උපුල් ශාන්ත සන්නස්ගල, හීන ඇහිඳින යාළුවා

Published in Interviews
Thursday, 03 July 2014 13:49

උපුල් ශාන්ත සන්නස්ගල.........

ඊළඟට?

ඔව් ඊළඟට ලිවිය යුත්තේ කුමක්දැයි මම කල්පනා කරමි

‘‘වස්සාන සිහිනය’’

‘‘ආදරණීය වස්සානය’’‘‘ඔබ හීනයක් වගේ’’

‘‘අපේ සිංහල පන්ති’’

මගේ මතකයට පිවිසෙන කරුණු කාරණා බොහෝය. එම කරුණු කාරණා ගොන්නේ පළමුවැන්න නව කතාවකි. ජනප‍්‍රියම නව කතාවකි.

දෙවැන්න නෙත් සිත් බැඳගත් ජනප‍්‍රිය චිත‍්‍රපටියකි.

තෙවැන්න ජනප‍්‍රියත්වයේ ඉහළින්ම රැුඳුණු අදටත් අඩු නොවුණු ගීතයකි.

සිව්වැන්න උසස් පෙළ සිංහල පංතියකි.

මේ සියල්ල සමගම උපුල් ශාන්ත සන්නස්ගල නම සම්බන්ධය.

තවත් විදිහකට කියනවා නම් උපුල් නවකතාකරුවෙකි. චිත‍්‍රපට නිෂ්පාදකයෙකි. ගීත රචකයෙකි. ටියුෂන් ගුරුවරයෙකි.

මේ ගොන්නටම එකතු කළ හැකි දේවල් තවත් තිබේ. ඔහු සන්නිවේදකයෙකි. පොත් ප‍්‍රකාශකයෙකි, එසේම කිව යුත්ත කෙලින්ම කියන එහෙත් හිත හොඳ මිනිසෙකි, මිතුරෙකි.

මෙකී සියල්ල අමතක කර, උපුල් ශාන්ත සන්නස්ගල ගැන අද අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඔහු විසින් අලූතින්ම ඉදිරිපත් කරන්නට යන ගීත රසවින්දනාත්මක වැඩසටහනක් හේතුවෙනි. හීන

ඇහිඳින යාලූවෝ එම සන්නිවේදන කාර්යයයි.

ඉතින් සියල්ලටම කලින් සන්නස්ගල සමග එක්ව ගීත අහුලා ගනිමු. ඒ සඳහා මම ඔහුට ප‍්‍රශ්න කිහිපයක් යොමු කරමි.

මොකක්ද මේ හීන අහුලන කතාව?

මම මීට අවුරුදු දෙකකට කලින් එක්තරා එෆ්.එම්. නාලිකාවක ආදරෙත් එක්ක තුන්පැයක් නමින් ගීත රසවින්දන වැඩසටහනක් කළා. මේ වැඩසටහනට ශ‍්‍රාවක ප‍්‍රතිචාර රාශියක්ම ලැබුණා.

මාධ්‍යවලට ගීත නැතුවම බැහැ. ඒත් කිසිම දවසක කිසිම මාධ්‍යයක ගායකයගෙ ගීත රචකයගෙ සංගීතඥයගෙ නම් කියන්නෙ නැහැ. ගීතයක ස්වාමිත්වය දරණ මේ අයගෙ නම් නොකිව්වත් ඒ ගීතය අහන ගෙදර බල්ලගෙ බළලගෙ නම් පවා කියන්න නිවේදක නිවේදිකාවො පෙළඹිලා ඉන්නවා. බල්ලගෙ නම විතරක් නෙමෙයි ඌ කිරි බිව්වද උගෙ ඇෙඟ් කිනිතුල්ලො ඉන්නවද කියලත් නිවේදිකාවො අහනවා.

ගායකයගෙ, ගීත රචකයගෙ, සංගීතඥයගෙ නම් කියන්න තත්පර පහකට වැඩියෙ යන්නෙ නැති වුනත් ඒ නම් තුන නම් මේවයෙ කියන්නෙම නැහැ. හැබැයි ගීතයට කලිනුයි පස්සෙයි වෙළෙඳ දැන්වීම් නම් ගොඩාක් කියනවා.

