ඊනියා ආගම් සහ සංස්කෘතිකවාදයේ ඇතුළුවත ‘‘විකිණී අහවරයි’’

Published in කලා
Thursday, 18 June 2015 12:41

ප්‍රවිෂ්ටය

මිනිස් ජීවීන් වහලූන් ලෙස යොදා ගනිමින් ලෝකයේ උසස් නිර්මාණ කළ බවට සාක්ෂි අපමණ ය. ඒ ආකාරයෙන් වහලූන්ගේ සේවය ලබාගැනීම මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා වූ ඇරිස්ටෝටල් ද අනුමත කොට ඇති බව ඉතිහාසයේ ලියැවී ඇත.

එකල වහලූන් ලෙස මිනිස් ජීවීන් යොදාගැනීමේ දී ගැහැනු පිරිමි භේදයක් ද නොතිබිණි. විශේෂයෙන් ම කාන්තාවන් යොදාගත්තේ ලිංගික වහලියන් ලෙසිනි. එහි දී සුරූපී කාන්තාවන් පැහැරගෙන විත් ප්‍රභූ පන්තියට අලෙවි කිරීම සිදුවිය. මෙසේ සිදු වූයේ ක්‍රිස්තු පූර්ව 500 දී පමණ ය.

වහල් ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේ දී හමුවන ඛේදජනකම සිද්ධිය වන්නේ ක්‍රිස්තු පූර්ව 71 දී ස්පාටකස් නම් වහලා විසින් මෙහෙයවන ලද වහල් භාවයට එරෙහි සටනේ දී වහලූන් 60,000ක් පමණ ඝාතනය වීම ය.

කෙසේ වුව ද මිනිසා දියුණුව කරා ඇදි යාමේ දී ක්‍රම ක්‍රමයෙන් වහල් සේවයේ ක්‍රෑරත්වය වටහාගත් අතර එය අහෝසි කිරීම සඳහා අණ පනත් ද සම්මත කරගත්හ. එහි දී ඇමරිකානු ජාතික තෝමස් පේන්ගේ නම අමතක කළ නොහැකි ය. ඔහු ඇරඹූ එකී සද්කාර්යය එතැන් සිට ඉදිරියට ගෙන ගියේ ඒබ්‍රහම් ලින්කන් බව ඉතිහාසයේ සටහන්ව ඇත.

ශෝචනීය අන්දරයක ඇරඹුම
වහල් වෙළෙඳාම පිළිබඳ කෙටි සටහනක් තබන්නට නිමිති වූයේ 18වන සියවසේ දී වහල් වෙළෙඳාම සහ වහල් සේවය අහොසි කරන්නට ලොව දියුණු රටවල් ක්‍රියා කරද්දී විසිවන සියවසේ දී ද වහලියන් ලෙස කාන්තාවන් භාවිතා කරන්නට පෙලඹුණු ශෝචනීය සිද්ධි වාර්තා වී ඇති බැවිනි. විශේෂයෙන් ම තමන් ගේ විවාහක බිරිඳ ලෙස ලොවට ප්‍රදර්ශනය කරමින් එම ළාබාල කාන්තාවන් ළමා කාන්තා වහලියන් ලෙස භාවිතා කිරීම පිළිබඳව ලැබී ඇති වාර්තාවලිනි.

කෘතහස්ත පරිවර්තකයකු වන මනෝ ප්‍රනාන්දු ගේ නවතම පරිවර්තන කෘතිය වන ‘‘විකිණී අහවරයි’’ නමැති කෘතියේ අන්තර්ගතවන්නේ ද මෙබඳු ශෝචනීය ඉරණමකට බඳුන් වූ අක්ක නගෝ දෙදෙනකුගේ ශෝකාලාපයකි.

මෙම කෘතිය සාහිත්‍යය කෘතියක් ලෙස රසවිඳිය නොහැකි වුව ද මෙහි ප‍්‍රධාන චරිතද්වය වන සානා සහ නාඩියා යන සොහොයුරියන් දෙදෙනා විඳින්නා වූ කර්ශක ජීවිතය ඉතාමත් ශෝචනීය ය; සතුරකුට හෝ එවන් ඉරණමක් අත් නොවේවායි පතන්නට තරම් ශෝචනීය ය.

