙනවා. ඒ එක්කම වංචා, දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය තොරතුරු සාක්ෂි අදාළ ආයතනවලට අපි ලබාදීලා තියෙනවා. ජාතික විධායක සභාවේ කාර්යභාරය එවැනි නිශ්චිත කාරණා කිහිපයකට සීමා වෙනවා. අපේ මැදිහත්වීම ඒ වෙනුවෙන් විතරයි.

කැබිනට් මණ්ඩලයට ඇමැතිවරු පත්කිරිම ඇමැති විෂයන් තීරණය කිරීම, ජාතික විධායක සභාවට අයිති ක්‍රියාවන් නෙවෙයි. ඒ කොහොම වුණත් සිදුවෙමින් ඇති මේ හදිසි, දේශපාලන වර්ධනයන් තුළ තවදුරටත් ජාතික විධායක සභාවට සම්බන්ධ වෙනවා ද නැත්ද යන්න සම්බන්ධයෙන් අපි මේ මොහොතේ අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වී සිටිනවා.

අද මොනවා කිව්වත්, පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ, මෛත්‍රිපාල සිරිසේන මහතාට උපක්‍රමික සහයෝගයක් ලබාදුන්නා. දැන් ඒ ගැන කනගාටුවක් එහෙම තියෙනවා ද?

කිසිසේත්ම නැහැ. මහින්ද රාජපක්ෂ පාලනය පැරදවීමට, එය ආපසු හැරවීමට අපි ඒ අවස්ථාවේදී සෘජුව පෙනී සිටියා. රටේ ආර්ථිකය කුඩුපට්ටම් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් පුද්ගලයෙක් පවුලක්, කල්ලියක් වටා බලය ඒකරාශි කරගනිමින්, ජාත්‍යන්තරය තුළ රට හුදෙකලා කරමින්, සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතික සමඟිය බිඳ වට්ටමින් ගෙනගිය ඒ අත්තනෝමතික ගමන නතර කිරීම යුගයේ අවශ්‍යතාව වී තිබුණා.

වගකිවයුතු දේශපාලන පක්ෂයක් හැටියට ඒ වෙනුවෙන් විය යුතු මැදිහත්වීම උපරීමයට අපි කළා. ඒ ගැන කිසිම කනගාටුවක් අපිට නැහැ. පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේදී අපි ගත්ත ඒ තීරණයේ නිවැරැදි භාවය අද සිද්ධ වෙමින් තියෙන දේවල් එක්ක යළි යළි වඩ වඩාත් තහවුරු වෙමින් තියෙනවා.

පිටතදී ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය දැඩිව ප්‍රශ්න කළත් ජාතික විධායක සභාවේදී ජවිපෙ අපේ හොඳ කියනවා කියලා ඇමැතිවරයෙක් කියලා තිබුණා. ඒ ගැන මොකද කියන්නෙ?

කවුද ඔහොම කියන්නෙ?

රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රසිද්ධියේ එහෙම කියලා තිබුණා...

රාජිත කියන ඒවා අපි ඒ හැටි බැරැරුම්ව භාරගත යුතු නැහැ. එයා මොනතරම් දේවල් පසුගිය කාලේ කියලා තියෙනව ද? ලංකාවේ පළමු වතාවට කැබිනට් මණ්ඩලය අනුමත නොකරන දේවල් කැබිනට් ප්‍රකාශක හැටියට කියනවා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාතික විධායක සභාවේදී තීරණයක් ගත්තාය කියලා කිව්වා. මේ වගේ කථා රාජිත කිව්වා.

ඒ නිසා එයාගේ ප්‍රකාශ වගකීමෙන් විශ්වසනීය භාවයෙන් තොර ප්‍රකාශ විදිහට රටේ ජනතාව විශ්වාස කිරීමට පටන්ගෙන තියෙනවා. රාජිත කියන කථා කවුරුවත් අද බැරැරුම්ව ගණන් ගන්නේ නැහැ. ඔබ ඔය අහපු ප්‍රකාශයත් එහෙම එකක්.

19 වැනි සංශෝධනය දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා. ජවිපෙ, ඒ ගැන සතුටු වෙනව ද?

