CHANGE COLOR
  • Default color
  • Brown color
  • Green color
  • Blue color
  • Red color
CHANGE LAYOUT
  • leftlayout
  • rightlayout
SET FONT SIZE
  • Increase font size
  • Default font size
  • Decrease font size
Customise your homepage

Lankadaily.com

Home

Rathanage home

E-mail Print PDF
alt

නමෝ බුද්ධාය...

"ආනන්ද සර්පයා දුටුවාද..?"

"එසේය ස්වාමීනි සර්පයා දිටිමි."

මේ එදවස බුදුරදුන් හා ආනන්ද හිමියන් අතර ඇති වූ දෙබසකි.

"අද බුදුහාමුදුරුවෝ හිටිය නම් අද ඉන්න සමහර හාමුදුරුවරු දෙන්නෙ ඔය උත්තරේ නෙමෙයි."

මගේ මුඛරි මිතුරෙක් මේ දෙබසට නව අර්ථකථනයක් එක් කළේ ය.

"ආනන්ද සර්පයා දුටුවාද..?"

"අනේ ස්වාමීනි කොහෙද ඉන්නෙ ඉක්මනට හොයලා දෙන්න."

"එහෙම කියලා සර්පයාව අත්දෙකෙන් ම අල්ලා පාත්තරේටත් දාගෙන යයි."

ප‍්‍රිය පාඨකය, බුද්ධාලම්භනයෙන් ඔදවැඩුණු ඔබ මගේ මිතුරා සමඟ උරණ වෙනු ඇත. ඔහු දුශ්ශීලයකු, පව්කාරයකු, මිෂනාරියකු, එන්ජී ඕකාරයකු ලෙස වර්ගකරන්නට ද පුළුවන. මට ද මුලින් ඔහු ගැන එසේ සිතිණි. එහෙත් බෞද්ධයන්ගේ නාමයෙන් පෙනී සිටින ඇතැම් සංවිධානත් එම සංවිධානවල චීවරධාරී ඇතැම් භික්ෂූන් වහන්සේලාත් කරන්නාවූ ක‍්‍රියාවන් නිසා මිතුරාගේ කීම 100%ක් ම සත්‍යයැයි ඔප්පුවේ.

ඉදින් මේ කියන්නට යන්නේ එවැනි තවත් කතාවකි. සැබැවින් ම මෙය සර්පයා කරේ දමා ගෙන ප‍්‍රදර්ශනයක් පැවැත්වීම බඳු කටයුත්තකි. සිදුහත් කුමරා අභිනිෂ්ක‍්‍රමණය කළේ ගිහිගෙය කලකිරුණු බැවිනි. ඒ වන විටත් ඔහු රම්‍ය සුරම්‍ය, සුබ නමින් තමන්ට ඒ ඒ සෘතුවල දී වාසය කරන්නට පියරජතුමා විසින් තනා දුන් මාළිගා ද අත්හළේ ය. එසේ රාජ මාළිගා අත්හැර පැමිණි හේ බුද්ධත්වයට පත් ව සිය මඟ යනු පිණිස භික්ෂු පරපුරක් නිර්මාණය කළේ ය.

බුද්ධ පුත‍්‍රයන් ලෙස නාමකරණයට ලක්ව සිටින ඇතැම් භික්ෂූන් එදා බුදුන් අත්හළ මාළිගා සොයමින් චාරිකා කරනු පෙනේ. දැන් කොළඹ කේන්ද්‍ර කරගත් තදාසන්න ප‍්‍රදේශවල දක්නට ලැබෙන්නේ පන්සල් නොව, මාළිගා පන්නයේ ආශ‍්‍රම ය. අසපු ය.