මම ආදරෙත් එක්ක තුන්පැයක් කරද්දි අර ගීතයේ ස්වාමිත්වයේ නම් තුනයි ගීතය ගැන රසවින්දනාත්මක පූර්විකාවකුයි ඉදිරිපත් කළා. ඒ ආකෘතිය තවත් අලූත්කරලා තමයි හීන ඇහිඳින යාලූවෝ ඉදිරිපත් කරන්නෙ.

Upul Shantha 1

මේ විදිහට හීන අහුලන්න, ඔබ ගීත අහුලගන්නෙ කොහොමද?

කිසිම වර්ගීකරණයක් නැහැ. සම්භාව්‍යයද දෙමළද හින්දිද වගේ කිසිම වර්ගීකරණයක් නැහැ.

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අපි සමහර සිංදුවල එක වචනයක්වත් දන්නෙ නැතුව කටහඬට වශීවෙලා ඒ ගීතයට ප‍්‍රියකරනවා. සංගීතයට වශීවෙන ගීත තියෙනවා. ඒ නිසා මම තෝරාගන්නෙ හොඳ ගීත වලට වැඩියෙ රසවත් ගීත කිව්වොත් වඩාත් හරි. සමහර ගීතයක් හැත්තෑව දශකයෙ ගීතයක්. තව එකක් නූතන පරපුරේ ගීතයක්. මේ රසවත් ගීත නූතන සංගීත පරම්පරාවට ඔසොවා තැබීමටයි මං උත්සාහ කරන්නෙ.

 

අද නූතන පරම්පරාව රේඩියෝ අහනවද?

ඇයි ඒගොල්ලො රේඩියෝ අහන්නෙ නැත්තෙ? ඒගොල්ලො රේඩියෝ එකෙන් ඈත්වුණේ ඇයි? මේවයෙ තියන වාචාල කතා අහගෙන ඉඳල වැඩක් නැති නිසා. ඒ ගොල්ලො හිතනව රේඩියෝ ඇසීම කාලෙ නාස්තිකිරීමක් කියලා. එයින් ජීවිතේට අලූත් දෙයක් ලැබෙන්නෙ නෑ කියලා. අන්න ඒ හින්දායි ඒ අය රේඩියෝවෙන් ඈත්වුණේ. ඉතින් ඒ ප‍්‍රශ්න තුනට උත්තර දෙන්න පුළුවන්නම් තරුණයෝ ආයෙත් රේඩියෝ එක වටකර ගනීවි. හෙට අහන්න පුරුදු කරන දැනෙන රහ තවත් වැඩිකරන වැඩසටහන් තියෙනව නම් ආපහු ඒ අය රේඩියෝ එක ළඟට රොක්වේවි.

 

සන්නස්ගලට මේ වැඬේ කරන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?

අනිවාර්යයෙන්ම මම ඉස්සර ආදරය සමග තුන් පැයක් වැඩසටහන කරන කාලෙ මං දන්න එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුගෙ ප‍්‍රයිවෙට් ප‍්‍රැක්ටිස් ඉරිදා රෑට නතර කළා. මගේ වැඩසටහන අහන්න ඕනෙ කියලා.

මම තව සිදුවීමක් කියන්නම්. එක්තරා නීතිඥයෙක් ඒ වැඩසටහන අහන්න හැමදාම හැන්දෑවට කාර් එකට නැග්ගා ගෙදර වෙන වෙන ටීවී චැනල් බලන නිසා නිදහසේ මේ වැඩසටහන රේඩියෝ එකෙන් අහන්න.

අන්න ඒ වගේ සංස්කෘතික ශ‍්‍රාවකයො ගොඩාක්ම මගේ වැඩසටහන සමග බද්ධ වෙලා හිටියා.

 

ඔබ තෝරාගන්න ගීත සම්බන්ධයෙන් නිදසුනක් දෙකක් දෙන්න පුළුවන්ද?

මම ප‍්‍රියකරන එක්තරා ගීතයක් තියෙනවා සුදෝ මම ආදරෙයි කියලා. සුජාතා අත්තනායක ගයන මේ ගීතය ලියල තියෙන්නෙ ගාමිණී ෆොන්සේකා. මයුරිගෙ කතාව චිත‍්‍රපටියෙයි මේ ගීතය තියෙන්නෙ. මේක හුඟාක් රසවත් ගීතයක්.