මෙහෙමයි, ප්‍රමාණවත් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක අපේ විතරක් නෙමෙයි මේ රටේ සාතිශය බහුතරයක් දෙනාගේ ප්‍රාර්ථනය ඒකයි. පහුගිය කාලේ මේ ජනාධිපති ධුරයේ පස් වතාවක් වාඩිවුණ අයගෙත් අදහස ඒකයි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙවතාවක්, රාජපක්ෂ මහත්තයා තව දෙපාරක්, මෛත්‍රිපාල මහත්තයා එක් වතාවක් වශයෙන් අවසන් ජනාධිපතිවරණ පහ ජයග්‍රහණය කළ හැම කෙනෙක්ම මේ තනතුර අහෝසි කිරීම සඳහා පොරොන්දු ලබා දුන්නා.

ඒ වෙනුවෙන් ජනවරමක් ඉල්ලා සිටියා. ඒ එක්කම භාවිතාව තුළ මේ තනතුර මොනතරම් රටට, ජනතාවට අහිතකර ද කියලා අපි අත්විඳලා තියෙනවා. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කර, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකින්, විධායකය හසුරුවන ක්‍රමයකට රට පරිවර්තනය විය යුතුව තියෙනවා.

නමුත් ඒ එක්කම, වර්තමාන ජනාධිපතිවරයා, ජනවරමකින් තේරී පත්වුණ කෙනෙක්. ඒ නිසා ඔහුගේ ධුර කාලයට පමණක් සීමාවන පරිදි අන්තර් කාලීන විධිවිධාන යටතේ යම් බලතල ප්‍රමාණයක් පවරා දිය යුතුයි. වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්පූර්ණ වනවාත් සමඟ අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අවසානයත් සටහන් විය යුතුයි.

ඒත් ඒක මුළුමනින්ම දැනට ඉදිරිපත් කර තියෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්ව නැහැ. අමාත්‍ය මණ්ඩලය පිළිබඳව විශේෂයෙන්ම ඇමැතිවරු තිහයි තව රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරු හතළිහයි වගේ විගඩම්කාරී විදිහට ඇමැතිවරු ගොඩනඟන එකට අපේ එකඟත්වයක් නැහැ. ඒ වගේම එළඹෙන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් යැයි හංවඩු ගසමින් එහි අමාත්‍ය ධුර සංඛ්‍යාව සීය දක්වා ගමන් කිරීමට දොරටුවක් විවෘත කර තියෙනවා. ව්‍යවස්ථාවක එහෙම එළඹෙන ආණ්ඩුවක අමාත්‍ය ධුර කීය ද කියලා ඇතුළත් කිරීම බරපතළ වරදක්.

ඒ විදිහට මේ ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළ අඩුපාඩුකම් තියෙනවා. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඔය විරෝධය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තියෙනව ද?

ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කරන කමිටුවට අපි සම්බන්ධ වුණා. එහිදී අපි අපේ අදහස ඉදිරිපත් කළා.

ජවිපෙ, 19 වන සංශෝධනය පිළිබඳ සර්ව අසුබවාදී නොවුණට, ජාතික හෙළ උරුමය නම්, ඊට දැඩි විරෝධයක් දක්වනවා. මෙය පරාජයට පත්කරන බව ඔවුන් කියනවා. හෙළ උරුමයේ එම විරෝධය ජවිපෙ දකින්නේ මොන විදිහට ද?

ඒක මේ ප්‍රශ්න පිළිබඳව ඔවුන් දකින ප්‍රතිපත්තිමය ආකාරය. මොකක්ද ඒ ප්‍රතිපත්තිය? ඒක දෙබිඩි ප්‍රතිපත්තියක්. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑමින් විධායක ජනාධිපතිවරයා සතුව තිබු බලතල ස්වාධීන කොමිෂන් සභාවලට පැවැරීමට ගෙනා වැදගත් සංශෝධනයට පවා එදා ජාතික හෙළ උරුමය, සහාය ලබා දුන්නේ නැහැ.

ඊළඟට විධායක ජනාධිපති ධුරයේ ධුර කාලය වැඩිකර ගනිමින් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර ඒකාධිපතිත්වයක් මේ රටේ තහවුරු කළ 18 වැනි සංශෝධනයට ඔවුන් ඉතාමත් භක්තිමත්ව සහාය ලබා දුන්නා. ඒ විදිහට ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිපත්තිය හරි පැහැදිලියි. විශේෂයෙන්ම පුදුම වීමට තරම් කිසි දෙයක් මෙතැන නැහැ. චම්පික රණවක ඔත්තේ අගයක් තියෙන ව්‍යවස්ථා සංශෝධනවලට ඡන්දේ දෙන්නේ නැතුව ඉරට්ටේ අගයක් තියෙන සංශෝධනවලට පමණක් ඡන්දේ දෙනවා ය කියලා සමහරු අද කියනවා.