රාජගිරිය, ඔබේසේකරපුර, ගෝතමී උයනින් ද දැන් ඒ පන්නයේ මාළිගාවක් හමු වී තිබේ. එය නමින් "සදහම් සෙවණ"යි. "සදහම් සෙවණ" නම යටින් ඒ ගැන මෙවැනි සඳහනක් ද තිබේ. "ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය". ගෝතමී උයනේ ඉතා වටිනා භූමියක, විශාල ඉඩමක සදහම් සෙවණ දකින සැමගේ සිතට එක්වනම මතකයට නැගෙන්නේ හෝටලයක, නැතිනම් සුපිරි මන්දිරයක හැඩයකි. ඒ නිසාම අපි මේ සදහම් සෙවණ ගැන සීරුමාරුවට සොයා බැලූවෙමු. ඒ සොයා බැලීමේ දී මෙය පිටුපස දේශපාලන චරිත කිහිපයක් සිටිනු දුටුවෙමු.

සදහම් සෙවණ ව්‍යාපෘතිය වෙනුවෙන් සියලූ ලියකියවිලි සඳහා අත්සන් තබා තිබෙන්නේත් මුදල් ගනුදෙනු සිදු කර තිබෙන්නේත් අතුරලියේ රතන හිමියන් ය. අතුරලියේ රතන හිමියන් යනු ජාතික හෙළ උරුමයේ ඉදිරිපෙළේ චරිතයකි. ජාතික හෙළ උරුමය ශ‍්‍රී ලාංකීය දේශපාලනයට පිවිසෙන්නේ 2004 මහ ඡන්දය ඉලක්ක කරගෙන ය.

ධර්ම රාජ්‍යයක් බිහිකිරීම සිය පරම පිවිතුරු අරමුණ බව කියාපාමින් එදා හෙළ උරුමය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ඡන්දය ඉල්ලමින් පැමිණියහ. ධර්ම රාජ්‍යයකට පෙම් බැඳි ජනයා එසේ පැමිණි භික්ෂූන් වහන්සේලා අතරින් ටික දෙනෙකු පාර්ලිමේන්තුවට ද ඇරියේ ය.

එහෙත් පාර්ලිමේන්තුවට ගොස් ටික දිනකින් බිහිකරන්නට යන ධර්ම රාජ්‍යයේ සැබෑ නිරුවත රටට පෙනෙන්නට පටන් ගත්තේ ය. සිය දේශපාලන න්‍යායාචාරී ගිහියන් වෙනුවෙන් මන්ත‍්‍රීධුර පරිත්‍යාග කරමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූහ. හෙළ උරුමය යටතේ පාර්ලිමේන්තුවට පැමිණි ගිහියෝ ඉන්පසු ආණ්ඩුවට කඬේ යමින් ඇමැතිධුර ද ලබාගත්හ. දැන් හෙළ උරුමයට බිහිකරන්නට ගිය ධර්ම රාජ්‍ය ගැන හාංකවිසියක් මතක නැත.

අතුරලියේ රතන හිමියෝ නියෝජනය කරන්නේ ධර්ම රාජ්‍යය අමතකව ගිය එහෙව් හෙළ උරුමය ය. හොඳයි, දැන් අපි යළිත් සදහම් සෙවණ මන්දිරය වෙත යොමුවෙමු.

"උඹලාගේ පත්තරේට මන්දිර පේන්න බෑනේ."

මගේ මිතුරාට නැගුණු ප‍්‍රශ්නය ඇතැම්විට ඔබටත් දැනෙනු ඇත. ප‍්‍රිය පාඨකය, අපට මන්දිර සමග කිසිම ආරෝවක් නැත. ප‍්‍රශ්නය තිබෙන්නේ මහජනතාවගේ මුදලින් එක් එක් පුද්ගලයන්ට වැජඹෙන්නට ඉදිකරන මන්දිර ගැන ය. සදහම් සෙවණ ද මහජන මුදලින් ඉදිකළ මන්දිරයකි.