එතකොට උමාරා ගායනා කරන වසන්තයට අත වනමින්. ඒක හොඳ තැනට නොවැටෙන්න පුළුවන්. නමුත් බොහොම රසවත් ගීතයක්. සංගීත් විජේසූරියගෙ වායෝ සංගීත කණ්ඩායමේ අපි කවුරුද ගීතයත් ඉතාමත්ම රහ සිංදුවක්..... ඔන්න ඔය වගේ රහ සිංදු තමයි මගේ වැඩසටහනෙන් තවත් රහට ඉදිරිපත් කරන්නෙ.

 

හොඳයි දැන් මට කියන්න ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කරන්න තියෙන සුදුසුකම මොකක්ද?

මම තරුණ පරපුර එක්ක ගණුදෙනු කරන්නෙ බොහෝ කාලයක ඉඳලා. උසස් පෙළ විභාගෙට සුදුසුකම් ලබන තරුණයො තරුණියෝ එන්නෙ මගේ ළඟට. මම ඔවුන්ට සිංහල උගන්නනවා. එතකොට ඔවුන්ට රසවිඳින හැටි කියල දෙන්න මට සිද්ධවෙනවා. ඒ සුදුසුකමම මට ඇති මේ වගේ වැඩසටහනක් කරන්න.

Upul Shantha 2

ඒත් ඉතින් අද තරුණ පරපුර මෙලෝ රහක් නැති කට්ටියක්නෙ?

තරුණ පරපුරට බනින එක අසාධාරණයි. ඒ අය අපේ රටේ දරුවො නෙමෙයි කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ. ඔය චෝදනාවම අපේ තරුණ කාලෙ අපිටත් එල්ලවුණා. එහෙම නම් අපිත් මෙලෝ රහක් නැති එවුන්.. ඒ නිසා කරන්න ඕනෙ තරුණයන්ට බනින එක නෙමේ ඒ අයට කියලා දෙන එක. ඒ අයට හොඳ ගීත හොයලා ඒ වයේ තියෙන රසේ කියල දෙන්න ඕනෙ. එතකොට ඒ අය රහ විඳගන්න පුරුදු වේවි.

අපේ තරුණ දරුවන්ට බනින අයට මම කියනවා අපේ දරුවො හොඳයි, වැඩිහිටියන්ට වැඩියෙන් හොඳයි කියලා. වැරදි කිරීමේ ප‍්‍රතිශතය බැලූවොත් වැඩිහිටියන්ගෙන් සීයට අනූවක් වැරදි කරද්දි දරුවන්ගෙන් වැරැදි කරන්නෙ සීයට දහයක් විතරයි.

හීන ඇහිඳින යාලූවෝ ප‍්‍රචාරය වන දින වකවානු ගැන කිව්වෙ නැහැ.

දෙරණ එෆ්.එම්. නාලිකාවෙන් ඉරිදා රාත‍්‍රී 7 ට ප‍්‍රශ්න ඇසීම අවසානය.

මේ පිළිසඳරේදී නොකියැවුණත් උපුල් ශාන්ත සන්නස්ගල ගීත රචකයෙකි. ජනප‍්‍රියතම ගීත රචකයෙකි. එයද ගීත වල රස විඳගැනීම සඳහා ලොකු පිටුවහලකි. ඉතිං ඔහු ගීත රචකයකු වීමේ කතා පුවතද ගීතයක් තරම්ම රසවත්ය. නැතිනම් හීන අහුලාගැනීම පිළිබඳ විචිත‍්‍ර වෘතාන්තයකි. ඉතින් ඒ ගැනද කියන්නැයි ද මම උපුල්ට ඇරියුම් කරමි.