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරන එකටත් අකමැතිනම් හෙළ උරුමය මොකක්ද කියන්නෙ? හෙළ උරුමය මේ කරන්න හදන්නේ පරණ යක්කු කරේ තියාගෙන යන්නයි. ඒ එක්කම මේ ව්‍යවස්ථා සංශෝධනය පරදවනවා ය කියලා කියන කථාවත් හරිම විහිළුවක්. ඔවුන්ට පාර්ලිමේන්තුවේ තියෙන්නේ ඡන්ද දෙකයි. ඡන්ද දෙකක් තියාගෙන 19 පරද්දන්නේ කොහොමද කියලා චම්පික රණවක මහත්තයා රටට අනාවරණය කළ යුතුයි.

anuraජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිය හොඳ දේට විරුද්ධ වීම කියල ද ඔබ කියන්නෙ?

ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු දෙයක්. නමුත් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයක් පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිපත්තිය නිතරම නිර්මාණය වෙන්නේ සමාජයේ ඇති පොදු උවමනාවට ප්‍රතිපක්ෂව බව බැලු බැල්මට පෙනෙන්නට තියෙනවා.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධව මේ මොහොතේ රට තුළ ගොඩනැගී ඇති සංවාදයට ජවිපෙ මැදිහත් වෙන්නේ මොන විදිහට ද?

මෙහෙමයි. සමානුපාතික නියෝජන ක්‍රමය හරහා අපේ රටේ ජනතාවගේ මතය සාධාරණව පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමක් සිදු වෙනවා ය කියන එක මම විතරක් නෙවෙයි ගොඩ දෙනෙක් පිළිගන්නවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මැතිවරණ කොමසාරිස්වරයා‍ත් එය පිළිගත්තා. නමුත් මෙතැන ගැටලු දෙකක් තියෙනවා. එකක් මනාප ක්‍රමය. ඇත්තටම මැතිවරණයකදී පක්ෂ - පක්ෂ අතර ගැටුම භයානකයි.

ඒක රටක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක්. තව පක්ෂයකට මැතිවරණ ව්‍යාපාරයේ යෙදීමට ඉඩ නොදී මර්දනය, ප්‍රහාර එල්ල කරනවානම්, එය බරපතළයි. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් මනාප ක්‍රමය හරහා පක්ෂ - පක්ෂ අතර ගැටුමකට වඩා එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර බරපතළ තත්ත්වයන් නිර්මාණය කරනවා. ඒ කියන්නේ ඒක පක්ෂයක විනය පිළිබඳ ප්‍රශ්නයක්. පක්ෂයක විනය පිළිබඳ ප්‍රශ්නයකට ඡන්ද ක්‍රමයක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට මේ ක්‍රමය හරහා ආසනයට වග කියන මන්ත්‍රීවරු බිහි නොවන බව කියමින් සමහරු තර්කයක් ඉදිරිපත් කරනවා.

ඒකත් ඒ වගේම විහිළු තර්කයක්. දැන් මන්ත්‍රීවරු හිටපු තැන්වල මොකද වුණේ? මන්ත්‍රීවරයාගේ ප්‍රධාන ව්‍යාපාරය කුඩු නම් ඒ ආසනය කුඩුවලින් වෙළී ගොස් තිබුණා. කැලණිය ආසනය කප්පම්වලින් බලහත්කාරයෙන් පිරී තියෙනවා නම් එසේ වී ඇත්තේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ ස්වභාවය නිසයි. ඒ පළාත්වල වැඩිපුර ගංජා තියෙනවානම් ඔහු ගංජා වවන මන්ත්‍රීවරයෙක් බවට පත්වෙනවා. ඒ විදිහට මන්ත්‍රීවරු හිටපු තැන් කොහොමද? නැති තැන් කොහොමද කියලා කල්පනා කර බැලිය යුතුයි.