නිවැරැදිකරුවෝ වැරැදිකරුවෝ ලෙස
වුවමනාවෙන් සොරකම් කරන්නෝ සහ දුටු විගස හටගන්නා තෘෂ්ණාවෙන් සොරකම් කරන්නෝ ද ලොව වුවමනා තරම් සිටිති. එහෙත් යම් භාණ්ඩයක් වෙත ආශක්ත වී එය අතගෑ පමණින් එකී භාණ්ඩය සොරකම් කළා යැයි චෝදනා කර අධිකරණයේ දී වරදකරුවකු හෝ වරදකාරියක වුවහොත් මම, ඔබ හෝ වෙනත් ඕනෑම පුද්ගලයකු කුමනාකාරයේ මානසික ව්‍යාකූලත්වයකට පත්වේ ද? සැබැවින් ම එය සිතීම පවා ඉතා දුෂ්කර ය. මෙම කෘතියේ ප‍්‍රධාන චරිතද්වය වන සානා, නාඩියා සහ ඇගේ මව පත්වන්නේ ද එබඳු දුෂ්කරතාවයකට ය. යුක්තිය, සාධාරණත්වය සහ නීතිය යන ත්‍රෛ පාර්ශවය මිනිස් ජිවිතය කෙරෙහි කෙතරම් ඍණාත්මක අන්දමින් බලපවත්වනවාද යන්න (19වන පිටුව වෙත අවධානය යොමු කරන්න) කෘතිය ආරම්භයේ දීම කතුවරයා ඉඟි කර ඇත.

සානා සහ නාඩියා යන බාල වයස්කාර දියණියන් දෙනොගේ ජිවිතය සමග සෙල්ලම් කරන්නේ වෙන කිසිවකු නොව ඔවුන් දෙදෙනාගේ ම පියා වීම කෙතරම් ඛේද ජනක ද? ඉහත සඳහන් ආකාරයේ බොරු චෝදනාවක් මත ඒ තිදෙනා අධිකරණය හමුවේ වරදකරුවන් වු විට මේ පියා ද තම දියණිය වන නාඩියා හෙරක යැයි ලේබල් කරයි. එය ඉස්සාගේ ඔළුවේ අසූචි තබාගෙන ‘‘මම සුදනා... මම සුදන’’ යැයි කිවා හා සමානය.

නාඩියා සිය දුක්ඛ දෝමනස්සයන් හෙළිදරව් කළ පසු කතුවරිය සිය ලේඛනයේ එය මෙසේ විදාරණය කරන්නී ය.

‘‘මගේ පියා නාඩියා හෙරියක යැයි ලේබල් අලවා ‘බොරු කලබලයක්’ කරනු ලැබූ නමුත් පසුව මා සොයාගත් පරිදි පියාගේ පවුලේ උදවිය පියා සලකන්නේ ‘නොම්ර එකේ සොරකු’ හා ‘වංචාකාරයකු’ ලෙසට ය.’’
පිටුව 20

උඩින් ඔපේ යටින් හපේ
දියුණු යැයි අපි විශ්වාස කරන ඇතැම් රටවල්වල අභ්‍යන්තරය කෙතරම් ජුගුප්සාජනක ද යන්න මෙම කෘතියේ දි සාකච්ඡා කෙරේ. ඇය සිය මවුබිම වූ එංගලන්තයේ සිට යේමනය දක්වා ගමන් කරද්දී සිරියාවට පැමිණ එහි ගුවන් තොටුපළ විවේකාගාරයට ගිය පසු මුහුණපාන ජුගුප්සා ජනක සිද්ධිය මෙය මැනවින් ප‍්‍රකට කරයි.

මෙහි කථකාවිය සිය ජීවන පවත හෙළිකිරීමේ දී තමන් අත්විඳි සියලූ දුක්ඛ දොමනස්සයන් නොපැකිළිව ප‍්‍රකාශ කරන්නී ය. ඇය සිරියානු ගුවන්තොටුපළට ගොඩබැසීමෙන් අනතුරුව එහි විවේකාගාර වැසිකිළිය දුටු සැනින් ඇතිවන පිළිකුල හේතුවෙන් එතෙක් ඇය පෙළුෑ ශාරීරික අවශ්‍යතාවය ද අහෝසි වෙයි. (35, 36 පිටු වෙත අවධානය යොමු කරන්න) එය එතරම්ම ජුගුප්සාජනක ය.