‘‘මම විශ්ව විද්‍යාලෙ යනකාලෙ මගෙ බෝඩිමේ හිටිය අනිත් යාලූවො තමයි ධම්මික බණ්ඩාරයි ලලිත් ඇතාකඩයි. අපි තුන්දෙනාම කවියට කලාවට ළංවෙලා හිටියෙ.. ඔය කාලෙ මම කුමරි පත්තරේට සරසවි දියනියෝ නවකතාව ලිව්වා. ධම්මික කවි ලියනවා. අපි දෙන්නට ඕනෙ වුණා පොත් දෙකක් එළිදක්වන්න. ධම්මික අහෝ මිත‍්‍රවරුනි කියන කවි පොතත් මම සරසවි දියණියෝ නවකතාවත් එකම උත්සවයකදී එළිදැක්වුවා. ඒ උළෙල තිබුණෙ ජෝන් ද සිල්වා රඟහලේ.

කොහොම හරි ඔය කාලෙත් මම කවි ලියනවා. හැබැයි දිනපොතේ. ඒ එක කවියක්වත් මම පත්තරේකට දාලත් නැහැ. පොතක් ගහලත් නැහැ. මොකද මට හිතෙනවා මගෙ කවි හොඳ නැහැ කියලා. අනෙක් කවීන් එක්ක මට තරග කරන්න බැහැ කියලා. ඒ හින්ද මගෙ කවි දිනපොතේ පිටු අතරේ හැංගිලා තිබුණා. ධම්මිකගෙ කවි බොහෝම ලස්සනයි. ඒවා පොත්වලට ගිහින් රසික ප‍්‍රතිචාර ලැබුණා. ඔහොම ඉන්න අතරෙ ප‍්‍රියනාත් රත්නායක මගෙන් සිංදුවක් ඉල්ලනවා. උපාලි කන්නන්ගර, සමන්ත පෙරේරා, නවරත්න ගමගේ මගෙන් සිංදු ඉල්ලනවා...

 

ඉතින් ඔබ දෙනවා?

තම කවි ගැන පැහැදීමක් නැති ඔහු ගීතයක් ලියාදේවිද යන කුහුල නිසාම මම ඔහුට බාධා කරමි.

”ඔව්. මොකද ගීත රචකයෙක් වෙන්න ලොකු පෙරේතකමක් මගෙ ළඟ තිබුණා. අනිත් එක ගීතයක් කියන්නෙ තනි වැඩක් නෙමෙයි. තුන්දෙනෙකුගෙ වැඩක්. සවුත්තු වුණොත් ඒ සවුත්තුව තුන්දෙනා අතරෙම බෙදිලා යනවා. මගෙ වැරැුද්දක් තිබුණොත් ඒක අනිත් දෙන්න අතින් හැදෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මං ගීත ලියලා දුන්නා.

 

ධම්මිකයි සන්නස්ගලයි තරගෙට සිංදු ලිව්වද?

මම යළිත් ඔහුට බාධා කරමි.

ධම්මික බණ්ඩාර කියන්නෙ අති දක්ෂ ගීත රචකයෙක්. එයා එක්ක මට හැරෙන්නවත් බැහැ. ඒ හින්දා තරගයක් තිබුණෙ නෑ. ඒත් අපි දෙන්නම සිංදු ලිව්වා.

ඒ මොනවා කිව්වත් උපුල් ශාන්ත සන්නස්ගල අද වන විට අතිදක්ෂ ගීත රචකයෙකි. ඔහු ලියූ ගී ඊට සාක්ෂි දරයි. වැහිකඳුළු වැටී දඟ කරන හැටී, ඔබ හීනයක් වගේ, ආදරණීය වස්සානේ ඊට උදාහරණ කිහිපයකි.

ඔහු ලියූ වස්සාන සිහිනය අදටත් හොඳින් අලෙවි වන ආදරණීයම නවකතාවකි.

මේ හපන්කම්වලට හේතුව ඔහු හීන ඇහිඳීමයි. දෙරනින් හීන අහුලා අහසින් හීන කඩාගැනීමයි.

කෙසේ හෝ වේවා දැන් ඉතින් අපිට සමුගෙන යන්නට හෝරාවයි. උපුල් ශාන්ත කතාවට චතුර සේම ආවේගශීලීව කතා කරන්නෙකි. එහෙත් ඔහුත් මාත් අතර මේ පිළිසඳර නම් පැවැත්වුණේ බෙහෙවින්ම ශාන්තවය. හේතුව ඔහුත් මාත් දෙන්නාම ශාන්තලා වීම විය යුතුය.

(ලංකාදීප)

1

Leave a comment

Connet With Us

       Google+