පවතන සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ ආසනයකට නිශ්චිත ලෙස මන්ත්‍රීවරු තෝරාපත් නොවුණට නාමමාත්‍රිකව තමන්ගේ ආසනයේ මන්ත්‍රීවරයා කවුද කියලා ඇහුවොත් ඕනෑම කෙනෙක් ඒක දන්නවා. ඒ කොහොම වුණත් දැන් මේකට විරුද්ධව කිසිඳු පදනමක් නොමැති විරෝධයක් එල්ල වෙමින් තියෙනවා. මේ මැතිවරණ ක්‍රමය අවුරුදු 30 ක් පැරැණියි, ඒ නිසා අලුත් ක්‍රමයකට යා යුතුයි කියලා සමහරු කියනවා. මිශ්‍ර ක්‍රමය වගේ යෝජනා එතැනදි ඉදිරිපත්ව සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙනවා. මෙතැනදි අපි යෝජනා කරන්නේ දිනන කෙනාගේත් පරදින කෙනාගේත් හැම ඡන්දෙකටම සාධාරණ වටිනාකමක් හිමිවිය යුතුයි කියලයි. නමුත් දැන් යෝජනා වෙමින්

තියෙන ඡන්ද ක්‍රමවල දිනන කෙනාගේ ඡන්දයට, පරදින කෙනාගේ ඡන්දය වගේ දෙගුණයක බලයක් ලැබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක්. ඒ නිසා අලුත් ඡන්ද ක්‍රමයකදී අපේ රටේ ජන සංයුතිය විසිරී ඇති ආකාරය, දේශපාලන ව්‍යාපාරවල දෘෂ්ටින් බෙදී ඇති ආකාරය ඒ ඒ දේශපාලන ව්‍යාපාර පදනම් වී ඇති ඒකකයන්ගේ ස්වභාවය ආදි කරුණු කාරණා රැසක් පිළිබඳව සංවේදී වීම වැදගත්. උදාහරණයක් විදිහට දෙමළ ජාතික සංවිධානය වගේ පක්ෂයක් ගත්තට පස්සේ ජාතික වශයෙන් පැතිර නැහැ.

ඒ තුළ තියෙන්නේ ප්‍රාදේශීය මුහුණුවරක්. එවැනි පක්ෂයකට පවා අලුත් ඡන්ද ක්‍රමයකින්, සාධාරණය ඉටුවෙන්නේ කොහොම ද කියලා අපි බැලිය යුතුයි. ඒ සියලු දේශපාලන දහරාවන්ට පාර්ලිමේන්තුව තුළ සාධාරණ නියෝජනයක් හැදෙන්නට ඉඩ නොදුන්නොත් අනිවාර්යයෙන්ම ඒක වෙන ආකාරයකට පුපුරා යෑමේ අවදානම තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය සමාජ විද්‍යාත්මක ලෙසත් ගණිතමය ලෙසත් සාකච්ඡාවට බඳුන් විය යුතුයි.

ඔබ, ඔය යෝජනා කරන්නේ දීර්ඝ කාලීන ක්‍රියාවලියක්...

පැහැදිලිවම. ඡන්ද ක්‍රමයක් වෙනස් කිරීම ආප්ප බානවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මැතිවරණ කොමසාරිස්වරයා කී විදිහටම ලෝකයේ කිසිම තැනක ඡන්ද ක්‍රමය වෙනස් කර අවුරුද්දක් ගතවන තෙක් ඡන්දයක් තියලා නැහැ. මැතිවරණයකදී තමන්ගේ ඡන්දයකට වටිනාකමක් ලැබෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඡන්දදායකයන්ට අයිතියක් තියෙනවා. මේ සමානුපාතික ඡන්ද ක්‍රමය ගැන මොනතරම් කාලයක් එහෙම ඉගැන්නුව ද? ඒ නිසා සාකච්ඡා කර රටට ගැළපෙන හොඳ ඡන්ද ක්‍රමයක් සකස් කර ගන්න දීර්ඝ කාලයක් ගතවෙනවා වගේම, ඒ සකස් කරගත් ක්‍රමය ජනතාවට ඒත්තු ගන්වන්නත් සැලකිය යුතු කාලයක් යනවා.

ඔබ, ඔය කියන විදිහට ඊළඟට එන මහ ඡන්දේ තියන්න වෙන්නේ පරණ ක්‍රමයට?

මෙතැනදි අපි යථාර්ථවාදී වීම වැදගත්. මේ ඡන්දෙ අපි තියෙන ඡන්ද ක්‍රමයට යමු. මේ කාලය තුළ අපි අලුත් ඡන්ද ක්‍රමයක් සම්මත කරගමු. ඒ ඡන්ද ක්‍රමයෙන් අපි ඊළඟ ඡන්දෙට යමු කියන තැන ජවිපෙ ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම ව්‍යවස්ථාවෙන් ඉවත් කළත් අන්තර් කාලීන වශයෙන් දැනට ධුරයේ සිටින ජනාධිපතිවරයා තවදුරටත් සිටිනවා. ඒ විදිහටම ඡන්ද ක්‍රමය අපි සම්මත කරගත්තත් මීළඟ මහ මැතිවරණයෙන් පසු රටේ ජනතාවට ඒ පිළිබඳ අධ්‍යාපනිකව දැනුම්වත් කර ඊළඟට තියෙන ඡන්දයකට ඒ ක්‍රමයෙන් යමු කියන තැන අපි ඉන්නවා. වඩාත් සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී වගේම යථාර්ථවාදී යෝජනාව ඒකයි.