සංස්කෘතික බිල්ලා
මුස්ලිම් හෙවත් අරාබි කාන්තාවන් මතු නොව පිරිමින් පවා සම්පූර්ණ ශරීරය වැසෙන සේ ඇඳුම් අඳින්නට පෙළඹුණේ අරාබිකරයේ තිබූ දුහුවිලි මුසු පරිසරයෙන් ආරක්ෂා වීම පිණිස ය. නමුත් පසු කාලයක දී එය සංස්කෘතිකාංගයක් දක්වා වර්ධනය විය. එකී සංස්කෘතිකාංගයෙන් ද පීඩාවට පත්වූයේ කාන්තා පාර්ශවය යි. කාන්තාව කෙරෙහි පිරිමියා ද පිරිමියා කෙරෙහි කාන්තාව ද ආශක්ත වීම ස්වභාවික ය. එහෙත් මුස්ලිම් සංස්කෘතියට අනුව කාන්තාව පිරිමියා ඉදිරියේ සමස්ත ශරීරය ම ආවරණය කරගෙන සිටිය යුතු ය. මෙය කෙතරම් වංචාසහගත ක‍්‍රියාවක් ද යන්න මෙම කොටසින් මනාව පිළිබිමු වන්නේ ය.

‘‘කාන්තාවෝ තම නිවෙස්වල හෝ ගම්මානවල සිටිය දී මුහුණ සහ අතපය ආවරණය නොකොට සිටිති. එමෙන්ම කොණ්ඩය, කොණ්ඩ කරලක් සේ කරලේන්සුවෙන් පිටතට සරසා ගැනීමට අවසර ඇත. එහෙත් ඔවුහු වෙනත් ගම්මානයකට යන විට දී හෝ පාරක් ඔස්සේ ගමන් කරන විට දී පිරිමින් දකින බැවින් තම මුළු මුහුණ ම පරදාව මගින් ආවරණය කොට ගනිති.’’
පිටුව 51

මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ශරීරය ආවරණය කර ගත යුතුය යන දැඩි මතය පුපුරුවා සුනුවිසුනු කර දැමීමකි;ඊනියා සංස්කෘතික බැමි කඩා බිඳ දැමීමකි. එහෙත් ගැහැනිය ගේ ඉරණම වෙනස් කරන්නට මෙවැනි ප‍්‍රහාර කිසිසේතත් ම ප‍්‍රමාණවත් නොවන බව ‘‘විකිණී අවසානයි’’ කෘතිය මැනවින් ප‍්‍රකට කර ඇත.

නීතිගත වූ ස්ත්‍රී දූෂණය
ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව නම් විවාහක බිරිඳ සමග වුව ද ඇගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත‍්‍රී දූෂණයකි. නාඩියා ගේ සහ සානා ගේ කතන්දරයට අනුව ඔවුන් ලිංගික සංසර්ගය සඳහා යොදවාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. මන්ද යත් මේ දෙදෙනාම තම තමන්ගේ පුරුෂයන් යැයි නම් කළ අය (අබ්දුල්ලා සහ මොහොමඩ්) සමග පිටත්වන විට ඔවුන් තමන්ගේ සුවාමිපුරුෂයා බව නොදැන සිටියහ. ඔවුන් දෙදෙනා ම අදාළ පුරුෂයන් විසින් විවාහ කරගන්නා ලද්දේ හොර රහසේ ය. එය කිසිසේත් ම නීත්‍යානුකූල විවාහයක් නොවන්නේ ය. එසේ නම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විවාහ කරගත් කාන්තාවක් බලහත්කාරයෙන් ලිංගික සංසර්ගය සඳහා යොමු කරවා ගැනීම කෙතරම් බරපතල අපරාධයක් ද? එහෙත් එය යේමනයේ තඹයකට මායිම් නොකරන බව පහත ප‍්‍රකාශයෙන් විද්‍යාමාන වේ.

‘‘... මෙහි නීතිය අනුව භාර්යාව ස්වාමි පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වන්නේ ය. ඒ අයිතිය පිරිමින් සතුව තිබුණේ ය. එකී යේමන සමාජය තුළ පිරිමියා සැම වෙලේ ම නිවැරදි වන අතර, කැමති දෙයක් කිරීමට ද නිදහස ඇත.’’
පිටුව 69

යේමනයේ දී ගැහැනිය මෙතරම් පීඩාවට පත්වන්නේ එම රටේ සම්මත වී ඇති අමාණුෂික නීති පද්ධතිය ද දැඩි ලෙස බලපාන්නේ ය. එ’රටේ පිරිමියකුට අත්විය හැකි අභාග්‍යසම්පන්න ම සිද්ධිය පිළිබඳ කථකාවිය මෙසේ පවසන්නී ය.