නිලවශයෙන් දැනට ඒ සඳහා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන 130කි. ලක්ෂවලින් කියන්නේ නම් ලක්ෂ 1300කි. කෝටිවලින් කියන්නේ නම් කෝටි 13 කි. අතුරලියේ රතන හිමියන් විසින් ආගමික හා සදාචාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෙත 2008-11-03 දා යවන ලද ලිපිය මඟින් ඒ බව දක්වා තිබේ.

alt

"මෙම ව්‍යාපෘතිය සඳහා 2006 වසරේ දී මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් කළ අතර ඒ අනුව මිලියන 100ක මුදලක් මුදල් අමාත්‍යංශය ලබාදෙන බවට එකඟවිය. ඒ අනුව අදියර කිහිපයකින් මුදල් ලබාදුන් අතර මෙමඟින් මූලික ඉදිකිරීම් කර ඇත. විශේෂයෙන් ම ඉදිකිරීම් කළමුත් කුඩා වැස්සකින් පවා යටවන ඉඩමක් බැවින් ඉදිකළ ගොඩනැගිලිවලින් අපේක්ෂා කළ අරමුණ ඉටුකර ගැනීමට යම් යම් බාධා පැන නැගී ඇත. ඒ අනුව බිම සංවර්ධනය කරලීමට රුපියල් මිලියන 30ක් පමණ වැයවේ යැයි ගණන් බලා ඇත. අවම වශයෙන් මේ වසරේ ආගමික කටයුතු අමාත්‍යංශය ට යොමු කළ වැය නොවූ මුදලින් මිලියන 15ක් මෙම ව්‍යාපෘතිය සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටිමි."

alt

නිල වශයෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති අතර මෙම ලිපියෙන් තවත් මුදල් ලැබෙන මාවතක් ගැන ද හෝඩුවාවක් දක්වා තිබේ. "රුපියල් මිලියන 100කට සැලසුම් කරන ලද සදහම් සෙවණ සම්පූර්ණ ව්‍යාපෘතිය පිළිබඳ බෞද්ධ රටවල තානාපතිතුමන්ලා සමග අතිගරු ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සාකච්ඡුාවක් 2006 වසරේ දී පැවැත්වුණි. මිලියන 100 ක මුල් අදියර සැකසීමෙන් පසු එම නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ."

එසේ සිදුකළ සාකච්ඡාවල ප‍්‍රතිඵල මත තානාපතිවරුන් හරහා සදහම් සෙවණට මුදල් ආධාර ලැබෙන්නට ද ඇත. ඒ පිළිබඳ නිල සාක්ෂ්‍ය අප සතුව නැති බැවින් සදහම් සෙවණේ වියදමට ඒවා ඈදා ගැනීමට උත්සාහ නොකරමු.

සදහම් සෙවණ නම් වූ නොනිල හෙළ උරුම ව්‍යාපෘතියට මහජන මුදල් ලබාදීමට ආගමික කටයුතු අමාත්‍යංශය හෝ මුදල් අමාත්‍යංශය හෝ කටයුතු කළේ මොන පුළුවන්කාරකමකට ද..?

අතුරලියේ රතන හිමියන් හෝ හෙළ උරුමය හෝ තමන්ගේ පෞද්ගලික මුදලින් හෝ පක්ෂ අරමුදලින් සදහම් සෙවණවල් 100ක් තැනුවත් කමක් නැත. එහෙත් මහජන බදු මුදලින් එකතු කරගන්නා රාජ්‍ය ආදායම් හරහා අමාත්‍යංශවලට ලබාදෙන වැය ශීර්ෂ භාවිත කරමින් මේ ආකාරයේ මන්දිර තැනීම අනුමත කළ හැක්කේ කාටද?

සදහම් සෙවණ මන්දිරයක් කියා මුල සිටම කිව්මුත් තවමත් අපි ඔබට එහි තිබෙන මන්දිර ලකුණු ඉදිරිපත් නොකළෙමු. මේ ලිපියට එ මන්දිර ලකුණු එකතු නොකළහොත් කාට හෝ මෙය නිකම්ම නිකන් පන්සලක් කියා ඇඟ බේරාගැනීමට ද හැකියාව ලැබේ. ඒ නිසා දැන් අපි සදහම් සෙවණේ මන්දිර ලකුණු හෙළිකරමු.