ඔබෙ ඔය යෝජනාවට යූඇන්පිය කෙසේ වෙතත් ශ්‍රීලනිපය කැමැති වෙයි ද?

කාටවත් තියෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව මත ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු නැහැ. මේ, මා කියන තර්කය සමාජයට පිළිගන්න බැරි ඇයි? පිළිගන්වන්න බැරි ඇයි? මේක ඉතාමත්ම සාධාරණ යුක්තිසහගත, ප්‍රජාතන්ත්‍රවාදී අදහසක්. ඇමැතිකම් දීලා, එහෙම නැත්නම් ජීප් එකයි කැබ් එකයි තෙලුයි ඩ්‍රයිවර්ලයි ආදි වශයෙන් කප්පම් දීලා මේ යෝජනාවට අනුමැතිය ලබාගත යුතු නැහැ.

මෙතැනදි මේ ප්‍රතිසංස්කරණ රටටත් ජනතාවටත් හිතකරයි කියමින් අපි ප්‍රබල සමාජ මතයක් නිර්මාණය කිරීම වැදගත්. ඒ හිතකර ප්‍රතිසංස්කරණවලට අත ඉස්සීමට කප්පම් ඉල්ලීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. මහා සමාජ මතයක් ගොඩනඟමින් ඒ හරහා ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියාවලිය ගෙන ආ යුතුව තිබුණත් අවාසනාවකට ඇමැති ධුර ලබා දෙමින්, අනෙකුත් වරදාන වරප්‍රසාද ලබා දෙමින් ඒ ගනුදෙනුව බේරාගැනීමේ ක්‍රියාවලියකට වත්මන් පාලනය ගමන් කරමින් සිටිනවා. මේක හරිම කනගාටුදායකයි.

මේ පාලන වෙනස සිදුවීමෙන් පසු පසුගිය සමයේ දූෂණ වංචාවන්හි නිරත වූ දූෂිතයන්, වංචනිකයන්ට එරෙහිව ජවිපෙ කිසියම් මැදිහත් වීමක් කරනවා රට දැක්කා. නමුත් ඒ ගහපු විසිල්වල හැටියට බල්ටි නම් නැහැ නේද?

මෙහෙමයි, අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවටත් ඒ වගේම අලුතින් පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයටත්, බරපතළ චෝදනා රැසක් පිළිබඳව ඉතාමත් සාක්ෂි සහිතව ඉදිරිපත් කර තියෙනවා.

ඒ ගැන යම් පරීක්ෂණ සිදුවෙමින් තියෙන බවත් පෙනෙන්නට තියෙනවා. ඒත් අවසන් තීරණයක් ගැනීම පිළිබඳව මන්දෝත්සාහී බවක් පෙනෙන්නට තියෙනවා. වර්තමානයේ අපි ඉදිරිපත් කර තියෙන පැමිණිලිවලට අදාළ පරීක්ෂණ පිළිබඳව එම නිලධාරින්ම අපිට ලබා දී තියෙන තොරතුරුවලට අනුව, ඉදිරි සති දෙක තුළ කිසිවකු හෝ අත්අඩංගුවට ගැනීමට සමත්වුණේ නැත්නම්, පැහැදිලි ලෙසම එය අග්‍රාමාත්‍යවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා සිදුවන්නක්. එහෙම නැත්නම් නිශ්චිත ලෙස ඒ දේ සිදුවිය යුතුයි. මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු.

ප්‍රධාන දහරාවේ දේශපාලන නායකයෙක්; හැටියට මේ මොහොතේ ශ්‍රීලනිපය තුළ සිදුවෙමින් තියෙන දේවල් ගැන ඔබ මොකද කියන්නෙ?

