කලාව වර්ධනය වුණේ සමාජ චලනයන් සමග - බන්දු මනම්පේරි

Published in කලා
Thursday, 12 March 2015 16:10

බොරැල්ල නගරය කියන්නෙ අතිශය ජනාකීර්ණ ස්ථානයක්. හැම වෙලාවෙම මිනිස්සු ගැවසෙන, වාහන නළා හඬින් වගේ ම දූෂිත වායුවෙන් අවට වසාගත්ත ස්ථානයක්. එවැනි තැනක කලා කටයුත්තක නියැළෙන්න පුළුවන්ද? යථාර්ථය නම් බැහැ තමයි. මොකද කලා නිර්මාණයක් කරන්න හිතට නිදහසක් තිබෙන්න ඕන.

පරිසරයේ නිස්කලංකභාවයක් තියෙන්න ඕන. නමුත් මේ කිසිවක් ම මායිම් නොකර, මේ මහා ඝෝසා, මැද්දෙ, කළු -දුඹරු වායු දුම්රොටු අස්සෙ කලාගාරයක් පවත්වගෙන යනව කියන්නෙ ඇත්තට ම පට්ට වැඩක්. ඒ පට්ට වැඩේ සිද්ධ වෙන්නෙ බොරැල්ලෙ සුපර්මාකට් එක ආසන්නයේ ඉන්ධන පිරවුම්හල පිටුපස පිහිටවල තියෙන තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකමුතුවට අනුබද්ධ ‘‘Red Dot’’ කලාගාරයේ.

කලාගාරයේ සාමාජික සාමාජිකාවන් පිරිස සහ තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකමුතුව තවත් වෙනස් වැඩකටත් අතගහන්න යනවා. ඒ තමයි නිරූපණ කලා ප්‍රදර්ශනයක් පැවැත්වීම. මේ සඳහා ඔවුන් තොරාගෙන තිබෙන්නෙත් බොරැල්ල මංසංධිය ම වීම තවත් විශේෂත්වයක්. මොකද නිරන්තරයෙන් ම ජනතාව ගැවසෙන ස්ථානයක මෙවැනි කාර්යයක් කිරීම අභියෝගයක්. නමුත් ඔවුන් එය අභියෝගයට නොබියව ම ඉදිරිපත්වන බව එහි කලා සහෘදයෙක් වුණ බන්දු මනම්පේරි අප වෙත පැවසුවා.



අපි පොඩ්ඩක් බන්ධුගෙ අදහස් ටික කියවමු

අපි තීර්ථ කලාකරුවන්ගේ එකතුව විදියට නම් කරන්නකො. අපිට තියෙනවා කලාගාරයක් ඒකෙ නම ‘‘රෙඩ් ඩොට්’’ මේ ආයතනයෙ ඉන්න අපි කරන්නෙ: චිත්‍ර, මූර්ති, ස්ථාපන, සහ නිරුපණාංග ඒ කියන්නෙ චිත්‍ර ශිල්පියාගෙ ශරීරය කලා භාණ්ඩයක් විදියට ඉදිරිපත් කිරීම. මේ ක්‍රියාවලිය අපි ආරම්භ කරන්නෙ මීට වසර පහළොවකට විතර ඉස්සර. ඒ අතරින් රූපණ කියන අංගය: ගොඩ්වින් කොන්ස්ටන්ටයින්, ජනනි කුරේ සම මම වසර දහයක් පමණ කාලයක් තිස්සේ මේ ඉදිරිපත්කිරීම් කරගෙන එනවා. මෙහි පළමු ඉදිරිපත්කිරිම සිද්ධවෙන්නෙ 1994. ඒ කොන්ස්ටන්ටයින්ගෙන්. ඊට කලින්... ඒ කියන්නෙ 1992 එක් අවස්ථාවක යමක් ඉදිරිපත් කරනවා. ඒක මිනිස් සිරුර භාවිතා නොකර මිනී පෙට්ටියක් යොදාගෙන ඉදිරිපත් කළ අංගයක්. නමුත් පළමු වරට කලා කලාකරුවා සහ කලාකරුවාගේ සිරුර උපයෝගි කරගන්නෙ කොන්ස්ටන්ටයින්. ඒ ‘‘බිඳුණ තල්රුක’’ නමැති ඉදිරිපත්කිරීම තුළින්.