‘‘යේමනයේ දී පිරිමියකුට සිදුවිය හැකි අභාග්‍යසම්පන්න විපත්තිය වන්නේ විවාහ නොවිම යි. එවිට අවිවාහක ගැහැනු ළමයකු ස්පර්ශ කිරීම පවා තහනම් වන්නේ ය. එසේ කොට අසුවුවහොත් වැඩිහිටියන් විසින් ගල් ගසා ඔහු ඝාතනය කරනු ලැබේ’’
පිටුව 80

එහෙත් මෙහි ගැටලූව මෙය නොවේ. රැකියා හිඟයෙන් පෙළෙන යේමන වැසියෝ බොහොමයක් තම මවු රට අතැර ගොස් වෙනත් මැදපෙරදිග රටවල්වල සේවයේ යෙදෙති. එහෙත් ඔවුන් වඩාත් ප‍්‍රිය කරන්නේ එංගලන්තය වැනි බටහිර රටක පුරවැසිභාවය ලබාගැනීමට ය. ඒ සඳහා පහසු ම ක‍්‍රමය වන්නේ එංගලන්ත පුරවැසිභාවය හිමි කාන්තාවක් සමග විවාහ වීම ය. අබ්දුල්ලා සහ මොහොමඩ් සානා සහ නාඩියා රවටා යේමනයට රැගෙන ඒමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ එය යි. මෙහි ඛේදජනක තත්ත්වය වන්නේ සානා සහ නාඩියා මෙකී කපටි රජවරුන්ට අලෙවි කරන්නේ ඔවුන්ගේ ම පියා වීම ය. ඔහු ඒ සියල්ල සැලසුම් කරන්නේ තම බිරිඳට ද හොර රහසේ ය.

මෙසේ සිය මවට ද රහසේ විකිණී සිටි මේ දැරියන් දෙදෙනා සතුටින් සපිරි යහපත් ජිවිතයක් ගතකරන බව ඒත්තු ගන්වන්නට අබ්දුල්ලා ගේ පියා ඉමහත් වෙසෙක් දැරීය. ඒ සියල්ල කළේ බලහත්කාරයෙනි. එය කෙතරම් අමාණුෂික ද යන්න විමසා බලමු.

‘‘අපගේ හඬ ටේප් පටියකට කවා අම්මාට යවන්න ඔහු යෝජනා කළේ ය. මින් අම්මාට සත්‍ය තත්වය දන්වා යැවීමට අවස්ථාවක් පෑදුණේ යැයි මට කල්පනා විය. එහෙත් මට වඩා අබ්දුල් කාඩා කපටි බව සිහිපත් විය. මගේ කතාව කළ යුතුව තිබුණේ පිරිමි සිටින කාමරයක් තුළ ය. එපමණක් නොව මා කිව යුත්තේ ඔවුන් කියන දේ පමණ ය.’’
පිටුව 93

බලහත්කාර ප‍්‍රකාශනයේ උත්ප‍්‍රාසය එළඹෙන්නේ අනතුරුව ය.

‘‘මගේ කතාව තුළ යේමනය කෙතරම් නම් ලස්සන රටක් ද යන්නත්, උපන් දින සාදයට බැටළුවෙකු මස් කොට සමරපු ආකාරයත් විස්තර කොට කියන්නට සිදු විය. අම්මා මගේ ව්‍යාජ කතා විශ්වාස කොට අප මුදවා ගැනීමට උනන්දු නොවනු ඇතැයි ම ටමහත් මානසික අසහනයක් ඇතිවිය.’’
පිටුව එම

මෙම සිදුවීම හුදෙක් සානා ගේ හෝ නාඩියාගේ තත්ත්වය පමණක් නොවේ. මෙය දැවැන්ත දේශපාලනික මංමුළාවකි. පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ එය කදිමට දැක ගන්නට හැකිවිය. එහි උත්ප‍්‍රාසාත්මක අවස්ථාවක් සිහිපත් කරන්නේ කිසිවකුට අපහාස කිරීමට නොව සානා සහ නාඩියා එවන් තත්ත්වයකට පත්වීම අරුමයක් නොවේ ය යන්න පැහැදිලි කිරීම සඳහා ය.