පළමු කොටම, ශ්‍රීලනිපය යළි හදාගත යුතුයි. ශ්‍රීලනිපයට යම් ගුණාංගයක් අනන්‍යතාවක් තිබුණානම් රාජපක්ෂ පාලනය නිසා ඒ සියල්ල මුළුමනින්ම විනාශ වී තියෙනවා. ශ්‍රීලනිපය නිසි තැන ස්ථානගත කරගනිමින් සුදුසු කණ්ඩායමක් තෝරාපත් කර ගැනීමේ අභියෝගය එහි වත්මන් නායකත්වයට තියෙනවා.

පවතින සන්දර්හය ඇතුළේ මහින්ද රාජපක්ෂ මහතාගේ භූමිකාව මොකක්ද?

ඔහු, අවුරුදු නවයක් රට පාලනය කළා. ඔහු හා සුමනදාස එක්ව මැතිවරණයක් කැඳවලා, ඒ ජනවරමින්, පරාජයට පත්වුණ පසු තමන් ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරමය නායකයෙක් නම් ඔහු විශ්‍රාම සුවයෙන් සිටිය යුතුයි. නමුත් ඒ වෙනුවට ඔහු කෙතරම් බල පිපාසයකින් පෙළෙනව ද කියලා රාජපක්ෂ මහත්තයාගේ මෑත කාලීන රංගනයන්ගෙන් තේරුම් ගන්න පුළුවන්.

ඔහු ජනාධිපති ධුරයෙන් පැරදුණාට පස්සේ අගමැති ධුරයට තරග වදිනවා. අගමැති ධුරයෙන් පැරදුණාට පස්සේ මහ ඇමැති ධුරයට තරග වදිනවා. එතැනින් පැරදුණාට පස්සේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තරග වදිනවා. ඒකෙනුත් පැරදුණාට පස්සේ බෙලිඅත්තේ සමූපකාර ඡන්දෙට තරග කරනවා. ඔහු කළ යුත්තේ ඒක ද?

හිටපු ජනාධිපතිවරයාට දේශපාලනය කරන්න අයිතියක් නැහැ කියල ද ජවිපෙ කියන්නෙ?

ඔහුට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. ඒක ඔහුගේ අයිතියක්. නමුත් ඔහු දේශපාලනයට රැගෙන ආ යුත්තේ ජාතිවාදය නෙමෙයි. ජාතිවාදී මඩගොහොරුවක් තුළ තම දේශපාලන ප්‍රවණතාව ගොඩනඟා ගැනීමට ඔහු උත්සාහ කරමින් ඉන්නවා.

ඒ වෙනුවට අපි රාජපක්ෂට කියන්නේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකළේ කොහොම ද? ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොම ද? ඔබ ආර්ථිකය හැදුවේ කොහොම ද? ඉදිරියේදී ආර්ථිකය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොම ද? එදා විදේශ ප්‍රතිපත්තිය කොහොම ද? ඔබේ අනාගත විදෙස් ප්‍රතිපත්තිය මොකක්ද? වංචා, දූෂණවලට දඬුවම් දීම වැළැක්වීම කෙසේ ද අනාගතයේ වළක්වන්නේ කෙසේ ද? එහෙම දේශපාලන සටන්පාඨ කරපින්නාගෙන අවශ්‍යනම් දේශපාලනයට එන්න කියලා අපි රාජපක්ෂට කියනවා.

මේකට මට කෙටි උත්තරයක් දෙන්න, ජවිපෙට මහින්ද ගැන තියෙන්නේ බයක් ද? දුකක් ද?

ජවිපෙ කියන්නේ කිසිවකුට, බියවැද්දවිය හැකි දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. රාජපක්ෂ පාලනය විසින් මුළුමනින්ම සමාජය බියවද්දවා නිර්වින්දනය කර තිබු මොහොතක ඒ සමාජය අවදි කිරීම වෙනුවෙන් වැඩකළ මිනිස්සු අපි.

ඒ නිසා ඔහු ගැන කිසිම බයක් අපිට නැහැ. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ජාතික සමඟිය ගොඩනැගීමට, ඔහුට ඉතාමත් අනඟි ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා. නමුත් ඒක ඔහු අපතේ හැරියා. අපතේ හැරියා විතරක් නෙමෙයි යළි ජාතිවාදී මඩ ගොහොරුවේ ලගින්න ඔහු නින්දිත උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. ඒ ගැන, අපිට තියෙන්නේ දැඩි කනගාටුවක්.

සංවාද සටහන චාමර ලක්ෂාන් කුමාර
ඡායාරූප - සුදම් ගුණසිංහ

silumina

Last modified on Saturday, 28 March 2015 14:02

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us