පසු කාලයකදි මෙය ජනප්‍රියත්වයට පත්වෙනවා. මේ අතරතුර මමත් කොන්ස්ටන්ටයිනුත් ලුණුගම පැවති චිත්‍ර වැඩමුළුවකදි හමුවෙනවා. එහි දී අපි කළ අදහස් හුවමාරුවක ප්‍රතිඵලයක් විදියට මේ වැඩමුළුව ම ඉතාම දියුණු කඳවුරක් බවට පත්වෙනවා. එයම තමයි මේ වන විට මේ නිරූපණාංග කලාව බවට දියුණු වෙලා තිබෙන්නෙ. නමුත් අපිට දැනුණා චිත්‍ර ශිල්පින් අතර හෝ වෙනත් නිර්මාණ ශිල්පීන් අතර මෙම අංගය පරිශීලනය වුණේ නැහැ කියල. නමුත් යුරෝපයේ සහ ආසියාවේ මේ ක්‍රමය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මේ කලාංගය සිගප්පුරුවෙ ආරම්භ කරන්නෙ 2008 දි පමණ. ඉන්දියාව පටන්ගන්නෙත් 2009 -2010 වගේ කාලෙ. චිනයෙ වුනත් ඉතා තදබල විදියට ආරම්භ වුණේ 2004 දි පමණ. නමුත් අපි මේ කලාංගය ඇරඹුවෙ 2001 වසරෙ. ඒ වේගයෙන් ම අපිට යන්න පුළුවන් වුණානම් මේ වන විට සෑහෙන දුරක් ගිහින්.

bandu-2එවැනි ඉරණමකට මේ කලාංගය මුහුණ පාන්න හේතු වෙන්න ඇත්තෙ මොනවගේ කාරණා කියලද ඔබ හිතන්නෙ.

ඇත්තට ම අපි මෙහි හිඩස හඳුනාගන්නෙ මේ ක්‍රමය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පැතිර යද්දි. විශේෂයෙන් ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ වීමෙන් පස්සෙ. මොකද ඒ අය විතරක් නෙවෙයි ඇතැම් ආචාර්යවරුන්ටත් මේක තේරුම් ගන්න අමාරු වුණා. ඒකට හේතුව තමයි මේ පිළිබඳ දැනුමක් හෝ සාකච්ඡාවක් ලංකාවෙ නොතිබීම.

අපි දන්නව නාට්‍යය සහ අනෙකුත් රංග කලාවන්ටත් භාවිතා කරන්නෙ නළුවාගේ සහ නිළියගේ ශරීරය. නමුත් චිත්‍ර ශිල්පියාගේ ශරීරය සමාජ අවකාශයට ගිහින් ඔහුම ඒ අභියෝගය බවට පත්වෙමින් එය නිරූපණය කිරීම: ඒ කියන්නෙ තමන්ගෙ ශරීරය ම භාෂාවක් විදියට භාවිතා කිරීම, ශරීරය ම කැන්වසයක් බවට පත්කිරීම තමයි මෙම කලාංගයේ විශේෂත්වය. මෙය එක්තරා ආකාරයක අභියෝගාත්මක වැඩක්. ශිල්පියාගේ දේශපාලන අදහස්, පුද්ගලික අදහස් වගේ දේවල් එක්ක තමයි මේක ගැටගැහෙන්නෙ. නමුත් දැන් දැන් මේ සම්බන්ධයෙන් පොත්පත් ලියවෙනවා. විවිධ සාකච්ඡාවන් ඇති වෙනවා. චිත්‍ර ශිල්පියා කලාව තුළ තමන්ගෙ ශරීරය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉතිහාසයක් තිබෙනවා. අපි දන්නවා ශරීරය කියන්න ඉතාමත් චමත්කාර ජනක කලා භාණ්ඩයක්. එතනදි නිරුවත්වීම පවා කලාවක්. එතනදි කලාකරුවා ප්‍රදර්ශනය කරන්නෙ තමන්ගෙ නිරුවත නෙවෙයි. යම් කලාත්මක අදහසක්. එතනදි සමාජයෙන් විවිධ බාධක එල්ලවෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා අදාළ ඉදිරිපත්කිරීම තුළින් කියන්න යන්නෙ මොකක් ද කියල සමාජය වටහාගත යුතුයි.

ගුහා චිත්‍රෙයන් ඇරඹි සිතුවම් කලාව මේ වන විට පුද්ගල ශරීරය චිත්‍රයක් බවට පත්වන අවස්ථාවට එලඹ තිබෙනවා. ඔබ මේ විකාශනය හඳුනාගන්නේ කෙසේ ද?