එ’සමයේ විරුද්ධ පක්ෂය නියෝජනය කළ එක් මන්ත‍්‍රීවරයෙක් ‘‘හම්බන්තොට වරායේ ගලක්... ගලක්...’’ යැයි කෑමොර දුන්නේ ය. හිටි අඩියේ ඔහු ආණඩු පක්ෂයට කරණමක් ගැසුවේ ය. එවිට අර කියූ ගල අස්ථාන ගතවිය. ඒ වන විට ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී සිටි පුද්ගලයා ගේ ග‍්‍රාමීය වහර පිළිබඳ ඉතාමත් පහත් අන්දමේ ප‍්‍රකාශ නිකුත් කළේ ය. අවසානයේ එකී පොදු අපේක්ෂකයා රටේ ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ඔහුගේ අතින් ම ආසන සංවිධායක ධුරයක් ලබාගත්තේ ය.

මිනිසුන් වශයෙන් ඉපිද, මිනිසුන් වශයෙන් ජීවත් වී මිනිසුන් වශයෙන් ම මිය යාමට නියමිතව සිටින අපි මිනිසුන්ට නොගැළපෙන ආකාරයේ ම්ලේච්ඡ කටයුතුවල යෙදෙන්නේ නම් එය මිනිස්කමට කෙතරම් නින්දාවක් ද? එහෙත් ආගමේ හෝ සංස්කෘතියේ නාමයෙන් කෙරෙනා මෙවැනි කටයුතු කවදා කෙසේ නවතාලිය හැකිද යන්න බරපතල ගැටලූවකි.

සංස්කෘතියට මුවාවෙන් මිනිස් අයිතීන් උදුරා ගැනීම
මුස්ලිම් ආගමට අනුව පිරිමින් සුන්නත් කළ යුතු ය. එනම් පුරුෂ ලිංගයේ පෙර සමෙන් සිහින් තීරුවක් කපා ඉවත් කළ යුතු ය. ලංකාව සහ වෙත් ආසියාතක රටවල්වල මෙය පිරිමියාට පමණක් සීමා වුව ද මැදපෙරදිග රටවල්වල බිලිඳියෝ ද මෙම අමානුෂික ක‍්‍රියාවට ගොදුරු වෙති. ඒ සම්බන්ධයෙන් සානාගේ අත්දැකීමක් මෙසේ විවරණය කරයි.

‘‘ගැහැනු දරුවන් සුන්නත් කරනු ලබන්නේ ගමේ සුවිශේෂී කාන්තාවක් විසිනි. සාලාමාට උපත ලත් දැරිය සුන්නත් කරන අයුරු නාඩියා බලා සිටියා ය. පසුව ඈ ඒ ක‍්‍රියාවලිය මට විස්තර කළා ය. කාන්තාවක් බිලිඳා ඔසවාගෙන සිටියා ය. පසුව පෙර කී සුවිශේෂ කාන්තාව විසින් යෝනියේ ඇති පෙති දෙක එළියට ඇද, ඉඳිකටුවෙන් එකට තියා මසනු ලැබේ. ඉක්බිතිව ඉදිරියෙන් ඉතිරිව ඇති චූටි පෙත්ත දැලි පිහියෙන් කපනු ලැබේ’’
පිටුව 127

මෙකී කාන්තා සුන්නත් කිරීම පිළිබඳ තවත් ඛේදජනක විස්තරයක් ‘‘කාන්තාරයේ කුසුම’’ කෘතියේ ද සටහන්ව තිබිණි. මෙමගින් බලාපොරොත්තු වන්නේ කාන්තාවන්ට සුරතාන්තය ලැබීම වළකාලීම යැයි මතයක් පතුරවා ඇත. එහෙත් එය අමූලික මුසාවක් බව එම කාන්තාවෝ ම පවසති.