සදහම් සෙවණ 11වන අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු අදාළ ගොඩනැගිල්ල භාරගන්නා ලෙස 2009-04-07 දින ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා රතන හිමියන්ට ලිපියකින් දන්වා තිබේ. එම ලිපිය සමග ඇති ඇමුණුමේ ගොඩනැගිල්ලේ තිබෙන උපකරණ පිළිබඳව පූර්ණ විස්තරයක් ද දක්වා ඇත. ඒ උපකරණ දෙස බැලීමේ දී මෙය නිකම්ම නිකන් ගොඩනැගිල්ලක් හෝ ඔය කියනාකාරයේ ධර්ම ගවේෂණයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ලක් නොවන බව පැහැදිලි ය. මෙහි ඇතුළත් උපකරණ අධි සුපිරි උපකරණ ය.

විශේෂයෙන් මෙහි තිබෙන නාන කාමර කට්ටල දෙස බැලීමේ දී මේ බව මනාව ඔප්පු වේ. තරුපහේ හෝටල්වල නාන කාමරයක තිබෙන්නේ ද මේ නාන කාමර උපකරණම ය. ඒ පමණක් නොව ගොඩනැගිල්ලේ සෑම කුටියක් ම සුඛෝපභෝගී උපකරණ සහිතව සුපිරි මට්ටමින් ඉදිකර තිබේ.

සදහම් සෙවණ නමින් මේ ආකාරයේ සුපිරි මන්දිරයක් ඉදිකර හෙළ උරුමය හෝ රතන හිමියන් හෝ කරන්නට යන්නේ කුමක් ද යන්න මොහොතකට විමසා බැලිය යුතු ය. රතන හිමියෝ ලිපිලේඛනවල සටහන් කර තිබෙන පරිදි සැබැවින්ම මෙහි සිදුවන්නේ ජාත්‍යන්තර මට්ටමේ ධර්ම ගවේෂණයක් ද...?

බුදුන්වහන්සේ සිය ධර්ම චාරිකාව පුරාවට දේශනා කර තිබෙන්නේ අල්පේච්ඡතාවෙන් යුත් ජීවන ක‍්‍රමයක් ගැන ය. උන්වහන්සේ ලෞකිකයන්ට ද උපදෙස් දී තිබෙන්නේ අල්පේච්ඡ ජීවිතයකට හුරුවනු කියා ය. බුද්ධ පුත‍්‍රයන්ට එකී අල්පේච්ඡතාව වෙනුවෙන් දියත් කළ යුතු නියාමයන් පවා උන්වහන්සේ දේශනා කළ සේක. ඒවා ඉතා පැහැදිලිව විනය පිටකයේ දක්වා තිබේ. මළවුන්ව ඔතාගෙන එන රෙදිකඩක් බුද්ධ චීවරය ලෙස යොදා ගත්තේ මේ අල්පේච්ඡබවත් අනිත්‍යබවත් ඒත්තු ගැන්වීම සඳහා ය.

සැබෑ ලෙසම මෙහි ධර්ම ගවේෂණයක් සිදුවේ නම්, මේ තරම් සුඛෝපභෝගී මන්දිර ඉදිකරමින් ඒ තුළට වැද මේ පිරිස ගවේෂණය කරන්නට යන්නේ කුමන දහමක් ද..? එය ඉඳුරාම බුදුදහම නම් විය නොහැක. එසේ හෙයින් සදහම් සෙවණට මුවාවී මේ සුපිරි මන්දිරය තුළ හෙළ උරුමයේ දේශපාලන ව්‍යාපෘතියක් දියත් වේද..? නැතිනම් කාගේ හෝ වෙනයම් ව්‍යාපාරයක් දියත් වේද..? යනුවෙන් සැක මතුවීම මේ මොහොතේ වැළැක්විය නොහැක.

එහෙයින් ධර්මරාජ්‍යයක් ගොඩනගන්නට බලයට ආ හෙළ උරුමය එය අමතක කර සුපිරි මාළිගා ඉදිකරන්නේ ඇයි ද යන්න රටට පැහැදිලි කළ යුතු ය. එසේම සුපිරි මාළිගා හරහා ධර්ම රාජ්‍යයක් ඉදිකරන්නේ නම් එය මොන දහමක් පදනම් කරගෙන ද කියා ද රටට හෙළි කළ යුතු ය.

alt

alt

අසංක සායක්කාර - 2009.11.22 ලංකා ඉරිදා සංග්‍රහය