කලාව මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් නොවුනට හැම සමාජයක ම මිනිස් අවශ්‍යතාවක් විදියට ඔවුන් භාවිතා කරපු රසය සහ බුද්ධියත් සමග ගනුදෙනු කළ ප්‍රවේශයක් විදියට තමයි කලාව ගමන් කරන්නෙ. මේක දැවැන්ත මිනිස් ක්‍රියාවක්. නමුත් මේ හැම ක්‍රියාවක් ම සිද්ධවෙලො තිබෙන්නෙ සමාජයට සාපේක්ෂව. කවදා කොතනක හෝ යම් සමාජ චලනයක් සිද්ධ වුණා ද... එය මිනිසුන් විසින් යම් සටහනක් විදියට, නිරූපණයක් විදියට ඉදිරිපත්කරපු අවස්ථා ඉතිහාසයේ දකින්න ලැබෙනවා.

මෙය වර්ධනය වුණා කියනවට වඩා මම අදහස් කරන්නෙ නම් ඒ ඒ අවස්ථාවන්හි දි විවිධාකාරයේ වෙනස්කම්වලට භාජනය වුණා කියල. එතනදි ගුහා චිත්‍ර ප්‍රාථමිකයි හෝ බටහිර විකාර රූපි චිත්‍ර උසස් කියල බෙදන්න බැහැ. මේක සමාජ චලනයන්වලට සාපේක්ෂව කලා භාණ්ඩ මිනිසුන් විසින් නිෂ්පාදනය කිරිමත් සමග වර්ධනය වුණු අංගයක්. අද මම බැරලයක් කරේ තබාගෙන කලාකෘතියක් ඉදිරිපත්කිරීමත් මයිකල් ආන්ජලෝගේ ‘‘ඩේවිඩ් ප්‍රතිමාව’’ත් යන දෙකේ ම විශාල වටිනාකම් තිබෙනවා. අපි වඩාත් අවධානය යොමු කරන්න ඕන මෙම කලා නිර්මාණ තුළින් නිරුපණය කරන අර්ථ මොනවාද යන්න වටහාගැනීම සඳහා යි. හොඳම උදාහරණය තමයි එංගලන්තයේ එක්තරා හුදෙකලා දූපතක තිබිල සංස්කෘතික වටිනිකමකින් යුක්ත කලාකෘති විශාල ප්‍රමාණයක් හමුවෙනවා. ඒ දූපතේ හිටපු මිනිස්සු කොහොමද මෙවැනි කලා නිර්මාණ බිහි කළේ? මොකක් ද ඔවුන්ට ඒ සඳහා තිබුණ අවශ්‍යතාවය කියන ප්‍රශ්නවලට තාමත් පිළිතුරක් ලැබිල නැහැ. ඔවුන් වැසිකිළි කැසිකිළි පෝච්චිවල පවා විශ්මිත කැටයම් නිර්මාණය කර තිබෙනවා. මෙන්න මේ නිසා අපිට මේ වර්ධනය සම්බන්ධයෙන් ඒක රේඛීය විග්‍රහයකට යන්න අමාරුයි සහ පුළුවන්කමකුත් නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ.

bandu-3ඕනැම කලා නිර්මාණයක් විඳීමේ හැකියාව පවතින්නේ කිසියම් වරප්‍රසාදිත පිරිසකට පමණයි. මම එයින් අදහස් කරන්නෙ මුදල් හෝ බලය යන අර්ථයෙන් නෙවෙයි. රසවින්දනීය වරප්‍රසාදය. එසේනම් සජීවී පුද්ගලයෙක් කලාත්මක භාණ්ඩයක් විදියට ඉදිරිපත්වීම සහ එය විඳගැනීමේ හැකියාව ලංකාවේ රසිකයා සතුව ඇති කියල ඔබ විශ්වාස කරනව ද?

ඇත්ත වශයෙන් ම නිරූපණ කලාව කියන්නෙ අලුත් ම අලුත් දෙයක් නෙවෙයි. නාට්‍ය, ජනනැටුම, ගායනය සහ සරලව ම කියනවනම් පෙරහැරේ ඉඳල කරන්නෙ මේ ඉදිරිපත්කිරීම ම තමයි. ඒ වගේම අපි උදේ අවදිවුණ වෙලාවෙ ඉඳල කුස්සියෙ, නාන කාමරයෙ, මහමග, ළමයින් සමග සෙල්ලම් කිරිම, ළමයි පාසලට රැගෙන යාම, රැකියාවට යාම, බස් රථයක එල්ලිලා යාම යනාදි සියල්ල ම Performance තමයි. නමුත් Art නෙවෙයි. එහෙනම් කොහොමද මේක කලාව බවට පත්වෙන්නෙ? කලාකරුවා සහ ඔහුගේ ඉතිහාසය වගේම ඔහු විසින් ගනුදෙනු කරන දේශපාලන අදහස් එකතු කරගනිමින් ඔහු ඉදිරිපත්කරන කෘතිය විසින් ඉදිරිපත්කරන ලද අර්ථය නිසා තමයි එය කලා නිර්මාණයක් වෙන්නෙ.