සාධාරණීකරණය වූ අමාණුෂික සිතුවිලි
විවාහක ගැහැනියක සහ පිරිමියකු අතර කෙතරම් ගැටලූ තිබුණ ද සිය සැමියා මිය යාම පිළිබඳ තුටු වන බිරිඳක් සිටින්නේ කලාතුරකිනි. මෙම කෘතියේ ප‍්‍රධාන චරිතය වන සානා තම සැමියා කෙරෙහි තෙරම් වෛරයකින් පසුවූවා ද යන්න ඇගේ මෙම ප‍්‍රකාශය හරහා ප‍්‍රකට කෙරේ.

‘‘මම අබ්දුල්ලා ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ව අවංකව ම සතුටු වූවෙමි. මට නැවත එංගලන්තයට යාමට නිදහස ලැබෙන බැවින් මම ප‍්‍රීති වුණෙමි. කෙටියෙන් කියනවා නම්, මේ පවුකාර පුරුෂයා මිය යන්නේ නම්, ඉන් මම අතිශයින් සන්තුෂ්ටියට පත්වන්නෙමි.’’
පිටුව 132

ඇගේ පීඩනය පුපුරා යන මොහොතේ එය මෙසේ ප‍්‍රකාශ කරන්නී ය.
‘‘මට කුකුළකු මරා දෙන ලෙසට ඉල්ලීමක් කළ විට දී, මා නිරන්තරව ම සිතන්නේ, අබ්දුල් කාඩාගේ බෙල්ල කපා දමනවා යන්න යි.’’
පිටුව 136

කාන්තාවන් විසින් සිය සැමියා ඝාතනය කරන්නට පවා පෙලඹෙන්නේ තමන් වෙත එල්ලවන පීඩනය දරාගත නොහැකි වූ විට දී ය. සානාට එසේ කළ නොහැකි වුව ද ඇය සිය සැමියාගේ මරණය ප‍්‍රාර්ථනා කරන්නේ සැමියා ගේ වද හිංසා ඉවසා දරාගත නොහැකි බැවිනි. එය කෙතරම් අමාණුෂික වුව ද ඇගේ පාර්ශවයෙන් සාධරණ යැයි නොසිතෙන්නේ ද?

සංස්කෘතියට යටත්වන මිනිස් අයිතීන්
ලෝකයේ බලවත් ම රටක් වන එංලන්තය අන් රටවල්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නිරන්තරයෙන් වෙහෙසෙයි. එහෙත් ඔවුන්ට වෙනත් රටක සිරකාරියන් බවට පත්ව සිටින තම රටේ පුරවැසි දැරියන් දෙදෙනකු මුදවාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් කිරීමට සිදුවීම එක් අතකට ඛේදවාචකයකි. අනෙක් පසින් එංගලන්තය වෙනත් රටක නීති රීතිවලට ගරුකරන ආකාරය පිළිබිඹු වන්නකි.

‘‘අපට ද්විත්ව පුරවැසි බව හිමි බැවින්, යේමන ආණ්ඩුව අප යේමන පුරවැසියන් වශයෙන් සලකන බව යි. ඔවුන් ස`දහන් කළ පරිදි අපට නැවත එංගලන්තයට ඒමට හැක්කේ අපගේ සැමියන් විසින් යේමනයෙන් යන්නට අවසර දුනහොත් පමණකි. එවාට රටින් පිටවීමේ විසා ලබාගත හැකි ය.’’
පිටුව 166

වැටත් නියරත් ගොයම් කා නම්...
අසාධාරණයට ලක් වූවන්, අයුක්තියට මුහුණ පෑ පුද්ගලයන්, වින්දිතයන් යන සියල්ලෝ ම තමන්ට සාධාරණයක්, යුක්තියක් ඉෂ්ට කරගැනීම සඳහා අවසාන වශයෙන් පිහිට පතන්නේ නීතියෙනි; අධිකරණයෙනි. එහෙත් පොලිස් කොස්තාපල් ගේ සිට විනිශ්කාරවරයා දක්වා වූ සියල්ලෝ ම අල්ලස් ලබාගන්නේ නම් අයුක්තියට, අසාධාරණයට ලක්වූවන්ට කාගේ පිහිටක් ද? මෙවැනි තත්ත්වයන් ලංකාවේ නම් සුලබ ය. යේමනයේ ද එය ඒ ආකාරයම ය.

සානා ගේ සහ නාඩියා ගේ ගැලවීම උදෙසා නිතියේ පිහිට පතාගෙන ගිය මොහොතේ එම රටේ නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය මෙසේ විවරණය කෙරේ.

‘‘නඩුව විභාග කරල ඉවර වෙන්න අවුරුදු පහක් විතර යනවා. සෑම කෙනෙක් ම අල්ලස් ගන්නවා, මොක්බානාවල සොල්දාදුවා ගේ සිට නීතිඥවරු, ඊට පස්සෙ නඩුකාර උන්නාන්සේලා දක්වා අල්ලස් ගැනීම කරනවා.’’
පිටුව 212

මෙවැනි සිදුවීම් දෙස විමසිලිමත්වීමේ දී සිහිවන්නේ පසුගිය සමයේ අපේ රටේ පුද්ගලයකුට හිමි විය යුතුව තිබූ එක්සත් ජාතීන් ගේ මහලේකම් ධුරය අහිමි වූ අන්දම යි. ඒ සඳහා ඉල්ලූම් කළ සුදුසුකම් ලත් අපේ පුද්ගලයාගේ ගමනට බාධා පමුණුවා ඇත්තේ ද රටේ ප‍්‍රධාන පුරවැසියා බව දැන් සමස්ත ලෝකය ම දන්නා කරුණකි. එකී ක‍්‍රියාවලියේ දී අල්ලස් උදෙසා අපේ ප‍්‍රධාන පුරවැසියා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් පදවියට සුදුසු පුද්ගලයකු පත්කරන කමිටුව අතර සිදුවූ සිද්ධියට අනුව සානා සහ නාඩියා එවන් බරපතල ඛේදවාචකයකට මුහුණ පෑම අරුමයක් නොවේ.

හමාර කිරීම
අනන්ත දුක් පීඩාවන්ට ගොදුරු වූ සානා සහ නාඩියා ගේ ජීවිත පවත විදහා දැක්වෙන ‘‘විකිණී අවසානයි’’ කෘතිය හරහා මතුවන්නේ ලෝකය කෙතරම් ශිෂ්ටසම්පන්න වුව ද ආගම හෝ සංස්කෘතිය දඩමීමා කරගනිමින් මිනිස්කමට නිගා අත්කරදෙන මිනිසුන් තවමත් පෘථිවි තලයේ යෙහෙන් වැජඹෙන බවයි. එමෙන් ම පවතින ගෝලීයකරණ ආර්ථික රටාවට අනුගත වෙමින් එහි ගොදුරක් බවට පත්වන මිනිසා හුදු පුද්ගලිකත්වය උදෙසා තම දූ දරුවන් වුව ද අලෙවි කිරීමට පසුබට නොවන බවයි.

අරාබිකරයේ වෙසෙන අරාබි කතුන් මුහුණ පෑ ඛේද ජනක සිද්ධි අළලා ලියැවුණු කෘති කිහිපයක් ම පසුගිය වකවානුවේ සිංහල බසින් ප‍්‍රකාශයට පත්විය. එහෙත් මෙම කෘතියේ ප‍්‍රධාන චරිතද්වය එංගලන්ත පුරවැසියෝ ය. එංගලන්ත පුරවැසියන් දෙදෙනකු වන සානා සහ නාඩියා ඊනියා ආගම්වාදයට සහ සංස්කෘතිකවාදයට ගොදුරු වූ පසු ඔවුන් ඉන් මුදවා ගන්නට ලොව බලවත්ම රටක් වන එංගලන්තයට වුව ද කෙතරම් වෙහසක් ගන්නට සිදුවී ද? එහි සැබැව නම් ඒ බලවත් රටේ සියලූ අණපනත් නිශේධනය කරන්නට තරම් තවකකු ගේ ආගම සහ සංස්කෘතිය කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න ය. ආගම සහ සංස්කෘතිය භාවිතා කළ යුත්තේ මිනිසාගේ යහපත උදෙසා වුව ද මෙහි දැක්වෙන අන්දමට මේ ඊනියා ආගම්වාදීන් සහ සංස්කෘතිකවාදීන් එය යොදාගෙන ඇත්තේ හුදෙක් පුද්ගලිකත්වය උදෙසා ම පමණි. එසේ නම් එවන් ආගම්වාදීන්ට සහ සංස්කාතිකවාදීන්ට එරෙහිව නැගිසිටින්නට දැන් කාලය පැමිණ ඇත. ‘‘විකිණී අවසානයි’’ අවසන් වශයෙන් අපට පවසන්නේ එය යි.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us