ඔහු ඉතා විශ්වාසයෙන් කියනවා මේක මගේ කලා කෘතියක් කියල. ඒ නිසා ම ඒ පුද්ගලයට කලා ඉතිහාසයේ ඉඩක් ලැබෙනවා. ඒ වගේ ම ඔහු විසින් ගොඩනගාගත් අර්ථයන් කලා නිර්මාණයක් බවට පත්වෙනවා. එවිට අපිට සිද්ධ වෙනවා ඒ නිර්මාණය කලා කෘතියක් විදියට අත්විඳින්න. ඒ පිළිබඳ විවිධ මතවාද, සංවාද ගොඩනැගෙන්න ඕන. මොකද මෙය වර්ධනය වෙන්නෙ ම සමාජ චලනයන් සමග. යුද්ධය, කාර්මික විප්ලවය, දේශපාලන විප්ලව, කාන්තා අයිතිවාසිකම්, කම්කරු අරගල යනාදි සියල්ල ම මේ කලා නිර්මාණ පිටුපස සැඟව පවතිනවා. ඉතිං අපි මේ නිර්මාණ ඉදිරිපත් කරන්නෙ මහජන අවකාශයක; මහපාරෙ. මේ අවකාශය නිරන්තරයෙන් වෙනස් වෙනවා. හිටිගමන් පිරිස් වැඩි වෙන්න පුළුවන්. අතරමගදි නරඹන එක අතඇරල තමන්ගෙ වැඩකටයුතුවලට යන්න පුළුවන්. කලාගාරයක් ඉදිරිපිට වෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ පරිභෝජනවාදි සමාජයේ කලා රසිකයා වගේ ම රසිකයකු නොවන කෙනෙක් ද මෙය නරඹන්න පුළුවන්. රසවිඳින්න පුළුවන්. අපේ කලාගාරය බවට පත්වෙන්නෙ නිදහස් පරිසරය; මහා මාර්ගය, පදික වේදිකාව.

bandu-4අවසාන වශයෙන් මට පැහැදිලි කරන්න මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද සහ එහි ආකෘතිය මොනවගේ ද කියල.

මේ මාසෙ 13 වෙනිද උදේ 10 ත් 12 ත් අතර පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කලාකරුවන්ගේ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවට ඉන්දියාවෙන් පුෂ්පමාලා, ඕස්ට්‍රේලියාවෙන් ජෙනට් මේනි, ලංකාවෙන් ගොඩ්වින් කොන්ස්ටන්ටයින්, ජගත් වීරසිංහ යන අය සහභාගි වෙනවා. ඔවුන් තම තමන්ගේ අත්දැකීම් සහ Performance පිළිබඳ න්‍යායාත්මක භාවිතාව සහ කලා ඉතිහාසයේ මේ අංගයට මොන වගේ ඉඩකඩක් ලැබිල තියෙනවද කියල සාකච්ඡා කරනවා. එහි දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයො සහ කලාකරුවො පිරිසක් සහභාගී වෙනවා. රාත්‍රි 07.00 සිට 09.00 දක්වා ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ පුදර්ශනයක් පවත්වනවා. එහි දී සිද්ධවෙන්නෙ මෙතෙක් කල් අපි විසින් ඉදිරිපත් කරන ලද Performanceවල ඡායාරූප ප්‍රදර්ශනය කිරීම. 14 සහ 15 වැඩමුළුවක් පවත්වනවා. මෙහි දී විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න සහ පිටව ගිය අයට වුනත් ඇවිත් තමන්ගෙ නිර්මාණ ඉදිරිපත්කරන්න. ඒ වැඩමුළුව පවත්වන්නෙ බොරැල්ලෙ ‘‘Red Dot’’ කලාගාරයේ. මහජන ප්‍රදර්ශනය 16 වන දින උදේ 10.00 සිට රැ 10.00 දක්වා බොරැල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ (පදිකවේදිකාව ද ඇතුළුව) මෙය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එතනදි අපි Performance 21 ක් ඉදිරිපත් කරනවා.(http://theerthaperformanceplatform.blogspot.com/)

මෙහි දී අපේ අවශ්‍යතාවය සහ කලාවේ වටිනාකම හඳුනාගෙන මේ කාර්යය කරගෙන යාමට ඉඩකඩ සලසා දුන්න බොරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමාටත්, නගරසභාවටත්, බොරැල්ල සුපිරිවෙළෙඳ සංකීර්ණයේ පරිපාලකතුමාටත් අපේ ස්තූතියත් පුදකර සිටිනවා.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Last modified on Thursday, 12 March 2015 16:21

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us